‘‘රටේ සාමය රකින්න ස්වාමීන්වහන්සේලාට ආරාධනා කළා‘‘ - අගමැති



මෙරට සෑම ආගමකම ශ්‍රී ලාංකික අනන්‍යතාව අන්තර්ගත වී තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එම අනන්‍යතාව අන්තවාදයට විනාශ කර දැමීමට ඉඩ නොදී ආරක්‍ෂා කර ගැනීම සඳහා සෑම පියවරක්ම ගත යුතු බව මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (9) දින පෙරවරුවේ අස්ගිරි, මල්වතු සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මැණික්හින්න, ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසුවේය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා අවධාරණය කළේ, 

රටේ සාමය ආරක්ෂා කරන්න ඉදිරියට පැමි‍ණෙන මෙන් ස්වාමීන්වහන්සේලාට ආරාධනා කරනවා 

“පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසුව රටේ සාමය ආරක්‍ෂා කර ගැනීමට ඉදිරියට පැමිණෙන්න යැයි මම අපේ මහනායක ස්වාමීන් වහන්සේලාට ආරාධනය කළා. ඒ අවස්ථාවේ දී මහනායක ස්වාමීන් වහන්සේලා ගනු ලැබූ පියවර නිසා අපේ ගම්මානවල සාමය ආරක්‍ෂා වුණා. එම නිසා මම අද පැමිණියේ මහනායක ස්වාමීන් වහන්සේලා තුන් නමට ස්තුතිය පුද කර සිටීමටයි.

ඒ වගේම කොටුගොඩ ධම්මාවංශ ස්වාමීන් වහන්සේටත්, ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේටත්, මේ වෙනුවෙන් වැඩ කටයුතු කළ අනෙකුත් ස්වාමීන් වහන්සේලා ඇතුලූ සියලූම ආගමික නායකයන්ටත් ස්තුතිවන්ත වෙනවා. 

රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම පිළිබඳව මම අද මහනායක ස්වාමීන්වහන්සේලා සමග සාකච්ඡා කළා. ඒ වගේම මේ වන විට අපි ගෙන ඇති පියවර පිළිබඳවත් උන්වහන්සේලා දැනුම්වත් කළා. 

අනාගතයේදී මෙවැනි තත්ත්වයක් ඇතිනොවීමට වගබලා ගත යුතුයි 

අනාගතයේ දී නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට අපි වගබලා ගත යුතුයි. මෙම අන්තවාදී ත්‍රස්තවාදය මෙතනින් අවසන් වනු ඇතැයි අපිට බලාපොරොත්තු විය නොහැකියි. එම නිසා ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටීමත්, අන්තවාදය වැළැක්වීමට කටයුතු කිරීමත් අපේ වගකීමක් වෙනවා. 


මේ වන විට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබෙන නීතිරීති පිළිබඳව මම අද මහා සංඝ රත්නය දැනුම්වත් කළා. එමෙන්ම ඉස්ලාම් සහ ක්‍රිස්තියානි පූජක පක්‍ෂ සමග සිදු කරන ලද සාකච්ඡා පිළිබඳවත් නායක ස්වාමීන් වහන්සේලා දැනුම්වත් කළා. 

ශ්‍රී ලංකාවේ බුද්ධාගම තුළ පමණක් නොව, අනෙක් ආගම්වලත් සුවිශේෂී වූ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් තිබෙනවා. මෙරට හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම්වල තිබෙන ශ්‍රී ලාංකික ලක්‍ෂණ නිසා අපට පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති වී තිබෙනවා. එම ලක්‍ෂණ අන්තවාදයට යට කිරීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ වෙනුවෙන් අපි අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතුයි. අපි අද විශේෂයෙන් සාකච්ඡා කළේ ඒ පිළිබඳවයි.

ඒ වගේම වෙසක් උත්සවය සැමරීම පිළිබඳවත් මහානායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කළා. ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව උන්වහන්සේලා මා සමග පැවසුවා. ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජා කටයුතු හැකි තරම් විහාරස්ථානයන් තුළට සීමා කරනවා නම් එය වඩාත් සුදුසුයි. එමෙන්ම ඒ ඒ ප්‍රදේශවල ආරක්‍ෂක අංශ සමග සම්බන්ධ වී වෙසක් උත්සව වැඩ කටයුතු කිරීමටත් අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට අපි සකසා තිබෙනවා.”

මෙහිදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධව ඉදිරියේ දී පක්‍ෂ නායකයන් සමග තවදුරටත් සාකච්ඡා කරන බවයි. එම පනතේ දෙවන, තුන්වන සහ හතර වන වගන්ති ඉතා වැදගත් බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.