The Most/Recent Articles

Showing posts with label interviews. Show all posts
Showing posts with label interviews. Show all posts

මම ගාන්ධිගේ සපෝටර් කෙනෙක් – වී. ආනන්ද සංගරි

ඉස්සර බොහෝ සිංහල ගම්වල දෙමළ අයගේ පොඩියට හරි කඩ තිබුණා. දැන් ඒවා අඩු වුනාට ඉස්සර එහෙම නෙවෙයි. කොයි සිංහල ගමකට හෝ ගියහොත් දෙමළ කෙනෙකුගේ සුරුට්ටු කඩයක් හරි ඒ දවස් වල තිබුණා.



සංවාදය ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු ( උපුටා ගැනීම: රාවය ) 


සංගරි යන්නෙහි තේරුම මොකක්ද?


මගේ පියාගෙ තාත්තගේ නම සංගරපුල්ලෙයි. ඒ නිසා තමයි මගේ තාත්තා මගේ සහෝදරයන් ඔක්කෝමට “සංගරි” කියලා දාලා තියෙන්නෙ. ඒකේ තේරුම කාලි කියන දෙවි කෙනෙක්. එහෙත් එහි නියම තේරුම “කිරි අම්මා”. සංගරන් තමයි පිරිමි අය පාවිච්චි කරන නම. “ සංගරි” පාවිච්චි කරන්නේ ගෑනු අයට. “සංගරි” කියන නමේ උච්චාරණය තුළ ගෑනු නමක් පේනවා. ඒත් දැන් ඒ නම මගේ පවුලේ සියලු දෙනා පාවිච්චි කරනවා.



මුලින්ම ඔබ සමසමාජයට සම්බන්ධ වන පසුබිම කුමක්ද ?


මගේ පළමු වන දේශපාලන පක්ෂය සමසමාජය. 1959 දී කොළඹ මහ නගර සභාවේ කොටහේන දකුණ කොට්ඨාසයට තරඟ කෙරුවා. ඒ කාලේ මමයි සුගතදාසයි දේශපාලන කටයුතු කළා. තරුණ වයසේදි සමසමාජ පක්ෂයේ දේශපාලන පන්තිවලට සහභාගි වුනා. පොඩිකාලයේ ඉඳලා දේශපාලනය ගැන උනන්දුවක් තිබුණා. අනික් පක්ෂ වල රැස්වීම් බලන්නත් යනවා. ටවුන්හෝල්වල පැවති සමසමාජ රැස්වීම් බලන්න මමත් යනවා.


පාසල් කාලයේ දේශපාලනයට නැඹුරු වුනාද ?


ඒ කාලයේදිත් දේශපාලන රැස්වීම් හා සම්මන්ත්‍රණවලට සහභාගි වුණා. ජේ. ආර් ජයවර්ධන, වයි. එම්. සී. ඒ එකට කතා කළාම අපිත් යනවා. ප්‍රසිද්ධ දේශපාලන රැස්වීම් වලට ගියා. ඒ කාලයේ ලෙනින්ගෙ පින්තූර ගෙදර අරගෙන එනවා. දැඩි ලෙස දේශපාලනය කළේ හර්තාල් කාලයේ. හර්තාල් තමයි මගේ දේශපාලනයේ ලෑන්ඞ් මාර්ක් එක.


1959 දී කොටහේනෙන් ඔබ ඡන්දය ඉල්ලනවා. කොටහේනට ඔබ සම්බන්ධ වෙන්නෙ කොහොමද ?


අපි කොටහේනේ තමයි පදිංචි වෙලා හිටියෙ. 1949 – 1950 ගණන් වල තමයි. එහෙට පදිංචියට ආවේ.


පේදුරු තුඩුව අතහැරලා ආවේ මොකද ?


ඒ කාලයේ මගේ ලොකු අයියා මරදානේ සහිරා විදුහලේ ගුරුවරයකු වශයෙන් සේවය කළා. අයියට අසනීප වුනාම අම්මත් එන්න ඕනේ කිව්වා. එතකොට අපි තුන්දෙනාට තනියම ඉන්න බැරි නිසා අපිත් කොළඹට ආවා. මම ඒ ඉස්කා්ලේ ඉගෙන ගත්තා. අපි ඉස්කෝලේ යන කාලයේ හිටියේ හුණුපිටියෙ.


ඔබ ශ්‍රී.ල.නි. පක්ෂය සමඟ මෙන්ම එ. ජා පක්ෂය සමගත් සමීපව වැඩ කරන පසුබිම හැදෙන්නෙ කොහොමද ?


මම ශ්‍රී. ල. නි පක්ෂයට හෝ යූ. ඇන්. පී යට හරි වැඩ කළේ නැහැ. මම වැඩ කලේ සමසමාජයට. 1960 දී පාර්ලිමේන්තු ඡන්දෙටත් ඉල්ලුවා. 1960 දී මැතිවරණ දෙකක් තිබුණා. 1960 මාර්තු සහ ජූලි වශයෙන්. 1965 දි පාර්ලිමේන්තු ඡන්දයට ඉල්ලුවා. 1965 දී මම සමසමාජයෙන් ඉවත් වුණා. ශ්‍රී. ල. නි. පක්ෂයේ බොහෝ දෙනා වාමාංශික අදහස් තිබුණ අය නිසා ඔවුන් සමග සම්බන්ධතා තිබුණා පමණයි. නමුත් යූ. ඇන්. පී යට පුළුල් ලෙස සහයෝගයක් දුන්නෙ නැහැ. එක සැරයක් විතරක් යූ. ඇන්. පි. රැස්වීමකට ගහන්න ලෑස්තිවෙලා ඉන්න වෙලාවේ එවකට රජය එම රැස්වීමට කාටවත්ම සහභාගිවීමට නොවන පරිදි තහනම් කළා. ඒත් මිනිස්සු ආවා. ඒ මිනිස්සු එන ප්‍රමාණය අඩු කරන්න ඇති කළ වැඩක් වුවත් මිනිස්සු ඒ රැස්වීමට ආවා. ඒ රැස්වීමට විතරයි මගේ ජීවිතේ මම සහභාගිවුණේ. මම හිතන්නේ ඒ රැස්වීම තිබුණේ හයිඞ්පාර්ක් ක්‍රීඩාංගනයේ. පාරවල් වහලා. රැස්වීමට මිනිස්සු එන එකට බාධා පමුණුවා තිබුණා. එවකට පැවති ආණ්ඩුවෙන් කදුළු ගෑස් ගැහැව්වා. ඒක ලොකු ගෝරියක් බවට පත්වුණා. ඒ කාලයේ සිරිමාවෝ මැඩම් රටේ නායිකාව.


“ඩඞ්ලිගෙ බඬේ මසල වඬේ” වැනි ජනප්‍රිය වදන් බිහිවෙන්න ඔබේ සම්බන්ධය හේතු වෙලා තියනවා. ඒ ගැන මොකද දැන් හිතෙන්නෙ ?


ඒක තමයි කාරණාව. අපි රැස්වීමට යනකොට සමහර කට්ටිය කෑගැහුවා. ඒක ගැන කල්පනා කරනකොට ඒක ඒ තරම් ලොකු කාරණාවක් නෙවෙයි. ඒවා සිදු කළේ නායකයො නොවේ. සාමාන්‍ය උදව්කරුවොයි, කළේ. මමයි මගෙ උදව්කරුවොයි ඒ රැස්වීමට ගියා. සාමාන්‍ය උදව්කරුවෝ ( සපෝටර්ස්ලා) “ඩඞ්ලිගේ බඬේ මසල වඬේ” කියලා කෑගහලා ගියා. ඒකෙ ටිකක් ජාතිභේද වගේ තිබුණා. දැන් කල්පනා කරන කොට ඒකේ ලොකු වැරැද්දක් නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ලොකුවට මෝඩ කතා කිව්වට ඔක්කොමලා වැරදි නැහැ.


සිංහල දෙමළ සමගිය බින්දේ කවුද ?


මම සිංහල අයට විරුද්ධව මුකුත් කියලා නැහැ. කියන්නෙත් නැහැ. සිංහල – දෙමළ සමගිය බින්දේ ෆෙඩරල් පක්ෂයයි. ඒ පක්ෂයේ අය දැන් නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. සේනාධිරාජලා වගෙ මිනිස්සු. මෝඩ මිනිස්සු තමයි ජාතිභේද අවුස්සලා කතා කළේ.


බණ්ඩාරනායකගේ භාෂා ප්‍රශ්නය ආවා. එත් සමසමාජය භාෂා ප්‍රශ්නයට විරුද්ධව කටයුතු කළා. දෙමළ භාෂාවෙන් දෙමළ ජනයාට කටයුතු කිරීමට තිබෙන අයිතිය වෙනුවෙන් සමසමාජය එවකට කටයුතු කළා. කොමියුනිස්ට් පක්ෂයත් ඒ විදියට දෙමළ භාෂා අයිතියට එරෙහිව කටයුතු කළා.


මම සිංහල, දෙමළ, මුස්ලිම් හා මැලේ කට්ටිය සමග ගමේ එක්සත්ව කටයුතු කරලා කියන්නේ, මමත් ගුරුවරයෙක් වුනාට මම ඒ ඒ ජාතින්ට අයත් ගුරුවරු යටතේ ඉගෙන ගෙන තිබෙනවා. ඒ නිසා මමත් ඒ ඒ ජාතින්වල ළමයින්ට උගන්නලා තියනවා.


ප්‍රභාකරන්ට ඔබ තම්බි කිව්වා. බාලසිංහම් මුලින්ම ඔබේ මිතුරෙක්. පසුව මේ අය ඔබට එරෙහි වුණා. දෙමළ නායකයන්ට දේශපාලන එදිරිවාදිකම් සමතය කරගෙන දකුණ සමග ගණුදෙනු කරන්න බැරිවුනේ ඇයි ?


අපි සාමාන්‍යයෙන් කාටත් මල්ලි කියලා කතා කරනවා. කවුරුහරි යාළුවෙකුගේ පුතාත් ආවොත් මල්ලි කියලා කතා කරනවා. ඒ වගේ තමයි ප්‍රභාකරන්ට තම්බි කියලා කිව්වේ. තම්බි කියන දෙමළ වචනයේ තේරුම මල්ලි. බාලසිංහම් මගේ යාළුවෙක් නොවේ. මම ඔහු සමග කතා කරනවා. නමුත් විරුද්ධ නැහැ. ඔහු මෝඩයෙක් වගේ ලන්ඩන්වල රැස්වීම් පවත්වලා “මට ආරංචියි ආනන්ද සංගරි මහතා මෙහි ඇවිත් තියෙනවලු. එයාට පොඩි කිස් (kiss) එකක් දෙන්න මම කැමතියි. එයා කිලිනොච්චි යන්න ආශාවක් තියෙනවා. එයාට ඒ පැත්තේ අය ඉගුවානා මස් (තලගොයි) හදලා දෙන්න ඉන්නවා”. කියලා පිස්සු කතා කියලා තියෙනවා.


මම ජීවිත කාලයට මස් කන්නේ නැහැ. ඒ වුනත් මෝඩ මිනිහෙක් බි්‍රතාන්‍ය වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ එයා ගෞරවයෙන් කතා කරන්න දන්නෙ නැහැ. එයා අඥාදායකයකු වගේ තමයි කතා කරන්නෙ. ඒ නිසා තමයි මේ ලෙඬේ ලොකු වුණේ.


ඇතැම් මිනිස්සුන්ගේ කතා හොඳ නැහැ. මම කවදාවත් සිංහලයා කියල නැහැ. සිංහල සහෝදරයා කියලයි කියන්නෙ. තවමත් ඉන්නවා ඒ වගේ දෙමළ මෝඩ කට්ටිය. අපිට සිංහල කට්ටිය විරුද්ධත්වය පානවා කියලා කියනවා. ඒවා බොරු. සිංහල මිනිස්සු වගේ හොඳ මිනිස්සු මම වෙන කොහෙවත් දැකලා නැහැ. මම මේ ගැන ඒ කාලෙත් කියලා තියනවා. අපේ මිනිස්සුන්ගේ මෝඩ කතා නිසා සුළු පිරිසක් ඔවුන්ට ප්‍රතිචාර දක්වනවා. නමුත් දෙමළ ජනතාව බොහොම ආදරෙයි සිංහල ජනතාවට. අපි පොඩි කාලේ සිංහල මිනිස්සු හුඟක් ආදරෙයි දෙමළ මිනිස්සුන්ට. සිංහල – දෙමළ ජාතිභේද මුකුත් නැතිව අපි හිටියා. සිංහල භාෂා ප්‍රශ්නය එනකම් අපි හොඳින් හිටියා. සිංහල – දෙමළ මිනිස්සු සහෝදරයො වගෙ හිටියා. දෙපැත්තෙ අය කසාද බැඳලත් තියෙනවා.


ඉස්සර බොහෝ සිංහල ගම්වල දෙමළ අයගේ පොඩියට හරි කඩ තිබුණා. දැන් ඒවා අඩු වුනාට ඉස්සර එහෙම නෙවෙයි. කොයි සිංහල ගමකට හෝ ගියහොත් දෙමළ කෙනෙකුගේ සුරුට්ටු කඩයක් හරි ඒ දවස් වල තිබුණා.


LTTE ය පරාජය වුනාට පසු දෙමළ ජනයා තවත් බෙදුනා නේද ?


මම තමයි LTTE යට විරුද්ධව වැඩිය කතා කරපු කෙනා. මම මිනීමරනවට කැමති නැහැ. මම ගාන්ධිවාදියෙක්. ගාන්ධිගේ සපෝටර් කෙනෙක්. මස් කන්නෙ නැහැ. ඒ වගේ ගාන්ධි ප්‍රතිපත්ති ගොඩක් තියනවා මට. ජාතිභේද ඇවිස්සීම තමයි විරුද්ධ. ඒක තමයි LTTE කළේ. ඒකට උදව් කරන මිනිස්සු තවම ඉන්නවා.


2004 දී එක දෙමල පක්ෂයයි ඡන්දෙ ඉල්ලන්න ඕනෙ කියලා අපේ පක්ෂය කටයුතු කළා. LTTE කට්ටිය සම්පූර්ණ සහයෝගය පළ කළා, ඒ ගැන. සේනාධිරාජා කියලා තියෙනවා ඒගොල්ලො එපා, ඒ ගොල්ලො LTTE යට කැමති නැහැ කියලා. කවුද ඒක නැති කළේ. ඒ තමයි සම්බන්ධන්.


2008 වලදි මේ LTTE නාමයෝජනා කියලා සම්බන්ධන්ගේ ඔභ් අය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ. ඊට දවස් කිහිපයකට පසු සම්බන්ධන් සහ සේනාධිරාජා වන්නියට ගියා. එහිදි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධන් ලිව්වා. තමිල් චෙල්වම් කියනවා. ඔහු ලියනවා. සම්බන්ධන් නිතීඥයෙක්. ඔහුට තමිල් චෙල්වම් ලියලා දිය යුතු නැහැනෙ. එම ප්‍රකාශය සකස් කරලා LTTE ය තමයි දෙමළ ජනතාවගේ ජාතික නායකයෝ කියලා ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. එලෙස සදහන් කරමින් TNA ලේකම්ලා හතර දෙනෙක් අත්සන් කරලා මුද්‍රණය කොට මිනිසුන් අතර බෙදා දී තිබුණා. එහෙම කළාම මට මැතිවරණයට ඉල්ලන්න බැරි වුණා. එවිට අපිට වෙනත් විකල්පයක් නොතිබුණ නිසා අපි ස්වාධිනව ඉල්ලුවා.


LTTE යේ තරුණයො හෝ වාහන අංක නැති මෝටර් සයිකල් 100 කින් විතර ගොස් ඡනදය දාන්න එපා කියලා මිනිස්සුන්ට කිව්වා. එවිට TNA අයගෙන් 20 දෙනෙකු දිනුවා. අපිව ඡන්දය දාන්න අවස්ථාවක් නැහැ. රැස්වීම් කරන්න ඉඩ දුන්නෙත් නැහැ. ගෙවල් වලට යන්නත් දුන්නෙ නැහැ.


එදා සිංහල නායකයන්ට කියන්න තිබුනා ඔවුන්ට ඔයාලා ඔක්කෝම LTTE කියලා. නමුත් කවුරුවත් එහෙම කිව්වෙ නැහැ. ඔවුන් අවුරුදු 6 ක් හිටියා. ඔවුන්ට 96% ක් ඡන්දය දාලා තිබෙනවා.


අපේ පක්ෂ අලුත් මැතිවරණයක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලුවා. නමුත් දුන්නේ නැහැ. මැතිවරණ අවලංගු කරන්න නීති නැහැ කියලා අපේ ඉල්ලීමට තැනක් නැතුව ගියා.


2004.04.02 දින රවිරාජ්, නීලන් ඇතුළු 500 දෙනෙකු මරලා තියෙනවා. සම්බන්ධන් ඒ ගැන එක අකුරක් කියලා නැහැ. ඔවුන් අවුරුදු 6ක් පාර්ලිමේන්තුවෙ ඉදලත් ඒ ගැන එක වචනයක් කතා කලේ නැහැ.


2005 රාජපක්ෂ, රනිල් ඡන්දය ඉල්ලා සිටියදි ඡන්දය දාන්න එපා ප්‍රතික්ෂේප කරන්න කියලා LTTE කියපු නිසා TNA කට්ටිය ගම්වලට ගිහිල්ලා කාටවත් ඡන්දය දෙන්න එපා කියලා තියෙනවා.


ඒ වෙලාවේ සිංහල මිනිස්සු ෆෙඩරල් සංකල්පයට 49% ක් ඡන්දය දීලා තිබෙනවා. රාජපක්ෂ ගත්තේ 50.3% දශම තුන අඩු වුනානම් රාජපක්ෂ පරාදයි. 2010 දි ඡන්දෙදි සරත් ෆොන්සේකා LTTE සටන් කරන්න දෙන්නෙ නැහැ කියල කිව්වා. ඒ වසරේ අප්‍රියෙල් මාසයෙ ඔහු කිව්වා යුද්ධය ඉවරයි සම්පූර්ණයෙන් LTTE නැති කරනවා කියලා. ඔහු යුද්ධය ඉවර වුනාට පසුව කිව්වා යුද්ධ හමුදා සාමාජිකත්වය දෙගුණ කරනවා කියලා. ලක්ෂ 2 ක් තියෙනවනම් ලක්ෂ 4 ක් කරනවා කියල කිව්වා. එහෙම කියපු සරත් ෆොන්සේකාට සම්බන්ධන් උදව් කළා.


අපේ දැන් ඉන්න නායකයො හරි කපටියි. සම්බන්ධන් බොරුකාරයෙක්. සුමන්දිරන් ඩාන්සර් කෙනෙක්.


අමිර්තලිංගම් හා චෙල්වනායගම් ගැන ඔබට තියෙන තක්සේරුව කුමක්ද ?


චෙල්වනායගම් ගැන මොකුත් කියන්න බැහැ. සිංහල මන්ත්‍රීවරු ඔහු අසනීපෙන් සිටියහොත් මොකද අසනිපෙන්ද මොකක්ද ඕනෙ උදව්ව කියලා ඔහුගෙන් අසා තිබෙනවා. ඔහු සිංහල මන්ත්‍රීවරු සමග මිත්‍රශිලීව කටයුතු කළා. චෙල්වනාගම් අහිංසකයි.


අමිර්තලිංගම් නරක මිනිහා වගේ මිනිස්සු හඳුන්වලා දීලා තිබුණට ඔහු නරක කෙනෙක් නෙවෙයි. ඔහු කියලා තිබෙනවා අපි වෙනම රාජ්‍යයක් ඉල්ලනවා. ඒක නිකම් ආරවුලක් නිරවුල් කරගන්න යොදාගත් ක්‍රමයක්. ඒ වගේ දෙන්න බැරිනම් මොකක්ද දෙන්නේ කියල අහන්න වගේ අදහසක් ඔහු ඉදිරිපත් කළේ. 50% කට වඩා දමිල මිනිස්සු දකුණු පළාත්වල ජීවත් වෙන්නෙ.


ඊයේ පෙරේදා TNA කට්ටියට සම්බන්ධ අයත් එකතු වෙලා ඉල්ලීම් 13 ක් දුන්නා.


ජාතික ප්‍රශ්නය විසදාගත හැකිව තිබුනු සිංහල නායකයා කවුද ?


මට දවසක් ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ට කිව්වා. එවකට ඉන්දියාවේ ජනාධිපති සික් කෙනෙක් නමුත් එවැනි දෙයක් අප රටේ කරන්න පුළුවන්ද ? සිංහල දෙමළ අය ඉන්දියානු නායකයොත් කිසිවෙක් ලංකාව කඩන්න ඉඩදෙන්නෙ නැහැ. ඒ ගැන අපි හිතලා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න කවුරු හරි සිංහල නායකයකුට කිව හැකියි කියා මම කියා සිටිනවිට මන්ත්‍රීතුමාගේ අදහස පිළිගන්නා බව හාමුදුරුවෝ කියා සිටියා. ඉන්පසු මේ අදහස මට ඇමතිවරු 10 දෙනෙකු පමණ සමඟ කියා තිබෙනවා. ඒ අනුව ඉන්දියන් ක්‍රමයේ විසඳුමක් අපි රටේ ජාතික ප්‍රශ්නයට ගෙනෙන්න ඕනි කියලා මම කිව්වා. ඉන්දියාවේ දමිළ මිනිස්සු වෙනම රාජ්‍යයක් ඉල්ලුවාම ශ්‍රී නේරු තමයි ඒක නැති කළේ.


මිලියන 60 ක් ඉන්දියාවේ දෙමළ ජනතාව ඉන්නවා. සිංහල නායකයෙක් කට ඇරලා කිව්වොත් ලංකාවේ ඉන්න දෙමළ ජනයාට ඉන්දියාවේ වගේ දේශපාලන විසඳුම් දෙනවා කිව්වොත් දෙමළ කිසි කෙනෙක් ඊට විරුද්ධව කට අරින්නෙ නැහැ.


ඉන්දියාවේ මිලියන 60 ක් සතුටින් ඉන්නවා. ඒ වගේ ලංකාවේ දෙමළ අයටත් දේශපාලන විසඳුමක් ගෙනාවොත් හොඳයි.


මගේ ප්‍රශ්නය වුනේ ජාතික ප්‍රශ්නය විසදාගත හැකිව තිබුණු සිංහල නායකයා කවුද ?


දැනට ඉන්න රාජපක්ෂ සහෝදරවරුන්ට තමයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්නෙ. මේ දෙන්නා ඉන්දියානු ක්‍රමයේ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළහොත් ඔවුන් දෙදෙනාට ලංකාවේ දෙමළ ජාතික ප්‍රශ්නය විසඳන්න පුළුවන්.

මොණරවිල කැප්පෙටිපොලත් ඩීල් කාරයෙක්

තමන්ට සිරගත කර සිටින කැප්පෙටිපොළ, අවස්ථා කිහිපයකදීම හමුවුණු බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් කියනවා. ඒ අවස්ථාවලදී තමන් වැරැදි දෙකක් කළ බව කැප්පෙටිපොළ මාර්ෂල්ට කියනවා.
ක්‍රිසන්ති විතාරණ

මාධ්‍යවේදී මලික් චමින්ද විසින් රචිත ,‘18 පරපුර 1818 වෙල්ලස්ස නිදහස් සටනේ වර්තමානය සොයා ගිය ගමන’, ඌවේ ඉතිහාසය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් රචනා වූ ගමන් විත්ති කෘතියකි. මේ එම කෘතිය පිළිබඳ ලේඛකයා සමඟ කළ කතාබහකි.



 ‘18 පරපුර, ඉතිහාසය පිළිබඳ වෙනස් ලියැවීමක්. මොකක්ද මේ වෙනස?

ඔබ කියන විදියට මෙය ඉතිහාස පොතක්. ඒත් වෙනස්. ඉතිහාසය ගැන මට උනන්දුවක් තියෙනවා. පොත් පත් කියවලා මූලාශ්‍රවලින් ලබා ගත් දැනුමක් තිබෙන බවත් ඇත්ත. ඒත් එය ඉතිහාස සම්ප්‍රදාය ගැන ගැඹුරට හදාරලා ලබාගත් දැනුමක් නෙමෙයි. ඒ නිසා, ඉතිහාසඥයකුට තරම් ඉතිහාසය ගැන ලියන්න මට සාධාරණ අයිතියක් නැහැ කියලයි මම හිතන්නේ. උඩරට අරගලය පිළිබඳ පසුගිය කාලයේ ලියැවුණු පොත් පත් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙනවා. ඒ අතරින්, ආචාර්ය පෝල් ඊ. පීරිස්, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද වැනි විද්වතුන් ලියූ පොත් ඉතාමත්ම වැදගත්. ඔවුන් විධිමත්ව ඉතිහාසය පිළිබඳ හදාරලා, ඉතිහාසය ගැන මනා දැනුමක් ලැබූ පුද්ගලයෝ. මම මාධ්‍යවේදියෙක්. මම කරන්නේ සංචාරයක්. ඒ තුළ මට යම් යම් ස්ථාන මුණ ගැහෙනවා. ඒ ස්ථානවල තිබූ ඉතිහාස කතන්දර එකතු කිරීමක් තමයි මම කරන්නේ. මෙහිදී පොත් පත්වල ලිඛිත සාධකවලට අමතරව, ගම්වල ජනතාවගේ ජනශ්‍රැති හා ජනවහර මම ප්‍රයෝජනයට ගන්නවා. සංචාරකයෙක් විදියට දැක්ක දේ, එදා තිබුණු දේ අද කොහොමද තියෙන්නේ? කියන එක සංසන්දනය කිරීම තමයි මම කරන්නේ.

සංචාරකයෙක් ලෙස ඔබ ලබා ගන්නා මූලාශ්‍ර, පොතක අන්තර්ගතය වන තරමට විශ්වාසය තහවුරු කර ගත්තේ කොහොමද?

1818 අරගලයට පසුගිය වසර වෙද්දි වසර 200 ක් පිරුණා. ඒ වන විට මේ රටේ නිර්මාණකරුවන් සහ විවිධ පුද්ගලයන් ගේ පවා මේ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති වුණා. ඌව වෙල්ලස්ස කියන්නේ ලංකාවේ දරිද්‍රතාවෙන් වැඩි වශයෙන් ම පීඩාවට පත් වුණු කලාපයක්. ‍මුලින් කියපු උනන්දුවත් සමඟ සිදු වන අනෙක් දේ, රටේ මිනිස්සු ඔවුන් සොයාගෙන එනවා කියලා මේ ප්‍රදේශයේ මිනිස්සුන්ටත් දැනෙනවා. මේ නිසා මම ඔවුන් සොයාගෙන යනකොට, අරගලකරුවන්ට නැති නෑදෑයෝ පිරිසක් ඇති වෙලා. සමහර වීරයන්ගේ පරම්පරාවලට නෑදෑකම් හදා ගත් පිරිසක් ඉන්නවා. ඔවුන් ගේ අයිතිය කියන්න තවත් පිරිසක් ඉන්නවා. මම ඔවුන් හමුවෙලා මෙහෙම වැඩක් කරනවා කිව්වහම, මුලදී ඒ ස්ථාන බලා ගන්න ඉන්න අය කියලා කියන අය, ටික වෙලාවකින් නෑදෑකමක් හඟවනවා. ඒත්, අතරමඟදී , මම වගේ අය එන බව දැන ගත්තහම, ඒ මිනිස්සු මේ විදියට සූදානම් වෙලා ඉන්න බව දැන ගන්න ලැබෙනවා.

ඔබ අහනවා කොහොමද එහෙනම් විශ්වාසය තහවුරු කර ගන්නේ කියලා. අපි දන්නවා 18 අරගලය අවස්ථාවේ ඉංග්‍රීසින් මේ පළාත සම්පූර්ණයෙන් විනාශ කළා. මිනිසුන් ගම් පිටින් ගිනි තියලා, කුඩා දරුවෝ පවා මරා දැම්මා. එතැනින් බේරිලා පානම වැනි ප්‍රදේශවලට ගිහින් ආපසු ආව පිරිස් ඉන්නවා කියලා පිළි ගැනීමක් තියෙනවා. මෙතැන පරම්පරා හයක විතර කාලයකුත් තියෙනවානේ. මේ සියල්ල සත්‍යම සොයා ගැනීමේදී ගැටලු ඇති කරනවා.

අනෙක් කරුණ, මේ සටන රහසිගතව සංවිධානය වුණ එකක්. වෙන්නෙ මොනවද කියලා දැනගෙන හිටියෙත් කිහිපදෙනෙක් විතරයි. ඒ පිරිස් මිය ගියාට පස්සේ, ඒ රහස් සියල්ල විනාශ වෙනවා. ඒ නිසා, මෙතැනදි හරියටම වුණේ ‍මේකයි කියන්න අමාරුයි. මේ වගේ දේ නිවැරැදි කර ගන්න වෙන්නේ, මීට පෙර මේ සම්බන්ධයෙන් ගවේෂණය කළ පිරිස් මඟිනුයි. ඒ සමඟ ම, අපේ රටේ පැරැණි ගම්වල ජනමත නායකත්වය දැරූ පිරිස් ඉන්නවා. පන්සලට, පාසලට සම්බන්ධ පිරිස් ඔස්සේ, තොරතුරු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වෙනවා.

මෙහිදී, අමාරුවෙන් කැළෑ වැදිලා බේරුණු පරම්පරාවක් දෙකක් ඉන්න බව නම් තහවුරු වෙනවා. හිටිහාමිගේ පරම්පරාව ඉන් එකක්. එක් දහස් නවසිය හැට ගණන්වල "රසවාහිනී" සඟරාවක, මේ පරම්පරාව සොයා ගත් විස්තර වගයක් තිබෙනවා . මේ වගේ සාක්ෂිවලින් තමයි මම විශ්වාසය තහවුරු කරන්නේ. අනෙක ජනශ්‍රැති. ඒවා බොරු කියලා බැහැර කරන්න බැහැනේ. රහසිගතව සිදුවුණු දේ, ජනශ්‍රැති මඟින් තමයි ගොඩ නගාගන්න වෙන්නේ. හැබැයි 18 අරගලයේදී "ඩීල්" දාපු රදල පරම්පරා ටික නම් ඉතිරි වුණා.

ඉතිහාසය ගැන කතා කරද්දි නිතර ඇහෙන චරිතවලින් ඔබ්බට ගිහින්, මේ පොත තවත් චරිත ගැන කතා කරන්න උත්සාහ කරනවා නේද?

අපි හැමදාමත් ඉතිහාසය අහන්නෙ දකින්නේ ප්‍රභූ දෘෂ්ටියකින්.18 අරගලයේ විතරක් නෙමෙයි. දුටුගැමුණු රජතුමා, පරාක්‍රමබාහු රජතුමා වැනි මහා චරිත කළ දේ කතා කළාට, සැබෑ වීරයෝ මේ අතර හැංගිලා. බලය තිබුණු තැන, රදළයෝ ගැන තමයි හැමදාමත් කතා කළේ. සමහර විට අද තියෙන තත්ත්වයමත් එයම වෙන්න ඇති. බලපුළුවන් කාරයන් සතුටු කරන්න, ඉතිහාසය ලියූ ලේඛකයෝ උත්සාහ කරන්න ඇති. වෙල්ලස්ස අරගලය ගත්තහම, කැප්පෙටිපොළගේ නායකත්වය ගැන කතා කෙරෙනවා. ඒත්, සටන් ආරම්භ වෙනකොට කැප්පෙටිපොළ හිටියේ ඉංග්‍රීසීන් එක්කයි. සමහරු කියනවා අරගලකරුවන් සමඟ හොර රහසේ ගනුදෙනු කරමින් හිටියා කියලා. බොහෝ වෙලාවට එය ඔප්පු වන තැනුත් හමු වෙනවා. හැබැයි අරගලය ඉස්සෙල්ලම ආරම්භ වන්නේ, කිවුලේගෙදර මොහොට්ටාල, බුටාවේ රටේරාල වැනි අය මල්වතු විහාරයේ සිටි හාමුදුරු කෙනෙක් සිවුරු ඇරවලා, රාජධුර අපේක්ෂකයා ලෙස පත් කරලා, නායකත්වය දීම මඟිනුයි. මේ අතර හිටියේ සාමාන්‍ය ජනතාව. ඊ ළඟට බින්තැන්නේ වැදි ජනතාව. පසු කාලීනව මෙය ජයග්‍රහණයක් විදියට යද්දී තමයි, අර පිරිස් මතුවෙන්නේ.

මේ ප්‍රභූ පිරිස් මෙතන්ට රිංගලා, ජන සටන අවුල් කළා. මිනිස්සුන්ගේ අවංක කැප කිරීම ඔවුන් විනාශ කළා. ප්‍රභූවරු තමයි ඉතිහාසය පුරාම අපට වැඩි වශයෙන් විනාශ කිරීම් කරලා තිබෙන්නේ. හැබැයි ඔවුන් ගැන වැඩියෙන් කතා කරනවා. ජනතාවගේ කැප කිරීම් ගැන කතා කරන්නේ නැහැ. මහා වෙහෙර විහාර හැදුවා වුණත්, ඒ පිටුපස සාමාන්‍ය මිනිසුන් ගේ කැප කිරීම් කතා කළේ නැහැ. තවමත් අනුරාධපුරයට ගියාම, ප්‍රභූන් ගොඩනැගූ මාලිගාවල නටබුන් පවා දකින්න ලැබෙනවා. ඒත්, ජන ජීවිත අදටත් පැල්පතේ. එතැන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මට, හැමදාම ප්‍රභූන් ගැනම කතා කරන ඉතිහාසය වෙනුවට, ජනතාව කළ දේ කතා කරන්න අවශ්‍ය වුණා. ඒකට හේතුව, සැබෑ වීරයෝ හැමදාම මැරෙන්න දෙන්න බැරි නිසයි.

ඔබ කියන්නේ, ජාතික වීරයෝ ලෙස නම් කළ ඔවුන් "ඩීල් කාරයෝ" කියල ද?

අරගලයට පස්සේ එක්වුණු ප්‍රභූවරු ගැන ගැටලු රැසක් තිබෙනවා. බලන්න කැප්පෙටිපොළ. තමන්ට සිරගත කර සිටින කැප්පෙටිපොළ, අවස්ථා කිහිපයකදීම හමුවුණු බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් කියනවා. ඒ අවස්ථාවලදී තමන් වැරැදි දෙකක් කළ බව කැප්පෙටිපොළ මාර්ෂල්ට කියනවා. එකක් තමයි දොරේසාමිගේ පළමු අදිකාරම් ධුරය ගැනීම. දෙවැන්න ආයුධ භාරදී යටත් වන්නැයි කී අවස්ථාවේ, ආයුධ භාර නොදීම. මේ සියල්ල පෙර කර්මයට සිදු වන බවත් කියනවා. මේ සියල්ලටම වඩා වැදගත් දේ තමයි, මාර්ෂල් හරහා ඔහු ඩොයිලි හා බ්‍රවුන්රිග්ට ලිපි යැවීම. ඔහු, තමන් නොමරා රටින් පිටුවහල් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. කැප්පෙටිපොළ ගැනත්, අනෙක් රදළයෝ ගැනත්, මේ වගේ අවස්ථා ගණනාවක් තියෙනවා.

මඩුගල්ලේ, පිළිමතලව්වේ දෙන්නත් එහෙමයි. මේ දෙන්නා එකතුවෙලා තමයි ජයග්‍රාහීව ගිය සටන ඉදිරියට යද්දි , දොරේසාමි සුර්ය වංශයේ නෙමෙයි කියලා සටන අවුල් කරන්නේ. ඇහැලේපොළට, කපුවත්තේට සහ ඔහුට බේරෙන්න දෙනවා නම් කැප්පෙටිපොළ හා දොරේසාමි පාවා දෙන්න පුළුවන් කියලා මෙතැනදි පිළිමතලව්වේ බ්‍රවුන්රිග්ට ලිපි ලියනවා.

මේ වගේ ඩීල් හැම තැනම තිබිලා තියෙනවා. ඒක තමයි අදටත් පවතින්නේ. අදත් උඩින් තියෙන්නේ වෙනම කතාවක්. ඒත්, ඇත්ත සම්පූර්ණයෙන් වෙනස්. 18 අරගලයේ විතරක් නෙමෙයි, අපේ ඉතිහාසය පුරාවටම ඩීල් තියෙනවා. මේ ප්‍රභූවරුන් හැමදාම කළේ ඩීල් මත යැපීමයි. අහිංසක ජනතාව ඒවාට බිලි වුණා. 18 අරගලයේදී විතරක් නෙමෙයි, අදටත් ඩීල් නිසා තමයි රට අවුල් වෙලා තියෙන්නේ.

ඔබ මේ පොතෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ, ඉතිහාසය ගවේෂණය කිරීමද? එහෙමත් නැත්නම් මේ පොත හරහා ඉතිහාසය සමාජයට සමීප කරවීමට ද?

මුල්ම කාරණය තමයි, නිදහස ලබා වසර හැත්තෑ ගණනකට පස්සෙ තමයි, අපට මොවුන් වීරයෝ විදිහට පිළිගන්න පුළුවන් වුණේ. එතකම් , ද්‍රෝහියෝ කියලා නම් කරලා තිබුණු මේ පිරිස, ඉන් ගලවා ගන්න කාටවත් වුවමනාවක් තිබුණේ නැහැ.මගේ අරමුණ වුණේ, මුලින් කියූ හැංගුණු පරම්පරා ටික ඉස්සරහට ගන්නයි.

මෑතක තිබූ 1818 අරගලය සම්බන්ධ උත්සවවල පවා අපි දැක්කේ, අර ප්‍රභූ පුද්ගලයන් ගැන කතා කරනවා විතරයි. ඔවුන්ට උපහාර උත්සව පැවැත්වෙනවා. මාධ්‍යවලින් කතා කරනවා. කොටින්ම කියනවා නම්, ඩොයිලි, බ්‍රවුන්රිග් ගැනත් කතා කරනවා. ඒත්, අර මිනිස්සු ගැන කතා කරන්න කෙනෙක් නැහැ.

මේ වසර 200 ක් වෙද්දි ඒ කතා නොවුණු පිරිස ගැන කතා කරන්නයි මට අවශ්‍ය වුණේ. දැනට මම ඒක කළත්, ඉදිරියට මීට වැඩිය ලොකු දෙයක් කළ යුතුයි කියන වුවමනාව මට තියෙනවා.

ඒ කියන්නෙ මීට වඩා විස්තරාත්මක පොතක්. මෙහි තියෙන්නේ ඉතා පොඩි ප්‍රමාණයක්. මේ කාර්ය කරගෙන යන්න, බොහෝ කැප කිරීම් කළ යුතුයි. දැනට තියෙන දැනුමෙ හැටියට, තොරතුරු ගවේෂණය සඳහා රටවල් තුන හතරකටවත් යන්න වෙනවා . ඒකට හේතුව, සමහරු මැරුණේ වෙන රටවල. සංචාරකයෙක් විදියට ලිව්වත් ඉන්දියාව, මුරුසිය වගේ රටවලට යන්න වෙනවා.

මේ සොයා යන ඉතිහාසය, අනාගතයට අවශ්‍යද?

අපේ ඉතිහාසයේ මුල් කොහෙද කියන දේ දැන ගැනීම තරුණ හෝ ළමා පරම්පරාවේ පෞර්ෂය ගොඩ නැගීමට ඉවහල් වෙනවා. අවාසනාවකට 1972දී ඉතිහාසය සහ සාහිත්‍ය විෂයන් පාසලෙන් කප්පාදුවකට ලක් වුණා. දැන් යම් පමණක උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ප්‍රශ්නය වෙන්නේ, අපි ඉතිහාසය කියා බොහෝ විට අහන්නේ යුද්ධ, ජාති බේද, ගැටුම් වැනි සෘණාත්මක සිදුවීම්. ඒ මානසිකත්වයෙන් බලලා, ඉතිහාසයට ජාතිවාදී ලේබලයක් අලවනවා. ඉතිහාසයෙන් ගත යුතු දේ ගත්තේ නැහැ. වටිනා මානව ධර්මතා ගත්තේ නැහැ. මේ දේ තමයි අපි ඉතිහාසය කියා වරද්දා ගත් දේ. ඉතිහාසය මඟිනුයි, අපේ අනන්‍යතාව හැදෙන්නේ.

උපුටා ගැනීම: දිනමිණ 

ඇමෙරිකා රජය දෙසතියකදී මගේ පුරවැසිකම අහෝසි කරනවා - ගෝඨා


ලසන්තගෙ දුවට පුළුවන් අපේ ගෙදර ඇවිත් තාත්තාව මැරුවේ කව්ද කියලා මගෙන් අහගන්න

ලිබරල්වාදයට යන්න පුළුවන් උපරිම දුර දැන් ඉවරයි

ඔබ පසුගියදා එළිය සංවිධානයේ ජන හමුවේදී ප්‍රකාශ කළා ජනාධිපතිවරණයකට ජනතාව සූදානම් නම් මමත් සූදානම් කියලා. ඒක ඉතාම තීරණාත්මක කතාවක් බව කාටත් වැටහෙනවා. ඔබ ජනාධිපතිවරණයකට සූදානම් වෙන්න නම් ඇමෙරිකානු පුරවැසි බවෙන් ඉවත් වෙන්න ඕනෑ?

ඔව්. පැහැදිලිවම ඒකට මම සූදානම්. කිසිම ප්‍රශ්නයක් නෑ. මට ඇමෙරිකානු පුරවැසි බව එපා නම් ඒ බව ඇමෙරිකානු රජයට දැනුම් දුන්නම සති දෙකක් ඇතුළත ඇමෙරිකානු රජය පුරවැසි බව අහෝසි කරනවා. කෙටියෙන් කිව්වොත් ඒ ප්‍රශ්නය දැන් අදාළ නෑ. (සිනාසෙයි)

ගෝඨාබය රාජපක්ෂ
බොහෝ දෙනෙක් හිතුවේ ඔබට ඇමෙරිකානු පුරවැසි බවෙන් ඉවත් වෙන්න ඉඩක් නොලැබෙයි කියලා?

ඔව්. බෙහෝම දෙනෙක් එහෙම හිතනවා. එහෙම හිතන්නත් හේතුවක් තියෙනවා. ආණ්ඩුවේ ක්‍රියා කලාපය හින්දනෙ එහෙම හිතන්නේ.

මොකක්ද ආණ්ඩුවේ ක්‍රියා කලාපය?

යහපාලන ආණ්ඩුවක් පිහිටු වූයේ එක අරමුණකට. ඒ තමයි රාජපක්ෂ රෙජීම් චේන්ජ්. රාජපක්ෂ රෙජීම් චේන්ජ් කරලා බලය ගත්ත ආණ්ඩුව, බලය ගත්තට පස්සෙත් කළේ එකම වැඩයි. ඒ තමයි රාජපක්ෂවරු අතුගාන එක. ඒ හැර මේ ආණ්ඩුව කළේ රට හදන එක, රට ආරක්ෂා කරන එක නෙවෙයි. පාර්ලිමේන්තුවට මොන පනතක් ගෙනාවත්, ඒකෙ තිබුණෙ රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීම. විශේෂ පොලිස්, විශේෂ අධිකරණ පිහිටෙව්වෙත් ඒකට. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය දිහා බලන්න. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රටට ලැබුණ ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද?

19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනාවේ මහින්ද රාජපක්ෂට ආයෙත් ජනාධිපති වෙන්න තියෙන ඉඩ අහුරන්න. ඊළඟට ද්විත්ව පුරවැසි බව තියෙන අයට පාර්ලිමේන්තුවට තේරී පත්වීම නතර කරන්න නීති ගෙනාවා. ඒ නීතිය ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ද? නෑ. අපි දේශපාලනයට එන එක නතර කරන එකයි අරමුණ වුණේ. ආණ්ඩුව එහෙම වැඩ කරගෙන යනකොට ජනතාවට හිතුණා මගේ ද්විත්ව පුරවැසි බවත් අහෝසි කරන එක වළක්වන්න මේ ආණ්ඩුව වැඩ කරයි කියලා.

රාජපක්ෂ ආණ්ඩුව පෙරළුණේ ජනවාරි අටවැනිදාවක. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණෙත් ජනවාරි අටවැනිදාවක. මේ ජනවාරි අට වෙනිදා ලසන්ත ඝාතනය වූ දවසේ ඔහුගේ දියණිය, පුවත්පතකට ලිපියක් ලියලා තිබුණා. ඒ ලිපියේ වැඩිපුර අවධාරණය කරල තිබුණෙ ලසන්ත ඔබට එරෙහිව ලිවීමත් සමග ඔහු ඝාතනය වුණ බව. ඇත්තටම ලසන්තගේ ඝාතනය ගැන ඔබ මොකද කියන්නේ?

මම ඒ ගැන මොකවත් කියන්න ඕනෑ නෑ. ඒ ගැන මුලින්ම පාර්ලිමේන්තුවේදී කිව්වේ රනිල් වික්‍රමසිංහ. එදා එතුමා පැහැදිලිව කිව්වා ලසන්ත ඝාතනයට එදා හිටපු හමුදාපතිතුමා සම්බන්ධයි කියලා. ඊළඟට අද ලසන්ත වෙනුවෙන් පෙනී සිටින මංගල වාගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක, ලසන්ත ජීවතුන් අතර ඉන්න කාලේ කිව්වේ මොනවද? ලසන්ත කියන්නේ තක්කඩියෙක් කියලා චන්ද්‍රිකා කීවා. 1995 දී ලසන්ත චැනල් 4 මාධ්‍ය ආයතනය ගැන සන්ඩේ ලීඩර් එකේ ලිව්වා. ඒ චන්ද්‍රිකාගේ කාලේ. ලසන්තට මොකද වුණේ. එයයි එයාගේ පළමු විවාහෙ නෝනයි ගෙදර යනකොට මගදී පහර දුන්නා. මංගලයි, චන්ද්‍රිකායි තමන්ව මරන්න එනවයි කියලා ලසන්ත පත්තරේට වාගේම ජාත්‍යන්තරයටත් කීවා. එතැනින් නතර වුණේ නෑ. තාවක්කාල් ගනුදෙනුව හෙළි කළහම 1998 දී ලසන්තගේ ගෙදරට වෙඩි තිබ්බා. 1999 ටවුන්හෝල් බෝම්බ පිපිරවීම පිටුපස ‘‘ලසන්ත ඉන්නවා, චන්ද්‍රිකා ආණ්ඩුව ලසන්තව මරන්න හොයනවා’’ කීවාම ලසන්ත රටින් පැනලා යන්නත් හැදුවා. ඊළඟට මංගල සමරවීර. මංගලගේ ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවකට එරෙහිව ලසන්තට නඩුවක් දැම්මා. ලසන්තට එරෙහිව එල්ල වුණ ප්‍රහාරවලින් මේ කාටත් එයාව මරාගන්න වුවමනා වුණ බව පේන්නේ නැද්ද?

අැත්තටම ලසන්තව මැරුවේ කව්ද කියන එක මේ හැමෝම දන්නවා. ලසන්ත ගැන සැමරුම් ලිපිය ලිව්වා කියන ලසන්තගේ දුවත් ඒ බව දන්නවා. ලලිතුත් ඒ බව දන්නවා. ඒත් කාටවත් ඒක හොයන්න, රටට හෙළි කරන්න, වරදකාරයට දඬුවම් දෙන්න ඕනෑකමක් නෑ. ලසන්තගේ ඝාතනයෙන් වාසියක් ගන්න විතරයි මේ අයට ඕනෑ. ලසන්තගේ පළමු බිරිඳ, දෙවන බිරිඳ, දුව, සහෝදරයා, පසුව පත් වුණ කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් සේරම ඉන්නේ විදේශවල. ලසන්තගේ පත්තරේ ලියපු පුවත්පත් කලාවේදියොත් දැන් ජීවත් වෙන්නේ පිටරටවල. ලසන්තගේ මිනිය විතරයි මෙහේ තියෙන්නේ. මේ කවුරුත් දන්නවා ඝාතකයා කව්ද කියලා. නමුත් පරීක්ෂණයක් හරියට කරන්න කාටවත් වුවමනාවක් නෑ. පරීක්ෂණය කරලා වැරදි කාරයට දඬුවම් දෙන්න ඒ ගොල්ලන්ගේ ආණ්ඩුව යටතේ හොඳ අවස්ථාවක් පෑදුනා. ඒ වුණාට මේගොල්ලෝ බොරු කරන්නේ. ලසන්තගේ දුවට ඕනේ නම් ඝාතකයන් කව්ද කියලා දැනගන්න ලංකාවට ඇවිත් මාව හමුවෙන්න කියන්න. මම කියන්නම් වුණ දේ. හැබැයි උසාවිය ඉදිරියේ ඔප්පු කරන්න මට සාක්කි නෑ. අදටත් ලසන්ත ඝාතනයේ පරීක්ෂණ නැවතිලා තියෙන්නේ අපි කරපු පරීක්ෂණය නැවතුනු තැන. හේතුව ඒක වෙනම පොලිස් හා අධිකරණ පටිපාටියක්.

ජනාධිපතිවරණයෙන් ජයගන්න ඔබට තියෙන එකම බාධාව හැටියට විශ්ලේෂකයෝ සලකන්නේ උතුරේ ඡන්ද. ජනාධිපතිවරණයකදී ඔබට දිනන්න නම් උතුරු නැගෙනහිර සුළු ජාතික ඡන්ද ලැබෙන්න ඕනෑ. ඔබ හිතනවද එහෙම උතුරේ නැගෙනහිර ඡන්ද ලැබෙයි කියලා?

ඔය ප්‍රකාශයම වැරදියි. අපි 2015 දී පරාද වුණේ උතුරු නැගෙනහිර ඡන්ද නැති නිසා නොවෙයි. ගම්පහ, කොළඹ, කුරුණෑගල කියන දිස්ත්‍රික්කවල අපි බලාපොරොත්තු වුණු ඡන්ද පදනම පිරිහුණ නිසා. 2015 ඡන්ද ප්‍රතිඵල හොඳට නිරීක්ෂණය කළාම ඒ බව පෙනෙනවා.

පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම වැටුණ ඡන්ද දිහා බැලුවහම උතුරේ වැටෙන ඡන්ද ජනාධිපතිවරණයක ප්‍රතිඵල වෙනස් කරන්න තරම් ප්‍රමාණවත් නෑ කියලා පෙනෙනවා. උදාහරණයක් හැටියට යාපනේ කෝපායිවල අපිට 2010 දී වැටුණේ ඡන්ද 4530 යි. 2015 දී 6211 ක් වැටුණා. 2010 දී පොදු අපේක්ෂකයාට 13,151 ක් වැටිලා, 2015 දී 2716 ක් වැටුණා. යාපනේ ජනතාව උපරිම වශයෙන් ඡන්දෙ දුන්නත් ඒ වාගේ ඡන්ද පරතරයක් තමයි තිබුණේ. නමුත් ගම්පහ අපි 2010 දී ඡන්ද හත්ලක්ෂ දහඅටදාහක් ගන්නකොට 2015 දී අපි ගත්තේ හයලක්ෂ හැටහතරදාහයි. එතනම 60,000 ක විතර පරතරයක්. මේ තත්ත්වයයි අපි අධ්‍යයනය කරන්න ඕනෑ. අනෙක 2015 ඡන්දෙදි අති විශාල ජනතාවක් රජයට එරෙහිව ඡන්ද පොළට ගියා. එහෙම ඡන්ද පොළට සියයට හැත්තෑවක්, අසූවක් යන්නේ ආණ්ඩුවක් පන්නන්න ඕනෑ වුණාම. මේ ආණ්ඩුවටත් ඊළඟ ඡන්දෙදි ඒ ඉරණමටම මුහුණ දෙන්න වෙනවා.

ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළත් රට කරගෙන යන්න සුළු ජාතීන්ගේ විශ්වාසය වගේම සහාය ඕනෑ.

ඔව්. පැහැදිලිවම. ඒ බව මේ ආණ්ඩුව තේරුම් ගන්න ඕනෑ. මේ රටේ දෙමළ, මුස්ලිම් ජනතාව මොකටද මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ.

දැන් රට වෙනස්වෙලා. ජනතාව හිතන හැටි වෙනස් වෙලා. තවදුරටත් ජාතිවාදී විදිහට හිතන්න දෙමළ, මුස්ලිම් ජනතාව සූදානම් නෑ. ඒ අයට ඕනෑ තමන්ගේ ප්‍රදේශ දියුණු කර ගන්න. ජීවන මාර්ග වැඩිදියුණු කරගන්න. ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න. දැන් ඒ එකක්වත් ඒ පළාත්වල නෑ. අපි හදපු පාරවල්, දීපු විදුලිය, ආරෝග්‍ය ශාලා, ජලය, නැවත පදිංචි කිරීම විතරයි ඒ මිනිසුන්ට තියෙන්නේ. ඒ ජනතාවගේ ප්‍රදේශවල දියුණුව ඇනහිටලා. ඒ අයට ඕනෑ තමුන්ගේ දියුණුව. ඒක කරන්න පුළුවන් අපිට බව දැන් මේ ජාතීන් දෙකම දන්නවා. එදා තිබුණු සැක සංකා දැන් විශාල වශයෙන් ඒ දෙගොල්ලන් අතරින් ඉවත්වෙලා. ඒ නිසා විපක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙක් ලබන ඡන්ද ප්‍රමාණය මේ සුළු ජාතීන් අතරින් මම ඉල්ලුවත් මටත් ගන්න පුළුවන්.

රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව තිබුණ චෝදනාවක් තමයි හොරු, වංචාකාරයෝ ආණ්ඩුව වැනසුවා කියන එක? ඒ පරණ පිරිස ඔබ බලයට ආවොත් ආයේ ළං වෙන්න පුළුවන් නේද?

2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයෙන් ජනතාව ඉල්ලුවේ යුද්දෙ ඉවර කරලා දෙන්න කියන ඉල්ලීම. ඒක ඉවර කරලා අපි 2010 ආයේ ජනාධිපතිවරණයකට ගියා. එදා ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවලා කඩා වැටිලා තිබුණ රට යළි ගොඩනගන්න කියන ඉල්ලීම. අපි වේගයෙන් වැඩ කළා. නමුත් කොළඹ ඉන්න මධ්‍යම පන්තියේ දැඩි ඉල්ලීම වුණේ මේ එකක්වත් නෙවෙයි. වංචා, දූෂණවලට පියවර ගන්නයි කියන එකයි. අපි රටේ දියුණුවට ජාතිය නගා සිටුවීමට කළ වැඩ එකක්වත් අගය කෙරෙන්නේ නෑ. ඒ වැඩවල වටිනාකම දූෂණ, වංචා ගැන කරන ඝෝෂාවෙන් වැහිලා ගියා. ඒත් කොහොමත් දූෂකයෝ, වංචනිකයෝ මා වටා හිටියේ නෑ. මම හමුදාවේ විනයක් ඇතිව පුරුදු පුහුණු වුණ කෙනෙක්. මම කොහොමත් ඉතාම කාර්යක්ෂමව, නිවැරදිව, සැලසුම් ඇතිව වැඩ කරන පිරිස් එක්කයි වැඩ කරන්නේ. ඒ නිසා දූෂකයන්ට විතරක් නෙවෙයි, අලසයන්ටත් මා ළඟ ඉඩක් නෑ. හැබැයි රාජපක්ෂ රෙජීම් චේන්ජ් කරනකොට දූෂකයෝ කියලා හඳුන්වපු අය බොහෝම දෙනෙක් දැන් ඉන්නේ යහපාලන ආණ්ඩුව එක්කනේ.

2015 රාජපක්ෂ රෙජීම් චේන්ජ් එකට බටහිර රටවල් විශාල සහායක් දුන්නා. ඉදිරියට මේ රටවල් ඔබ කෙරෙහි කොහොම හැසිරෙයිද?

2005, ඉකුත් 2010 දක්වා අපි වැඩ කළේ දැවැන්ත විදේශ මැදිහත් වීම් එක්ක. ඒ වෙනකොට ලෝකය පිළිගත් සටන් විරාම ගිවිසුමක් තිබුණා. ලංකාවේ ප්‍රශ්නය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට ලෝක ජාතීන් ගැටගැහුණු ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබුණා. ඉන්දියාවටත් අපේ රටේ ප්‍රශ්නය ඍජුවම බලපෑවා. එහෙත් අපි සටන්විරාම ගිවිසුමත් අහෝසි කරලා ඒ ජාත්‍යන්තර මැදිහත්වීම් සියල්ලට ඉතා හොඳින් මුහුණ දුන්නා. ඉතාම හොඳට ඒ සියලු රටවල් කළමනාකරණය කර ගත්තා.

ඊට පසුවත් අපි චීනයෙන් මුදල් සහාය අරගෙන මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත වැඩ කොටසක් කළා. හැබැයි අපි චීනයටවත් ඉන්දියාවටවත්, බටහිරටවත් සීමාව ඉක්මවා බැඳෙන්න ගියේ නෑ. නමුත් අපි වැඩ කරපු මේ නොබැඳි ප්‍රතිපත්තිය වෙනස් කරලා රටේ දේවල් විදේශවලට දෙන්න ඒ රටවල න්‍යායපත්‍රය මේ රටේ ක්‍රියාත්මක කරන්න යූඑන්පීය එකඟ වුණා. වර්තමානයේ ඔය කොයි රටත් තේරුම් ගත්ත, සලකා බලන දෙයක් තමයි ඒ රටේ ජනතාවගේ පක්ෂපාතීත්වය, ආකල්පය. දැන් ලෝකය දන්නවා මේ රටේ ජනතාව හිතන හැටි. ජනතාව මත බර තියලා රජයක් විශ්වාසය තියලා වැඩ කරන එක තමයි විදේශ රටවලට මුහුණ දෙන්න තියෙන හොඳම විදිහ.

ඔබ වියත් මගේ දී කිව්වා අපි බැලිය යුත්තේ 2020ට නොව 2030 දෙස බව?

ඔව්. දැන් බටහිර ඉස්මුදුනින් පිළිගන්න ලිබරල්වාදය ගැන, දැන් බටහිරත් ප්‍රශ්න කරනවා. එදා පුකුයාමා (Francis Fukuyama) කියන දේශපාලන විචාරකයා බටහිර ලිබරල්වාදය වෙනුවෙන් End of History & Last man නමින් පොතක් ලියමින් කිව්වා ලිබරල්වාදය තමයි ලොව අවසානයට ඉතුරු වෙන හොඳම දේ කියලා. බටහිර උපන් සංකල්පයක් වූ ‘පුද්ගලික නිදහස’ තමයි ලොව අවසාන මිනිස් අරමුණ කියලා. නමුත් ඒ ලිබරල් නිදහස හොයන්න ගිහින් මොකද වුණේ. එකිනෙකා ‘පුද්ගලික නිදහස’ යටතේ ජීවත් වෙන්න යනකොට එකිනෙකා අතර නොපෑහීම්, ගැටීම් ඇති වුණා. ඒ ගැටුම් නතර කරලා නිදහස තහවුරු කරන්න නීතිරීති ගෙනාව. සත්ත්ව අයිතීන් රකින්න, විවිධ ලිංගික අයිතීන් රකින්න, ගබ්සා නීතිගත කරන්න නීති රීති ගෙනාව. අන්තිමට නීති රීති නිසා පුද්ගලික නිදහසමයි නැති වුණේ. ඒ පුද්ගලික නිදහස දීලා බලනකොට ඇමෙරිකානුවන්ට වැටහුණා තමන්ට තමන්ගේ රටවන ඇමෙරිකාවත් අහිමි වෙමින් පවතින බව. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිත් මේ සේරම කණපිට හැරෙව්වා. එදා End of History & Last man ලියපු පුකුයාමා පසුව ලියනවා Identity කියලා පොතක්. පුද්ගලික නිදහස නෙවෙයි, ජාතීන්ගේ අනන්‍යතාව තමයි වැදගත්. අපි ඒ ජාතීන්ගේ අනන්‍යතාවන්ට ගරුකරන ලෝකයත් එක්ක එකතු වෙන්න ඕනෑ කියලා එහි ලියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි,

මේ ලිබරල්වාදය සංකල්පයක් ලෙසම මිනිසාගේ දරිද්‍රතාව දිහා බැලුවේ නෑ. ‘‘පුද්ගලික නිදහස’’ යටතේ ලෝකයේ හොඳම දේ කියලා නිදහස ගත්තා. අනෙකා දවසට ඩොලර් එකක්වත් නැති දුප්පතෙක් වුණා. දුප්පතුන් ධනවතුන් අතර පරතරය වැඩි වුණා. අන්තිමට හැම මාධ්‍යයකින්ම කතා කළේ තියෙන කෙනාගේ ප්‍රශ්න විතරයි. ප්‍රජාතන්ත්‍රවාදය ලිවීමේ නිදහස, සත්ත්ව අයිතිවාසිකම් ආදිය. නැති එකා ගැන කතා කරන්න බල්ලෙක්වත් නැති වුණා. අද ලංකාවේ වෙන්නෙත් ඒක. ලිංගික නිදහස, තොරතුරු දැන ගැනීමේ නිදහස, අනාගාමික රාජ්‍යයක් ඇති කිරීම ස්වයං නීර්ණය වැනි සංකල්ප කොහොමද මිනිසුන්ගේ මූලික අවශ්‍යතා වන ආහාරපාන, නිවාස, සනීපාරක්ෂක අයිතීන්ට වඩා ඉහළට එන්නේ.

‘‘ගෝඨා - භය’’ කියලා ඔබ ගැන බිය ඇතිවෙන ආකාරයේ පෝස්ටර් ව්‍යාපාරයක් පසුගිය කාලේ පාරේ ගහලා තිබුණා. ඒ වාගේම මේ රටට ඒකාධිපති හිට්ලර් කෙනෙක් ඕනෑ කියන ප්‍රකාශය අස්ගිරියේ අනුනායක හාමුදුරුවන්ගේ මුවින් ප්‍රකාශ වුණා. ඒ ප්‍රකාශයත් ඔබගේ විරුද්ධවාදීන්ට වාසියක් වුණා?

ඔව් මම දැක්කා. හැබැයි මිනිස්සු දන්නවා ‘ගෝඨා-භය’ කියන්නේ මේ රටේ භය නැති කරපු කෙනෙක් කියලා. ගෝඨා භය කියන පෝස්ටරේ කෙනෙක් හැදුවා නම් එයාත් 2010ට කලින් කොළඹ එන්න ඇත්තේ බයේ. ඒ පෝස්ටරේ ගහන්න අදහස දීපු සැලසුම් කළ ආණ්ඩුවේ ඇමැතිවරුත් එදා ගියේ සිය ගණන් හමුදා පොලිස් පිරිවරා ගෙන මරණ බයේ. මට මතකයි අපි යාපනයට නිදහසේ යන්න පාර විවෘත කරපු දවසේ කෙනෙක් මට කිව්වා උතුරට යන පළාත් සීමාව පටන් ගන්න තැන දැවැන්ත දැන්වීම් පුවරුවක් ගහන්න කියලා මෙහෙම ‘‘ඔබ මේ නිදහසේ ඇතුළු වන්නේ ලක්ෂ ගණන් බිම්බෝම්බ වළලා තිබූ පයක් බිමට තැබීමට බිය වූ ප්‍රදේශයකටයි කියලා’’ මම ඒ මරණ බය නැති කළ කෙනෙක්. මේ රටේ මරණ බය ඇති කළේ මමද ත්‍රස්තවාදීන්ද, ත්‍රස්තවාදයට පාතාලයට උඩගෙඩි දුන්න අයද, ත්‍රස්තවාදීන් එක්ක සටන් විරාම ගහපු අයගෙ අයිතිවාසිකම් ගැන කතා බහ කළ අයද? අපි කළේ එජාපය අවුරුදු 30 කට පෙර පටන් ගත්ත යුද්ධය ඉවර කරපු එක. අපි යුද්ධ පටන් ගත්තා වගේ මේ හැමෝම කතා කරන්නේ.

මට මතකයි ඒ කාලේ ඒ පාතාලයන්ට මේ කොළඹ කොයි තරම් ව්‍යාපාරික ප්‍රජාව කප්පම් දුන්නද? ඒ ආයුධ නිහඬ කළේ අපි. අපි කළේ මේ රටේ ජනතාවට මරණ බය ඇති කළ ත්‍රස්තවාදීන්ව පාතාලයන්ව බය කරන එක. මේ ආණ්ඩුව ගත්ත අය කළේ මොකක්ද?

පාතාලයන්ව ත්‍රස්තවාදීන්ව බයෙන් නිදහස් කරල ගත්ත එක. දැන් ඒ අය මේ මුළු රටම බය කරගෙන උතුරටත් දකුණටත් දැන් මරණ බය ගෙනත්. හැබැයි මට ඔය කියන පෝස්ටරේ ගැන එක කනගාටුවක් තියෙනවා. ඒ පාතාලයෙන්, කුණුවලින්, පෝස්ටර් බැනර්වලින්, නිදහස් කරගෙන පිරිසිදු කළ නගරෙකයි ඔය පෝස්ටරේ ගහලා තාප්ප කැත කරලා තිබුණේ.

ඔබ සූදානම් කියලා දවස් දෙකයි ගත වුණේ. ඔබේ වැඩිමහල් සහෝදරයත් ජනාධිපතිවරණයට සූදානම් කීවා.

අපේ තාත්තා අපි පුංචි කාලේ ළඟට අරගෙන හැමෝටම කතාවක් කියා දෙනවා. තනි තනිව කෝටු කෑල්ල ගණනේ ගෙනෙන්න. ඒ හැම එකක්ම තනියෙන් නැමුවහම කැඩෙනවා. ඒ ගෙනෙන කෝටු මිටියක් කර අල්ලන්න. එතකොට කවදාවත් කඩන්න බැරි වෙනවා. මේ රටේ තියෙන ඕනෑම දේශපාලන පවුලකට වඩා අපේ පවුල ශක්තිමත් වෙන්නේ අපි හැමෝගේම ඒ කතාව මව් කිරිත් සමගම කලවං වෙලා ඇඟේ දුවන නිසායි.

ඔබ කවදාවත් දේශපාලන වේදිකාවල නැගලා නෑ. ඔබට ජනතා දේශපාලනය කරන්න පුළුවන්ද?

අපි දියුණු රටක් හැටියට ජනතාව සමග ගනුදෙනු කළ යුතු ආකාරයක් තියෙනවා. අපි බලන්න ඕනෑ 2020 ගැන නෙවෙයි, 2030 දිහා. මම දන්නවා අද අපි කරන්නේ අතීත සමාජයට අයිති දේවල්. මේ රටේ තරුණයෝ 2030 දිහා බලන උදවිය. ඒ අය දකින්නේ අපේ රටට වඩා විදේශ රටවල් දියුණුයි. ඔවුන් කාර්යක්ෂමයි. විනීතයි, නීතිගරුකයි. නිදහස් චින්තනයෙන් යුතුයි. ගැටුම් නෑ කියලයි . තවදුරටත් අපේ රට ගැන එහෙම හිතන්න වෙන්නේ නැති තත්ත්වයට දියුණු කරන්න ඕනේ.

ඉල්ලන්න වෙන තැනට තවදුරටත් පත්වෙන්න ඕන නෑ. මම මේ රටේ පරිපාලනයට නායකත්වයට සුදුසු මිනිසුන් ගොඩනගමින් ඉන්නේ. මම එළිය වියත් මග හරහා උත්සාහ කරන්නේ, ඒකරාශී කරමින් ඉන්නේ එහෙම ජනතාවක්. මගේ දේශපාලනය යොමුවෙන්නේ සංයමයෙන් යුතුව මහපාරේ ගහගන්නේ නැති, සැමට සත්‍යයම බෙදා ගන්නා, ආදරය, සෙනෙහස අගයන දේශපාලනයක් ගොඩනගන්න. වෛරයෙන් තොරව ප්‍රතිවාදියා දිහා බලන ජනතාවක් ගොඩනගන්න. ඒක නොවෙයිද රටම අපෙන් බලාපොරොත්තු වෙන දේශපාලනය.


කාවින්ද විජේවර්ධන ( උපුටා ගැනීම: අරුණ පුවත්පත ) 

71 කැරැල්ලෙන් අප ලංකාව බේරාගත්තා - නියෝජ්‍ය පොලිස්පති ඇන්ටන් ජෙගනාදන්

 කැරැල්ල පටන් ගත් පසු කෑගල්ල. දෙනියාය. වගේ ප්‍රදේශ වල පොලිස් ස්ථාන විනාශ කලා. ඇතැම් විට පොලිස් නිලධාරින් මරා දැමුවා. ඇල්පිටිය පොලිස් ස්ථානය ජයතිස්ස නම් ගුරුවරයකුගේ නායකත්වයෙන් යටත් කොට විප්ලවේ කොඩිය පවා දැම්මා.

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග

71 කැරැල්ලත් සමඟ ජෙගනාදන් මහතාගේ නම නිතැතින්ම සඳහන් වෙයි. කැරළිකරුවන් පිළිබඳ පරීක්ෂණ වලදී  ඔහු විශේෂ කාර්යයක් කළේය. රහස් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතාගේ නියම නම බී.ඇන්ටන් ජෙයනාතන් ය. එහෙත් වැඩිදෙනා ඔහුව අමතන්නේ ජෙගනාදන් නමිනි. දැනට කොළඹ පෞද්ගලික ආරක්ෂක සමාගමක් පත්වාගෙන යන ජෙගනාදන් මහතා දක්ෂ රහස් පරීක්ෂකවරයෙකි. මට ඔහුව මුණ ගැසුනේ ඔහුගේ කාර්යාලයේදී ය. හිටපු විමර්ශණ නිලධාරියා අතීත විස්තර පැවසූවේ මේ ආකාරයටය.

 ...චේගුවේරා බියුරෝව මගින් 1968 පමණ කාලයේ පටන් අපි තරුණ කැරළිකාර දේශපාලන ප්‍රවාහය ගැන සෝදිසියෙන් සිටියේ. අප මෙම ව්‍යාපාරය ගැන තොරතුරු එකතු කලා. විෙජ්වීර ප්‍රථම වතාවට හම්බන්තොට දී අත්අඩංගුවට ගැනීමෙන් පසු අප සෝවියට් තානාපති කාර්යාලයේ තිබූ ඔහුගේ විසා අයැදුම්පතේ පිටපතක් හා ඒ සඳහා ඔහු විසින් ලබා දී තිබු ඡායාරූපය අප ගෙන්වා ගත්තා.

ජ.වි.පෙ. විසින් ප්‍රසිද්ධ රැස්වීම් ආරම්භ කිරීමෙන් පසු රහස් පොලිස් නිලධාරින්ද එම රැස්වීම් වල සැරිසැරුවා. වරක් එවැනි අවස්ථාවක රහස් පොලිස් නිලධාරියකු වූ කේ.එස්.ද. සිල්වා මහතාගේ කොළර් එකේ අපහාස වැකියක් එල්ලා තිබ්බා. කේ.එස්.ද සිල්වා මහතා හිසේ කෙස් නැති තට්ට පුද්ගලයෙකු වූ නිසා ඔහුව හඳුනා ගන්න ඇති.

 කැරැල්ල පටන් ගත් පසු කෑගල්ල. දෙනියාය. වගේ ප්‍රදේශ වල පොලිස් ස්ථාන විනාශ කලා. ඇතැම් විට පොලිස් නිලධාරින් මරා දැමුවා. ඇල්පිටිය පොලිස් ස්ථානය ජයතිස්ස නම් ගුරුවරයකුගේ නායකත්වයෙන් යටත් කොට විප්ලවේ කොඩිය පවා දැම්මා. මේ නිසා පොලිස් නිලධාරින් කැරලිකරුවන් සමග යම් තරහකින් හිටියේ. ඒ නිසා යම් යම් අවස්ථාවල කර්කශ අන්දමට ක්‍රියා කරන්න ඇති.

 කැරලිකරුවන් පිළිබඳ විමර්ශනයට විශ්‍රාමික පොලිස්පති වරයකු වූ ඇලරික් අබේගුණවර්ධන මහතා ගෙන්නුවා. ඔහු නිලධාරීන් පනහක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන තම විමර්ශන කටයුතු ආරම්භ කලා. මමද අයත් වූයේ මෙම පරීක්ෂණ කණ්ඩායමටයි. කැරලිකරුවන්ගෙන් ලබා ගන්නා ප්‍රකාශ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාව ට දුන්නා. මෙම ප්‍රකාශ ලබා ගැනීමට බලය තිබ්බේ ඉයන් වික්‍රමනායක, කෙනත් සෙනෙවිරත්න, ෂන්මුගනාදන් වැනි රාජ්‍ය නීතිඥවරුන්ට. නමුත් කැරලිකරුවන්ගේ ප්‍රකාශ වලින් 99% ම සටහන් කර ගත්තේ ඉයන් වික්‍රමනායකයි.

 ඉයන් වික්‍රමනායක ඒ කාලයේ තනතුරුගණනාවක් දැරුවා. ඔහු ඉතා කාර්ය බහුල පුද්ගලයෙක්. ඒ නිසා ඔහුගේ නියමය පරිදි විමර්ශන නිලධාරීන් සැකකරුවන් ගෙන් ප්‍රකාශ ලබා ගත් පසු ඉයන් ඒවා කියවා බලා අත්සන් කළා. ඔහුගේ හෝ කෙනත් සෙනෙවිරත්න ගේ හෝ ෂන්මුගනාදන් ගේ අත්සනින් යුතු සාක්ෂි සටහන් පමණයි අ.යු.වි. හෙවත් සී.ෙජ්.සී. කොමිසම භාර ගත්තේ. කැරැල්ලෙන් පසුව රෝහණ විෙජ්වීර රඳවා සිටි යාපනය බන්ධනාගාරයට ඉයන් වික්‍රමනායක සර්නි් විෙජ්සූරිය, උපාලි සෙනෙවිරත්න හා මම ගියා. අපි ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් තමයි උතුරට ගියේ.

 අපි යාපනය කොටුවේ කිංස් පැවිලියන් කියන ගොඩනැගිල්ලේ නැවතුනා. මෙය බංගලාවක්. උසස් රජයේ නිලධාරින් යාපනයට පැමිණි විට නවතින්නේ මෙම ස්ථානයේ. රෝහණ විෙජ්වීර ගෙන් කට උත්තර ලබා ගැනීමට අපට විශේෂ අවසරයක් ලැබුනා. අපි ප්‍රශ්න කරන්නට ගිය විගසම විෙජ්වීර පෙන්නුවේ කෝපවූ ස්වභාවයක්. zzමගෙන් අහන්න එපා ඒකිගෙන් (අගමැතිනිය සිරිමාවෝගෙන්) අහන්නZZ යැයි කියමින් කැරැල්ල මර්ධනය කිරීම පිළිබඳව මැතිනියට දොස් කිව්වා. ඉන් පසුව කැරැල්ල ලොකු අතුලගේ වැඩක් බවටත් ප්‍රකාශ කලා.

 දිගින් දිගටම විෙජ්වීර කථා කලේ කෝපයෙන්. මෙහිදි මම මගේ රිවෝල්වරය හා හදිසි නීතිය ගැසට් පත්‍රය ඔහුට පෙන්නුවා. මම ඔහුව ඇමතුවේ විෙජ්වීර සහෝදරයා කියලා. මම කිව්වා විෙජ්වීර සහෝදරයා දන්නවා නේ මේ මොකක්ද කියලා. මේක තුවක්කුව. මේක මොකක්ද දන්නවානේ මේක ඕනෑම සැකකරුවෙකු මරා දැමීමට හා මරණ පරීක්ෂණයකින් තොරව සිරුර වළලා දැමිය හැකි බලතල තියන ගැසට් පත්‍රය. අපිට බලය තිබ්බත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි කථා කරමු. ඉන් පසුව ඔහු මඳක් මෙල්ල උනා.

 අපි විෙජ්වීරව දිවා කාලයේ රැගෙන ගියා, ප්‍රශ්න කිරීමට කිංස් පැවිලියන් වෙතට. ඔහු බියසුළු චරිතයක්. නමුත් කථාවේ අති දක්ෂයි. සිංහල භාෂාවෙන් කථා කොට පුද්ගලයන් නම්මා ගැනීමේ දක්ෂ අයෙක් මට ජීවිතයට දැකලා නැහැ. ඔහුගේ කථා වලින් ඇතැම් විට අපේ නිලධාරින් පවා වශී උනා.

 ප්‍රශ්න කිරීමේදී ඔහු බිය පෙන්නුවා. දාඩිය දැම්මා. ඔහුව ප්‍රශ්න කරන අතර තුර යාබද කාමරයේ නිලධාරින් අනෙකුත් සැකකරුවන්ට පහර දුන්නා. ඔවුන් කෑ ගහන ශබ්දයට විෙජ්වීර දැක්වූයේ බියපත් වු ප්‍රතිචාර. ඔහු තමාගේ උපැස් යුවල ගැලෙව්වා. ඉන් පසුව ඔහු තම ව්‍යාපාරයේ අභ්‍යන්තරය තමන්ගේ සගයන් ගැන තොරතුරු ලබා දුන්නා. අපි ඔහුගේ කට උත්තරය පටිගත කලා. ඇතැම් අවස්ථාවලදී ඔහු අනෙකුත් කැරලි කරුවන් ගැන කළ හෙලිදරව් පටිගත වනවාට ඔහු කැමති උනේ නැහැ. එවැනි අවස්ථා වල පටිගත කරන යන්ත්‍රය නවත්තන්න යැයි ඉල්ලීම් කලා. ඒ අනුව වරින් වර අප යන්ත්‍රය නවත්තලා ඔහුගේ කරුණු වලට සවන් දුන්නා.

 දවස් 14-15 විතර මේ ආකාරයට විෙජ්වීරව දිවා කාලයේ යාපනය කොටුවේ පිහිටි බංගලාවට ගෙන්වා ගෙන විස්තර ලබා ගත්තා. රෑට ඔහුව යාපනය බන්ධනාගාරයට ගෙන යනවා. දිනක් හදිසියේ මට බඩේ කැක්කුමක් ආවා. මාව වහාම යාපනය රෝහලට ගෙන ගියා එහිදි ඇපන්ඩිසයිටිස් ශල්‍යකර්මයට මාව භාජනය කෙරුනා. මාව රෝහලේ දින කිහිපයක් රඳවාගෙන පසුව ගුවන් මගින් කොළඹ ගෙනාවා. එහිදි මට ආරංචි උනා විෙජ්වීර මම ඔහුට රිවෝල්වරය පෙන්වා මරා දමන බවට තර්ජනය කිරීමක් පිළිබඳව බන්ධනාගාර අධිකාරීන්ට පැමිණිලි කළ බව. මම තර්ජනය කිරිමක් කලේ නැහැ. ආයුධය හා ගැසට් පත්‍රය පෙන්වා බලතල අනුව නොව සහයෝගයෙන් ක්‍රියා කිරීමට කැමති බවයි කීවේ. මේ පිළිබඳව යාපනය පොලිස් අධිකාරී එස්. පී. සුන්දරලිංගම් මහතා පරීක්ෂණයක් කළා. මෙම පරීක්ෂණය එවකට සිටි පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතා දක්වා ගියා.

 ලොකු අතුල අත් අඩංගුවට පත් වූයේ ප්‍රහාරයේ දී. එදා සිටි ඉහල නායකයන් සටන මඟහරිද්දී ප්‍රහාරයේ සිටයේ ලොකු අතුල විතරයි. ඔහු චේගුවේරා නිල ඇදුම පිටින් සී.අයි.ඩී. එකේ හතරවන තට්ටුවට ගෙනාවා. ඔහුගේ කකුලක් පවා තුවාල වෙලා තිබුනා. ඉහල නායකයන් සටන කර අරිද්දී   සටනේ සිටි ලොකු අතුල කෙරෙහි පොලිස් හා හමුදා නිලධාරීන් කෙරෙහි යම් ගරුත්වයක් තිබුනා. ඉයන් වික්‍රමනායක මහතා වහාම පියවර ගත්තා ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට.

 ප්‍රතිකාර වලින් පසු යළිත් මට ලොකු අතුල මුන ගැසුනා හතරවන තට්ටුවේදී. ඔහු අපෙන් ඉලAලුවා සර් මට මගේ කෙල්ල සොයලා දෙන්න. කියලා. ඔහුගේ පෙම්වතිය ධම්මිකාත් ප්‍රහාරයේ හිටියා. ඇයත් සිටියේ අත්අඩංගුවේ. අප ධම්මිකාට ලොකු අතුලව මුන ගස්සවලා දුන්නා. ඒ අව්සථාව ඉතා හැඟීම්බර මොහොතක්. ඇය දැන් ඔහුගේ බිරිඳ.

 වසන්ත කනකරත්න අත්අඩංගුවට ගැනීමෙන් පසු අප ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු අපට යාපනයේ ප්‍රහාරයට ගිය පිරිස ගැන කිව්වා. මේ වන විට යාපනේ පොලිසියට හා බන්ධනාගාරයට පහර දුන් පිරිස රඳවලා හිටියේ හැමන්හිල්  බන්ධනාගාරයේ. ඔවුන් පොලිසියට දී තිබුනේ ව්‍යාජ නම් ගම්. මේ නිසා අපිට ඉදිරි පරීක්ෂණ කටයුතු කර ගෙන යාම අතිශයින්ම දුෂ්කර වුනා. අපි විසදුමක් සොයා ගත්තා.

 අපි වසන්ත කනකරත්නට කොස්තාපල් නිල ඇඳුමක් අන්දවලා හැමන්හිල්   ගෙන ගියා. වසන්ත ඇතුළු රහස් පොලිස් නියෝජිතයන් හැමන්හිල්  බන්ධනාගාරයේ තාප්පය උඩ හිටියදී පහල ඩන්ජන් වලින් සැකකරුවන් වරින් වර ගෙන්වමින් ඔවුන්ගේ නම ඇසුවා. සැකකරුවන් කියන්නේ ව්‍යාජ නම්. උදාහරනයක් හැටියට භද්දිය ආවා. කිව්වේ ජයපාල වැනි නමක්. වසන්ත කනගරත්න අපිට කෙඳිරුවා ඔහුගෙ නියම නම එවිට අප ඔහුව උඩට ගෙන්වා ගෙන යළි ප්‍රශ්න කරනවා. එහිදි නියම නම ඔහු පිලිගන්නවා. මේ අයුරින් සියළුම සැකකරුවන්ගේ වත ගොත අපිට ලැබුනා. ඔවුන්ට වසන්තව හඳුනා ගන්න බැරි උනා. වසන්ත පොලිස් නිල ඇඳුම ඇඳ පොලිස් කැප් එක දමා තවත් පොලිස් නිලධාරීන් අතර තමයි සිටියේ. ඒ නිසා ඔහුව දැක්කත් හඳුනා ගන්නට ඉතා අපහසුයි. කිසිම අයෙක් පොලිස් නිල ඇඳුමෙන් සිටි වසන්ත කනකරත්න හඳුනා ගත්තේ නැහැ.
 විරාජ් ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මුලින්ම අපට සත්‍ය පැවසුවේ නැහැ. ඔහු සේවය කලේ කැකිරාව පැත්තේ විරාජ් හොඳ පවුල් පසුබිමකින් පැමිණි උගත්, ඉංග්‍රිසි භාෂාව කතා කළ හැකි තරුණයෙක්.   ඔහුව අත්අඩංගුවට ගත් කොස්තාපල්වරු චේගුවේරා පෙන්නපන් කියලා ඔහුට පහර දී තිබුනා. ඒ කාලේ ඇතැම් කොස්තාපල්වරු චේගුවේරා කියන්නේ කවුද කියලාවත් දැනගෙන හිටියෙත් නැහැ.

 විරාජ් අප ලඟට ගෙන්වා ගැනීමෙන් පසු ඔහුට අපි හොඳට සත්කාර කළා. හිරිහැර කලේ නැහැ. විරාජ් බුද්ධිමත්. ඒ වගේම ලිස්සා යන පිළිතුරු දුන්නේ. අපිට අනෙක් අයගේ සාක්ෂි වලින් දැන ගන්නට ලැබුනා විරාජ් වනාතමුල්ලේ ඔස්මන්ගේ නිවසේදී බෝම්බ සාදන අයුරු ගැන දේශනයක් කල බව. මම මේ කරුණු ඇසුවේ වටින් ගොඩින්. මුලින්ම ඇසුවා විරාජ්ගෙන් ඔයා වනාතමුල්ලට ගිහිල්ලා තියනවාද? ඔහු කිව්වා ඔව් ඕවල් එකේ මැච් බලන්න ගිහිල්ලා තියනවා. ඉන් පසුව මට ඔස්මන්ඩ් ගැන ඇහුවා. එවිට විරාජ් කියා සිටියා ඔස්මන් ගැන නොදන්නා බව. අප විසින් ප්‍රශ්න කරන ලද සැකකරුවන් කිහිප දෙනෙක් සාක්ෂි ඉදිරිපත් කලා.

එදා විරාජ් ඔස්මන්ඩ්ගේ ගෙදර බෝම්බ නිෂ්පාදනය ගැන දේශනය කරපු අයුරු. එවිට විරාජ් එය පිළිගත්තා. ඔහු විස්තර පැවසූවා. යළිත් කට උත්තර දීම නවත්වා අගමැතිනිය සිරිමාවෝ බන්ඩාරනායක හමුවිය යුතු බවට බල කලා. නමුත් මම ඔහුට පෙන්වා දුන්නා එවැනි ඉල්ලීමකට ඉඩ නොදිය හැකි බව. එවිට ඔහු ප්‍රකාශ කළා ලන්ඩනයේ තමා හා ගිනි පුපුර සංවිධානය අතර තිබූ සම්බන්ධතා. කුමාර් රූපසිංහ හා සුනේත්‍රා සමග ඔහුට තිබු මිත්‍රකම යනාදිය. මැණික් ගෙන යාම ගැනත් ඔහු කිව්වා. විරාජ් පැවසූ පරිදි සුනෙත්‍රාට  බන්ඩාරනායක මැතිණිය හා විෙජ්වීර අතර හමුවක් සංවිධානය කිරීමට අවශ්‍ය කෙරුනා කැරැල්ලට පෙර. නමුත් එම හමුව ආරක්ෂක අංශ වල උපදෙස් මත පැවැත්වූයේ නැහැ. එහි යම් සත්‍යතාවක් තියෙන්න ඇති. විරාජ් සුනේත්‍රා පිළිබඳ කළ ප්‍රකාශය ඔහුගේ කට උත්තරයට අඩංගු කලේ නැහැ. එය ඉහලින් පැමිණි නියෝගයක්. ඇතැම් විට සුනේත්‍රාවද මෙයට පැටලිම මගින් යම් කේවල් කිරීමක් විරාජ් බලාපොරොත්තු වන්නට ඇතැයි මට සිතෙනවා.

 විරාජ් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ එස්. නඩේසන්. ඔහු ඉයන් වික්‍රමනායක සාක්ෂි කූඩුවට නංවා බොහෝ සෙයින් ප්‍රශ්න කලා. ඉයන් අ.යු.වි. කොමිසමේ දී  වාර 100 පමන සාක්ෂි දුන්නා. සෑම අවස්ථාවකම ඔහු ඇඳ සිටියේ එකිනෙකට වෙනස් ටයි කෝට්. ඔහු විශාල ටයි පටියක් පැලදුවා. අප අතර විහිළුවක් තිබුනා මුලින්ම පේන්නේ ටයි එක ඉන් පසුව දකින්නේ ඉයන් ලෙසට.

 ඉයන් ඔහුගේ යටත් නිලධාරින්ට ආවරණය දෙමින් ඉදිරිපත් වී සාක්ෂි දුන්නා. වර්තමානයේ උසස් නිලධාරින්ට එවැනි කොන්දක් තිබේද පවා මට සැකයි. ඔවුන් බොහෝ විට පහල නිලධාරින්ගේ ඛෙල්ල ඉදිරිපත් කොට තමා ගැලවෙනවා. නමුත් ඉයන් එසේ කලේ නැහැ. කැරැල්ල මර්ධනයේදී ඉයන් විසින් කළ කාර්ය භාරය තවමත් ඇගයීමකට ලක් වෙලා නැහැ.

 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව ආරම්භ වූ විිට ඇතැම් විත්තිකරුවන් අත්අඩංගුවේ සිටියේ නැහැ. නමුත් ඔවුන් නොමැතිව නඩු විභාගය ආරම්භ උනා. මට ඔත්තුවක් ලැබුනා ඩබ්ලිව්. ටි. කරුණාරත්න හෙවත් ඉන්කම්ටැක්ස්කරු සිටින තැන පිළිබඳව.

 ඉන්කම්ටැක්ස් කරු රත්නපුර දිස්ත්‍රික්කයේ තිරුවාණ කැටිය ප්‍රදේශයේ නවාතැනක සිටියේ වෙනත් නමකින්. අපි ඔහු සිටි නවාතැනට ගොස් ඇසුවා කොහොමද කරු කියලා. ඔහු වික්ෂිප්ත උනා. මම කිව්වා දැන් ලොකු අතුල ඇතුළු ඔබගේ මිතුරන් සෑම දෙනා පාහේ අපි ලඟ ඉන්නවා අපිත් එක්ක යං යනාදි වශයෙන්. කරු නිහ~වම අපි සමඟ ආවා.

 ඒ වගේම යාපනයේ බාස්කරන්, ලිනස් ජයතිලක පියතුමා වැනි පුද්ගලයන් පිළිබඳවත් අපි පරීක්ෂණ පැවැත්වූවා. බාස්කරන් ගුරුවරයෙක්. ඔහු එස්.ඩී. බන්ඩාරනායක ගේ මිතුරෙක්. විෙජ්වීර එස්. ඩී. බන්ඩාරනායක හරහා යාපනයේ තරුණයන් ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමේ වෑයමක නිතර වූවා. ඒත් එය සාර්ථක වූයේ නැහැ.

 ලීනස් ජයතිලක දිළිඳු ධීවර පවුලක දරුවෙක්. ලීනස් ු පූජකවරයෙක් බවට පත් වුන නමුත් ඔහු යම් ආකාරයක රැඩිකල් චරිතයක්. ඔහු කැරලිකරුවන්ට යම් හිතවත්කමක් පෑවා.

 71 කැරැල්ල පිලිබඳ විමර්ශනය කණ්ඩායම් වැඩක්. අපි ඉතා සහයෝගයෙන් කැපවී වැඩ කළා. බොහෝ දින වල අපි රැය ගත කලේ කාර්යාලයේ. විමර්ශන කටයුතු වලදි මා සමඟ ඉතා සහයෝගයෙන් යුද හමුදාවේ ඩෙන්සිල් කොබ්බෑකඩුව ක්‍රියා කළා. ඔහු එවකට කපිතාන්වරයෙක්.

 අපි කැරලිකරුවන් සමඟ පෞද්ගලික ආරොAවක් තිබුනේ නැහැ. අපි කලේ අපේ රැකියාව. අපිට නියමිතව තිබුනා රට ආරක්ෂා කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් වැලැක්වීම අපගේ පරම යුතුකමක්. අපි රජය, ජනතාව ආරක්ෂා කලා.

 මම විශ්‍රාම ගියේ 1996 දී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙසට. 1988 කැරැලAල අවස්ථාවේ දී අපට විශේෂ වැඩ කොටසක් ලැබුනේ නැහැ. එහෙත් වරක් ඉතා උසස් පොලිස් නිලධාරියෙක් මට බැන්නා ඔහේලා 1971 දී මුං (විෙජ්වීර ඇතුළු නායකයන්) මරා දැමුවෙ නැති එකේ ප්‍රතිඵල තමයි අද අපි විඳින්නේ කියලා. මම ඒ කතාවට එකඟ උනේ නැහැ. අපිට බලය තිබුනා කැරැල්ලේ නායකයන් මරා දමන්න. අපි ක්‍රියා කලේ හිතට එකඟවම. වැදගත් තොරතුරු ලබා ගැනීමේදී පහර දීමට බලය පාවිච්චි කරන්න සිදු වෙනවා. එය ස්කොට්ලන්ඩ්යාඩ්, එෆ්.බී.අයි. ආයතනය පවා කරනවා. නමුත් තිරිසන් ක්‍රමයට මිනිසුන්ට වද දීම මා අනුමත කලේ නැහැ.

 විෙජ්වීර නිදහස් වුනු පසු ටවුන් හෝල් එකේ පැවති මුල්ම රැස්වීමේදී මට හා සර්නි විෙජ්සූරියට දොස් පැවරුවා. නමුත් 1988 කැරැල්ලේදී ඔහුට ගනුදෙනු කිරීමට සිදු වූයේ අප වැනි නිලධාරින් සමඟ නොවේ. ඔවුන් අප කලාක් මෙන් විෙජ්වීරට සැලකුවේ නැහැ. ඔහුව මරා දමන්ට පසුබට වූයේ නැහැ. එය විෙජ්වීර තේරුම් ගත්තද යන්න මට සැකයි.

මම මේ සටන පටන් ගත්තෙ ඡන්දෙ පැරදුණ දවසෙමයි - මහින්ද



සිරිසේන ජනාධිපතිවරයා ඔහුගේ අගමැති ලෙස පත් කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා දේශය පුවත්පත සමඟ පැවැත්වූ  කතාබහක් පහත දැක්වේ. 

පසුගිය කාලයේ ඔබ සහ ජනාධිපතිවරයා අතර ඒ තරම් සුහදකමක් තිබුණේ නෑ. අපට අහන්න ලැබුණේ විවේචන සහ දෝෂාරෝපණයි. නමුත් අපි නොසිතපු වෙලාවක දොගොල්ල එකතුවෙලා ආණ්ඩුවක් හැදුවා. කොහොමද එකපාරට යාළුවුණේ?

පෞද්ගලික තරහක් අපි අතරෙ තිබුණෙ නෑ. සෑහෙන කාලයක් අපි දෙන්නා සමීප මිත්‍රයන් හැටියට හිටියා. ඒ නිසා දේශපාලන වේදිකාවල කියන දේවල් පෞද්ගලික මට්ටමින් බාරගන්නෙ නැහැනේ.

හදිසියේම මේ සුහදතාව ගොඩනගන්න මුල් වුණේ කවුද?

අපේ මන්ත්‍රීවරු ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ඒකට මැදිහත් වුණා. හාමුදුරුවරු සහ තවත් බොහෝ දෙනෙක් මේ සඳහා දායක වුණා. සාමූහික ප්‍රයත්නයක් කීවොත් නිවැරදියි. මුලින් කීවා වගේ අපි 1970 ගණන්වල ඉඳන් ඉන්න මිත්‍රයෝ.

තානාපති අංශ ඒ වගේම ප්‍රධාන දේශපාලන නායකයන් හුඟ දෙනෙක් චෝදනා කරනවා මේ සියල්ලම විවෘත භාවයකින් තොර හොර රහසේ සිදුවුණු පරිවර්තනයක් කියලා?

එහෙම නෑ. අපේ පක්ෂයේ නම් දැනගත යුතු පක්ෂ නායකයන් මේ ගැන දැනගෙන හිටියා. මම දිවුරුම් දෙන්න කලින් ප්‍රධාන හැමෝටම කීවා. එහෙම නැතුව ආණ්ඩු බලය හුවමාරැ කරනකොට රට පුරා අඬබෙර ගහලා කරන්නෙ නෑනේ. අනික මේ වගේ බැරෑරුම් දේශපාලන කටයුත්තක සාකච්ඡා සිදුවන්නේ රහසිගතව තමයි. රනිල් වික්‍රමසිංහ මහත්තයලා අපේ ආණ්ඩුව පෙරළද්දි අපට කිව්වද පෙරළන හැටි.... ලෝකෙත් එක්ක එකතු වෙලා ජාත්‍යන්තර ප්‍රජාව අල්ලගෙන තමා අපේ ආණ්ඩුව පෙරළුවේ. එයාලා අපේ ආණ්ඩුව පෙරළුවේ මීට අන්ත ක්‍රමයකට.

රහසිගතව ආණ්ඩුව පිහිටුවීම වගේම පාර්ලිමේන්තුව කල් දැමීමත් ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි විවේචනයට ලක්වෙලා තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

2015 අපිට මන්ත්‍රී ආසන 150කට වැඩිය තිබෙද්දී මන්ත්‍රීවරු 42ක් හිටපු රනිල්ට අගමැතිකම දෙනකොට ඔය ජාත්‍යන්තර ප්‍රජාව කොහෙද හිටියේ. ඔය තානාපති අංශ කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න. පළාත් සභා ඡන්ද අවුරුදු ගණන් කල්දාන කොට ප්‍රාදේශීය සභා ඡන්ද අවුරුදු ගණන් කල්දානකොට ජාත්‍යන්තර ප්‍රජාව මොකද කළේ නිදාගත්තද? යූ.එන්.පී.ය ඡන්ද කල්දාන කොට ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලයි. අපි ආණ්ඩු හදනකොට ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. අද අපිට විවේචන කරන රනිල් වික්‍රමසිංහ අපේ 2/3 බලය තිබුණු ආණ්ඩුව තියෙද්දි ආසන 42ක් තියාගෙන අගමැති වුණා. එහෙනම් එයාට ඒ තනතුර බාර නොගෙන ඉන්න තිබුණනේ. අද ඒ ගොල්ලන්ට වැරදුණාම මතක් කරන ප්‍රජාතන්ත්‍රවාදය එදා තිබුණාද?

එදා රනිල් අගමැතිවරයා කරපු දෙයට එකට එක කිරීමක්ද මේ කළේ?

නෑ. අපි කළේ එහෙම නෙවෙයි. හැබැයි සමහරු එහෙම හිතනවා ඇති. මම එදා ජනාධිපතිවරණය පැරදුණු දවසේ පැය ගණනක් තුළ මන්දිරය බාරදීලා මැදමුලනට ගියා. මෙවර ආණ්ඩුව පිහිටුවන සටන මම පටන් ගත්තෙ එදා මැදමුලනේ අපේ ගෙදර ජනෙල් පඩිය උඩට නැගලා කරපු කතාවක් එක්ක.

එක්සත් ජාතික පක්ෂය මේක කුමන්ත්‍රණයක් කියලයි චෝදනා කරන්නේ?

රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වුණාම අනිත් මිනිහට අගමැතිකම දෙන එක කොහෙද කුමන්ත්‍රණයක් වෙන්නේ? ජනාධිපතිවරයා ක්‍රියාකරලා තියෙන්නේ ව්‍යවස්ථාවෙන් පැවරුණු බලතල අනුව. ඒක කුමන්ත්‍රණයක් කියන්නෙ කොහොමද?

එ.ජා.ප.ය ඔබට කියනවා තවම මැතිසබයේ බහුතර බලය පෙන්නුවෙ නෑ කියලා. බහුතරය පෙන්වන්න සූදානම්ද?

ඔව්. අපිට බලය තියෙනවා. අපි බලය පෙන්වනවා. මේ පටන්ගත්තේ පස්සට යන ගමනක් නෙමෙයි. දේශපාලනඥයෝ බලය අහිමි වුණාම ගෞරවයෙන් ඉවත් වෙන්න දැනගන්න ඕනා. 2015 මම ගියේ හිනාවෙවී. ඇඬුවෙ ජනතාව. අද රනිල් මහත්තයා අරලියගහ මන්දිරයට වෙලා අඬ අඬා ඉන්නවා යන්නෙ නැතුව. ජනතාව රතිඤ්ඤා පත්තු කරද්දි එතුමා එහෙම ඉන්න එක හොඳ නෑ.

එක්සත් ජාතික පක්ෂය පසුගියදා විශාල ජනකායක් කොළඹ ගෙනත් උද්ඝෝෂණයක් කළා. මේ උද්ඝෝෂණය ගැන මොකද හිතන්නේ?

අයියෝ ඒක අසාර්ථක උද්ඝෝෂණයක්. ඒකෙන් වුණේ පක්ෂයේ බෙදීම රටටම පෙන්වපු එක. හිටපු අගමැතිතුමා පක්ෂය ඇතුළේ නායකත්ව අරගලයකට මුහුණ දී සිටින බව මේ උද්ඝෝෂණයේදී කැපී පෙනුණා. කරපු කතා ගහපු පෝස්ටර් බැනර් කටවුට් වලින් යූ.එන්.පී.යේ අභ්‍යන්තර නායකත්ව බලපොරය අපූරැවට රටම දැනගත්තා.

මම මුලින් ඇහුවා වගේ මැතිසබය කල්දැමීම ප්‍රශ්නයක්. අනික දවස් 16ක් තරම් දිගු කාලයකට මේ කල් තැබීම සිද්ධ කිරීමයි ප්‍රශ්නය?

පාර්ලිමේන්තුව ඊළඟට කොහොමත් රුස්වෙන්න හිටියේ නොවැම්බර් 05 අයවැයට. අපි ඇත්තටම පාර්ලිමේන්තුව කල්දාලා තියෙන්නේ පහේ ඉඳන් දාසය වැනිදා වෙනකම් දවස් 11යි. මීට ඉස්සර මාස ගණන් කල්දාපු අවස්ථා තියෙනවා. මගේ කාලයේ කළා. චන්ද්‍රිකාගේ කාලයේ කළා. එච්චර විතරක් නෙමෙයි ජනාධිපති ප්‍රේමදාස මහත්තයා දෝෂාභියෝගය වෙලාවේ පාර්ලිමේන්තුව කල් දැම්මා. මම වර්තමාන කතානායකතුමාගෙන් අහන්න කැමතියි ඒ වෙලාවේ ප්‍රේමදාස මහත්තයා මොහොමඩ් කතානායකතුමාගෙන් අහලද පාර්ලිමේන්තුව කල්දැම්මේ කියලා?

පාර්ලිමේන්තුව කල්දැමීමේදී කතානායකවරයාගේ අනුදැනුම තිබුණොත් හොඳ බව එතුමා ජනාධිපතිවරයාට ලියූ ලිපියේ සඳහන් වෙනවා. ඇයි කතානායකවරයාට නොදන්වා මැතිසබය කල්දැම්මේ?

මට කියන්න ව්‍යවස්ථාවේ මොන වගන්තියේද තියෙන්නේ ජනාධිපතිවරයා කතානායකගෙන් අවසර අරගෙන පාර්ලිමේන්තුව කල්දාන්න ඕනේ කියලා. කතානායකවරයාට එවැනි බලයක් නෑ. වර්තමාන කතානායකවරයා ස්වාධීනත්වයක් නැති ගාණට වැටිලා. එයා දේශපාලන ඉත්තෙක් බවට පත්වෙලා තමන්ගේ දේශපාලන පක්ෂය රැකගන්නයි මහන්සි ගන්නේ.

ඔබ කතානායකට කතා කර මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් කළාද?

නෑ. මම කතානායකට කතා කරන්න ගියේ නෑ.

ඔබ ලිඛිතව කිසියම් දෙයක් දැනුම් දුන්නද?

නෑ... මම ලියුම් අරින්නේ මොකටද?

ඔබට වර්තමාන කතානායකවරයා ගැන අවිශ්වාසයක් තියෙනවද?

එතුමාගේ හැසිරීම් රටාව ගැන අපට සතුටු වෙන්නත් බැහැ. කතානායකවරයා මීට වඩා ස්වාධීනව වගකීමෙන් යුක්තව කතා කරන්න ඕනෑ. එයාගේ වගකීම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලව ක්‍රියාකිරීමයි. නැතුව ජනාධිපතිගේ ක්‍රියාව විවේචනය වන ආකාරයට කටයුතු කිරීම නොවෙයි.

අපි දැන් මෙහෙම හිතමු. ඔබ වර්තමාන කතානායකවරයා ගැන නොයෙක් දේ කීවා. ඔබේ සහෝදරයා චමල් රාජපක්ෂ මහතා කතානායක ලෙස හිටියා නම් මේ වැඩේ කොහොම කෙරෙයිද?

එතුමා හැමවිටම ක්‍රියාකළේ ව්‍යවස්ථාවට අනුකූලවයි. මම හිතන්නේ එතුමා හිටියානම් නීතිය හරියට කරයි කියලා. එතුමා මටවත් අපේ පක්ෂයටවත් උදව් කළේ නෑ. අපේ පක්ෂයේ මිනිස්සු අනන්තවත් සභාවෙන් එළියට දාලා තියෙනවා. පාර්ලිමේන්තුව හරියට හැසිරෙව්වා. අද තියෙනවද එහෙම තත්ත්වයක්?

අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලිය ගහ මැදුර තවදුරටත් ඔබට නොලැබුණොත් මොකක්ද ගන්න පියවර?

නෑ. ඉතින් හදිස්සියක් නෑ. ඒ ගැන අවශ්‍ය පියවර අවශ්‍ය වෙලාවට ගන්නවා.

ඔබ හිටපු අගමැතිතුමාට කතා කළාද?

ඔව්.... මම දුරකතනයෙන් කතා කළා. බොහොම සුහදව තියෙන ප්‍රශ්න විසඳගන්න අදහස් හුවමාරු කරගත්තා.

සමහර මාධ්‍යවල පුවත් පලවුණා අරලියගහ මන්දිරයේ වතුර ලයිට් කපලා පහසුකම් අයින් කරලා කියලා. ඇයි එහෙම කළේ?

නෑ... නෑ... නෑ.... තාම එහෙම කරලා නෑ. ඕවා බොරු කතා. අරලිය ගහ මන්දිරය වැදගත් තැනක්. ඒකේ දැන් තොවිල් නටනවලු. මහපාරේ හිටගෙන පිරිත් කියනවලු. මහපාරේ හිටගෙන පිරිත් කියන රටක් තියෙනවද? ‍මෙච්චර විශාල මන්දිරය ඇතුළේ මණ්ඩපයක් ගහලා ගෞරවයක් ඇතුවයි පිරිත් කියන්න ඕනෑ.... මෙහෙම පිරිත් කියන එක වස් වදින වැඩක්.

සමාජ මාධ්‍යජාල අද ලංකාවේ බොහෝ පණිවිඩ දෙන මාධ්‍යයක්. ඒවයේ අලුත් ආණ්ඩුව ගැන පලවුණ කතාවල සඳහන් වුණා අලුත් ආණ්ඩුවට අලුත් මූණු ඕනෑ. පරණ හොරු ගේන්න එපා කියලා. ඇත්තටම මේ ආණ්ඩුවට අලුත් මුහුණුවරක් දෙනවද?

ඒ සමහර මත පිළිගන්නවා. ගරැ කරනවා. ඒවා ප්‍රතික්ෂේප කරන්න බෑ. දැනටමත් අලුත් මුහුණු ඇවිල්ලා තිබෙනවා. පරණ අත්දැකීම් තියෙන අයත් සමහර කටයුතුවලදී ඕනෑ වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක්.

ඒ කියන්නේ මේක මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආණ්ඩුවක් නෙවෙයිද?

නෑ. මේක... ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක්. ඒක තමයි මේ ක්‍රමය. අපට තියෙන්නේ එතුමාට සහාය දෙමින් ආණ්ඩුව කරන්න.

ඉදිරියට ආණ්ඩු කිරීමේ ඔබේ සැලසුම කුමක්ද?

රට විජාතිකකරණයට නතුවෙමින් තිබෙනවා. ඒක නතර කිරීමයි මගේ අරමුණ. රටේ ඒකීයභාවය උපරිමයෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම ජනතාවට ඇඟට දැනෙන ආර්ථික සහන ගණනාවක් දැනටමත් ලබාදීලා ඉවරයි. ජනතාවගේ ජීවන බර අඩුකිරීමයි මූලික අරමුණ. මේ ආණ්ඩුව අය කරන අසාධාරණ බදු ක්‍රමය පූර්ණ වෙනසකට ලක්කරනවා. ඒ ගැන දැන් අපි සාකච්ඡා කරගෙන යනවා කොහොමද ඒක කරන්නේ කියලා.

එක්සත් ජාතික පක්ෂයෙන් ගත්ත පිරිසයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමයි තවත් අයයි අරගෙන මේ යන ගමන විශ්වාසයෙන් ඉදිරියට යන්න පුළුවන්ද?

ඔව්... තව මාස කිහිපයයිනේ. ඉක්මනට මැතිවරණයක් ලබා ගැනීමයි අරමුණ. පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ ඉක්මණින් ලබාගන්න ක්‍රියාකරනවා. ඒ වගේම නියමිත වෙලාවට ජනාධිපතිවරණයත් තියනවා.

රාජිත සේනාරත්න හිටපු අගමැතිවරයාට ආරාධනා කරලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම්වලට පුළුල් ජාතික පෙරමුණක් හදන්න එන්න කියලා?

ඒකට ඉතින් පක්ෂ තීන්දුවක් ගන්න එපැයි. එහෙම කියූ පලියට ආණ්ඩු හදන්න පුළුවන්ද? අනික ඕවා රාජිතලා නිකම් පක්ෂ කොටවන්න කියන කතා.

අපිට ආරංචි වෙලා තියෙනවා රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශ කාර්යාලයට සීල් තියලා කියලා?

ඒ ගොල්ලො ගැන හොයන්න කලින් අපිට තව ලොකු වැඩ තියෙනවා. ආර්ථිකය කඩා වැටිලා. විරැකියාව වැඩිවෙලා. ඒවා ගොඩගන්න තියෙනවා. කොටස් වෙළෙඳපොළ අගාධයට ගිහින් තිබුණා. අපි ආවා විතරයි පිබිදීමක් පටන් ගත්තා. ඒවා සැලසුම් සහගතව ගොඩනගලා ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීමයි අපේ අරමුණ.

සංවාදය - සංජීවිකා සමරතුංග | උපුටා ගැනීම - දේශය


කළු ජූලියෙන් ඇතිකළ කම්පනය 71 ටත් වඩා සැරයි - සුනිලා අබේසේකර

මානව හිතවාදය සිය ජීවිත දැක්ම කර ගනිමින් මානව හිමිකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම සිය ජීවිත මෙහෙවර කරගත් සුනිලා අබේසේකර අකල්හි අප හැර ගියේ මෙයට වසර පහකට පෙර සැප්තැම්බර් මුලදීය. සුනිලා රෝගාතුරව සිටි ඇයගේ ජීවිතයේ අවසාන දින කිහිපය තුළ, 2014 මුල් භාගයේ දී  නෙදර්ලන්තයේ හේග් නුවරදී  ඇය හමුවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  සුනන්ද දේශප්‍රිය විසින් සිදුකෙරුණු පිලිසඳර ගණනාවක් ඇසුරින් මෙම සටහන ලියැවී ඇත. මෙහි දිගහැරෙන්නේ එහි දෙවන ලිපියයි.  (සුනිලා අබේසේකර : ජීවිත පියසටහන් – 2)


සරමකුයි, ටී ෂර්ට් එකකුයි ඇඳන් හිටි ඒ සරසවි සිසුවා සිවරාම්


මං හිතන්නේ 1971 වගේම 1983ත් මට කම්පනයක් ගෙන ආව කියලයි. එක අතකට 1983 කළු ජූලිය සිද්ධ වුනේ අපේ ඇස් ඉස්සරහ.


ඔබ දැන් සිවරාම් ගැන මතක් කරානෙ. ඒ 1983 ගැන මට ලැබුණ හොඳ අත්දැකීමක්


ජූලි කළබල දවස් මැද්දේ මට දුරකථන පණිවිඩයක් ආව. කොටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ කාර්යාලයේ තිබුණූ ශිෂ්‍ය ක්‍රිස්තියානි ව්‍යාපාරයේ කුඩා කාර්යාලයේ හිටපු කාගෙන් හරි. ඒ දවස්වල මං ජිවත්වුණේ බත්තරමුල්ලෙ. ඔවුන් කිව්වා ‘ඉක්මනට එන්න, ඇවිත් කෙනෙක් අරං යන්න තියෙනවා’ කියල. මං ඒ වෙලේ ම බස් එකකට නැඟල කොටුවට ගියා. මං ඒ ළමයා ගැන දැනන් හිටියෙ නැහැ. පේරාදෙණිය සරසවියේ ශිෂ‍්‍යයෙක්. සරමකුයි ෂර්ට් එකකුයි ඇදගෙන තමයි උන්නෙ. මං කිව්වා ‘‘ හරි යමු’’ කියලා. ඔහු අරගෙන ගිහින් බස් එකකට නග්ග ගත්තා. මං හරියට බයවෙලා හිටියේ. මොකද කළබල අස්සේ කොටුවේ ඉඳල බත්තරමුල්ලට යන එක ලේසි නැති නිසා.


තැන් ගණනාවක දී ම කළහකාරී පිරිස් බස් එක නැවැත්තුවා. ප්‍රශ්න ඇහුවා. උත්තර දුන්නේ මං. ඔහු කටවත් ඇරියෙ නැහැ. ඇත්තට ම නම් ඔහු හිටියේ මටත් වැඩියෙ හොඳට ම තිගැස්මෙන්. මං බයෙන් උන්නේ තදබල තිගැස්ම නිසා ඔහු වැඩි දුර හිතන් නැතුව මොනව හරි දෙයක් කරාවි ද කියල. කොහොම හරි මං කරදරයක් නොවී ඔහු අපේ ගෙදරට එක්ක ගියා. පස්සේ  ඔහු වඩා ආරක්ෂක ස්ථානයකට යවන්න අපට පුලුවන් වුණා. ඒ තමයි පසු කාලෙක ජනමාධ්‍යවේදියකු ලෙස ප්‍රසිද්ධ වූ සිවරාම්.


එදා ඒ විදියට ජිවිතය බේරගත්ත ඔහු 2004 අප්‍රේල් මාසේ රාජ්‍ය ඝාතකයන්ට බිලිවුණා.


83 ඇති කළ කම්පනය 1971ටත් වඩා සැර එකක් වුණේ එ් විසින් අපේ සමාජයේ තිබෙන බෙදීම ඉස්මත්තට ගෙන ආපු නිසයි. ඒ කියන්නේ දෙමළ සහ සිංහල මිනිස්සු අතර තියෙන බෙදීම. මං හිතන්නේ එම බෙදීම වසර 31කට පස්සෙත් (මෙම පිළිසඳර ඇතිවූයේ 2014 ප්‍රථම භාගයේදී ය) තවම අපට ජයගන්න බැරිවෙලා තියෙනව.


දෙමළ මිනිස්සු නැව්වලට පටවලා යාපනයට යැව්වා. කෝච්චිවලට පටවලා වවුනියාවට, මඩකළපුවට යැවුවා. කොයිතරම් මැද පන්තික දෙමළ ජනයාට අයත්ව තිබූ නිවාස විනාශ කරා ද? ගිනි තිබ්බ ද? මං දැනන් හිටපු අයගෙන් නිවාස ගිනිබත් කළ, නැවෙන් පටවල යාපනයට යවපු දුක් කතා දිගටම හුඟාක්  අහන්න ලැබුණ. ඊට පස්සේ ඔවුන් කැනඩාවට හරි වෙනත් රටකට හරි ගියා. ඔවුන් ආපහු ආවේ නැහැ.


එක අතට 1971 සමාජ සාධාරණත්වය පිලිබඳ මා තුළ  ඇති කළ පෙළඹවීම හා සමානව 1983, ජනවාර්ගික යුක්තිය පිළිබඳ පෙළඹවීමකට තුඩු දුන්නා යැයි කියන්න පුළුවන්. ඇත්ත වශයෙන් ම නම් දෙමළ සහ සුළුතර අයිතීන් මානව හිමිකම් කතිකාවතෙහි කොටසක් බවට පත් වුණේ 1983න් පස්සේ.



සිරිමාවෝ සමග කාන්තාවන් වෙනුවෙන් පෙරට ඒම


මං හිතන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ මගේ මුල් උනන්දුව ඇතිවුණේ 1970 ගණන් මුල් කාලයේ කියල යි. එක්සත් ජාතින්ගේ සංවිධානය ‘කාන්තා වර්ෂය’  දියත් කරල තිබුණා. සිරිමාවෝ බණ්ඩාරනායක තමයි එතකොට අගමැතිනිය වුණේ. ඇය ලෝකයේ මුල්ම අගමැතිනිය ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණා. ‘කාන්තා වර්ෂය’ වෙනුවෙන් විශාල සම්මන්ත්‍රණයක් මෙක්සිකෝවේ පවත්වන්න වැඩකටයුතු සංවිධානය වෙමින් තිබුණා. ඒ සඳහා ලංකාවේ තොරතුරු දෙපාර්තමේන්තුව ‘ශ්‍රී ලංකාවේ කාන්තාවෝ’ නමින් ප්‍රකාශනයක් සුදානම් කරමින් තිබුණා. ඒ සඳහා ‘කාන්තාව සහ මාධ්‍ය’ නමින් පිටු දෙකක් ලියා දෙන්නැ යි මට ඇරයුමක් ලැබුණා. මා ළග ඒ ප්‍රකාශනයේ පිටපතක් නැහැ. සමහරවිට කුමාරි ජයවර්ධනගේ පුස්තකාලයේ තියෙන්න පුලුවන්. මා ලියූ ලිපියත් තිබූ එම පොත ආණ්ඩුවේ අය මෙක්සිකෝවට අරගෙන ගියා. ඒ සිදුවීම හරහා තමයි මං කුමාරි ජයවර්ධන හඳුනා ගත්තේ.


ඉන් පස්සේ 1975 වර්ෂයේදී කුමාරි ජයවර්ධන කිව්වා මැයි දිනය වෙනුවෙන් පත්‍රිකාවක් ලියමුයි කියලා. අප එය ලිව්වේ ‘කාන්තා හඬ’ නමින්. එතකොට මාලා දසනායකත්, කුමාරි එක්ක වැඩ කරමින් උන්නෙ. අපි ඒ පත්‍රිකාව මුද්‍රණය කරල වමේ මැයි දින රැස්වීම්වල බෙදුවා. එතනින් තමයි ‘කාන්තා හඩ’ සංවිධානයක් විදිහට ආරම්භ වුණේ. පසුව ක්‍රමවත් සංවිධානයක් විදිහට එය පිහිටුවා ගත්තා. පසුව එය  සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රිසියෙන් ‘කාන්තා හඬ’ නමින් සඟරාවක් ප්‍රකාශයට පත් කරා.


මේ කාලයේ ස්ත්‍රී අයිතිවාසිකම් ගැන රටේ පොඩි දේශපාලන උන්නදුවක් ඇතිවේගෙන ආව. 1977 න් පස්සේ නිදහස් වෙළඳ කලාපය ආරම්භ වුණා. ස්ත්‍රී ශ්‍රමිකයින් දහස් ගණනාවක් එහි රැකියාවන්ට ආව. ඔවුන්ගේ වැඩ තත්වය සහ සමාජීය ප්‍රශ්න ගැන උනන්දුවක් ඇති වුණා. මේ වෙන කොට අග්නි දිග ආසියාවේ අනෙක් රටවලත් නිදහස් වෙළඳ කලාප ස්ත්‍රී ශ්‍රමිකයින් පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇතිවෙලයි තිබුණෙ.



1977 විවෘත ආර්ථිකය කාන්තාවන්ට සිදුවුණේ කුමක්ද ?


තායිලන්තය වැනි රටවල ස්ත්‍රී ශ්‍රමිකයින් ගැන කළ සමීක්ෂණ අපටත් අදාළ වෙන්න ගත්ත. එක්සත් රාජධානියෙහි වූ ‘සංවර්ධනය පිලිබඳ පිලිපීන ආයතනය’ ලංකාවෙත් එවැනි සමික්ෂණයක් පැවැත්වූවා. කුමාරිත් ඊට දායක වුණා. ආචාර්ය කේ. තියාන් ශ්‍රී ලංකාවේ එවැනි පුළුල් සමීක්ෂණයක් කරා. මට මතක හැටියට සේපාලි කොට්ටේගොඩත්, ශ්‍රීන් සමරසූරියත් ඊට සම්බන්ධ වුණා. ඉන් පස්සේ 1981 දි කොළඹ පුලුල් අන්තර් ජාතික සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. මලයාසියාව, පිලිපීනය සහ තවත් අග්නිදිග  ආසියාතික රටවලින් සෑහෙන නියෝජිත පිරිස් ඊට සහභාගි වූණා. එයට ලංකාවෙන් සහභාගි වුණේ කුමුදුනී රෝසා. නිදහස් වෙළඳ කලාප ස්ත්‍රී කම්කරුවන්ගේ තත්වය සහ ඉදිරිය ගැන එහිදි කතා බහක් ගොඩ නැඟුණා.


පොලිටෙක්ස් වර්ජනය සහ අපි


මට මතක හැටියට ඒ අනුසාරයෙන් කුමුදුනී රෝසා සහ කුමුදුනී සැමුවෙල් එකතුවෙලා නිදහස් වෙළඳ කලාප ස්ත්‍රීන් සංවිධානය කිරීමට සහ ඔවුන්ට සහය වීමට ‘ස්ත්‍රී මධ්‍යස්ථානය’ පිහිටුවේවා. ඔන්න එතකොට සුප්‍රසිද්ධ පොලිටෙක්ස් ගාර්මන්ට් වැඩ වර්ජනය පැන නැගුණා.


මේ වැඩවර්ජනය අතරතුර කුඩා ස්ත්‍රී කණ්ඩායම් සහයෝගිතාවය දෙන්න ඉදිරිපත් වුණා. ඇනීටා ප්‍රනාන්දු සමඟ මාලඹේ ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය, නිමල්කා ප්‍රනාන්දු සමඟ මීගමු කාන්තා කමිටුව සහ සමස්ත ලංකා ගොවි සම්මේලනයට සම්බන්ධව ගොඩ නඟා තිබූ ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ යනාදී කණ්ඩායම්. මේ වෙන කොට ස්ත්‍රී ප්‍රශ්න ඇසුරින් එවැනි කුඩා ස්ත්‍රී නායකත්වයෙන් යුතු කණ්ඩායම් ගණනාවක්ම බිහිවී තිබුණා.


1983 කාන්තා දිනය ගැන මතකය


මේ තත්වය යටතේ තමයි අප 1983 දී කාන්තා දිනයක් පැවැත්වීමට තීරණය කළේ.  තිස්ස බාලසුරිය පියතුමා පවත්වාගෙන ගිය මරදානේ සමාජ සහ සමායික කේන්ද්‍රයේ තමයි අප හමුවුණේ. ස්ත්‍රී අයිතිවාසිකම් අරගලයට හුඟාක් සහාය දුන් බර්නඩීන් සිල්වාත් ඒ වෙන කොට එහි සේවය කළා. ඒ රැස්වීමට කුමුදුනී රෝසත් ආව. ප්‍රගතිශීලී කාන්තා පෙරමුණෙන් ආ බණ්ඩාර මැණිකේ ස්කාප් එකක් පැළඳ සිටියා මට මතකයි. අප හුඟ දෙනෙක් එකට හමුවුණේ ඒ අවස්ථාවෙදි. මගේ අම්මෝ, මෙන්න ගැමි කාන්තාවන් නියෝජනය කරන්න ස්ටයිල්කාර එක්කෙනෙක් ඇවිල්ල’යි අපි කතා වුණා. අපි විහිලුත් කරා. ඒත් කාලෙකට පස්සේ දැන ගන්න ලැබුණා සෙරොව්වක් ළඟ නාද්දි වතුර මැෂිමකට අහුවෙලා ඇගේ හිස කෙස් කඩාගෙන ගිහින් තිබුණ කියල. ස්කාප් එකක් බැඳන් හිටියෙ ඒ නිසා. ඒ රැස්වීමට ඇනීටා ප්‍රනාන්දුත් ආව‍.


එම රැස්වීමෙදි අප තීරණය කරා එක්තරා විදිහක කුඩා ජාලයක් හදා ගන්න කාන්තා ක්‍රියාකාරී කමිටුව කියලා. පුල්සරා ලියනගේත් මුල ඉද‍‍‍ල ම කමිටුවෙ හිටිය. පසසේ ඇයට කාලයක්ම අත්අඩංගුවේ ඉන්න සිද්ධ වුණා නිර්මලා.


(තවමත් විසඳුමක් නොලැබුණු ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් ගැන සුනිලා එදා දැක්වූ අදහස්)


උතුරේ මෙන්ම දකුණේද කාන්තාවන් එකම කොඩියක් යටට - ‘නිර්මලා නිත්‍යනන්දන් නිදහස් කරනු!


ඒ කමිටුව හරහා අප බොහෝ ක්‍රියාකාරිත්වයන්හි යෙදුණා. මුල ඉඳලම අපට පැහැදිලි අදහසක් තිබුණා යාපනයේ ස්ත්‍රී කණ්ඩායම් එක්ක සබඳතා පිහිටුවා ගන්න අවශ්‍ය බවට. ඒ වන විට යාපන ස්ත්‍රී අධ්‍යයන කවය පිහිටුවා තිබුණා. චිත්‍රලේඛා මවුනගුරු එහි ක්‍රියාකාරී කොටසක් රඟපෑව‍. ඇය ඊට කලිනුත් අප එක්ක වැඩ කරල යි තිබුණේ.  ඔවුන් ‘නිර්මලා නිත්‍යනන්දන් නිදහස් කරනු!’ කියන සටන් පාඨය ඉස්සරහට දාල තිබුණ. මොකද ඒ වන විට නිර්මලා සහ තවත් අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරන් තිබුණ නිසා. නිර්මලා කියන්නේ රාජිනී තිරාණගමගේ වැඩිමහල් සහෝදරිය.


1983 මාර්තු 08 වෙනිද අප විරෝධතාවයකුයි නව නගර ශාලාවේ රැස්වීමකුයි පැවැත්තුව. අපේ විරෝධතාවයට ඉඩ නොදුන් පොලීසිය නව නගර ශාලාවේ තාප්පය ඉස්සරහ ස්ත්‍රීන් කිහිප දෙනෙකුට සටන් පුවරු ඔසවාගෙන ඉන්න දුන්න. මේ රැස්වීමට යාපනයෙන් ආ පත්මිනී සිදම්බරනාදන් පසුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බවට පත් වුණා.



1983 කළු ජූලිය කාන්තාවන්ට බලපෑවේ කොහොමද ?


මේ රැස්වීමෙන් පස්සේ අපේ ක්‍රියාකාරී කමිටු ජාලය සෑහෙන ශක්තිමත් විදිහට ඉස්සරහට ගියා. මේ ක්‍රියාකාරිත්වය මගේ පැත්තෙන් හුඟාක් වැදගත් දේශපාලන අවස්ථාවක්. ඇයිද කියනවා නම් ‘කාන්තා  ක්‍රියාකාරී කමිටුව’, පංති සවිඥානික දේශපාලනය සහ ශ්‍රී ලංකාවෙහි සුලුතර අයිතිවාසිකම් සමඟ ස්ත්‍රීවාදී දේශපාලනය සම්බන්ධ කළ නිසා.


මං හිතන්නේ නූතන ශ්‍රී ලංකාවේ පංති දේශපාලනය සහ සුලුතර දේශපාලනය එක් කිරීමට උත්සාහ ගත් ප්‍රථම ප්‍රගතිශීලි පෙරමුණ තමයි මේ ‘කාන්තා ක්‍රියාකාරී කමිටුව’.


ඒ කාලයේ මේ සංවිධාන ප්‍රසිද්ධ කළ පත්‍රිකා සහ ප්‍රකාශන  දෙස බැලුවහම පෙනෙයි එය දේශපාලන සවිඥානිකත්වයකින් යුතු පෙරමුණක් බව‍. ඒ වාගේ ම ස්ත්‍රී මූලිකත්වයෙන් යුතු විවිධාකාර සංවිධාන සෑහෙන ගණනක් ඒ කාලයේ බිහිවුණා. කාන්තා ක්‍රියාකාරී කමිටුව පිහිටුවීම ඉතා වැදගත් දේශපාලන සන්ධිස්ථානයක්. එහි එක් එකඟතාවයක් වුණේ ස්වයං තීරණයට දෙමළ ජනයාට ඇති අයිතිය පිළිගැනීම. එමෙන්ම මර්දනකාරී අණපනත් අහෝසි කිරීමත් ඒ අතර තිබුණා.


මේ අතරවාරයේ 1983 කළු ජූලිය ඇතිවුණා. ඒ නිසා බොහෝ  දේ සහ අවස්ථා වෙනස් වුණා. කාන්තා ක්‍රියාකාරී කමිටුවට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී අයිතින් උදෙසා කරන්නට ඉඩ තිබූ සහ කළ හැකි දේත් සීමාවුණා. නමුත් 1984 දීත් සෑහෙන ස්ත්‍රී සහභාගිත්වයක් සහිත පා ගමනක් යාමට සහ රැස්වීමක් පවත්වන්න අපට පුළුවන් වුණා. ඒකටත් පොලීසියෙන් ගැහුව. 1987 වන තුරු වසර කිහිපයක්ම එම කාන්තා දින රැස්වීම සාර්ථකව පැවැත්වීමට කාන්තා ක්‍රියාකාරී කමිටුව සමත් වුණා.



(අතීතය වෙනස් කළ නොහැකි නමුත් අනාගතය අපිට හැඩගැන්විය හැකියි - සුනිලා)


භීෂණය ඇති කළ නිහඬතාවය


කාන්තා ක්‍රියාකාරී කමිටුවට පිටින්  ‘සාමය සඳහා කාන්තාවෝ’ කියන කුඩා එකතුව ආරම්භ වුණේ 1984 වර්ෂයේ දි. මා ඒ ක්‍රියාකාරිත්වයටත් දායක වුණා. එය ආරම්භ වුණේ 1983 කළු ජූලියට ඍජු ප්‍රතිචාරයක් විදිහට. ‘සාමය සඳහා කාන්තාවෝ’ කුඩා විරෝධතා ව්‍යාපාර සහ හොඳ මහජන ප්‍රචාරක වැඩ ටිකක් දියත් කළා. කොළඹ කේන්ද්‍රීය කුඩා ලිබරල්වාදී එකතුවක් වූ එය මර්ජ් ව්‍යාපාරය සමඟ ඉතා ළඟින් කටයුතු කරා. නමුත් මං හිතන්නේ කුඩා ස්චෛඡා එකතුවක් වූ නිසා එයට දිගට ම වැඩ කරගෙන යන්න බැරි වුණා.  1986 වර්ෂය විතර වන විට එය නැතිව ගියා.


එවැනි මූලිකත්වයන් ගණනාවක්ම ජාතිකවාදී දේශපාලනය විසින් යටපත් කර දැම්මා කියලයි මට හිතෙන්නේ.


දේශපාලනයේ වාර්ගික පැතිකඩ ඉතා ශක්තිමත් වෙන්න පටන් ගත්තා, අනෙක් පිරිස් පසුබස්සන තරමට. උදාහරණයක් විදිහට ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ වැඩකළ සමහර ගම්බද පෙදෙස්වල ඔවුන්ට සුලුතර අයිතීන් ගැන කතා කරන්න බැරුව ගියා. උතුරේ සිදුවූ මර්දනකාරී යුද දේශපාලන ක්‍රියාකාරිත්වයන්ට විරුද්ධව කතා කරන එක දුෂ්කර වෙන්න ගත්ත. ඒක අපට හුගාක් අමාරු කාලයක් වුණා. යුද්ධය තීව්ර වෙන කොට උතුරේ සංවිධාන සමඟ සබඳතා පැවැත්වීම දුර්වල වෙන්න ගත්ත. මේ සියල්ල වුණේ ඉතා කෙටි කාලයක් ඇතුළෙ.



1988 ගෙවී ගිය ඒ නිහඬ සමය


1988 වෙන කොට මහා පරිමාණ ඝාතන ආරම්භ වුණානෙ. එතකොට බිය ජනක තත්වයක් ඇති වුණා, හැමෝම පසු බස්සන තරමට. ඇතිවුණේ නිශ්ශබ්දතාවයක්.


එවැනි තත්වයක් අවසානයේ තමයි 1990 වර්ෂය මුලදි ‘ලක්බිමේ මව්වරු සහ දියණියෝ’ අත්සන් විශාල ප්‍රමාණයක් එක්ක යුද විරෝධී කාව්‍යයක් පුවත්පත් දැන්වීමක් විදියට පළ කළේ. එය ආරම්භ වුණේ දකුණෙන්  සහ උතුරෙන් එන අපට අපේ දරුවන්ට වෙන දේ දැන ගන්න ඕනෑ කියලයි.


ඔය විදිහට 1980  දශකයේ මුල් අවුරුදුවල පටන් ස්ත්‍රී අයිතිවාසිකම් ව්‍යාපාර ගණනාවක් සහ කාන්තා ක්‍රියාකාරි කමිටුව තිබුණා. ‘ලක්බිමේ මව්වරු සහ දියණියෝ’ 1990 මුලදි ආරම්භ වුණා. එය උත්සාහ කළේ ස්ත්‍රීවාදය සමඟ යුද්ධයෙන් බැටකන මානව හිමිකම් ඒකාබද්ධ කරන්නයි. මගේ ස්ත්‍රීවාදී දේශපාලනය මේ සිදුවීම් හරහා තමයි ගමන් කරේ.


සටහන -  සුනන්ද දේශප්‍රිය


සබැඳි ලිපි 


මගේ සංස්කෘතික කලා ජීවිතයත් දේශපාලන ජීවිතයේම කොටසක් - සුනිලා අබේසේකර 




මගේ සංස්කෘතික කලා ජීවිතයත් දේශපාලන ජීවිතයේම කොටසක් - සුනිලා අබේසේකර

මානව හිතවාදය සිය ජීවිත දැක්ම කර ගනිමින් මානව හිමිකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම සිය ජීවිත මෙහෙවර කරගත් සුනිලා අබේසේකර අකල්හි අප හැර ගියේ මෙයට වසර පහකට පෙර සැප්තැම්බර් මුලදීය. සුනිලා රෝගාතුරව සිටි ඇයගේ ජීවිතයේ අවසාන දින කිහිපය තුළ, 2014 මුල් භාගයේ දී  නෙදර්ලන්තයේ හේග් නුවරදී  ඇය හමුවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  සුනන්ද දේශප්‍රිය විසින් සිදුකෙරුණු පිලිසඳර ගණනාවක් ඇසුරින් මෙම සටහන ලියැවී ඇත. මෙහි දිගහැරෙන්නේ එහි පළමු ලිපියයි.  (සුනිලා අබේසේකර : ජීවිත පියසටහන් - 1)


මගේ සංස්කෘතික කලා ජීවිතයත් දේශපාලන ජීවිතයේම කොටසක්


ඔබ අහන්නේ මගේ ජීවිතයේ ප්‍රධාන දේශපාලන පැතිමානයන් ගැනනේ. අපි මේ විදිහට කතා කරමු. හරි,  සමාජ සාධාණත්වය සහ මානව දයාව ගැන මට ලොකු බැදීමක් තියෙනවා. මං ඇත්තටම ඒක මගේ ජීවිත ආදර්ශය විදිහට  පවත්වා ගන්න මං හැකි තරම් උත්සාහ අරං තියෙනවා. හිත උණුවෙලා අත දෙනවට වඩා මං කැමැතියි දේශපාලනිකව තත්වයක් තේරුම් අරගෙන මැදිහත් වෙන්න. ඒක එක අතකට මානව හිමිකම් දේශපාලනය අපේ ජිවිතය ඇතුළටම අරගෙන ඒමක් නේද? අහසින් පොළවට වගේ!


ජනවාර්ගික යුක්තිය සහ ස්ත්‍රී විමුක්තිය සම්බන්ධ පැතිමානයන් එක අතකට පුලුල් මානව හිමිකම් රාමුවෙ ම කොටසක් බව ඇත්ත. ඒත් මගේ දේශපාලන ජිවිතයේ එම පැතිමානයන් කැපී පෙනෙන වැදගත්කමක් අල්ල ගන්නව කියන එක හරි. ඒ වගේම  මගේ සංස්කෘතික කලා ජීවිතයත් දේශපාලන ජීවිතයේම කොටසක්.


මේ හැම ක්‍රියාකාරිත්වයක් ම විසින් මාව වෙනස් කරල තියෙනව‍. ඒ ක්‍රියාකාරිත්වයන් අතර සිය ගණන් කැපවූ ජනයා එක්ක මං ගමන් කරා. සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයන් විසින් එක අතකට අපවම වෙනස් කරනවා. වඩා නිවැරදිව කියනව නම් එවැනි ක්‍රියාකාරිත්වයන් විසින් අපේ අවබෝධය සහ ක්‍රියාකාරිත්වය ඉහළ තලයකට ගෙන යනව. අන්න එතකොට අපට  එම ක්‍රියාදාමයන්ට බලපෑමට සහ ඒවා හරි පාරට ගන්න හැකියාවක් ලැබෙනවා. මං හිතන්නේ සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයේ අන්‍යොන්‍ය අන්තර් සම්බන්ධය ඔය විදිහයි. ඉගැන්වීම කියන්නෙම ඉගෙන ගැනීමක්.


කාලය ඉඩ දුන්නොත් තවත් දේ ගැන කතා කරමු.


ඔබ කැරැල්ලට ගියා, මා ගියේ නැත්තේ ඇයි ?


මගේ වයසෙම තරුණ පිරිස් 1971 අප්‍රේල් මාසයේ රටේ දේශපාලනය වෙනස් කරන්න  දරපු උත්සාහය මට ලොකු කම්පනයක් වුණා.  1971 කැරැල්ල අපේ රටේ දේශපාලනයේ ඉතිහාසීය සන්ධිස්ථානයක් විදිහටයි මං සළකන්නෙ.


ඒ වුනත් පශ්චාත් අප්‍රේල් කැරැල්ලේ  මානව හිමිකම් දේශපාලනයට මා ඇදී ගියේ කවර හෝ එක් විශේෂ හේතුවක් නිසා කියල කියන්න බැහැ. ඊට බලපෑවේ රටේ තිබුණ පොදු දේශපාලන තත්වය. පස්සේ මං 71ට සම්බන්ධ සමහර පවුල් එක්ක ළගින් සම්බන්ධ වුණා, සිරගතව සිටි අය නිදහස් කරගැනීමේ ක්‍රියාදාමයන් එක්ක. ඒකත් බලපාන්න ඇති.


ඔබ දන්වානේ අපි එකම වසසේ. 1971 අප්‍රේල් මාසයේ මං උස්සපෙළ ඉගෙන ගනිමිනුයි උන්නෙ.  ඔබ කැරැල්ලට ගියා. මම ගියේ නැහැ. ඉතිං ඒක කොහොමද තේරුම් ගන්නේ කියල මට මගෙන් අහගන්න වුණා.


ඒ වගේම ඔබ දන්නවා, මං කොලඹ ඉස්කෝලේ ගිය මැද පන්තික කෙල්ලක්. ඉතිං මං අහලවත් තිබුනේ නෑ ගොනාපීනූවල, කහටගස්දිගිලිය වගේ ගම්වල නම්. මං 1971න් පස්සේ කාලයක් බර්නඩින් සිල්වා එක්ක වැඩ කරා, ස්වේච්චාවෙන්. ඒ සිර ගතවූ කැරලිකරුවන්ගේ පවුල්වලට උදව කරන්න. බර්නඩින් සිල්වා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක ව්‍යාපාරයේ (Civil Rights Movement of Sri Lanka) ආරම්භක සාමාජිකාවක්.


සිරගතවූ කැරලිකරුවන්ගේ පවුල් සොයා


1971 කැරැල්ල සම්බන්ධයෙන් සිරගත වූ තරුණ තරුණියන්ගේ  පවුල් හමුවෙන්න අප දෙන්න ගියා.  ඇය ඇගේ සම්බන්ධතා තොරතුරු අරන් කාරයකට නගිනවා. කොහොම හරි ඒ අය සොයා ගෙන යනවා. මොනවා වෙයි ද ප්‍රශ්න ඇතිවෙයි ද කියා ඇය සිතන්නේවත් නෑ. ඇයට තිබූණ එක අරමුණක්. මාත් ඇය එක්ක ඒ ගමන් බිමින් යන්න පටන් ගත්තා.


මේ 1970 දශකය  මැද කාලෙ. බර්නඩීන් ඒ වන විටත් කාලයක් ම මේ විදිහට උදව් අවශ්‍ය පවුල්වලට උදව් කරල තිබුණා. සමහර පවුල් හිටියේ හුඟාක් දුෂ්කර තත්වයක. ඒ වගේම ඔවුන් බයෙන් උන්නෙ. ඉතිං අප එවැනි පවුල්වල අයට කිව්වා ඔබ කොලඹ ආවහම ඇවිත් අප හමුවෙන්න එන්න. අප පුළුවන් උදව්වක් කරන්නම් කියල. අවශ්‍ය ගමන් ගාස්තු සොයා දෙන්නත් බර්නඩීන් පොරොන්දු වුණා. නවතින්න නවාතැන් සොයා දෙන්න පුලුවන් බවත් අප කිව්වා. මේ මාපියන්ට සහ ඥාතීන්ට සිර ගත වූ සිය දරුවන් බලන්න කොලඹට ම එන්න වුණා. දන්නවනේ, 1975 විතර වෙන කොට සිර ගෙවල්වල ඉතිරිව සිටි ජවිපෙට සම්බන්ධ බහුතරය රඳවා තිබුණේ මැගසින් බන්ධනාගාරයේ.


ඔන්න ඔය විදිහට මං මේ පවුල් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. ඒ වගේම සමහර කැරලිකරුවන් බලන්න මං සිරගෙවල්වලටත් ගියා. මුලින් කිව්ව වගේ පවුල් එක්කත් ඇයි හොඳයිකම් වර්ධනය වුණා.


උදාහරණයක් විදිහට පාලිත ශාම්දාස් පවුල. පාලිත ශාම්දාස් සිරගත වෙලා සිටියෙ. ඔහු නිදහස් කරගන්න ඔහුගේ සොයුරියක් හුඟාක් මහන්සි වුණා. මට අවස්ථාවක් ලැබුණ හිර ගෙදරට ගිහින් ඔහු බලන්නත්. ඔවුන්ගේ පවුල විශාලයි. ඔවුන් හරහා පස්සේ මං මානෙල් රත්නායක හඳුණ ගත්තා.


මං දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බවට මේ කාලයේ අදහසක් ඒ අයට ඇතිවෙලා තිබුණ. සිරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානීන් සමහරෙක් දේශපාලන වශයෙන් වැඩ කරන්න එන්නැයි මට යෝජනා කරා.



මරණ දණ්ඩනයට එරෙහිව ජවිපෙ සමඟ


ඒත්, මං හිතන්නේ ඒ දවස්වල මගේ වැඩි බර තිබුණේ සිවිල් අයිතිවාසිකම් පෙරමුණ එක්ක මානුෂීය වැඩ කරන්න. මරණ දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් ඉන් මුදා ගැනීම වගේ. ‘මරණ දණ්ඩනයට විරුද්ධ ව්‍යාපාරය’ නමින් වැඩ සටහනක් සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක පෙරමුණට තිබුණ. සමහර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පවා මරණ දණ්ඩනයට නියම වෙලා තිබුණ. අපට අවශ්‍ය වුනා ඔවුන්ට මරණ දණ්ඩනය වෙනුවට වෙනත් දඩුවමක් ලබා දෙන ලෙස තර්ක කරන්න. මං ඒ  ව්‍ය‍ාපාරයට ඇදිල ගියා.


ඒ විතරක් නොවෙයි, ඊට කලින් කැරැල්ල සම්බන්ධයෙන් සිරගත කර තිබූ ලේඛකයින් නිදහස් කර ගැනීමටත් ව්‍යාපාරයක් තිබුණ. කරුණාසේන ජයලත්, ජයසේන ජයකොඩි වගේ ලේඛකයින්  අත්අඩංගුවට අරං තිබුණ. තවත් ව්‍යාපාරයක් තිබුණ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ පෙත්සමක් අත්සන් කිරීමට. මං මේ වැඩවලට බරට ම සම්බන්ධ වුණා.


1977 දී අගමැති පදවියට පත් ජේ.ආර්. ජයවර්ධන සිර දඬුවම් ලබා සිටි ජනතා  විමුක්ති පෙරමුණේ නායකයින්ට සමාව දීලා නිදහස් කළානෙ. ඉන් පස්සේ ජවිපෙ ප්‍රසිද්ධියේ දේශපාලන වැඩ කරන්න පටන් ගත්ත‍.


මේ කාලයේ ජවිපෙට අවශ්‍ය වුණා සිවිල් සමාජ වේදිකාවක් නිර්මාණය කර ගන්න. නමුත්, එය කළ හැක්කේ කෙසේද කියල ඔවුන්ට අදහසක් තිබුණෙ නැහැ. ඒ වුණත් එවැනි වේදිකාවක් වැදගත් සහ වැඩදායක යැයි අලුත් පිළිගැනීමක් ඔවුන් අතර තිබුණ.


ආරම්භයේදී ඔවුන් බාලා තම්පෝ සමඟ වැඩ කරන්න පටන් ගත්ත. ජනතා විමුක්ති පෙරමුණ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක පෙරමුණේ රෙජී සිරිවර්ධන සහෝදරයා සමඟ ඉතා සමීපව වැඩකරමින්  මානව හිමිකම් සංවිධානය (Human Rights Organisation – HRO එච්ආර්ඕ) නමින් එවැනි වේදිකාවක් ගොඩ නැඟුව.


විවිධ අය එක්ක එක්වී ජවිපෙ එච්ආර්ඕ එක හැදුවේ අන්න ඒ විදිහට. මට මතක හැටියට එච්ආර්ඕ එකේ මුල් රැස්වීම‍ට රෙජී සිරිවර්ධන, බාලා තම්පෝ සහ එච්.ඒ. සෙනවිරත්න යනාදීන් පැමිණ සිටියා.මං දන්න තරමට ලයනල් බෝපගේ තමයි එය හදන්න ක්‍රියාකාරීව මැදිහත් වුණේ.


ඒ  කාලයේ ම, ඒ කියන්නේ 1977න් පස්සේ  දිගටම ඇති වූ වාර්ගික ගැටුම් නිසා ම දෙමළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට මර්ජ් නොහොත් ‍‘ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය’ බිහිවුණා. ජවිපෙ වෙනුවෙන් මර්ජ් ව්‍යාපාරයටත් බෝපගේ සම්බන්ධ වී තිබුණා.


1980 සමස්ත මහා වැඩ වර්ජනය පරාජවීමෙන් පස්සෙ වර්ජක අයිතීන් ආරක්ෂා කිරීමේ අරමුණෙන් ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරය නොහොත් එම්.ඩී.ඩී.ආර්. බිහිවුනා. රැකියා අහිමි වූ වර්ජකයින් එහි මූලිකත්වය ගත්ත‍.


මා හිතන්නේ 1970 ගණන් අග සහ 80 ගණන් මුල් කාලය කියන්නේ සිවිල් සමාජ සහ වාම කණ්ඩායම් සහ සමාජයේ ක්‍රියාකාරී වෙනත් පිරිස්, මානව හිමිකම් භාෂාවේ වැදගත්කම තේරුම් ගත් කාලයක් කියල යි. ඇත්තට ම එය දේශපාලනිකව යහපත් වර්ධනයක්. ඔවුන් තේරුම් ගනිමින් සිටියා සැබෑ වාම පක්ෂ නැති  එමෙන්ම දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා අවකාශය පටුවෙමින් තිබූ මර්දනකාරී තත්වය යටතේ මානව හිමිකම් භාෂාව ප්‍රගතිශීලී සහ වාම අදහස් පෙරට ගෙන යාමට මාවතක් සපයන බව‍.


ඒ ඓතිහාසික මොහොතකි


ඒ අතින් 1970 ගණන් මැද භාගයේ සිට 80 ගණන් මුල් කාලය දක්වා ශ්‍රී ලංකාවේ ඇති වූ ඓතිහාසික මොහොතක් බවයි මා හිතන්නේ. මෙම කාලයේ ම තමයි ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආවේ. ඒ වාගේම දහස් ගණනාවක් රැකියාවලින් දොට්ට දමා 1980 සමස්ත මහා වැඩ වර්ජනය දරුණු මර්දනයක් මගින් පරාජය කර තිබුණා.  1979 යාපනයේ හදිසි නීතිය පැනවුණා. 1981 යාපනයේ මර්දනකාරී විශාල යුද මෙහෙයුමක් සිදු කෙරුණා. දෙමළ තරුණයින්ගේ ඔළු කඳින් වෙන් කරල පාරවල දාල තිබුණ. ඔන්න ඔය වගේ සමස්ත මර්දනකාරී කාල පරිච්ජේදයක පසුබිම ඇතිව තමයි විවිධ සමාජ කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් රැක ගැනීම සඳහා  මානව හිමිකම් භාෂාව යොදා ගන්නට පටන් ගත්තේ. මාත් මෙ සියලු ක්‍රියාවලීන් එක්ක විවිධ විදිහට සම්බන්ධ වෙලා හිටිය. ඇත්තටම මේ මගේ ජ‍‍ීවිතයේ වැදගත් කාල පරිච්ජේදයක්.


සිරගතව සිටි කැරලිකරුවන්ගේ පවුලවලට උදව් කිරීම හරහා ඇතිවුණ  සමහර සමාජ සම්බන්ධකම් අද වනතුරුම පැවැතිලා තියෙනව‍. සමහර සම්බන්ධකම් ශක්තිමත් පුද්ගලික සම්බන්ධකම්  බවටත් පත්වුණා. ඔබ දන්වානෙ කෙලී සේනානායක එක්ක මට තිබුණ සමීප සම්බන්ධකම. ඔහු නිදහස් වුණාට පස්සේ ආව මාව මුණ ගැහෙන්න. ඔහුට අවශ්‍ය වී තිබුණා ජවිපෙ ආරම්භ කරන්න යන ඉංග්‍රිසි භාෂා පුවත්පත ගැන මාත් එක්ක කතා කරන්න.


ඒ වගේම අනෙක් පැත්තෙන් පැට්රික් ප්‍රනාන්දුයි වසන්ත දිසානායක යි ආව ජනතා සංගමය සහ ජවිපෙ සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණ විවේචනය ගැන මාත් එක්ක කතා කරන්න. මට මතකයි පැට්රික් ආවේ ‘ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙක’ කියන ලෙනින්ගේ න්‍යායාත්මක පොතත් අරගෙනයි! හා හා ඒ දවස් එක්තරා විදිහකට හරිම සුන්දරයි!


මට මතකයි ඇල්පිටියේ ඌරගහ පවුලක් හිටියා. ජවිපෙ සාමාජිකයෙක් වූ ඔවුන්ගේ පුතාට මරණ දණ්ඩනය ලැබිල තිබුණා. අවාසනාවකට වගේ පස්සෙ කාලෙ මට ඒ පවුල එක්ක සම්බන්ධය සම්පූර්ණයෙන්ම නැති වී ගියා.  ඒ පවුලේ  ඔහුගේ සහෝදරිය සිය සහෝදරයා බලන්න හෝ නීති කටයුතු වලට හෝ කොළඹ ආ හැම විටම අපේ ගෙදර ඇවිත් නැවතිල යි ආපහු ගියේ. කොලඹ ඇවිත් එදාම ආපහු යන ගමන ඔවුන්ට අමාරු එකක්. ඇය හරහා තමයි මා  කරන්දෙනියේ ධර්මදාස ජයසිංහ පවුල හඳුනගත්තෙ.


අපේ සමාජ සාධාරණ න්‍යාය පත්‍රය


ඔව්, ඒ දවස්වල මා ස්වෙච්චාවෙන් පුර්ණකාලීනව වැඩ කළා.  ඔබ දන්නවා ද මට හරිම වැදගත් තේරුම් ගැනීමක් මේ කාලය පිළිබඳව තිබෙනවා. මේ අප කතා කරන  සමස්ත ක්‍රියාවලියම ආරම්භ වුණේ සමාජ සාධාරණය උදෙසා වූ න්‍යාය පත්‍රයක් ඇතිව. නමුත්, ඒ සමාජ දේශපාලන වාතාවරණය යටතේ යම් විදියකට හෝ සමාජ සාධාරණය ගැන කතා කරන්නට අවස්ථාවක් ලැබුණේ මානව හිමිකම් හරහා  පමණ යි. නූතන ලෝකයේ මානව හිමිකම් කතිකාව ආරම්භ වුණේ හුදෙක් ලිබරල් සංකල්පයක් විදිහටනේ. එයින් කියැවුනේ සිවිල් සහ සමාජ අයිතිවාසිකම් මුල් කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජ ගිවිසුම යනාදිය ගැනනේ. ලිබරල් ප්‍රජාත්නත්‍රවාදී රාමුව ඇතුලේ මානව හිමිකම් කතිකාව හිරවෙලයි තිබුණේ.


නමුත්, යම් අවස්ථාවක දී ශ්‍රී ලංකාවෙ දි වගේ ම තවත් අපේ වැනි රටවල දී මානව හිමිකම් සමාජ සාධාරණය ගැන කතා කරන වචන සහ භාවිතය බවට පත්වුණා. අපේ තරුණ කාලය දී  තමයි මේ වෙනස ලංකාවේ ඇති කරන්න පුලුවන් වුණේ. ඒ වගේ ම වෙනත් රටවල දී ත්, උදාහරණයක් ගත්තොත් දකුණූ අප්‍රිකාවේ වර්ගවාදී විරෝධී අරගලය ඇතුලේ ඒ වෙනස සිදුවුණා. ඇත්ත වශයෙන් ම මානව හිමිකම් කතිකාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අර්ථය ඉක්මවා යන්න අප සමත්වුනා. ඒක ජයග්‍රණයක්.


1980 වැඩ වර්ජනය බිදවැටීම, 1983 කලු ජූලිය වගේ සිදුවීම් සමාජ ව්‍යාපාරයන්ට දරුණු පරාජයන් බවට පත් වුණා. නමුත් සම්ප්‍රදායික වාමාංශය ඒ හිඩස පුරවන්න සමත් වුණේ නැහැ. ඔවුන් කිසිම දෙයක් කළේ නැහැ. ඒක ලැජ්ජා සහගත වාර්තාවක්. මානව හිමිකම් කතිකාව සමාජ සාධාරණය පිළිබද දේශපාලනයක් බවට පත් වුණේ එවැනි තත්වයක දී. අප වැනි පිරිස් හරහා තමයි එම නව දේශපාලනය වැඩී ආවේ.


පිළිසඳර සුනන්ද දේශප්‍රිය විසිනි


වීඩියෝ දර්ශන උපුටා ගැනීම - The Women and Media Collective


 

කැරැල්ලෙන් ඉතිරි වුණ දක්ෂයින් ජවිපෙත් එක්ක නැහැ

සාකච්ඡා කළේ වෛද්‍ය රුවන් එම් ජයතුංග

අජිත් පැරකුම් ජයසිංහ ලේඛකයෙකු , බ්ලොග් රචකයෙකු , ගුරුවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරී පුද්ගලයෙකි. ඔහු කුප්‍රකට එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. නොබෝදා ඔහු තමන් ගේ අත්දැකීම් අළළා පොතක් පළ කලේය. මේ අජිත් පැරකුම් ජයසිංහ සමග කෙරෙන සංවාදයයි.

1) කේ පොයින්ට් හෙවත් එළියකන්ද පිලිබඳ කතිකාවක් වර්තමානයේ අවශ්‍ය වන්නේ මන්ද?

1960 ගණන්වලින් පස්සෙ ලංකාවෙ සෑම දශක දෙකකට ම වරක් වගේ තරුණ සංහාර සිදු වී තිබෙනවා. එයට හේතුව තමයි තරුණ කැරැලි. 2009 තරුණ සංහාරයෙන් පසු දැන් අවුරුදු 10ක් ගත වෙමින් තිබෙනවා. දකුණේ ශිෂ්‍ය ව්‍යාපාරය හරහා වගේ ම උතුරේත් ජාතිකවාදී ව්‍යාපාර හරහා තරුණ දේශපාලනයේ අලුත් ප්‍රවණතා මතු වී තිබෙනවා. දිගන, අම්පාර වැනි තැන්වල වාර්ගික කෝලාහලවලදීත්, ආවා ගෘප් වැනි උතුරේ ප්‍රචණ්ඩ කල්ලිවලත් ඉන්නේ තරුණයන්. තරුණ දේශපාලනය හා තරුණ ප්‍රචණ්ඩත්වය පිළිබඳ මම උනන්දු වන්නට හේතුව තමයි, තවත් තරුණ පරම්පරාවක් විනාශය කරා යොමු වීම වැළැක්විය යුතු යයි මා සිතන එක. මම තරුණ දේශපාලනයට කැමතියි. හැබැයි, තවත් තරුණ පරම්පරාවක් විනාශ නොවන දේශපාලනයක් වෙනුවෙන් විතරයි මා පෙනී ඉන්නෙ. විනාශ වෙච්ච තරුණ පරම්පරා තුනකත්, ඔවුන් අතින් විනාශ වුණ සෙසු අයගේත් ජවය අහිමි වීම නිසා තමයි ලංකාව අද මේ තත්වයට පත් වී සිටින්නෙ. එය නැවත සිදු විය යුතු නැහැ.

2) එළියකන්ද පිලිබඳ මුලින්ම කතා කරන්නේ රෝහිත මුණසිංහ. රෝහිත මුණසිංහගේ එළියකන්ද වද කඳවුර පොතේ ඔබ විසින් ලියන ලද පොත අතර යම් පරස්පරතා තිබෙනවාද ?
මේ පොතේ කතුවරයා මේ වන විටත් මා සම්බන්ධයෙන් පූර්ව නිගමනවලට පැමිණ ප්‍රකාශ සිදු කර තිබෙනවා. ඒ නිසා මා ඒ ගැන කතා කරන්නට කැමති නැහැ. පොදුවේ කතා කළොත්, සිදුවීම් අධිසංවේදීකරණය හා භාවාතිෂය ලෙස ප්‍රතිනිර්මාණය කිරීම කලාත්මක වශයෙන් නම් උසස් යයි මා සිතන්නේ නැහැ. මා ලියන්නේ නවකතා නිසාත්, මගේ සංවාදය ඉදිරියට ගෙන යන්නේ ඒ ඔස්සේ නිසාත් මා එයින් වළකින්නට උත්සාහ කරනවා. දේශපාලනික ප්‍රචාරණයන් හෙවත් ප්‍රොපගැන්ඩාවන් වෙනුවෙන් භාවාතිෂය ඉදිරිපත් කිරීම් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එහෙත්, මා උත්සාහ කරන්නේ යථාර්ථය ඊට වඩා ගැඹුරින් ස්පර්ශ කරන්නටයි. නවකතාව ප්‍රබන්ධ සාහිත්‍යයට අයිති වුණාට භාවාතිෂය ප්‍රබන්ධ කරන එක හොඳ නවකතාවක හෝ ලක්ෂණයක් නෙමෙයි.

3) 1988 - 89 ඒ භීෂණ යුගයේදී ඔබ වැනි ගැටවරයන් ජවිපෙ රැඩිකල් දේශපාලනය වෙත ආකර්ශණය වන්නේ කෙසේද?

ඒ වකවානුවේ තරුණ අසහනයක් තිබුණා. එක පැත්තකින් එජාප ආණ්ඩුව ප්‍රජාතාන්ත්‍රික මාවත් වසා දමලායි තිබුණෙ. 1983 කළු ජූලිය පසුබිම් කරගෙන එයට කිසිදු සම්බන්ධයක් නැති ජවිපෙ තහනම් කිරීම කියන්නෙ තරුණ දේශපාලනයට එජාප රජයේ ප්‍රතිචාරය සංකේතවත් කළ සිද්ධියක්. අපි ජවිපෙ එක්ක වැඩ කරන්නට පටන් ගත්තෙ ඒ තහනමට විරෝධයක් විධියටයි. 1980 වර්ජනයෙන් පස්සෙ වෘත්තීය සමිති ව්‍යාපාරය බිඳ වැටිලායි තිබුණෙ. 1982දි ජනමතවිචාරණයක් මගින් මහමැතිවරණය කල් දාලා තිබුණෙ. ඒ බලු වැඩේ නොකළා නම් සමානුපාතික නියෝජනය යටතෙ ජවිපෙට පාර්ලිමේන්තු නියෝජනයක් ලැබෙන්නෙ 1982දි. ඒ තත්වය සන්නද්ධ අරගලයක් ඔස්සේ සමාජවාදී විප්ලවයක් පිළිබඳ අදහසට උත්තේජනයක් වුණා. 1987 ඉන්දු ලංකා ගිවිසුම ජවිපෙට බහුජන කැරැල්ලකට කදිම අවස්ථාවක් සැපයුවා. ඉන් පසු සිදු වුණ දේවල් ඒ වකවානුවේ දේශපාලන ගතිකයන් විසින් හසුරුවන ලද තත්වයන් මිස කලින් සැලසුම් කර තිබුණු දේවල් නෙමෙයි. ඒ කැරැල්ල ගියේ කැරැල්ල හා මර්දනය විසින් තෝරා දුන් පාරවල් දිගේ. ඒක ඒ වකවානුවේ ජනප්‍රිය දේශපාලනය. හැබැයි, මම නම් ජවිපෙ පූර්ණකාලිකයෙකු වුණේ ජවිපෙ තහනම් කරලා, බිඳවැටිලා තිබුණු 1984 වගේ අවධියකයි. ඒ වන විට ජවිපෙ හිටපු බොහෝ අය බිය නිසා පක්ෂය අතහැර දමලායි තිබුණෙ. මට නම් මුලින් ම උවමනා වුණේ මේ පක්ෂය නැවත හදන්නටයි.

4) මේ 1988-89 ජවිපෙ රැඩිකල් දේශපාලනය වෙත ආකර්ශණය වී ජීවිත විනාශ කර ගත් පිරිස කපටීන්ට රැවටුණු හිත හොඳ මෝඩයන් ලෙස ඇතැම් විට හඳුන්වනු ලබනවා. මේ ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක්ද?

ඒ පිරිස හිත හොඳ පිරිසක් බව ඇත්ත. ඒත් මෝඩයන් නෙමෙයි. වැඩිදෙනෙකු ජවිපෙ එක්ක වැඩ කළේ රැල්ලට ම විතරක් නෙමෙයි. ජවිපෙ පන්ති කළා. දේශපාලන සාකච්ඡා කළා. පවත්නා තත්වය විග්‍රහ කළා. පැවති වාතාවරණය ප්‍රජාතාන්ත්‍රික නොවන එකක් බව කවුරුත් දැන සිටියා. එජාපයේ ඒකාධිපතිත්වයට සමාජයෙන් තිබුණු විරෝධය මතු වුණ ප්‍රධාන ආකාරයක් තමයි කැරැල්ල. එතනදී ජවිපෙ නායකත්වයේ දේශපාලන අපරිණතකමත්, ආණ්ඩුවේ කෘරත්වයත් නිසා තරුණ ජීවිත රැසක් විනාශ වුණ බව ඇත්ත. ඒත්, ඔවුන් විසින් සමාජයට ඉතිරි කර ගිය අත්දැකීම්, පාඩම් සම්භාරයක් තියෙනවා. ඔවුන් විනාශ වුණේ පාලනයේ කෘරත්වය හා නායකත්වයේ මුග්ධත්වය නිසා.

5) එදා ඔබලාට පන්ති කල සමහරක් නායකයන් ජනතා මුදල් සොරකම් කොට මහා මන්දිර තනාගෙන පාස් පෝට් දෙක තුන තබාගෙන ජීවත් වෙනවා. ඔබලා එදා ජීවිත පරිත්‍යාගයෙන් ගියේ මේ වගේ දෙබිඩි නායකයන් විශ්වාස කරගෙනද?

අද ඉන්න ජවිපෙ නායකයන්ගෙන් මට පන්ති කළ අය ඉන්නෙ ටිල්වින් සිල්වා විතරයි. ඔහු එහෙම කර නැහැ. ඔබ ඔය නම සඳහන් නොකරන නායකයා ඒ කාලෙ මා යටතෙ වැඩ කර තිබෙනවා. මට නම් නායකයන්ට වඩා වැදගත් වුණේ ඒ දැක්ම හා උපායමාර්ගයයි. විප්ලවවාදී පක්ෂයක් ගොඩනගලා එම පක්ෂයට බලය ගැනීමෙන් සමාජ විප්ලවයක් සිදු කළ හැකියි කියා මා ඒ දිනවල විශ්වාස කළා. මගේ විශ්වාසය වුණේ ඒක මිසක් නායකයන් නෙමෙයි. ඒ නිසා මම නම් මේ සම්බන්ධයෙන් කාටවත් දොස් කියන්නෙ නැහැ. මේ කාරණය මට විතරක් නෙමෙයි වෙනත් බොහෝ දෙනෙකුටත් අදාළයි. ඒ නිසා එක් වකවානුවක නායකයන් වූ අය පරිහාණියට පත් වෙනවා ය කියන එක මේ වගේ ව්‍යාපාරවලට එච්චර අදාළ නැහැ. පිටින් බලන අය ඒවා ප්‍රවර්ධනය කළාට ඒවා ඇතුළට දැනෙන්නෙ සීමා සහිතවයි.

6) එදා ව්‍යාපාරයේ සිටි සමහරක් ඝාතන මෙන්ම මංකොල්ලකෑම් කොට ඒ ධනයත් රැගෙන ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වගේ රට වලට පැන ගොස් යලිත් වරක් තව තරුණ පරම්පරාවක් ගඟ දිගේ යැවීමට උත්සහ ගන්නවා. මේ ගැන ඔබගේ අදහස?

විදේශවල සුරක්ෂිත පරිසරයන් ඇතුළෙ ඉඳගෙන ලංකාවේ තරුණයන් අවදානමට ඇද දමන දේශපාලනය කියන්නෙ වර්තමාන තොරතුරු යුගයෙ අලුත් ප්‍රවණතාවක්. මේ සම්බන්ධයෙන් එල්ටීටීඊ අත්දැකීම හරිම වැදගත්. මේ විදෙස්ගත ප්‍රජාවේ රැඩිකල් බලවේග අවසානයේදී මෙරට මහපොළෙවේ සටන් කරපු මිනිසුන්ව හුදකලා කර දැම්මා. හැබැයි, මොවුන් සතු මුදල් බලය නිසා ඔවුන්ට ලංකාවේ අදත් බලයක් තිබෙනවා. ලංකාවේ ව්‍යාපාරවලට සල්ලි ටිකක් විසි කරලා තමන්ගේ අරමුණු වෙනුවෙන් මෙහෙ මිනිසුන්ව කඩේ යවාගෙන වෙන දේ අන්තර්ජාලයෙන් බලමින් ඩ්‍රින්ක් එකක් දාන්න ඔවුන්ට පුළුවන්. ලංකාවේ තරුණයන් මේකට අහුවෙනවා. ශ්‍රමය පිළිබඳ ආකල්පත් මෙතනදි වැදගත්. මම සමාජවාදය ජීවන විලාසයක් ය කියන ආදර්ශ පාඨය ප්‍රවර්ධනය කරන කෙනෙක්. මං දැන් අවුරුදු 13ක් විතර කාලයක් දේශපාලන සංවිධානවලට සම්බන්ධ නොවී ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන මාධ්‍ය, ලේඛන හා දේශපාලන ව්‍යාපාරයක් කරගෙන යනවා. මං මුලින් ම කරගත් දේ තමයි ආර්ථික ස්වාධීනත්වය නිර්මානය කර ගත් එක. මම කිසිදු සංවිධානයක අරමුදල් මත යැපෙන්නෙ නැහැ. මං වැඩ කරනවා. දවසට පැය 18ක් විතර වැඩ කරන කාලවකවානුත් තියෙනවා. පැය හයක් සමාජ කටයුතුවලට දෙන්න පැය 12ක් ශ්‍රමය වගුරුවන්නට වෙනවා. අපි දරු පවුල් නඩත්තු කරන්නත් ඕනැනෙ. දේශපාලනය කරන්නට කලින් වැඩ කරන පුහුණු ශ්‍රමිකයෙකු වෙන්නට ඕනැ. ව්‍යාපාර හදන්නට කලින් තමන් වැඩ කරලා ඒ ධනයෙන් සමාජ වැඩ කරන්නට ඕනැ. ව්‍යාපාර ඇතුළෙ වුණත් තමන්ගෙ භූමිකාව තමන්ට තුලනය කරගන්නට පුළුවන් වෙන්න ඕනැ. තරුණයන් මේ කාරණය තේරුම් නොගෙන සමාජය වෙනුවෙන් වැඩ කරන්නට ව්‍යාපාර, සංවිධාන, පක්ෂ ආදිය සමග හිස් අතින් එකතු වෙනවා. ශ්‍රම කුසලතා නැහැ. ඉතින් බත්පත, නවාතැන, සිගරැට් එක, අරක්කු ෂොට් එක, ඇඳුම, සපත්තු කුට්ටම පවා සංවිධාන එක්ක සම්බන්ධ වෙනවා. සංවිධාන විසින් පුද්ගලයා නැටවෙන එක විධියක් තමයි ඔය. එතනදි ඩයස්පෝරාවලට බලයක් හැදෙනවා. මට කියන්න තියෙන්නෙ මං වගේ පුහුණු ශ්‍රමිකයෙකු වෙලා ආර්ථික වශයෙන් ස්වාධීන වෙන්න උත්සාහ කරන්න. තමන්ගෙ දේශපාලනය තමන්ගෙ ශක්තිය මත පිහිටුවාගෙන සමාජයට යන්න. එතන ඉඳලා පුළුල් වෙන්න.

7) වරක් ඔබ ප්‍රකාශ කලා රෝහණ විජේවීර, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී, ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියා. මොවුන් විසින් කරන ලද ක්‍රියාවන් පිලිබඳව සමබර කතිකාවක් ගොඩ නැගුනේ නැත්තේ මන්ද?

මේක මං කලින් කියපු අධිසංවේදීකරණය සමග සම්බන්ධයි. අතීතය සමහරුන් රොමැන්තික් අතීතකාමයක් කරගන්නවා නේ. මං උදාහරණෙකින් පැහැදිලි කරන්නම්. මට කියන්නට පුළුවන් මං කැරැල්ලෙදි ඔක්කොම හොඳ වැඩ විතරයි කළේ, නරක වැඩ කරපු අය ඔක්කොම මළා, මාව රඳවා තියාගත්තෙ මහ අසාධාරණ විදියට, මට දෙතිස් වධයම දුන්නා, මං වීරයෙකු වගේ දරාගෙන හිටියා, මගෙ කොණ්ඩෙ අඩු වයසින් ඉදුණෙ ඒ කාලෙ විඳපු දුක් හින්දා, ඇස් පෙනීම අඩු වුණේ මාස අටක් ඇස් බැඳන් ඉඳපු හින්දා වගේ ඒවා. ඒකට තමයි මම කියන්නෙ මේ කරුණු භාවාතිෂය ලෙස ඉදිරිපත් කරන එක ය කියලා. ඒවා එහෙම භාවාතිෂය ලෙස ඉදිරිපත් කරන්නන්ට ඉහත නම් කියපු අය ඒ ස්වරූපයෙන් අවශ්‍යයි. ඒ අය ගැන අලුත් කියවීමකට ගියොත් තමන්ගෙ පදනම බිඳෙනවා. ඉතින් කොහොමද සමබර කතිකාවක් හැදෙන්නෙ. මම ඒකට උත්සාහයක් දරනවා. ඒකට එන පළමු ප්‍රතිචාරය තමයි, ප්‍රතික්ෂේප කරන එක. මගේ ශාස්තෘ නවකතාවට ඒක වුණා. හැබැයි මං අරගලය අතහැරියෙ නැහැ. අපි බලමු ඉස්සරහට.

8) 1988-89 කාලයේ ඔබ සමග ව්‍යාපාරේ සිට මිය ගිය සගයන් ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ඔවුන්ටත් මට වගේ ජීවත් වෙන්නට අවස්ථාව ලැබුණා නම්, ඔවුන්ගෙන් ඇතැමෙකුගෙන් හරි සමාජයට සාධනීය දෙයක් ලැබෙනවා නේ ද? මං අඩු ගානෙ සාහිත්‍යයට හරි මොකක් හරි අන්තර්ගතයක් එකතු කරන්නෙ මට ජීවත් වෙන්නට අවස්ථාව ලැබුණු නිසානේ. ඒ අතරෙ තව කොච්චර දක්ෂයන් හිටිය ද? එඩිතර මිනිසුන් හිටිය ද? ඒ ජීවය, ජවය අහිමි වුණේ සමාජයට.

9) ඔවුන් අද දිනයේ ජීවත්ව සිටියා නම් වර්තමාන ජවිපෙ ගැන කුමන අදහසක් දරයිද?

කැරැල්ලෙන් ඉතිරි වුණ දක්ෂතා තියෙන අය වැඩිදෙනෙක් අද ජවිපෙත් එක්ක නැහැ නේ. මං හිතන්නෙ මැරුණු අය හිටියානම් ඒත් ඒක තමයි වෙන්නෙ. හැබැයි, මැරුණු ඇතැම් නායකයන්ගෙ ලක්ෂණ නිසා මීට වඩා මුළුමනින් ම වෙනස් තත්වයන් නිර්මාණය වෙන්නත් තිබුණා. හැබැයි, ඒ නායකයන් හැමෝම එක වගේ නොවන නිසා අපට ඔවුන්ගේ මැදිහත් වීමෙන් නිර්මාණය වන්නට තිබුණු හැඩතල ගැන හිතාගන්නට බැහැ.

10) යලිත් 1988-89 යුගයක් ඉදිරි අනාගතයේ ඇති විය හැකිද? එවැනි තර්ජනයක් අපගේ සමාජය අභියස තිබෙනවාද?

ඉතිහාසය පුනරුච්ඡාරණය වෙච්ච අවස්ථා ඕනැ තරම් තිබෙනවා. හැබැයි, ඒවා ගුණාත්මකව වෙනස් සිදුවීම්. එවැනි අර්බුදකාරී යුගයක් නැවත උදා වෙනවා ද කියන එක තීරණය වෙන්නෙ සමාජ බලවේග පෙළගැහෙන ආකාරය අනුවයි. ලංකාවෙ එවැනි අවදානමක් තිබෙනවා. හැබැයි, ඉතිහාසෙන් එකම පාඩම නැවත, නැවත ඉගෙන ගන්නට ඕනැ නැහැ. ඒ නිසා තමයි අපට සාහිත්‍යයක්, කලාවක් වැදගත් වෙන්නෙ. ශාස්ත්‍රීය සම්භාෂණවලට වඩා කලාවෙන්, සිනමාවෙන්, නවකතාවෙන් ඇතිකරන්නට පුළුවන් සමාජ කතිකාව ප්‍රබලයි. මං මගේ අත්දැකීම ඒ සැටියෙන් ලියන්නට උත්සාහ කරන්නෙ ඒක පොදු සමාජ අත්දැකීමක් බවට ස්ථාපිත කරන්නටයි. ඒක ඉගෙන ගන්නට තව කවුරුහරි ඒ අත්දැකීම ඒ විදියට ම ලබන්නට ඕනැ නැහැ.