මගේ ආදර තාත්තේ...

| හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

( 28.01.2012 | lankaguardian.com ) සිහිනෙකින් වත් නොසිතූ මේ හදිසි සමු ගැන්මේ වේදනාව මට දරා ගත නොහැකිය. කම්පිත හදවතේ පවත්නා ශෝකයේ තරම වචන බවට පෙරලිය ද නොහැකිය. අද මා අත්විඳිsන්නා වූ ශෝකය එතරම්ම ගැඹුරුය. කල්යත්ම මේ වේදනාව, පාළුව සෙමින් පහව යතැයි කියමින් සියල්ලෝ මා අස්‌වැසුව ද ගෙවෙන සෑම තත්පරයක්‌ පාසාම මට මාගේ තාත්තා සිහිවේ. බලන හැම අත මට පෙනෙන්නේ සිනහ පිරුණු මුවින්, ආදරය උතුරා යන දෑසින් මා දෙස බලා හිඳින මගේ තාත්තාගේ රුවයි. පුංචිම පුංචි දේකට හිත රිදුනු හිත බිදුණු විගස මා දිව ගියේ මාගේ තාත්තා ළඟටයි. හිස අත ගා සැනසුම් වදන් කී මගේ තාත්තාගේ උණුසුමේ මගේ පුංචි හිත හැමදාමත් නැළවුණි, සැනසුණි, නිවුණිs. මේ තරම් හිත රිදුණු වෙලාවක හිත බිදුණු වෙලාවක මට මගේ තාත්තා කොතරම් උවමනා දැයි මට ඔබට තේරුම් කර දිය නොහැක. මේ සමු ගෙන ඇත්තේ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර නම් ජනතා නායකයාය, දේශපාලඥයාය, වෘත්තීය සමිති නායකයාය යන්න මට මදකට හෝ අමතක කළ හැකිය. එහෙත් මේ සමු ගෙන ඇත්තේ මගේම ආදරණීය තාත්තා බව මම කෙසේ අමතක කරන්නද?

කම්පිත, සලිත මසිතේa මැවෙන මතක අතරේ අන් කවරදාටත් වඩා විසල්ව මට මගේ ගාම්භීර තාත්තාගේ රුව පෙනේ. එදා මේ තරම්ම ගැඹුරු යෑයි නොසිතුණු මගේ තාත්තාගේ හඬ අන් කවරදාටත් වඩා පැහැදිලිව දැන් මට ඇසේ. එදා ගතින් මගේ තාත්තා වැළඳ ගත් මම අද සිතින් දස දහස්‌ වාරයක්‌ ඔහු වැළඳ ගමි. ඔහුගේ ගුණ සුවඳ සොයා යමි.

කාර්යබහුල මගේ තාත්තාට මම අනේක වර නෝක්‌කාඩු කියා ඇත්තෙමි. මට තාත්තා අවශ්‍යම මොහොතක ඔහු මා ළඟ නොවිණි නම් ඔහු මාත්, මල්ලීත්, අම්මාත් දෙවැනි කොට ඇති බැව් ඔහුට කියා ඇත්තෙමි. හැමදාමත් පළමු තැන පිටස්‌තර මිනිසුන්ට දී ඇති බැව් කියා ඇත්තෙමි. මගේ තාත්තා අප වෙනුවෙන් පමණක්‌ නොව මුළු ලෝකයාම වෙනුවෙන් කැපවන්නට ඇත්තේ මහා මිනිසත්කමෙනි. එදා හිත රිදුණු වෙලාවක මා කියූ නෝක්‌කාඩු නිශ්ශබ්දව එහෙත් සන්සුන්ව සිනහ පිරි මුවින් අසා සිටි තාත්තා මා ඉදිරියේ මැවී පෙනේ. සුවහසක්‌ මිනිසුන් වෙනුවෙන් කළ කැප කිරීම් ගත් වෙහෙස අපට කියා දුන් මහා පාඩමක්‌ බව කෙදිනකවත් වචන නොකලේ ඇයි දැයි තාත්තාගෙන් අසන්නට දැන් මට සිතේ. එදා පුංචි මා නොදැන කළ වරද වරදක්‌ සේ මගේ තාත්තා කිසිදා නොසිතූ බව මම දනිමි. එහෙත්, දෙපා මුල දණින් වැටී ඔබ මිනිසත් බව වෙනුවෙන් සියලු යුතුකම්, වගකීම් නොපිරිහෙලා ඉටු කළ කාර්යබහුල මහා මිනිසෙකු බව මට මහා හඬින් කියන්නට උවමනාය.

මගේ යෙහෙළියන් කවදත් මා හැඳින්වූයේ වාසනාවන්ත දියණියක ලෙසයි. මගේ තාත්තා වැන්නකු ලැබීමට පෙර පින්කොට තිබිය යුතු බව ඔවුනගේ අදහස විය. ඔවුන්ගේ කතාවෙහි ගැඹුර මට හරි හැටි දැනෙන්නේ දැන්ය. ඔහු වැනි සෙනෙහෙබර පියෙකු ලද මා සැබවින්ම භාග්‍යවන්ත දියණියකි. මගේ තාත්තා මට විසල් රැකකි. ඔහු හිරු එළිය ද, සඳ එළිය ද පෙරා දුන් පියෙකි. විසල් තුරු සෙවනේ ආරක්‍ෂාව මැද නිදහසේ සැරිසරන්නට, මහා ගැඹුරට හිතන්නට කියා දුන් පියෙකි. අද තනිව ඇත්තේ විසල් රුක පාමුල හැදි ඒ පුංචි පැළයයි. අව් වැසිවලට පමණක්‌ නොව කුණාටුවලටද මා අද නිරාවරණය. එහෙත්, සියල්ල මධ්‍යයේ සන්සුන්ව, ශක්‌තිමත් ව සිටිනා සැටි මගේ තාත්තා මට කියාදී ඇත. මගේ පියාව මගෙන් උදුරා ගත්ත ද, කිසිවෙකුටත් මගෙන් උදුරා ගත නොහැකි බොහෝ දේ ඔහු මට තිළිණ කොට ඇත.

ජීවිතය ගැඹුරින් දකින්නට අවැසි නුවණැස ඔහු මට ලබා දුණි. නීතිය හැදෑරීමට මා යොමු කලේ මගේ පියාය. මා නීතිඥවරියක සේ අපරාධ නඩුවක්‌ කතා කරනු දැකීම මගේ පියාගේ සිහිනයක්‌ විය. එහෙත් මාගේ දැනීම පළමුව ඔහු වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා යෙදවීමට සිදු වනු ඇතැයි මගේ පියා සිහිනෙනකින් වත් නොසිතන්නට ඇත. මේ දුෂ්කර පරිසරයේත් අසීරුවෙන් හදා ගත් සිතින් මම පියාගේ සිහිනය සැබෑ කරන්නට කැප වී සිටිමි.

මගේ පියා පිළිබඳ මතක අතරේ මට කිසිදා අමතක නොවන යමක්‌ ඇත. මගේ නිවස හැම විටම මිනිසුන්ගෙන් පිරී ගිය එකකි. මේ සෑම මිනිසෙකුටම මගේ පියා ලකී අයියා විය. ඒ සෑම මිනිසෙකුම මගේ පියාගේ සහෝදරයකු විය. මගේ පියා මේ සියලු දෙනා ඇමතුවේ ළෙන්ගතු ලෙසිනි. දිනක්‌ මම තාත්තා සමඟ ඉතා සමීපව කටයුතු කළ මාමා කෙනෙකුට ඔහුගේ නම කියා ඇමතීමි. මගේ පියා එතරම් මා හා කිපුණු දිනක්‌ මට මතක්‌ කර ගත නොහැකිය. ඔහු සැර පරුෂ පියකු නොවීය. එහෙත්, එදා මට කියා දුන්නේ ජීවිතයේ මහා වටිනා පාඩමකි. මගේ පියා වියෝ වී තෙමසක්‌ ගත වී තිබුණත් ඔහුව අමතක නොකළ, අප හැර නොගිය දයාබර මිනිසුන් මගේ පියා මට ඉතිරි කොට ඇත. මිනිසුන් හා ළෙන්ගතුව ඔවුන් හා දුක සැප බෙදා ගන්නේ කෙසේ දැයි මගේ තාත්තා මට උගන්වා ඇත. අප හා සමීප, ළෙන්ගතු අප ආරක්‍ෂා කරමින් ළඟ රැඳෙන, මිනිසුන් දකින විට ඔබ අප හැර ගියත් අප හැර නොයන මහා මිනිස්‌ පවුරක්‌ අප වෙනුවෙන් තනා ඇති බැව් මට සිතේ. පිය උරුමයෙන් මට ලැබී ඇත්තේ නිර්ලෝභීව සහෝදරත්වයෙන් ජීවිතය බෙදා හදා ගන්නා මිනිසුන්ය. තාත්තේ, ඔබ මෙන් ම මම ද ඔවුන් හා බැඳෙමි. සැම විට ඔවුන් සහෝදරත්වයෙන් රකිමි. ඔවුනට පිටු නොපාමි. මට මගේ තාත්තා වෙනුවෙන් ඔවුනට දිය හැකි උසස්‌ම දේ එය යෑයි මට හැඟිමි.

තාත්තා කොතරම් සොඳුරු සරල මිනිසකු දැයි සිහි ගන්වන තවත් සිදුවීමක්‌ මගේ සිහියට නැඟේ. ගෙදරින් බැහැරට යාමට හැද පැළඳ ගෙන සිටි මම ඉරී දුර්වර්ණ වී තිබුණු මගේ පාවහන් යුගලය පරණ එකක්‌ යෑයි මැසිවිලි කීමි. මට අලුත් පාවහන් යුගලක්‌ අවශ්‍ය යෑයි කීමි. මගේ තාත්තා මේ කිසිවක්‌ නෑසුනු ලෙසින් පුටුවට බර වී ඔහු හමුවීමට ආ මාමලා සමඟ කතා කරමින් සිටි හැටි මට මතකය. මම තාත්තා සමීපයට ගොස්‌ අලුත් පාවහන් යුගලයක්‌ ගැනීමට මුදල් ඉල්ලීමි. "සෙරෙප්පු දෙක පරණ වුණාට මගේ දූගේ අගේ අඩු වෙන්නේ නැහැ, කවුරුත් මගේ දුව සෙරෙප්පු දෙකෙන් මනින්නේ නැහැ. ඕක ගණන් ගන්න එපා, ආ ඔයාට ඕනේ දැන් දාගෙන යන්න සෙරප්පු දෙකක්‌ නම් මේක දාගෙන යන්නැයි කියමින් ඔහු මට ඔහුගේ පාවහන් යුගල පෙන්වූ හැටි මට අද මෙන් මතකය. ගාම්භීර මගේ පියා තුළ වූ ඒ සරලකම සොඳුරු කම අද මම සිහිකරමි. ඔහු මට දමා ගෙන යන්නැයි කී ඒ පාවහන් යුගලය මගේ තාත්තාගේ ගතින් ගලා ගිය රුධිරය මැද වැටී තිබෙන අයුරු රූපවාහිනියෙන් දකින කළ මා සිත කෙතරම් රිදෙනවාදැයි මට ඔබට විස්‌තර කල නොහැකිය. එය දකින වාරයක්‌ පාසා ඒ පාවහන් යුගල පැළඳ සුදෝ සුදු ජාතික ඇඳුම හැද විහිලු තහලු කරමින් සිටි මගේ තාත්තා මට මැවී පෙනේ. මට නිවැරදි දිශාව කියා දුන් දිශා දර්ශකය මගේ පියාය. මට පාර කියු පහන් තාරකාව මගේ පියාය. අපේ ජීවිත එළිය කල පහන් වැට ඔහුය. නමුත්, මගේ සොඳුරු දයාබර ගාම්භීර තාත්තා අද මට අහිමිය. පෙර මා සිතා සිටියේ ඔහු මගේ ජීවිතයේ වටිනාම කොටසක්‌ කියාය. එහෙත් මගේ මුළු ජීවිතය ම ඔහු බව මට වැටහෙන්නේ දැන්ය.

කිසිඳු දුකක්‌ උහුලන්නට අපට ඉඩ නොදුන් මගේ යෝධ තාත්තා මාත්, මල්ලීත්, අම්මාත් ඔහු නොමැති සොවින් දැවෙන තරම්, තැවෙන තරම් දන්නේ නම්... වදන් බවට පෙරළිය නොහැකි ගැනිය නොහැකි, මිනිය නොහැකි මේ වේදනාවේ කටුකත්වය දන්නේ එය අත්විඳින අප පමණි. මෙලොව වසන කිසිම දියණියකට මෙවන් ඉරණමකට මුහුණ දීමට සිදු නොවේවායි මම සැමවිටම පතමි. අද මගේ තාත්තාගේ පනස්‌ හය වැනි ජන්ම දිනයයි. වෙන කවරදාටත් වඩා අද ඔහු මට සිහි වේ. එදා වගේම තාත්තා තුරුලු කොට ගෙන ඔහුට සුභ පතන්නට මට සිතේ. මගේ ගාම්භීර, අභිමානනීය, දයාබර තාත්තාට - තාත්තාගේ මතකයට මට සමුදිය නොහැක. මා දකින හැම සිහිනයකම මම ඔහු දකින්නට පතමි. උපදින හැම ආත්මයකම මම මගේ පින්බර තාත්තාම පතමි. මගේ තාත්තාට නිර්වාණයේ සුව හිමි වේවා!