‘‘මාධ්‍ය අරුණ‘‘ ණය යෝජනා ක්‍රමයට අයදුම්පත් කැඳවේ



ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහල නැංවීමේ අරමුණින්, මුදල් අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් ක‍්‍රියාවට නංවනු ලබන 2019 ‘‘මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක‍්‍රමය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත. 

මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ තුනක උපරිමයකට යටත්ව පොළී රහිත ණය මුදලක් හෝ තමන් සතුව පවතින මාධ්‍ය උපකරණ වැඩිදියුණු කරගැනීමට රුපියල් එක් ලක්ෂ පනස් උපරිමයකට යටත්ව පවතින පොළී අනුපාතයෙන් 50% ක පොළී සහනයක් යටතේ ණය ලබා දෙනු ඇත. 

වසර තුනක සේවා කාලයක් සපුරා ඇති වයස අවුරුදු 60ට අඩු දිවයිනේ පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයෙහි නියැලී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන් හට මෙම  ‘‘මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක‍්‍රමය සඳහා අයදුම් කළ හැකිය.

පරිගණක (ලැප්ටොප්/ඩෙස්ක්ටොප්/අයිපෑඩ්) කැමරා, ෆැක්ස් යන්ත‍්‍ර, ඩිජිටල් පටිගත කිරීමේ යන්ත‍්‍ර සහ ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් නිර්දේශ කරනු ලබන මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට හෝ වැඩිදියුණු කර ගැනීම ස`දහා මෙම ණය මුදල ලබා දෙනු ඇත. 

2017 හා 2018 වර්ෂවලදී පිළිවෙලින් මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ මාධ්‍යවේදීන් 823ක් හා 554 දෙනෙකු තෝරා ගන්නා ලදී. මෙහිදී අයදුම් කළ සුදුසුකම් සපුරා ඇති සියළු මාධ්‍යවේදීන්  තෝරා ගෙන බැංකුව වෙත ඉදිරිපත් කර ඇත. මෙවර මෙම ණය යෝජනා ක‍්‍රමය මහජන බැංකුව හා ප‍්‍රදේශීය සංවර්ධන බැංකුව මඟින් ක‍්‍රියාත්මක කරනු ලැබේ. 


‘‘මාධ්‍ය අරුණ” ණය යෝජනා ක‍්‍රමය සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2019.04.30 දින හෝ එදිනට පෙර ලැබෙන සේ අධ්‍යක්ෂ (මාධ්‍ය, ජනමාධ්‍ය අමාත්‍යංශය, ‘‘ඇසිදිසි මැදුර”, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.


මේ පිළිබඳව වැඩි විස්තර හා අයදුම්පත් සඳුනි මෙනෙවිය හෝ චන්දන මහතා දුරකථන අංක 0112513645 / 0112513459 / 0112513460  මගින් අමතා හෝ වෙබ් අඩවියෙන් ලබාගත හැක.