ලෝක නාට්‍ය දිනය අදයි


ලෝක නාට්‍ය දිනය අදට (27) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු, 'ජාත්‍යන්තර රංගකලා ආයතනය' (International Theatre Institute - ITI), වර්ෂ 1961 දී 'ලෝක නාට්‍ය දිනය' (World Theatre Day - WTD) සැමරිය යුතු බවට තීරණය කළේය. 

ඒ අනුව, මාර්තු මස 27 වන දින 'ලෝක නාට්‍ය දිනය' වෙනුවෙන් වෙන් කෙරුණි. ඉන්පසුව වර්ෂ 1962 දී පටන්, ලොව පුරා 'නාට්‍ය දිනය' සමරමින්, විවිධ වැඩසටහන් පවත්වනු ලබන අතර ශ්‍රී ලංකාවේ, රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය මඟින්, මේ සඳහා දායකත්වය දරයි. 

යුනෙස්කෝවට අනුබද්ධ, 'ජාත්‍යන්තර රංගකලා ආයතනයේ' ශ්‍රී ලාංකේය නියෝජිතයා ලෙස වසර 20 කට අධික කාලයක් වාර්ෂිකව, 'ලෝක නාට්‍ය දින' සැමරුම, 'ටවර් හෝල් රඟහල පදනම'(Tower Hall Theater Foundation) මඟින් පවත්වනු ලබන අතර, මෙවරද එය 2019 මාර්තු මස 27 වැනි දිනට යෙදී තිබෙන 'ලෝක නාට්‍ය දිනය' වෙනුවෙන් පැවැත්වීමට නියමිතය. ඒ අනුව අද උදෑසන 8.30 ට නෙළුම් පොකුණ රඟහල අසළින් සංස්කෘතික පාගමනක් ද ආරම්භ වීමට නියමිතය.   

නාට්‍ය කලාවේ වැදගත්කම පිළිබඳව දැනුවත් කෙරෙන සංස්කෘතික පා ගමනක් සහ නාඩගම් යුගයේ සිට වර්තමානය දක්වා බිහිවූ ජනප්‍රිය ගීත සමුදායක් අන්තර්ගත වූ ටවර් රඟහල 'මියැසි විසිතුර' ප්‍රසංගය පැවැත්වීමට ද නියමිතය. 




(මයික් ඇන්තනි ප්‍රනාන්දුගේ සටහනක් ඇසුරිනි)