ගෑස් හිඟයක් අත ළඟ



ලෝක වෙළඳපල තුළ අඛණ්ඩව ඉහළ යන ගෑස් මිලට සාපේක්ෂව රජය විසින් මෙරට ගෑස් මිල වෙනස් නොකිරීම නිසා රජයට සම්බන්ද ගෑස් සමාගම සහ පුද්ගලික අංශය සතු ගෑස් සමාගම විශාල මුල්‍ය කඩාවැටීමකට ලක්ව තිබේ.

 ඒ හරහා මෙරට දෛනික පරිභෝජනයට අවශ්‍ය ගෑස් සපයාගැනීමේ දැඩි අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව අදාළ සමාගම් පෙන්වා දෙයි. ඉතිහාසයේ  ලෝක වෙළඳපල තුළ වාර්තා වූ වැඩිම ගෑස් මිල මේ මස මුල වාර්තා වූ අතර එය මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 604කි. 

එබැවින් ගෑස් සමාගම් දෙකම තමන් අලෙවි කරන සෑම ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 750කට අධික අලාභයක් ලබන අතරම ඒ හේතුව නිසා මෙම සමාගම් දෙක මසකට රුපියල් බිලියන 1.6ක පමණ දැවැන්ත අලාභයක් ලබයි. 

මේ හේතුවෙන් ගෑස් සමාගම්  ගෑස් ආනයන කිරීමට අවශ්‍ය මුදල් සපයා ගත නොහැකි වීමේ දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටියි.  රටේ අවශ්‍යතාවයට සරිලන ගෑස් තොග මෙරටට ආනයනය කිරීමට නොහැකිවීමේ දුෂ්කරතාවට ද ගෑස් සමාගම් ද්විත්වය මුහුණ පා ඇත. 

රජය සහ ඊට සම්බන්ද ආයතන මේ සඳහා අවධානය යොමු නොකළහොත් මෙරට ගෘහස්ථ පරිභෝජනයට  අවශ්‍ය ගෑස් මෙන්ම වාණිජ සහ කර්මාන්ත වලට අවශ්‍ය ගෑස් සැපයුම අඩාල වීමේ දැඩි අවදානමකට මෙරට පාරිභෝගිකයා ලක්වනු ඇත.