ඉන්දියානු ආධිපත්‍ය යළි තහවුරු කරන ආණ්ඩුවේ එකඟතා හෙළා දකිමු!

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ පසුගිය ඉන්දීය සංචාරයෙන් අනතුරුව දෙරටේ විදේශ අමාත්‍යවරුන් විසින් පසුගිය 17 වැනි දින ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ.

මෙම නිවේදනය මගින් ඉන්දියාව ශ්‍රී ලංකාව තම ග්‍රහණයට ගෙන ඇති අතිශය සූක්ෂම ආකාරයද ඉන්දීය ආධිපත්‍යයේ සෙවනැල්ල රට පුරා වැටී ඇති ආකාරයද මැනවින් නිරූපණය වේ.

විදේශ අමාත්‍යවරයාගේ මෙම ඉන්දියානු සංචාරයේ අරමුණ ලෙස ප්‍රකාශයට පත්ව තිබුණේ, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ උපදේශ කමිටුවේ වාර්තාවට එරෙහිව ඉන්දියාවේ සහාය ලබා ගැනීමය. එහෙත් එම ඒකාබද්ධ නිවේදනයේ වචනයක් හෝ සඳහන් නොවන්නේද එම කරුණමය. අනෙක් අතට එම වාර්තාවේ යෝජනා කෙරුණු ඇතැම් කරුණු පෙරළා ඉන්දියාව විසින්ද යෝජනා කරනු ලැබීම දේශපාලන සරදමකි. එසේම නිවේදනයේ සමස්ත අඩංගුව ප්‍රකට කරන්නේ, ඉන්දියාවේ ආර්ථීක දේශපාලන ආරක්ෂක වුවමනාවන් වෙනුවෙන් ලංකාව මෙහෙයවා ගැනීමේ ඉන්දියානු අවශ්‍යතාව යළි තහවුරු කර ගැනීමක් මිස වෙනකක්් නොවේ.

වරාය, දුම්රිය, ධීවර යන ක්ෂේත්‍ර සහ සීපා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථීකයද, බලශක්ති ක්ෂේත්‍රද, පලාලි ගුවන් තොටුපළ සහ කන්කසන්තුරේ වරාය වැනි ආරක්ෂක මර්මස්ථානද, ව්‍යවස්ථා වෙනස්කම් හා අනෙකුත් නීති වෙනස්කම් සඳහා එකඟවීම මගින් දේශපාලනයද ඉන්දියානු අවශ්‍යතා අනුව මෙහෙයවීමට මෙම නිවේදනය මගින් රාජපක්ෂ ආණ්ඩුව නිවට ලෙස එකඟ වී ඇත්තේ, ශ්‍රී ලංකාවට කිසිදු ප්‍රතිලාභයක් නොගෙනය. මෙය එකක් කඩතොලූ මකා ගන්නට ගිය පුද්ගලයාට ඉඳුරුවේ ආචාරිය අත්කර දුන් ඉරණමට නොදෙවැනිය.

යුද්ධය නිමා වී වසර දෙකක් ගත වී තිබියදීත් උතුරු හා නැගෙනහිර ජනතාවට ලබා දිය යුතුව තිබූ සහන ලබාදීමට අසමත්ව ඒ වෙනුවට ජාත්‍යන්තර බලපෑම් කැඳවා ගනිමින් සිටින ආණ්ඩුව රටේ ස්වෛරීත්වය පිළිබඳ තම වගකීම පැහැර හරිමින් රට ඉන්දියානු ආධිපත්‍යයට යටත් කරන යෝජනාවලට එකඟතාව පළ කිරීම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.

ශ්‍රී ලංකාවේ ආර්ථීකය, දේශපාලනය සහ ආරක්ෂාව මුළුමනින්ම ඉන්දියානු ආධිපත්‍යයට යටපත් කිරීමේ ක්‍රියාමාර්ගවලට එකඟතාව පළ කරන ආණ්ඩුවේ මුග්ධ පිළිවෙත්වල විපාක ආණ්ඩුවට පමණක් නොව රටටමය¦ රටේ මුළුමහත් ජනතාවටමය. එබැවින් රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන, ආර්ථීකය ඉන්දියාවට බිලි දෙන රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කරලීම සඳහා වහා පෙළ ගැසෙන ලෙස සමස්ත ලාංකේය ජනතාවගෙන් අපි දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ

Tell a Friend