ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදන බව අගමැති කියයි


ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරලීම සියලුදෙනාගේ අපේක්‍ෂාව වුව ද, රාජපක්ෂ කණ්ඩායම උත්සාහ ගන්නේ ජාතිවාදය තහවුරු කොට බලය ලබා ගැනීමට බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (05) දින මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැති පොකුරු රැස්වීම් මාලාවක් අමතමින් පැවසුවේය. 

සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සෑම ජාතියකගේම එකමුතුවෙන් හා එකඟත්වයෙන් ශ්‍රී ලංකාව පෙරට ගෙන යාම එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ප්‍රතිපත්තිය බවත් ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරීමේ දේශපාලන විසඳුමක් සඳහා තමන් කැපවී සිටින බවත්, එම විසඳුම සකස් කිරීමේ දී රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් සකස් කර ඇති යෝජනා පදනම් කර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

මෙවන් පොදු එකඟතාවකින් යුතුව ශ්‍රී ලංකාව අනාගතය වෙත රැගෙන යාම සඳහාත්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිදියාව ආරක්‍ෂා කර ගැනීම සඳහාත් ලබන නොවැම්බර් 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස බලයට පත් කර ගන්නා ලෙස අගමැතිවරයා මඩකලපුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.