නානා නැත්නම් ආණ්ඩුව වානා - උපුල් ජෝශප් ප්‍රනාන්දු


ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ මහින්ද ටෙලි නාට්‍යවල රඟපෑවේය. එකල විපක්‍ෂ මන්ත්‍රිවරයකු වූ මහින්ද ටෙලි නාට්‍යවල රඟපෑම මහින්දගේ සමීප සගයන් රිස්සුවේ නැත. එක් ටෙලි නාට්‍යයක මහින්ද රඟපෑවේ ඇමැතිවරයකුගේ චරිතයකි.
 
'මොකක්ද මහින්ද අයියා ඔය ටෙලි නාට්‍යවල රඟපෑවාම ඉමේජ් එකට හරි නෑනේ..'

මහින්දගේ සමීප සගයෝ කීහ.

'මේ යන විදියට ටෙලි නාට්‍යයකවත් ඇමැති කෙනෙක් වෙනවා ඇරෙන්න අපිට කොහේ ආණ්ඩු අරන් ඇමැතිවරු වෙන්නද.....?'

මහින්ද කීවේ මහ හයියෙන් හිනාවෙමිනි. මහින්ද එහෙම කිව්වේ එකල ආණ්ඩු වෙනසක් ගැන හිතාගන්නවත් බැරි කාලයක් වූ නිසාය.

හැබැයි ශ්‍රී ල.නි.ප.ය කොහොම හරි 1994 ආණ්ඩුවක් පිහිටෙව්වේය.
 
'ඒ ප්‍රභාකරන්ට පින් සිද්ධ වෙන්නනේ.....'

සමහරු කියති. හැබැයි ප්‍රභාකරන් ප්‍රේමදාසලා, ලලිත්ලා ඝාතනය කරලා ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවකට පාර කපල දුන්නත් මුස්ලිම් මිනිසුන් නැත්නම් ශ්‍රී ල.නි.ප.යට මේ සම්මජ්ජාතියේ ආණ්ඩු පිහිටුවන්න ලැබෙන්නේ නැත. ශ්‍රී ල.නි.ප.යට 1994 ආණ්ඩුවක් ලැබුණේත් ඒ ආණ්ඩුවේ මහින්ද ඇමැති වී පසුව අගමැති වී ජනාධිපති වෙන්න ලැබුණේ 1994 අෂ්රොෆ්ගේ මුස්ලිම් කොංග්‍රසය ශ්‍රී ල.නි.ප.ය ප්‍රමුඛ පොදු පෙරමුණට ආණ්ඩුව පිහිටුවන්න අවශ්‍ය බහුතරය ලබාදුන් නිසාය.
 
ඒ වෙලාවේ මුස්ලිම් ජනතාව එතෙක් ඇස් වහගෙන ගිහින් අලියට ගහපු කතිරේ වෙනස් කරල අෂ්රොෆ්ගේ ගහට කතිරය ගැහුවේ ශ්‍රී ල.නි.ප.යට ආණ්ඩුවක් හදල දෙන්නටය.

එවකට ජනාධිපති ඩී.බී. විජේතුංග අෂ්රොෆ්ගේ සහායෙන් වසර 17කට පසු ශ්‍රී ල.නි.ප.ය බලයට එන එක වළක්වන්න නැඟෙනහිර සිටි අෂ්රොෆ්ව කොළඹට ගෙන්වා ගන්න නැඟෙනහිරට හෙලිකොප්ටරයක් යැව්වේය. අෂ්රොෆ්ට දහසින් බැඳි පියලි දෙන්න පොරොන්දු විය.
 
'යූ.ඇන්.පී. ආණ්ඩුව වෙනස් කරන්න ඕනා කියන එක මුස්ලිම් ජනයා තීරණය කරල ඉවරයි. මට ඒ තීරණයට විරුද්ධ වෙන්න බැහැ.....'

අෂ්රොෆ් කීවේය.

'නානා නැත්නම් පොදු පෙරමුණ වානා.....'

ඒ කාලේ මිනිස්සු කීවේ එහෙමය.
 
ඇත්තටම ජේ.ආර්. විධායක ජනාධිපති ක්‍රමය හදල සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වල දුන්නේ සුළු ජාතික පක්‍ෂ සහාය නැතිව කිසිම පක්‍ෂයකට මේ රටේ විධායක ජනාධිපතිකමවත් ආණ්ඩුවක්වත් ගන්න බැරි වන විදියටය.

'මුස්ලිම් මිනිසුන් හැමදාම ඉන්නේ යූ.ඇන්.පී.ය එක්ක. සිංහල භාෂා පනත නිසා දමිළ මිනිසුන් ශ්‍රී ල.නි.ප.ය බලයට එනවාට බයයි. මේ දෙගොල්ලෝ අපි එක්ක ඉන්නකන් ශ්‍රී ල.නි.ප.ය ආණ්ඩු පිහිටුවනවා බොරු.......'
 
ජේ.ආර්. හිතුවේ එහෙමය. ප්‍රේමදාසත් හිතාගෙන හිටියේ එහෙමය. එකල ශ්‍රී ල.නි.ප. සහ විපක්‍ෂ නායිකාව වූ බණ්ඩාරනායක මැතිනියට මේ ව්‍යවස්ථා කුණුහරුපය තේරුණේ නැත. අඩුම තරමේ තොණ්ඩමාන්වත් දිනාගන්න උත්සාහයක් ගත්තේ නැත. මුස්ලිම් මිනිසුන් වතුකරයෙන් සහ උතුරු නැඟෙනහිර දමිළයන් කතෝලිකයන් මේ හැමෝම හිටියේ යූ.ඇන්.පී.ය එක්කය. ඡන්ද දිනන්න නම් පළමුව කඩන්න ඕනේ සිංහල බෞද්ධ ඡන්ද නොව මේ ඡන්ද බව හොඳටම තේරුම් ගත්තේ චන්ද්‍රිකාය. ඇය එක් පැත්තකින් අෂ්රොෆ්ව ළංකරගෙන මුස්ලිම් ජනයා සහ ශ්‍රී ල.නි.ප.ය අතර පාලමක් හදාගත්තාය. තොණ්ඩමාන්ගේ දෙවැනියා සෙල්ලසාමි ළංකරගෙන වතුකරයට පාලමක් හදාගත්තාය. කදිර්ගාමර්, නීලන් තිරුචෙල්වම් ළංකරගෙන උතුරේ සහ කොළඹ දමිළ ජනතාවට පාලමක් හදා ගත්තාය. විජයගේ නම හරහා අන්‍ය ආගමිකයන් අතර ශ්‍රී ල.නි.ප.යට තිබුණ බිය නැති කළාය. ඇත්තටම 1994 ශ්‍රී ල.නි.ප.ය බලයට ගෙන ආවේ සිංහල බෞද්ධයන් නොව සුළු ජාතිකයන්ය. ඒ වෙලාවේ සිංහල බෞද්ධයන් හිටියේ විජේතුංග එක්කය. මහනායක හිමිවරුන් පවා හිටියේ විජේතුංග එක්කය.
 
ඒත් චන්ද්‍රිකා හොඳට ගණන් හදලා තීරණය කළේ විජේතුංග කොයි තරම් හොඳට සිංහල බෞද්ධ කාඩ් එක ප්ලේ කළත් අවුරුදු 17ක යූ.එන්.පී. ආණ්ඩුවේ පව් හෝදන්න සිංහල බෞද්ධ කාඩ් එකට බැරි බවය. සිංහල බෞද්ධ ඡන්ද දෙකට බෙදෙන කොට සුළු ජාතික ඡන්ද දිනාගෙන ආණ්ඩුව පිහිටුවන්න ඇය ගණන් හැදුවාය.

ඇගේ ගණන් හැදීම හරි ගියේය. 1994 ශ්‍රී ල.නි.ප.ය බලයට ආවේ සුළු ජාතිකයන් නිසාය.
 
හැබැයි 2005දී එය වෙනස් විය. එය වෙනස් කළේ ජ.වි.පෙ.ය. 2005 මහින්ද ජනාධිපති වුණේ සිංහල බෞද්ධ ඡන්දවලිනි. ඒ, මහින්ද 1994 සිට චන්ද්‍රිකාගේ පව් හෝදාගෙන අලුත් නායකයෙක් ලෙස මතු වෙලාය. 2005 චන්ද්‍රිකා ජනාධිපති අපේක්‍ෂිකාව වී සිංහල බෞද්ධ කාඩ් එක ප්ලේ කළා නම් ඇය පරදියි. හේතුව සිංහල බෞද්ධ කාඩ් එකට ඇගේ පරණ පව් හෝදා ගන්න බැරි නිසාය. මහින්ද 2011දී දින්නේත් සිංහල බෞද්ධ ඡන්ද නිසාය. ඒ යුද්ධය දිනලාය.

අද මහින්ද අලුත් නායකයෙක් නොවේ. යුද්ධයත් දැන් පරණ කාඩ් එකකි. ඊළඟ ජනාධිපතිවරණය මහින්දට සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න පුළුවන් කියල හිතනවා නම් එය මුළාවකි. මහින්දගේ ආණ්ඩුවේ පරණ පව් එක්ක සිංහල බෞද්ධ ඡන්ද එන ජනාධිපතිවරණයේ දෙකට බෙදෙයි. මහින්දට අනිවාර්යයෙන්ම සුළු ජාතික ඡන්ද සරණ යන්න සිදු වෙයි.
 
'මුස්ලිම් ප්‍රශ්න විසඳන්නේ නැතිව සුළු ජාතික ඡන්ද ගන්නේ කොහොමද?'

'දමිළ ප්‍රශ්න විසඳන්නේ නැතිව සුළු ජාතික ඡන්ද ගන්නේ කොහොමද.......?'
 
ඒ මදිවාට දැන් කතෝලික ප්‍රදේශවලත් ප්‍රශ්නය. 1994දී පල්ලිය බැහැලා වැඩ කළේ ශ්‍රී ල.නි.ප.ය දිනවන්නටය. 2005දී පල්ලිය යූ.ඇන්.පී.ය දිනවන්න වැඩ කළේය. ඒත් පල්ලිය කියන දේ කතෝලිකයෝ බහුතරයක් ඇහුවේ නැත. ඔවුන්ටත් යුද්ධය දිනන්න ඕන නිසා ආගම අමතක කොට ජාතියක් ලෙස මහින්දගේ සිංහල බෞද්ධ කාඩ් එකට ප්ලේ විය. ඒත් පසුගිය කාලය පුරාම කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක ඝාතනයේදීත්, හලාවත ධීවර උද්ඝෝෂණයේදී සිදු වූ ඝාතනයේදීත්, වැලිවේරියේ වතුර උද්ඝෝෂණ ඝාතනවලදීත් එම ජන කොටස් අතර ආණ්ඩුවට තියෙන ජනප්‍රියත්වය පල්ලම් බහින්න පටන්ගෙන ඇත. ආණ්ඩුවේ ආරක්‍ෂකයකු ලෙස පෙනී සිටින කාදිනල් හිමිපාණන්ට වැලිවේරිය සිද්ධියේදී ආණ්ඩුවට එරෙහිව බොහොම දැඩි නිවේදනයක් නිකුත් කරන්න සිදුවුණේ පහළින් එල්ල වූ බලපෑම් නිසාය.
 
එහෙම බලන කොට මහින්ද සුළු ජාතිකයන්ට ළං වෙන්නවත් හිතන පාටක් පෙනෙන්න නැත. පළාත් සභා ඡන්ද තියන්නේ ඉන්දීය බලපෑමට බව සුළු ජාතිකයන් දනී. ඒ නිසාම ආණ්ඩුවේ සිංහල බෞද්ධ නායකයන් ඉන්නේ කාඩ් අකුළාගෙනය. මහින්ද හිතාගෙන ඉන්නේ රනිල් සරණං ගච්ඡාමි කියල හිත හදාගත්තාම ආයේත් පුටුව හරි කියලාය. හැබැයි මේකත් අර සංගීත පුටු තරගය වගේය. අවුට් වෙන්නේ කවුද, කොයි වෙලාවේද කියල අනාවැකි කියනවා බොරුය.