අම්බරුවා මහාචාර්ය රට ගිනි තියයි

අමිල ගුණරත්න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න කළ අනාවැකියක් නිසා දකුණේ ජනතාව කලබලවී සුනාමියකට බියවී පසුගිය දින කිහිපයක සිට නිවෙස් අතහැර යැමේ ප‍්‍රවණතාවයක් පැවති බව වාර්තා විය. ඉන් පසුව රූපවාහිනිය ඇමතූ මහාචාර්යවරයා ප‍්‍රකාශ කලේ තමා පැවසුවේ සුනාමි තත්වයක් ගැන නොව භූකම්පණයක් ගැන බවත්ය. නමුත් ඉන් කල හානිය අඩු උනේ නැත.

විද්‍යාව ඉගෙන ගෙන (සටහන් කට පාඩම් කොට විභාගය පාස් වූ අයද මීට ඇතුලත්ය) අවිද්‍යාව වපුරන මෙවැනි අම්බරුවා මහාචාර්යවරු ඉන්නේ ලංකා රාජ්ජයේ පමණි. විද්‍යාත්මක පර්යේෂණ වෙනුවට ලාභ ජනප්‍රියතාවය හඹා යන මෙවැනි ඊනියා උගතුන්ගෙන් රටට සෙතක් නැත. මෙයට වසර දෙක තුනකට පෙර පිරිත් වතුරේ අද්භුත රටා දොරමඩලාවෙන් රටට පෙන්වූ තමා තාරකා විද්‍යාඥයෙකු බව කියවමින් අවිද්‍යාව වපුරන චන්දන ජයරත්නලාද මේ ගොඩට වැටෙති. එසේම දරුවෙකු උපදින විට පියාට ප්‍රසුති කාමරයේ අවශ්‍ය නම් රැඳ සිටීමට හැකිය යන අවසරය සොක්‍ය අමාත්යංශය ලබා දීම දේශීය සංස්කෘතිය නැති කිරීමට බටහිර අධිරාජවාදී විසින් ගන්නා ලද කුමන්ත්‍රණයක් යැයි කියූ මහාචාර්යාද (මෙම අම්බරුවාගේ නම මතක නැත ) එකම පරම්පරාවේ අයවේ .

සුනාමි අනතුරු ඇඟවීම් හා භීතිය විකුණන සරසවි මන්ත්‍රාචාර්යවරු පිලිබඳ සටහනක් තබන අජිත් පැරකුම් ජයසිංහ මෙසේ කියයි.

විද්‍යාවට වඩා අවිද්‍යාව, මිථ්‍යාව හා අද්භූත බලවේග විශ්වාස කරන්නට ලංකාවේ මිනිස්සු කොහොමත් ප්‍රිය කරති. එවැනි විශ්වාසයන්ට රාජ්‍ය අනුග්‍රහය පවා හිමි වේ. ජාතීන් අතර ගැටුමේදී සිංහල පාර්ශ්වයේ ශක්තිය වැඩි කර ගැනීම පිණිස ජාතිවාදී බලවේග විසින් ප්‍රවර්ධනය කරන ලද ස්වෝත්තමවාදී ආකල්ප මෙම මිථ්‍යාවන්ට සරු පසක් විය. අද වන විට, ලංකාවේ පඳුරක්, පඳුරක් ගානේ විශ්ව ශක්තියෙන් හා වෙනත් අද්භූත බලවේගවලින් වැඩ ගන්නා වැඩකාරයෝ සිටිති. මොවුන්ගෙන් වැඩි දෙනෙක් සායනික ප්‍රතිතාර අවශ්‍ය මානසික රෝගීන් වන අතර, තවත් ඇතැමෙක් කූට ජාවාරම්කරුවෝ ය. ලංකාවේ මහජන මුදලින් ජාවාරම් කරන පාලක පැළැන්තිය මොවුන්ගේ ප්‍රධාන ගනුදෙනුකාර බලවේගය වේ. ලංකාවේ ජනයාගෙන් බහුතරය ඒ ජාවාරම් පැළැන්තිය වන්දනා කරන්නන් වන අතර ඔවුහු ද මේ පිස්සන් හා කපටින් පසුපස දුවති. අද කාලයේ පහසුවෙන් ජනප්‍රිය වීමේ හා ධනවත් වීමේ මාර්ගය වැටී ඇත්තේ මෙවැනි අද්භූත බල හරහා ය. ශාස්ත්‍ර ගවේශනය පිණිස මහජන මුදලින් වැටුප් ලබන සරසවි ඇදුරන්ට පවා දැන් මහන්සි වී විද්‍යාත්මක පර්යේෂණ කරනවාට වඩා අද්භූත බලවේග පසුපස යාමේ පහසුව වැටහී තිබේ. නලින් ද සිල්වාගේ ඊනියා ජාතික චින්තනය මේ සියලු සොරුන්ට මුවා වීමට ආවරණයකි. විද්‍යාවේ පරාසයට එපිටින් ඇති කලාප අත පත ගෑමට ලංකාවේ සරසවි මන්ත්‍රාචාර්යවරු සුරුවෝ වෙති. ජපානයට බල පෑ සුනාමියෙන් පසු නැවතත් සුනාමි අනතුරු ඇඟවීම්වලට ජනමාධ්‍යවල වෙළඳපොළක් නිර්මානය වී තිබේ. ඒකත් හරියට පිටසක්වල ජීවීන් ගැන ටෙලි නාට්‍යයක් ජනප්‍රිය වූ විට රට පුරා තැන් තැන්වලට පිටසක්වල ජීවීන් පැමිණි බවට වාර්තා පුවත්පත්වල පළ වීම වැනි ය. මේ වෙළඳපොළට බඩු සප්ලයි කරන සරසවි මන්ත්‍රාචාර්යවරු පිරිසක් ද දැන් බිහි වී සිටිති. ගැඹුරු ශාස්ත්‍රීය පර්යේෂණ වෙනුවට පුවත්පත් සඳහා සරළ විජ්ජා ඉදිරිපත් කරන මොවුහු සමාජය බිය වද්දා සිය ඡායාරූප පුවත්පත්වල පළ කරවා ගෙන තුටු වෙති. එයින් සිදු වන සමාජ ව්‍යසනය අති මහත් ය.
Tell a Friend