‘‘සැකකටයුතු සිද්ධි, පිරිස් ගැන ආරක්ෂක අංශ දැනුවත් කරන්න‘‘ - උලමාවරුන්ගේ සංගමය



පාස්කු ඉරිදා සිදුවූ සිද්ධිය දැඩිව හෙළා දකින බවත් සැකකටයුතු සිද්ධි, පිරිස් ගැන ආරක්ෂක අංශ ගැන දැනුවත් කරන්නැයි සහෝදර මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ජෙමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි අද (9) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී  අදහස් දක්වමින් පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ,

‘‘මුස්ලිම් ජනතාවගෙන් ලැබෙන තොරතුරු ආරක්ෂක අංශ වලට ලබාදී තමන් ද මේ සිද්ධිය වචන වලින් මෙන්ම ක්‍රියාවෙන්ද හෙළාදකින බව පෙන්වන්න. මාධ්‍ය ආයතන මේ සිද්ධි වාර්තා කිරීමේදී සංහිඳියාවට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙසත්, සමහර දේශපාලඥයින් මදරාසා පාසල් මෙන්ම කුරාණය ගැන ද වැරදි තොරතුරු පවසන බවත් මාධ්‍ය තුළ තමන්ට වැඩි ඉඩකඩක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා‘‘ යන්නයි. 

මෙහිදී අදහස් දැක්වූ ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එම්.එන්.අමීන් පැවසුවේ,

‘‘අපි සියලුදෙනාම එකට එක්වී පාස්කු ඉරිදා සිද්ධිය ගැන ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු 99 % කටත් වැඩි පිරිසක් එකහෙලාම විරෝධතාවය ප්‍රකාශ කර තිබෙනවා. අපි පැහැදිලිවම කිව්වා මුස්ලිම් ජනතාව ප්‍රතික්ෂේප කරන ක්‍රියාවක් කියලා. මුස්ලිම්වරුන්ගේ නාමයෙන් මේ කළ ක්‍රියාව නිසා අද මුස්ලිම් ජනතාව ඉතා වේදනාවට පත්වී තිබෙනවා. අප සහෝදරත්වයෙන් ජීවත්වෙන ක්‍රිස්තියානි සහෝදරවරුන්ට වේදනාවක් ඇතිවුණා. ඒ ආරක්ෂක තත්ත්වය නිසා ඔවුන්ගේ අවසන් කටයුතු වලට සහභාගී වී ශෝකය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබු‍ණේ නැහැ. 

තවත් සමහරු අද මේ මොහොතේදී කියනවා මුස්ලිම්වරු මේ සිද්ධිය ගැන දැනගෙන සිටියාද කියලා. මේ බෝම්බකරුගේ භාර්යාව පවා මේ සිද්ධිය ගැන නොදැන සිටි බව පොලිස් සාක්ෂි වලින් දැනගන්නට ලැබී තිබෙනවා. ඒ නිසා මුස්ලිම්වරු ලෙස අපට මෙය දැනගන්න කිසිම අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ. මුස්ලිම් ජනතාව අන්තවාදය පැත්තට යනවා නම් ඔවුන්ට අවස්ථා ගණනාවක් තිබුණා. මේ රටේ මුස්ලිම්වරුන්ගේ ජීවිත පැය 24 කින් ඔවුන්ව පලවා හැරියා. මෙවැනි සිද්ධීන් ගණනාවක් තිබුණත් ඊට ගියේ නැහැ. කාත්තන්කුඩි පල්ලියේ 200 කට අධික මුස්ලිම්වරු පිරිසක් එක රැයකින් මරලා දැම්මා. නමුත්, ඔවුන් අන්තවාදය පැත්තට ගියේ නැහැ. මේ කාරණය නිසා මුස්ලිම්වරුන්ට අන්තවාදයට යන්න හේතුවක් නැහැ. මේ පිරිස මොන හේතුවක් නිසා මෙවැන්නක් කළාද කියා අපිත් දන්නේ නැහැ‘‘ යන්නයි. 















සබැඳි පුවත් 



''බෝම්බ ගැහුවේ ත්‍රස්තවාදීන් - ඔවුන් අපේ අය නොවෙයි‘‘ - උලමාවරුන්ගේ සංගමය