ඔලුව වෙනුවට කඳ-බඩ හැදූ අමන පියෙක්

| නිලන්ත ඉලංගමුව

ඉදිරිපත් කිරීමට යන සම්පූර්ණ කථාව කේන්ද්‍ර ගත වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විෂය කොට ගනිමිනි. ඔහු රටට පමණක් නොව තම පවුලටද අතිශය හානියක් කර පුද්ගලයෙකු බවට පත්වීම සඳහා තල්ලු කරනු ලැබුවේ කුමක්ද? සීමාව ඉක්මවා බලය ලැබුණු විට සහ එම බලය නිසිලෙස කළමනාකරණය කිරීමට මොළයක් නොලැබුණු විට ඕනෑම අයෙකු මුහුණදෙන උභතෝකෝටිකයේ ප්‍රතිඵලය එයයි. සැබවින්ම මෙම සීමා රහිත අමන භාවිතය වඩාත් විශාල කරනු ලැබුවේ රට සාමූහික වශයෙන් එකතු වී යුද්ධය නිමා කිරීම හෙවත්, “ ගැඹුරට විහිදීගිය සමාජ  අවුලක් විසඳා ගැනීම සඳහා ඇති වූ තර්කානුකූල විරෝධය යුධමය වශයෙන් යටපත් කිරීම”, නමැති සමාජ ප්‍රවනතාවය මඟිනි.   

නව-ගෝත්‍රික ( නියෝ ට්‍රයිබල්) සමාජ ක්‍රමය පවත්වා ගැනීම සඳහා මතු වූ විරෝධයන් සමූල ඝාතනය කොට වළලා දැමූහ. එම ඝාතනය සඳහා රටේ මහජනතාවගේ බදු මුදල් මෙන්ම රටේ මිනිසුන් හැකි උපරිමයෙන් භාවිතා කරනු ලැබූහ. අපේ මිනිසුන් විසින් අපේම මිනිසුන් මරා වළලනු ලැබූහ. මෙම මුලික කාරණයට ගරුකොට ගනිමින් එම මියගිය උන් වෙනුවෙන් සදාරණය ඉල්ලීමේ මුලික අයිතියක් මෙන්ම යුතුකමක් අප හැම දෙනෙකුටම තිබේ. මැරූ හැම අයෙක් වෙනුවෙන්ම නිවැරදි පැහැදිලි කිරීමක් ලබාදීම ඊට නායකත්වය දුන් අයවලුන්ට පැවරෙන ජාතික වගකීම වේ.

නමුත් එවැන්නක් වෙනුවෙන් නැගිටීම වෙනුවට. අඥාන දේශපාලනයක වගඋත්තර කරුවන් වී එලොව නොයාම  නිවන් දැක හෝ මරණින් පසු වෙනත් සුඛිත මුදිත භවයක් ලබා ගැනීම වෙනුවෙන් අපි කොන්ද පණ නැති ජාතියක් මෙන් රැයක් දවාලක් නොබලා පින් අනුමෝදන් කරමින් , පිරිත් නූල් මත තව නූල් ගැට ගසා ගනිමින් සිටින්නෙමු. පවතින වත්මන් ජීවිතිය ගැන කිසිඳු වගකීමක් නොගෙන ඒ දෙස මෙතරම් ඍනාතමකව බලන ජාතියක් මේ මිහිපිට තවත් තිබිය නොහැකිය.

එය “බුද්ධ ධර්මය” යැයි හඳුන්වමින් ව්‍යාජ අවුලක අපේ පෞද්ගලික ජීවිත පටලවා ඇත. මෙය බුද්ධ ධර්මයට  මුළුමනින්ම පටහැනි කටයුත්තක් වන අතර එමඟින් අතිශය අවසනාවන්ත ජාතියක් ලෙස අපි ලෝකය හමුවේ නැගී සිටින්නෙමු. තම භක්තිය සඳහා පච්චයක් කොටා ගත් කාන්තාවක් එලවා දමා බුද්ධ භක්තිය පෙන්වූ මෙම ශ්‍රේෂ්ඨ ජාතිය, තම මිතුරිය සමඟ ලංකාවේ සිරි නැරඹීමට ආ අයෙකුව මරා දමා එම කාන්තාව දුෂණ කළ  මනුෂයෙකු ලෙස උපත ලැබූ හිවලෙකු වෙනුවෙන් පෙනී සිටින්නෙමු. සැබෑ බුද්ධ ධර්මය අනුගමනය කරන්නේ නම් රටේ සෑම වීදියක් පුරාම අදාළ හිවලාට එරෙහිව උද්ඝෝෂණ පැවැත්විය යුතුව තිබුණි. සියලුම අවාසනාවන්ත තත්වයන් සිදුවන්නේ මෙම ඔලමොට්ටල භක්තිය නිසාය. රටේ ඇති වූ බහුතර නායකයින් ඇති වූයේද මෙම පැළපදියම් කරනු ලැබූ මනෝභාවය හේතුවෙනි. මන්ද එය භාවිතා කොට අනෙකාව රැවටීමට පමණක් නොව එමඟින් පිස්සු වැට්ටීමට පහසුය. රාජපක්ෂ රටට පමණක් නොව තම පෞද්ගලික  පවුලටද සිදු කළේ මෙයයි.

අපේම මිනිසුන් විසින් අපේම මිනිසුන් මරා මෙම මහා පොළවේ වැළලීම හෝ මුහදට විසිකිරීම,  ජනාධිපති රාජපක්ෂට අනුව ජයග්‍රහණයක් නොව විජයග්‍රහණයකි. ඒ ඔහුගේ වචනය.  නමුත් රටේ ඇති සැබෑ ගැටලු ඉස්මතු වීම යුද්ධය නිමා වීමත් සමඟ දැක ගත හැකි වූ අතර එම ගැටලු විසඳීම සඳහා රටේ ගැඹුරු පදනමක් සහිතව හැදුණු ඥායක් තිබිය යුත්තේය. නමුත් එවැන්නක් නැත. රටේ  ජනිත වූ සැබෑ මොළ වලින් වාසීලබා ගනු ලැබුවේ මෙන්ම ලබාගනිමින් ඇත්තේ වෙනත් රටවල් විසිනි. රටේ බුද්ධිය රට හැර යන විට ඊට ආදේශ වන්නේ වචනයෙන් විස්තර කිරීමට පවා නොහැකි ඛේදනීය ගූඪත්වයයි. ලේඛකයාගේ සිට සෑම ක්ෂේත්‍රයකම සිටින අයවලුන් දෙස බැලූවිට මෙය කදිමට පෙනේ. මේ වනවිට මවාගත් වීරත්වයකින් සෑම ක්ෂේත්‍රයකම තම අධිකාරීත්වය අත්පත් කරගෙන ඇත්තේ එම ඛේදනීය තත්වය මඟින් ඉහළට ආ කළ අයවලුන්ය. ජනාධිපති රාජපක්ෂ තම දරුවන්ට සිදුකරනු ලැබුවේද එයයි.

ඔහුගේ එක් පුත්‍රයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දේශපාලනයට ඒමට සිහින දකින අවදියේදී ඔහු සමඟ පළමු සම්මුඛ සාකච්ඡාව කරනු ලැබුවේ මා විසිනි. දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් වූ එහිදී ඔහු තම පිළිතුරු මඟින් වර්ධනය වෙමින් ඇති බුද්ධියක් පෙන්නුම් කරනු ලැබුවද, ඉතා කෙටි කාලයක් තුළදී ඔහු රටට ගෙන්වා ජනාධිපති රාජපක්ෂ දේශපාලනයට තල්ලු කරනු ලැබුවේය. ඉන් පසු ඔහු ගෝත කරුමයක් බවට ක්‍රමිකව පත් කර ගැනීමට ඔහු වටා ඒකරාශී වූ පිරිස සමත් වූහ. කිසිඳු විවාදයක් නැත. ජනාධිපතිවරයා සතුව සිහින රාශියක් තිබුණි. නමුත් එම සියලුම සිහින සීමා රහිත බලය මඟින් ඇති කරණ අන්ධබාවයේ ප්‍රතිඵලය. එය රටේ විකෘති කරනු ලැබූ ක්‍රමය මඟින් නිසැකවම තම පෞද්ගලික අභිමතාර්ථයක් මුදුන් පමුණුවා ගැනීමට පමණක් නොව, සමාජ විකෘතිය තවදුරටත් එලෙසම පවත්වා ගැනීමටද තල්ලු කරනු ලබයි. පුද්ගලයෙකු තමන් ඉපදෙන මාතෘ භූමියකට කළ හැකි බරපතළම හානිය මෙන්ම අපහාසය වන්නේ මෙයයි. එවැනි තත්වයක් යටතේ වාසී ලබා ගැනීමට විශාල පිරිසක් එකතු වීම ස්වභාවිකය. රාජ්‍ය නායකයෙකුගේ වගකීම වූ කලී මීට හාත් පසින්ම වෙනස් දෙයකි.

මෙම විකෘතියෙන් ඵල ප්‍රයෝජන ගැනීම පටන් ගත්තේ කෙසේද යන්න දීර්ඝව විමසා බැලිය යුතු සමාජ පර්යේෂණයකි. අවාසනාවට මෙන් එවැනි දිගුකාලීන පර්යේෂණයක් සිදු කිරීමට රටේ විශ්ව විද්‍යාල පද්ධතියේ කුමන ස්ථානයක හෝ අවධානයක් යොමු වී නැත. එසේම එවැනි කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදනද නැත. ඒ වෙනුවට විශ්ව විද්‍යාල පමණක් නොව ඒ හා සමාන අනෙක් ආයතනද මෙම විකෘතිය පවත්වා ගැනීම සඳහා සහය වේ. ඉතා කෙටි කාලයක් තුළ රටේ නායකයින් ලෙස පත් වූ අයට, මහාචාර්ය පදවි සහ අනෙකුත් ආකාරයේ රාජ්‍ය සම්මාන ලබා දුන් ප්‍රධාන පෙළේ රටක් වන්නේ අපේ රටයි. නිතී ක්‍ෂේත්‍රයට වුර්තිකයින්  පුහුණු කරන ආයතනයක් රටක නීතියක් විකෘති කළ අයෙකුට එම ආයතනයේ ඉහළම සම්මානයෙන් පිදීම මඟින් පමණක් ගෙන බැලුවද, රට මුහුණ දී ඇති තත්වය පැහැදිලි කරගත හැකිය.

මෙවැනි දෑට හාත් පසින්ම වෙනස් වූ දෑ රටේ සිදු වූ බවට සාක්ෂි ඕනෑ තරම් තිබේ. මීට කලකට පෙර මාගේ මිත්‍රයෙකු ඔහුගේ අත්දැකීමක් හුවමාරු කර ගත්තේය. ඔහු රටේ පිළිගත් විනිසුරුවරයෙකුගේ ( රටේ අධිකරණ පද්ධතිය ගැටලු විසඳීමට ඊට හිමි ස්වාධීන බලය පාවිච්චි කරන අවධියේ සිටි) එකම පුත්‍රයාය. ඔහු අධ්‍යාපනය ලැබීම සඳහා අකමැත්තෙන් පෙළුණු කුලෑටි චරිතයක් වූ අතර සෑම මොහොතකම ඉන් ඉවත් වී තම පියාගේ තත්වය භාවිතා කරමින් අනෙකාව යටපත් කිරීමට උත්සහ කරනු ලැබුවේය. ඔහු අවස්ථා කිහිපයකදී විභාගය අසමත් වූ බැවින් දිනක් ඔහුට සුදුසු සථානය කුමක්දැයි පියා සිතුවේය. ඒ අනුව, දිනක් බටහිර පන්නයට හැඳ පැළඳගෙන රැකියාවකට පුහුණු වීම සඳහා යෑමට තමන් සමඟ එන ලෙස ඔහු තම පුත්‍රයාට කිව්වේය. ඔහුද ඒ අනුව යමින්  පියා සමඟ ගියේය. ඔහු රැගෙන යනු ලැබුවේ, කිසිඳු පිළිවෙලකට නඩත්තු නොවන වහාන අලුත් වැඩියා කරනු ලබන ගරාජයක් වෙතය. ඔහට තරු විසිවුණි. තමන් මවාගෙන සිටි අභිමානය පුහුමානයක් ලෙස අවබෝධ වී එය තමන් ඉදිරියේ දිය වී ගියේය. විනිසුරුවරයා අදාළ ඇඳුම ගලවා එහි කටයුතු ඉගෙන ගැනීම සඳහා කොට කලිසමක් අඳින ලෙස පුත්‍රයාට ප්‍රකාශ කිරීමෙන් පසු, අදාළ ගරාජයේ සිදු කරණ සියලුම කටයුත්තක්ම මනාව උගන්වන ලෙසත්, ඉගැන්වීමෙන් පසු තම පුත්‍රයාට මෙහි දීර්ඝ වශයෙන් වැඩ කිරීමට හෝ වෙනත් තැනක නව ගරාජයක් තනා දීමට කටයුතු කරණ බවත් ඔහු එහි හිමි කරුට දැනුම් දීමෙන් පසු නික්ම ගියේය. දිනය අහවර වී අදාළ පුත්‍රයා නිවසට කඳුළු පෙරාගෙන පැමිණ යළිත් නිවැරදිව ඉගෙන ගැනීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඉන් පසු ගෙවුණු මොහොතේ පටන් ඔහු තම හැකියාවන් උපරිමයෙන් පෙන්වනු ලැබුවේය. සැබෑ පීතෘත්වය වූ කලී එයයි. රටක අනාගත පරම්පරාව නිවැරදි මඟට යොමුකළ හැක්කේ එවැනි පියවරුන්ටය. රටක නායකත්වයට සුදුසු වන්නේද එවැනි පියවරුන්ය.

නමුත් රාජපක්ෂ ජනාධිපතිවරයා, රටේ බලය අතට ගෙන තම ලෙයින් හැදුනු දරුවන්ට පවා උගන්වමින් සිටින්නේ රටේ විකෘතියෙන් ඵල නෙලා ගන්නා ආකාරයය. තම පුත්‍රයන් ඔලුව නැති කඳ-බඩ සහිත වූ අයවලුන් බවට පත්කරන නායකයෙකුගෙන් රටේ අනෙක් දරුවන් කෙසේ නම් බලාපොරොත්තු තබා ගන්නේද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු කාරණයක් නොවේ. ආත්මයක් නැති පොලිසියේ හෙන්චයියන් භාවිත කරමින් තම අයිතිය වෙනුවෙන් සාමකාමීව සටන්වදින ශිෂ්‍යයින්ගේ ඇස් එළියට එන තෙක්  පහරදීම් ගැන තවත් කරව කතාද? මේ රටේ තරුණ ජීවිත බොහොමයක් අකාලයේ මියැදුණේ මෙම බරපතළ කටුක යතාර්ථය නිසාය. සිංහයින්ට තම සැබෑ ජයග්‍රහණය ලිවීමට සැබෑ බුද්ධිමත් ඉතිහාසඥයින් බිහිවෙන තෙක් සිංහයිගේ නැට්ට දඩයම් කළ දඩයම් කරුවන්ට වීරයින් ලෙස වැජඹිය හැකිය. විකෘති සමාජ ක්‍රමයක් මඟින් ත්‍යාග කරන්නා වූ “දේශප්‍රේමීයත්වයේ” හෙළුව මෙයයි. අපේ මාතෘ භූමිය පසු කරමින් සිටින්නේ මෙම අවධියද නොඑසේනම් සුපුරුදු රැවටිලිකාරයාගේ නව රංගනයකට නව ඉඩක් සහ පිළිගැනීමක් ලබා ගැනීම උදෙසාද යන්න ඉතාමත් කෙටි කාලයක් තුළ බලාගත හැකිය.