සරසවි සිසුන්ට හා මාධ්‍යවේදීන්ට එල්ල කෙරුණු පොලිස් ප්‍රහාරය හෙළා දකිමු!

file photo
අත්අඩංගුවට ගනු ලැබ සිටින ශිෂ්‍ය නායකයින් නිදහස් කරන ලෙස බල කරමින් උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ටත් එම උද්ඝෝෂණය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ටත් ඊයේ (14) සවස පොලිසිය අමානුෂික ලෙස පහරදී තිබේ. එම පහරදීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සිය බලවත් විරෝධය පළ කර සිටී.

උද්ඝෝෂණයේ නිරත වූ සිසුන් ඉල්ලා සිටියේ අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප ලබා ගත නොහැකි වන පරිදි පොලිසිය විසින් ඉදිරිපත් කරනු ලැබ තිඛෙන වැරදි සහ අසාධාරණ චෝදනා ඉවත් කර ගන්නා ලෙසය. දේශපාලන හා වෙනත් විවිධ වුවමනාවන් මත, අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කිරීමේ අපකීර්තිමත් ඉතිහාසයක් ලංකාවේ පොලීසිය සතුය. ඒ නිසා සිසුන්ගේ ඉල්ලීම සාධාරණ වන අතර නීතිය සුරකින්නේ නම් කළ යුත්තේද අසත්‍ය චෝදනා ඉවත් කර ඔවුන් යම් වරදක් කර ඇත්නම් ඊට අදාළ චෝදනා පමණක් ඉදිරිපත් කිරීමයි.

එහෙත් සිසුන්ගේ සාධාරණ ඉල්ලීම ඉටු කරනවා වෙනුවට, පොලිසිය සිදු කර තිඛෙන්නේ, ඔවුන්ට අමානුෂික ලෙස පහරදී තවත් සිසුන් 21 දෙනකු අත්අඩංගුවට ගැනීමය.

පොලිසියේ ක්‍රියාකලාපය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට රැස්ව සිටි සිසුන් ඉවත් කිරීමේ වුවමනාව මත පමණක් පදනම් වූවක් නොවන බව පෙනෙන්නේ සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදින්ටද අමානුෂික ලෙස පහරදීම නිසාය. තමන් මාධ්‍යවේදීන් බවත් එහි පැමිණියේ සිදුවීම වාර්තා කිරීමට බවත් රජය විසින්ම ලබා දෙන ලද මාධ්‍යවේදී හැඳුනුම්පත් පෙන්වමින් කරුණු දක්වද්දීත් පොලිසිය ඔවුන්ට පහරදී ඇත. එපමණක් නොව සිදුවීම වාර්තා නොකරන ලෙසටද තර්ජනය කර ඇත.

සිද්ධිය එතෙකින් අවසන් වූයේ නැත. සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයත් ඊට එරෙහිව කළ පොලිස් පහරදීමත් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී විද්‍යුත් නාලිකාවක් වෙත අදහස් දක්වමින් උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා පැවසුවේ, සිසුන් දෙතුන් දෙනකු පමණක් නොව දහස් ගණනක් වුවත් අත්අඩංගුවට ගැනීමට පසුබට නොවන බවය. එය ඉතා බරපතළ ප්‍රකාශයකි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පොලිසියේ හැසිරීමත් ඊට සමපාත වන උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රකාශයත් එක්ව ගත් කළ සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නොවේ.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබමින් සිටින අතර ඊට එරෙහිව සිසුන් තුළින් නැගෙන්නේ මේ රටේ දුක් විඳින දෙමාපියන්ගේ හ~යි. නිදහස් අධ්‍යාපනය විනාශ කොට, අධ්‍යාපනය මුදලට විකුණන තත්වයට පත් කිරීමෙන් ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ නොහැකිය. එමගින් සිදු වන්නේ, ශ්‍රී ලංකාව නූගත්කමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමය. දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට නම් කළ යුත්තේ, නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමත් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමත් සිසුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලසීමත්ය. එහෙත් එවැනි වැඩපිළිවෙළක් නැති ආණ්ඩුව දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා යැයි බොරු පාඨයකට මුවා වී සිදු කරන්නේ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමය. එය මේ රටේ සියලූ දෙනා තේරුම්ගත යුතුව ඇතිවා පමණක් නොව එය පරාජයද කළ යුතුය.

අනෙක් අතට ආණ්ඩුවේ වුවමනාව ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් කිරීම නම් සරසවි සිසුන්ගේ ඉල්ලීම් මර්දනය කිරීම නොව ඒවා වහා ඉටු කිරීමට පියවර ගත යුතු බව පැහැදිලිය. සරසවි සිසුන් උද්ඝෝෂණය කරන්නේ, නිදහස් අධ්‍යාපනය සුරකින ලෙසත් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සහතික කරන ලෙසත් හා අධ්‍යාපන අවස්ථා සහ පහසුකම් පුළුල් කරන ලෙසත්ය. ආණ්ඩුව පොලිසිය යොදා පහරදී මර්දනය කිරීමට උත්සාහ කරන්නේ, සිසුන්ගේ එම ඉල්ලීම්ය. මින් පෙනෙන්නේ, ආණ්ඩුව අධ්‍යාපනය සුරකින බවට වන ප්‍රකාශ මගින් ජනතාව රවටමින් වෙනත් දෙයක් ක්‍රියාවට නංවන දෙබිඩි පිළිවෙතකට අනුව කටයුතු කරන බවය.

මාධ්‍යවේදීන්ට පහර දෙමින් සිද්ධිය වාර්තා නොකරන ලෙස හෙවත් සරසවි සිසුන්ට පහරදුන් බවට ජනතාවට දැනගැනීමට ඉඩ නොතබන ලෙස පොලිසිය බලපෑම් කරන අතර සිසුන් දහස් ගණනක් සිරගත කිරීමට පසුබට නොවන බවට එස් බී දිසානායක ඇමතිවරයා කර ඇති තර්ජනය මේ රටේ සියලූ ජනතාව දැඩි ලෙසත් බරපතළ ලෙසත් අවධානයට ලක් කළ යුතු කරුණකි. ආණ්ඩුව මේ ගමන් කරමින් සිටින්නේ කවර දිශාවකටදැයි මේ අනුව මැනවින් පැහැදිලිය.

මෙම සිදුවීම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ක්‍රියාකලාපය පෙන්නුම් කෙරෙන තවත් එක් සිදුවීමක් පමණි. එය විරුද්ධ මත දරන්නන් මර්දනය කරන, මාධ්‍ය නිදහස අහෝසි කරන, නිදහසේ අදහස් පළ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කරන සිදුවීම් මාලාවේ තවත් එක් සිදුවීමකි. මේ බව තේරුම් ගෙන නිදහස් අධ්‍යාපනය සුරැකීමට මෙන්ම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහාද පෙරට එන ලෙස අපි සියලූ ප්‍රගතිශීලි ජනතා බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩල - ජනතා විමුක්ති පෙරමුණ Tell a Friend