''AI කියන්නේ ඡායාරූපකරණය නෙමෙයි - මම මේ සම්මානය පිළිගන්නේ නැහැ''



- වින්ධ්‍යා ගම්ලත් - 

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ඡායාරූප තරඟයකදී AI මගින් නිර්මාණය වූ ඡායාරූපයක් සම්මාන දිනාගැනීමට සමත්විය. ඒ මෙවර ලන්ඩනයේදී පැවති (අප්‍රේල් 13) Sony World Photography සම්මාන උළෙලේදී වන අතර. ජර්මානු චිත්‍ර ශිල්පී බොරිස් එල්ඩග්සන් (52 හැවිරිදි) AI මගින් නිර්මාණය කළ "Pseudomnesia:The Electrician."  වෙනුවෙනි. 

Pseudomnesia:The Electrician නම් ඡායාරූප පෙළේ අන්තර්ගත කාන්තාවන් දෙදෙනෙකු දැක්වෙන කළු - සුදු ඡායාරූපයකට මෙම සම්මානය හිමිවිය. මෙම ඡායාරූපයේ සිටින වැඩිමහලු කාන්තාව පිටුපසින් සිටින අතර ඇගේ දෑතින් ඉදිරිපස සිටින තරුණ කාන්තාවගේ උරහිස් අල්ලාගෙන සිටින අන්දම දිස්වෙයි. සෝදිසියෙන් යුතු පෙනුමක් මොවුන්ගේ දෑස් වලින් පළවන අතර චකිතයක් හා කිසියම් කලකිරීමේ ස්වභාවයක් ද මෙහිදී පෙන්නුම් කෙරේ. මිනිස් තත්ත්වය හා කාලානුරූපී බව ගැන මවිතයට පත්කරන දර්ශනයක් මෙමගින් දිගහැරෙන බව විචාරක අදහස වී තිබේ.

PSEUDOMNESIA : Fake Memories 1940 ගණන්වල ඡායාරූප ශෛලිය තුළින් බිහිවූ ඡායාරූප මාලාවක එකතුවකි. කෙසේවුවත්, එම ඡායාරූප ‘’කිසිදා නොපැවති, කිසිවෙකු ඡායාරූප ගත නොකළ, අතීතයේ ව්‍යාජ මතකයන්’ බව මෙහි නිර්මාණකරු වන බොරිස්ගේ අදහසයි.

භාෂාව තුළින් පරිකල්පිත මෙම පින්තූර AI හරහා 20 – 40 වතාවක් සංස්කරණයට ලක්කර ඇති අතර ඡායාරූප ශිල්පීය ක්‍රම (inpainting’, ‘outpainting’, හා ‘prompt whispering’) හරහා මෙම ඡායාරූප ඒකාබද්ධ කර ඇත.

මේක ඵෙතිහාසික මොහොතක් 

මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වන බොරිස් පවසන්නේ, ‘ලොව ප්‍රමුඛ පෙළේ ඡායාරූප තරඟයකින් AI  මගින් නිර්මාණය කළ ඡායාරූපයකට සම්මානයක් හිමිවුණු පළමු අවස්ථාව මෙයයි. මේක ඵෙතිහාසික මොහොතක්. මේ ඡායාරූපය AI මගින් නිර්මාණය කළ එකක් බව කීදෙනෙක් දැනසිටියාද ?. මේ‍කේ කිසිම අවුලක් නෑ නේද ?. යන්නයි.

කෙසේවුවත්, ඔහු මෙම සම්මානය ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, ‘AI පින්තූර හා ඡායාරූප මෙවැනි සම්මාන උළෙලකදී එකිනෙකා සමඟ තරඟ නොකළ යුතුයි. මේක වෙනම ක්ෂේත්‍රයක්. AI කියන්නේ ඡායාරූපකරණය නෙමෙයි. ඒ නිසා මම මේ සම්මානය පිළිගන්නේ නැහැ.’ යන්නයි.

‍මේ සිද්ධියත් සමග බොරිස් හා Sony සමාගම අතර ද මත ගැටුමක් ඇතිවිය. Sony සමාගම පවසන්නේ, ‘ඔහු සමඟ අර්ථවත් සංවාදයක නිරතවෙන්න අපිට තවදුරටත් හැකියාවක් නැත’ යන්නයි. මේ ප්‍රකාශයට පිළිතුරු දක්වන ‍බොරිස් Sony සමාගමට පවසන්නේ, ‘විකාර කියන එක නවත්වන්න. ඔවුන් මේ විදියට හැසි‍රුණේ ඇයි කියලා මම දන්නේ නැහැ.’ යන්නයි.

සිය ඡායාරූප ‍පිලිබඳ පැහැදිලි කරමින් බොරිස් පවසන්නේ, ‘මම ඡායාරූපකරණයට වගේම AI රූප නිර්මාණයටත් කැමතියි. මේවා එක හා සමාන වෙන්නේ නැති බව තේරුම්ගත්තා. එක් නිර්මාණයක් ආලෝකයෙන් බිහිවෙනවා, අනෙක ක්ෂණයකින් බි‍හිවෙනවා. නමුත්, මේවා එකිනෙකට සම්බන්ධයි. ද්‍රෘෂ්‍ය භාෂාව ඉගෙනගත්තේ ඡායාරූපකරණයෙන්, නමුත්, AI වලට දැන් තමන්ගේම ජීවිතයක් තියෙනවා. මිනිස්සුන්ට ඒ ගැන කතා නොකර නිහඬව ඉන්න වුවමනා නම් ඒක වැරදියි.’ යන්නයි.


ඡායාරූපකරණයට මනෝවිද්‍යාත්මක හා දාර්ශනික ප්‍රවේශයක් 

සිය ඡායාරූපකරණය පිළිබඳ පැහැදිලි කරන ඔහු පවසන්නේ, ‘ඡායාරූපකරණය සඳහා ම‍ගේ ප්‍රවේශය මනෝවිද්‍යාත්මක වගේම දාර්ශනික වුණා‍. එය ඇතුළත ගමනක් වුණා, එය සෑම කෙනෙකුම ඔවුන් ඉදිරිපිට දකින දේ නිරූපණය කළේ නැහැ. ඒ පසුබිම තියෙන නිස‍ා AI මාව වශී කළා. ඒක ගොඩනැගුණේ සාමූහික අවිඥානයන් තුළින්. ප්ලේටෝගේ ආකෘති න්‍යාය සමග ද මෙය සම්බන්ධ කළ හැකි බව මා දුටුවා. රූපය හා එය සෑදූ අන්දම සලකා බැලීමට මෙය උපකාරී වේවි.’

මෙහි නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳ පහදන බොරිස් පෙන්වාදෙන්නේ ‘මේ ක්‍රියාවලිය තුළ පියවර ගණනාවක් ති‍යෙනවා. එය වචන තුනක් යොදලා, ක්ලික් කරලා කරන හුදු නිර්මාණයක් පමණක් නෙමෙයි. මේ ප්‍රොම්ප්ට් තුළ කොටස් 11 ක් තිබෙන බව මං හඳුනාගත්තා‍. විස්තර සහිත ප්‍රොම්ප්ට් තුළින් රූපයක් නිර්මාණය කරනවා, ඒ රාමුවෙන් ඉවත්වෙන්න අවශ්‍ය වුණාම චිත්‍රයෙන් ඔබ්බට ගිහිං ඊට අළුත් යමක් එක්කරන්න, උදාහරණයක් විදියට ගත්තොත් The Electrician සිතුවමේ වගේ මතුපිට අඩුපාඩු ඇති කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. මට පෙන්වන්න අවශ්‍ය කුමක්ද වගේ දේවල් ගැන හිතලා ඒ ගැන  ඔබට නැවතත් විස්තර කරන්න සිදුවේවි.’

නිරිතදිග ජර්මනියේදී උපත ලද බොරිස් කොලොන්හි විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ අධ්‍යාපනය ලද අතර ඡායාරූපකරණය හා ලලිත කලාව පිළිබඳ මේන්ස්හි හිදී හැදෑරූවේය. සිය උපන්බිමේ ගෙවීගිය කුඩාවිය ගැන සිහිපත් කරන ඔහු  පවසන්නේ ‘වනාන්තර, මධ්‍යකාලීන බලකොටු, රෝමානු නෂ්ටාවශේෂ, ප්‍රංශ දේශ සීමාවට ඉතා ආසන්නව මේ බිම පිහිටා තිබුණා. කලාව හා සංස්කෘතිය ගැන හොයනවා නම් මේ බිමේ රැඳී සිටීම ඉතා හොඳයි. මට අවුරුදු 20 ක් වෙද්දී මේ බිමෙන් අයින්වුණා.’ යන්නයි.



AI කියන්නේ දැනුමේ ත්වරණයක්

 AI තුළ ඔහු සිදුකරන වික්‍රමාන්විතයන් තුළදී ඡායාරූප ශිල්පියෙකු ලෙස ඔහුට අනන්‍යතා අර්බුදයක් ලබාදී නැත.

‘එය සැමවිටම සහයෝගීතාවයක් විය. මම අවුරුදු 25ක් තිස්සේ කලාශිල්පී මිතුරු කණ්ඩායම් සමග වැඩකරනවා. මම එය නිර්මාණශීලීත්වයට තර්ජනයක් ලෙස දකින්නේ නැහැ. මට නම්, එය ඇත්තෙන්ම මාව නිදහස් කරනවා. අතීතයේ මා සතුව තිබූ ද්‍රව්‍යමය සීමාවන්, දරන පිරිවැය වගේ දේවල් තවදුරටත් වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම ඉතිහාසයේ පළමු වතාවට වැඩිහිටි පරම්පරාවට වාසියක් තියෙනවා, මොකද AI කියන්නේ දැනුමේ ත්වරණයක්. ප්‍රේරක තුනෙන් දෙකක් හොඳ වෙන්නේ ඔබට දැනුම, කුසලතා ඇත්නම්, ඡායාරූපකරණය සිදුවන අන්දම, කලා ඉතිහාසය දන්නවා නම් පමණයි. මේක අවුරුදු 20 ක තරුණයෙකුට කරන්න බැරි දෙයක්. බොහෝ අය AI ගැන පැමිණිලි කරද්දී ඊට චෝදනා කරන්නේ මෙය පිටපත් හා සොරකම් කිරීමක් බවයි. නමුත්, එය එසේ නොවෙයි, එය ප්ලේටෝනික් න්‍යාය ඉගෙනගැනීමයි.‍’ යනුවෙන් එල්ඩග්සන් පවසයි.

AI තුළ ඇති තර්ජනය පෙන්වාදෙමින් එල්ඩග්සන් පවසන්නේ, ‘AI ප්‍රජාතන්ත්‍රවාදයට හා ඡායාරූප මාධ්‍යකරණයට තර්ජනයක් බවයි. අප සතුව බොහෝ ව්‍යාජ රූප තිබෙනවා, මේ කුමක්දැයි  මිනිසුන්ට පෙන්වීමට ක්‍රමයක් අප ඉදිරිපත් කළයුතුයි.’ යන්නයි.

  


The Guardian  / CNN  / Engadget ඇසුරිනි