මව්පියෝ නැති අපට පිටුපා යන්න එපා...

සුගත් වීරසූරිය සහ හපුතලේ එස්‌. බුවනෙක

දාවූ හිරු මඳකුදු නොනැවතී උදා වූ මොහොතේ පටන්ම අවරගිරට බැස යන්නාක්‌ මෙන් ජීවිතයද ඇදී යන්නේ මරණය දෙසට මැයි තුන් ලෝකාග්‍ර වූ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. බොහොමයක්‌ මිනිසුන්ගේ ජීවිතය මේ රුදුරු මරණයට ගොදුරු වන්නේ ඇත්තෙන්ම ජීවත් වීමට ගන්නා දුඃත ප්‍රයත්නයේදීමය. අප මේ පත් ඉරු පුරන්නට යන කඳුළු කතාවද එම සනාතන දුක්‌ සහිත ජීවන යථාර්ථය පසක්‌කර දෙන තවත් එක්‌ කතා පුවතක්‌ පමණක්‌ නොවේ. ඒ අකාල රුදුරු ඉරණමට ගොදුරු ආදරණීය මව්පිය දෙපළකගේ ජීවන ගමනට නැවතීමේ ලකුණ වැටීමෙන් පුංචි දරු පැටවුන් තුන්දෙනකු අනාථ අසරණ බවට පත්වීම පිළිබඳ වූද කතා පුවතකි. ඉකුත් විසිපස්‌ වැනිදා බ්‍රහස්‌පතින්දා ගිනි මද්දහනය වන්නටත් කලින් හපුතලේ බදුල්ල පාර දෙසින් අසන්නට ලැබුණු මේ කඳුළු කතාවෙන් ඇත්තටම අපට දැනුණේ ජීවිතය මොහොතකට නතර වූවාක්‌ මෙන්ය.

හපුතලේ පංකැටිය අංක එකසිය පනහ දරන නිවසේ පදිංචිව සිටි එච්. ඩබ්ලිව්. තිලකසේනත් ඩබ්ලිව්. එම්. විමලාවතීත් පංකැටිය කළු කැලයට එදා උදේම පියමන් කළේ තමන්ට හැකි පමණින් දර අවුලාගෙන යළිත් සිය පුංචි පැටවුන් ද සිටින පැල්පතට පැමිණෙන අපේක්‍ෂාවෙන් යුතුව ය. අතුපතර අඹරවාගෙන කොළ රිකිලි උගුලුවාගෙන පෙරදා මූසල රාත්‍රියෙහි කළු කැලය හරහා හමා ගිය මහ සුළඟ දර අතු රිකිලි අහුලනු සඳහා ඔවුන්ට ඇරයුම් කර තිබුණේය. පෙරදා හමා ගිය ඒ චණ්‌ඩ මාරුතයෙන් කළු කැලයට දෙවනත් කරගෙන කොතෙක්‌ දර අතු පතර කඩා හැළුණද ඇති හැකි බොහෝ අයට ඒවා අහුලන්නට යන්නට වුවමනා වුණේ නැත. එසේ වුවත් තිලකසේනටත් විමලාවතීටත් ඒ දර සොයන්නට නොගොස්‌ ඉවත බලාගෙන ඉන්නට බැරි හේතුවක්‌ තිබුණේ එය ඔවුන්ගේ පමණක්‌ නොව සිය කුඩා දරු පැටවුන්ගේද ජීවිත අවුරාගෙන තදබද කරගෙන සිටි එකම ජීවන උරුමය බවට පත්වී තිබුණේය. ඒ ඔවුන්ට උපතින්ම උරුමවී තිබුණු දුප්පත්කමයි.

තම මව්පියන් ගසට යටවනු සියෑසින් දුටු ලක්‌මාල් (වමේ) ඇතුළු දරුවන් තිදෙනා..
මංපෙත් අවුරාගෙන කටු අකුල් මිරිකාගෙන හාත්පසින්ම වැඩුණු කැලෑ පීරමින් දර එකතු කිරීමේ දුෂ්කර, දුඃත ගමනෙහි ඔවුන්ගේ එදා යෙදී තිබුණේ ඔවුන් ජීවිතවල එකම උරුමය බවට පත්වී තිබූ මේ දුප්පත්කමෙහි නැති බැරිකමෙහි මෙහෙයවීමද නිසාය. තමන් දුප්පතුන් නාමයෙන් අභිසෙස්‌ ලබා තිබුණේ කවර හේතුවක්‌ නිසාදැයි ඔවුහු දැන නොසිටියහ. එහෙත් එයින් උපන් දුකත් වේදනාවත් ඔවුන්ගේ ඉහටත් උඩින් පැවැති බව ඔවුන් අතපය නඟන සැටි බලාසිටියකුට පවා හො¹කාරවම වටහා ගත හැකි විය. තවත් වියපත් දරුවන් තිදෙනකු ජීවිත පෙළක්‌ ජීවත් කරවීමට උසුලන පරම දුක මේ යෑයි ඉඳුරා පිළිබිඹු කළ කර ගැට සහිත දැතත් දෙපයත් ඔවුන්ට හැමදාමත් සොච්චමක්‌ උපයා දුන්නා පමණි. පස්‌ දෙනකුගේම කුසත් පුරවා දරු තුන්දෙනාගේ නැණ නුවණත් පාදන්නට ඒ නිසරු ඉපැයුම තිලකසේනටත් විමලාවතීටත් කොහොත්ම ප්‍රමාණවත් නොවීය. එම අනුසරින් කළු කැලයට වැදුණු ඔවුහු දර කැබලි ටිකක්‌ එකතු කරගෙන මිටි බැඳගෙන ඉතාමත් අමාරුවෙන් හපුතලේ නගරයට ගෙනැවිත් විකුණන්නට පුරුදුවී සිටියෝය.

එදිනත් මේ සුපුරුදු ජීවන කිසට සැරසුණු තිලකසේන හා විමලාවතී පමණක්‌ නොව ඔවුනගේ දොළාස්‌ හැවිරිදි පුතු වූ ලක්‌මාලුත් තමන් දෙසට පියනඟන දෙස කන්දක්‌ මෙන්ම උස්‌ව නැඟී සිටි කළු කැලය බලා සිටියේය. දුප්පත්කමේ දුක නිවා ගන්නට දර ඩිංගක්‌ එකතුකර ගැනීම එකම නිමිත්ත බවට පත්කොට කමටහන් භාවනාවකට සමවැදී තමන් මේ යන්නේ ජීවන පුරුක්‌ දාමයෙහි එක්‌ ජීවනයක තවත් අවසාන ගමනක්‌ යෑයි තිලකසේනට හෝ විමලාවතීට සිතුණේම නැත.

වැහි බරිත උදැසන හපුතලේ පංකැටිය කළු කැලයටම දැඩි සීතල සුළඟක්‌ රැඟෙන විත් තිබුණද ගස්‌ කොළන් කිසි හැඟීමක්‌ පැතීමක්‌ නැතිව නොසෙල්වී සිටියේ සොහොනක සිහිවටන මෙන්ය. පියවරෙන් පියවර නඟා ගිය කටු සහිත මාවත දිගට හමුවුණු දර අවුලාගත් මේ මව්පිය යුවළ ගමන් වෙහෙසින් විඩාවට පත්වී අවසානයෙහි නැවතුණේ කැලෑ බෑවුමෙහි ඉහළටම වෙන්නට වූ අතු පතර විහිදී ගිය මහා රූස්‌ස ටර්පන්ටයින් ගහ යටය. පෙරදා රැයෙහි මහා සුළඟ හා පොර බදා තවත් සටන් කළ නොහැකිව ටර්පන්ටයින් ගසින් බිම ඇද වැටී තිබුණු මහ දර අත්ත තිලකසේනට හා විමලාවතී මෑණියන්ට පමණක්‌ නොව පුතු වූ ලක්‌මාල්ටද නොහිමි සොම්නසක්‌ රැගෙන ආවේ එහි දර මිටි රැසක වටිනාකමක්‌ තිබූ බැවිනි. එයින් ඉක්‌බිතිව තවත් මොහොතක්‌වත් ගතවී ගිය සැටියක්‌ නොපෙනිණි. කළු කැලෑ වන ගැබම දෙවනත් කරමින් බරාස්‌...... යනුවෙන් මහහඬින් හඬාවැටුණු ගොරසැඩි ටර්පන්ටයින් ගස හරියටම කඩා ගෙන වැටුණේ අසරණ විමලාවතීගේත්, තිලකසේනගේත් කුස්‌සියෙහි වූ කිළිටි කඩමාල්ලක්‌ මෙන් දුප්පත්කමෙහි අඳුරු දුක්‌වේදනා කැටියෙන් වැහැරී ගිය දුබල සිරුරු මතටය.

මේ තිදරු මව්පියන්ට කිසිවක්‌ සිතන්නට තරම් මහා වේලාවක්‌ එතැන ඉතිරි වූයේ නැත. ටර්පන්ටයින් ගසට යටවුණු හතළිස්‌ හත් හැවිරිදි විමලාවතීගේ හිස පොඩි පට්‌ටම් වී කැබලිවලට බිඳුණේය. ඇයගේ එක්‌ අතක්‌ සහ කුකුළක්‌ ද කැඩී තිබිණි. තිලකසේනටද එබඳුම අවාසනාවන්ත ජීවන ඉරණමක්‌ උරුම වී තිබුණේ ගස වැදී හදිසියේ ගැලවී ආ මහ කළු ගලකටද ඔහු යටවීමෙන්ය.

ජීවත්වී ජීවිතය ජය ගන්නට සේම තම දරු සිඟිත්තන්ගේ කුස පුරවන්නටද දර එකතු කරන්නට ගිය ඔවුන්ගේ ජීවන කෙඳිරිය පවා සදහටම නැවතී තිබිණි. තම ආදරණීය අම්මාත් තාත්තාත් මෙවැනි කෲරතම අන්දමින් මියයනු දකින්නට තරම් අවාසනාවන්ත වූ වනයේ තනිවුණු පුංචි ලක්‌මාල්ගේ සිත මහා ශෝකයකිනුත්, බියකිනුත් වෙව්ලා ගියේය. එයින් සිහි විකල් වූවකු මෙන් ඔහු ඒ කැබලි කැඩී පොඩි පට්‌ටන් වී ගිය මව්පිය සිරුරු දෙස මොහොතක්‌ බලා සිටියේය.

ඉහ අත බදා ගෙන හඬා වැළපෙන්නට තරම් ඒ මහා දුක ඔහුගේ පුංචි හිතට බර වැඩිය. එහෙත් මහ ගින්නක්‌ මෙන් හිත වෙලා ගත් දුකින් ඔහු කඳුළු සලා ඉකි බිඳ හැඬුවේය. "අනේ අම්මේ......... මගේ තාත්තේ......... අනේ මේ මොකද වුණේ? අනේ නැඟිටින්න,........ ඇස්‌දෙක අරින්න. අපි ගෙදර යමු. අනේ.....අනේ අම්මේ.. අනේ කවුරුත් නැද්දොaයි පුංචි මුවින් නොනැවතී ගලා හැළුණු දුක්‌ මුසු විලාපය නපුරු කළු කැලයේ ඈතට ඇදී ගියත් ඒ හඬින් වන ගැබට දිව ආ කිසිවෙකුත් නොවීය.

වනගැබ හාත් පස හැමතැනම තිබුණා නම් ඒ මහා ගස්‌ කොළන් වල ඝන අඳුරු හෙවණැලි පමණක්‌ වී හිත් පිත් නැති සොබා දහමේ කෲරතම ශාපයට හසුවී මියෑදුණු සිය මව්පියන්ගේ කෑලි කැඩුණු සිරුරුත් ඔවුන් ඇඟ මත කඩා වැටුණු මහ ටර්පන්ටයින් ගසත් සක්‌වල තෙක්‌ පැතිරුණාක්‌ මෙන් පෙනුණු මහ මූකලානත් දුටු පුංචි ලක්‌මාල් පුතුට සිහිවූයේ තම අනෙක්‌ සොහොයුරු සොහොයුරියන් සමග ගෙපැලේ තට්‌ට තනියම කාලය ගතකරන ආච්චි අම්මාය.

හැකි තරම් වේගයෙන් දුවගෙන ගොස්‌ ආච්චි අම්මාට මේ විපත සැලකළහොත් ගසට යටවුණු අම්මා මෙන්ම තාත්තාද රෝහලට ගෙන ගොස්‌ බේරා ගන්නට පිළිවන් වනු ඇතැයි සිතූ ලක්‌මාල්ට ඒ වන විටත් ඔවුන් ජීවිතය අතහැර ගොස්‌ සිටි බවක්‌ වටහා ගන්නට තරම් තේරුමක්‌ තිබුණේ නැත. ඔහු හඬ හඬාම හැකි තරම් වේගයෙන් ගෙදර දිව්වේය. එය එසේ වුවත් යළිත් තම අම්මා මෙන්ම තාත්තා ද පුංචි ලක්‌මාල්ගේ ගෙදරට පැමිණියේ සීල් තැබූ ලී පෙට්‌ටි දෙකක සදාකාලික නින්දෙහි සැතපෙමිනි.

පුංචි ලක්‌මාල් ඔහුගේ අනෙක්‌ සොයුරන්ගේ මෙන්ම වියපත් මිත්තණියගේද දැස්‌වලින් වැහිවැටෙන්නාක්‌ මෙන් කඩාහැළුණු කඳුළු දිය දුටු අප නෙත් කෙවෙනි තුළටද කඳුළක්‌ උනා ආවේ මුළු හදතවම ශෝකයේ වේදනාවෙන් වෙළා තබමිනි.

"උදේ හතට විතර අම්මයි තාත්තයි මමයි කඩල තම්බල කාල තේ වතුරත් බීල දර අහුලගෙන එන්න කැලයට ගියා. අපි තුන්දෙනාම දර එකතු කර කර කැලේ උඩටම ගියා. එක පාරටම ටර්පන්ටයින් ගහක්‌ කඩාගෙන වැටුණා. මම කැලේ හරහට දිව්ව. අම්ම මට දුවන්න පුතේ කියල කෑ ගැහුව. ඒත් එක්‌කම ගහට යටවුණු අම්මයි තාත්තයි දෙන්නම ගහත් එක්‌ක කැලෑවේ පහළට ඇදීගෙන ගියා" යි හීන් හඬින් කඳුළු අතරින් කතා කළ ලක්‌මාල්ට මීට වැඩි යමක්‌ කීමට නොහැකි විය. ළපටි අත් පොඩිවලින් ඇස්‌ පිස දැමූ ඔහුගේ මුවින් දිගටම ඇසුණේ නොනවතිනා ඉකි ගසන හඬකි.

කෙසේ වුවද විමලාවතීත්, තිලකසේනත් බිලි ගන්නට තරම් සාහසික වූ කුරිරු සොබාදහම ඒත් එක්‌කම මේ පුංචි පැටවුන්ගේ ලෝකයටද ඉතා ඉක්‌මනින් අඳුර කැඳවාගෙන විත් ඇත. ඔවුන් ඉගෙන ගනිමින් සිටියේ හපුතලේ ධම්මානන්ද මහ විද්‍යාලයේය. මෙයින් මතුවට මේ පුංචි පැටවුන්ගේ බත් ටික කලට වේලාවට සොයා සපයා දී ඔවුන්ගේ කුස ගින්න නිවන්නට, ඔවුන්ගේ ඇඳුම පැළඳුම සෝදා දෙන්නට ඔවුන්ගේ ලෙඩට දුකට හරියට බලන්නට හැබෑම අම්මා කෙනක්‌ ඔවුන්ට නැත. දුකින් කඳුළින් තොර දීප්තිමත් අනාගතයක්‌ උදාකර දෙන්නට ජීවිතයම දුකෙහි උරුමයක්‌ කළ ඔවුන්ගේ තාත්තාද ජීවන මන්දිරයෙන් සදහටම සමුගෙන ගොසිනි.

තිලකසේනටත්, විමලාවතීටත් ජීවත්ව සිටියදී පවා මේ දරු පැටිත්තන්ට ඉන්න හිටින්නට හරිහමන් ගෙපැලක්‌ තනා දෙන්නට නොහැකිවිණි. ඒ ඔවුන්ගේ ඉහටත් උඩින් පැන නැඟී තිබුණු කෙළවරක්‌ නැති අගහිඟකම් නිසාය. එළවළු වර්ග කිහිපයක්‌, කෙහෙල් පඳුරු දහයක්‌ දොළහක්‌ වත්තේ කොනක හිටුවාගෙන එයින් හෝ ඒ දුක ජයගන්නට වෑයම් කළත් අවසානයේදී එම අස්‌වුණේ සියල්ලත් දන් දෙන්නට සිදුවුනේ රිළවුන්ටය. වයස්‌ ගත බවෙහි අග්ගිස්‌සටම ගොස්‌ සිටින මේ දරුවන්ගේ මිත්තණියට මින් ඉදිරියට ඔවුන් වෙනුවෙන් ඇප කැපවීමට හැකිවේද? එය සැකයට තුඩු දෙන කාරණයකි. එහෙයින් දයාබර මිනිසුනි, මිනිස්‌කමේ නාමයෙන් අප ඔවුන්ට පිළිසරණයේ දෑත් දිගු කළ යුතු උදාර මොහොත දැන් එළඹ තිබේ. අපට මේ පිළිසරණයේ දැත් සැබෑ හැඟීමෙන්ම ඔවුන් වෙත දිගු කොට ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කළ හැක්‌කේ අසරණ ඔවුන්ද අපගේම දරු පැටවුන් යෑයි සිතා ගත හොත් පමණි.

"අම්මාවරු නැති දරුවන්නේ

සංකා දුක්‌ කවුදෝ දන්නේ

ඒ දුක දන්නා අම්මාවරුමයි

යම් මතු දිනයක බුදු වන්නේ.......

සංසාරේ මතු බුදු වන්නේ.........යි

කියනු අප අසා ඇත්තේත් මේ නිසාවෙන් මැයි අපට සිතේ.

මේ අන්දමට බැලීමේදී අප කොයි කවුරුත් බඩ ගින්නට බත් ගිලින්නාක්‌ මෙන් මේ නිසරු ජීවිතවලදී නිසරු දේ වෙනුවෙන් වැය කරන එක රුපියලක්‌ හෝ මේ දරු පැටවුන් වෙනුවෙන් වැය කළහොත් ඔවුන්ට රැකවරණය පිරුණු නිවහනක්‌ ගොඩනඟා දෙන්නට ඔවුන්ගේ අනාගතය දුකෙන් කඳුළින් අඳුරු නොවන්නට කටයුතු සලසන්නට අපට නිරායාසයෙන්ම හැකිවනු ඇත.

Tell a Friend