දරුවාගේ අපලය දුරුකිරීමට පැමිණි යකැදුරා දෙදරු මවට හදි කරලා

| හපුතලේ බුවනෙක හා ඌව පරණගම අබේසේකර
Divaina 

ඌවපරණගම පොලිස්‌ බලප්‍රදේශයේ 24 වියෑති දෙදරු මවක යකැදුරකු විසින් අපහරණයට ලක්‌කර තිබේ.

මෙසේ අපහරණයට ලක්‌වී ඇත්තේ ඌවපරණගම වදගොල්ල හිඹිලියාගහ මඩිත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය සිය මාස 4 ක්‌ වයසැති දරුවාට අපල තිබෙන බැවින් දරුවා ගැන විමසීමට ශාස්‌ත්‍ර කියන ස්‌ථාන කිහිපයකින් පේන බලා ඇති අතර දරුවාට අපල ඇති බවත් සිය නිවසට භූත බලපෑම් ඇති බවත් පේන බැලූ ස්‌ථානවලින් පවසා තිබේ. මේ නිසා නිවසේ භූත බලපෑම් ඉවත්කර ගැනීම සඳහා ඇය යකැදුරකුගේ පිහිට පතා තිබේ.

පසුව යකැදුරා නිවසට පැමිණ නිවසේ භූත බලවේග ඉවත් කළ හැකි බව පවසා තිබේ. පසුගිය 20 වැනිදා රාත්‍රි මෙම කාන්තාවගේ නිවසේදී ශාන්තිකර්මයක්‌ කිරීමට කටයුතු යොදා ඇති යකැදුරා පවසා ඇත්තේ වෙන වෙනම නිවසේ පදිංචිකරුවන් සඳහා ශාන්තිකර්මය සිදු කළ යුතු බවයි.

ඒ සඳහා කුලිය වශයෙන් රුපියල් තිස්‌දහසක්‌ හා පලතුරු හා පූජා භාණ්‌ඩ සඳහා රුපියල් පහළොස්‌ දහසක්‌ද මෙම නිවැසියන් විසින් වියදම් කොට තිබේ. නිවැසියන් මෙම මුදල් සොයාගෙන තිබෙන්නේ ණයට හා රන් ආභරණ උගසට තැබීමෙන් බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

කාන්තාවගේ මව්පියන්ගේ නිවසද මේ නිවස ආසන්නයේ පිහිටි නිසා නිවසේ අන් අය මවගේ නිවසට යවා තිබේ. ප්‍රථමයෙන් එම කාන්තාවගේ ස්‌වාමි පුරුෂයාට මතුරා ශාන්තිකර්මය ආරම්භ කර එය පැය භාගයකින් පමණ නිම කර ඇත. අනතුරුව මෙම කාන්තාවට මතුරා ශාන්තිකර්මය සිදු කළ යුතු බව පවසා නිවසේ කාමරයක්‌ තුළ ඇයට මැතිරීම ආරම්භ කර තිබේ. යකැදුරා විසින් කාන්තාවගේ සිහි විසඥ කර ඇයට අතවර කරන අතරේ ඇයගේ සැමියාට සැක සිතී ජනේලයෙන් බලන විට සිද්ධිය දැක තිබේ. සැමියා දොර කඩා ඇතුළු වී යකැදුරාට පහරදී ඇති අතර යකැදුරා පැනගොස්‌ තිබේ. පසුගිය සිකුරාදා (21 දා) වැලිමඩ නගරයේදී ඌවපරණගම පොලිසිය විසින් යකැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යකැදුරා වන තාරුකා ගනිතයලාගේ ජයතිස්‌ස (35) නමැති සැකකරු මීට පෙරද මෙවැනි ක්‍රියා සිදුකළ පුද්ගලයකු බවද පොලිසිය පවසන අතර එම ක්‍රියාවන් ගැනද දැනට විමර්ශනය කරමින් සිටින බව පොලිසිය පවසයි.

යකැදුරු තාරුකා ගනිතයලාගේ ජයතිස්‌ස යන සැකකාර පුද්ගලයා වැලිමඩ හපුතලේ පාර, දෙකේ කනුව ප්‍රදේශයේ සුපිරි ගනයේ නිවසක්‌ද ඉදිකරමින් පවතින අතර ඔහුද තිදරු පියකු බව ඌවපරණගම පොලිසිය පවසයි.

බණ්‌ඩාරවෙල පොලිස්‌ අධිකාරි ජගත් චන්ද්‍රකුමාර මහතාගේ හා බණ්‌ඩාරවෙල පොලිස්‌ අධිකාරි ෂෂ ඩබ්ලිව්. එම්. ෙ-. බී. විෙ-රත්න මහතාගේ උපදෙස්‌ පරිදි ඌවපරණගම පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. වසන්ත දිසානායක, උ.පො.ප. කාරියවසම්, පො.සැ. (5178) මුතුබණ්‌ඩා, පො. කො. (36654) ප්‍රේමවංශ, කා.පො.කො. (4528) උදේනි යන නිලධාරීන් පරීක්‍ෂණ මෙහෙයවූ අතර සැකකරු වැලිමඩ වැඩ බලන මහෙස්‌ත්‍රාත් සමරකෝන් මහතා වෙත පසුගිය 22 දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළ බව ඌවපරණගම පොලිස්‌ ස්‌ථානාධිපති වසන්ත දිසානායක මහතා පැවැසීය.