මගුල් කෑම



අමිල ගුණරත්න


මගුල් කෑම යනු කුමාරතුංග මුනිදාසගේ අගනා ළමා පොතකි. එහෙත් අම්ම මුත්තා කාලේදීවත් නොකා මගුල් කෑමක් ලගදී වෝටර්ස් ඒජ් හෝටලයේ දී සිදුවිය. අමාත්‍යවරයෙකු වූ ජීවන් කුමාරතුංග මහතාගේ දුව ගේ මගුල් ගෙදර කෑම සඳහා වියදම් කල මුදල රුපියල් මිලියන හතකි . මිලියන හතක් යනු ඇමතිවරුන්ට කජු ඇට කොස් ඇට වගේ මුදලක් බව පෙනී යයි. ජීවන් කුමාරතුංග යනු පාරම්පරික ධනවතෙකුද නොවේ , චිත්‍රපටවල රඟපෑමෙන් මේවගේ මුදලක් හොයාගන්නට නම් ඔහු රඟපා තිබෙන්නේ හොලිවූඩ් චිත්‍රපට වල විය යුතුය. නැතහොත් ඇලස්කාව දිහාවෙන්වත් මේ මුදල ලැබුනාද කියා සැකය.

ලංකාවේ දේශපාලනය යනු ඉල්ලමකි. එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක තම අතින් ඇප මුදල් දී දඹුල්ල ප්‍රදේශයේ බුලත් හා කවිකොළ විකුණමින් සිටි ටී බී තෙන්නකෝන්ව පාර්ලිමේන්තුවට යැවීය. දැන් මේ පරම්පරාව සුපිරි ධනවතුන්ය . ටී බී තෙන්නකෝන් ගේ මිනිබිරිය ඉගන ගත්තේ එංගලන්තයේ බව ඔබ දන්නේද? එංගලන්තයට ළමයෙකු යවා අධ්‍යාපනය ලබා දීමට තරම් මුදල් සොයා ගැනීමට තෙන්නකෝන් දෙවන පරම්පරාවට හැකි මගින් කියන්නේ ලංකාවේ දේශපාලනය කොතරම් ලාභදායක ව්‍යාපාරයක්ද යන බවයි.

1970 දී සතොසේ බඩු කිරූ මර්වින් සිල්වා අද පාක් රෝඩ් එකේ ගෙයක් හිමි නොම්බර එකේ ධනවතෙකි . ගමන් බිමන් යන්නේ පිටරට සුපිරි ධනවතුන් ගමන් කරන පෝෂ් නම් වර්ගයේ මෝටර් රථයකිනි. එතුමාගේ පුතා නයිට් ක්ලබ් වල රැයකට වියදම් කරන මුදලින් ඉහට සෙවනක් නැති දුප්පත් පවුලකට කුඩා ගේ පොඩ්ඩක් හදාගැනීමට හැකිය.

මහජන මුදල් කාබාසිනියා කිරීම අතින්ද මේ ඇත්තන් නම් දරති. මහජන මුදල් කාබාසිනියා කිරීම අතින් රෝහිත බෝගොල්ලාගමද වාර්තා තබා තිබේ , රුපියල් මිලියන ගණනක් ජනතා මුදල් වැය කොට එතුමා ඇමරිකාවේදී තම දුවට උපන්දින උත්සවයක් පැවැත්වීය .

ලංකාවේ දේශපාලකයන් යනු මහා දවාලේ බියක් ලජාවක් නැතිව මහජන දේපොළ සොරාකන මංකොල්ලකරුවන් පිරිසකි. මෙම මංකොල්ල නඩයට ආරක්ෂාවට සෙකුරිටිකාරයන්ද , පින් පඩි කන කාර්ය මණ්ඩලයක්ද , ගමන් බිමන් යාමට මහජන මුදල් වලින් ප්‍රාඩෝ , ජගුවර් රථ ද ලබා දී තිබේ. ඔවුන් තම තමන්ගේ වියාපාර යහමින් කරගෙන යන අතර ජනතාව ගොනාට ඇන්ඳීම සඳහා සංවර්දන මිරිඟු , ජාතිවාදය , බටහිර කුමන්ත්රණ , පෙන්වති. පුජ්‍ය පක්ෂයද තමන්ගේ පිගාන පුරවාගෙන මහජන දේපොළ සොරාකන්නන්ගේ පසුපස ගොස් සෙත් පතති. ප්‍රේත වත්තු ප්‍රකරණයේ මහජන මුදල් සොර කන මේ වගේ නඩ ප්‍රේතයන් කුම්භාණ්ඩයන් වී ඉපදෙන බව දැක්වී දැක්වේ. එහෙත් එවැනි බණක් දේශපාලඥයන්ට කීමට යථාවාදී තථාකාරී භික්ෂුන් අද අප අතර නොමැත.

දේශපාලකයන් ලංකාව නමැති වල බාගෙන කන්නේ හරි හමන් විපක්ෂයක් නැති නිසා නොව

( විපක්ෂය බලයේ සිටියදී මහජන දේපොළ සොරා කෑ හැටි අපට තවම අමතක වී නැත) විචාර බුද්ධියකින් යුතු ජනතාවක් මේ රටේ නැති නිසාවෙනි. බත් පැකට් එකට අරක්කු කාලට පෙළපාලි යාමට මේ රටේ මිනිසුන් ඕන පදම් සිටිති. . එහෙත් පොදු දේපොළ හොරා කන චෞර්යන්ට විරුද්ධ වීමට මිනිසුන්ට කොන්දක් නොව එය වටහා ගැනීමට මොලයක්ද පවා නැත.

Tell a Friend