රඹුක්වැල්ල මෙය නොදන්නා බබෙක් නොවේ. එසේනම් ඔහු තමාගෙන් ඇසු ප්‍රශ්නයට කෙලින් උත්තරයක් නොදී එය මඟ හැර යන්නේ ඇයි?රජයේ අනුදැනුම ඇතිව ශිෂ්‍යාට පහරදීම සිදු වූ බව ඔහු දනියි. රජයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස ඔහුට එය පිළිගත නොහැකිය. එම නිසා ඔහු ප්‍රශ්නයෙන් මඟ හැර යාමට උත්සහ කිරීම පුදුමයක් නොවේ. ඇත්තෙන්ම මාධ්‍ය වේදියා අසා ඇත්තේ රජයේ මාධ්‍ය ප්‍රකාශකයාට අව්‍යාජව උත්තර දිය හැකි ප්‍රශ්නයක් නොවේ. රජයේ අනුබල දීම මත කෙරෙන අපරාධ වලට පොලිසිය මැදිහත් නොවන බව කීමට ඔහුට බැරිය.
කැලණියේ මැරයෝ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වගකීම් භාරයක් ඉටු කරන කණ්ඩායමකි. ඔවුහු රජයට අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට මැදිහත් වී අවශ්‍ය දේ කරන අතර ඔවුන් කරන දේට ප්‍රසිද්ධියක්ද ලබා ගන්නා ආකාරය, මැනවින් ඉගෙන ගෙන සිටිති. තමන් කරන කාර්යට රජයේ ආරක්ෂාව ලැබෙන බව ඔවුහු හොඳින් දනිති. කැලණියේ මැරවර කණ්ඩායම තුළින් ප්‍රකාශයට පත් වන්නේ දැන් පවතින රජයේ පරිපාලන මූලුපයේ අංගයකි.
එම මුල උපායේ තවත් අංගයක් නම්, රජයේ මාධ්‍ය මඟින් අදාල ප්‍රශ්නය පිළිබඳව ගෙන යන මහා ප්‍රචාරයයි. මේ අවස්ථාවේදී අදාල ප්‍රශ්නය ලෙස පවතින්නේ නිදහස් අධ්‍යාපනය යටපත් කොට, මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ පුද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලීයයි. මේ සඳහා ශිෂ්‍යන් මෙල්ල කර ගැනීම අවශ්‍ය වේ. කැලණියේ මැරයින් අතින් කෙරෙන්නේ ශිෂ්‍යන් මෙල්ල කිරීමේ රජයේ ප්‍රතිපත්තියේ යම් කොටසකි. රඹුක්වැල්ලට මේවා ප්‍රකශ කිරීමට බැරිය. ඒ වෙනුවට ඔහු කරන්නේ පහර දීමේ සිද්දියම සුලුව සැලකෙන සේ සමච්චල් ප්‍රකාශයක් කිරීමය. රඹුක්වැල්ල මෙම සමච්චල් ක්‍රම හොඳින් දන්නා උඩ රැට්ටේකි.
මාධ්‍ය වේදියා නැගු ප්‍රශ්ණයට පැහැදිලි පිළිතුර නම් නීතියේ ආධිපත්‍ය දැන් බොහෝ දුරට වඳ වෙමින් පවතින දෙයක් බවය. පොලිසියේ විනය වඳ වී හමාරය. නීතියානුකුලව රාජකාරි කිරීමේ හැකියාවම දැන් පොලිසියට පවතින්නේ නැත. හැබෑ විදිහට රාජකාරි කිරීමට ගොස් කැලණියේ මැරයකු පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගත්තානම් සිදු වන්නේ කුමක්ද? එවිට සිදු වන්නේ සමහර විට මැරයින් අතින්ම පොලිස් නිලධාරියටද පහර දීම පමණක් නොව රජයේ නියෝග අනුව පොලිස් නිලධාරියාගේ රැකියාව නැති වී යාමද, නොඅනුමානය. රාජකාරි කිරීමට ගොස් විහින් රැකියාව නැති කර ගැනීමට කැමති වන්නේ කවුද?
අද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ පොලිස් නිලධාරීන් පමණක් නොවේ. අධිකරණ නිලධාරින්ද එවැනිම තත්වයකට මුහුණ දෙති. රජයට පක්ෂපාති නොවන තීන්දු දීම භයානක ප්‍රතිපල දෙන දෙයක් බවට පත් වී හමාරය. එය අද ඊයේ සිට නොව 1978 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමට පටන් ගත් දිනයේ සිටම සිදු වන්නකි. දැන් මෙම ක්‍රියාදාමය පිළිබඳව අවබෝධයක් කාටත් ඇත. අධිකරණ නිලධාරිහුද මෙය හොඳින් දනිති. අධිකරණ නිදහස සහ ස්වාදීනතාවය මත ක්‍රියා කිරීමට ගියහොත් තමන් අමාරුවේ වැටෙන බව තේරුම් ගැනීමට එතරම් බුද්ධියක් අවශ්‍ය නැත.
රටේ තත්වය එයයි. රජයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් අසන ප්‍රශ්නවල තේරුම ඇත්තේ එම ප්‍රකාශකයා දෙන උත්තර වලින් නොවේ. එම ප්‍රශ්ණය තුළමය. දැන් රටේ නීතියේ අධිපතයත් අධිකරණයේ නිදහසත් වඳ වී යාම බොහෝ දුර දිග ගොස් ඇත. විධායක ජනාධිපති ක්‍රමය අනුව නීතියේ ආධිපත්‍ය ජනාධිපතිවරයාට යටත් විය යුතුය. මුල් තැන ජනාධිපතිවරයාගේ බලතල වලට හිමි වේ. එවැනි වාතාවරණයක නීතියේ අධිපතයටත් අධිකරණයේ නිදහසටත් තැනක් නැත. කැලණියේ මැරයින්ට සහ ඒ සමාන කටයුතු කරන වෙනත් අයට නීතියට වඩා ශක්තියක් ඇත.

Post a Comment