නවක වද කථිකාව තව දුරටත්


| අමිල ගුණරත්න

රුහුණු විශ්ව විද්‍යාලයේ පසුගිය කාලයේදී සිදුවූ නවක වද සම්බන්ධයෙන් වීඩියෝ පටයක් එලියට දමා තිබේ. (බලන්න http://www.youtube.com/watch?v=ClymCgN28sw) මෙම වීඩියෝ පටය බැලීමට පවා හිරිකිත එකකි. නවකයන්ට කුණු වතුර බකට් කිරීම, මඩ ගොඩේ පිනුම් ගැසීමට සැලැස්වීම වැනි වනචාරී ක්‍රියා බලෙන් සිදු කරති. සමහර ජේෂ්ඨයන් පොලු අතේ තබාගෙන ඉතා පහත් භාෂාවකින් නවකයන්ට ආමන්ත්‍රණය කරති. ජේෂ්ඨ සිසුවියන්ද ඊට දෙවෙනි නැත. තිරිසන් අන්දමට නවක සිසු සිසුවියන් වධයට ලක් කරමින් ඔවුන් සතුටක් විඳිති . මෙම වීඩියෝ පටය ලංකාවේ විශ්ව විද්‍යාල තිබෙන පහත් මට්ටම ගැන පවසන නිහඬ සාක්ෂියකි. අධ්‍යාපනික වශයෙන් ද ලංකාවේ විශ්ව විද්‍යාල ඉතාම පහලම මට්ටමටම ඇද වැටී තිබේ.

ගුණාත්මක භාවයෙන් පිරිහී ගිය ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල
ගුණාත්මක භාවයෙන් අපගේ විශ්ව විද්‍යාල ලෝකයේ අසාර්ථක රාජ්‍යයන්ටත් වඩා පහතින් සිටිති. මේ නිසා අන්තර්ජාතිකව අපගේ විශ්ව විද්‍යාල වලට කිසිදු පිළිගැනීමක් නැත. අධ්‍යාපන ගුණාත්මක භාවය අඩු වීමට ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින නවක වදයද එක හේතුවකි. අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.( උපුටා ගැනීමwebometrics.info ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි. (ගුණාත්මක බවින් තවත් පහළට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල - [සුපුන් පෙරේරා])

නවක වදය ගැන සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය මහින්ද එස්. රූපසිංහ මෙසේ කියයි
විවිධ මානසික රෝග තියෙන ළමයි විශ්වවිද්‍යාල වලට එනවා. ඒ අය තමන්ගේ මානසික ආශාවන් විවිධ ආකාරයට ප්‍රකාශ කරනවා. මේ නිසා අලුතින් විශ්වවිද්‍යාල වලට එන දරුවන්ට මේවාට මුහුණ දෙන්නට සිදු වෙනවා. සමහර සිසුන්ගේ ගෙවල්වල තියෙන ප්‍රශ්න පිටකරන්නේ ළමයින්ගේ පිටින්. මානසික අතින් පහළ මට්ටමක සිටින මේ අය මේවා කිරීමෙන් උපරීම තෘප්තියක් ලබනවා. ඔවුන් අලුත් ශිෂ්‍යයන් අතර වීරයන් වෙන්නට උත්සාහ කරනවා. විදේශීය විශ්වවිද්‍යාල වල මේ වගේ දේ දකින්නට නැහැ. අඩුම තරමේ පෝස්ටරයක් වත් දකින්නට නැහැ. විශ්වවිද්‍යාල දරුවන්ට අද වියදම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා හැම දේම නොමිලයේ රජයෙන් ලැබෙනවා. මේ නිසා දරුවන්ට අධ්‍යාපනයේ වටිනාකමක් ලැබෙන්නේ නැහැ. දරුවෝ මේ නිසයි තමන්ගේ වටිනා කාලය අනවශ්‍ය දේට යොමු කරන්නේ. මේ දේවල් නිසා සමහර අයට විශ්වවිද්‍යාල පවා හැර යන තත්ත්වයක් මතු වෙනවා. එම නිසා මේ නවක වද පීඩා තිබේනම් වහාම නතර කළ යුතුයි. අපි විශ්වවිද්‍යාල තුළ මේ වගේ දරුණු නවක වදයට තදින්ම විරුද්ධයි. මේවාට දඬුවම් දිය යුතුයි. වැරැද්දේ බරපතල කම අනුව දඬුවම් දිය යුතුයි. මේ අය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තබා ගැනීම පවා සුදුසු නැහැ. මේ අයට විරුද්ධව නඩු පැවරිය යුතුයි.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින මෙම තිරිසන් නවක වදය නැවැත්වීමට විශ්ව විද්‍යාල පාලකයන් සාධනීය පියවර ගන්නේ නැත
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින මෙම තිරිසන් නවක වදය නැවැත්වීමට විශ්ව විද්‍යාල පාලකයන් සාධනීය පියවර ගන්නේ නැත එයට හේතු කරණා තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී සුගත් රාජපක්ෂ මෙසේ පවසයි.

වර්තමාන විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් 99% නවක වදය අනුන්ට සිදු කල වධකයන් හෝ නවක වදයට ලක් වූ වින්දිතයන් වෙති. නවක වදය නැති කිරීම සදාචාරාත්මක වශයෙන් ඔවුන්ට අභියෝගයකි. එම නිසා ඔවුන් ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින අමානුෂික නවක වදය ගැන දරන්නේ උදාසීන පිළිවෙතකි. මේ නිසා ඔවුන් මේ හිංසන නැවැත්වීමට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය නොකරති. ඔවුන් මෙම ප්‍රශ්නය දකින්නේ විශ්ව විද්‍යාල සමාජයේ සිදුවන සාමාන්‍ය සිද්දීන් ලෙසටය. අපිත් මේවා කෑවා තොපිත් දැන් මේවා කාපිය යන්න මෙම බලධාරීන් බහුතරයකගේ චින්තනය වී තිබේ. එම නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් නවක වදය තුරන් කිරීමට නම් මුලින්ම කල යුත්තේ නවක වදය පිලිබඳ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරීමයි.නවක නවක වදයට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද වක්‍රාකාරයෙන් සහය දෙන බව රහසක් නොවේ. හේතුව නම් ඔවුන්ද මේ තිරිසන් ක්‍රමයේ නිෂ්පාදනයන් වීමය. අපිත් මේවල රැග් උනා උඹලත් රැග් වෙයල්ලා යනුවෙන් සිතන පිරිසක් ද සිටිති. එසේම ඇතැම් දේශපාලන පක්ෂ වලට කඩේ යන ආචාර්යවරුන් නවක වදය අනුමත කරති. සමහරු අනවශ්‍ය ගැටළු වලට මැදි වීමට ඇති බිය නිසා නවක වද නොදැක්කා සේ සිටිති. පසුගිය කාලයේ පේරාදෙණියේ කලා පීඨයේ මහාචාර්යවරයෙක් නායකත්ව පුහුණුව ගැන අදහස් දක්වමිනි " දවස් 21 කට නායකත්ව පුහුණුව දුන්නට විශ්වවිද්යාලයට ආවහම ජේෂ්ඨ ශිෂ්යයන් ඔවුන් අඹරවා ගනියි" කියා පවසා තිබුණි. එසේම පේරාදෙණිය විශ්ව විද්යාලයේ පළමු වසර සිසුන්ට නවක වදය ලබාදෙන අවස්ථාවේදී ඒ බව දුටු ආචාරයවරයෙකු එය වැළැක්වීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවද වාර්තා වේ. පිටරට විශ්ව විද්‍යාල වල සේවය කොට තිබෙන සුළුතරයක් නවක වදයේ ඇති අමානුෂික , මිනිස් අයිතිවාසිකම් සිඳ හෙලන ස්වභාවය දකිති. ඔවුන් නවක වදයට දේශපාලන මති මතාන්තර වලින් තොරව එක හෙලාම විරුද්ධ වෙති.

උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි. එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?
( වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල |-ඩී. සුගත් රාජපක්ෂ )

මෙම වීඩියෝ පටය ගැන ඇමරිකාවේ විස්කොන්සින් හි විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධිය හදාරන ලංකික සිසුවියක් මෙසේ පවසන්නීය 

" මම ඉගෙන ගත්තේ කොළඹ බාලිකා විදුහලකය. උසස්පෙළ සමත් වී මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබුණු දරුණු නවකවද නිසා මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව ගොස් ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීමට තීරණය කලෙමි. ඇමරිකාවේ විශ්ව විද්‍යාල ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ වෙනස් ද යන්න මට වැටහුනේ ඇමරිකානු විශ්ව විද්‍යාලයකට පය ගැසූ දිනයේ සිටමය. කිසිවෙකු මට අසභ්‍ය වචන කියන්නට බලෙන් වියායාම කරවීමට , බලෙන් කුණුහර්ප සින්දු කියවීමට පැමිණියේ නැත. ජේෂ්ඨ කනිෂ්ඨ බේධයකින් තොරව සිසුන් එකිනෙකාට ගෞරව කළහ. කිසිවෙකු කිසිවෙකුගේ ගරුත්වය කෙලසුවේ නැත. ලංකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් එකිනෙකාට ගරු කරන්නේ නැත. ඔවුන්ට විරුද්ධ මත ඉවසිය නොහැක. සිසුන් අතර විශාල හීනමානයක් ඉර්ශියාවක් වයිරයක් තිබේ. බටහිර විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව ලංකාවේ විශ්ව විද්‍යාල යනු වනචාරී මෙන්ම අධ්‍යාපනික මෙන්ම සදාචාරාත්මක අතින් ද නොදියුණු ආයතන වේ. මේවා නියැන්ඩතාල් මානවයන් ඒකරාශී වන ස්ථාන ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි බව මට සිතෙන්නේ මෙම වීඩියෝව නැරඹීමෙන් පසුය. ලංකාව වැනි දුප්පත් රටකට විශ්ව විද්‍යාල අවශ්‍යද යන්න මට සමහර විට සිතේ. අපේ රටේ විශ්ව විද්‍යාල අහෝසි කොට ඒවා කාර්මික පාසල් බවට පරිවර්තනය කලොත් සමාජයට වඩාත් වැඩදායි ප්‍රයෝජනවත් ශ්‍රමිකයන් බිහි කර ගත හැක.


ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය
ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි. ඔහුගේ කතාවේ යම් සත්‍යයක් තිබේ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී , කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මොවුන් අපරාධකරුවන් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය හේතු කාරනා නොවිද ?

( වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල |-ඩී. සුගත් රාජපක්ෂ )

    කොළඹ විශ්වවිද්‍යාලයේ නවකයන්ට මිනිස් අසුචි සහ කුණු මස් දියර බකට් කල අයුරු
    කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම් , ඔවුන්ගේ ආකල්ප, සිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය, ඔවුන් තුල ඇති මිනිස් වටිනාකම් ගැන සලකන විට තමන් මුලික උපාධිය නිමා කල කොළඹ විශ්වවිද්‍යාලය කොතරම් ප්‍රාථමික ස්ථානයක්ද යන්න කියා දැන් තමන්ට වැටහෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. තමා ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ බව කීමට පවා ලැජ්ජා වන බව ඔහු පවසයි.
    ( වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල |-ඩී. සුගත් රාජපක්ෂ )

    ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින නවක වධය නිසා ජිවිත ගණනාවක් නැතිවී , සිසුන් අබ්බගාතවී , මානසික රෝගීන් වී අධ්‍යාපනය අතරමග දමා ගොස් තිබේ. එසේම සමහරු විශ්ව විද්යාල අධ්‍යාපනය සහමුලින්ම අතහැර ගොස් සිටිති. මේවා ජාතික අපරාධ වේ. විශ්ව විද්‍යාලවල නවකවදය නැවැත්වීමට දැන්වත් බලධාරීන් පියවර ගත යුතුය.