නිල වෙදකම සහ නිල නොවන වෙදකම

දිවයින කතුවැකියට පෙර වදනක්:- අනුර සොලමන් විසින් අද ලියා ඇති දිවයින කතුවැකියේ බොහෝ කාරණා සමඟ අපි එකඟ වන්නෙමු. එහි යම් කිසි ගත යුත්තක් තිබෙනවා සේම කාලෝචිත බවක්ද තිබේ. සැමදාම කරන කඩේ යාම වෙනුවට අපරාධකාරයින් අතර සිටින බිම් මට්ටමේ එකෙක් අල්ලා හොඳ ඇති තඩි බා ඇත්තේ නිමල් වෙල්ගමගේ කීමට විය යුතුය. කෙසේ වෙතත් මෙවැනි දෑ සේම තවත් ලොකු අය කරන දෑ සේම දකුණේ වන දෑ මෙන්ම උතුරේ සහ නැගෙනහිර වන දෑ ද ලිවීමට මේ මහත්වරුන්ට කොන්දක් තිබේදැයි අපි දන්නේ නැත. අදාල කතුවැකියට පාදක වන කරණය ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියේද ඊයේ පල කරනු ලැබීය. එය අතිශය ශෝචනීයය. සිදුවීමට අනුව අදාල දොස්තර හමු වීම සඳහා ටිප් එක දී ඇත්තේ ගමේ පනසලේ හාමුදුරුවෝය. සිත සමාධියේ පිහිටුවා පරම හිතැති චේතනාවෙන් එය කළා විය හැකිය. නමුත් සිදු වූයේ මළකඳ ගෙදර අරන් ඒමටය.

රටක නීතිය සහ සමාජ ක්‍රමය විකුර්ති වූ විට. නිතිය එක එකාගේ වුවමනා එපාකම් ඉටුකරමින් එහි පරම චේතනාවන් කෙළෙසෙමින් පවතින වට පිටාවක මෙවැනි දෑ සිදු වීම ස්වභාවික වේ. සියල්ල තේරුම් ගත යුත්තේ වෙදාගේ මීනිමැරීමට වඩා ඊට සමාජය විසින් නිර්මාණය කර ඇති පුළුල් අවකාශයයි. නීතියක් නැති වූ රටක ස්වභාවික දේවල් ගැන විශ්වාසය තබා ඉන් හෝ සහනයක් ලබා ගැනීම මනුෂ්‍ය ගතිය වේ.

දිවයින කතුවැකිය පහත පළවේ;

රෝගීන්ගේ නිල අල්ලා වෙදකම් කරන වෙද මහතෙකු රෝගී දරුවකුගේ කොන්දේ නිල පෑගීමෙන් දරුවා මිය යැමේ පුවතක්‌ ඊයේ (17) දිවයිනේ පළමුවන පිටුවේ පළවී ඇත. දරුවාගේ වයස අවුරුදු එකහමාරකි. කිලෝ තුන හතරක්‌ බර දරු සිඟිත්තාගේ කොන්ද උඩ නැගි කිලෝ හැටක්‌ පමණ බර (විය හැකි) මේකා වෙදෙක්‌ ද? නැතිනම් බූරුවෙක්‌ද යන්න සොයා බැලිය යුතුය. දරුවාගේ කොන්ද පෑගීමෙන් ඔහුගේ සුෂුම්නාවට හානි සිදුවන බව තේරුම් ගැනීමට දොස්‌තර විභාගය සමත්වීමට අවශ්‍ය නැත. වෙදතෙමේ නිල වෙදකමේ ව්‍යාජයෙන් නිල නොවන වෙදකමත් කර ඇත. ලංකාව මේ වර්ගයේ නිලනොවන වෙදකම් ගැන ප්‍රසිද්ධියක්‌ උසුලයි. ලෙඩක්‌ හැදුණු විට බෙහෙත් නොදෙමින් දෙවියන් වහන්සේට යාඥ කරන වෙදකමක්‌ ලංකාවේ ඇත.Faith healing හෙවත් දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ලෙඩ සුව කිරීම නමැති මේ ක්‍රමය මගින් පසුගිය වසර 10 තුළ අඩුම වශයෙන් පහළොස්‌ දෙනකුවත් මිය ගිය බව අපි දනිමු. හරිහැටි කරුණු සොයා බැලුවොත් ගණන මෙයට බෙහෙවින් වැඩි වීමට ඉඩ තිබේ. මේ ආකාරයෙන් ප්‍රතිකාරයට ලක්‌ කර මිය ගිය අයගේ සිරුරු කිසිදු මරණ පරීක්‍ෂණයක්‌ නොකර පස්‌ යට ගැසූ අවස්‌ථා තිබෙන්නට පුළුවන. අසනීපයක්‌ වැළඳුණු විට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමේ කිසිදු වරදක්‌ නැත. එහෙත් ඒ අතර, දෙවියන් වහන්සේගේ උදව්වට වෛද්‍යවරයකු ද කැඳවිය යුතුය. එවිට දොස්‌තරට බැරි කොටස දෙවියන්ටද, දෙවියන්ට බැරි කොටස දොස්‌තරට ද කළ හැකිය. මෙබඳු එකමුතුවක්‌ තුළින් දෙදෙනාගේම ආත්ම ගෞරවය ද ලෙඩාගේ පණ ද බේරා ගත හැකිය.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය කර්මාන්ත කිහිපයක්‌ තිබේ. බටහිර වෙදකම, ආයුර්වේද වෙදකම, හෝමියෝපති වෙදකම, කටු චිකිත්සාව සහ අරාබි යුනානි වෙදකම, ආණ්‌ඩුව විසින් නිල වශයෙන් පිළිගෙන තිබේ. ඒ අතර පාරම්පරික ගොඩ වෙදකම හෙවත් ලංකාවට ම පමණක්‌ ආවේණික ගස්‌ වෙදකම ද ආයුර්වේද අමාත්‍යංශයේ පිළිගැනීමක්‌ ඇත. මීට අමතරව, නිල අල්ලා ලෙඩුන් සුවකරන අය, මන්තර, ගුරුකම්වලින් ලෙඩුන් සුව කරන්නේ යෑයි කියන අය, ස්‌පර්ශ චිකිත්සාව හෙවත් ලෙඩුන්ගේ ඇඟපත අල්ලා ලෙඩ සුව කිරීම, විශ්ව බලයෙන් ලෙඩ සුව කිරීම, සූර්ය තාපයෙන් ලෙඩ සුව කිරීම යනාදී වශයෙන් වූ ක්‍රම සිය ගණනක්‌ මේ රට තුළ නිල නොවන මට්‌ටමින් ක්‍රියාත්මක කෙරේ. ඊටත් අමතරව මසාජ් ක්‌ලිනික්‌ සමහරක පංච කර්ම ප්‍රතිකාර කරන බවට දැන්වීම් දමනු ලැබේ. ඒවා වැඩිහරියක පංච කර්ම ප්‍රතිකාර කරන්නේ නැත. දැන්වීම්වල පංචකර්ම කතාව සඳහන් කරන්නේ ආණ්‌ඩුවෙන් බේරීමට ය. පංච කර්ම ප්‍රතිකාර කිරීමට ආයුර්වේද වෛද්‍යවරයකු අවශ්‍ය අතර එබඳු තැන් පොලිසියෙන් වටලනු නොලැබේ. එවිට එම ක්‌ලිනික්‌ තුළ ගණිකා නිවාස පවා පවත්වාගෙන යා හැකිය. පංච කර්ම ප්‍රතිකාර සිදු කරන තැනකට බෙහෙත් ඔරුවක්‌ සහ ඇඳවල් අවශ්‍ය ය. ගණිකා නිවාසයකට ද බෙහෙත් ඔරු කෙසේ වෙතත් ඇඳවල් අවශ්‍ය ය. මිනිසුන් නීතියෙන් ගැලවීම සඳහා විවිධ දේ කරති.

ඇලෝපති හෙවත් බටහිර බෙහෙත් සහ ආයුර්වේද බෙහෙත් මිශ්‍ර කර ලෙඩුන්ට පොවන ඇතැම් ආයුර්වේද වෛද්‍යවරු ද වෙති. මෙබඳු සමහරු ඇදුම රෝගීන්ට දෙන සැල්බියුටමෝල් හෝ ප්‍රෙඩ්නිසිලෝන් වැනි බෙහෙත් කුඩු කර ආයුර්වේද බෙහෙත් හා මිශ්‍ර කරති. වෛද්‍යවරයකුගේ තුණ්‌ඩුවක්‌ නැතිව බෙහෙත් විකුණන ෆාමසිකාරයන් ඇල්ලීමට ආණ්‌ඩුව මේ දිනවල ව්‍යාපාරයක්‌ දියත් කර ඇත. ඒ වෙනුවට පෙර කී නිල නොවන වෙදකම් කරන අය ඇල්ලීමට කටයුතු කරන්නේ නම් මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට වැඩි මෙහෙවරක්‌ කිරීමට ආණ්‌ඩුවට හැකියාව ලැබෙන්නේ ය. හෘදයාබාධය, ඇදුම වැනි හදිසි ප්‍රතිකාර කළ යුතු ලෙඩකට පවා "තුණ්‌ඩුවක්‌" නැතිව බෙහෙත් නිකුත් කිරීම ෆාමසි විසින් අත්හිටුවනු ලැබ ඇත. ඒ ලෙඩා වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර බෙහෙත් තුණ්‌ඩුවක්‌ ලබා ගන්නා විට ලෙඩාගේ පණ ගොස්‌ අවසන් ය. එසේම රුපියල් හත් අටසියයක්‌ ද වැය වී අවසන් ය. නිල වෙදකම සහ නිල නොවන වෙදකම ගැන අපගේ අදහස්‌ මේවා ය.
Tell a Friend