දේශපාලන වනචාරීන් ඉදිරිපිට ආණ්‌ඩුවට මන්දපෝෂණයද?


l සමන් ගමගේ
නින්දිත දේශපාලනික භාවිතාව හමුවේ පාදඩ සංස්‌කෘතියක බිල්ලක්‌ බවට සමස්‌ත සමාජයම පත්වෙද්දී වර්තමානයේ මේ බිමේ හැදියාව මෙන්ම ප්‍රතිරූපයද ඇත්තේ ගෙවෙන මොහොතක්‌ පාසා වැනසී යමිනි. නමුත් මෙකී දේශපාලන අවලංකරණය හේතු කොට මෙහිදී රටට සහ ජනතාවට මොන විණය සිදු වුවද බලවතුන් සිටිනුයේ මරනින්දේය. ජනතාව සිටිනුයේ විඳවමිනි.

එකී ජනතා විඳවිල්ලට පිළිතුර ලෙසින් යළි යළිත් විඳවිල්ලම උරුම වීම විනා සැනසිල්ලක සේයාවක්‌ හෝ පෙනෙන්නටවත් නොවන්නේය. "අපි ඔක්‌කොම තොත්ත බබාලා" න්‍යායෙන් සියල්ල කිසිදු බාධාවකින් තොරව ඔහේ සිදුවෙමින් ඇත්තේය.

මෙසේ ඇතැම් පාර්ලිමේන්තු බබාලා, පළාත් බබාලා සහ ප්‍රාදේශීය බබාලා විසින් අඩුවැඩි වශයෙන් කරගෙන යනු ලබන මුඩුම දේශපාලන භාවිතාව හමුවේ රටම වෙව්ලුම්කන අවස්‌ථාද බොහෝය. එහෙත් එසේ වෙව්ලුම්කන මේ බිම දෙවුන්දර තුඩුවෙන් පටන්ගෙන පේදුරු තුඩුව දක්‌වා මහා සාගරය පතුළට ගිලී ගියද සියල්ල බෑන්චූන්ක්‍රමයටමම සිදුවන්නේය.

රටේ කොතැනක හෝ සිදුවන ස්‌ත්‍රී දූෂණයක්‌, කොල්ලකෑමක්‌, ම්ලේච්ඡ ඝාතනයක්‌ ආදී ලෙසින් වූ ඕනෑම අපරාධයකදී බොහෝ විට අද පෙරමුණේ රාළලා වී සිටිනුයේ දේශපාලකයන්ය. එහිදීත් ප්‍රාදේශීය මට්‌ටමේ දේශපාලකයන්ට හිමිවී ඇත්තේ ප්‍රමුඛ ස්‌ථානයකි. නමුත් තත්ත්වය එසේ වුවද රජය සිටිනුයේ මෙකී අවලමුන් රැකගෙන ජනතාවට කොකා පෙන්වන ප්‍රතිපත්තියක වේ.

ජනතාවගේ මානයේ සිට බලද්දී ආණ්‌ඩුවට මෙම චෝදනාවෙන් ගැලවී යා නොහැක. ඉකුත් සතියේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකයන් වූ මෙවන් ප්‍රාදේශීය දේශපාලනඥයන් හය දෙනකුගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කරමින් ඔවුන් දැරූ තනතුරුවලින්ද ඉවත් කිරීමට රජය කටයුතු කළේය.

එහෙත් කාලයක සිට රට තුළ සිදුවෙමින් තිබෙන දේශපාලනඥයන්ගේ පාදඩකම් දෙස බැලීමේදී රජයේ එකී දඬුවම හරියට මේවායින් විඳවමින් හඬන රටේ ජනතාව සනසන්නට කටේ සුප්පු එබුවාක්‌ වැනි එකක්‌ම විය. ඒ සූප්පුව ගිලිහුණ කල්හි ජනතාවට යළි හඬා වැටෙන්නට සිදු වන බව වගකිව යුත්තෝ කල්පනා නොකරන්නාහ.

මෙකී දේශපාලන පාදඩකම් හමුවේ අද රට තුළ නිර්මාණය වෙමින් තිබෙන්නේ කිනම් තත්ත්වයක්‌ද? විවිධ අපරාධ හා නරුමකම්වලට සම්බන්ධ වෙමින් මේ දේශපාලන සට්‌ටඹියන් පැහැදිලිවම කරන්නේ රටේ නීතියට අභියෝග කිරීමකි. එහිදී සිදුවෙමින් තිබෙන්නේ මොවුන්ගේ දේශපාලන බලය හමුවේ නීතිය වල්වැදීමය.

රටක නීතියක්‌ නොමැති වීම හෙවත් නීතිය වල්වැදීම සහ දේශපාලනය රටේ නීතියට අභියෝගයක්‌ වීම යනු අරාජික බවේ ලක්‍ෂණයකි. එසේ නම් මෙකී දේශපාලන අවලම්කම් හමුවේ වර්තමානයේ මේ බිම තුළ අරාජික රාජ්‍යයක ලකුණු පහළ වෙමින් තිබෙන බව කිසිවෙකු හෝ කිවහොත් එය බිඳලිය නොහැකි තර්කයක්‌ වන බව අමුතුවෙන් කිව යුතු නැත..

රජය එකෙකු දෙන්නකුගේ තනතුරු ඉවත් කරමින් සහ තාවකාලික තහනම් පනවමින් සූප්පු න්‍යායෙන් ජනතාව සනසන්නට යන්නේ එවන් තත්ත්වයක්‌ රටතුළ නිර්මාණය වෙමින් තිබියදීය. එසේ නම් මෙහිදී රජය පැහැදිලිවම කරමින් සිටින්නේ දේශපාලන කුහකකම ජනතා සන්තක කිරීමක්‌ නොවන්නේද?

එසේ නොකොට මෙකී දේශපාලන අවලංකරණයට නිට්‌ටාවට තිත තැබෙන ආකාරයේ වැඩපිළිවෙළක්‌ වෙත ගමන් කිරීමට රජයට නොහැකිව ඇත්තේ ඇයි? වත්මන් රජය නන්නත්තාර කරමින් මෙරට ප්‍රාදේශීය දේශපාලනය තුළ ඇති වූ බරපතළම සිද්ධිය වාර්තා වූයේ ඉකුත් පළාත් පාලන මැතිවරණ සමයේ සිදුවූ මුල්ලේරියා ගැටුමේදී විය.

තමන්ගේම දෙපිරිසක්‌ එකිනෙකා මරා ගැනීම හමුවේ මෙහිදී රජයට සිදුවූ අපහසුතාව කොතෙක්‌ද? කෙටියෙන්ම කිවහොත් එකී ගැටුමේදී ආණ්‌ඩුව මුහුණ දුන්නේ බරපතළ ආකාරයේ අකරතැබ්බයකට බව ඒ දිනවල රටටම රහසක්‌ නොවීය.

එහෙත් අවසානයේ කෙසේ හෝ උණු කිරි පානය කිරීමේ කලාව රටට සිහිගන්වමින් ආණ්‌ඩුව ඉන් ගැලවී ගිය බවද නොරහසකි. මුල්ලේරියා ගැටුමේ සොල්දාදුවන් වූ කරාටේ ධම්මිකලා, මෝල් චමින්දලාට උන්හිටිතැන් අහිමි වෙද්දී රජය යාන්තම් උණු කිරි බඳුන වීසි නොකර පානය කළේය. එකී ගැටලුව විසඳී ගියේ ඒ අයුරිනි.

නමුත් එදා එතරම් බරපතළ ගැටලුවකට මැදී වීත් ආණ්‌ඩුව ඉන් පාඩමක්‌ උගත්තේද? රටේ සාමාන්‍ය ජනතාවගේ පාර්ශ්වයෙන් සිතා කුප්ප දේශපාලන සිතුවිලි හමුවේ නීතියේ ආධිපත්‍යයට එල්ල වෙමින් තිබූ අභියෝග වලකාලීමට ආණ්‌ඩුවට හැකි වූයේද? පැහැදිලිවම කීමට ඇත්තේ නැත කියාය.

එදා රජය එසේ පාඩමක්‌ උගෙන ගත යුතු නිසි පියවර ගත්තේ නම් ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රි ධර්මසිරිගේ දැතට මාංචු වැටෙමින් කහවත්ත කොටකෙතන ගමේ ජීවත් වූ මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිට වැලිගෙපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රි අලිබේබි ගමේම තරුණයකු මරා දැමීම වැනි කතා අපට අසන්නට නොලැබෙන්නේය.

එසේම තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප මතින් මත්ව ටී 56 ක්‌ අතින් ගෙන අවලං රති කෙළියකට ගොස්‌ සුද්දෙකු මරා දැමීම, කටුවනදී සිදුවූ ජූලම්පියේ අමර ප්‍රහාරය සේම දේශපාලන රෙදි අස්‌සේ සැඟවී සිටි පාපතර අමනයන් විසි දෙදෙනකු හප කළ තංගල්ලේ ලාබාල අහිංසකාවියගේ කතාව සහ තරුණියන් හාරසියයක්‌ සමග ලිංගිකව එක්‌වී කන්‍යාවන් සියයක්‌ බිලිගත් බවට පුරසාරම් දොඩවමින් බාල් නැටූ අකුරැස්‌ස ප්‍රාදේශීය සභා සභාපතිගේ වනචර කතාවද අපට නොඇසෙන්නේය.

අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක අවලමෙක්‌ රැකියාවක්‌ දෙන බවට රවටා මිතුරන් පිරිසක්‌ද සමග එක්‌ව පාලු නිවසකදී දින කිහිපයක්‌ තිස්‌සේ වරින් වර දූෂණය කළ තරුණියට එවන් ඉරණමක්‌ අත් නොවන්නේය.

රජය නිසි දේ කළේ නම් ආණමඩුවේ ප්‍රාදේශීය සභා කෙරුමෙකු අමු අමුවේම කුකුළන් 600 ක්‌ සොහොන් නොකරන්නාක්‌ මෙන්ම රත්ගම වනසන දේශපාලන අවලමා අදටත් ජනතාවගෙන් කප්පම් නොගන්නේය. එසේම මිනී මරා එල්ලුම්ගහටත් ගොස්‌ පැමිණි නරුමයකු හික්‌කඩුව ප්‍රාදේශීය දේශපාලනයේ පොරක්‌ ලෙස නොසිටින්නේය.

රජයට නීතිය රැක ගැනීමේ පැහැදිලි වුවමනාවක්‌ තිබුණේ නම් මෙරටට වලංගු නොවන ෂරියා නීතිය අතට ගත් ඇමැති රිෂාඩ් බද්යුදීන් මන්නාරම අධිකරණයට ගල් ගසා ආණ්‌ඩුව අනාත නොකරන්නේය. පසුගිය දිනවල ඇමැති අතාවුද සෙනවිරත්න සහ නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන තමන්ගේ ගෝලබාලයන්ද සමගින් අධිකරණය දක්‌වා ගමන් කිරීම තුළින් විද්‍යමාන වූයේද ආණ්‌ඩුව කළ යුත්ත කර නොමැති බවමය.

මේ ආකාරයෙන් කීමට ඇති තවත් බොහෝ දේ ඇත්තේය. නමුත් කුමක්‌ කීවත් සිදු වෙමින් තිබෙන්නේ සිදු නොවිය යුත්තමය. මෙසේ නොවී නිසි වැඩපිළිවෙළක්‌ වෙත ගොස්‌ ආණ්‌ඩුව දේශපාලනයට රිංගාගෙන සිටින මෙවන් සුනඛයන් බැඳ දමන අයුරු දැකීම මේ වන විට රටේ ජනතාව තුළ වන සුන්දර සිහිනයකි. එහෙත් ඔවුන්ට අද ඉතිරිව ඇත්තේ එකී සිහිනය මල්ඵල ගන්වා දෙන්නට යෑයි කියමින් ඇලඩින්ගේ පුදුම පහණේ පිහිට පැතීම පමණි.

ආණ්‌ඩුවේ මෙකී නොහැකියාව හමුවේ අද රටේ ජනතාව තුළ ඇත්තේ රජය කෙරෙහි වන කළකිරීම මුසු වූ දැඩි ආවේගයකි. ප්‍රාදේශීය මට්‌ටමේ සිට ජාතික තලය දක්‌වාම විහිදී පැතිරී තිබෙන වත්මන් දේශපාලන පාදඩකරණය හමුවේ ජනතාවගේ එකී ආවේගය අසාධාරණද නොවේ.

නමුත් ජනතාවගේ හැඟීම එසේ වෙද්දී පසුගිය දිනෙක රජයේ ඇමැත්තකු වර්තමානයේ රටටම හෙනයක්‌ වී තිබෙන දේශපාලන වනචාරී බව පිළිබඳ කතා කරමින් අපූරු ප්‍රකාශයක්‌ කරනු ලැබුවේ රටම හිනස්‌සමිනි.

පරිණත දේශපාලන චරිතයක්‌ වූ ඔහු එසේ කීවේ ඇයිද යන්න අදටත් ගැටලුවක්‌ වේ. සිදුවන සියල්ලට වග කිව යුත්තේ ම්ලේච්ඡ වනචාරින් සේ හැසිරෙන දේශපාලනඥයන්ට බලයට පැමිණීමට ඡන්දය දුන් ජනතාව බව ඔහුගේ එකී කතාව විය. මුහුකුරා ගිය දේශපාලනඥයකු වූ ඔහුගේ කටින් එසේ එළියට පැන්නේ පවතින ව්‍යසනය කෙරෙහි වන රජයේ ආකල්පය විය නොහැකිද?

නමුත් ඇමැතිවරයාගේ ඒ කතාවට අනුව රටේ ජනතාව මහා බරපතළ නොසණ්‌ඩාල කමක්‌ නම් කර ඇත්තේය . ඒ කෝටි ගණන් මුදල් වැය කර පෝස්‌ටර් ගසා දොහොත් මුදුන් දී වැඳගෙන ගෙයක්‌ ගෙයක්‌ ගානේ මනාප සිඟමනේ එද්දී පෙරන්නට රත්තරන් නොමැති බව දැන දැනත් කරන්නට දෙයක්‌ නැති කමට මෙකී වනචාරින්ට ඡන්දය දීමය.

එහෙත් මේ අවලමුන්ට ඡන්දය ඉල්ලන්නට ටිකට්‌ එක හෙවත් නොමිනේෂන් දුන්නේ කවුද යන්න ඉහත කතාවේදී ඇමැතිවරයාට අමතක වීම නම් මහා පුදුමයකි. ඒ තුළ ඇත්තේ සියල්ලෙන් ලිස්‌සා යැමේ පාදඩ දේශපාලන න්‍යායේ තවත් එක්‌ සිදුවීමක්‌ නොවේද යන්න මෙහිදී මතුවන ගැටලුවකි.

කෙසේ වෙතත් ඇමැතිවරයාගේ එකී ප්‍රකාශය හමුවේ දැන් ජනතාවට කරන්නට එක්‌ වැදගත් දෙයක්‌ ඉතිරිව තිබෙන්නේය. ඒ ගෙදර ඇති කණ්‌ණාඩියක්‌ ඉදිරියට ගොස්‌ තමන්ගේම මුහුණ දෙස බලා ඉහත ආකාරයේ දේශපාලන වනචාරින්ට නොව මෙවන් නපුංසක ප්‍රකාශ කරනු ලබන ඇමැතියන්ට ඡන්දය දුන්නේ කුමකටදැයි විමසා අත දිගහැර හොඳහැටි කනේ පහරක්‌ ගසා ගැනීමය.

අද ප්‍රාදේශීයව නරුමයන් වී සිටිනුයේ ජාතික තලයේ දේශපාලනඥයන්ගේa දෙපා ලෙවකා ඔවුන්ගේs ඡන්දයට කඩු පොලු ගෙන කඩේ ගොස්‌ ඒ සරණින්ම ටිකට්‌ එක ගෙන බලයට පැමිණි සොක්‌කන් පිරිසක්‌ බවද පැහැදිලිවම පෙනී යන කරුණකි. මෙකී සොක්‌කෝ යනු එක්‌කෝ පාතාලයෝය. නැතහොත් කාට හෝ ගිනිගෙඩි දී ක්‍ෂණික ධනවතුන් වූ කළු සල්ලි කාරයෝය

එහෙත් කුමකින් කුමක්‌ සිදු කළත් මෙකී නරුමයන් සිටිනුයේ යෙහෙන් වැජඹෙමිනි. යම් අපරාධයකදී සියල්ල වැරදී අවසනායේ හිරේ විලංගුවේ වැටුනද මොවුන්ට එතැනද සැප ගුලාවකි. හිරේ ගිය කල්හි මුන් ලෙඩ වන්නේය. හිරේට ගිය සැණින් එසේ වැළඳෙන අටඅනූවක්‌ ව්‍යාධීන්ට ප්‍රතිකාර ගැනීම සඳහා අවසානයේ රෝහලකට යන්නේය.

නැතහොත් දේපළ වෙළෙ¹ම් දැන්වීමක තිබෙන පරිදි නළ ජලය, තෙකලා විදුලිය සහ ටයිල් ඇල්ලූ බිම සහිත බන්ධනාගාරයේ සුපිරි කාමරයකට වී තුන්වේලට සැප බුදිමින් මෙකී දේශපාලන අවලමුන් විඳවන්නට තිබෙන සිරගත ජීවිතය විඳින්නේය.

මේ අතරේ ලැබී තිබෙන දේශපාලන වරප්‍රසාද පෙරට දමා ඇතැම් මැති ඇමැත්තෝද මුන් බලන්නට හොර රහසේ රෝහල් හෝ බන්ධනාගාර වෙත යන්නාහ. එසේ එන ප්‍රභූ මස්‌ කඳන්වලට මෙකී නරුමයාගේ රැකවලට සිටින බන්ධනාගාර නිලධාරින් සැලියුට්‌ද ගසන්නේය.

මේ අතරේ හිරගෙදර සිට මොවුන් තමන්ගේ මන්ත්‍රිකම රැක ගන්නට ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවටද පැමිණෙන්නේය. සභා රැස්‌වීමේ කතාවක්‌ද කරන්නේය. අවසානයේ අධිකරණයෙන් නිදහස ලැබුණ දා පත අට එකට සිඳුනාක්‌ මෙන් එතෙක්‌ වැළඳී තිබූ සියලු රෝග සුවවී මොවුහු කිසිදු විලිලඡ්ජාවක්‌ නොමැතිව හිස කෙලින් තබා යළි සමාජයටද යන්නාහ.

අද දවසේ කහවත්තේ ධර්මසිරිගේ, ජූලම්පිටිය අමරේගේ, අකුරැස්‌ස සහ තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපතිලාගේ මෙන්ම තංගල්ලේ කෝටිපති වනචරයන්ගේ සිරගත ජීවිතය පිළිබඳ නිසි විමර්ශනයක්‌ කළහොත් ඕනෑම ජගතකුට එය පැහැදිලිව වටහා ගත හැකි වනු ඇත.

එහෙත් මුළු රටම වනසන මෙකී වනචර සහ පාතාල දේශපාලන භාවිතාව නමැති වගුරේ කරවටක්‌ ගිලී ඉනුත් නොනැවතී සියල්ල නහයටත් උඩින් යමින් ආණ්‌ඩුව නමැති සිරුරේ ඇති "ජනප්‍රිය" හුස්‌ම ටික මොහොතින් මොහොත ගිලිහෙමින් තිබියදීත් මෙයට පිළියමක්‌ යොදන්නට රජය අපොහොසත්ව සිටින්නේ ඇයි?

රටම ගිල ගත් තිස්‌ වසරක යුද බිය තෙවසරකින් නිමා කිරීමට තරම් වීර්යයක්‌ තිබූ වත්මන් රජය තුළ තිබෙන මේ නොහැකියාව කුමක්‌ද? මේ සටහන් වෙමින් තිබෙන්නේ එදා සාර්ථක බවේ හිනිපෙත්තේ සිටි රජය දැන් අසාර්ථක එකක්‌ බවට පත්වෙමින් තිබෙන බවද?

සියල්ල මෙසේ වෙද්දී වර්තමානයේ මෙරට පොලිසියේ භූමිකාව කෙබඳු එකක්‌ වී තිබේද? එය මුළුමනින්ම විකට ජවනිකාවක්‌ බවට පත්ව ඇත්තේය. පිටපත දේශපාලනඥයෝම ලියති. පොලිස්‌ නිලධාරිහු එකී පිටපතට අනුව අපූරුවට රංගනයේ යෙදෙති. අවසානයේ වැල යන අතට මැස්‌ස ගසා හොඳහැටි ඵල නෙළා ගන්නටද ඔවුහු අමතක නොකරති.

අද පොලිසිය මුළුමනින්ම දේශපාලනීකරණය වී ඇත්තේ මේ අයුරිනි. වර්තමානයේ පොලිසියේ කටයුතුවලට ඇඟිලි නොගැසූ දේශපාලක උතුමෙකු සොයා ගැනීම නොමළ නිවසකින් අබ සෙවීම හා සමාන කාර්යයකි.

මේ වටපිටාව තුළ සිදුවන නින්දිත වැඩ පිළිබඳ සිතා දත්මිටි කමින් සිටින රටේ ජනතාව පොලිසියේ "මොණර රංගන" දෙස බලා සියල්ලන්ගේ මව් පියන් සිහිකර කුසලතා සම්මාන දීමටද අමතක නොකරති.

පසුගිය දිනවල මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන්ද රටේ සදාචාරය රැක ගනිමින් සිදුවෙමින් තිබෙන අපරාධවලට එරෙහිව කළ යුත්ත කරන ලෙස රජයට අනුශාසනාවක්‌ද කරනු ලැබීය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පෞද්ගලිකවම ලිපියක්‌ යවමින් උන්වහන්සේලා එය පැවසූහ. එහෙත් මේ මොහොත වන තුරුත් සිදුවිය යුතු නිසි දේ සිදු වෙමින් තිබේද? සූප්පු න්‍යායේ වැඩ මිස එවැන්නක ආරම්භයක්‌ හෝ දැක සැනසෙන්නට ජනතාවට ඉඩක්‌ ලැබී තිබේද?

මෙසේ අවලංකරණය වී තිබෙන දේශපාලන වියරුව හමුවේ වත්මන් රජය අද මන්දපෝෂණය සමග බැරිබැරියාවද වැළඳුණු ආකාරයෙන් කටයුතු කරමින් සිටිනුයේ ඇයි. මේ වන විට රට හමුවේ පවතින එකී සමාජමය ගැටලුවට වටිනා විග්‍රහයක්‌ එක්‌ කරමින් අප හා සංවාදයකට එක්‌වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතාය.

කථිකාචාර්යවරයාට අනුව රටටම කොඩිවිණයක්‌ වී තිබෙන සමානුපාතික මැතිවරණ ක්‍රමය ඒ හා බැඳී ඇති දැඩි තරඟකාරීත්වය මේ සමග නිර්මාණය වන ප්‍රචණ්‌ඩත්වය එහිදී මුදල් මත පදනම්ව කරලියට පැමිණෙන "ඩීල්" හෙවත් "ලුම්පන්" ධනපතීත්වය ඒ පසුපස ඇති පාතාල සංස්‌කෘතිය සහ ඊට ශක්‌තියක්‌ සේ පෙනෙමින් නැගී සිටින තමන් අභිබවා යා නොදී පහළ ස්‌ථරය එකතැන පල් කෙරෙන ඉහළ ජාතික තලයේ දේශපාලන භාවිතාව යන කරුණු රජයේ නොහැකියාවේ ප්‍රබලම සාධක වී ඇත්තේය.

අනේ මහත්වරුනි මේ කිසිවක්‌ රටේ ජනතාවට අවශ්‍ය වූ දේවල්ද? ඔවුන් ඉල්ලූ දේවල්ද?

දේශපාලනය පාදඩකරණය වෙමින් අවනීතිය රජ කරවන මෙකී තත්ත්වය මෑත අතීතයේද ඉස්‌මතු වූවකි. එහිදී විඳවන්නට වීම නොඉවසූ රටේ ජනතාව එකී අතීතය ඉතිහාසයට එක්‌ කරමින් මහින්ද රාජපක්‍ෂ රජය බලයට ගෙන ආවේ ඊට පිළියමක්‌ ලෙසිනි. එම ජනතා තීරණය රට වැනසූ යුද්ධය ඇතුළු කරුණු කාරණා හා සස¹ බැලීමේදී වසන්තය උදා කර ගැනීමක්‌ම විය.

එහෙත් එය එසේ වුවද අද දවසේ රටට දැනෙමින් සහ ජනතාවට රිදෙමින් තිබෙන දේශපාලන වනචාරි බව කියාපාමින් සිටින්නේ එසේ උදාකර ගත් වසන්තය දැන් නිමා වෙමින් තිබෙන බව නොවන්නේද? නැතහොත් වත්මන් රජයත් ඉහත අතීතයේ මානය දෙසට යමින් ඉතිහාසයට එක්‌වීමට උත්සාහ දරණ බව නොවේද?

පැහැදිලිවම කිවහොත් නිමා වන වසන්තය සමග උදා වන ගිම්හානය පිළිබඳ නොසළකා හරිමින් රජය විසින්ම මේ කරනුයේ රටේ ජනතාව අරාබි වසන්තයක්‌ දෙසට තල්ලු කිරීමය. සිදු වන්නේ එය නොවේයෑයි වගකීමෙන් පැවැසිය හැකි කිසිවෙකු හෝ ආණ්‌ඩුවේ සිටින්නේද? නමුත් සිදු විය යුත්තේ මෙයද?

අද රටේ ජනතාවට අවැසිව ඇත්තේ වත්මන් රජය යුද්ධයට විසඳුම් දුන් ආකාරයෙන්ම රටේ පවතින සියලු ගැටලුවලට පිළිතුරු දෙන අතරේ පාදඩයන්ගේ බිලි බවට පත් නොවී සැනසිල්ලේ ජීවත් වීමටය. නමුත් ජනතා පැතුම එසේ වෙද්දී ආණ්‌ඩුව සංවර්ධනයේ හොරණෑව පිඹිමින් බකන්නිලා සිටින්නේය. නමුත් එයම තව දුරටත් සිදු වුවහොත් ජනතාවට සිදු වන්නේ සංවර්ධනය වූ අවලම් රාජ්‍යයක හෙළුවෙන් සිටින්නට නොවේද?

මේ ටික වගකීමෙන් බැඳී සිටින කවුරු කවුරුත් සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතු බව අවසාන වශයෙන් කිවයුතුය. තවමත් මේ රටේ ජනප්‍රියතම නායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. එහෙත් පවතින යථාර්ථය කිසිවකුත් වටහා නොගතහොත් හෙට දවසේ එකී ජනප්‍රියත්වයට කුමක්‌ සිදුවනු ඇතිද?