රාජපක්ෂ තලේබාන් ත්‍රස්තවාදියෙකු ලෙස


නිලන්ත ඉලංගමුව


රාජපක්ෂ පරාජිතයාට එරෙහිව සටනට බැස ඇත. තමන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් නොකළ බවත්, කළේ නොනවතින තවමත් ක්‍රියාත්මක මානුෂීය මෙහෙයුමක් බවත් යැයි ජනාධිපතිවරයා අමුතු බණක් ඊයේ දේශනා කළේය. ඒ දියතලාවේ පැවති යුධ හමුදා සෙබළුන්ගේ පුහුණුව අවසාන වීමෙන් පසු පැවති විසිර යාමේ උළෙලකදීය. වඳින්න වදින්න ගහන්නාත් මෝඩයා; ගහන්න ගහන්න වදින්නාත් මෝඩයා යැයි සිංහලේ ඇති සාමාන්‍ය ජනවහරකි. රාජපක්ෂ මින් කුමන කුලකයට අයිති වන්නේ දැයි නොදිනමි. නමුත් මින් එකකට අනිවාර්යෙන්ම ඔහු අයත් වන්නේ ලාංකික දේශපාලන භූමිකාව තුළ මිස ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය තුළ නොවේ. ඔවුහු දැනටමත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සුඛ විහරණ සීමාව ඉක්මවා තර කර ගෙන අවසානය. මහින්ද චින්තනහි කේන්ද්‍රය එයයි. අරමුණද එයයි. සීමා රහිත බලය සහ කුමක් කලත් අධිකරණයකට දැක්කීමේ නොහැකියාව යන මුලිකාංගයන් තරකර ගැනීම එහි හරයාත්මක කාරණා වේ.


"  කිසිඳු යහපතක් සඳහා දිවෙන සමාජීය ක්‍රමයක් නැති, නීතියක් තිබුණද එහි විනිවිධබාවය අහිමි, පොලිසියක් තිබුණද එහි පාලනය දූෂණය මත තීරණය වූ විට දැක ගත හැකි ශාපලත් භූමියකින් දැක ගත හැකි  අඳකාරය සහ ප්‍රතික්‍රියාව  වන්නේ එයයි.  එවැනි තැනක ඇතිවන්නේ මෝහනයට පත් වූ දේශහිතෛශීන් යැයි කියා ගන්නා පිරිසක් මිස බුද්ධි ගෝචරව රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වලට හවුල් විය හැකි හෝ රටේ වෙසෙන ජනවර්ග අතර සමඟිය ඇති කරණ පිරිසක් නොවේ."
 __________________________________

මෙවර ජනාධිපතිවරයා පරාජිතයාට එරෙහිව සටනට බැස තිබේ. ඔහු එය පරාජය වී ඇති බවද නියත වශයෙන්ම දනී. එහෙත් ඔහු සටන් කාරණා බව කියයි. මින් මතුවන මුලික සිද්ධියක් තිබේ, එනම් මොහු ලෝකයේ පරජිතයෙකුට විරුද්ධව සටන් කරන ප්‍රථම අසහාය රාජ්‍ය නායකයාද විය හැකිය. එය නව ගිනිස් වාර්තාවක් ලෙසද නම් කිරීමට බැරි නැත. ලෝක ඉතිහාසයේ සඳහන් වූයේ පරාජිතයින් සමඟ සටන් වැදීම නොවේ. යම් තාක් දුරකට මහලු එළාර රජුට එරෙහිව සටන් කළ නව යොවුන් රාජ්‍ය නායකයෙකු වූ දුටු ගැමුණුවත් පරාජිතයාට විරුද්ධව සටන් කළේ නැත. ඔහුවූ තමන් සමඟ සටන් කොට පරාජය වූ අයට සැලකීමටද උගත් අයෙක් බව සඳහන් වේ.

නමුත් රාජපක්ෂ තමන්ගේ බණ දේශනා තුළම තමන්ම අසරණයෙකු වී සිටින නමුත් එය සඟවා ගැනීම සඳහා මං මුලා වී සිටින සාමාන්‍ය ජනතාවට මහා භයානක බිල්ලෙකු පෙන්වයි. ඒ බිල්ලා එක වෙලාවකට පර සුද්දන්ය. තවත් වෙලාවකට මුල්ලවයික්කාල් වලින් අවසන් හුස්ම හෙලු ලංකාවේ මෑත ඉතිහාසයේ සැබෑ සුක්කානම වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවතාරයය. තවත් විටෙක එම අවතාරයට ඉන්ධන දමමින් සිටින පිටරට වල සිටිට ද්‍රවිඩයින්ය. තවත් විටෙක පිටරටවලට ගොස් සිටින රාජපක්ෂයේ මහා අධිරාජ්‍ය වෙනුවෙන් කුමන්ත්‍රණය කරණ මහා බයානක, මුදල් කුට්ටි පිටින් සොයන කුමන්ත්‍රණ කරුන්වන්ය. නමුත් රාජපක්ෂ නොදන්නේ තමන්ගේ කුමන්ත්‍රණ කරුවා සිටින්නේ තමන්ගේම මුළුතැන් ගේම බවය. එනම් රාජපක්ෂ විසින්ම පසුගියදා හම්බන්තොටදී සඳහන් කළ පරිදි තමන්ගේ කෑම තමන් ඉදිරියේදීම තව එක්කෙනෙකුට කවා එය වස නොවේ නම් තමන් කන බවය. මින් කියවෙන්නේ මෙතරම් බහුතර කැමැත්තක් ඇති අසහාය නායකයාට තමන්ගේ කෑම ටික පිසීම සඳහා විශවාස කළ හැකි අඩුතරමින් පස් දෙනෙකුවත් මුළුතැන්ගෙහි කටයුතු සඳහා සොයා ගැනීමට නොහැකි බවය. දේශප්‍රේමියාගේ සැබෑ නිවට හෙළුව වන්නේ මෙයයි. ඔහු දෙමළ පමණක් නොව සිංහල ජනයාද සැක කරණ පරිමාණය වන්නේ මෙයයි.

මෙය කදිමය , විටෙක ආනන්ද ජනකය, තවත් විටෙක කිසිවක් නැති තැනට සිනහව උපදවන හාසය ජනක නමුත් ඛේදනීය රංගනයක්ය. බොරුව සහ බොරු කීම සේම කිරීම සමාජයේ ඇත්තක් වූ විට පවතින තත්වය මෙයයි. සියල්ල දේශපාලනීකරණය වී ඇති දේශපාලකයා දේශපාලනය හැර අනික් සියල්ලම සිදු කරණ රටක් බවට පත් වී ඇති ලංකාවෙන් හමන්නේ එකී බොරුවේ දුර්ගන්ධය මිස වෙන කිසිවක් නොවේ. පරාජිතයාට එරෙහිව සටනට බැස ඇති රාජපක්ෂද දායක වී ඇත්තේ එහි කතුවරයෙකු මිස වෙන කිසිවක් ලෙස නොවේ. සැබවින්ම සිදු කරමින් සිටින්නේ කරණ දේශපාලන ගොන්කම් පිළිගැනීම සඳහා බල කිරීමට සමාජය පෙළඹවීම හැරෙන්නට තමන් යහපාලකයෙකු ලෙසට පරිවර්තනය/පරිණාමය වීම නොවේ.

කිසිඳු යහපතක් සඳහා දිවෙන සමාජීය ක්‍රමයක් නැති, නීතියක් තිබුණද එහි විනිවිධබාවය අහිමි, පොලිසියක් තිබුණද එහි පාලනය දූෂණය මත තීරණය වූ විට දැක ගත හැකි ශාපලත් භූමියකින් දැක ගත හැකි අඳකාරය සහ ප්‍රතික්‍රියාව වන්නේ එයයි. එවැනි තැනක ඇතිවන්නේ මෝහනයට පත් වූ දේශහිතෛශීන් යැයි කියා ගන්නා පිරිසක් මිස බුද්ධි ගෝචරව රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වලට හවුල් විය හැකි හෝ රටේ වෙසෙන ජනවර්ග අතර සමඟිය ඇති කරණ පිරිසක් නොවේ. වෙනත් වචන වලින් කිවහොත් ලංකාවේ සිදුවෙමින් පවතින්නේ ත්‍රස්තවාදියෙකු විසින් ත්‍රස්තවාදියෙකු මරා දැමීම සහ ඛේදවාචකයේ හැරවුම් ලකෂයක් වූ එක ත්‍රස්තවාදියෙකු ජයග්‍රහණය කොට තම බමණු ත්‍රස්තවාදය මහජනතාව මත සමාජයේ ඇති විවිධ දේශපාලන මත ඝාතනය කරමින් ව්‍යාප්ත කිරීමය. කිසිවක් නැති තැන සහ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා වූ මාර්ග වැසූ තැනක පවතින්නේ එකී අධිකාරිය විසින් ක්‍රියාත්මක කරණ අධිකාරිත්වය මිස වෙන කිසිවක් නොවේ. මෙම ක්‍රමවේදය සහ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් වරුන්ගේ පාලනය අතර ඇත්තේ සංස්කෘතික සහ ආගමික වෙනසක් මිස හරයාත්මක වශයෙන් මෙම දෙයාකාරය තුළම සැලකිය යුතු මට්ටමේ කිසිඳු වෙනසක් නොමැත.

විටෙක මිනිසාගේ මුලික අයිතියක් වන ආහාර තෝරාගැනීමේ නිදහස කපාදමන එය තවත් විටෙක සමාජය වඩාත් හිලෑ කිරීමට යයි කියමින් ස්ත්‍රී පාර්ශවයේ ඇඳුමට සීමා සහ කොන්දේසි පනවයි. සැබවින්ම විය යුත්තේ සම්මත කරගත් පොදු නිතිය විනිවිද බාවයකින් ක්‍රියාත්මක කිරීම සහ සියල්ලන්ම එහි වග උත්තරකරුවන් බවට පත් කිරීමය. නමුත් සිදුවන්නේ රටක පැවතිය යුතු අත්‍යවශ්‍ය ආයතන පද්ධතියම ඝාතනය කොට ඒ වෙනුවට වෙනත් මායාවක් තුළට ජනතාව තල්ලු කොට සෙවනැලි රූකඩ ආයතන මත ගොඩ නගන ශ්‍රේෂ්ට ජාතියක් ගැන සිහින දැකීමට පුරුදු කිරීමය. ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට කැබිනට් මණ්ඩල තීන්දුවක් ඔස්සේ නව නීතියක් ගෙන ඒම තබා ඒ ගැන සිතීමද එවැනිම වූ තලේබානිකරණයක් මිස වෙන කිසිවක් නොවේ. ලෝකයේ වෙනත් රටවල් තම සංස්කෘතිය, බාෂාව මෙන්ම අනන්‍යතාවය හැකි පමණ විවිධ බාෂා වලට පරිවර්තනය කරණ නමුත් ලංකාව තියෙන විවිධත්වයක් විනාශ කරමින්, ගුලක් ඇතුලට රිංගන පණුවෙකුගේ තත්වයට පත් වීමට යන්ත දරන්නේය. මෙය කිසිවක් නොව ජනතාව හමුවේ පෙන්වන බිල්ලාට යුක්ති යුක්ත බාවයක් ලබා දීමය. ඒ හැරෙන්නට මෙකී බලවේග වල පුද්ගලික ජිවීත ඊට හාත්පසින්ම වෙනස්ය. ඒවා සංවිධානය වී ඇත්තේ බටහිර බැංකු මත සහ කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලා තුළිනි. ඇමෙරිකානු, ජර්මන්, රුසියානු, චීන, මෙන්ම ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථාන මෙරට ක්‍රියාත්මක වන්නේ කුමකටද ඒවායින් සිදු වන සංස්කෘතික මෙහෙයුම ගැන කිසිවෙකු හෝ අවධානය යොමු කරන්නේ නම් සස්කෘතියක් සංකෝචනය කරනවාට වඩා විසරණය කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීමට වැඩි දුර යා යුත්තේ නැත.

නමුත් එදිනෙදා මුහුණ දෙන අත්‍යවශය ගැටලූ වලට කිසිඳු සැලැස්මක නැති ආණ්ඩුව මෙවැනි කාරණා ඔස්සේ යමින් නිත්‍යානුකූල ත්‍රස්තවාදයකට සමස්ත රට හසු කරන්නේය. සැබවින්ම නිදහස යනු දායාදයකි, එය භුක්ති විඳීම තබා ඒ ගැන නැවැරදි අර්ථකතනයක් ලබා ගැනීම තුළවත් මෙරට බහුතරයක් වන ජනතාව නොමැත්තේ තමන්ගේ විමුක්තිදායකයා ලෙස තෝරාගෙන ඇති රාජපක්ෂ විසින්ම එහි සීමා මායිම් තමාට අවශ්‍ය ආකාරයෙන් සකස් කර ගෙන අවසාන වන හෙයිනි. උදේ සිට රාත්‍රී නින්දට යන තුරු ආණ්ඩුවේ සීමා රහිත මර්දනයට නතු වී ඇති මාධ්‍ය මඟින් පට්ටපල් බොරු ගොතමින් රාජපක්ෂ මනුෂ්‍යත්වෙන් ඔබ්බට ගෙන ගොස් දේවත්වය අතර තැබීමට ක්‍රියාකරන මංමුලාවන් හැර වෙන කිසිවක් තිබේද? රාජපක්ෂ විකුණමින් සිටින්නේ මෙන්ම දේශපාලන කුණාටුවලින් බේරීම සඳහා යොදාගන්නේද එකී උපාය මිස වෙන කිසිවක් නොවේ. නිදහස වූ කලී යම්තමින් හෝ අවබෝධ කර ගැනීම සඳහා මෙහිදී ඇලෙක්සැන්ඩර් සොල්සේන්ස්තීන් විසින් රචනා කර " ද ගුලාග් අර්කිපෙලගෝ " කෘතියෙහි එන කොටසක් දැක්වීම උචිත යැයි සිතේ. මන්ද වෙනත් තැනක සිදු වූ ඛේදවාචකයන් තමන් කරණ කොට ගෙන සිදු නොවතැයි යන මිත්‍යාවෙන් මිදීම සඳහා එය යම් පමණකට හේතු වන හෙයිනි. ඔහු සඳහන් කරණ ආකාරයට ජෝශප් ස්ටාලින් රුසියාව පාලනය කළේ මෙලසය. "ඒ මහා අපායන් වගේ තිබුණු කඳවුරු වලට අල්ලාගෙන ආව උන් පිලිස්සු හැටි සිතනවිට, සෝවියට් මෙහයුම් වල කටුක ඇත්ත වැටහේ. අත් අඩංගුවට පත්වන අයෙකු නැවත තම නිවසට පැමිණෙතැයි කිසිවෙකුට විශ්වාස කිරීමට නොහැකි නිසා ඔහු එම අවස්ථාවේදීම තම පවුලට "ආයුබෝවන්" කියා යුතුව තිබුණි. විශේෂයෙන්ම ලේනින්ග්රෑන්ඩ් වැනි ප්‍රදේශ වල එනම් මුළු නගරයෙන් හතරෙන් එකක් අත්අඩංගුවට ගනිමින් සිදු කළ මහා පරිමාණ අත්අඩංගුවට ගැනීම් වලින් පසුව දුසිම් ගණන් මිනිසුන්, ඔවුන්ගේම අතේ තිබුණ කුමන හෝ ආයුධයකින් මරා දමනු ලැබුවේ දැයි සිතේ. සැබවින්ම නිලධාරීන් ප්‍රමාණය සහ ප්‍රවාහන පහසුකම් වල තිබු දුෂ්කර තත්වය නිසා මේ ශාපය අඩුවීමට ඉඩ තිබුණත් ඒ සියල්ලටම සරිලන ලෙස ස්ටාලින්ගේ පිපාසය තිබුණි. අපි..නිදහසට සැබෑ ලෙස ආදරය කළේ නැත්නම් අපට අප වටා සිදුවන සත්‍ය තත්වය පිලිබඳව සහ ඉන් පසුව ඇති වන දෑ ගැන තැකීමක් ඇතිවන්නේ නැත." ( උපුටා ගැනීම - ද ගුලක් ආචිපෙලගෝ).

ජනතා විමුක්ති පෙරමුණේ යුධ සන්නද්ධ අරගලය තුළ දකුණේ සිංහල තරුණයන් වධකාගාර වෙතට දක්කනු ලැබුවේත් රාජපක්ෂ විසින් දෙමළ සන්නද්ධ ව්‍යාපාරය මර්ධනය කරණ මුවාවෙන් දෙමළ වැසියන්ගෙන් පළිගත් සහ ගනිමින් සිටින ආකාරය අතරත් වෙනසක් තිබේනම් ඇත්තේ ක්‍රමවේදය තුළ මිස හරය හෝ උවමනාව තුළ නොවේ. එය අපට ආගන්තුක වන්නේ අපි එහිදී අමුතුම ආකාරයේ මානසික විකුර්තියකට තල්ලු කිරීමට රාජපක්ෂගේ මාධ්‍ය ඔස්සේ හැකිවීම නිසාය. එය පුපුරා යමින් ඇත්තේ රාජපක්ෂ මේ වන විට විසඳිය යුතු අත්‍යවශ්‍ය ගැටලූ වලදී අසමතෙකු වී සිටින හෙයිනි. මේ ඇත්ත නොපිළිගනිමින් අපට ඕනා තරම් සිහින ලෝක දැකිය හැකිය. රාජපක්ෂද එකී සිහින ලෝක පෙන්වා තමන්ගේ සහ තම පරම්පරාවේ පැවැත්ම වෙනුවෙන් මායාවේ ප්‍රමාණය මර්ධනය ඔස්සේ පුළුල් කළ හැකිය. මන්ද එකී මායාව පද්ධතිය තුළ බිඳී ගියහොත් ඔහු තම පුතණුවන් වන නාමල් රාජපක්ෂ දේශපාලන තුළ තවත් දශක දෙකකින් අනාථයකු වන හෙයිනි. විසඳීමට ඇති කුඩා ගැටලූ දහස ගණනක් තිබියදී මහා දේවල් ගැන මහා ව්‍යපෘති ගැන කතා කිරීමේ ඇත්ත අවබෝධ කර ගැනීම කිසිවෙකුටත් දුෂ්කර වන්නේ නැත.

Tell a Friend