රාජපක්ෂ දිවයිනේ පන්සල් 14,000 ක සිල් රෙදි බෙදයි

දිවයින පුරා විහාරස්ථාන 14,000 කට වැඩි ප්‍රමාණයක අද දින සිල් රෙදි, කැලැන්ඩර්, ලිත් සහ විවිධ පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වීමට නියමිතය.  මැතිවරණ පනතේ විධිවිධාන උල්ලංඝණය කරමින් මෙම ද්‍රව්‍ය බෙදාදීම සිදුවේ. විහාරස්ථාන හරහා භාණ්ඩ බෙදාදීම සම්බන්ධයෙන් ග්‍රාමීය මට්ටමින් විශාල විරෝධයක් එල්ල වි ඇති අතර විහාරස්ථාන ගණනාවකම සිල් රෙදි බෙදීම මැතිවරණයෙන් පසුව සිදු කිරීමට හෝ ප්‍රචාරක ද්‍රව්‍ය ඉවත් කොට එම ද්‍රව්‍ය බෙදාදීමට ද කටයුතු කර ඇත.

මේ අතර 2015 ජනවාරි 4  දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1095   කි.  එයින්  116 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර,  979 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ.  මැතිවරණ ව්‍යාපාරය අවසන් සතියට ප්‍රවිශ්ඨවීමත් සමගම සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි සංඛ්‍යාව, සහාසික බව, ගිණි අවි භාවිතය සහ සංවිධානාත්මක බව ඉහළ යමින් තිබේ.

ආරක්ෂක අංශ විසින් භාවිත කරන ඇදුම්, සපත්තු පැළඳ මැතිවරණ ක්‍රියාකාරම් හි පිරිස් නිරතවීම පසුගිය දින 3 තුල ඉහළ ගොස් ඇත. උතුරු පළාත, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද, වැල්ලම්පිටිය ප්‍රදේශයේ ද මෙම තත්වය දැකිය හැකිය.

අරලගංවිල දී හිටපු මන්ත්‍රීට වෙඩි - කාර්යාලය කඩා දමයි

හිටපු උතුරු මැද පළාත් සභා මන්ත්‍රී  ජානක සමරසිංහ මහතා ට අරලගංවිල දී වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇත.  අරලගංවිල නගරයේ පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පවත්වාගෙන යනු ලබන්නේ ජානක සමරසිංහ මහතා විසිනි.

ජනවාරි 3 වනදා ප. ව 6.45 ට පමණ ඩිපෙන්ඩර් වර්ගයේ වාහන 05 කින් පමන පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.මෙම් පිරිස අතර අනුර අතුකෝරල (පේෂල ජයරත්න මහතාගේ හිටපු ලේකම්), දිඹුලාගල ප්‍රාදේශිය සභා මන්ත්‍රි ආනන්ද විජයරාජා, ධම්මික නිශාන්ත, ඇතුථ පිරිසක් හා දිඹුලාගල විහාරස්ථානයේ දේවමිත්ත ස්වාමීන් වහන්සේද සිටි බව  කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිල්ලේ දැක්වේ.  ප්‍රහාරය සඳහා පැමිණි පිරිස මහ හඩින් කෑ ගසමින් කාර්යාලයට වැදී කටවුට් ඉරා දමා අවට තිබු වාහන වලට පහර දී තිබේ. මේ අවස්ථාවේ ජානක සමරසිංහ මහතා මීට විරෝධය දැක්වීම නිසා ඔහුගේ හිසට බෝතලයකින් පහර දී ඇත.  පහරකෑමට ලක්වු හිටපු මන්ත්‍රීවරයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර සිටියි.

පහර කෑමට ලක්වු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් ඒ පිළිබඳව පැමිණිලි කිරීම සඳහා  අරලගංවිල පොලිසියට ගිය අවස්ථාවේ පොලිසියට ද මෙම මැරයින් පැමිණ ඇති තිබේ. 

“හමුදා බූට්ස් “ දාගත්තු පිරිසක් අරලගංවිල  තවත් කාර්යාලයක් කඩා දමයි

අරලගංවිල 5 කණුව පිහිට පොදු අපේක්ෂක මැතිවරණ කාර්යාලය ද ජනවාරි 3 වනදා ආයුධ සන්නද්ධ පිරිසක් විසින් කඩා බිඳ දමා තිබේ.
 
ඩිපෙන්ඩර් 03 කින් හා වෑන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ මැරයින් අහසට වෙඩි තබා අංක 148, වාණිජ ඉඩම්, මැදගම, දේවගල යන ලිපිනයේ පිහිටි මෙම කාර්යාලය කඩා බිඳ දමා ඇත.
 
මෙම මැර පිරිස 10 -12 අතර සංඛ්‍යාවක් සිට ඇති අතර ඔවුන්  අහසට වෙඩි තබා කාර්යාලයට පහරදී තිබේ. මෙම කණ්ඩායමේ සමාජිකයින් කිහිප දෙනෙකු හමුදාව භාවිතා කරනු ලබන බුට්ස් වර්ගයේ සපත්තු  පැලද සිට ඇත.
 
මෙම පහරදීම සිදු කල කාර්යාලය අසල තිබී හිස් පතුරම් කොපු පොලිසිය විසින් රැගෙන ගිය බව ගම්වාසීන් පවසයි.මෙම ස්ථානය වෙත පහරදීමට පැමිණි ඩිපෙන්ඩර් රථයක අංකයක් ගම්වාසීන් හදුනාගෙන ඇති අතර එය GY 2304 වේ.
 
මනම්පිටිය යුධ පිටියක් වෙයි
 
පොදු අපේක්ෂකයාට සහය පල කරමින් මනම්පිටිය 2 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාලයට ද ප්‍රහාරයක් එල්ල වී තිබේ.  කේ.ඩී. ප්‍රියන්ත රණවීර විසින්  මෙම කාර්යාලය පවත්වාගෙන යනු ලබයි.  කැබ් රථයකින් හා ඩිපෙන්ඩර් තුනකින් 10 දෙනෙකුගෙන් පමණ සමන්විත ආයුධ සන්නද්ධ පිරිසක් පැමිණ මෙම කාර්යාලයට පහරදී පලා ගොස් ඇත.

උතුරු මැද පළාත් සභා මන්ත්‍රි ජයන්ත මාරසිංහ,දිඹුලාගල ප්‍රාදේශීය සභා සභාපති ජගත් පුෂ්පකුමාර , දිඹුලාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රි අනුරාධ රත්නායක, වැලි ප්‍රියන්ත හා රිජිත ඇතුළු පිරිසක් පැමිණ පහරදීම සිදු කල බැව් ගම්වාසීන් පවසයි.

අරලගංවිල දී තවත් ප්‍රහාර මාලාවක්

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා අරලගංවිලදී පැවැත්වු රැළිය අවසන් කර ආපසු යමින් සිටි  දිඹුලාගල සමුපකාර සමිතියේ  සභාපති උපුල් අලහකෝන් මහතාට ජනවාරි 3 සවස 5.30 ට පමණ දිඹුලාගලදී පහර දී ඇත.

තවද මෙම රැස්වීම අවසන් කර  පැමිණෙමින් තිබු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක ජීප් රථයක් වන PQ 3857  ජීප් රථයේ රියදුරාට ද මැර පිරිසක් විසින් පහර දී ඇත.මෙම ප්‍රහාරයෙන් එම රියදුරාගේ මුහුණට තුවාල සිදුවී තිබේ.

අංක රහිත ඩිෆෙන්ඩර් රථවලින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් අරලගංවිල පොලිසිය ඉදිරිපිට දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

“මිත්‍රත්වයේ යාත්‍රාව” ට අගුණකොලපැලැස්සදී සහ  සුරියවැව දී බාධා


පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන “මිත්‍රත්වයේ ‍යාත්‍රාව” ට අගුණකොලපැලැස්සේදී  සහ සුරියවැව දී බාධා එල්ල වෙයි.

ජනවාරී 3 වනදා පෙරවරුවේ අගුණකොලපැලැස්ස නගරයේදී “මිත්‍රත්වයේ යාත්‍රාව” අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුදානම් වු විට අගුණකොලපැලැස්ස ප්‍රාදේශිය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහ මහතා ඇතුළු පිරිසක් පැමිණ තර්ජණය කර තිබේ. මේ අවස්ථාවේ එම ස්ථානයට අගුණකොලපැලැස්ස පොලිස් ස්ථානාධිපති වරයා ද පැමිණ තිබේ.  පසුව දෙපිරිස අතර ගැටුම් කාරී තත්වයක් ඇතිවී තිබේ.මෙහිදී අගුණකොලපැලැස්ස ප්‍රා. මන්ත්‍රී අමිල කුමාරසිංහ මහතාගේ ආධාරකරුවන් “මිත්‍රත්වයේ යාත්‍රාව “ සාමාජිකයින්ට පහර දී තිබේ.   මෙම ගැටුම වැලැක්වීමට පොලිස් ස්ථානාධිපතිවරයා කිසිදු පියවර‍ක්  ගෙන නොමැත.

මිත්‍රත්වයේ යාත්‍රාව අත්පත්‍රිකා බෙදීම නවතා දමන ලෙස පොලිස් ස්ථානාධිපති වරයා  බලපෑම් කර  තිබේ. එම බලපෑමට අනුව “මිත්‍රත්වයේ යාත්‍රාව” කණ්ඩායම සුරියවැව දක්වා ගමන් කර ඇත.  යළිත් සුරිය වැවදී සිය අත්පත්‍රිකා බෙදීම ඇරඹිමට සැරසෙන අතර ‍සුරිය වැව පොලිසියය ඔවුන්ට බාධා කර තිබේ. මෙම කණ්ඩායම “පපරේ” වයමින් අත් පත්‍රිකා ව්‍යාපාරය අරඹා ඇති අතර පොලිසිය “පපරේ” සදහා අවසර දිය නොහැකි බව පවසා ඇත. නමුත් ඊට පෙර දින “නිල් බලකාය” පපරේ වයමින් අත් පත්‍රිකා බෙදා හැර තිබේ. මේ පිළිබඳව බාධා කළ පොලිස් නිලධාරින්ට දැන්වු විට “ආණ්ඩුවේ උන් කරන දේවල් උඹලාට කරන්න දෙන්න බෑ “ කියමින් මෙම පිරිසේ සමබන්ධීකාරකවරයෙක් අත් අඩංගුවට ගෙන තිබේ. පසුව වහාම ප්‍රදේශයෙන් පිටව යන ලෙස දන්වා සුරියවැව පොලිස් වසමින් “මිත්‍රත්වයේ යාත්‍රාව” ඉවතට යනතුරු ආරක්ෂාව සපයා තිබේ.

පුත්තලමේ ගැටුමක් - 4 ක්රෝහලේ - 7ක් බන්ධනාගාරයේ

ජනවාරි 03 වනදා  පුත්තලම නගර මධ්‍යයේ පොදු අපේක්ෂකයාට සහය දක්වමින් මැතිවරණ ප්‍රචරක කටයුතුවල (කැන්වසින්) යෙදුනු  ආධාර කරුවන් පිරිසකට ප්‍රහාරයත් එල්ල වී ඇත.

පුත්තලම නගර සභාවේ නගරාධිපති ඇතුළු මැර කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදු කර තිබේ. මෙම මැර පිරිස පැමිණ ඇත්තේද එම නගරාධිපතිවරයාගේ වාහනයෙන්ම පැමිණි පිරිසක් වන අතර මෙම පහර දිම හේතුවෙන් කිහිපදෙනකුට තුවාල සිදුව තිබේ. තුවාල ලැබුවන් 4 දෙනෙක් මේවනවිට පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම ගැටුම සම්බන්ධයෙන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙලෙස බන්ධනාගාර ගතවුවන් අතර පොදු අපේක්ෂක ආධාරකරුවන් තිදෙනෙකු ද වෙයි.

අම්බලන්තොට රිදීගම ජවිපෙ ආධාරකරුවෙකුට ප්‍රහාර


අම්බලන්තොට රිදීගම ප්‍රදේශයේ දී ජවිපෙ ආධාරකරුවෙකුට ප්‍රහාරයක් එල්ල වෙයි. ජනවාරි 3 වන දා අම්බලන්තොට නගරයේ ජවිපෙ රැළියක් පවත්වා ඇති අතර එහි සංවිධාන කටයුතු නිමවා නිවසට පැමිණි පසු එම නිවසට කඩා වැදුන කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලැබු සුනිල් නැමති ජවිපෙ ආධාරකරු අම්බලන්තොට මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

පාසැල් සිසුන් මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම


පුත්තලම ප්‍රදේශයේ අ.පො.ස සා පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක්  ඊයේ දිනයේ එජනිස  ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රවර්ධනයේ යොදවා ඇති බව වාර්තා වෙයි.

මුන්දලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරිවරයා විසින් නැටුම් පුහුණ වැඩමුළුවක් සඳහා යැයි කියමින් මෙම සිසුන් කැඳවා තිබේ.

ජනවාරි 3 වන දින පෙරවරුවේ මෙම සිසුන් NA 8530 දරණ බස් රථයෙන් කොළඹ ප්‍රදේශයට රැගෙන විත් දහවල් කාලයේ  හෝමාගම ප්‍රදේශයේ එජනිස මැතිවරණ ප්‍රචාරණයේ යොදවා ඇත.  මේ සම්බන්ධයෙන්  සොයා බලා  සුදුසු පියවරක් ගන්නා ලෙස කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින් මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට කැඳවීම


මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 ඉදිරි වැඩ සැලැස්ම සාකච්ඡා කිරීමට  සහ වාර්ෂික ප්‍රසාද දීමනා ලබාදීමට යැයි පවසා  එම අරමුදලේ සියළු සේවකයින් 2015 ජනවාරි 4 වනදා මහව විජයබා ජාතික පාසැලට කැඳවා තිබේ.

මෙම රැස්වීම සංස්කෘතික හා කලා කටයුතු  අමාත්‍ය  තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව කැඳවීම් ලිපියේ දැක්වෙයි. කොළඹ සිට මෙම සේවකයින් මහවට ප්‍රවාහනය කිරීම සදහා ලංගම බස්රථ කුලියට ගන්නා ලෙස  පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි අධිකාරි විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ  සියළුම අධ්‍යක්ෂ වරුන් සහ අංශ ප්‍රධානීන් වෙත දන්වා තිබේ.

මෙම රැස්වීම  එජනිස ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදාගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව කැෆේ සංවිධානයේ නිරීක්ෂනයයි.

සේවක අර්ධසාධක අරමුදලේ සේවකයින් මැතිවරණ ප්‍රචාරණයේ

සේවක අර්ථසාධක අරමුදලේ සේවකයින් එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යොදවා තිබේ.

ජනවාරි 3 වනදා මෙම පිරිස  එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත නිල් පැහැති ටීෂර්ට් වලින් සැරසී wp NB 3479 දරණ වාහනයෙන් ගොස් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වී ඇත.

මෙම කණ්ඩායම පෙර කී ටිෂර්ට් වලින්ම සැරසී  නාරාහේන්පිට සේවක අර්ධසාධක අරමුදලේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ  ආහාර ගනිමින් සිටි බවද කැෆේ සංවිධානය වෙත වාර්තා වෙයි.

තරුණසේවා සභාවේ සම්පත් මැතිවරණ කටයුතු සදහා දිගටම

ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක වන වැඩසහන්වලට සම්බන්ධ සිසුන්, තරුණ තරැණියන්, මහරගම මුලස්ථානයට හා දෙහිවල එස්.ද.එස්. ජයසිංහ කැදවා ඇත.  ඔවුන්ට මෙලෙස පැමිණීම වෙනුවෙන්  රුපියල් 600 ක මුදලක් ලබා දෙන බව ද පවසා ඇත.  කොළඹ නගරාසන්න ප්‍ර දේශයෙන් හි මැතිවරණ ප්‍රචාරක කටයුතු හි මේ පිරිස නියැලීමට නියමිතය.