ජඩාධිපතිතුමන් දුටු මරුමුස් හීනය

(January 20, Colombo, Sri Lanka Guardian) ආර්යාව උදේ පාන්දර දාන නොන්ස්ටොප් දෝස් මුරයට සංවේදී වූ ජඩාධිපතිතුමන්ට කුමක් හෝ වැරැද්දක් වී ඇති බැව් තේරුම් ගියේය. ජඩාධිපතිතුමන්ට රාත්‍රියේ නින්දෙන් මුත්‍රා පහ වී තිබුනේ ආර්යාව මාස ගණනාවක් පාරමී පූරණය කොට පැරිසියෙන් ගෙනා රෝසපාට දුහුල් නිදන ඇඳුමද තෙත් කරගෙනය.

“… කියන්නෙ නම් මහ පෙළහරින් දෙරණ එක් සේසත් කළ මහරජානෝ කියලා. තාම හිච්චි එකා වගේ ඇඳේ චූ කර ගන්නව…” ආර්යාව සහේලි ගැන තිබූ හීන් ඉරිසියාවක්ද එළියට දාන්නට පටන් ගත් විට එනපොට හොඳ නැති බව තේරුම් ගත් ජඩාධිපතිතුමා ඒ කතාවට අසංවේදී වී,අනෙක් පැත්තට පෙරළී, තමන්ට ඇඳේ චූ ගියේ මොකදැයි හිතන්නට විය.


ජඩාධිපතිතුමා රාත්‍රියේ අති බියකරු හීන ගණනාවක්ම දැක්කේය. ඒවායේ භයානක මකරුන්, සිංහයන්, කොටියන්, ව්‍යාඝ්‍රයින්, වෘකයින්, දඩ බල්ලන් විතරක් නොව අහිංසක යැයි බොහෝදෙනකු සිතා ඉන්නා එහෙත් කිසිසේත් එසේ නොවන මාරක හංසයෝද ප්‍රාදුර්භූත වූහ. මේ හැම එකාටම ඕනෑ උනේ ජාඩාධිපතිතුමන්වම ලන්ච් එකට ගන්නටය. අඩු ගණනේ මේන් කෝර්ස් එකට වත් නොව ඇපටයිසර් එකටය. (හැමෝටම මේන් කෝස් එකට ඕනැවුනේ එළු මල්ලිය. මං මෙච්චර පීචං වෙලාදැයි ජඩාධිපතිතුමන්ට නොසිතුනාම නොවේ.)

මකරා කියා සතකු නැතුවා සේම, හංසයා කියා සතෙක් නැතැයිද, ඉන්නේ පාත්තයින් පමණකැයිද කියා සිනමා නිළියකගෙන් ඉගෙන ගෙන තිබූ ජඩාධිපතිතුමන් හිත හදා ගන්නට බැලුවේය. නිදියහනේදී රත්තරං පැටියෝ, චූචි කොල්ලෝ කියා ආලවට්ටම් දමමින් තොත්ත බබාලා සේ හුරතල් වන සිනමා නිළියන්ම සැබෑ ජීවිතයේදී කොයි තරම් ප්‍රඥාවන්තදැයිද, දෙකයි දෙකේ නිළියක දන්නා දෙයක් වත් නොදැන ‘හංස සංදේශය’ ලියූ වීදාගම මෛත්‍රිය හාමුදුරුවන් එල්ලාවල මේධානන්දගේ ටයිප් එකේ දන්නා දෙයකුත් නැති, නොදන්නා දෙයකුත් නැති ගං කබරයෙකැයිද එතුමන්ට සිතුනේය. ‘සුදු හංසි’ චිත්‍රපටය ‘සුදු පාත්ති’ කියා නම වෙනස් නොකළොත් අක්ෂරය තහනම් කළාක් සේ තහනම් කළ යුතු යැයි සේරසිංහට හෝ මහින්ද යාපාට දැනුම් දිය යුතු යැයිද කල්පනා විය.

පන්සිල් ගෙන නිදාගත් විට භයානක සිහින නොපෙනෙන්නේයැයි ජඩාධිපතිතුමන්ට පැටි වයසේදී අම්මා කියා දී තිබුණේය. ජඩාධිපතිතුමන්ද ඊට උත්සාහ නොදැරුවාම නොවේ. ප්‍රශ්නය එවිට වෙන අනම් මනම් හිතට ඒමය. පාණාතිපාතා කියනකොට එතුමන්ට චැනල් ෆෝ වීඩියෝ එක මතක් විය. අදින්නා දානා කියනකොට මඟ නැඟුමද, මිහින් එයාර්ද සිහියට ආවේය. කාමේසුමිච්චාචාරා කියන කොට අනර්කලීද සහේලිද මැවී පෙණුනේ ඇඟේ නුල් පටක් වත් නැතිවය. මුසාවාදා කියන කොට ගැබිණි පෝෂණ මල්ල, කිරිපිටි දීමනාව වැනි චින්තන පොරොන්දු එකින් එක ෆ්ලෑෂ් විය. අන්තිමට සුරාමේරය කියන කොට එල්ලාවල මේධානන්ද මතක් වී මළ පැනපු ජඩාධිපතිතුමන් ෆොන්සේකාට ඡන්දය දුන්නත් මින්පසු පන්සිල් නොගනිමියි සපථ කළේය.

ඉන්පසු බුදු හාමුදුරුවන් උදෑසනම පිබිද, සියල්ලටම පළමුව අද පිහිට වන්නේ කවරකුටදැයි සමාපත්තියට සමවැදී කල්පනා කලාක් මෙන් ජඩාධිපතිතුමන්ද අද ෆොන්සේකාට ගහන මඩ මොකක්දැයි කල්පනා කළේය. ප්‍රභාකරන්ගේ ඔළුවට ගහපු පොරොව ගත්තේද ධනුන තිලකරත්නගේ කොම්පැණියෙන්ය කියා කිව්වොත් දෙමළ ඡන්ද ටිකක් ගරා ගත හැකියැයි එතුමන්ට සිතුණත්, මෝඩ දේශප්‍රේමීන් ටිකක් එය විශ්වාස කර ෆොන්සේකාට ඡන්දය දෙන්නටද බැරි නැතැයි සිතුණු නිසා අදහස අත්හැර දැමුවේය. පෙර දවසට තමන්ට වුණු ඇබැද්දියක් ෆොන්සේකාට හරවන්නට හිතූ ජඩාධිපතිතුමන් ෆොන්සේකා වරෙක කෝප්‍රාල්වරියකගෙන් වින්දනයක් ලැබීමෙන් පසුව වැරදීමකින් තම යට ඇඳුම වෙනුවට ඇගේ රෝස පාට පෑන්ටිය ඇඳගෙන ගොස් බිරිඳට අසුවී සිදුවුණු අබග්ගය ගැන කතාවක් හදා ප්‍රචාරය කරන සේ විමල් වීරවංශට උපදෙස් දෙන්නට සිතුවේය. සුවබර කුටියක, සැප පහසු යහනක, අඩ නින්දේදී ලිංගික හැඟීම් පහළ වීමෙන් ප්‍රමෝද්ගමනයට පත් එතුමාගේ නෙත් යළිත් වරක් පියැවුණේය. මුත්‍රා වලින් තෙත්වූ සරමින් දැනෙන අපහසුව මත වුව එතුමෝ යළි නිද්‍රාවට පත්වූහ.

නින්දේ REM අවස්ථාවට පත් ජඩාධිපතිතුමන් තමන් හැමදාම දකින සංවේදී සිංහයා හා අසංවේදී සිංහයා මෙගා හීන මාලාවේ තවත් හීනයක් දුටුවේ මැද්දෙන් ඇඩ්වටීස්මන්ට් එකක් දෙකක්ද සමඟය.

මෙවර සංවේදී සිංහයාද අසංවේදී සිංහයාද සටනට එළඹ තිබුණේ එළාර-දුටුගැමුණු ආකාරයටය. අසංවේදී සිංහයා නැඟී හිටියේ හරිත හා රන්වන් පැහැගත් බෙල්ලේ රතු සීනුවක් එල්ලු හස්ති රාජයකු පිටය. පින්නවලින් ඉස්සූ ඇත් පැටවුන් මිසක, සැබෑ ලොවේදී මෙවැනි මල්ටිකලර් හස්තියකු නොදැක තිබුණු ජඩාධිපතිතුමන් හීනයකදී ඕනෑම දෙයක් විය හැකිය සිතුවේය. සංවේදී සිංහයා නැඟ සිටියේ ජැක්සන් ඇන්තනිගේ කර උඩය. ජැක්සන් ඇන්තනි මෙච්චර ගඳ මොකදැයි සිතූ ජඩාධිපතිතුමන්ට සංවේදී සිංහයාගේ මළ මුත්‍ර සියල්ලම පහව ඇත්තේ ජැකාගේ ශරීරය මත බව තේරුම් ගියේය. සංවේදී සිංහයාට සිතුණේ අනෙකාට සාපේක්ෂව තමන් ගොඩක් පහතින් සිටින බවය. අසංවේදී සිංහයා හිටි හැටියේ ඔච්චර උඩ ගියේ කොහොමදැයි සංවේදී සිංහයා සිතුවේය. ඌට කොයිතරම් තරහ ගියාද කිව්වොත් පස්සා ගාතය ජැක්සන්ගේ කකුල් දෙක අතරින් යවා ජැක්සන්ගේ වෘෂණ කෝෂය මිරිකා “මාව උස්සපිය යකෝ!” කියා බෙරිහන් දුන්නේය. අනපේක්ෂිත වේදනාවෙන් මැඬී ගිය ජැකා සංවේදී සිංහයා උස්සනවා වෙනුවට දොග් ගා බිම අත ඇරියේය. ජඩාධිපතිතුමන් හීනයෙන් අවදි වීමත් දෙවනවරටත් මුත්‍රා පහවීමත් සිදුවූයේ එක්වරය.

මේ සැරේ නම් ෂුවර් එකටම වදිනවායැයි ආර්යාවගෙන් කණ හරහා පාරක් අපේක්ෂාවෙන් දෙනෙත පියාගෙන සිටි ජඩාධිපතිතුමන් හිටි හැටියේ තමන් කාගෙදෝ කරපිටින් ගෙන යනු දැනී පුදුම විය. නිදිමත පහවී යත්ම එතුමන්ට වැටහුණේ හීනෙන් ජැක්සන්ට “උස්සපිය යකෝ” කියා කෑගැසීම තමන්ට කළ විධානයක් සේ තේරුම් ගත් සෙකුරිටියන් තමන් උස්සාගෙන උදෑසන ශරීර කෘත්‍යය පිණිස වැසිකිළියට අරගෙන යන බවය. මෙච්චර ඉක්මණට මුන් ආවේ රෑ ඇඳ යට නිදාගෙන හිටියද දන්නෙත් නෑ කියා ජඩාධිපතිතුමන්ට හිතුණේය. නිදිමත යන්නත් එක්ක ඔහු තමන් විද්‍යෝදය පුස්තකාලයේ ලයිබ්‍රරි ඇසිස්ටන්ට් කාලයේ ඉගෙන ගත් සින්දුවක් සිවුරුහන් බෑවේය.

රැජන මමයි අපේ රාජ්ජේ…
රැජන මමයි අපේ රාජ්ජේ…

ඒ කන්දත් අපේ තමයි
මේ කන්දත් අපේ තමයි
කඳු යායම අපේ තමයි
අපේ රාජ්ජේ…

රැජන මමයි අපේ රාජ්ජේ…
රැජන මමයි අපේ රාජ්ජේ…

සෙකුරිටියෝ “සෙබළු අපියි අපේ රාජ්ජේ” කියමින් අත්වැළ ඇල්ලූහ.

(ප්‍රබන්ධයක් පමණි. සියළු චරිත සිදුවීම් මනඃකල්පිතය.)

-Sri Lanka Guardian