මැතිවරණයේ දේශපාලන අරමුණු

පුබුදු ජයගොඩ මහතා: ”ආණ්ඩුව මේ මැතිවරණය ගෙන ඒමේ දේශපාලන අරමුණු ගණනාවක් තිබුණා. ඒ අතරින් එකක් වුණේ, ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් සමනය කර ගැනීම. ඊට අමතරව ආණ්ඩුවට විරුද්ධව ගොඩ නැගෙමින් තිබුණු ජනතා විරෝධය යටපත් කරන්න. ඒ වගේම 2014 ජනාධිපතිවරණය පැවැත්වීම දක්වා ආණ්ඩුවට බල න්‍යාය පත‍්‍රයකට මේ මැතිරවණයත් සම්බන්ධ කරන්න අරමුණු කළා. ඒ නිසා මේ මැතිවරණය උගුලක්. නියමිත කාලයට පෙර මැතිවරණය පවත්වන්නේ ඒ නිසා. ඒ නිසා අප තීරණය කළා, මේ සම්බන්ධ නොවී ඉන්න, උගුල හෙළිදරව් කරන්න.

අපි මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් නොකළත්, මැතිවරණය පැවැත් වුණු සියලූම දිස්ත‍්‍රික්කවල විකල්ප මැතිවරන ව්‍යාපාරයක් දියත් කළා. ඒ දිස්ත‍්‍රික්කවල ජනතාවත් එක්ක සංවාදයක් කළා. අපි විකල්ප ඡන්දයක් භාවිත කරන්න ජනතාවට අවස්ථාව සලසා දුන්නා. ඒ අනුව අප ඉදිරිපත් කළ විකල්ප ඡන්ද පෙට්ටියට ඡන්ද 24,618ක් ලැබී තිබෙනවා. රටේ සමස්ත ඡන්ද දායකයින්ට අනුව මෙය ඉතාම සුළු ප‍්‍රමාණයක් වුණත්, ජන මතය පළිබඳව යම් අදහසක් ලබා ගන්න මෙය ප‍්‍රමාණවත් කියා අප හිතනවා.

විකල්ප ඡන්දය භාවිත කළ අයගෙන් 47.2%ක්ම ඉදිරිපත් කළ මතය වුණේ මේ ක‍්‍රමය පිළිබඳව තමන් කළකිරිලා ඉන්නවා කියලා. බොහෝ දෙනෙක් පැවසුවා, තමන් කිසිවකුට ඡන්දය දාන්නේ නැහැ, ඡන්දය කටුගානවා කියලා.

22.6%ක් ප‍්‍රකාශ කළේ ආණ්ඩුව පරාජය කළ යුතුයි කියන ස්ථාවරය. ඔවුන් ප‍්‍රමුඛතාවය දී තිබුණේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධ ප‍්‍රශ්නයට. 15.4%ක් පවතින සමාජ ආර්ථික ක‍්‍රමය වෙනස් කළ යුතුයි, වෙනත් සමාජ ආර්ථික ක‍්‍රමයක් අවශ්‍යයි කියා පැවසුවා. මේ ආණ්ඩුවම පත් කළයුතුයි කියා පැවසූ ප‍්‍රමාණය 14.8%ක්.

තර්කානුකූලව දේශපාලනය විග‍්‍රහ කරන අවස්ථාවේදී දෙන පිළිතුරු මේ. මින් පෙනෙන්නේ තර්කානුකූලව දේශපාලනය විග‍්‍රහ කරන අය අතරේ ආණ්ඩුව සුළුතරය. නමුත් අපි විශ්වාස කරනවා, මැතිවරණ ප‍්‍රතිඵලය මේක වෙන්නේ නැහැ. මැතිවරණ ප‍්‍රතිඵලය මීට වඩා වෙනස්. මැතිවරණයකදී ඡන්දය දීමේදී ජනතාව කටයුතු කරන්නේ තාර්කිකව නොවෙයි. ඡන්දය දෙද්දී අත විතරක් වැඩ කරන්නේ නැතිව අතත් එක්ක මොළය වැඩ කරන තැනකට ජනතාව සවිඥානික කිරීමේ අභියෝගය තිබෙනවා. දේශපාලන පක්ෂ ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. මේ අවස්ථා දෙක අතර පවතින පරතරය පියවන්න දේශපාලන පක්ෂ මැදිහත් වන්නේ කොහොමද? ඒ සඳහා කළ යුත්තේ ජනතාව සවිඥානක කිරීම බව අපි විශ්වාස කරනවා. ඒ වගේම එහි ධනාත්මක පැත්තක් තිබෙනවා.

ආණ්ඩුවේ විවිධ සංදර්ශන මැද, විපක්ෂයේ නීද්‍රශීලිත්වය මැද පවා ඇස් නිලංකාර කර නොගත් විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා අපි ඉතාම සුබවාදීව දකින්නේ. ඒ නිසා වෙනස් දේශපාලනයක් සඳහා විභවයක් තිබෙනවා.

අපේ රටේ නිල විපක්ෂය වුණු එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුවේ මේ උගුල හෙළිදරව් කරනවා වෙනුවට ඒ උගුලේ වැටී සිටිනවා. ඔවුන් ඡන්ද ගොඩ බේරා ගන්න තමන්ගේ පාක්ෂිකයින් යොදා ගනිමින් උත්සාහ කරනවා. මේක ආණ්ඩුව තනි අස්සයාගේ රේස් එකක් කර ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් මේ තත්වයට වගකියන්න ඕන. උගුල හෙළිදරව් නොකර, උගුලේ අහු වෙලා දැන් ආණ්ඩුව වංචා කරලා ඡන්ද දිනනවා කියලා නහයෙන් අඬලා වැඩක් නැහැ.

එක්සත් ජාතික පක්ෂය බලන් ඉන්නේ ඉබේම තමන්ට බලය ලැබෙන තුරු. ඊළඟට එජාපයේ සජිත් පිල, සරත් ෆොන්සේකාගේ සිට ජනතා විමුක්ති පෙරමුණ දක්වා අනෙක් සියලූම විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුව පාවිච්චි කරන අගතීන්ම පෝෂණය කරමින් ඒවා ආණ්ඩුවට විරුද්ධව යොදා ගන්නේ කොහොමද කියලා බලමින් ඉන්නවා. ඒ අතර ඇතැම් වමේ පක්ෂ සමාජ කතිකාවෙන් ඉවත් වෙලා න්‍යායික සංවාද එක්ටැම්ගෙවල්වල හිර වෙලා. ජනතාව වෙන තැනක ඔවුන් වෙන තැනක.

මේ හැම ක‍්‍රියාකාරීත්වයක්ම අසමත් බව ඔප්පු වෙලා අවසන්. අපි හිතනවා මේ මතුවී තිබෙන තත්වය තුළ අලූත් දේශපාලනයක් සඳහා විභවයක් තිබෙනවා කියලා. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ඒ දේශපාලන ක‍්‍රියාකාරීත්වය ගොඩනැංවීමට උත්සාහ කරනවා.