2012 නීති ප්‍රවේශ විභාගය යළි පවත්වන්න

නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව කියයි

සිරිමන්ත රත්නසේකර

මතභේදයට තුඩු දී ඇති 2012 නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල ස්‌වාධීන කමිටුවක මැදිහත්වීමෙන් නැවත ඇගයීමකට ලක්‌ නොකරන්නේ නම් එම විභාගය යළි පැවැත්විය යුතු බව නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව අවධරණය කර සිටී.

අධිකරණ ඇමැති ලෙස රවුෆ් හකීම් මහතා පත්වීමත් සමග මුස්‌ලිම් සිසුන් නීති විභාගයෙන් සමත්වීම අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති බවද මෙම එකමුතුව පවසයි.

ලබන මස 07 වැනිදා සිදුකිරීමට නියමිත නීති විද්‍යාල නවක සිසුන් ලියාපදිංචිය වහා නතර කර මතුවී ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව එම එකමුතුවේ සභාපති රම්සි බාචා මහතා සඳහන් කරයි.

එසේම මෙවර විභාගයේ ප්‍රශ්න පත්‍රයට ලකුණු ලබාදීමේ පටිපාටිය ප්‍රසිද්ධ කළ යුතු බවත් විභාගය සමත් සිසුන්ගේ විභාග අංකය, සම්පූර්ණ නම, ලියාපදිංචි ලිපිනය, ස්‌ත්‍රී පුරුෂභාවය, විභාගයට පෙනී සිටි මාධ්‍යය, ලබාගත් ලකුණු ප්‍රමාණය, ලබාගත් ස්‌ථානය සහිතව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අත්සන සහිත විභාග ප්‍රතිඵල සටහන ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසීය.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ස්‌වාධීන විශේෂඥ කමිටුවක්‌ මගින් සංසන්ධනාත්මකව ඇගයීමක්‌ කර එහි විෂමතාවක්‌ ඇතිදැයි සොයා බැලිය යුතු බවද පැවැසූ හෙතෙම සැකයට තුඩුදී ඇති සිසුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ කළ යුතු බවත් පැවැසීය.

නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති රම්සි බාචා මහතා එම අදහස්‌ පළ කළේ ඊයේ (26 වැනිදා) මහජන පුස්‌තකාල හා ප්‍රලේඛන මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.