අපරාධ යටපත් කරන රජයේ හොර හිත

ජෙරල් පෙරේරා ඝාතනයේ හයවන සංවත්සරය : - ප්‍රගීත් එකනාලිගොඩ අතුදන් වීමේ 300 වන දිනය සහ ලංකාවේ අපරාධ පිළිබඳ යුක්තිය පසිඳලීමේ අභාවය


යුක්තිය පසින්ද ලීමේ වගකීම මුළුමනින්ම ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා සහ ඔහුගේ ආණ්ඩුව මත පැවරේ. කොතරම් දැඩි උද්ඝෝෂණ සහ ඉල්ලීම් මඟින් යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ඉල්ලීම් ඉස්මතු කර ඇතත් ඒවා පිළිබඳ කිසිම තැකීමක් ලංකාවේ ආණ්ඩුව විසින් පෙන්නුම් නොකරයි. අපරාධ මර්ධනය කරීමේ උනන්දුව වෙනුවට අපරාධකාරයන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් ආණ්ඩුව මඟින් අනුගමනය කරනු ලබයි.


2004 නොවැම්බර් 22 වන දින ජෙරල් පෙරේරා තමන්ගේ රැකියාව සඳහා ගමන් කරමින් සිටියදී දහවල් 11.30 ට පමණ වත්තල, මහාබාග හන්දියේදී බස් රථයක් තුළදී වෙඩි තැබීමකට ලක් වූ අතර ඉන් දින දෙකකට පසු කොළඹ මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවයට පත් විය. 2002 වර්ෂයේදී වත්තල පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කිසියම්ම පදනමිකින් තොරව අත්අඩංගුවට ගනු ලැබූ ජෙරල් පෙරේරා වත්තල පොලිස් ස්ථානය තුළදී දැඩි පහරදීම් වලට ලක් වීම නිසා ඇති වූ අභ්‍යන්තර තුවාල මඟින් වකු ගඩු ක්‍රියා විරහිත වීමකට භාජනය වී මරණාසන්න තත්වයේ රෝහල් ගත කරන ලදී. එහිදී සිහි නැතිව සති දෙකකට වැඩි කාලයක් ගත කළ ඔහු නැවත සිහි ලබා ගත්තේ දැඩි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යයේය. පසුව මෙම පහර දීම පිළිබඳව අපරාධ නඩුවක් මිගමුව මහ අධිකරණයේදී වත්තල පොලිසියේ පොලිස් ස්ථානාධිපති ඇතුළු 06 දෙනෙකුට විරුද්ධව පවරණ ලදී. එසේ පවරණ ලද්දේ නීතිපති වරයා විසිනි. මෙම නඩුවේදී සාක්ෂි දීම සඳහා මිගමු අධිකරණයට පැමිණෙන ලෙසට ජෙරල් පෙරේරා මහතාට සිතාසි ලබා තිබුණි. ඔහු ඝාතනය කරන ලද්දේ මෙසේ අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට නියමිත දිනට සතියකට පමණ කලින්ය. මෙම කෲර ඝාතනයට එරෙහිව ලංකාවේ මාධ්‍ය තුළිනුත් , මානව හිමිකම් ව්‍යාපාර තුළිනුත්, ජාත්‍යන්තර ව්‍යාපාර තුළිනුත් පැන නැගුණු විශාල උද්ඝෝෂණ නිසා ඒ පිළිබඳව ඉක්මන් පර්යේෂණයක් රහස් පොලිසිය විසින් කරගෙන යන ලදී. එහි ප්‍රතිපලය වශයෙන් මෙම මිනි මැරුම වත්තල පොලිසියේ නිලදාරීන් අතින්ම කෙරී ඇති බව සනාථ වීමය. අදාළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් වත්තල මහේස්ත්‍රාත් තුමිය ඉදිරියේදී සිද්ධිය පිළිබඳව සිය කැමැත්තෙන් ප්‍රකාශ සටහන් කරවා ගන්නා ලදී. පසුව ඔවුන් නඩුවේ සාක්ෂි කරුවන් විසින් නම් කරමින් නීති පතිවරයා විසින් සුරේෂ් ගුණසේන යන පොලිස් සාජන් වරයා සහ ඔහුට සහය වූ අයෙකුට විරුද්ධව අපරාධ නඩුවක් මිගමු මහා අධිකරණයේදී පමුණුවන ලදී. මරණය සිදු වී අවුරුදු හයක් ගත වී ඇතත් මෙම නඩුව තවමත් මිගමු දිසා අධිකරණය ඉදිරියේ ඇදෙමින් පවතී.

ජෙරල් පෙරේරාට වද හිංසා කිරීම පිළිබඳව නඩුව සම්බන්ධයෙන් වත්තල පොලිසියේ ස්ථානාධිපති වරයාට තිබු අධි චෝදනාව නීතිපතිවරයා විසින් ඉල්ලා අස් කරගන්නා ලදී. ඉතිරි නිලධාරීන්ට විරුද්ධව චෝදනා විභාග කිරීමෙන් පසු මිගමු මහා අධිකරණයේ විනිසුරු වරිය විසින් මෙම නිලදාරීන් නිදොස් කොට නිදහස් කරන ලදී. මෙම නඩු තීන්දුවට අනුව මෙම පොලිස් නිලධාරීන් විසින් ජෙරල් පෙරේරා අත් අඩංගුවට ගන්නා ලද බවත්, පොලිස් ස්ථානය තුළදී ඔහුට පහර දී ඇති බවත් පැමිණිල්ල විසින් සනාථ කොට ඇති බව විනිසුරු වරිය පිලිගත්තාය. එහෙත් පොලිස් ස්ථානය තුළදී එම පහර දීම කරන ලද්දේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂියක් නැති හෙයින් විත්තිකරුවන් නිදහස් කරන බව විනුසුරුවරිය ප්‍රකාශ කළාය. මෙම නඩු තීන්දුවට විරිද්ධව අභිඅචනයක් අභියාචනා අධිකරණය ඉදිරියේ ගොනු කොට ඇති අතර. එය ඉදිරියට ගෙන යාමේ අවසරය අධිකරණය විසින් විධානය කොට ඇත.

මාධ්‍යවේදියෙකු වූ ප්‍රගීත් එකනාලිගොඩ මීට දින 300 කට පෙර අතුරුදහන් විය. එසේ අතුදහන් වීමට පෙර ඔහු ක්‍රියාශීලිව එවකට පැවත්වේමින් තිබු ජනාධිපති මැතිවරණයේ විරුද්ධ පාක්ෂිකයෙකු වූ සරත් ෆොන්සේකාට පක්ෂව ක්‍රියාකාරී විය. ඔහුගේ අතුදන් වීමේ වගකීම රජයට පැවරෙන බව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ප්‍රසිද්ධියේ පුන පුනා ප්‍රකාශ කොට ඇත. මෙම අතුරුදහන් වීම පිළිබඳව කාර්යක්ෂම සහ අපක්ෂපාති පර්යේෂණයක් පවත්වන ලෙස පවුලේ සාමාජිකයින්ද, රටේ බොහෝ ව්‍යාපාර මඟින්ද ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීම් ඉදිරිපත් කළ නමුත් මේ පිළිබඳව සාර්ථක පර්යේෂණයක් පවත්වා නැති බව පෙනී යයි. පොලිස් පති වාරයත් රජයේ මාධ්‍ය ප්‍රකාෂකයනුත් මෙම සිද්ධිය පිළිබඳව ඉක්මනින් පරයේෂණ පවත්වා එය පිළිබඳව මහජනයා දැනුවත් කරන බවට පොරොන්දු වූ නමුත් එවැනි කිසිම පර්යේෂණයක් පිළිබඳව කිසිම සාර්ථක තොරතුරක් මේ දක්වා ඉදිරිපත් කොට නැත. ඇත්තෙන්ම රජය මෙම පරීක්ෂණය මඟ හරින බව දැන් පොදුවේ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ මෙන්ම, මෙම සිද්ධිය පිළිබඳව පර්යේෂණ ඉල්ලා සිටි කාගේත් මතයක් සේ පවතී.

යුක්තිය ඉල්ලා සිටි වද හිංසාවට භාජනය වූ රට වැසියෙකු මරා දැමීම පිළිබඳව සිද්ධිය තුළින් මෙන්ම මාධ්‍යවේදියෙකු අතුරුදහන් කිරීම පිළිබඳ සිද්ධියෙන්ද කියවෙන්නේ ලංකාවේ අපරාධ නිතිය ක්‍රියාත්මක වීම මුළුමනින්ම ඇන හිට ඇති ආකාරයයි. අපරාධ වලට විරුද්ධව අපක්ෂපාති පර්යේෂණ ඉල්ලා සිටීමත්. යුක්තිය නිසි ලෙස ඉටු කරවා ගැනීමත් සෑම පුරවැසියෙකුම සතු වන්නා වූ ඉතාමත් ප්‍රාථමික වූ අයිතිවාසිකම්ය. එහෙත් ලංකාවේ නම් මෙම ඉල්ලීම් යන්තමකින් හෝ ඉටු කර ගැනීමට කිසිඳු ඉඩක් දැන් ඉතිරි වී නැති බව සක් සුදක් සේ පැහැදිලිය.

ලංකාව යුක්තිය ඉටු කර ගැනීමේ හැකියාව යටපත් කොට වල දමා ඇති දූපතක් බවට පත් වී ඇති බව අද අරට පුරාම පොදුවේ කවුරුත් පිළිගන්නා කරුණක් සේ පවතී. අපරාධයකට භාජනය වීම නිසා යුක්තිය ඉල්ලා ඉදිරිපත් වන්නෝ මහා උවදුරු වලට සහ කරදර වලට භාජනය වෙති. යුක්තිය ඉල්ලන්නන් මරා දැමිය හැකි වාතාවරණයක් රට පුරාම පවතී.

යුක්තිය පසින්ද ලීමේ වගකීම මුළුමනින්ම ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා සහ ඔහුගේ ආණ්ඩුව මත පැවරේ. කොතරම් දැඩි උද්ඝෝෂණ සහ ඉල්ලීම් මඟින් යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ඉල්ලීම් ඉස්මතු කර ඇතත් ඒවා පිළිබඳ කිසිම තැකීමක් ලංකාවේ ආණ්ඩුව විසින් පෙන්නුම් නොකරයි. අපරාධ මර්ධනය කරීමේ උනන්දුව වෙනුවට අපරාධකාරයන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් ආණ්ඩුව මඟින් අනුගමනය කරනු ලබයි.

මේ තත්වය යටතේ ලාංකික රට වැසියා ඉමහත් අසරණ තත්වයකට පත් වී ඇත. රටේ බලවතුන් සහ රටේ පොලිසිය සහ හමුදාව මෙන්ම වෙනත් නිලධාරීන් විසින් තමන් වෙත එල්ල කරන මරණ තර්ජන වලින් ආරක්ෂා වීමේ මඟක් ලාංකීය රට වැසියාට ඉතුරුව නැත.

යුක්තිය පසිඳලීම රටේ ආණ්ඩුවකට හැර වෙනත් කිසිවෙකුට කළ හැක්කක් නොවේ. නිතිය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය මඟින් පරීක්ෂණ ඇති කිරීමත් නීතිපති ක්‍රමයතුලින් අපරාධ ආණ්ඩු පැවරීමත් අධිකරණය තුළින් ඒවා නිසි ලෙස විසඳීමට තත්වය සාදා දීමත් යන සියලුම වගකීම් පැවරෙන්නේ රටේ පාලනය භාර ගෙන ඇති රජයකට පමණකි. රජය මෙම කටයුත්ත ඉටු නොකරයි නම් එය කරවා ගැනීම සඳහා වෙනත් මාවතක් රටේ ජනතාවට ඇත්තේ නැත.

ජනතාවගේ මුලික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටියි. එහෙත් ඒ සඳහා පවතින පොලිසිය නිසි ලෙස ක්‍රියාත්මක කරවා ගැනීමත් නීතිපති ක්‍රමය නිතියානු කූලව පවත්වා ගෙන යාමත් අධිකරණය කාර්යක්ෂමව පත්වාගෙන යාමත් රජයේ යුතුකමය. ලංකාවේ ආණ්ඩුව මෙම සියලුම යුතුකම් පැහැර හරියි.

මේ පිළිබඳව ලංකාවේ ආණ්ඩුව හොර හිතකින් ක්‍රියා කරන ආකාරය, සාක්ෂි කරුවන් ආරක්ෂා කිරීමේ බිල් පත පාර්ලිමේන්තුව ඉදිරියේ යට ගසා ඇති ආකාරයෙන් පෙනී යයි. දැනට අවුරුදු ගණනකට පෙර මෙම පනත් බිල්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ රට තුළ සහ ඉන් පිට පැවති මහත් ආන්දෝලනයක් ඔස්සේය. එහෙත් අන්දොලනයේ රස්නය යට වෙත්ම පනතද යට ගසා ඇත. මෙය පැහැදිලිවම සත් බාවයෙන් තොරව කරගෙන යන දරුණු මඟ හැරීමක ප්‍රතිපලයකි.

ලංකාවේ ආණ්ඩුව අපරාධ කරුවන් ආරක්ෂා කරයි. අපරාධ යටපත් කිරීමට අනුබල දෙයි. නිතිය ක්‍රියාත්මක කිරීම අවහිර කරයි. රට වැසියා මුහුණ දිය යුතු ප්‍රධාන ගැටලුව මෙයයි. රට වැසියා මෙම ගැටලුවට මුහුණ දීමට අසාර්ථක වන තාක් දුරට අනාරක්ෂිත තත්ත්වක ජීවත් වීම හැර වෙනත් විකල්පයක් නැත. ජෙරාජ් පෙරේරාට සිදු වී ඇති අසාධාරණය සහ ප්‍රගීත් එකනාලිගොඩගේ අතුරුදහන් වීම තුළින් හෙළිදරව් වන සත්‍ය තත්වය එයයි. Tell a Friend