"එජාපය ගොඩගන්න නමි රනිල් නැතුවම බෑ කියයි"


රනිල් වික්‍රමසිංහ මහතා නොමැතිව වෙන කිසිදු පුද්ගලයකුට එක්‌සත් ජාතික පක්‍ෂය ගොඩගත නොහැකි බව ගාල්ල දිස්‌ත්‍රික්‌ එජාප කණ්‌ඩායම් නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (05 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය. එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය වීම හෝ පසුබැසීමට හේතුව යුද්ධය සම්බන්ධව පක්‍ෂය දැරුව ප්‍රතිපත්තියවත් නායකයාවත් නිසා නොව පක්‍ෂය තුළ පවතින අසමගිය බව පෙන්වා දෙන ඒ මහතා සමගිය ඇතිකරගෙන ඉදිරියට ගියොත් වැඩි කලක්‌ ගතවීමට පෙර එජාප ආණ්‌ඩුවක්‌ බලයට පත්කරගත හැකි බව පෙන්වා දුන්නේය.


විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (05 වැනිදා) පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළ වජිර අබේවර්ධන මහතා 1987 ඉන්දු ලංකා ගිවිසුම ඉදිරිපත් කළ අවස්‌ථාවේ පක්‍ෂය දෙකට බෙදුනේ නැත්නම් සාමය උදාකිරීමේ ගෞරවය ද ඡේ. ආර්. ජයවර්ධනට හිමිවී වත්මන් දේශපාලන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්‌ වීමට ඉඩ තිබූ බව පැවැසීය.


එක්‌සත් ජාතික පක්‍ෂය ශක්‌තිමත් වීමට නම් ප්‍රතිසංවිධානය යන වචනය ප්‍රසිද්ධියේ කතා කිරීම තහනම් කළ යුතු අතරම ප්‍රතිසංවිධානය ගැන කතා කිරීම කාමරයකට සීමා කළ යුතු බවත් එසේ නොමැති නම් එහි වාසිය ලබාගන්නේ ආණ්‌ඩුව සහ එ.ජා.ප.යට මඩ ගහන ඇතැම් මාධ්‍ය පමණක්‌ බවත් වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.


ප්‍රතිසංවිධාන යටතේ සජිත් ප්‍රේමදාස මහතාට උපනායක තනතුර ලබාදීමට පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය මීට ඉහතදී තීරණය කළ බවත් එම තනතුර ඔහු ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු දැන් එය මත හිර වී නොසිට ඉදිරි පියවර කෙරෙහි අවධානය යොමු කරවීමේ අවශ්‍යතාවය ඒ මහතා පෙන්වා දුන්නේය.


එක්‌සත් ජාතික පක්‍ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් විය යුතු බවට ඇතැම් අය ප්‍රකාශ කළ ද එසේ වුවහොත් පක්‍ෂයේ විනාශය ද ආරම්භ වන බව පවසන වජිර අබේවර්ධන මහතා ආණ්‌ඩුවේ අවශ්‍යතාව ඉටු නොකර වත්මන් පක්‍ෂ නායකත්වය ආරක්‍ෂා කරමින් එ.ජා.ප. ආණ්‌ඩුවක්‌ බලයට පත්කර ගැනීමේ ගමන සියලු දෙනාගේ එකමුතුකම හා සමගිය තුළින් ආරම්භ කළ යුතු බව වැඩිදුරටත් කීය. Tell a Friend