‘‘කොළඹට විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ‘‘ - අගමැති




ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) කොළඹ, නෙළුම් පොකුණ පරිශ්‍රයේ පැවැත්විණි. මෙරට පරිපාලන සේවාව ආසියාවේ පැරණිතම පරිපාලන සේවාව වන බව මෙහිදී අගමැතිවරයා අවධාරණය කර සිටියේය. එමෙන්ම, වත්මන් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට සහය දක්වන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. 


මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි යන රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. 

මෙහිදී අගමැතිවරයා දැක්වූ අදහස්,  




පරිපාලන සේවා සංගමයේ ඉතිහාසය 

‘‘පරිපාලන සේවා සංගමය රටේ දීර්ඝතම රාජ්‍ය සේවාව නියෝජනය කරනවා. අපේ රාජ්‍ය සේවකයින්ගේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා විහිදෙනවා. ශ්‍රී ලංකාවට තිබෙන්නේ ක්‍රමානුකුලව සංවිධානය වූ රාජ්‍ය පරිපාලන සේවයක්. නිශ්ශංකමල්ල රජතුමාගේ ලතා මණ්ඩපයෙත් රාජ්‍ය සේවකයින් පිළිබඳව සඳහන් කර තිබෙනවා. එදා රජයේ ප්‍රධාන අරමුණ වුනේ රට පාලනය කිරීමයි. කෘෂිකර්මාන්තය, වෙළදාම, ආදායම් එකතු කිරීම, හමුදා පාලනය ආදී රාජකාරී සඳහා එදා නිලධාරීන් වෙන් කර තිබුණා.

ඔබ අද රාජකාරී කරන සේවය සම්බන්ධ වන්නේ 1948 කෝල්බෲක් - කැමරන් ව්‍යවස්ථාව මගින් ඇති කල ශ්‍රී ලංකා සිවිල් සේවය සමගයි. ඒ කාලයේ එම සේවයේ නිරතව සිටියේ කිහිප දෙනෙක් පමණයි. අපේ රටේ ප්‍රසිද්ධම සිවිල් සේවකයා ලෙස සලකන ජෝන් ඩොයිලි සහ මහාවංශය සිංහලයට පරිවර්තනය කළ ජෝන් ටර්නර් ආදීන් ද සේවය ආරම්භ කලේ මෙම පරිපාලන සේවය තුලයි.

අපි ආසියාවේ පැරණිතම පරිපාලන සේවයයි 

ඒ අනුව බලන කළ ආසියාවේ පැරණිතම පරිපාලන සේවය  තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව පැවසිය යුතුයි. මේ වන විට අපේ රටේ රාජකාරී ප්‍රමාණය වැඩි වී තිබෙනවා. අද රටේ දේශපාලනය ක්‍රියාත්මක වනවා. පළාත් සභා ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව සංස්ථා, දෙපාර්තමේන්තු ආදියත් තිබෙනවා. එම නිසා මේ සියල්ලේ කේන්ද්‍ර සේවය සිදු වන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවය හරහායි.

ඔබේ සේවාවේ ඇති වැදගත්කම ජනාධිපතිතුමාත් ප්‍රකාශ කළා. ඔබගේ සේවක කොන්දේසි පිළිබඳවත් විටින් විට ගැටළු ඇති වන බව අපි දන්නවා. ඔබේ සංගමයේ නිලධාරීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමාත් මමත් මුණගැසී පසුගියදා සාකච්ඡා කළා. ඔබගේ දීමනා  ලැබීම පිළිබඳව අපි එහිදී සාකච්ඡා කළා. ඒ පිළිබඳව සොයා බලා වාර්තා ඉදිරිපත් කිරීමට අපි අනු කමිටුවක් ද පත් කළා. ඔබේ වැටුප් පිළිබඳ ගැටළුත් අපි සාකච්ඡා කළා. එහිදී සියළු දෙනාටම පිළිගත හැකි විසඳුම්  ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. එම නිසා ඔබේ පරිපාලන සේවයේ ගැටළු අපි අමතක කර නොමැති බව මෙහිදී විශේෂයෙන් පැවසිය යුතුයි.

පරිපාලන සේවයේ පුහුණුව ලබාදීම මීටත් වඩා දියුණු කළ යුතුව තිබෙනවා. අනෙක් පහසුකම් ද සංවර්ධනය කළ යුතුයි. ඔබගේ සභාපතිතුමාත් අපත් සමග ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා කර තිබෙනවා.

විදුලි අර්බුදය 

මේ වන විට රට තුල උද්ගතව ඇති විදුලිබල අර්බූදය නිසා ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඒ වෙනුවෙන් අමාත්‍ය කමිටුවක් පත්කර තිබෙනවා. ඒ ඇමති අනු කමිටුව මේ වන විට මා මුණ ගැසී සාකච්ඡා ද සිදු කළා. ඔවුන්ගේ වාර්තා ඉදිරියේදී කැබිනට් මණ්ඩලයටත්, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා. එම අමාත්‍ය අනු කමිටුව මගින් එක ඉල්ලීමක් කළා. එනම් අද මෙම අවස්ථාවට සහභාගි වන විට අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරන විට ජනතාව දැනුවත් කරන ලෙසයි.

අපේ රටේ බලශක්ති කළමණාකරණයට ඔබ සියලූ දෙනා සහයෝගය ලබාදෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. සංස්ථා, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ ගණනාවක විදුලිබල යන්ත්‍ර තිබෙනවා. එම යන්ත්‍රවලින් බලශක්තිය ලබා ගනිමින් ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාගැනීම තාවකාලිකව නතර කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

අරලියගහ මැදුරට ජාතික පද්ධතියෙන් විදුලිය ලබාගන්නේ නැහැ 

උදාහරණයක් ලෙස මෙම විදුලිබල අර්බූදය නිමා වෙන තුරු අරලියගහ මන්දිරයට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා නොගැනීමටත්, විදුලිජනක යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමටත් අපි  දැන් තීරණය කර තිබෙනවා. අපේ අමාත්‍ය මණ්ඩලයට මෙම විදුලිබල අර්බූදය ඉතා කෙටි කාලයකින් විසදිය හැකියි.

රජයේ පරිපාලන සේවය ලෙස ඔබලාගෙනුත් මම ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින්නේ විදුලි පරිභෝජනය අවම කර ගන්නා ලෙසයි. මෙය දින 07ක් පමණක් ක්‍රියා කළොත් ප්‍රමානවත්. මින් ඉදිරියට ගතයුතු පියවර පිළිබඳව අදාල අමාත්‍යවරු කැබිනට් මණ්ඩලයේදී දැනුම් දෙනු ඇති.


මේ වන විට අපි සෑම අමාත්‍යාංශ ලේකම්වරයෙකුටම විදුලිබල බලශක්ති කළමණාකරුවෙකු පත්කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා. හෙට එම කළමණාකරුවන් රැස් කර ඔවුන්ට  උපදෙස් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනවා.

කොළඹට විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවක් නැහැ 

කොළඹ කලාපය බාර කළමණාකරු මේ ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාර සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ට ඔවුන්ගේ විදුලිජනක යන්ත්‍ර හරහා විදුලිය ලබාගැනීමට උපදෙස් ලබාදී තිබෙන නිසා කොළඹට විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එම නිසා මෙම සහනය කොළඹ ජනතාවට ලබා දෙනවා. ආණ්ඩුවේ ආයතනත් ඊට සහයෝගය ලබා දෙනවා නම් එම සහනය තව දුරටත් වැඩිකර ගත හැකියි.

එම නිසා එම වැඩකටයුතු වෙනුවෙන් විදුලිබලය අරපිරිමැස්මෙන් ප්‍රයෝජනයට ගනිමින් විදුලිබල අර්බූදය නිමා කර ගැනීමට සහයෝගය දක්වන ලෙස මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා.‘‘