සිරකාරියන්ටද සෞඛ්‍ය යනු මානව අයිතියකි’


පියවතීගේ නඩුව තවම ඉවර නොමැති අතර මේ වන විට එය හම්බන්තොට මහාධිකරණයේ ඇසෙමින් පවතී. මානසික වෛද්‍ය වාර්තාවට අනුව ඇයට සහන සැලසෙනු ඇත. මරණීය දණ්ඩනය වෙත යනවා වෙනුවට, සුළු දඬුවමකින් නඩුව අවසන් වනු ඇතැයි අපේක්ෂා කරමි.
හර්ෂි සි. පෙරේරා

පියවතී තංගල්ල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී, දූවරුන් දෙදෙනෙකුගේ හා පුතුන් දෙදෙනෙකුගේ මවකි. වයස අවුරුදු 52 ක් පමණ වන විට ද්විත්ව මිනීමැරුම් නඩුවක් සඳහා බන්ධනාගාර ගත කෙරුණද එම මිනීමැරුම් සඳහා කිසිදු වගකීමක් හෝ ප්‍රකාශයක් ඇය විසින් සිදු නොකරන ලදී. ඇය අමුතු ගති පැවතුම් වලින් යුක්ත වූවාය. බොහෝ විට නිහඬ චරිතයකින් හෙබි ඇය දැහැනට සම වැදුනා සේ ඔහේ බලා ඉන්නට පුරුදු වූවාය. ඉහත නඩුව සඳහා සාක්ෂි වූයේ ඇගේ ගෙදර සාමාජීකයින් හා මැරීම සඳහා භාවිත කළ මන්නය පමණි. නමුත් සත්‍ය වශයෙන්ම මෙම මිනීමැරුම ඇය විසින් සිදු කරන ලදී.

ඇයගේ හැසිරීම් රටාවන්, ඇය පිළිබඳ ඉතිහාසයත් සැලකිල්ලට ගනිමින් මිනීමැරුමක් දක්වා වූ සිද්ධීන් අධ්‍යනය කිරීමේදී හා බොහෝ කාලයකට පසුව ඇය විසින් පවසන ලද යම් යම් දේත්, අසල්වැසියන් හා ඥාතීන් පවසන ලද කරුණුත් විශ්ලේෂණය කිරීමේදී පියවතීට සිදුවූයේ කුමක්ද යන්නත්, මිනීමැරුම හා පියවතී අතර තිබූ සම්බන්ධවතාවයත් හෙලිකර ගත හැකි විය. සාමාන්‍ය නීතියට අනුව, මෙය පියවතී විසින් සිදු කරන ලද මිනීමැරුමක් වන අතර, ඒ සඳහා ඔප්පු කළ හැකි සාක්ෂි විය. එම වරද සදහා දඬුවමද ඇයට දීමට හැකියාව නීතියේ ඇත. බැලු බැල්මට මෙම නඩුවේ තත්වය එසේ විය.

නමුත් ඉහත සියළු සාධක සලකා බැලීමේදී පෙනී ගියේ, ඇයට පරම්පරාවෙන් ආ සුළු මානසික රෝගී තත්වයක් තිඛෙන්නට ඇත කියාය. ඇයගේ පැරණි ඥාතීන් කිහිප දෙනෙකුට මෙවැනි සුළු මානසික රෝගී තත්වයන් තිබූ බව අසල්වාසීන්ගේ කථා වලින් හෙළි විය. නමුත් ඇයගේ පවුලේ උදවිය ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකළහ.

ඔවුන්ගේ රෝගී තත්වය අනුව, කලබලකාරී හැසිරිම් නොමැති වුවද, ඒවා සාමාන්‍ය හැසිරීම් රටාවට වඩා වෙනස් විය. මෙම තත්වය හඳුනාගෙන , හෝ ප්‍රථිකාර හෝ ලබා ගෙනද නොතිබිණි. එයට හේතු වුණේ, ඔවුන්ගේ සාමාජීය දැනුම අඩුකම හා ඇයගේ පවුලේ අය තුළ වූ මෙබඳු පොදු හැසිරීම් රටාව , ඔවුන්ටම ආවේණික වූවන් ලෙස අන් අය සිතූ නිසාය. එහෙත් විමර්ශනාත්මකව බලන්නෙකුට මෙම අසාමාන්‍ය චර්යා රටා හඳුනාගත හැකිය.

මරණයට පත් කළේ ඇගේ නැන්දම්මා හා නෑනා කෙනෙකි. ඔවුන් දෙදෙනා ගැන ඇය තුළ තරහක් තිබී නැත. ගෙබිමෙහි එකතැන නිදා හූන් දෙදෙනා එකවර මන්නෙන් කොටා දැමුවේ සිත් පිත් නැතුවා සේය. පසුව ඇය කිසිවක් සිදු නොවුවා සේ සිටියාය. සිය පවූලේ අයගේ බලවත් පිළිකුළ මැද ඇය පොලීසිය වෙත බාර දෙන ලදී. පසුව බන්ධනාගාර ගත කෙරින. මුල් කාලය තුළ පවුලේ කිසිවකු ඇය බැලීමට නොආහ. දරුවන් හා ස්වාමියා ඇය ප්‍රතික්ෂේප කරන ලද්දේ සමාජීය ප්‍රශ්න වලට ඔවුන් මුහුණ දුන් නිසා හා, මව එනම් බිරිඳ ගැන ඇතිවූ පිළිකුළ හා කෝපය නිසාය. ඔවුන්ගේ නොපැමිණීම ගැන ඇයටද ගානක් නැත.

නඩු වාර කිිහිපයක් ඇසුණි. ඇප ඉල්ලීමට හෝ නිදහසට කාරණා කීමට නීතිඥවරයෙකුද ඉදිරිපත් නොවුණත් ඇය වෙනුවෙන් කියා කිසිවෙකු ඇයට නොසිටි නිසාය. මෙසේ කාලය ගත වන විට ඇය බැලීමට දිනක් පුතකු පැමිණෙන ලදී. සමහර විටෙක සමාජීය බලපෑම ඔවුන් මවගෙන් ඈත් කළා සේම ළං කරන්නටද බලපාන්නට ඇත. කාගේ හෝ පෙළඹිමක් මත තම මව ගැන සානුකම්පිතව සිතූ එම පුතු , නීතිඥයෙකු මාර්ගයෙන් සියළු අතීත කරුණු ඉදිරිපත් කර මානසික වාර්තාවක් කැඳවීමට උසාවි නියෝගයක් ලබා ගන්නා ලදී. මෙහිදී මුලින්ම උණවටුන මානසික රෝහලටත් , පසුව අංගොඩ මානසික රෝහලටත් වැඩිදුර පරීඬණ සඳහා යොමු කරන ලදී. මේ අනුව ඇය මානසික රෝගියෙකු බවත් , මෙම තත්වය කාලයක් තිස්සේ පැවති බවටත් , වෛද්‍ය වාර්තා ලබා දී, ප්‍රථිකාර සඳහා නිර්දේශ උසාවිය මගින් ලබා ගෙන මාස කිහිපයක් අංගොඩ මානසික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා දෙන ලදී.

ප්‍රතිකාර වලින් පසුව නැවතත් ඇය බන්ධනාගාරය වෙත එවන ලදී. මෙහිදී පියවි තත්වයට පත්ව සිටි ඇයට, පසුගිය සිදුවීම් ආවර්ජණය වූවාය. ඇය සිදු කළ ද්විත්ව මිනීමැරුම මතක් වී පශ්චාත්තාප වන්නටත් , කඳුළු වගුරන්නටත් පටන් ගත් ඇය, නිතර නිතර ඒ ගැන දෙඩීමටත්, ආහාර ප්‍රතික්ෂේප කිරීම, තරහ යාම, තම සෞඛ්‍ය පුරුදු අත් හැරීම, අන් අය සමඟ රණ්ඩු කිරීමටත් රාත්‍රිය පුරා නිදිවර්ජිතව සිටීමටත් පුරුදු වුණි. මෙයින් ඇය බලවත් ලෙස රෝගාතුර වී රෝහල් ගත කෙරුණි. මේ වන විට ඇය බැලීමට අනෙක් දරුවනුත් විටින් විට ස්වාමිපුරුෂයාත් පැමිණෙන ලදී. මේ ආකාරයට අවුරුදු දෙකක් පමණ බන්ධනාගාරයේ සිටි අතර , ඇයට තිබු එකම ප්‍රශ්නය මෙම මිනීමැරුම් ගැන ඇතිවු පසුතැවීමයි. ඇයයේ සියළු අභ්‍යන්තර කාරණා දැන් පවුලේ සියළු දෙනාම දැන සිටියත් , සමාජීය මතය නම්, නඩුවෙන් බේරීම සඳහා බොරු පිස්සුවක් මවා ගෙන ඇති බවයි. ඇය පිළිබඳ සානුකම්පිත තත්වයක් මේ වන විට පවුලේ උදවියට තිබූ බැවින් , ඇයට ඇප තබා රැගෙන ගියාය. එහෙත් සිය නිවසට ඇයව කැඳවා ගෙන යාම වෙනුවට, දෙව්න්දර ප්‍රදේශයේ වෙනත් ඥාති නිවසකට ඇය රැගෙන යන ලදී. ඒ වන විට ඇයගේ දියණියක් සුනාමි ව්‍යවසනයෙන් මියගිය අතර නිවසද අහිමිව ඇත. අනෙක් පුතුන් දෙදෙනා හා දියණිය අධ්‍යාපනය අතරමඟ නතර කොට සුළු සුළු රැකියා කරමින් සිටියහ.

පියවතීගේ නඩුව තවම ඉවර නොමැති අතර මේ වන විට එය හම්බන්තොට මහාධිකරණයේ ඇසෙමින් පවතී. මානසික වෛද්‍ය වාර්තාවට අනුව ඇයට සහන සැලසෙනු ඇත. මරණීය දණ්ඩනය වෙත යනවා වෙනුවට, සුළු දඬුවමකින් නඩුව අවසන් වනු ඇතැයි අපේක්ෂා කරමි.
Tell a Friend