ක්‍රීඩා ගුරුවරයා 13 හැවිරිදි පාසල් ශිෂ්‍යායගේඅත කඩයි

ආර්. ඒ. අසිල ලසාංග - 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්. ඉගෙනුම ලබන්නේ ර/රඹුක මහා විද්‍යාලයේ 8 වන ශ්‍රේණයේ. 2010.09.23 දින සුපුරුදු පරිදි පාසලට ගිය අසිලට පස්වන කාල පරිච්ජේදයේ යෙදී තිබුනේ ක්‍රීඩා විෂයට.


උපුල් ශාන්ත නැමැති ක්‍රීඩා ගුරුවරයා, සියලුම ළමන්ව ක්‍රිඩා පිටියට ගෙන්වා ලී වලින් සෑදු හෙල්ලයක් විසි කිරීමට දී තිබෙනවා. හෙල්ල විසිකිරීමේ අසිලගේ වාරයේදී, අසිල හෙල්ල විසිකරනවිටම වෙනත් ශිෂ්‍යයකු ඉදිරියට පැමිණීම නිසා අසිල විසිකරපු හෙල්ල එම ශිෂ්‍යයාගේ ඇගේ වැදී ති‍බෙනවා.


උපුල් ශාන්ත නැමැති ගුරුවරයා කිසිම වගවිභාගයකින් තොරව අසිලට පිටුපස හැරෙන්න කියා හෙල්ලයෙන් අසිලට පහර දෙන ලදි. දැඩි වේදනා වෙන් අසිල අඩමින් සිටින විට ඔහුගේ මිතුරකු විසින් ප්‍රථමාධාර කාමරයට ගෙන ගොස් තිබෙනවා. පාසල අවසන්වන තුරුම අසිල ප්‍රථමාධාර කාමරයේ පසු විය. අසිලට වුනේ මොකද කියාවත් කිසිම ගුරුවරයකු සොයා බලා නැහැ.


පාසල අවසානයේ නිවසට ගිය අසිල තම මවට සිද්ධීය ප්‍රකාශ කලා. ඒ වන විටත් අසිලගේ අත ඉදිමී තිබුනා. අසිලගේ මව ඔහුට නොයෙක් වෙදකම් කලද, අසිතගේ අතේ ඉදමුව හෝ වේදනාව අඩුවුනේ නැති නිසා දින 5කට පසුව එනම් 2010.09.28 දින අසිතගේ මව ඔහුව රක්වාන රජයේ රෝහලට එක්කගෙන ගියා. එම රෝහලේ 06 වාට්ටුවට අසිලව ඇතුලත් කලා. ඔහුව පරික්ෂා කල වෛද්‍යවරැ අසිලව වහාම රත්නපුර මහා රෝහලට මාර කර යැවීමට පියවර ගනු ලැබුවා.


2010.09.30 දින අසිලගේ අතට ශල්‍යකර්මයක් කලා. රෝහල් පොලිසියද ප්‍රකාශ ගත් අතර, අධීකරණ වෛද්‍යවරයාද අසිලව පරීක්ෂා කලා. 2010.10. 01 දින ටිකට් කැපුවා.


රක්වාන පොලිසියෙන් කරපු දැනුම් දීමක් අනුව 2010.10. 02 දින අසිල තම මව හා පියා සමග රක්වාන පොලිසියට ගියා. උපුල් ශාන්ත නැමැති ගුරුවරයාවද කැදවා තිබුනද ඔහු පැමණීයේ නැහැ. පොලිසිය අසිලගෙන් පැමිණි බවට අත්සන් ගෙන නැවත 2010.10.04 දින පැමිණීමට දන්වා සිටියා.


ඒ අනුව 2010.10.04 දින අසිල තම මව හා පියා සමග පොලිසියට ගියා. එදින උපුල් ශාන්ත ගුරුවරයා හා තවත්ගුරුවරයකු පැමිණ සිටි අතර, ඔවුන් දෙදෙනා විනාඩි 15ක් පමණ වේලා ස්ථානාධිපතිවරයාගේ කාමරයට වී කතාකරමින් සිටියා.


අනතරුව අසිලවත් ඔහුගේ මව හා පියා තමා වෙත කැදවූ ස්ථානාධීපතිවරයා රුපියල් 5000/=ක් වනිදියක් ලෙස ගෙන, සිද්ධිය සමථ කරගැනීමට ඔවුන්ට බලකලා. ඒ බවට සටහනක්ද යොදා මුදල් ලබාගැනීමට 2010.10.06 දින පොලිසියට එන්න කිව්වා. නමුත් අසිලගේ මව එය ප්‍රති‍ක්ෂේප කලා.


මේ වන විට අසිලට දින 14ක් පාසල් යාමට නොහැකිව තිබෙනවා. අසිලගේ කැඩී තිබෙන්නේ දකුණ අත. සුව වීමට තවත් මාස කිහිපයක් ගතවීමට පුලුවන්.


මේ ගැන අසිලගේ මව - මානව හිමිකම් කොමිෂන් සභාවට, ළමා හා කාන්තා කාර්යාංශයට, ළමා ආරක්ෂක අධීකාරියට හා පොලිස්පති වෙත පැමිණිලි කර තිබෙනවා. අසිලට සාධාරණයක් වේයැයි ඔවුන් බලා සිටිනවා. Tell a Friend