විභේදනයන් ගොඩනගන භික්ෂූන් ඇසුරේ සමානාත්මතා සංකල්පය සමාජගත කළ හැකි ද ?



යටලමත්තේ කුසලානන්ද 


සමාජීය බෙදීම් අපේම නිර්මාණයන්ය 

මිනිසා බෙදා වෙන් කරන සමාජීය බෙදීම් ආචාර්ය විජේසිරිවර්ධන මිනිස් සමාජයේ විභේදනයන්(divisions) ලෙස හඳුන්වයි. කුලය, පංතිය, ප්‍රභූ - නිර්ප්‍රභූ, රජ - යටත්වැසි, පාලක - පාලිත ලෙස ඒවා නොයෙක් ආකාර ගනියි. ඔහු ඉතා නිවැරදිව පෙන්වාදෙන පරිදි මිනිසා උපතින් ලබා ගන්නා, සහජ වෙනස්කම් ද ඇතැම් විටෙක බෙදීම් දක්වා වර්ධනය කර ගනී. ලිංග භේදය, ජන වර්ග, ආගම් භේද, වැඩිහිටි තරුණ පරම්පරා භේද යනාදිය ලංකා සමාජයේ ප්‍රධාන බෙදීම් බවට පත්ව තිබේ. එනම් මිනිස් විභේදනයන්, බලය පිළිබඳ ව්‍යුහමය ප්‍රශ්නයක් ලෙස වටහා ගත යුතුය." (විජේසිරිවර්ධන, සුනිල් 2009, පුරවැසි මංපෙත් පි.61)

බුදුන් සමයේ භික්ෂු සංඝ වූයේ කුල ගොත් වලින් විභේදනය වූ මිනිසුන් එක්වූ අවකාශයයි 

මිනිසා බෙදා වෙන් කරන සමාජ විභේදනයන් ප්‍රතිකේෂ්ප කළ බුදුන්වහන්සේ සිව් මහා නදීහු මහ මුහුදට වැටුණු කළ මහමුහුද යැයි අමතන්නා සේ නොයෙක් කුල ගොත්වලින් විභේදනයනයට ලක්වූ මිනිසුන් එකතු වූ පොදු අවකාශය භික්ෂු සංඝ නම් විය. භික්ෂු සංඝ නම් අන්‍යන්ගෙන් යැපෙන සමුහය යි. පෞද්ගලිකත්වයෙන් ඔබ්බට ගොස් පොදුවේ සියලු දෙනා බෙදාහදාගත් සංස්කෘතික් තුළ රැකිය යුතු ආරක්ෂා කළ යුතු යමක් නොවීය.

ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය හා සාමය යන්නෙහි පදනම මානව පවුල් ඒකකයේ සියලු සමාජිකයන්ගේ සහජ ගරුත්වය හා අන්සතු නොකළ හැකි වු සම අයිතිවාසිකම් පිළිගැනීමයි. බුදුන්වහන්සේ සංඝ සමාජයේ ඒකීය භාවය සමානාත්මතාවය පිළිගනිමින් සියල්ලන්ට ගුරු කොට ගත හැකි ආදර්ශවත් සමූහයක් ලෙස සංවර්ධනය කරනු ලැබීය.

කුල පදනම ඉදිරියට 

අධිරාජ්‍යවාදීන් හඳුන්වා දුන් වැවිලි ආර්ථිකය හා වෙළදපොළ ආර්ථික ක්‍රමය නිසා කුල ක්‍රමය හා බැදුණු රදළ වැඩ වසම් සමාජ ක්‍රමය බිදවැටිණි. කුල ක්‍රමය පවත්වාගෙන යෑමට අවශ්‍ය වටපිටාව වෙනුවට වෙළදපොළ ආර්ථික ක්‍රමයෙන් කුලහීනයා ධනවතා වූ අතර කුලීනයා නිර්ධනයින් වූ අවස්ථා බොහෝ ය. නමුත් රැකියාව මත පදනම් වු කුලපදනම වෙනස් කිරීමට කුලීනයන් මෙන්ම කුලහීනයන් ද උනන්දු වුයේ නැත. ඒ වෙනුවට ඔවුන් වඩාත් සංවිධානාත්මකව කුලපදනම ඉදිරියට ගෙන යනු ලැබීය.

කුලපදනම පිළිනොගත් සමාජයේ තවත් කොටසක් කුලපදනමින් තොරව මනුෂ්‍යත්වය මුල් කරගමින් සමාජ සමානාත්මතාවය පිළිගත් හ.

මනුෂ්‍යත්වය පිළිගන්නේ කවුද ? 

උපතින් ජීවන වෘත්තීය තීරණය වූ සාම්ප්‍රදායික සමාජයේ විවාහයේ දී කුලය විමසීමට ලක් කරනු ලැබුයේ ප්‍රායෝගික හේතු කාරණා මුල් කරගෙන ය. මුහුදු ආශ්‍රිත මුහුදු යෑම ජීවන වෘත්තීය කරගත් පවුලක තරුණියක් දන්නේ මුහුදු යන සැමියාට සලකන පිළිවෙළය. එසේම මුහුදු සුළඟ හා ශබ්දය නිසා නිරන්තරයෙන් ඔවුන් උස් හඩින් කතා කරයි. බොහෝ විට කතාව ද රළු සවභාවයක් ගනී. එසේම ගොවි තැන් කරන ගෙදරක සිටින කාන්තාව දන්නේ ගොවිතැන් කරන සැමියාට ගැලපෙන ලෙස ක්‍රියා කිරීමටය. ඔවුන්ගේ ජීවිත දිවි පෙවෙත රළු නොවන අතර කතාව ද පහත් හඩින් සිදු කරයි. සොබාදහමට සංවේදී පිරිසකි. මෙබඳු සංස්කෘතින් දෙකක වැඩුණු දෙදෙනෙක් එකට කටයුතු කිරීම සාම්ප්‍රදායික සමාජයේ අපහසු කටයුත්තකි. පසුකාලීනව උපතින් ජීවන වෘත්තීය තොරා නොගත් අතර එනිසා වර්තමානයේ විවාහයට කුලයේ ප්‍රායෝගික වටිනාකමක් නැත.



මහනුවර යුගයේ භික්ෂූන් ද රජවරු හා මහජනයා පිළිගත් කුලපදනම පිළිගත් අතර ඊට අනුරූප වන ලෙස භික්ෂු සමූහය ද තම පැවැත්ම තහවුරු කරගනු ලැබීය. බුදුන්වහන්සේ ප්‍රතිකේෂ්ප කළ මානව විභේදනයන් පිළිගනිමින් මූලික බෞද්ධ සංකල්ප අභියෝගයට ලක් කිරීම සිදු විය. එනම් භික්ෂු සංඝ ඒකකයේ සියලු සමාජිකයන්ගේ සහජ ගරුත්වය හා අන්සතු නොකළ හැකි වු සම අයිතිවාසිකම් නොපිළිගැනීමෙන් බුදුන්වහන්සේ පිළිගත් මහා සමුද්‍ර සංකල්පයට අභියෝග කරනු ලැබිය. පසුකාලීනව කුලක්‍රමයට අභියෝගයට ලක්කරමින් පැණ නැගුණු අනෙකුත් භික්ෂු කණ්ඩායම් ද කුල ක්‍රමය ශක්තිමත් කරන කණ්ඩායම්ම විය. ඊට ප්‍රතිරෝධිව පැන නැගුණු භික්ෂු කණ්ඩායම් ප්‍රසිද්ධියේ ප්‍රතිකේෂ්ප කරණු ලැබුවත් අභ්‍යන්තරිකව කුලය ඉස්මතු කරණු ලැබීය.

එනමුත් මානව සමානාත්මතාවය පිළිගන්නා සෑබැ භික්ෂු කණ්ඩායම් ද මේ අතර සිටීහ. බුද්ධ වචනයට අනුව කටයුතු කරන එවැනි පිරිස්වලට ගෞරවය හිමි විය යුතුය.


භේද පිටුදැකීමෙන් සමාජීය දුක පිටුදකින්න පුළුවන්

බෞද්ධ පර්යාලෝකයෙන් මේ කාරණය දිහා තවදුරටත් බලනවා නම් අපට මෙහෙම සංකල්පගත කරන්න පුළුවන්. අවිද්‍යාව හේතු කොට ගෙන, ලෝභය දෝෂය මුල් කොටගෙන තියෙන දේ තියෙන හැටියෙන් මිනිසුන් විසින් නොදැකීමේ ගැටලුව නිසයි භේද කියන සමාජ ප්‍රශ්නය මිනිසුන් ගොඩනගා ගන්නේ . භේද නිසා දෘෂ්ටි අන්ධතාවයක් නිර්මාණය වෙනවා, එක් මනුෂ්‍යයෙක් විසින් අනෙක් මනුෂ්‍යයා තමා සේම මනුෂ්‍යයෙක් ලෙස නොදැකීමේ රෝගය . ඒ නිසා තමයි සමාජීය වශයෙන් ඇතිවන සියළුම සමාජ ගැටළු නිර්මාණය වෙන්නෙ මර්දනය, පීඩනය, පිටමංකිරීම, අවතැන් කිරීම සියල්ල. ඒවා යුද්ධය සහ වෙනත් ව්‍යසනයන් ට හේතුවෙනවා, ඒ සියල්ල සමාජීය වසයෙන් මිනිසුන් විදින්නාවූ දුක් කන්දරාවේ මුලයි. සමාජීය දුකේ හේතුව භේදයි, භේද පිටුදැකීමෙන් සමාජීය දුක පිටුදකින්න පුළුවන්. බුදුන්ගේ භික්ෂූ සංඝය සමාජ භේද පිටුදැක මානව ගෞරවය තහවුරු කළ විශිෂ්ට මානව සාමුහිකත්වයේ ආකෘතියක්.

ගිහි සමාජයට ජාති කුල පදනම් පිළිගැනීමට හෝ නොපිළිගැනීමට අයිතිය ඇත. නමුත් බෞද්ධ භික්ෂූවට කිසිදු සදාචාරීය ඉඩක් නැහැ භේද මුල් කරගත් ආයතන නිර්මාණය කරන්න.


(විශේෂ ස්තුතිය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන)






සබැඳි පුවත්