අහනකොට එක ගාණක්‌ කාමරේදී තව ගාණක්‌!

රාත්‍රියේ කොළොම්පුරේ සැරි සැරියකදී ඇසි දිසි තතු

තරංග රත්නවීර

තවත් දවසක්‌ ගෙවී යමින් තිබේ. තරු බැබලෙන ඈත අහසේ සඳ සැඟ වී ගොස්‌ය. පිටකොටුව ඔරලෝසු කණුවේ වේලාව රාත්‍රි එකොළහේ කණිසමට ආසන්න වෙමින් තිබිණි. දහවල කඩිසර පිටකොටුවේ වීථි ඝන අඳුරෙන් වැසී ගොස්‌ය. නමුදු නොනිදන බස්‌ නැවතුම්පළ නම් මගී ජනතාවගෙන් කිසිදු අඩුවක්‌ නොවීය. අපි පිටකොටුව බෝ ගස අද්දර සිටියෙමු.

එක පෙළට නවතා තිබෙන ත්‍රිරෝද රථවල රියෑදුරෝ ගොදුරු සොයන උකුස්‌සන් මෙන් ඇස්‌ ගෙඩි දසත කරකවමින් සිටියහ. ඔවුන්ගේ උකුසු බැල්ම සෘජුව යොමු වන්නේ ඔබ මොබ ඇවිද යන මගී ජනතාව වෙතය. ඈතින් සෙනඟ ගොඩක්‌ වට වී මොකක්‌දෝ බලමින් සිටිනවා පෙනේ. අපි සෙමෙන් සෙමෙන් ඒ දෙසට පියනැඟුවෙමු. ඝෝෂාකාරී පිටකොටුවෙන් ලයාන්විත මියුරු සංගීත රාවයක්‌ ගලා ආවේ ඒ ස්‌ථානයෙන් බව වැඩිදුරක්‌ යන්නට මත්තෙන් අපි තේරුම් ගත්තෙමු. අපි මිනිසුන් අතරින් එබිකම් කර එහි කුමක්‌ වන්නේද කියා බැලුවෙමු. විථි ගායකයෝ දෙදෙනකු සර්පිනාවක්‌ සහ තබ්ලාවක්‌ තාලයට තලමින් ගීත ගායනා කරති. අපි ඒ ගීත රසවිඳිමින් ඒ දෙස බලා සිටිමු.

අත්බෑගයක්‌ කරේ එල්ලාගත් පැහැපත් තරුණියෝ දෙදෙනෙක්‌ ඈතින් සිට අපට ඇස්‌වලින් කතා කළහ. අපි මොහොතක්‌ ඔවුන් දෙස බලා සිටියෙමු. නැවත ඔවුහු ඇස්‌වලින් ඉඟි කර අඳුරට මුවා වූහ. අපි ඔවුන් දෙදෙනා සිටි ස්‌ථානයට ගියෙමු. අප සමග නිතර කතා බහ කර දැන හඳුනන දෙදෙනකු සේ මුව පුරා සිනා රැල්ලක්‌ මතු කර "ලස්‌සන සින්දු ටිකක්‌ කියනවා නේද?" කියා ඇසුවෙමු. මගේ මිත්‍රයා ඔව් කියමින්, බිඳකදු බිය නොවී ඇසිය යුතු ප්‍රශ්නය කෙළින්ම ඇසීය.

කීයද ගාණ..?

"මට පන්සියයි. කාමරේට පන්සියයි. ත්‍රීවිල් එකට දෙසීය පනහයි."

එක්‌ කාන්තාවක්‌ එක ප්‍රශ්නයට එසේ "තුන් ඈඳුතු" පිළිතුරක්‌ ලබා දුන්නාය.

මුදලට විකිණෙන තරුණ ජීවිතවලට එබිකම් කර බැලීමට මට සිත් විය.

ඔයාලා කොහේද? මම විමසුවෙමි.

"මේ මහත්තයෝ අපේ උප්පැන්න සහතිකයේ විස්‌තර ඔයාලට වැඩක්‌ වෙන්නේ නැහැනේ. තොරණේ බල්බ් ගණන් කරන්න යන්නෙ නැතුව තොරණ බලලා සතුටු වෙන්න."

ඒ පිළිතුරෙන් අපි මොහොතක්‌ වික්‍ෂිප්ත විමු. එක්‌ කාන්තාවක්‌ අප අසලින් ඈත් වුණේ කුටු කුටු ගාමින් තවත් මොනවාදෝ කියමින්ය. නමුදු අනෙක්‌ කාන්තාව අප සමග කුළු පගව කතා කළාය. අපි ඇය සමග විවිධ දේ කතා කළෙමු.

"මොනවද බං ඔය මහත්තෙලත් එක්‌ක ඔය තරම් කතා කරන්න තියෙන්නෙ. ඇයි කාසද බඳින්නවත් කතා කරනවද? යන්න කැමති නම් පලයන්. නැත්නම් මෙන්න මෙහෙට වරෙන්. අද සිකුරාදා දවසක්‌. බලපන් සෙනඟ පිරිලා ඉන්න හැටි."

කිලිටි වූ ඇඳුම්වලින් කේඩෑරි සිරුර වසා ගත්, අවවර්ණයෙන් යුත් මැදිවියේ කාන්තාවක්‌ එසේ පැවසුවේ අපට මදක්‌ ඈතීන් සිටය. එසේ කියා ඇය ඈතට ගියාය. ඒ යන අතර තවත් වදන් හී සර රැසක්‌ සතර අත විහිදී ගියාය.

"කොහේද යන පිස්‌සෝ දෙන්නෙක්‌ද කොහේද. උන්ට ඕනා ගෑණියෙක්‌ එක්‌ක කතා කර කර ඉන්න විතරයි වෙනත් දෙයක්‌ කරගන්න නොවේ."

තවත් බොහෝ දේවල් ඇයගේ කටකාර මුවින් ගලා ගිය මුත් අපට නොඇසිණි. අපි ඒ ගැන එතරම් තැකීමක්‌ නොකළෙමු.

කවුද ඒ ගෑණි.

මම අප සමග සිටි තරුණියගෙන් විමසුවෙමි.

"මහත්තයෝ ඒ අපේ අම්මා. අර මාත් එක්‌ක ඉඳලා ගියේ අපේ අක්‌කා. එයා තමයි අම්මට කියන්න ඇත්තේ ඔයාලා අපි ගැන විස්‌තර අහනවා කියලා."

කිසිවක්‌ නොසඟවා ඇය එසේ පැවසුවාය.

මම සංවේග ගඟුලක ගිලුනෙමි. ඇයගේ වදන් පෙළේ ගැබ්ව තිබූ අසරණකම අපි හොඳින් අවබෝධ කර ගත්තෙමු. රුපියල් ශතවලට තම ශරීරය විකිණීමට පාරට වැටුණු ඔවුන්ගේ යටිබිම්ගත ජීවිත අන්දරය ගැන ඇයගෙන් අසා දැන ගැනීමට මම නොනිමි අසාවකින් පෙලුණෙමි. අපි රුපියල් පන්සියේ නෝට්‌ටුවක්‌ ඇයගේ අතට ගුලි කර, බස්‌ නැවතුම්පළේ නවතා තිබූ බස්‌ රථයක්‌ පෙන්වා එයට ගොඩ වන්නයි සංඥා කළෙමු. ඒ අනුව ඇය බස්‌ රථයට ගොඩ වූවාය.

තරමක්‌ අඳුරු ස්‌ථානයේ නවතා තිබූ බස්‌ රථයේ අසුන්ගෙන සිටියේ මගීන් තුන් හතර දෙනෙකු පමණි. ඔවුහුද නිදි දෙව් දුව තදින් වැළඳ ගෙන සිටියෝය. මිනිස්‌ කටහඬක්‌ නොමැති බස්‌ රථයේ මගේ මිත්‍රයා හඬ අවදි කළේය.

ඔයාලගෙ ගෙවල් තියෙන්නෙ කොහේද?

අනේ මහත්තයෝ ඒක නම් කියන්න බැහැ. මේ අවටම තමයි තියෙන්නෙ.

ඇයි ඔයා මේ රස්‌සාව තෝරගත්තේ.

මම තෝරගත්තෙ නැහැ. අකමැත්තෙන් හරි එන්න වුණා. මට තාම වයස අවුරුදු 19 යි. මම පහ වසරට විතරයි ඉස්‌කෝලෙ ගිහිල්ලා තියෙන්නෙ. අක්‌කත් එහෙමයි. අක්‌කට වයස අවුරුදු 23 යි. අපිට තාත්තා කෙනෙක්‌ නැහැ. අම්මා අපිව උස්‌ මහත් කළේ නොවිඳිනා දුක්‌විඳලා. පස්‌සෙ අම්මටත් මොකක්‌ද මන්දා ලෙඩක්‌ හැදුණා. මොකක්‌ද කියලා අම්මා කියන්නෙත් නැහැ. අක්‌කා එතකොටත් රෑට රෑට මේ රස්‌සාවට ආවා. පස්‌සේ මටත් අම්මා නොකියා කිව්වා දවසකට හොඳ ගාණක්‌ හොයාගන්න පුළුවන් රෑට රෙස්‌ට්‌ටුරන්ට්‌ එකක වැඩට යන්න කියලා. පස්‌සෙ මම ඒකේ වැඩට ගියා. මම නොදැනම ඇවිල්ලා තියෙන්නෙ අක්‌කලා කරන රස්‌සාවට තමයි. දැන් ෆිල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු දෙකක්‌ විතර වෙනවා. ඇත්ත තමයි දවසකට අපි දෙතුන් දහක්‌ හොයාගන්නවා. ඒත් මොකට ද මේ සල්ලි. අපට සතුටු වෙන්න පුළුවන් ජීවිතයක්‌ නැහැ. මෙහෙම නිදිමරලා කියක්‌ හරි හොයාගෙන පාන්දර හතරට විතර ගෙදරට ගිහිල්ලා නිදාගෙන නැවත සවස දෙකට විතර මෙතැනට එනවා. ඔහොම තමයි අපේ ජීවිත ගෙවිලා යන්නෙ."

ඇයගේ මුවින් ගලා ගිය වදන් පෙළ ලයට හී සර වඳින්නක්‌ සේ මට දැණිනි. ඇයගේ දෙනෙත් අග කඳුළු කැට දිළිසුණද රූරා වැටුණේ නැත. අප සිත් මහා මානව දයාවක සුපහන් සිරින් වෙලී යන්නට පටන් ගත්තේය. ඇත්තෙන්ම බොහෝ දෙනකුන් මෙවැනි ජීවන නරාවළවලට වැටෙන්නේ ජීවිතයේ අසරණ බවිනුත් අසරණ බවට පත් වී පිළිසරණයේ දැතක්‌ නොලැබුණු තැනදීය. ඔවුන් මෙසේ අනාථ අසරණ බවට පත් වන හේතු ගෙන හැර බැලුවොත් කවර විටෙක වුවද මුළින්ම සිටින්නේ ඔවුන්ගේ නැති බැරිකමයි. කුස ගින්නෙහි වේදනාවයි. එම රුදුරු ඉරණම විසින් බොහෝ විට ඔවුන් මෙවැනි ජීවන හා සමාජ ඛෙදවාචක වෙත තල්ලු කර දමනු ලබනවා නොවේද? අපට සිතෙන හැටියට නම් ඔවුන් මේ නිරා දුකින් අත් මුදවා ගත හැක්‌කේ නීතිය රීතිය හරි හැටි ක්‍රියාත්මක වන්නා වූ පසුබිමක මෙන්ම මානව දයාවේ අපූරු හරයද වටහාගත් මිනිසුනුත් ජීවත් වන්නා වූ පසුතලයකදී පමණි.

ඇය බස්‌ රථයෙන් බැස නොපෙනී යයි. අපි මොහොතක්‌ ඇය දෙස බලා සිට නැවත කොටුව බෝ ගස පැත්තට ඇවිද ගියෙමු.

"ඔන්න පොලිසියෙන් එනවා.."

ත්‍රිරෝද රථයක්‌ තුළ අසුන් ගෙන සිටි කාන්තාවක්‌ අසලට පැමිණි මැදිවියේ පුද්ගලයෙක්‌ එසේ කියාගෙන ඉදිරියට වේගයෙන් ගියේය. ගත වූයේ නිමේෂයකි. ඇය ත්‍රිරෝද රථයෙන් බැස අතුරුදන් වූයේ අප ද විශ්මයට පත් කරවමිනි. ඒ ඔත්තුකරුවාගේ සංඥවට ඉදිරියේ සිටි තවත් කාන්තාවෝ ඔබ මොබ දුව කළුවරට මුවා වෙති. නවතා තිබූ ත්‍රිරෝද රථ ද ක්‍රම ක්‍රමයෙන් පණ ගැන් වී ඈතට ඇදී යයි. අපි පැත්තකට වී සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌දැයි පුදුමයෙන් මෙන් බලා සිටියෙමු.

"ඔහොම තමයි මල්ලි. ඕක සාමාන්‍ය දෙයක්‌. තව ටිකකින් ඔය දුවපු අය ඔක්‌කොම මේ පැත්තට එනවා."

අප අසළ සිද්ධිය බලා සිටි කිසි දිනක නොදැකපු තරුණ වියේ කඩවසම් පුද්ගලයකු අපට එසේ පැවසීය.

රාත්‍රියට පිටකොටුවේ සිදු වන දේවල් ගැන ඔහු හොඳින් දැන සිටින බව මට සිතිනි. අපි ඔහු සමග බොහෝ දේවල් කතා කළෙමු. ඔහු රාජ්‍ය ආයතනයක ලිපිකරුවකු ලෙස සේවය කරන බවත්, පදිංචිය කෑගල්ලේ බවත් අපට පැවසුවේය.

අද යාළුවකුගේ පාටි එකකට ගියා රෑ වුණා. දැන් බස්‌ නැහැ. පාන්දර පළමු බස්‌ එකේම ගෙදර යනවා. එතකන් ඇවිද ඇවිද ඉන්නවා. මාසෙකට මේවගේ දවස්‌ දෙකක්‌ තුනක්‌ විතර කට්‌ට කනවා.

ඔහුගේ කතාවට අපි බාධා නොකළෙමු. අපි තව තවත් රසමුසු තැන් ඔහුගෙන් විමසා සිටියෙමු.

මල්ලි මේ කොටුවේ ඉන්න ගෑණුන්ට අහුවෙන්න එපා. මේගොල්ල මාර වැඩ තමයි කරන්නෙ. ඔයාලට කියන ගාණ නෙවෙයි කාමරේට ගියාම කියන්නෙ. ඊට දෙගුණයක්‌ විතර වැඩි වෙනවා. ඒගොල්ලන්ගේම පොට්‌වලටනේ ගෙනි යන්නෙ. මේ අයව ඩීල් කරන මිනිස්‌සු තමයි ඔය ත්‍රීවීල්වල ඉන්නෙ. ඉතිං උන් මොකටද බය වෙන්නෙ. අනික මේ රෑට පිටකොටුවේ ඉන්නෙ බස්‌ එක අල්ලගන්න බැරි අය වගේම දුර ගමනක්‌ යන්න ආපු ඈත ගම්මානවල මිනිස්‌සු. ඒ අය මේ ගෑණුන්ගේ හැට හතර මායම්වලට නිකම්ම මාට්‌ටු වෙනවා. ඔය ගෑණුත් එක්‌ක කාමරවලට රිංගලා µqල් සුද්ධ පාරකුත් දාගෙන ලොඡ්වල ඉඳලා කොටුවට පයින්ම එන මිනිස්‌සු ඕනෑ තරම් ඉන්නවා. එක දවසක්‌ එහෙම අනාථ වුණ පොරකට මම බස්‌ එකේ යන්න කියලා සල්ලී දීලාත් තියෙනවා. පිටකොටුව කියන්නෙ රෑට මරු මරු දේවල් වෙන තැනක්‌. ඒක මෙතැන ඉඳලාම බලන්න ඕනෑ."

දිවා කාලයේ චණ්‌ඩ හිරු රශ්මියද රාත්‍රි කාලයේ සීතල සඳ එළියද පිටකොටුවේ පේමන්ට්‌කාරයන්ට අරුමයක්‌ නොවේ. ඔවුන් නොනිදන පිටකොටුවේ රෑත් දහවලත් එක ලෙස වෙළෙඳාම් කරති. අපි පෙට්‌ටි කඩ අතරින් ඝණ අඳුර දෝරෙ ගලා ගිය ගුප්ත විථි තුළ මඳ දුරක්‌ ඇවිද ගියෙමු. ඉඳ හිට කඩ පිල් අතරින් මිනිස්‌ රුවක්‌ මතු වෙයි. ක්‍ෂණයෙන් නොපෙනී යයි. අපි ඈතට නොගියෙමු. ඔබට ලියා තැබීමට නොහැකි ජුගුප්සාජනක සිදුවීම් රාත්‍රියට ඒ විථිවල කෙරෙන බව අපට පැවසුවේ අපගේ අලුත් සගයාය. එහෙත් එවැනි ජුගුප්සාජනක සිදුවීම් එදින අප දුටුවේ නැත. එමෙන්ම නවතා තිබෙන බස්‌වල ආසන (විශේෂයෙන්ම සුඛෝපභෝගී බස්‌) රාත්‍රියට තාවකාලික යහන් බවට පත් නොවේනවාම නොවේ. ඇතැම් සුඛෝපභෝගී බස්‌කාරයන් එය අමතර ආදායම් මාර්ගයක්‌ බවට පත්කරගෙන සිටින බව දන්නෝ දනිති. පිටකොටුවේ ඇතැම් පොඩි පොඩි ආපනශාලා ද රාත්‍රියට තාවකාලික ලොඡ් බවට පත් වෙන්නේ ෙෆ්ස්‌ටි්‍ර විකිණීමට නොවන බව තතු දන්නෝ දනිති. මේ කූඨ ව්‍යාපාරිකයින් විවිධ වෙස්‌ ගෙන කරන්නේ අසරණ මගීන්ගේ "සොච්චම්" මුදල සොරකම් කිරීමක්‌ නොවේද? පිටකොටුව රාත්‍රියට දුරාචාරවලින් පිරුණු මඩ ගොහොරුවකි. එහෙත් පොලිසියේ උකුසු ඇස මෙම අවකල් ක්‍රියා කෙරේ යොමු නොවෙන්නේ මන්දැයි කියා අපි නොදනිමු.

අලුත් සගයාගේ හඬ තවමත් ගලා යයි. ඔරලෝසුවේ කටු පුරුදු පරිදි කැරකැවෙයි. නොදත් දේ අසන අපේ මනසට වේලාව ගෙවී යන බවක්‌ නොතේරන සේය. අපි තව තවත් ඔහුගේ මතකය අවදි කළෙමු.

නීතිය රකින අය අතින්ම ආරක්‍ෂාවන ලිංගික සේවා සපයන ආයතන දෙකක්‌ ගැන ලබන සතියේ කියමු.

Tell a Friend