එ. ජා. සංවිධානයේ වාර්තාව: මූන්ට එරෙහි රාජපක්ෂ

කතුවැකිය 
කෙසේ වෙතත් පවතින දේශපාලන කුනාටුව ජාතික සහ ජාත්‍යන්තරව වෙනතකට යොමු කිරීමේ අවකාශයක්ද තිබේ. එනම් මේ වන විට අත්තනෝමතික ලෙස සිර ගත කර සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කීරීමය. එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය නගා ඇති චෝදනාවන් වලට පිළිතුරු දීම සඳහා රට වෙනුවෙන් තවත් බලවේගයක් එක්‌ වනු ඇත. 

ශ්‍රී ලංකාවේ දේශපාලනය තවත් තීරණාත්මක සන්දිස්ථානයකට පැමිණ තිබේ. ඒ පිටු 197 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන් කි මූන් විසින් පත් කළ ත්‍රී පුද්ගල කමිටුව විසින් ලංකාවේ සිදු වී යයි කියන යුද අපරාධ සම්බන්දයෙන් නිකුත් කළ වාර්තාව සමගිනි. අදාල වාර්තාව නිකුත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය තාමත් සිදු කර නොමැති අතර ඒ වෙනුවට ලංකා ආණ්ඩුවට ලැබුණු පිටපත මාධ්‍ය මගින් හෙළිදරව් වෙමින් ඇත. අදාල වාර්තාව නිකුත් කිරීම සම්බන්දයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට එක්සත් ජාතීන්ගේ කනස්සල්ල පල විය. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාල වාර්තාව නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතය. ඊට ප්‍රතිචාර දැක්වූ විදේශ ඇමති ජී එල් පීරිස් කියා සිටියේ එය නිකුත් කිරීමෙන් ලංකාවේ ප්‍රතිරුපයට බලවත් හනීයක් සිදු කරන බවයි.එසේම ඔහු කියා සිටියේ අදාළ වාර්තාව පල නොකරන ලෙසය.

නමුත් මහා ලේකම් බැන් කි මූන් ලංකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. නිශ්චිත දින වකවානුවක් තවමත් ප්‍රකාශ නොවුනත් එම වාර්තාව ඉදිරි දිනක නිල වශයෙන් ප්‍රකාශ වනු නියතය. මේ අතර කොළඹ පවතින දේශපාලන වාතාවරණය හඳුනා ගැනීම වැදගත්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය වූ කලි බටහිර ගැති හෝ දිව දෙකේ සංවිධානයක් ලෙස විස්තර කරමින් කොළඹ ඇතැම් මාධ්‍යන් වල හැසිරීම සිදු විය යුතු ප්‍රබුද්ධ සංවාදයකට අකුල් හෙලීමක් ලෙස පෙනේ. මේ නිසා ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වූ කලි සුපුරුදු පරිදි දේශීය ජනතාව ගොනාට ඇන්දවීම සඳහා සිදු කරන වීදි නාට්‍යකින් ඔබ්බට ගිය දෙයක් නොවනු ඈත.

කුමන හෝ තත්වයක් යටතේ යම් කිසි රටක් හෝ එහි පාලන අධිකාරිය යුද අපරාධ කරුවන් ලෙස ජාත්‍යන්තර වශයෙන් තහවුරු කිරීම අතිශය බරපතල කාරණයකි. ආර්ථිකමය වශයෙන් වඩාත් අස්ථාවර තත්වයකට තල්ලු වී ඇති අවස්ථාවක මෙවැනි චෝදනාවක් ගෝලීය වශයෙන් එල්ල වීම ඉතා හානි කරය. මේ තත්වය හමුවේ ලංකා ආණ්ඩුවට තීරණ කිහිපයක් ගත හැකිය. එනම් දේශීය දේශපාලනය තුල ජනතාව වීදි තුලට බස්සවා බටහිර රට වලට විරුද්දව කා ගැසීමය. එය එළඹෙන මැයි පළමු වෙනිදා "උපන් බිමට දහ බිඳුවක් රට සුරකින ජන පවුරක්" යන තේමාව යටතේ සංවිධානය කරන මැයි දිනය තුලින් දක්නට ලැබෙනු ඇත. තම විදේශ ප්‍රතිපත්ති යයි කියමින් රාජපක්ෂ ආණ්ඩුව සිදු කල වීදි නාට්‍ය වල දිගුවක් ලෙස අදාළ රැලිය හඳුනා ගත හැකිය. සැබවින්ම අදාළ කටයුත්තෙන් රාජපක්ෂ දේශීය වශයෙන් ඇති වී ඇති ආර්ථික අර්බුදයට එරෙහිව ජනතාවගේ වීදි බැසීම වෙනතකට යොමු කර ඇත. එම නිසා මෙම තත්වය හමුවේ තව දුරටත් රාජපක්ෂ වූ කලි ජාතික වීරයකු වේ. නමුත් රටේ සබැ ප්‍රශ්න එලෙසෙම පවතින අතර තව දුරටත් ඒවා සංකීර්ණ වනු ඇත. පාලනය සඳහා නොව මර්ධනය සඳහා සුදුසු අවස්ථාවේදී සිංහ වෙස් ගැනීමටත් නරි වෙස් ගැනීමටත් රාජපක්ෂ සතු හැකියාව වෙනත් කිසිදු දේශපාලකයෙක් පෙන්වා නැත. ව්‍යාජ විමුක්ති අරගලය මුවාවෙන් දෙමල ජනතාව දුෂණය කල කොටි සංවිධානය, තමන්ගේ පුද්ගලික උවමනා එපා කම් ඉටු කිරීම සඳහා දෙමල ජනතාව විකුණනු ලැබූ දෙමල ඩයස්පෝරාව යන කරනා දෙක නිවැරදිව හඳුනා ගෙන දෙමල ජනතාවගෙන් පලි ගනු ලැබූ සිංහල නායකයා වන්නේ රාජපක්ෂය. එය ඔහු කොතරම් සුක්ෂම මට්ටමෙන් සිදු කළේද යත් දෙමල ජනතාවගෙන් තොර ගත් එහෙයි පිරිසක් අදාල මර්දනය සඳහා පාවිච්චි කළහ.

තමන්ගේ වැරදි වසා ගැනීම සඳහා එළඹෙන මැයිපළමු වැනිදා සිංහල බෞද්ධ ජනතාව වීදි බැස්සවීම තුල ඇත්තේද රාජපක්ෂගේ කපටි මර්ධන ක්‍රමෝපායයි. එහෙත් පවතින සත්‍ය දන ගැනීම සඳහා සාමාන්‍ය වැසියෙකුගේ මුළුතැන් ගෙයකට ගොස් ඔවුන් ජීවිතය ගෙවා දමන්නේ කෙසේ දැයි පිරික්සීමෙන් හැකිය. රාජපක්ෂගේ මහා සංවර්ධන සංග්‍රාමයේ සෑබා නිරුවත වන්නේ එයයි. එළඹෙන මැයි දිනය කම්කරු දිනයක් වනු වෙනුවට බටහිර විරෝධී දේශ මාමක රැළියක් කර ගැනීමේ සබැ උවමනාව වෙන කිසිවක් නිසා නොව රටේ පවතින ප්‍රශ්න මඟ හැරීමකි. ඉන් රාජපක්ෂ තව දුරටත් සනාථ කරමින් සිටින්නේ රැවටිලි කාරයෙකුට රැවටිලි වලට හසුවන්නන් නිතරම හමු වෙන තරමට මිනිස් මනස සරලය යන මැකියාවෙලියානු දේශපාලනයයි.

මූන්ගේ කමිටු වාර්තාවට ආණ්ඩුව මුහුණ දීම සඳහා භාවිතා කළ හැකි අනෙක් උපාය වන්නේ අදාළ කාරණය සම්බන්දයෙන් ජාත්‍යන්තරය පිළිගත් නීති සහ රීති රාමුවක් යටතේ කටයුතු කීරීමය. නමුත් නීතියේ ආධිපත්‍ය සහ යහ පාලනයක් සඳහා හේතුවන අනෙකුත් ස්වාධීන ආයතන වල බලය නෂ්ට කොට ඇති රාජපක්ෂ තුලින් චන්ඩියෙකුගේ භූමිකාව හැර පාලකයෙකුගේ භූමිකාවක් අපේක්ෂා කල නොහැකිය. මේ නිසා කල අපරාධ වලට පිලිගත් පර්යේෂණ නොව ඒවා වසා දැමීම සඳහා සිදු කරන ව්‍යාජ මවා පෙන් වීම් පමණක් බලාපොරොත්තු විය හැකිය. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විජය නම්බියාර් වැනි නිලධාරීන් යුද්ධයේ අවසන් අදියරයේදී සිදු කල මැදිහත් වීම් වැනි සංවේදී කාරනා හමුවේ ලංකා ආණ්ඩුවට යම් කිසි වාසි සහගත තත්වයක් නිර්මාණය වී ඇතත් එය දිගු කාලින නොවේ. මේ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල පවතින අභ්‍යන්තර ආරාවුල් හෝ බැන් කි මූන් යළි එම ධුරයට තරග කිරීම හරහා මතු වී ඇති තත්වය ලංකා ආණ්ඩුවට එතරම් වාසි සහගත නොවේ. මන්ද මෑත ඉතිහාසය තුලදී ඉතාම කෙටි කාලයක් තුලදී වැඩිම ජනතාවක් යුද්දයකදී මරා දැමුණු අවස්ථාව වන්නේ මෙයයි. මේ නිසා එය රටක අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක් නොවේ. යුද්දයෙන් විනාශ වූ ප්‍රදේශ යලි ගොඩ නැගීම සඳහා ජාත්‍යන්තරයට අරාධනා කරන ආණ්ඩුවම යුද්දයේ අවසාන අදියරයේදී සිවිල් වැසියන් ලක්ෂයක් පමණ මිය යාම තම රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක් යයි හැඳින්වීම විහිළුවකි.

කෙසේ වෙතත් පවතින දේශපාලන කුනාටුව ජාතික සහ ජාත්‍යන්තරව වෙනතකට යොමු කිරීමේ අවකාශයක්ද තිබේ. එනම් මේ වන විට අත්තනෝමතික ලෙස සිර ගත කර සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කීරීමය. එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය නගා ඇති චෝදනාවන් වලට පිළිතුරු දීම සඳහා රට වෙනුවෙන් තවත් බලවේගයක් එක්‌ වනු ඇත. නමුත් සියල්ලන්ටම පෙර තමන්ගේ පුද්ගලික බලය ගැන සිතන රාජපක්ෂගෙන් රැවටීමෙන් සහ මර්ධනයෙන් ඔබ්බට ගිය දේශපාලනයක් බලාපොරොත්තු වීය නොහැකිය. මේ නිසා අසූචි කෑම පමණක් නොව හත් පොලේ ගා ගැනීමද ස්වභාවික සාමාන්‍ය පුරුද්ද වනු ඇත.
Tell a Friend