වසරක් ගියද ප්‍රතිසංස්කරණය නොවූ ඵෙතිහාසික කඩුගන්නාව අම්බලම


කෝටුවක ආධාරයෙන් තිබෙන කඩුගන්නාව අම්බලම 

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි කඩුගන්නාව අම්බලම, ශ්‍රී ලංකාවේ පිහිටි පැරැණි අම්බලම් අතරින් එකකි. කොළඹ සිට මහනුවර දක්වා A1 මහා මාර්ගයේ ගමන් කරනවිට හමුවන, කඩුගන්නාව වැලමිට වංගුවට මීටර කිහිපයක් මෙහාට වන්නට, පාරේ වම්පසින්, මේ ඉපැරැණි අම්බලම පිහිටා ඇත. 2018 වසරේ පෙබරවාරි 20 වැනිදා සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෙම අම්බලමට දැඩි හානි සිදුවූ අතර අද එහි පියැස්ස රැඳී පවතින්නේ කෝටුවක ආධාරයෙනි. 

මීට පෙර 2015 වසරේදී ද බස් රථ අනතුරක් හේතුවෙන් මෙම අම්බලමේ ඉදිරිපස කොටසට දැඩි හානි ඇතිවිය. මහනුවර යුගයේ අනන්‍යතාව පෙන්වන මෙම අම්බලම සුරක්ෂිත කිරීමේ කාර්යභාරය වෙනුවෙන් බලධාරීන්ගේ අවධානය යොමුවෙනු ඇති බව අප බලාපොරොත්තුවයි. 

කඩුගන්නාව අම්බලමේ ඵෙතිහාසික වැදගත්කම 

කඩුගන්නාව අම්බලම මෙරට පිහිටි අම්බලම් අතරින් පැරණිතම එකකි. 18 වැනි සියවස මුල් යුගයේදී ඉදිකරන්නට ඇතැයි සැලකෙන කඩුගන්නාව අම්බලම ද, මේ වනවිට වසර 200 ක් තරම් පැරැණි ය. ඉංග්‍රීසි පාලන සමයේදී මෙය ඉදිකරන ලද පැවසේ. 

වාස්තු විද්‍යාත්මක අතින් සුවිශේෂී වටිනාකමක් වන මෙම අම්බලම මහනුවර යුගයේ වාස්තු නිර්මාණ කලාවට සමාන බවක් පෙනේ. 
අනතුරට පෙර 


ලංකාවේ අම්බලම් 

මගීන්ගේ ගිමන් නිවීම සඳහා අතීතයේදී මහමඟ තැනූ ගිමන්හල් ‘අම්බලම‘ලෙස හැඳින්වේ. වැලිවිටියේ ශ‍්‍රී සෝරත හිමියන් සිංහල ශබ්ඳ කෝෂයේදී අම්බලම හදුන්වන්නේ ‘මගියන්ට විශ‍්‍රාම ගැනීම සදහා මාර්ගාසන්නයෙහි කළ ගෙවල්’  ලෙසයි. 

රොබට් නොක්ස් අම්බලම ගැන පවසන්නේ මෙලෙසිනි, 
‘‘ඔවුන් බොහෝ දෙනෙකු එක්ව ගමන් යනවිට පාරවල් පටු හෙයින් පෙළකට යා හැක්කේ එකෙකුට පමණක් වුවද ඔවුහු විසි දෙනෙක් වෙත් නම් ප‍්‍රථමයාගේ සිට අන්තිමයා දක්වා හැම දෙනාගේම සාකච්ඡාවට භාජනය වන්නේ එකම තර්කයකි. නැතහොත් කාරණයකි. මෙසේ ඔවුහු හැම දෙනම එක්වී කථා බස් කරමින් යති. හැම මිනිසාගේම මුළු ගමනටම සෑහෙන තරම් ආහාර ද්‍රව්‍ය පිටේ එල්ලාගෙන යයි. වැඩ කටයුතු හමාර වී ඉස්පාසු ඇතිවිට ඔවුන්ගේ භාෂාවෙන් අම්බලම් යැයි කියන ආගන්තුකයන්ගේ හා මගීන්ගේ නැවතීම සඳහා සාදා තිබෙන ස්ථානයන්ට රැස් වී  වාඩි ගෙන බුලත් කමින් එකිනෙකා දෙස සන්සුන් ලෙසත් උදාර ලෙසත් බලාගෙන රාජ සභාවේ කටයුතු රජු සහ ප‍්‍රධානින් අතර කටයුතු හා නඟරයේ මිනිසුන් යෙදී සිටිනා රැකී රක්‍ෂා සම්බන්ධයෙන් සම්භාෂණයෙහි යෙදෙති‘‘ යන්නයි. 





ඡායාරූප දායකත්වය - රුවන් මීගම්මන