''මේ කුරිරු ප්‍රහාරයට වගකිව යුතු ම්ලේච්ඡ බලවේග මුලිනුපුටා දැමීමට සපත කරනවා‘‘ - කථානායකවරයා


අද (21) සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් ගතයුතු නිසි පියවර ගන්නා බව කථානායක කරු ජයසූරිය පවසයි. 


‘‘අද පෙරවරුවෙහි කිසිවෙකුත් අපේක්ෂා නොකළ ලෙස රටෙහි වැදගත් ආගමික සිද්ධස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක සිදු වී ඇති පිපිරීම් සිද්ධි පිළිබඳව දැඩි සැළකිල්ල යොමු කරමින් පාර්ලිමේන්තුවෙන් ගතයුතු ක්ෂණික පියවර පිළිබඳවද සුවිශේෂ අවධානය යොමු කර ඇත.

මේ මොහොතේ මෙම තත්වය කිසියම් ජාතියකට හෝ ආගමකට එරෙහි වූ විපතක් නොව අපගේ ආදරණීය මාතෘභූමියටත් සහෝදරත්වයෙන් බැඳුනු සකලවිධ ශ්‍රී ලාංකික ජනතාවටත් මුහුණ දීමට සිදු වූ බරපතල විපතක් බව පැහැදිළිය. උද්ගත වී ඇති මෙම තත්වය තුළ ඉතා අවබෝධයෙන් , වගකීමෙන් සහ සහෝදරත්වයෙන් යුතක්තව සාමකාමීව කටයුතු කිරීම තුළින් මෙම මිලේච්ඡ ක්‍රියාදාමයේ අවසන් අරමුණු ඉඳුරාම ව්‍යවර්ථ කළ හැකිවනු ඇත.

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මනුෂ්‍යත්වයේ නාමයෙන් ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව මෙම විපතට මුහුණ දීමට එක්වන ලෙස සමස්ථ රටවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ආයාචනා කරමි.

අපගේ එක්සත් බව තුළ මෙම කුරිරු ප්‍රහාරයට වගකිව යුතු ම්ලේච්ඡ බලවේග අප ආදරණීය මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා දිවි හිමියෙන් කැප වන බව සපත කරමු.'' යන්නයි.