පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත් අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් - මංගල සමරවීර

පාර්ලිමේන්තු මන්ත්‍රී වර ප්‍රසාද කඩ කරමින් රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් බව එක්සත් ජාතික පක්‍ෂ මාධ්‍ය සහ සන්නිවේදන ඒකක ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා  විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

යම්කිසි හේතුවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත් අඩංගුවට ගැනීමේ දී කථානායකවරයා දැනුවත් කොට එය සිදු කිරීම සම්ප්‍රදාය බවයි සමරවීර මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. නමුත් එම පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කරමින් රහස් පොලීසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත් අඩංගුවට ගැනීම කණගාටුවක්.

මේ අතර දැනට මහනුවර අධිකරණය තුල විභාග වන නඩුවක් හේතුවෙන් රහස් පොලීසිය මේ ආකාරයට කටයුතු කිරීමද දේශපාලන පළිගැනීමක් බවයි මංගල සමරවීර මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු නොවුනා නම් මෙම නඩු විභාගයේ දීත් රංජන් රාමනායකට මෙවැනි කණගාටුදායක සිද්ධීන්ට මුහුණපෑමට සිදු නොවනු ඇති බවට ද මංගල සමරවීර මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කෙසේ වුවත් රංජන් රාමනායක මහතා වෙනුවෙන් අවශ්‍ය පෙනී සිටීම සිදු කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇති අතර ඊයේ රාත්‍රියේ විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ද දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් රංජන් රාමනායක මහතාට පවසා ඇත්තේ අවශ්‍ය සියළු සහය තමාත් පක්‍ෂයත් මේ මොහොතේ ලබා දෙන බවයි. Tell a Friend