‘‘ධනාභිමානී" වැඩසටහනින් ව්‍යාපාරික කාන්තාවන් 4000 ක් බිහිවෙනවා‘‘ - අගමැති


රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා (26) අරලියගහ මන්දිරයේ පැවැති "ධනාභිමානී" කාන්තා සම්මේලනය අමතමින් පැවසුවේය. 

ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය එදා පියවර ගත් අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඊට විරුද්ධ වුවත්, අද වන විට කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කර ගැනීමට හැකි වී තිබෙන අතර එය කාන්තාවන් ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

මෙම අවස්ථාවට දයා ගමගේ, අලිසාහිර් මව්ලානා, අනෝමා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ව්‍යවසායක කාන්තාවන්, සමෘද්ධිලාභීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

එහිදී අගමැතිවරයා පළකල අදහස් සැකෙවින්, 


ධනාභිමානී වැඩසටහන යනු කුමක්ද ? 

‘‘සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අද ඔබ සහභාගී වී සිටින "ධනාභිමානී" වැඩසටහනයි. මෙම වැඩසටහන යටතේ මෙතනට පැමිණ සිටින ඔබ සියලූ දෙනාට ආර්ථික ශක්තික් ලබාදෙන්න, ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් සහන ලබාදීමට හැකි වෙනවා. මේ වෙනුවෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන දයා ගමගේ අමාත්‍යතුමාට මා විශේෂයෙන් ස්තඣතිවන්ත වෙනවා. එතුමා බිම් මට්ටමේ කුඩා ව්‍යාපෘති රාශියක් ආරම්භ කර තිබෙනවා. 

එසේම අනෝමා ගමගේ ඇමැතිතුමියද සෑම අවස්ථාවකදීම කාන්තාවන් එකතු කර ගනිමින් ඔවුන් ඉදිරියට ගෙන යෑම සඳහා සහාය ලබාදීමට විශාල සටනක් කරගෙන යනවා. ඒ ගැන මා සමග වාද විවාද කරමින් කතා බහ කරනවා. ඒ නිසා ඇගේ කාර්යන් පිළිබඳ මා හොදින් දන්නවා. තුසිතා විජේමාන්න මන්ත්‍රීතුමියත් කාන්තාවන් වෙනුවෙන් විශාල සේවයක් කරනවා. ඒ නිසාම අද ආරම්භ කළ ධනාභිමානී වැඩසටහන වෙනුවෙන් මා ඔබ සියලූ දෙනාට ස්තූතිවන්ත වෙනවා.

කාන්තාව සවිබල ගන්වන්න කටයුතු කළේ අපේ ආණ්ඩුවයි 

ඇයි මෙවැනි වැඩසටහනක් ආරම්භ කළේ. ආණ්ඩුවක් වශයෙන් කාන්තාවන්ට බලය ලබාදීම සඳහා වැඩිම වැඩි ප්‍රමාණයක් කළේ අපේ ආණ්ඩුව විසින්. ඒ අපේ ප්‍රතිපත්තියයි. මේ රටේ ජනගහනයෙන් බහුතරයක් කාන්තාවන්. එවිට ගම් මට්ටමින් ද බහුතරයක් හා සුළුතරය අතර වෙනසක් තිබෙනවා. 

ව්‍යාපාර පවත්වාගෙන යාමට  වඩා පහසු වන්නේ පිරිමි පාර්ශවයටයි. එසේම අධ්‍යාපන සුදුසුකම් හා රැකියා  ලබාගැනීමට ද වඩාත් පහසු පිරිමි පාර්ශවයටයි. ගමේ ප්‍රධාන ස්ථානය හිමිවන්නේ ද පිරිමි පාර්ශවටයි. නමුත් අද අප රටේ බහුතරය කාන්තාවන්.  කාන්තාවන් සහ පිරිමින් අතර පවතින මෙම වෙනස පිළිබඳව අපේ අවධානය යොමු කළා. ඊට හේතුව මෙය දිගින් දිගටම පැවතුනහොත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු වීමයි. එබැවින් බහුතර කාන්තාවන් එක් කර ගනිමින් අපේ ඉදිරි ගමන යා යුතුයි. 

මේ රටේ කාන්තාවන් බලගැන්වීම සඳහා වැඩිම වැඩ කොටසක් සිදු කර තිබෙන්නේ අපේ ආණ්ඩුවයි. රටේ බහුතරයක් වන කාන්තාවන්, දේශපාලන, ආර්ථික සහ සමාජයීය ඇතුලූ සියලූ අංශයන්ගෙන් බලගැන්විය යුතුයි. එහි එක් පියවරක් ලෙස අපි ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය ඉහළ දැමුවා. එම අවස්ථාවේ ඊට බොහෝ දෙනා විරුද්ධ වුණත් කෙසේ හෝ කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කිරීමට අපට හැකි වුණා.  එම කාන්තා නියෝජනය නිසා අද බිම් මට්ටමින් එක් එක් පක්ෂවලට අයට කාන්තා නියෝජිතවරියන් රැසක් බිහිවී සිටිනවා. එය බලපෑමක් ඇතිකළ හැකි සංඛ්‍යාවක්. 


එදා අපි මුලින් ඇතිකළ  ක්‍රමය නොවෙයි ඡන්දෙදි ක්‍රියාත්මක වුණේ. එහි අඩුපාඩු තිබෙනවා. එය සංශෝධය කරමින් නිවැරදි කළ යුතුයි. පළාත් සභා, ප්‍රාදේශිය සභාවල නියමිත සංඛ්‍යාව සිටි නම් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම අසීරු නැහැ. ඒ නිසා කාන්තා නියෝජනය අපි තව තවත් ශක්තිමත් කළ යුතුයි. තම ප්‍රදේශයේ කාන්තාවන්ට උදව් උපකාර කිරීම ඔවුන්ගේ වගකීමක් වෙනවා. එසේ නම් අද වන විට දේශපාලනමය වශයෙන් කාන්තාවන්ට උදව් උපකාර කිරීමට පළමු පියවර තබා තිබෙනවා. තවත් පියවර ගණනාවක් තිබෙනවා.

අපේ ප්‍රධාන ශ්‍රමික කණ්ඩායම් ගැන බැලූ විට වතුකරය, ඇඟළුම්, සෞඛ්‍ය, ගුරු ආදි අංශ ගණනාවක කාන්තාවන්  විශාල පිරිසක් සිටිනවා. නමුත් ඉහලට යන්න යන්න කාන්තා නියෝජනය අඩු වෙනවා. එම නියෝජනය වැඩි කිරීම සඳහා අපි අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ යටතේ කොටස් වෙළඳ පොළේ සිටින සමාගම්වල අධ්‍යක්‍ෂ මණ්ඩල සඳහා කාන්තාවන් පත් කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ සමඟම ආර්ථිකමය වශයෙන් කාන්තාවන් බලගැන්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. 

ව්‍යාපාරික කාන්තාවන් 4000 ක් බිහිකරන "ධනාභිමානි"

ඉන් එක් ක්‍රමයක් ලෙස මෙම "ධනාභිමානි" වැඩසටහන හඳුන්වා දිය හැකියි. මේ යටතේ ව්‍යාපාරික කාන්තාවන් 4000 ක් පමණ බිහි වෙනවා. ඒ තුලින් ඔබ සාර්ථක විය යුතුයි. අපි ඔබට අවශ්‍ය උපකාර ලබාදෙනවා. එසේම ලෝක බැංකු ආධාර යටතේ රට පුරාම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. කාන්තාවන් ඊට සම්බන්ධ කර ගැනීමත් තම දරුවන් ඊට ඇතුලත් කර ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. 

තුන්වන පියවර වශයෙන් මෙවර අයවැය යටතේ විදේශ රැකියාවල නිරත වූවන්ට නිවාස ණය ලබාදීමට ද අපි ක්‍රියා කරනවා. බහුතර කාන්තාවන් මැද පෙරදිග යන්නේ මුදල් උපයා ගැනී සඳහායි. ඒ නිසා සහන ක්‍රමයකට නිවාස  සාදා ගැනීම සඳහා මුදල් ලබා දෙනවා. මේ මම සඳහන් කළේ මගේ මතකයට නැගුණු වැඩසටහන් තුනක් ගැන පමණයි. තවත් වැඩකටයුතු රාශියක් තිබෙනවා.


මෙරට ශ්‍රමිකයන් අතර කාන්තා සහභාගීත්වය අඩු වීම ගැටළුවක්. එය වැඩිකළ යුතුයි. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල දෙස බැලූ විට කාන්තා සහභාගිත්වය වැඩියි. නමුත් ශ්‍රම බලකාය තුල කාන්තා සහභාගිත්වය ඉතා අඩුයි. මේ තත්වය වෙනස් කළ යුතුයි. රටක ආර්ථික දියුණුක් සඳහා කාන්තා සහභාගිත්වය අත්‍යවශ්‍ය කරුණක්. කෙටි කාලයක් තුල කාන්තාවන්ට දේශපාලන බලය, නියෝජනය ලබාදීමට අපට හැකිවුණා
කාන්තාවන්ගේ  සාධාරණත්වය වෙනුවෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරනවා. ආර්ථික වශයෙන්ද කාන්තාවන් ශක්තිමත් කරනවා. මෙම ක්‍රියාදාමය ඉදිරි වසර ගණනාවක් තුල ක්‍රියාත්මක කිරීම තුලින් අපට අවශ්‍ය නිසි ප්‍රතිපළ ලබාගත හැකියි. එමගින් ශ්‍රම බලකාය තුල කාන්තා දායකත්වය අඩකට වඩා වැඩිවනු  ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. කාන්තා ඔබ සියළු දෙනාට මම සුභ ප්‍රාර්ථනා කරනවා.‘‘ යන්නයි.