හෝටල් ක්ෂේත්‍රයේ වැට් බද්ද 5 % කින් අඩු කෙරේ


පාස්කු ඉරිදා එල්ල වූ තුස්ත ප්‍රහාරය නිසා පසුබෑමකට ලක් වූ ආර්ථිකය යළි නගා සිටුවීමට රජය කටයුතු කරන බවත් සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට එම ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායකයෙකුටම වසර 2020 දක්වා ණය ගෙවීමේ අවුරුද්දක සහන කාලයක් ලබාදෙන බවත්, හෝටල් ක්ෂේත්‍රයේ වැට් බද්ද 2019 අප්‍රේල් මස සිට 2020 අප්‍රේල් දක්වා 5 %කින් අඩුකර ඇති බවත් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න ඊයේ (7) මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේය. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ,

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ජය ඉසුරු සහ Green Loan ණය යෝජනා ක්‍රම 2 තවදුරටත් ක්‍රියාත්මක වන බවත් මේ යටතේ සංචාරක ක්ෂ්‍රේත්‍රය සඳහා පමණක් පුද්ගලයන් 517දෙනෙකු අතරේ රුපියල් බිලියන 15ක මුදලක් ණය ලබා දී ඇති බවත්, මෙම ප්‍රාග්ධනය සහ පොළිය නැවත අය කරගනු ලබන්නේ ලබන වසරේ ජූලි මාසයේ සිට බවත්ය. 

තවද හෝටල් ක්ෂේත්‍රය සඳහා එකතු කල අගය මත බද්ද (VAT) 2019 අප්‍රේල් මස සිට 2020 අප්‍රේල් මස දක්වා අවුරුද්දක කාලයක් 5% දක්වා අඩු කර තිබෙන බවද පැවසුවේය. 

2014 සිට 2018 වසර දක්වා මෙරට සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 10කින් පමණ වර්ධනය වූ බවද ලැබුණු ආදායම ඩොලර් බිලියන 4.4කට ආසන්න වූ බවද නැවතත් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද  පැවසු ඇමතිවරයා මෙරට ආරක්ෂාව තහවුරු කිරිම සඳහා අවශ්‍ය නවීන ආරක්ෂක උපකරණ මෙරටට ගෙන්වීම සඳහා බදු සහන ලබා දෙන බවද පෙන්වා දුන්නේය. 

සංචාරක ක්ෂේත්‍රයට පමණක් නොව පාසල් ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශ සඳහා අවශ්‍ය බෑග් මළු, වාහන, සහ පුද්ගලයන් පරීක්ෂා කළ හැකි නවීණ ආරක්ෂක උපකරණ ගෙන්වීම සඳහා මෙම සහන ලබා දෙන බවද පැවසීය.

මෙම අවස්ථාවට එක් වූ සංචාරක සංවර්ධන, සහ ක්‍රිස්තියානි ආගමික අමාත්‍ය ජෝන් අමරතුංග පැවසුවේ සංචාරකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ලෝක ප්‍රජාව සමග එක් වී අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු ඉදිරියේදී සිදු කරන බවයි.