''සියලුම ආගමික පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතට'' - අගමැති


ආගම් හා ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ රටෙහි ස්ථාපිත කළ යුතු බවත්, එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ ඒ ක්‍රමය වර්තමානය වන විට සිංගප්පූරුව තුළ ක්‍රියාත්මක කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ අද (22) අරලියගහ මන්දිරයේදී පැවති ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් පෙන්වා දුන්නේය. 

රුහුණු, නිල්වලා, පේරාදෙණිය, ඌව සහ රුවන්පුර යන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි අධ්‍යයනය ලැබූ ඩිප්ලෝමාලාභීන් 2378 දෙනෙකු සඳහා අද ජාතික අධ්‍යාපන ඩිප්ලෝමා ප්‍රදානය කරනු ලැබූ අතර, මෙම වැඩසටහන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත ජාතික අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කර තිබිණි. 

මෙම අවස්ථාවට ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය මාබුල්ගොඩ සුමනරතන ස්වාමීන් වහන්සේ, අකිල විරාජ් කාරියවසම්, විජයකලා මහේස්වරන් ආදී අමාත්‍යවරුන් ද, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.එන්. රණසිංහ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය ටී.ඒ.ආර්. ජයන්ති ගුණසේකර, ගුරු අධ්‍යාපන ප්‍රධාන කොමසාරිස් බී.ඩී.සී. බියන්විල ඇතුළු විද්‍යාපීඨාධිපතිවරුන්, ගුරු භවතුන් සහ ඩිප්ලෝමාලාභී ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ, 


ජාතිය පදනම් කරගත් පාසල්ද ? පොදු පාසල්ද ? 

''ආගම් හා ජාතිය පදනම් කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික වශයෙන් පාසල් ඉදිරියට ගෙනයනවා ද, එසේත් නැත්නම් පොදු පාසල් ලෙස ඉදිරියට ගෙන යනවා ද කියා අද අප තීරණය කළ යුතුව තිබෙනවා. 

මේ අනුව ඉරිදා දහම් පාසැල් හැර ආගමික පාසැල් සියල්ලම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කිරීමට අප දැනටමත් තීරණය කර තිබෙනවා. 

එමෙන්ම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ එකඟත්වය මත මද්‍රසා අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක කිරීම සඳහා මණ්ඩලයක් ඇති කිරීමටත්, ඒ කටයතු අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත් කිරීමටත් තීරණය කර තිබෙනවා. 



ජාතීන් අනුව පාසල් නම් කළයුතුද ? 

පාසලක් ආගමික නායකයෙක් වෙනුවෙන් හෝ ශාස්තෘවරයෙක් වෙනුවෙන් නම් කළාට කමක් නැහැ. එහෙත් ජාතීන් ආගම් අනුව පාසල් නම් කළ යුතු ද කියන ප්‍රශ්නය මතුව තිබෙනවා. මෙවැනි පාසල් පොදු පාසල් ලෙස සලකා අවශ්‍ය පරිවර්ථන සිදුවීමට වසරක හෝ දෙකක කාලයක් ලබා දිය යුතුයි. 

ඇතැම් විට ඒ ඒ ප්‍රදේශවල ජීවත් වන ජනගහනය පදනම් කරගෙන ඒ ප්‍රදේශයේ පාසල් එක් ආගමකට එක් ජාතියකට සීමා විය හැකියි. නමුත් සෑම ජාතියකම, සෑම ආගමකම දරුවන් සිටින මිශ්‍ර පාසල් ඇති කිරීමට අපේ අවධානය යොමු කළ යුතුයි. 

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් ඉස්ලාම්, කතෝලික හා අනෙකුත් ආගම්වලට අයත් සියලූ ජාතීන් එකට එක්ව වෙසක් සැමරූ අයුරු අප දුටුවා. මේ තත්ත්වය ආරක්‍ෂා කළ හැක්කේ අපේ රටේ පාසල් ක්‍රමය ප්‍රතිව්‍යුහගත කරනවා නම් පමණයි.

නව අධ්‍යාපන යෝජනා ක්‍රමය ගැන සාකච්ඡා වෙනවා 

එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා අනාගතය දෙස බලා අධ්‍යාපන ක්‍රමයක් ඇති කළා. අපි එයින් ඈත් වුවත් ඒ ක්‍රමය සිංගප්පූරුව අද ක්‍රියාත්මක කරනවා. මෙම ක්‍රමවේදය සම්බන්ධව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශයේ කණ්ඩායමක් එරටට යැවීමට අප පියවර ගෙන තිබෙනවා. 

මෙරටට නව අධ්‍යාපන ක්‍රමය සම්බන්ධව විවිධ යෝජනා සහ අදහස් මේ වනවිට ඉදිරිපත්ව තිබෙනවා. ඒ සියල්ල සාකච්ඡා කොට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ මූලධර්ම පදනම් කර ගනිමින් අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යෑම අපේ අරමුණයි.'' යන්නයි.