දිවයින කතු වැකියට අපේ සුභ පැතුම්!

දිනපතා දිවයින පුවත් පත ඉතා වටිනා කතුවැකියක් යළිත් අද පල වී ඇති පුවත් පතේ ප්‍රසිද්ධ කොට ඇත. බාෂාව අනුවනම් ලිය ඇත්තේ අනුර සොලමන් විය යුතුය. සැබවින්ම මහා එකාට හෝ ඔහුගේ ගැන්සියට විරුද්ධව ලිවීමට නොහැකිව ඇඹරෙන විට මේ අකාරයෙන් එකී මහා එකාගේ රැස් වලල්ලෙන් ශක්තිය ලබා ගත් අයෙක් නටන නාඩකම් ගැන කොන්දක් තබා ගෙන ලිවීමට හැකි වීම ගැන අපි සතුටු වෙමු. එහෙත් අපි මතක තබා ගත යුත්තේ මත් පැන් හෝ වෙනත් ඒ හා සමාන ගුණ දෙන ද්‍රව්‍යක් පානය කිරීම පමණක් බේබදු කම නොවන බවයි. අදාළ කතුවරයාද ඉතා හොඳින් දන්නා පරිදි සිල්වන්තයින් වගේ ලෝකෙට මුණ දාගෙන ඉන්න බොහෝ දෙනෙක් බේබද්දන්ය.

අදාළ කතුවැකිය පහත පල වේ.

ත්‍රාඩකාරිත්වය කළමනාකරණය කිරීම

සත විසිපහකට හෝ පනහකට හෝ වැඩි වටිනාකමක්‌ නැති පළාත් සභා මන්ත්‍රී කෙනෙක්‌ උගුඩුවකු පරිදි රා බී, මීයකු පරිදි වෙරි වී දුරකථනය ගෙන පොලිසියට කතා කරයි.

එහෙත් බේබද්දාගේ ඇමතුමට පොලිසිය උත්තර නොදෙයි. එයින් කුපිත වන බේබද්දා පොලිසියට කඩා පැන රාළහාමි කෙනකුටත් පහර දී පොලිසියේ සෙසු අයටත් මරණ තර්ජන කර නික්‌ම යයි.

වත්තල පොලිසිය කේන්ද්‍ර කරගෙන හටගත් මේ පහත් සිදුවීමේදී පළාත් සභා මන්ත්‍රීගේ භූමිකාව කළේ සාමාන්‍ය මිනිසකු නම් ඒකා ගෙදර එන්නේ මිනී පෙට්‌ටියෙනි. ඒ ආවත් මළසිරුර හඳුනා ගැනීමට බැරි තරමට විරූප වී ඇත. සිරුරේ අත් පා කැඩී කුඩුවී ඇති අතර මුහුණේ තුවාල කැළැල් පිරී තිබේ. ඒ මදිවාට මළ සිරුර හමුවන්නේ ද පොලිසිය වහලේ බාල්කයක එල්ලෙමින් තිබියදීය. සැකකරු ගෙල වැලලාගත් බව පොලිසිය කියයි. අධික ලෙස පහරකෑම නිසා හටගත් අභ්‍යන්තර රුධිර වහනයෙන් සැකකරු මියගොස්‌ ඇති බව මරණ පරීක්‍ෂක කියයි.

වත්තල පොලිසියට කඩා පිනූ වෙරි වූ උගුඩුවකු බඳු පළාත් සභා මන්ත්‍රී ගැන ඊයේ (04 දා) "දිවයිනේ" ප්‍රධාන පුවතින් හෙළි කරන ලදී. පළාත් සභා මන්ත්‍රී පොලිසියේ මල් පෝච්චි ටික පොළවේ ගසා ඇත. පොලිසි වටා බැඳ ඇති තාප්ප කඩා ඉවත් කළ යුතු බවට නියෝගයක්‌ පසුගියදා නිකුත් වූ අතර මේ වන විට ඒ නියෝගය ක්‍රියාත්මක කර ඇත. දැන් බොහෝ පොලිසිවල තාප්ප තිබූ තැන්වල ඇත්තේ මේ මල් පෝච්චිය.

"වත්තල ලයින් එකේ" සිටින දේශපාලනඥයන් පොලිසිවලට පැන පහර දුන් පළමු අවස්‌ථාව මෙය නොවේ. ඒ අතර මේ රටේ පොලිසියකට දේශපාලනඥයකු කඩා පිනූ පළමුවන අවස්‌ථාවත් මෙය නොවේ. දැන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එක්‌ව සිටින හිටපු එ.ජා.ප. මන්ත්‍රීවරයකු මෙයට කලකට පෙර සීදුවේ හෝ කටාන පොලිසියේ කූඩුවේ දමා සිටි තම ආධාරකරුවකු ගලවා ගැනීම සඳහා පොලිසියට පහර දුන් ආකාරය අපට තවමත් මතකය. ඊට පෙර ප්‍රධාන පෙළේ දෙමළ දේශපාලනඥයකු මත්පැන් පානය කර බොරැල්ල පොලිසියේ ඕ. අයි. සී. ගේ පුටුවේ හිඳගත්තේය. මේ අවස්‌ථා කිහිපයේදීම පොලිසිය ඇඹරුණේය. වත්තල සිද්ධියේ පළාත් සභා මන්ත්‍රී ගැන මෙන්ම පොලිසිය ගැන ද අපි ලඡ්ජා වන්නෙමු. පළමු කොට පළාත් සභා මන්ත්‍රී රටට ඉතා නරක ආදර්ශයක්‌ සපයයි. දෙවනුව පොලිසිය සිය කොන්ද පණ නැති බව ප්‍රදර්ශනය කරයි. පොලිසියට තිබුණේ පළාත් සභා මන්ත්‍රීගේ බෙල්ලෙන් අල්ලා අවම බලය පාවිච්චි කර (බැටන් පොලුවලින් තඩිබා) කූඩුවට දැමීමය. පොලිසියක්‌ තුළදී සාමාන්‍ය මිනිසකු මෙසේ හැසිරුණේ නම් කුමක්‌ විය හැකිව තිබුණේදැයි අපි ප්‍රශ්න කරමු. ස්‌ථිර වශයෙන්ම එසේ හැසිරුණු එකා ගෙදර යන්නේ මිනී පෙට්‌ටියෙන් බව නැවතත් කියමු.

දේශපාලනය යනු එය උවමනාවට වඩා ඇඟට ගත් මිනිසා පරාභවයට දක්‌කන ඉතා නරක තත්ත්වයකි. මිනිසුන්ට දේශපාලනය නිසා බොහෝ දේ නැතිවේ. සමහරුන්ට බෙල්ලද නැති වේ. වත්තල පොලිසියට කඩා පිනූ දේශපාලනඥයාට කිසියම් පොලිස්‌ නිලධාරියකු විසින් වෙඩි තබන ලද්දේ නම් ඇති විය හැකිව තිබූ තත්ත්වය අවැඩක්‌ම මිස වැඩක්‌ සිදු කරන්නේ නැත. මෙබඳු ත්‍රාඩකාරයන් දේශපාලනයට ගෙන ඒමේ ක්‍රියාවලිය අවසන් කළ යුතුව තිබේ. මෙහි විත්තිකාරයා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කෙනකු බැවින් වැඩිදුර කටයුතු කිsරීම පක්‍ෂයේ මහලේකම් වන මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර ය. මෙබඳු ත්‍රාඩකාරයන්ට ප්‍රාදේශීය සභා ඡන්දයේදී නාමයෝජනා ලබාදීම පවා ඔහු ප්‍රතික්‍ෂේප කර ඇත.

කිසි දෙයක්‌ අප හිතන තරම් හොඳ නැත. කිසිවක්‌ බෙහෙවින් හොඳ වීමට නම් එය මිනිසුන්ගෙන් විනිර්මුක්‌ත විය යුතුය. මිනිසුන්ගෙන් තොරව දේශපාලන කළ නොහැක. එබැවින් තත්ත්වය කළමනාකරණය කරගෙන ඉදිරියට යැම හැර විකල්පයක්‌ නැත.

Tell a Friend