මෝදීගේ ජයග්‍රහණය සහ ලංකාවේ විචාර

| නිලන්ත ඉලංගමුව

නරේන්ද්‍ර දමොදර්දාස් මෝදීගේ නමවත් ( සහය ඇමුණුම 1 සහ 2  ) නිවැරදිව උච්චාරණය කිරීමට සහ ලිවීමට නොහැකි විද්වතුන්, දේශපාලන විචාරකයින් සේම ඇතැම් මාධ්‍ය සගයන්ද ඔහු ගැන විවිධ මට්ටමේ කතන්දර ගොතන ආකාරය පෙනේ. මෙය විහිළුවක් පමණක් නොව, රටේ පවතින ඛේදනීය තත්වය මින් මනාව පෙන්නුම් කරනු ලබයි. සිංහල බාසාවේ මෝඩී යනු, සාමාන්‍යයෙන්  භාවිත කරනු ලබන්නේ මෝඩයා යන විශේෂණයෙහි ස්ත්‍රී ලිංගික පදය ලෙසය.

මේ අතර, නරේන්ද්‍ර මෝදී ජයග්‍රහණය කිරීමත් සමඟ ඔහු මහින්ද රාජපක්ෂ හා  බොහෝ සමානකම් ඇති බව ඇතැමුන් පේනවා දී ඇත. මෙය සැබවින්ම සමාන වන්නේ මීට දින කිහිපයකට පෙර ඉරාණ විප්ලවය පිටුපස සිටි එක් වැදගත් චරිතයක් වන ඛෝමෙණී සමඟ මාදුළුවාවේ සෝභිත හිමි සංසන්ධනය කිරීමටය.

මෙහිදී ලංකාවේ දේශපාන විචාරකයින් සතුවන ගති ලක්‍ෂණයක් වඩාත් පහසුවන් හඳුනා ගත හැකිය. එනම් විදේශ රටවල පහළ වූ සහ පහළ වෙමින් ඇති පුද්ගලයින් ලංකාවේ බිහි වූ සහ බිහිවෙමින් පවතින  චරිත සමඟ ගැලපීමට සෑම විටම උත්සහ කිරීමයි. එය සිදු නොකළයුතු දෙයක් වුවත් බොහෝ විට මෙය පොදු පුරුද්දක් බවට බොහෝ විචාරකයින් සේම පුද්ගලයින් පත්කර ගෙන ඇති සැටියෙකි. මෙය හුදූ මෝඩකම ලෙස විස්තර කළ නොහැකි නමුත් මීට දූපත් මානසිකත්වය ලෙස අර්ථ ගැන්විය හැකිය. මෙනිසා වීරයින් සහ මහාපරිමාණ බුද්ධිමතුන් ලෙස සිතාගෙන තම ආත්මාභිමානය විකුණන වෙළෙන්දන්ට මෙහි එනම් දූපතේ විශාල ඉඩක් තිබේ.

මෝදී යනු මෝදීය, රාජපක්ෂ යනු රාජපක්ෂය, රාජපක්ෂ මෝදී වන්නේ හෝ ඔහුගේ අහලකින්වත් තැබිය හැකි නායකයෙක් නොවේ. රාජපක්ෂ වැනි අලුගුත්තේරුවෙකු මහා දරුණු න්‍යායක නායකයෙකු සමඟ ගැලපීමට උත්සහ කිරීම සැබවින්ම අනෙකා හිතා මතාම මුලාවට ඇද දැමීමකි.

භාරතීය ජනතා පක්ෂය වූ කලී හින්දූත්වය මත පදනම් වෙමින් ඒ වෙනුවෙන් අති විශාල මුදල් සම්භාරයක් වියදම් කරන දේශපාලන පක්ෂයකි. එම පක්ෂයට නායකයින් නිර්මාණය කිරීම යනු වසර ගණනාවක වැඩපිළිවෙලකි. මෝදී ආර්.එස්.එස්. හෙවත් පක්ෂයේ ස්වේච්ඡා සන්නද්ධ බලඇණියට එකතුවන්නේ තමන්ට වයස අවුරුදු 10 දීය.  මෝදීගෙන් පසු නායකයා වන්නේ කවුරුන්ද යන්න පවා මේවන විට භාරතීය ජනතා පක්ෂය තීරණය කොට ඇත. ඊට පළමු පෙළක් , දෙවැනි පෙළක් මෙන්ම තෙවැනි සහ සිව්වැනි පෙළක් ආදී වශයෙන් වූ පක්ෂයක තිබිය යුතු මූලික ගුණාංග තිබේ.

නමුත් ලංකාවේ දේශපාලන පක්ෂවලට මෙවැනි තත්වයකට පැමිණීම තබා කිට්ටු වීමටවත් නොහැකිය. ඊට අවස්ථාවක් තිබුණි. නමුත් එකිනෙකාගේ ගූඪ ආත්මාර්ථකාමී අභිප්‍රායන් හේතුවෙන් එය  වළක්වනු ලැබීය. කොටින්ම කිවහොත් ලංකාවේ දේශාපලන පක්ෂ යැයි ඇත්තේ කුහකත්වයෙන් පිරුණු තම පෞද්ගලික අසාවන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා වන එකතූන් මිස රටේ අවශ්‍යතාවයන් ගැන සලකා කටයුතු කිරීමේ හැකියාව සහ කෞෂල්‍ය ඇති දේශපාලන පක්ෂ නොවේ. එය යම් පමණකට හෝ පවත්වා ගනු ලැබුවේ එක්සත්  ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණයි. නමුත් ඒවායෙහි වත්මන් තත්වය මේ වනවිට කණගාටු දායකය.  භාරතීය ජනතා පක්ෂය වූ කලී ඉන්දීය දේශපාලනයේ තම අනන්‍යතාවය තහවුරු කරගත් දේශපාලන පක්ෂයකි. ඊට පුද්ගල අනන්‍යතාවයකට වඩා වැදගත් වන්නේ පක්ෂයේ ප්‍රතිපත්තීන්ය.  

නමුත්, රාජපක්ෂ වූ කලී තම පෞද්ගලික ජීවිතය සහ ලිංගික සුඛ විහරණය ( ඔහුගේ බසින් ගෙරිමස් කෑම ) නමැති මුලික අසාවන් වලින් දිව යන පුද්ගලයෙකි. මෙය තමන්ට අවශ්‍ය ආකාරයෙන් පහසුවෙන් සිදුකරගැනීම සඳහා ඔහුට බලය සහ මුදල් අවශ්‍ය වේ. ඒ වෙනුවෙන් ඔහු කළ හැකි සියලුම දේ කරනු ලබයි. එහි ප්‍රතිඵලය  ඔහු දේශපාලන පක්ෂ නමැති පෘථුල සංවිධානාත්මක ප්‍රජාව නමැති කාරණය හෑල්ලුවකට ලක් කරනු ලැබීමය. රටේ විධායක ජනාධිපති ලෙස  ඔහුව නීතියෙන් මුක්ත වූ අයෙකි. නමුත් ලංකාවේ නියම දේශපාලන පක්ෂ සංවිධානයක් තිබේ නම්, ඔහු නියෝජනය කරනු ලබන පක්ෂයට අනුව සහ එම පක්ෂයේ සම්ප්‍රදායට අනුව ඔහු සුදුසු නොමැති තැන ඉවත් කිරීමේ බලය තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂවලට හිමි ගරුත්වය සහ ශක්තිය එයයි. ලංකාවේ එවැන්නක් නැත. 

මෝදී ජයග්‍රහණය කොට ඇත. ඇතැම් මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රාන්තවලින්ද ඔහුගේ පක්ෂයට බලය ලැබී තිබේ. මීට හේතුව කොංග්‍රස් පක්ෂය එහි මෑත ඉතිහාසය තුළ මුහුණදුන් අභ්‍යන්තර අරගල බව අමුතුවෙන් කිව යුතු නැත. කොටින්ම කිවහොත් මන්මෝහන් සිං අගමැතිවරයා ලෙස පවත් වනු ලැබූ අවසාන රාත්‍රී  භෝජන සංග්‍රහයට යෑම පවා රාහුල් ගාන්ධි වර්ජනය කරනු ලැබීය. පක්ෂය තුළ දූෂණය, දේශපාලන බලය අවභාවිතය සහ අලසකම ආදී ලක්ෂණ මැතිවරණයට ආසන්න මාස කිහිපය තුළ වඩාත් විනිවිදව පෙන්වනු ලැබීය. විශේෂයෙන් දිල්ලි නුවර, බහු පාර්ශවීය ස්ත්‍රී දූෂණ වලට එරෙහි සිදු වූ ප්‍රභල විරෝධයේදී කොංග්‍රස් පක්ෂය දක්වූ ඇල්මැරුණු ප්‍රතිපත්තිය බොහෝ දෙනෙකුගේ කළ කිරීමට හේතු වූහ. අදාළ ඛේදනීය සිදුවීමේදී පක්ෂ නියෝජිතයෙකුට තම සංදේශය භාරාදීම සඳහා පැය 48කට වැඩි කාලයක් බලා සිටීමට විරෝධතා කරුවන්ට සිදු වූහ.  මෙවැනි කාරණා හේතුවෙන් නරේන්ද්‍ර මෝදී හට ගුජරාට් ප්‍රන්තයේ සිදුවූ සියලුම දේශපාලන ගැටලු වසාගෙන  ඉන්දීය දේශපාලනයට ආ මෝසෙස් ලෙස පෙනී සිටීමට හැකි විය. ඒ සඳහා ඔහු නව සන්නිවේදන තාක්‍ෂණික මෙවලම්  සෑම මොහොතකම භාවිතා කළේය.

ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා බහුජාතික සමාගම් සේම රටේ බහුතර මාධ්‍ය ඍජුව පෙනී සිටියහ. ඔහු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමටත් වඩා තාකෂණය භාවිතා කරනු ලැබූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට අනුව ඔහු තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේදී ගමන් කොට ඇති සැතපුම් ප්‍රමාණය ලක්ෂ තුනකට වැඩිය. එසේම 3ඩි ( ත්‍රිමාණ) තාක්ෂණය භාවිතයෙන් ඇතුළු ඔහු භෞතිකව සහභාගී වෙමින් ඇමතු රැස්වීම් සංඛ්‍යාව 5500කට ආසන්නය.

මෝදී ජයග්‍රහණය කිරීම පුදුම විය යුතු කාරණයක් නොවේ. එය බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ කාරණයකි. නමුත් තනි පක්ෂයට මේ ආකාරයෙන් සුවිශාල බලයක් ලැබීම තීරණාත්මක වන්නා සේම සහ එය බලාපොරොත්තු නොවූ කාරණයකි. මෙය කෙසේ සිදු වූ දෙයක්ද යන්න නිවැරදිව කිව නොහැකි වුණත්, එය ඉන්දීය දේශපාලනයේ සිදු වූ විප්ලවයකි. විශේෂයෙන් අසාම් සහ උත්තර් ප්‍රදේශ් වැනි ප්‍රාන්ත වල වෙසෙන මුස්ලිම් ජන කොටස් වලින්ද සැලකිය යුතු වැඩි ඡන්ද ප්‍රමාණයක් භාරතීය ජනතා පක්ෂයට ලැබී තිබේ. නමුත් කේරල සහ කර්ණාටක ප්‍රාන්ත වල තත්වය වෙනස්ය. එසේම පොන්ඩිචේරී හී තත්වයද වෙනස්ය.

කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂයට තම අභිමතය පරිදි ලොක් සභාවේ කටයුතු කිරීම සඳහා බලය ලැබී තිබේ. මේ නිසා පාර්ලිමේන්තුව තුළ බල තුලනය කිසි ලෙසකින් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් ඉන්දීය අධිකරණය සේම අනෙකුත් රාජ්‍ය ආයතන පද්ධතිය ලංකාවේ ජනාධිපතිවරයා මෙන් කාබාසිනියා කොට නැත. එම ආයතන වලට තවමත් තම බලය ගරුත්වයෙන් යුතුව භාවිතා කළ හැකිය. මෝදී  ඇතුළු පාලක පක්ෂය පරීක්ෂණයට ලක්වන්නේ එම රාජ්‍ය ආයතන ඔස්සේය.

ලංකාවේ රාජපක්ෂ සමඟ  මෝදී ගැලපීමට යන්ත දරණ ඇතැම් විචාරකයින් හාස්‍ය ජනක ලෙස මෙම කාරණය අමතක කොටදමා නොදන්න ජාතිකත්වයක් ගැන කතා කරනු ලබයි. රාජපක්ෂ වූ කලී ජාතිකත්වය මත පදනම් වූ නායකයෙක් නොවේ. ඔහු ප්‍රාදේශීය අනන්‍යතාවයේ හෙවත් ගිරුවාපත්තුවේ ලක්ෂණ ජාතික තලයට ගෙන ආ අයෙකි. ඒවා ඉතා සුක්‍ෂමව තම වාසිය වෙනුවෙන් භාවිතා කළ අයෙකි. ජාතික ඇඳුමින් එහි හෙළුව වැසූ පමණින් ඊට ජාතිකත්වය යැයි කීම මුලාවකි.

ජාතිකත්වය හරි හැටි පැළ පදියම් වී ඇති රටක අඩු තරමින් නිදහස් සහ සාදාරණ මැතිවරණයක් හෝ පැවතිය හැකිය. ඉන්දීය මැතිවරණ යනු විනිවිදභාවයෙන් යුතු දෑය. ලංකාවේ මෙන් ජිල්මාර්ට් කටයුතු ඉන්දියාවේ කළ නොහැකිය. මෝදී ඉන්දියාවේ 14 වැනි අගමැති ලෙස දිවුරුම් දී මාස කිහිපයක් ගිය පසු ඉන්දියාවේ කුඹුරු වලින් හෝ කුණු ගොඩවල් වලින් මැතිවරණයේදී භාවිත කළ ඡන්ද  පත්‍රිකා ගොඩ ගන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය වූ කලී මෙයයි. ඔබේ ඔළුගෙඩි වලට හෙණ වැදී අත්තේනම් ලංකාවේ සිදුවී ඇති විකෘති දේශපාලනය සහ එය ඇතිකළ පුද්ගලයා සමඟ ලෝකයේ ඕනෑම අයෙකු සංසන්දනය කරමින් තම වින්දනය ලබා ගත හැකිය. නමුත් ඔබ සිදු කරන්නේ රාජපක්‍ෂලා කළ හානියටත් වඩා හානියක් බව අමතක නොකළ යුතුය.

මෝදී තම දේශපාලනය ස්ථානගත කොට ඇත්තේ හින්දූත්වය සහ ඔහු වටා ඒක රාශී වී ඇති මහාපරිමාණ බහුජාතික සමාගම් වලට ඇති න්‍යායන් මතය. ඒක් භරත් - ශ්‍රේෂ්ඨ භරත්”, නමැති භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිය වී  ඇත්තේ මෙම මූලික අන්තයන් දෙක මත  පිහිටා සිටිමිනි. එහි කිසිඳු තැනක ගුජරාට් ප්‍රාන්තයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු වූ අපරාධ ගැන හෝ මින් පසු එවැනි දෑ සිදු නොවන බවට කටයුතු කරන බව සඳහන් කොට නැත. එසේම ඔහු ඉදිරිපත් කළ බොහොමයක් කතාවන් වල ව්‍යුහය ගත් කළ එය සමාන වන්නේ ඇඩෝෆ් හිට්ලර් බලයට ඒමට පෙර කළ කතා වලටය. මේ නිසා ප්‍රතිඵලය දෙස බලා ශුභ සිහින දැකීමට නොහැකි අතර ඉන්දීය දේශපාලනය තුළ සිදුවී ඇති වෙනස වඩාත් ගැඹුරින් කිය විය යුතු කාලය එළඹ තිබේ. ඒ සඳහා ස්වාධීන බුද්ධිමතුන්ගේ සහ විචාරකයින්ගේ මැදිහත්වීම අත්‍යවශය වේ.