දේශපාලන: පිස්සුව බෝවන රෝගයක් වූ විට

 "මහින්ද රාජපක්ෂ ජාතිය කෙරෙහි බැඳී පෙම ගැන ගොතමින් එකී ජාතියේම පදනම සකස් කරන මුලික ආයතන ඝාතනය කරණ විට එහෙයි කියන්නෙත්, තුල්හිරියේ මානසික රෝගයකින් පෙළුන වෙදා දැරියකගේ කොන්ද කොට්ටයකින් තබා පෑගීමෙන් හදවතේ ලෙඩ සුව වේය, ඒ නිසා එයට අවසර දෙන්න යැයි ඉල්ලු විට එහෙයි! කියන්නෙත් , මේ ලංකාවේ වෙසෙන අපේම ජනතාව මිස වෙන කිසිවෙකු නොවේ. දේශපාලනික සහ ආර්ථික වශයෙන් ගත් කළ අදාල වෙදාගේ කාර්යත් - රාජපක්ෂගේ කාර්යත් අතර කිසිඳු වෙනසක් නැත. මොවුන් දෙදෙනාගේම රාජකාරිය අවසාන විග්‍රහයේදී කියවෙන්නේ සමාන දෙයක් වුවත් තනුව සහ කාලය වෙනස් වේ. මෙනිසා රාජපක්ෂ ගැන අන්ධ හැඟීම් බර විශ්වාසයකුත් වෙදා ගැන කාලකන්ණි ශාපයකුත් එක හෙලා සිතට නැගේ."

නිලන්ත ඉලංගමුව

ලංකාව තවත් වසර 200 කටවත්, අඩු තරමින් මුලික නීතියක්වත් සියලු දෙනාටම සමානව ක්‍රියාත්මක වන රටකට යටත් විය යුතුය යනුවෙන් පසුගිය ලිපියේදී මෙම ලියුම් කරු ඉදිරිපත් කළ කාරණය සහ ඊට ලැබුණු ප්‍රතිචාර දෙස බැලීමේදී අනුකම්පාවක් මෙන්ම දුකක් රට කෙරෙහි සහ ආණ්ඩුවේ දේශපාලන ගුණ්ඩු නිර්මාණකරුවන් කෙරෙහි ඇති වේ. අදාල ලිපියේදී ඉදිරිපත් කළ එක මුලික තර්කයක් හෝ කරුණු සහිතව තේරුම් ගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඔවුහුට නොහැකි වී ඇතිවා පමණක් නොව ඔවුහු මෙම ලියුම් කරුගේ ජාතකයට අනාවැකි කියන්නට ගොස් තමන්ගේ ජාතකය වඩාත් හොඳින් පෙන්නා දී ඇත. මෙය සැබවින්ම මා අපේක්ෂා කළ දෙයකි. ඒ ගැන පුදුම විය යුත්තේද නැත. නමුත් අවසනවානම් මෙකි හැඟීම් බර අන්ධබවෙන් තොර වී සබැ ලෝකයට ගොස් ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ මුළුතැන්ගෙට ගොස් ඔවුහු වේල පිරිමහ ගන්නා ආකාරය හෝ තමන්ගේ දරුවාගේ ලෙඩ සුව කරයි යැයි සිතමින් වයස අවුරුදු එක හමාරකට මදක් වැඩි ළදරුවෙකුගේ කොන්ද කොට්ටයක් තබා පාගා මරා දැමීමට බර කිලෝ අසූවට ඉහල එක්තරා මානසික රෝගියෙක් වෙදෙක් ලෙස රඟපෑ භූමිකාව තුළ දෙමාපියන් අසරණ වූ ආකාරය දෙස ඇස් කන් යොමා බැලිය හැකිනම් තේරුම් ගනු ඇත.

රටක නීතයක් නැති වූ කළ සහ රටේ සමාජීය ක්‍රමයක් නැති වූ කළ සාමාන්‍ය මිනිසා නැඹුරු වන්නේ අස්වාභාවික දේවල් විශ්වාස කොට ඉන් මානසික සහනයක් ලබා ගැනීම කෙරෙහිය. ඉන් ප්‍රයෝජනය ගන්නේ අදාල අස්වාභාවික දෑ ක්‍රමෝපායිකව විකිණීමට දන්නා අයවලුන්ය. මහින්ද රාජපක්ෂ ජාතිය කෙරෙහි බැඳී පෙම ගැන ගොතමින් එකී ජාතියේම පදනම සකස් කරන මුලික ආයතන ඝාතනය කරණ විට එහෙයි කියන්නෙත්, තුල්හිරියේ මානසික රෝගයකින් පෙළුන වෙදා දැරියකගේ කොන්ද කොට්ටයකින් තබා පෑගීමෙන් හදවතේ ලෙඩ සුව වේය, ඒ නිසා එයට අවසර දෙන්න යැයි ඉල්ලු විට එහෙයි! කියන්නෙත් , මේ ලංකාවේ වෙසෙන අපේම ජනතාව මිස වෙන කිසිවෙකු නොවේ. දේශපාලනික සහ ආර්ථික වශයෙන් ගත් කළ අදාල වෙදාගේ කාර්යත් - රාජපක්ෂගේ කාර්යත් අතර කිසිඳු වෙනසක් නැත. මොවුන් දෙදෙනාගේම රාජකාරිය අවසාන විග්‍රහයේදී කියවෙන්නේ සමාන දෙයක් වුවත් තනුව සහ කාලය වෙනස් වේ. මෙනිසා රාජපක්ෂ ගැන අන්ධ හැඟීම් බර විශ්වාසයකුත් වෙදා ගැන කාලකන්ණි ශාපයකුත් එක හෙලා සිතට නැගේ. මෙහිදී කිසිවක් නොතේරෙන අසරණ රෝගී ළදරියකගේ ඝාතකයා බවට වෙදා පත් වන අතර රාජපක්ෂ තමන්ගේ හිසේ සිට දෙපතුල දක්වා විසිරණය වී ඇති බල තණ්හාව සපුරා ගැනීම සහ එය තම පවුලේම රඳවා තබා ගැනීමට ගොස් යහ පාලනයේ ඝාතකයා බවට පත් වේ. වෙදාගේ අරමුණ එදා වේල සොයා ගැනීම වූ නමුත් රාජපක්ෂගේ අරමුණ තම රට රාජපක්ෂකරණය කිරීමය. එය දීර්ඝ කාලින නිසා ජනතාවට දැනීමට කාලය ගත වේ. මේ නිසා රාජපක්ෂ නාමික වීරයෙක් වන අතර වෙදා කාලකන්ණි යක්ෂයෙක් වේ. නමුත් මේ චරිත දෙක තුළම ඇත්තේ රටක මුලික නීතයක්, එය සෑම දෙනාටම ක්‍රියාත්මක කළ හැකි වටපියාවක් නැති වූ පසු සිදුවන හානියේ සහ ඉන් සැබෑ වසලයින් ප්‍රයෝජන ගන්නා බිහිසුණු ආකාරයයි. රටක පැවතිය යුතු මුලිකාංග ඝාතනය කරමින් රාජපක්ෂ බලය සඳහා කරණ අරගලය තුළ මෙන්ම අදාල වෙදා එදා වේල සඳහා කරණ අරගලය තුළ වෙනසක් නැත්තේ ඒ නිසාය. මෙය තේරුම් ගැනීමට නොහැක්කේ හෝ තේරුනද නොකියන්නේ එක්කෝ රාජපක්ෂගෙන් තම මඩිය තරවන නිසා විය යුතුය. නැත්නම් " හැඟීම්බර මායාව" [ emotional myth ] තුළින් අන්ද වී සිටින පරිමාණය නිසා විය යුතුය. එසේත් නොවේනම් බය නිසා විය යුතුය.

පසුගිය ලිපියේදී මෙම ලියුම් කරු ඉදිරිපත් කළ කාරණය තව දුරටත් විස්තර කිරීම සඳහා වැඩි දුර යා යුත්තේ නැත. එනම් රාජපක්ෂගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ගෝඨාබය හෝ ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය කාලය තුළදී තම තමන්ගේ ජීවිත සංවිධානය කළ ආකාරයෙන් එය පෙනේ. ඔවුන්ගෙන් එක අයෙක් හෝ මේ මාතෘ භූමිය කෙරෙහි විශ්වාසය තබා තිබේද? එසේ තිබේනම් ඔවුහු තමන්ගේ පුද්ගලික ජීවිතය සංවිධානය කිරීම සඳහා සුද්දන්ට ( ඇමෙරිකානු සුද්දන්ට ) ඉඩ දුන්නේ හෝ ඔවුහු කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ මන්ද? එය ඔවුහු අතින් සිදු වූ වැරැද්දක්ද? වැරද්දක් නම් වාර්ෂිකව ඔවුන් දෙදෙනා තමන්ට සුදු අධි රාජ්‍යවාදීන්ගෙන් ලැබුණු ( කට්ට කා ලබා ගත්) අදාල පුරවැසිකම් සහතික කිරීම සඳහා කළයි යැයි කියන අපරාධ වලට සුද්දන්ගේ ආරක්ෂකයින් ඉදිරියේ සාක්ෂි බඳින්නේ මන්ද? සබැ කාරණයනම් ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙකු හෝ ඊට හවුල් වූ දේශපාලකයෙකු මහින්දද ඇතුළුව තම තමන්ගේ පුද්ගලික ජීවිතය සංවිධානය කිරීම සඳහා විශ්වාසය තබා ඇත්තේ සුද්දන් කෙරෙහි මිස තමන්ගේ රටින් ලැබුණු දේ හෝ රටේ වැසියන් කෙරෙහි නොවේ. එය මහින්දට වැඩ මහින්දගේ තාත්තාගෙන් හෝ සීයාගෙන් ඇසිය හැකිනම් දේශපාලන අන්ධයින්ට තේරුම් ගැනීමට හැකි වනු ඇත. මහින්දගේ කුරහන් සාටකයේ ඉතිහාසය දන්නේනම් එය තේරුම් ගැනීම අපහසු නොවනු ඇත. එසේම ජාතිමාමක හෝ ජාත්‍යාලය ආදී වචන විකුණන දේශපාලන වෙළෙන්දන් විෂයෙහිලාද ඇති සැබෑ ඇත්ත වන්නේ එයයි. නමුත් මොවුහු සමස්ත රට ජනතාවගේම බදු මුදල් අයතා ලෙස පරිහරණය කරමින් ගොනාට අන්දවමින් සිටිති. මේ ඇත්ත තේරුම් නොගන්න වුන් සේම ආණ්ඩුව විසින් තමන්ට ලබා දුන් " මායාව" නමැති කන්නාඩිය ගැලවීමට නොහැකි අය වලුන් හැසිරෙන ආකාරය දැකීම සඳහා රාජපක්ෂගේ හෝ ඊට ගැති මාධ්‍යන් හැසිරෙන ආකාරයෙන් අවබෝධ කර ගත හැකිය.

මේ අතර රාජපක්ෂ හින් සීරුවේ තමන්ගේ නම කොටා ගත් හම්බන්තොට වරාය දෙවනවරට විවුර්ත කරමින් ඉදිරිපත් කළ අදහස්ද කදිමය. සැබවින්ම එය සැලකිල්ලට ගැනීමට පෙර හම්බන්තොට වාරයෙන් මහින්ද ලබා ගැනීමට යන්ත දරණ දේශපාලන වාසිය පිළිකුල් සහගත බව දැන් ඔප්පු වී හමාරය. එනම් අදාල වරාය විවුර්ත කිරීම සඳහා මහින්ද කෝටි ගණන් වියදම් කොට ප්‍රධාන උත්සව දෙකක් පැවැත්වූයේය. එසේම තවත් උත්සවයක් එනම් එහි තෙවන අධියර අවසන් කිරීමෙන් පසුද වඩා ඉහල මට්ටමේ උත්සවයක් පැවැත්වීමට ඉඩ තිබේ. එය මීටත් වඩා ඉතා ඉහල මට්ටමේ එකක් විය හැකිය, මන්ද ඒ වන විට ඔහු මේ වන විට විකුණන කොටින්ට එරෙහි යුද්ධය නමැති සිද්ධිය පද්ධතිය තුළ අවලංගු වන බැවිනි. පළමු උත්සවයේදී මාගම්පුර වූ එය දෙවන උත්සවයේදී මහින්ද රාජපක්ෂ විය. නම වෙනස් කිරීම සඳහා චීනය සමඟ ගිවිසුම් ගැසීමට සිදු වූයේදැයි නොදනිමු. අදාල නම වෙනස් කළ යුතුයි යැයි මෙම ලියුම් කරු හෙතමගේ ප්‍රථම උත්සවයට දිනකට පසු ලියු ලිපියකින් කියා සිටියේ රාජපක්ෂගේ සැබෑ මනෝභාවය ගැන දේශපාලනික කාරණයක් මතු කරමිනි. අදාල වරාය දේශපාලනික වශයෙන් මහින්ද පිම්බීම සඳහා කළ දේශපාලන ව්‍යාපෘතියට ගිය මුදල සෙවීම සඳහා තවත් වසර ගණනාවක් යනු ඇත. මෙවැනි මැජික් යැයි සිතාගෙන සිටින නමුත් සබැවට අනුවනම් පිස්සු දුර්ගන්ද කටයුතු මිස රාජපක්ෂගෙන් වෙනත් දෙයක් බලා පොරොත්තු විය නොහැකිය.

එසේම හෙතම එහිදී, ඈත අතීත ලංකාවේ වරායන් දහසක් පමණ තිබුණ බව තමාට ලබාදුන් පිස්තෝලයෙන් පළමු වෙඩි මුරය තබා ජාතික කොඩියට වඩා බෞද්ධ කොඩියෙන් අලංකාර තිබු ජෙට් ලයිනර් නමැති නැව මහින්ද රාජපක්ෂ " ජාත්‍යන්තර" වරායට ඇතුළු වීමෙන් පසු පැවැත් වූ කතාවේදී ප්‍රකාශ කළේය. එය කටට ආ පලියට කී කතාවක්ද නොඑසේනම් තමන්ගේ මෝඩකම ස්වාභාවිකවම විද්‍යාමාන වන පරිදි අහම්බෙන් සිදු වූවක්ද යන්න දන්නේ නැත. කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා සඳහන් කරන අන්දමට පෙරේදා ජනාධිපතිවරයාගේ උත්සවය සඳහා පමණක් වියදම් කළ මුදල රුපියල් කොටි සීයක් පමණය. එසේම ඊයේ පැවැත්වුණ හෙතමගේ පදවි ප්‍රාප්තිය නමුත් සැබෑවට අනුවනම් මානව නිදහස සහ නීතියේ ආධිපත්‍ය අභාවප්‍රාප්ත උළෙල සඳහා වියදම් කොට ඇති මුදල එක්සත් ජාතික පක්ෂය කියන ආකාරයට රුපියල් කොටි 500 කි. මේ වන තෙක්ම එය ප්‍රතික්ෂේප කරමින් කිසිඳු ප්‍රකාශයක් ආණ්ඩුවෙන් සිදු නොවීමත් වෙනදා මෙන් තමන්ගේ සිරුර පුම්බා ගැනීම සඳහා කරණ නාඩගම් වලට මහජනතාවගේ මුදල් සහ ශ්‍රමය තමන්ගේ බූදලය මෙන් නාස්ති කිරීමේ ප්‍රමාණය කෙතරම්ද යන්න ඉදිරිපත් නොකරන හෙයින් සේම එහිදී දැක ගත හැකි වූ දහසක් අනග රැඟුම් වලින් ඔප්පු වන්නේ කෙතරම් මුදලක් වියදම් කොට ඇත්ද යන්නයි.

රාජපක්ෂ පෙළෙන්නේ අමුතු මානසික රෝගී තත්ත්වයකය. එක්තරා ආකාරයක පිස්සුවක් ලෙසද මෙය හඳුනා ගත හැකිය. මෙවැනිම පිස්සු තිබු නායකයින් රටවල් වල බිහි වී සියහ . 60 දශකයේදී මධ්‍යම අප්‍රිකාවේ පාලකයා වූ ජින් බෙදෙල් බොකාසා හෙවත් සලාහ් එඩින් අහමඩ් බොකාසා ද මෙවැනිම මානසික තත්වයකින් පෙලුනු නායකයෙක් විය. හමුදා නායකයෙකු වූ ඔහුටත් රාජපක්ෂට මෙන් රජුටත් එහා ගිය අධිරාජයෙකු වීමේ මානසික පිස්සුවක් තිබුණි. 1976 දෙසැම්බර් මාසයේදී ඔහු මධ්‍යම අප්‍රිකාවේ ව්‍යවස්ථාව විසිකොට දමා තමාගේ බලය තහවුරු වන ආකාරයෙන් සම්මත කළ ව්‍යවස්ථාවත්, ජේ ආර් ගේ ඉතිහාසගත ශාපලත් බලලෝභී අත් වැරැද්දට තවත් බලය එකතු කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ද්‍රෝහියෙකු බවට පත් වූ රාජපක්ෂගේ 18 වන ව්‍යවස්ථා සංශෝධනයත් අතර අරමුණු අතින් කිසිඳු වෙනසක් නැත. රාජපක්ෂ ඒකාධිපතියෙක්නම් මැතිවරණ පවත්වන්නේ මන්ද යන්න ආණ්ඩුවේ කේවට්ටයින් මෙහිදී ඉදිරිපත් කරණ තර්කය වේ. ඔවුන්ට නෙතෙරෙන මුලික කාරණය නම් රටක ස්වාධින තීරණයක් සහතික කිරීම සඳහා ඇති ආයතන සියල්ලම තමන්ගේ තැරව් කරුවන්ගෙන් පුරවා ඒවායේ කොන්ද කඩා දැමූ විට ඇතිවන්නේ ස්වාධින තීරණයක් නොව බලාත්මක නිර්මාණයක් බවයි.

රාජපක්ෂ සැබෑ ලෙස ජනතා විශ්වාසය දිනා අත්තෙක්නම් කොටි ගණන් නාස්ති කොට උත්සව පවත්වන්නේත් අධිකරණය කිහිපවරක් නියෝග කොට තිබියදීත් ජනරලත් සරත් ෆොන්සේකාට ව්‍යායාම කිරීම සඳහා යන්ත්‍රයක් ලබා නොදෙන්නෙත් මන්ද? පිළිතුර සරලය, මේ උන්මන්තක බල කාමියා පෙළෙන්නේ අසීමිත තණ්හාධික බලය අහිමි වේ යැයි යන බියෙනි. මේ සියලු රංගනයන් තුළ ඇති සබැ හෙළුව වන්නේ එයයි. මාගම්පුර වරාය රාජපක්ෂ වරාය වන්නේත් ඉදිකිරීමට යෝජිත මත්තල ගුවන් තොටුපල තවත් රාජපක්ෂ ගුවනතොටුපලක් ලෙස නම් කිරීමට ඉඩ ඇත්තෙත් ඒ නිසාය. මේවා අහිමි වී යැයි දැඩි බයක් නිසා හට ගන්නා උන්මන්තක බාවයේ ලක්ෂණ පෙන්නුම් කරණ තීරණ මිස වෙන කිසිවක් නොවේ. ඔහුට, රටේ තියෙන දේ සංවර්ධනය නොකොට අලුත් වරායන්, අලුත් ගුවන් තොටුපළවල්, අලුත් ක්‍රීඩාංගන, තැනීමට සිදු වී ඇත්තේ මීට පෙර මෙරට පාලනය කළ අයගේ තිබු එවැනිම මානසික රෝගී තත්වයන් නිසාය. වෙනස ඇත්තේ රාජපක්ෂ මීට පෙර සිටි අයවලට වඩා සංකීර්ණ මානසික අවුලකින් පෙළෙන්නෙකු වීමයි. මතක තබා ගත යුතු මුලික දේශපාලන න්‍යාය වන්නේ කළ යුතු දේ වෙනුවෙන් කරණ දේ අත් හරින්නා තමන්ගේ ජයග්‍රහණය නොව නියත විනාශය අත් කර ගන්නා බවයි. රාජපක්ෂගේ හෝ එම පවුලේ අයගේ පුද්ගලික ජීවිතය සහ දේශපාලන ජීවිතය තුළ ඇති පරතරය වන්නේද එයයි. ජාතියක පැවැත්ම වෙනුවෙන් පැවතිය යුතු මුලිකාංග ඝාතනය කොට කාබාසිනියා කරණ රාජපක්ෂ තමන්ගේ පුද්ගලික සුඛ විහරණය තුළ නීතියක් ඇති රටවල් මත යැපෙන්නේ මේ නිසාය. ඔහු ආසියාවේ ආශ්චර්ය නිර්මාණය කිරීමේ තිරය පිටුපස ඇත්තේ එයයි.

පසුගිය දශක කිහිපය පුරා ලංකාවේ දේශපාලනය තුළ බිහි වුයේ මෙවැනිම පිරිස්ය. වෙනස ඇත්තේ රාජපක්ෂට පෙර සිටි අය වලට වඩා රාජ උෂ්ණයෙන් ඔලුව මත් වී ඇත. එසේ වීමට ප්‍රධාන හේතුව විය හැක්කේ කොටි සංවිධනයට එරෙහිව ලබා ගත් යුධ ජයග්‍රහණයයි. තමන්ගේ දේශපාලන ගැට වලට හසු වීමට අකමැති නමුත් යුද්ධයේදී සක්‍රිය දායකත්වයක් ලබා දුන් පිරිස එය අහවර කළ වහාම දොට්ට දැමුවේ ඒ නිසාය. මේ ආකාරයෙන් තම පැවැත්ම අහිමි වෙයි යන බයෙන් පසුවෙන උතුරු කොරියාවේ කිම් ජෝන් ඉල්ද තමන්ගේ බාල පුත්‍රයා මීළඟ පාලකයා බවට දැනුම් දීම සඳහා පැවති ජාතික උත්සවයද රාජපක්ෂ ඊයේ පැවැත් වූ උත්සවය ද සමාන විය. මෙහි ඇති ගැටලුව වන්නේ මෙම නායකයින්ට ඇති අවුල වඩාත් සංකීර්ණ වී ඔහුගෙන් පසු එන අයට ගොදුරු වීමට සිදු වීමයි. යම් අවස්ථවලදී ජානමය සම්බන්ධයක් තිබුණද සාමාන්‍යයෙන් පිස්සුව බෝවන රෝගයක් ලෙස නොපිළිගැනේ. නමුත් පිස්සුව බෝවන රෝගයක් වුවහොත් එහි ඇති වන අනිටු පල විපාක ගැන අමුතුවෙන් කිව යුත්තේ නැත. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිටින බොහෝ අයට එනම් නායකත්වයේ සිට බිම් මට්ටම දක්වා ඇත්තේ පිස්සුව බෝවන රෝගයක් වූ විට දක්නට ලැබෙන අවාසනාවන්ත තත්වයයි. Tell a Friend