එලෝ මෙලෝ දෙකටම නැති ප්‍රතිභා මහානාමගේ "ලො"


 නිතිය පිළිබඳ බුද්ධිය විනාශ කිරීමෙහිලා මේ අකාරයෙන් පල් හෑලි දොඩවන කථිකාචාරවරයෙක් සංවර්ධනය ගැන කෙරෙන දෙඩවිල්ල ගැන සැලකිල්ලක් දැක්විය යුතුද? කථිකාචාර මහානාම කතාකරන දේ එලෝ මෙලෝ දෙකටම නැති "ලො" එකකි. මෙවැනි බුද්ධිමය පරිහානියක් දැකීමට තරම් ශ්‍රී ලාංකිකයා අභාග්‍ය සම්පන්න වූයේ ඇයි?

බැසිල් ප්‍රනාන්දු

ලංකාවේ නීති අධ්‍යාපන පිළිබඳව ඇති වී ඇති විශාල විහසනයේ ප්‍රකාශනයක් ලෙස ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති අංශයේ කථිකාචාර්ය ප්‍රතිභා මහානාමහේවා විසින් සිළුමිණ පුවත්පතට කර ඇති ප්‍රකාශය තුළින් පෙනී යයි. දිග හෑල්ලක යෙදෙන මෙම කථිකාචාර්යවරයා බෙහෙත් තෙල් වෙළඳාමේ යෙදෙන වෙළෙන්දෙකුට වැඩි බුද්ධිමය මට්ටමක් පෙන්නුම් නොකරයි. හන්දි ගානේ වාචාලකමට දේශපාලනය දොඩන ප්‍රචාරක වාදීයෙකුගේ දෙඩවිල්ලක් හැර මෙය පුරා නිතිය පිළිබඳවවත් නීතිමය ක්ෂේත්‍රය තුළ ලංකාව අද පවතින තත්වය පිළිබඳවවත් කිසිඳු පිලිබිබුවක් පෙන්නුම් නොකරයි.

කොළඹ විශ්වවිදයාලයේ නීති අංශය කලෙක ඉතා උසස් අධ්‍යාපන මට්ටමේ පවත්වාගෙන ගිය ආයතනයකි. මහාචාර්ය අයිවර් ජෙනින්ෂ් ගේ මඟ පෙන්වීම යටතේ පටන් ගත් මෙම නීති අංශය තුළින් ලංකාවේ නීතිඥ පරම්පාරව ගොඩ නැගීමෙහිලා විශාල බුද්ධිමය සේවයක් සිදු වී ඇත. නිතිය පිළිබඳ බුද්ධිය රටක් තුළ වර්ධන කිරීම වනාහි අතිශයින් අමාරු කාරණාවකි. එසේම අතිශයින් දුෂ්කර වූ මෙම කර්තවයට මුහුණ දෙමින් නීතිමය සංකල්ප, නීතිමය ඉතිහාසය, නිතිය සහ නෛතික සංස්ථාවන් අතර ඇති සම්බන්ධය සහ ලංකාවේ ව්‍යවස්ථාදායක නිතිය පිළිබඳ අවබෝධය ඇති කිරීමෙහිලා අතීතයේදී එම නිතී පීඨය විසින් මහඟු සේවයක් කොට ඇත. නීතියේ විවිධ ක්ෂේත්‍රයන් පවතී. මේ සියලු ක්ෂේත්‍රයක්ම රටක සංවර්ධනයෙහිලා අවශ්‍ය වන්නා වූ අංශයක් වේ.

සංවර්ධනය යනු කුමක්ද යන්න ගැන අවබෝධයක් නැති දෙඩ විලිවලට නීතිය සහ සංවර්ධනය අතර ඇති වෙන් කළ නොහැකි විශාල සම්බන්ධය නොතකා හරිය හැකිය. නමුත් එය සත්‍ය නොවේ. ලෝකයේ නිතිය පිළිබඳව වර්ධනය ගැන සලකා බැලීමේදී පෙනී යන ඉතාම වැදගත් කරුණක් නම් රටක සංවර්ධනයේ වැදගත්ම හරයන් අතර නීතියේ වර්ධනය පවතින බවයි. රටක වානිජ්‍ය මෙන්ම ආර්ථිකයේ විවිධ අංශයන් වල ශක්තිය ගොඩ නැගෙන්නේ ඒවාට අදාළ වූ නීතිමය සංකල්පයන් යටතේය. උදහාරණයක් වශයෙන් 19 වන ශත වර්ෂයේ එංගලන්තය ගත හැකිය. එංගලන්තයේ වර්ධනය 19 වන ශත වර්ෂය පුරා අතිශය වෙනස් වූ ආකාරය මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ ලියවුණු නීති ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ වලින් පෙන්නුම් කරයි. 19 වන ශත වර්ෂයේ අගදී එංගලන්තය වෙනස් වූයේ කෙසේද? මේ පිළිබඳව දේශනා 12 ක් එක් විශ්වවිද්‍යාලක් විසින් 1901 දී ප්‍රකාශ කරනු ලැබු අතර ඉන් කියවෙන්නේ 19 වන ශතවර්ෂය වූ කලී ඉතා මිලේච්ච මට්ටමක පැවති බ්‍රිතානයේ නිතිය විශාල වශයෙන් වෙනස් කළ ශතවර්ෂය ලෙසයි.

බ්‍රිතනයන් විසින් ලංකාව පාලනය කළ කාලයේ මුල් භාගය වන්නේත් 19 වන ශතවර්ශයයි. 19 වන ශත වර්ෂය පුරා එංගලන්තයේ මතවාදයන්, දර්ශනයෙහි ඇති වූ වෙනස් කම් පිළිඹුබු කරමින් ඇති වූ විශාල නෛතික වෙනස තුළින් බිහි වූ නීතීන් බ්‍රිතාන්‍යන් විසින් 19 වන ශතවර්ෂයේදී සහ 20 වන ශතවර්ශයේ මුල් භාගය තුළ ලංකාව තුළ පැලපදියම් කරණ ලදී.

ලංකාව නිතිය මත පදනම් වූ රටක් ලෙස මුල් වරට පත්වන්නේ 19 වන ශත වර්ෂයේදීය. මින් පෙර පැවති රජ වරුන්ගේ කාල වලදී නීතිය පදනම් වූයේ දැන් පවතින අකාරයෙන් නොවේ. රජවරුන්ගේ අණ විවිධාකාර මාර්ග වලින් ප්‍රකාශයට පත් වීම නිතිය වශයෙන් පැවතුණි. නමුත් ආර්ථිකය වර්ධනයට ප්‍රයෝජනවත් වන ස්ථාවර සමාජ ක්‍රමයක් සඳහා හේතුවන වන නීතියක් නිර්මාණය කිරීමෙහිලා ලංකාවේ රජවරුන් යොමු නොවුහ. එකල විවිධ චාරිත්‍ර පැවතුනි. ඒවා නිතිය වශයෙන් සලකන ලදී. මෙය ලංකාව පිළිබඳ පමණක් නොව තවත් බොහෝ රටවලට සමාන තත්වයකි.

ව්‍යවස්ථා දායක නීතිය පිළිබඳ මූලධර්මයන්ද, අපරාධ නිතිය පිළිබඳ මූල ධර්මයන්ද, සමාජයේ ස්ථාවරත්වය සහ ආර්ථිකය වර්ධනය කරා බලපවත්වන ප්‍රධානතම කරුණු වේ. නිසියාකාර සිවිල් පරිපාලනයක් ගෙන යා හැකි ආකාරයේ ව්‍යවස්ථා වර්ධනයක් පටන් ගැනීම ලංකාවේ සිදු වූයේ 19 වන ශතවර්ශයේදීය. එය පසුව 20 වන ශත වර්ෂයේදී තව දුරටත් වර්ධනය විය.

ශතවර්ෂ ඒක හමාරක පමණ මෙම කාලය තුලදී ලෝකයේ බොහෝ රටවල් විශාල පරිශ්‍රමයකින් වර්ධනය කරගත් නීති සහ රීති සංකල්පයන් ලංකාව තුළ පැලපදියම් විය. අධිරාජ්‍යවාදයේ කොපමණ අඩුපාඩු කම් සහ දුෂ්ට කම් පැවතුනත් ඉන් ලංකාවට ලැබුණු විශාලතම දායාදය වන්නේ නිතිය පදනම් කරගත් සමාජයක අඩිතාලම මත ලංකාව ප්‍රතිසංවිධානය වීමය. 20 වන ශතවර්ෂය වන විට ලංකාවේ සෑම අංශයක් පිළිබඳවම ලිය වුණු නීතියේ වර්ධනය වීමක් දකිත හැකිය.

එසේ වූවත් නිතිය ක්‍රියාත්මක වීම සිදු වන්නේ ඊට අදාළ ආයතන තුළිනි. මේ ආයතන අතර මුල් තැන ගන්නේ අධිකරණයත්, අපරාධ පරීක්ෂණයේ කාර්ය භාරය භාරව ඇති පොලිසියත්, හා අපරාධ පිළිබඳව නඩු පැවරීමේ කාර්ය පැවරී ඇති නීතිපති දෙපාර්තමෙන්තුවත්ය. 19 වන ශතවර්ෂයේ අග භාගයේත් 20 වන ශතවර්ෂයේත් මෙම ක්ෂේත්‍රයන් තුන තුළම ලංකාවේ ඇති වූයේ අති මහත් වෙනසකි. මුල් වරට පොලිස් ක්‍රමයක් ලංකාව තුළ ඇති කරන ලදී. අපරාධ පරීක්ෂණය නීතියානුකූලව සහ විධිමත්ව කිරීමත්, නීති පදනම් මත කිරීමත් යන සියලුම කරුණු මෙම පොලිස් සංස්ථාව තුළ ඇති කිරීම පමණක් නොව බොහෝ දුරට එම කටයුත්ත යම් සාර්ථකත්වයකින් යුත්තව පොලිස් සංස්ථාව සදා ගැනීමත් අයිතිහාසිකව මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් ඇති වූ මහා වෙනස් කම්ය. එමෙන්ම නීතිපති දෙපාර්තමෙන්තුවේ පටන් ගැන්ම සහ වර්ධනයද අපරාධ නඩු පිළිබඳව ලෝකයේ ඇති වූ විශාල වෙනස්කම ලංකාව තුළට ගෙන ආ ක්‍රමයක් විය. මෙවැනි සංස්ථාවක් ගොඩනගා ගැනීම අයිතිහාසිකව ඉතාමත් අමාරු කාර්යකි. එම ඉතා දුෂ්කර කටයුත්ත 19 වැනි සහ 20 වන ශතවර්ෂයේ වැඩි දියුණුව නිසා ලංකාවට අත්පත් විය.

මේ සියල්ලටම වඩා අත්‍යවශ්‍ය ඉතාමත් අමාරු කාර්ය වන්නේ අධිකරණයක් ගොඩ නගා ගැනීමය. අධිකරණක් ගොඩ නගා ගැනීම සඳහා නීතිමය බුද්ධිය වර්ධනය කිරීමක් අවශ්‍ය වේ. මෙය නීතිමය අධාපනය මඟින් කෙරුණා මෙන්ම අධිකරණ ක්‍රමය තුළ ඇති වූ භාවිතයන් තුළින් රට තුළ පැල පදියම් විය . අතිශය වැදගත් කමකින් යුතු නීතිමය බුද්ධියෙන් සමන්විත විනිශ්චය කරුවන් දක්වා රටක ඇති වූ එම වර්ධනය මහා විශාල වර්ධනයකි. එම නීතින් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා නීතින් හී ඇති වූ වෙනස් කම්ද බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමෙරිකාව වැනි රටවල පවතින දියුණු තත්වයටම පත් විය.

නමුත් ලංකාව තුළ දැන් පවතින්නේ මෙම නීති වියුහයන් බිඳී යාමේ මහා තර්ජනයය. බොහෝ විට එම නීතින් බිඳීම පරිසමාප්ත වීද නැත. ලංකාවේ පොලිසිය විස්වාශ කළ නොහැකි ආයතනයක්ය, යන්න අද පොදු ජනතාවගේ මතයයි. කොළඹ විශ්වවිදයාලයේ නීති පීඨයේ අචර්යවරයෙකුට මෙය තේරුම් ගැනීමට නොහැකි වී ඇත්නම් ඔහු සතු නීතිමය බුද්ධිය කුමක්ද යන්න ප්‍රශ්න කිරීම සාදාරණය. ලංකාවේ ගැමියෙකුට පවා මෙරට පොලිසියේ ඇති වී ඇති මහා කඩා වැටීම පැහැදිලිව අවබෝධ වේ.

එමෙන්ම ලංකාවේ ව්‍යවස්ථා නිතිය 1978 දී හඳුනවා දුන් නව ව්‍යවස්ථාව මඟින් නැති වූ බවද අද කාටත් නොරහසකි. ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම වලින් පිට පැන ගොස් අධිකරණයට ඉහලින් සිටින සේ විධායක ජනාධිපතිවරයෙකු පත්කිරීම මඟින් සම්පූර්ණ නීතිමය අඩිතාලම මර්ධනය කරන ලදී. 1978 සිට මේ දක්වා මෙම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟ ලංකාව තුළ ව්‍යවස්ථාදායක නීතීන් කෙතරම් දුරට බිඳී ගොස් ඇත්ද යන්න එහි මුලධර්ම ලංකාව තුළ කෙතෙක් දුරට භාවිත කළ හැකිද යන සැකයට පවා භාජනය වී තිබීමෙන් අවබෝධ කර ගත හැකිය. ලංකාවේ ව්‍යවස්ථා නීතියේ පවතින ඒ මහා ව්‍යහසනය අද වනවිට ග්‍රාමීය මට්ටමේ ජීවත්වන ජනතාව පවා තේරුම් ගෙන ඇති නමුත් නිතී පිඨයේ කථිකාචාර්යවරයෙකු මේ ටිකවත් තේරුම් ගෙන නොතිබීම අතිශය අභාගය සම්පන්නය. මෙම අභාග්‍ය ඔහු පිලිබඳ පමණක් නොවේ. ලංකාවේ නිතිය ඉගෙන ගන්න ශිෂ්‍යන් පිළිබඳවත්, ලංකාවේ නිතිය පිළිබඳවත් ඉතා ගැටලුසහගත සහ කණගාටුදායක හැඟීම් ඇති කරන්නකි. අද රට පුරා අවනීතිය රජ වේ. මැරවරයෝ තැන තැන හිස ඔසවමින් නීතිය අතට ගෙන ඇති අතර මාළු කඩයක් පවා පවත්වා ගැනීමට බැරි තත්වයක් ඇති වී ඇත. පසු ගිය සතියේ සිදු වූ සිදු වීම් වලින් එය පෙනේ. ගමක් ගමක් පාසාම මැරවර කණ්ඩායම් බිහි වී ඇති ආකාරයත් ස්ත්‍රියකට මාලයක්වත් දමා ගෙන පාරේ යන්න බැරි තත්වයත් රටේ කවුරුත් දනියි. මෙම ආචාර්යවරයාටනම් මේ පිළිබඳව අවබෝධයන් නැති බව පෙනෙන්නට ඇත.

ඉතා පහත් මට්ටමේ දේශපාලන ප්‍රචාරයකට නිතිය පිළිබඳ බුද්ධිමතුන් පත් වී තිබේ නම් එය මහා අභාගයකි. රටේ කතා බහ කරන මට්ටමේ සංවර්ධනයක් ඇත්තෙන්ම සිදු නොවන බවට උදාහරණයක් මෙම බුද්ධිමය පිරිහීම තුළ පෙනේ. බුද්ධියේ පිරිහීමත් ආර්ථිකයේ වර්ධනයත් එකවරම සිදු නොවේ. සිදුවන්නේ බුද්ධියේ වර්ධනයත් ආර්ථිකයේ වර්ධනයත් එක වර සිදු වීමය. නිතිය පිළිබඳ බුද්ධිය විනාශ කිරීමෙහිලා මේ අකාරයෙන් පල් හෑලි දොඩවන කථිකාචාරවරයෙක් සංවර්ධනය ගැන කෙරෙන දෙඩවිල්ල ගැන සැලකිල්ලක් දැක්විය යුතුද? කථිකාචාර මහානාම කතාකරන දේ එලෝ මෙලෝ දෙකටම නැති "ලො" එකකි. මෙවැනි බුද්ධිමය පරිහානියක් දැකීමට තරම් ශ්‍රී ලාංකිකයා අභාග්‍ය සම්පන්න වූයේ ඇයි?

Tell a Friend