ඉස්සර බොහෝ සිංහල ගම්වල දෙමළ අයගේ පොඩියට හරි කඩ තිබුණා. දැන් ඒවා අඩු වුනාට ඉස්සර එහෙම නෙවෙයි. කොයි සිංහල ගමකට හෝ ගියහොත් දෙමළ කෙනෙකුගේ සුරුට්ටු කඩයක් හරි ඒ දවස් වල තිබුණා.

ඉස්සර බොහෝ සිංහල ගම්වල දෙමළ අයගේ පොඩියට හරි කඩ තිබුණා. දැන් ඒවා අඩු වුනාට ඉස්සර එහෙම නෙවෙයි. කොයි සිංහල ගමකට හෝ ගියහොත් දෙමළ කෙනෙකුගේ සුරුට්ටු කඩයක් හරි ඒ දවස් වල තිබුණා.

තමන්ට සිරගත කර සිටින කැප්පෙටිපොළ, අවස්ථා කිහිපයකදීම හමුවුණු බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් කියනවා. ඒ අවස්ථාවලදී තමන් වැරැදි දෙකක් කළ බව කැප්පෙටිපොළ මාර්ෂල්ට කියනවා.
| ගෝඨාබය රාජපක්ෂ |
කැරැල්ල පටන් ගත් පසු කෑගල්ල. දෙනියාය. වගේ ප්‍රදේශ වල පොලිස් ස්ථාන විනාශ කලා. ඇතැම් විට පොලිස් නිලධාරින් මරා දැමුවා. ඇල්පිටිය පොලිස් ස්ථානය ජයතිස්ස නම් ගුරුවරයකුගේ නායකත්වයෙන් යටත් කොට විප්ලවේ කොඩිය පවා දැම්මා.
මානව හිතවාදය සිය ජීවිත දැක්ම කර ගනිමින් මානව හිමිකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම සිය ජීවිත මෙහෙවර කරගත් සුනිලා අබේසේකර අකල්හි අප හැර ගියේ මෙයට වසර පහකට පෙර සැප්තැම්බර් මුලදීය. සුනිලා රෝගාතුරව සිටි ඇයගේ ජීවිතයේ අවසාන දින කිහිපය තුළ, 2014 මුල් භාගයේ දී නෙදර්ලන්තයේ හේග් නුවරදී ඇය හමුවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් සිදුකෙරුණු පිලිසඳර ගණනාවක් ඇසුරින් මෙම සටහන ලියැවී ඇත. මෙහි දිගහැරෙන්නේ එහි දෙවන ලිපියයි. (සුනිලා අබේසේකර : ජීවිත පියසටහන් – 2)
සරමකුයි, ටී ෂර්ට් එකකුයි ඇඳන් හිටි ඒ සරසවි සිසුවා සිවරාම්
මං හිතන්නේ 1971 වගේම 1983ත් මට කම්පනයක් ගෙන ආව කියලයි. එක අතකට 1983 කළු ජූලිය සිද්ධ වුනේ අපේ ඇස් ඉස්සරහ.
ඔබ දැන් සිවරාම් ගැන මතක් කරානෙ. ඒ 1983 ගැන මට ලැබුණ හොඳ අත්දැකීමක්
ජූලි කළබල දවස් මැද්දේ මට දුරකථන පණිවිඩයක් ආව. කොටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ කාර්යාලයේ තිබුණූ ශිෂ්‍ය ක්‍රිස්තියානි ව්‍යාපාරයේ කුඩා කාර්යාලයේ හිටපු කාගෙන් හරි. ඒ දවස්වල මං ජිවත්වුණේ බත්තරමුල්ලෙ. ඔවුන් කිව්වා ‘ඉක්මනට එන්න, ඇවිත් කෙනෙක් අරං යන්න තියෙනවා’ කියල. මං ඒ වෙලේ ම බස් එකකට නැඟල කොටුවට ගියා. මං ඒ ළමයා ගැන දැනන් හිටියෙ නැහැ. පේරාදෙණිය සරසවියේ ශිෂ‍්‍යයෙක්. සරමකුයි ෂර්ට් එකකුයි ඇදගෙන තමයි උන්නෙ. මං කිව්වා ‘‘ හරි යමු’’ කියලා. ඔහු අරගෙන ගිහින් බස් එකකට නග්ග ගත්තා. මං හරියට බයවෙලා හිටියේ. මොකද කළබල අස්සේ කොටුවේ ඉඳල බත්තරමුල්ලට යන එක ලේසි නැති නිසා.
තැන් ගණනාවක දී ම කළහකාරී පිරිස් බස් එක නැවැත්තුවා. ප්‍රශ්න ඇහුවා. උත්තර දුන්නේ මං. ඔහු කටවත් ඇරියෙ නැහැ. ඇත්තට ම නම් ඔහු හිටියේ මටත් වැඩියෙ හොඳට ම තිගැස්මෙන්. මං බයෙන් උන්නේ තදබල තිගැස්ම නිසා ඔහු වැඩි දුර හිතන් නැතුව මොනව හරි දෙයක් කරාවි ද කියල. කොහොම හරි මං කරදරයක් නොවී ඔහු අපේ ගෙදරට එක්ක ගියා. පස්සේ ඔහු වඩා ආරක්ෂක ස්ථානයකට යවන්න අපට පුලුවන් වුණා. ඒ තමයි පසු කාලෙක ජනමාධ්‍යවේදියකු ලෙස ප්‍රසිද්ධ වූ සිවරාම්.
එදා ඒ විදියට ජිවිතය බේරගත්ත ඔහු 2004 අප්‍රේල් මාසේ රාජ්‍ය ඝාතකයන්ට බිලිවුණා.
83 ඇති කළ කම්පනය 1971ටත් වඩා සැර එකක් වුණේ එ් විසින් අපේ සමාජයේ තිබෙන බෙදීම ඉස්මත්තට ගෙන ආපු නිසයි. ඒ කියන්නේ දෙමළ සහ සිංහල මිනිස්සු අතර තියෙන බෙදීම. මං හිතන්නේ එම බෙදීම වසර 31කට පස්සෙත් (මෙම පිළිසඳර ඇතිවූයේ 2014 ප්‍රථම භාගයේදී ය) තවම අපට ජයගන්න බැරිවෙලා තියෙනව.
දෙමළ මිනිස්සු නැව්වලට පටවලා යාපනයට යැව්වා. කෝච්චිවලට පටවලා වවුනියාවට, මඩකළපුවට යැවුවා. කොයිතරම් මැද පන්තික දෙමළ ජනයාට අයත්ව තිබූ නිවාස විනාශ කරා ද? ගිනි තිබ්බ ද? මං දැනන් හිටපු අයගෙන් නිවාස ගිනිබත් කළ, නැවෙන් පටවල යාපනයට යවපු දුක් කතා දිගටම හුඟාක් අහන්න ලැබුණ. ඊට පස්සේ ඔවුන් කැනඩාවට හරි වෙනත් රටකට හරි ගියා. ඔවුන් ආපහු ආවේ නැහැ.
එක අතට 1971 සමාජ සාධාරණත්වය පිලිබඳ මා තුළ ඇති කළ පෙළඹවීම හා සමානව 1983, ජනවාර්ගික යුක්තිය පිළිබඳ පෙළඹවීමකට තුඩු දුන්නා යැයි කියන්න පුළුවන්. ඇත්ත වශයෙන් ම නම් දෙමළ සහ සුළුතර අයිතීන් මානව හිමිකම් කතිකාවතෙහි කොටසක් බවට පත් වුණේ 1983න් පස්සේ.
සිරිමාවෝ සමග කාන්තාවන් වෙනුවෙන් පෙරට ඒම
මං හිතන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ මගේ මුල් උනන්දුව ඇතිවුණේ 1970 ගණන් මුල් කාලයේ කියල යි. එක්සත් ජාතින්ගේ සංවිධානය ‘කාන්තා වර්ෂය’ දියත් කරල තිබුණා. සිරිමාවෝ බණ්ඩාරනායක තමයි එතකොට අගමැතිනිය වුණේ. ඇය ලෝකයේ මුල්ම අගමැතිනිය ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණා. ‘කාන්තා වර්ෂය’ වෙනුවෙන් විශාල සම්මන්ත්‍රණයක් මෙක්සිකෝවේ පවත්වන්න වැඩකටයුතු සංවිධානය වෙමින් තිබුණා. ඒ සඳහා ලංකාවේ තොරතුරු දෙපාර්තමේන්තුව ‘ශ්‍රී ලංකාවේ කාන්තාවෝ’ නමින් ප්‍රකාශනයක් සුදානම් කරමින් තිබුණා. ඒ සඳහා ‘කාන්තාව සහ මාධ්‍ය’ නමින් පිටු දෙකක් ලියා දෙන්නැ යි මට ඇරයුමක් ලැබුණා. මා ළග ඒ ප්‍රකාශනයේ පිටපතක් නැහැ. සමහරවිට කුමාරි ජයවර්ධනගේ පුස්තකාලයේ තියෙන්න පුලුවන්. මා ලියූ ලිපියත් තිබූ එම පොත ආණ්ඩුවේ අය මෙක්සිකෝවට අරගෙන ගියා. ඒ සිදුවීම හරහා තමයි මං කුමාරි ජයවර්ධන හඳුනා ගත්තේ.
ඉන් පස්සේ 1975 වර්ෂයේදී කුමාරි ජයවර්ධන කිව්වා මැයි දිනය වෙනුවෙන් පත්‍රිකාවක් ලියමුයි කියලා. අප එය ලිව්වේ ‘කාන්තා හඬ’ නමින්. එතකොට මාලා දසනායකත්, කුමාරි එක්ක වැඩ කරමින් උන්නෙ. අපි ඒ පත්‍රිකාව මුද්‍රණය කරල වමේ මැයි දින රැස්වීම්වල බෙදුවා. එතනින් තමයි ‘කාන්තා හඩ’ සංවිධානයක් විදිහට ආරම්භ වුණේ. පසුව ක්‍රමවත් සංවිධානයක් විදිහට එය පිහිටුවා ගත්තා. පසුව එය සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රිසියෙන් ‘කාන්තා හඬ’ නමින් සඟරාවක් ප්‍රකාශයට පත් කරා.
මේ කාලයේ ස්ත්‍රී අයිතිවාසිකම් ගැන රටේ පොඩි දේශපාලන උන්නදුවක් ඇතිවේගෙන ආව. 1977 න් පස්සේ නිදහස් වෙළඳ කලාපය ආරම්භ වුණා. ස්ත්‍රී ශ්‍රමිකයින් දහස් ගණනාවක් එහි රැකියාවන්ට ආව. ඔවුන්ගේ වැඩ තත්වය සහ සමාජීය ප්‍රශ්න ගැන උනන්දුවක් ඇති වුණා. මේ වෙන කොට අග්නි දිග ආසියාවේ අනෙක් රටවලත් නිදහස් වෙළඳ කලාප ස්ත්‍රී ශ්‍රමිකයින් පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇතිවෙලයි තිබුණෙ.
1977 විවෘත ආර්ථිකය කාන්තාවන්ට සිදුවුණේ කුමක්ද ?
තායිලන්තය වැනි රටවල ස්ත්‍රී ශ්‍රමිකයින් ගැන කළ සමීක්ෂණ අපටත් අදාළ වෙන්න ගත්ත. එක්සත් රාජධානියෙහි වූ ‘සංවර්ධනය පිලිබඳ පිලිපීන ආයතනය’ ලංකාවෙත් එවැනි සමික්ෂණයක් පැවැත්වූවා. කුමාරිත් ඊට දායක වුණා. ආචාර්ය කේ. තියාන් ශ්‍රී ලංකාවේ එවැනි පුළුල් සමීක්ෂණයක් කරා. මට මතක හැටියට සේපාලි කොට්ටේගොඩත්, ශ්‍රීන් සමරසූරියත් ඊට සම්බන්ධ වුණා. ඉන් පස්සේ 1981 දි කොළඹ පුලුල් අන්තර් ජාතික සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. මලයාසියාව, පිලිපීනය සහ තවත් අග්නිදිග ආසියාතික රටවලින් සෑහෙන නියෝජිත පිරිස් ඊට සහභාගි වූණා. එයට ලංකාවෙන් සහභාගි වුණේ කුමුදුනී රෝසා. නිදහස් වෙළඳ කලාප ස්ත්‍රී කම්කරුවන්ගේ තත්වය සහ ඉදිරිය ගැන එහිදි කතා බහක් ගොඩ නැඟුණා.
පොලිටෙක්ස් වර්ජනය සහ අපි
මට මතක හැටියට ඒ අනුසාරයෙන් කුමුදුනී රෝසා සහ කුමුදුනී සැමුවෙල් එකතුවෙලා නිදහස් වෙළඳ කලාප ස්ත්‍රීන් සංවිධානය කිරීමට සහ ඔවුන්ට සහය වීමට ‘ස්ත්‍රී මධ්‍යස්ථානය’ පිහිටුවේවා. ඔන්න එතකොට සුප්‍රසිද්ධ පොලිටෙක්ස් ගාර්මන්ට් වැඩ වර්ජනය පැන නැගුණා.
මේ වැඩවර්ජනය අතරතුර කුඩා ස්ත්‍රී කණ්ඩායම් සහයෝගිතාවය දෙන්න ඉදිරිපත් වුණා. ඇනීටා ප්‍රනාන්දු සමඟ මාලඹේ ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය, නිමල්කා ප්‍රනාන්දු සමඟ මීගමු කාන්තා කමිටුව සහ සමස්ත ලංකා ගොවි සම්මේලනයට සම්බන්ධව ගොඩ නඟා තිබූ ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ යනාදී කණ්ඩායම්. මේ වෙන කොට ස්ත්‍රී ප්‍රශ්න ඇසුරින් එවැනි කුඩා ස්ත්‍රී නායකත්වයෙන් යුතු කණ්ඩායම් ගණනාවක්ම බිහිවී තිබුණා.
1983 කාන්තා දිනය ගැන මතකය
මේ තත්වය යටතේ තමයි අප 1983 දී කාන්තා දිනයක් පැවැත්වීමට තීරණය කළේ. තිස්ස බාලසුරිය පියතුමා පවත්වාගෙන ගිය මරදානේ සමාජ සහ සමායික කේන්ද්‍රයේ තමයි අප හමුවුණේ. ස්ත්‍රී අයිතිවාසිකම් අරගලයට හුඟාක් සහාය දුන් බර්නඩීන් සිල්වාත් ඒ වෙන කොට එහි සේවය කළා. ඒ රැස්වීමට කුමුදුනී රෝසත් ආව. ප්‍රගතිශීලී කාන්තා පෙරමුණෙන් ආ බණ්ඩාර මැණිකේ ස්කාප් එකක් පැළඳ සිටියා මට මතකයි. අප හුඟ දෙනෙක් එකට හමුවුණේ ඒ අවස්ථාවෙදි. මගේ අම්මෝ, ‘මෙන්න ගැමි කාන්තාවන් නියෝජනය කරන්න ස්ටයිල්කාර එක්කෙනෙක් ඇවිල්ල’යි අපි කතා වුණා. අපි විහිලුත් කරා. ඒත් කාලෙකට පස්සේ දැන ගන්න ලැබුණා සෙරොව්වක් ළඟ නාද්දි වතුර මැෂිමකට අහුවෙලා ඇගේ හිස කෙස් කඩාගෙන ගිහින් තිබුණ කියල. ස්කාප් එකක් බැඳන් හිටියෙ ඒ නිසා. ඒ රැස්වීමට ඇනීටා ප්‍රනාන්දුත් ආව.
එම රැස්වීමෙදි අප තීරණය කරා එක්තරා විදිහක කුඩා ජාලයක් හදා ගන්න කාන්තා ක්‍රියාකාරී කමිටුව කියලා. පුල්සරා ලියනගේත් මුල ඉදල ම කමිටුවෙ හිටිය. පසසේ ඇයට කාලයක්ම අත්අඩංගුවේ ඉන්න සිද්ධ වුණා නිර්මලා.
(තවමත් විසඳුමක් නොලැබුණු ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් ගැන සුනිලා එදා දැක්වූ අදහස්)
උතුරේ මෙන්ම දකුණේද කාන්තාවන් එකම කොඩියක් යටට - ‘නිර්මලා නිත්‍යනන්දන් නිදහස් කරනු!
ඒ කමිටුව හරහා අප බොහෝ ක්‍රියාකාරිත්වයන්හි යෙදුණා. මුල ඉඳලම අපට පැහැදිලි අදහසක් තිබුණා යාපනයේ ස්ත්‍රී කණ්ඩායම් එක්ක සබඳතා පිහිටුවා ගන්න අවශ්‍ය බවට. ඒ වන විට යාපන ස්ත්‍රී අධ්‍යයන කවය පිහිටුවා තිබුණා. චිත්‍රලේඛා මවුනගුරු එහි ක්‍රියාකාරී කොටසක් රඟපෑව. ඇය ඊට කලිනුත් අප එක්ක වැඩ කරල යි තිබුණේ. ඔවුන් ‘නිර්මලා නිත්‍යනන්දන් නිදහස් කරනු!’ කියන සටන් පාඨය ඉස්සරහට දාල තිබුණ. මොකද ඒ වන විට නිර්මලා සහ තවත් අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරන් තිබුණ නිසා. නිර්මලා කියන්නේ රාජිනී තිරාණගමගේ වැඩිමහල් සහෝදරිය.
1983 මාර්තු 08 වෙනිද අප විරෝධතාවයකුයි නව නගර ශාලාවේ රැස්වීමකුයි පැවැත්තුව. අපේ විරෝධතාවයට ඉඩ නොදුන් පොලීසිය නව නගර ශාලාවේ තාප්පය ඉස්සරහ ස්ත්‍රීන් කිහිප දෙනෙකුට සටන් පුවරු ඔසවාගෙන ඉන්න දුන්න. මේ රැස්වීමට යාපනයෙන් ආ පත්මිනී සිදම්බරනාදන් පසුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බවට පත් වුණා.
1983 කළු ජූලිය කාන්තාවන්ට බලපෑවේ කොහොමද ?
මේ රැස්වීමෙන් පස්සේ අපේ ක්‍රියාකාරී කමිටු ජාලය සෑහෙන ශක්තිමත් විදිහට ඉස්සරහට ගියා. මේ ක්‍රියාකාරිත්වය මගේ පැත්තෙන් හුඟාක් වැදගත් දේශපාලන අවස්ථාවක්. ඇයිද කියනවා නම් ‘කාන්තා ක්‍රියාකාරී කමිටුව’, පංති සවිඥානික දේශපාලනය සහ ශ්‍රී ලංකාවෙහි සුලුතර අයිතිවාසිකම් සමඟ ස්ත්‍රීවාදී දේශපාලනය සම්බන්ධ කළ නිසා.
මං හිතන්නේ නූතන ශ්‍රී ලංකාවේ පංති දේශපාලනය සහ සුලුතර දේශපාලනය එක් කිරීමට උත්සාහ ගත් ප්‍රථම ප්‍රගතිශීලි පෙරමුණ තමයි මේ ‘කාන්තා ක්‍රියාකාරී කමිටුව’.
ඒ කාලයේ මේ සංවිධාන ප්‍රසිද්ධ කළ පත්‍රිකා සහ ප්‍රකාශන දෙස බැලුවහම පෙනෙයි එය දේශපාලන සවිඥානිකත්වයකින් යුතු පෙරමුණක් බව. ඒ වාගේ ම ස්ත්‍රී මූලිකත්වයෙන් යුතු විවිධාකාර සංවිධාන සෑහෙන ගණනක් ඒ කාලයේ බිහිවුණා. කාන්තා ක්‍රියාකාරී කමිටුව පිහිටුවීම ඉතා වැදගත් දේශපාලන සන්ධිස්ථානයක්. එහි එක් එකඟතාවයක් වුණේ ස්වයං තීරණයට දෙමළ ජනයාට ඇති අයිතිය පිළිගැනීම. එමෙන්ම මර්දනකාරී අණපනත් අහෝසි කිරීමත් ඒ අතර තිබුණා.
මේ අතරවාරයේ 1983 කළු ජූලිය ඇතිවුණා. ඒ නිසා බොහෝ දේ සහ අවස්ථා වෙනස් වුණා. කාන්තා ක්‍රියාකාරී කමිටුවට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී අයිතින් උදෙසා කරන්නට ඉඩ තිබූ සහ කළ හැකි දේත් සීමාවුණා. නමුත් 1984 දීත් සෑහෙන ස්ත්‍රී සහභාගිත්වයක් සහිත පා ගමනක් යාමට සහ රැස්වීමක් පවත්වන්න අපට පුළුවන් වුණා. ඒකටත් පොලීසියෙන් ගැහුව. 1987 වන තුරු වසර කිහිපයක්ම එම කාන්තා දින රැස්වීම සාර්ථකව පැවැත්වීමට කාන්තා ක්‍රියාකාරී කමිටුව සමත් වුණා.
(අතීතය වෙනස් කළ නොහැකි නමුත් අනාගතය අපිට හැඩගැන්විය හැකියි - සුනිලා)
භීෂණය ඇති කළ නිහඬතාවය
කාන්තා ක්‍රියාකාරී කමිටුවට පිටින් ‘සාමය සඳහා කාන්තාවෝ’ කියන කුඩා එකතුව ආරම්භ වුණේ 1984 වර්ෂයේ දි. මා ඒ ක්‍රියාකාරිත්වයටත් දායක වුණා. එය ආරම්භ වුණේ 1983 කළු ජූලියට ඍජු ප්‍රතිචාරයක් විදිහට. ‘සාමය සඳහා කාන්තාවෝ’ කුඩා විරෝධතා ව්‍යාපාර සහ හොඳ මහජන ප්‍රචාරක වැඩ ටිකක් දියත් කළා. කොළඹ කේන්ද්‍රීය කුඩා ලිබරල්වාදී එකතුවක් වූ එය මර්ජ් ව්‍යාපාරය සමඟ ඉතා ළඟින් කටයුතු කරා. නමුත් මං හිතන්නේ කුඩා ස්චෛඡා එකතුවක් වූ නිසා එයට දිගට ම වැඩ කරගෙන යන්න බැරි වුණා. 1986 වර්ෂය විතර වන විට එය නැතිව ගියා.
එවැනි මූලිකත්වයන් ගණනාවක්ම ජාතිකවාදී දේශපාලනය විසින් යටපත් කර දැම්මා කියලයි මට හිතෙන්නේ.
දේශපාලනයේ වාර්ගික පැතිකඩ ඉතා ශක්තිමත් වෙන්න පටන් ගත්තා, අනෙක් පිරිස් පසුබස්සන තරමට. උදාහරණයක් විදිහට ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ වැඩකළ සමහර ගම්බද පෙදෙස්වල ඔවුන්ට සුලුතර අයිතීන් ගැන කතා කරන්න බැරුව ගියා. උතුරේ සිදුවූ මර්දනකාරී යුද දේශපාලන ක්‍රියාකාරිත්වයන්ට විරුද්ධව කතා කරන එක දුෂ්කර වෙන්න ගත්ත. ඒක අපට හුගාක් අමාරු කාලයක් වුණා. යුද්ධය තීව්ර වෙන කොට උතුරේ සංවිධාන සමඟ සබඳතා පැවැත්වීම දුර්වල වෙන්න ගත්ත. මේ සියල්ල වුණේ ඉතා කෙටි කාලයක් ඇතුළෙ.
1988 ගෙවී ගිය ඒ නිහඬ සමය
1988 වෙන කොට මහා පරිමාණ ඝාතන ආරම්භ වුණානෙ. එතකොට බිය ජනක තත්වයක් ඇති වුණා, හැමෝම පසු බස්සන තරමට. ඇතිවුණේ නිශ්ශබ්දතාවයක්.
එවැනි තත්වයක් අවසානයේ තමයි 1990 වර්ෂය මුලදි ‘ලක්බිමේ මව්වරු සහ දියණියෝ’ අත්සන් විශාල ප්‍රමාණයක් එක්ක යුද විරෝධී කාව්‍යයක් පුවත්පත් දැන්වීමක් විදියට පළ කළේ. එය ආරම්භ වුණේ දකුණෙන් සහ උතුරෙන් එන අපට අපේ දරුවන්ට වෙන දේ දැන ගන්න ඕනෑ කියලයි.
ඔය විදිහට 1980 දශකයේ මුල් අවුරුදුවල පටන් ස්ත්‍රී අයිතිවාසිකම් ව්‍යාපාර ගණනාවක් සහ කාන්තා ක්‍රියාකාරි කමිටුව තිබුණා. ‘ලක්බිමේ මව්වරු සහ දියණියෝ’ 1990 මුලදි ආරම්භ වුණා. එය උත්සාහ කළේ ස්ත්‍රීවාදය සමඟ යුද්ධයෙන් බැටකන මානව හිමිකම් ඒකාබද්ධ කරන්නයි. මගේ ස්ත්‍රීවාදී දේශපාලනය මේ සිදුවීම් හරහා තමයි ගමන් කරේ.
සටහන - සුනන්ද දේශප්‍රිය
සබැඳි ලිපි
මගේ සංස්කෘතික කලා ජීවිතයත් දේශපාලන ජීවිතයේම කොටසක් - සුනිලා අබේසේකර
මානව හිතවාදය සිය ජීවිත දැක්ම කර ගනිමින් මානව හිමිකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම සිය ජීවිත මෙහෙවර කරගත් සුනිලා අබේසේකර අකල්හි අප හැර ගියේ මෙයට වසර පහකට පෙර සැප්තැම්බර් මුලදීය. සුනිලා රෝගාතුරව සිටි ඇයගේ ජීවිතයේ අවසාන දින කිහිපය තුළ, 2014 මුල් භාගයේ දී නෙදර්ලන්තයේ හේග් නුවරදී ඇය හමුවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් සිදුකෙරුණු පිලිසඳර ගණනාවක් ඇසුරින් මෙම සටහන ලියැවී ඇත. මෙහි දිගහැරෙන්නේ එහි පළමු ලිපියයි. (සුනිලා අබේසේකර : ජීවිත පියසටහන් - 1)
මගේ සංස්කෘතික කලා ජීවිතයත් දේශපාලන ජීවිතයේම කොටසක්
ඔබ අහන්නේ මගේ ජීවිතයේ ප්‍රධාන දේශපාලන පැතිමානයන් ගැනනේ. අපි මේ විදිහට කතා කරමු. හරි, සමාජ සාධාණත්වය සහ මානව දයාව ගැන මට ලොකු බැදීමක් තියෙනවා. මං ඇත්තටම ඒක මගේ ජීවිත ආදර්ශය විදිහට පවත්වා ගන්න මං හැකි තරම් උත්සාහ අරං තියෙනවා. හිත උණුවෙලා අත දෙනවට වඩා මං කැමැතියි දේශපාලනිකව තත්වයක් තේරුම් අරගෙන මැදිහත් වෙන්න. ඒක එක අතකට මානව හිමිකම් දේශපාලනය අපේ ජිවිතය ඇතුළටම අරගෙන ඒමක් නේද? අහසින් පොළවට වගේ!
ජනවාර්ගික යුක්තිය සහ ස්ත්‍රී විමුක්තිය සම්බන්ධ පැතිමානයන් එක අතකට පුලුල් මානව හිමිකම් රාමුවෙ ම කොටසක් බව ඇත්ත. ඒත් මගේ දේශපාලන ජිවිතයේ එම පැතිමානයන් කැපී පෙනෙන වැදගත්කමක් අල්ල ගන්නව කියන එක හරි. ඒ වගේම මගේ සංස්කෘතික කලා ජීවිතයත් දේශපාලන ජීවිතයේම කොටසක්.
මේ හැම ක්‍රියාකාරිත්වයක් ම විසින් මාව වෙනස් කරල තියෙනව. ඒ ක්‍රියාකාරිත්වයන් අතර සිය ගණන් කැපවූ ජනයා එක්ක මං ගමන් කරා. සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයන් විසින් එක අතකට අපවම වෙනස් කරනවා. වඩා නිවැරදිව කියනව නම් එවැනි ක්‍රියාකාරිත්වයන් විසින් අපේ අවබෝධය සහ ක්‍රියාකාරිත්වය ඉහළ තලයකට ගෙන යනව. අන්න එතකොට අපට එම ක්‍රියාදාමයන්ට බලපෑමට සහ ඒවා හරි පාරට ගන්න හැකියාවක් ලැබෙනවා. මං හිතන්නේ සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයේ අන්‍යොන්‍ය අන්තර් සම්බන්ධය ඔය විදිහයි. ඉගැන්වීම කියන්නෙම ඉගෙන ගැනීමක්.
කාලය ඉඩ දුන්නොත් තවත් දේ ගැන කතා කරමු.
ඔබ කැරැල්ලට ගියා, මා ගියේ නැත්තේ ඇයි ?
මගේ වයසෙම තරුණ පිරිස් 1971 අප්‍රේල් මාසයේ රටේ දේශපාලනය වෙනස් කරන්න දරපු උත්සාහය මට ලොකු කම්පනයක් වුණා. 1971 කැරැල්ල අපේ රටේ දේශපාලනයේ ඉතිහාසීය සන්ධිස්ථානයක් විදිහටයි මං සළකන්නෙ.
ඒ වුනත් පශ්චාත් අප්‍රේල් කැරැල්ලේ මානව හිමිකම් දේශපාලනයට මා ඇදී ගියේ කවර හෝ එක් විශේෂ හේතුවක් නිසා කියල කියන්න බැහැ. ඊට බලපෑවේ රටේ තිබුණ පොදු දේශපාලන තත්වය. පස්සේ මං 71ට සම්බන්ධ සමහර පවුල් එක්ක ළගින් සම්බන්ධ වුණා, සිරගතව සිටි අය නිදහස් කරගැනීමේ ක්‍රියාදාමයන් එක්ක. ඒකත් බලපාන්න ඇති.
ඔබ දන්වානේ අපි එකම වසසේ. 1971 අප්‍රේල් මාසයේ මං උස්සපෙළ ඉගෙන ගනිමිනුයි උන්නෙ. ඔබ කැරැල්ලට ගියා. මම ගියේ නැහැ. ඉතිං ඒක කොහොමද තේරුම් ගන්නේ කියල මට මගෙන් අහගන්න වුණා.
ඒ වගේම ඔබ දන්නවා, මං කොලඹ ඉස්කෝලේ ගිය මැද පන්තික කෙල්ලක්. ඉතිං මං අහලවත් තිබුනේ නෑ ගොනාපීනූවල, කහටගස්දිගිලිය වගේ ගම්වල නම්. මං 1971න් පස්සේ කාලයක් බර්නඩින් සිල්වා එක්ක වැඩ කරා, ස්වේච්චාවෙන්. ඒ සිර ගතවූ කැරලිකරුවන්ගේ පවුල්වලට උදව කරන්න. බර්නඩින් සිල්වා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක ව්‍යාපාරයේ (Civil Rights Movement of Sri Lanka) ආරම්භක සාමාජිකාවක්.
සිරගතවූ කැරලිකරුවන්ගේ පවුල් සොයා
1971 කැරැල්ල සම්බන්ධයෙන් සිරගත වූ තරුණ තරුණියන්ගේ පවුල් හමුවෙන්න අප දෙන්න ගියා. ඇය ඇගේ සම්බන්ධතා තොරතුරු අරන් කාරයකට නගිනවා. කොහොම හරි ඒ අය සොයා ගෙන යනවා. මොනවා වෙයි ද ප්‍රශ්න ඇතිවෙයි ද කියා ඇය සිතන්නේවත් නෑ. ඇයට තිබූණ එක අරමුණක්. මාත් ඇය එක්ක ඒ ගමන් බිමින් යන්න පටන් ගත්තා.
මේ 1970 දශකය මැද කාලෙ. බර්නඩීන් ඒ වන විටත් කාලයක් ම මේ විදිහට උදව් අවශ්‍ය පවුල්වලට උදව් කරල තිබුණා. සමහර පවුල් හිටියේ හුඟාක් දුෂ්කර තත්වයක. ඒ වගේම ඔවුන් බයෙන් උන්නෙ. ඉතිං අප එවැනි පවුල්වල අයට කිව්වා ඔබ කොලඹ ආවහම ඇවිත් අප හමුවෙන්න එන්න. අප පුළුවන් උදව්වක් කරන්නම් කියල. අවශ්‍ය ගමන් ගාස්තු සොයා දෙන්නත් බර්නඩීන් පොරොන්දු වුණා. නවතින්න නවාතැන් සොයා දෙන්න පුලුවන් බවත් අප කිව්වා. මේ මාපියන්ට සහ ඥාතීන්ට සිර ගත වූ සිය දරුවන් බලන්න කොලඹට ම එන්න වුණා. දන්නවනේ, 1975 විතර වෙන කොට සිර ගෙවල්වල ඉතිරිව සිටි ජවිපෙට සම්බන්ධ බහුතරය රඳවා තිබුණේ මැගසින් බන්ධනාගාරයේ.
ඔන්න ඔය විදිහට මං මේ පවුල් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. ඒ වගේම සමහර කැරලිකරුවන් බලන්න මං සිරගෙවල්වලටත් ගියා. මුලින් කිව්ව වගේ පවුල් එක්කත් ඇයි හොඳයිකම් වර්ධනය වුණා.
උදාහරණයක් විදිහට පාලිත ශාම්දාස් පවුල. පාලිත ශාම්දාස් සිරගත වෙලා සිටියෙ. ඔහු නිදහස් කරගන්න ඔහුගේ සොයුරියක් හුඟාක් මහන්සි වුණා. මට අවස්ථාවක් ලැබුණ හිර ගෙදරට ගිහින් ඔහු බලන්නත්. ඔවුන්ගේ පවුල විශාලයි. ඔවුන් හරහා පස්සේ මං මානෙල් රත්නායක හඳුණ ගත්තා.
මං දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බවට මේ කාලයේ අදහසක් ඒ අයට ඇතිවෙලා තිබුණ. සිරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානීන් සමහරෙක් දේශපාලන වශයෙන් වැඩ කරන්න එන්නැයි මට යෝජනා කරා.
මරණ දණ්ඩනයට එරෙහිව ජවිපෙ සමඟ
ඒත්, මං හිතන්නේ ඒ දවස්වල මගේ වැඩි බර තිබුණේ සිවිල් අයිතිවාසිකම් පෙරමුණ එක්ක මානුෂීය වැඩ කරන්න. මරණ දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් ඉන් මුදා ගැනීම වගේ. ‘මරණ දණ්ඩනයට විරුද්ධ ව්‍යාපාරය’ නමින් වැඩ සටහනක් සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක පෙරමුණට තිබුණ. සමහර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පවා මරණ දණ්ඩනයට නියම වෙලා තිබුණ. අපට අවශ්‍ය වුනා ඔවුන්ට මරණ දණ්ඩනය වෙනුවට වෙනත් දඩුවමක් ලබා දෙන ලෙස තර්ක කරන්න. මං ඒ ව්‍යාපාරයට ඇදිල ගියා.
ඒ විතරක් නොවෙයි, ඊට කලින් කැරැල්ල සම්බන්ධයෙන් සිරගත කර තිබූ ලේඛකයින් නිදහස් කර ගැනීමටත් ව්‍යාපාරයක් තිබුණ. කරුණාසේන ජයලත්, ජයසේන ජයකොඩි වගේ ලේඛකයින් අත්අඩංගුවට අරං තිබුණ. තවත් ව්‍යාපාරයක් තිබුණ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ පෙත්සමක් අත්සන් කිරීමට. මං මේ වැඩවලට බරට ම සම්බන්ධ වුණා.
1977 දී අගමැති පදවියට පත් ජේ.ආර්. ජයවර්ධන සිර දඬුවම් ලබා සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට සමාව දීලා නිදහස් කළානෙ. ඉන් පස්සේ ජවිපෙ ප්‍රසිද්ධියේ දේශපාලන වැඩ කරන්න පටන් ගත්ත.
මේ කාලයේ ජවිපෙට අවශ්‍ය වුණා සිවිල් සමාජ වේදිකාවක් නිර්මාණය කර ගන්න. නමුත්, එය කළ හැක්කේ කෙසේද කියල ඔවුන්ට අදහසක් තිබුණෙ නැහැ. ඒ වුණත් එවැනි වේදිකාවක් වැදගත් සහ වැඩදායක යැයි අලුත් පිළිගැනීමක් ඔවුන් අතර තිබුණ.
ආරම්භයේදී ඔවුන් බාලා තම්පෝ සමඟ වැඩ කරන්න පටන් ගත්ත. ජනතා විමුක්ති පෙරමුණ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂක පෙරමුණේ රෙජී සිරිවර්ධන සහෝදරයා සමඟ ඉතා සමීපව වැඩකරමින් මානව හිමිකම් සංවිධානය (Human Rights Organisation – HRO එච්ආර්ඕ) නමින් එවැනි වේදිකාවක් ගොඩ නැඟුව.
විවිධ අය එක්ක එක්වී ජවිපෙ එච්ආර්ඕ එක හැදුවේ අන්න ඒ විදිහට. මට මතක හැටියට එච්ආර්ඕ එකේ මුල් රැස්වීමට රෙජී සිරිවර්ධන, බාලා තම්පෝ සහ එච්.ඒ. සෙනවිරත්න යනාදීන් පැමිණ සිටියා.මං දන්න තරමට ලයනල් බෝපගේ තමයි එය හදන්න ක්‍රියාකාරීව මැදිහත් වුණේ.
ඒ කාලයේ ම, ඒ කියන්නේ 1977න් පස්සේ දිගටම ඇති වූ වාර්ගික ගැටුම් නිසා ම දෙමළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට මර්ජ් නොහොත් ‘ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය’ බිහිවුණා. ජවිපෙ වෙනුවෙන් මර්ජ් ව්‍යාපාරයටත් බෝපගේ සම්බන්ධ වී තිබුණා.
1980 සමස්ත මහා වැඩ වර්ජනය පරාජවීමෙන් පස්සෙ වර්ජක අයිතීන් ආරක්ෂා කිරීමේ අරමුණෙන් ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරය නොහොත් එම්.ඩී.ඩී.ආර්. බිහිවුනා. රැකියා අහිමි වූ වර්ජකයින් එහි මූලිකත්වය ගත්ත.
මා හිතන්නේ 1970 ගණන් අග සහ 80 ගණන් මුල් කාලය කියන්නේ සිවිල් සමාජ සහ වාම කණ්ඩායම් සහ සමාජයේ ක්‍රියාකාරී වෙනත් පිරිස්, මානව හිමිකම් භාෂාවේ වැදගත්කම තේරුම් ගත් කාලයක් කියල යි. ඇත්තට ම එය දේශපාලනිකව යහපත් වර්ධනයක්. ඔවුන් තේරුම් ගනිමින් සිටියා සැබෑ වාම පක්ෂ නැති එමෙන්ම දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා අවකාශය පටුවෙමින් තිබූ මර්දනකාරී තත්වය යටතේ මානව හිමිකම් භාෂාව ප්‍රගතිශීලී සහ වාම අදහස් පෙරට ගෙන යාමට මාවතක් සපයන බව.
ඒ ඓතිහාසික මොහොතකි
ඒ අතින් 1970 ගණන් මැද භාගයේ සිට 80 ගණන් මුල් කාලය දක්වා ශ්‍රී ලංකාවේ ඇති වූ ඓතිහාසික මොහොතක් බවයි මා හිතන්නේ. මෙම කාලයේ ම තමයි ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආවේ. ඒ වාගේම දහස් ගණනාවක් රැකියාවලින් දොට්ට දමා 1980 සමස්ත මහා වැඩ වර්ජනය දරුණු මර්දනයක් මගින් පරාජය කර තිබුණා. 1979 යාපනයේ හදිසි නීතිය පැනවුණා. 1981 යාපනයේ මර්දනකාරී විශාල යුද මෙහෙයුමක් සිදු කෙරුණා. දෙමළ තරුණයින්ගේ ඔළු කඳින් වෙන් කරල පාරවල දාල තිබුණ. ඔන්න ඔය වගේ සමස්ත මර්දනකාරී කාල පරිච්ජේදයක පසුබිම ඇතිව තමයි විවිධ සමාජ කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් රැක ගැනීම සඳහා මානව හිමිකම් භාෂාව යොදා ගන්නට පටන් ගත්තේ. මාත් මෙ සියලු ක්‍රියාවලීන් එක්ක විවිධ විදිහට සම්බන්ධ වෙලා හිටිය. ඇත්තටම මේ මගේ ජීවිතයේ වැදගත් කාල පරිච්ජේදයක්.
සිරගතව සිටි කැරලිකරුවන්ගේ පවුලවලට උදව් කිරීම හරහා ඇතිවුණ සමහර සමාජ සම්බන්ධකම් අද වනතුරුම පැවැතිලා තියෙනව. සමහර සම්බන්ධකම් ශක්තිමත් පුද්ගලික සම්බන්ධකම් බවටත් පත්වුණා. ඔබ දන්වානෙ කෙලී සේනානායක එක්ක මට තිබුණ සමීප සම්බන්ධකම. ඔහු නිදහස් වුණාට පස්සේ ආව මාව මුණ ගැහෙන්න. ඔහුට අවශ්‍ය වී තිබුණා ජවිපෙ ආරම්භ කරන්න යන ඉංග්‍රිසි භාෂා පුවත්පත ගැන මාත් එක්ක කතා කරන්න.
ඒ වගේම අනෙක් පැත්තෙන් පැට්රික් ප්‍රනාන්දුයි වසන්ත දිසානායක යි ආව ජනතා සංගමය සහ ජවිපෙ සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණ විවේචනය ගැන මාත් එක්ක කතා කරන්න. මට මතකයි පැට්රික් ආවේ ‘ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙක’ කියන ලෙනින්ගේ න්‍යායාත්මක පොතත් අරගෙනයි! හා හා ඒ දවස් එක්තරා විදිහකට හරිම සුන්දරයි!
මට මතකයි ඇල්පිටියේ ඌරගහ පවුලක් හිටියා. ජවිපෙ සාමාජිකයෙක් වූ ඔවුන්ගේ පුතාට මරණ දණ්ඩනය ලැබිල තිබුණා. අවාසනාවකට වගේ පස්සෙ කාලෙ මට ඒ පවුල එක්ක සම්බන්ධය සම්පූර්ණයෙන්ම නැති වී ගියා. ඒ පවුලේ ඔහුගේ සහෝදරිය සිය සහෝදරයා බලන්න හෝ නීති කටයුතු වලට හෝ කොළඹ ආ හැම විටම අපේ ගෙදර ඇවිත් නැවතිල යි ආපහු ගියේ. කොලඹ ඇවිත් එදාම ආපහු යන ගමන ඔවුන්ට අමාරු එකක්. ඇය හරහා තමයි මා කරන්දෙනියේ ධර්මදාස ජයසිංහ පවුල හඳුනගත්තෙ.
අපේ සමාජ සාධාරණ න්‍යාය පත්‍රය
ඔව්, ඒ දවස්වල මා ස්වෙච්චාවෙන් පුර්ණකාලීනව වැඩ කළා. ඔබ දන්නවා ද මට හරිම වැදගත් තේරුම් ගැනීමක් මේ කාලය පිළිබඳව තිබෙනවා. මේ අප කතා කරන සමස්ත ක්‍රියාවලියම ආරම්භ වුණේ සමාජ සාධාරණය උදෙසා වූ න්‍යාය පත්‍රයක් ඇතිව. නමුත්, ඒ සමාජ දේශපාලන වාතාවරණය යටතේ යම් විදියකට හෝ සමාජ සාධාරණය ගැන කතා කරන්නට අවස්ථාවක් ලැබුණේ මානව හිමිකම් හරහා පමණ යි. නූතන ලෝකයේ මානව හිමිකම් කතිකාව ආරම්භ වුණේ හුදෙක් ලිබරල් සංකල්පයක් විදිහටනේ. එයින් කියැවුනේ සිවිල් සහ සමාජ අයිතිවාසිකම් මුල් කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජ ගිවිසුම යනාදිය ගැනනේ. ලිබරල් ප්‍රජාත්නත්‍රවාදී රාමුව ඇතුලේ මානව හිමිකම් කතිකාව හිරවෙලයි තිබුණේ.
නමුත්, යම් අවස්ථාවක දී ශ්‍රී ලංකාවෙ දි වගේ ම තවත් අපේ වැනි රටවල දී මානව හිමිකම් සමාජ සාධාරණය ගැන කතා කරන වචන සහ භාවිතය බවට පත්වුණා. අපේ තරුණ කාලය දී තමයි මේ වෙනස ලංකාවේ ඇති කරන්න පුලුවන් වුණේ. ඒ වගේ ම වෙනත් රටවල දී ත්, උදාහරණයක් ගත්තොත් දකුණූ අප්‍රිකාවේ වර්ගවාදී විරෝධී අරගලය ඇතුලේ ඒ වෙනස සිදුවුණා. ඇත්ත වශයෙන් ම මානව හිමිකම් කතිකාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අර්ථය ඉක්මවා යන්න අප සමත්වුනා. ඒක ජයග්‍රණයක්.
1980 වැඩ වර්ජනය බිදවැටීම, 1983 කලු ජූලිය වගේ සිදුවීම් සමාජ ව්‍යාපාරයන්ට දරුණු පරාජයන් බවට පත් වුණා. නමුත් සම්ප්‍රදායික වාමාංශය ඒ හිඩස පුරවන්න සමත් වුණේ නැහැ. ඔවුන් කිසිම දෙයක් කළේ නැහැ. ඒක ලැජ්ජා සහගත වාර්තාවක්. මානව හිමිකම් කතිකාව සමාජ සාධාරණය පිළිබද දේශපාලනයක් බවට පත් වුණේ එවැනි තත්වයක දී. අප වැනි පිරිස් හරහා තමයි එම නව දේශපාලනය වැඩී ආවේ.
පිළිසඳර සුනන්ද දේශප්‍රිය විසිනි
වීඩියෝ දර්ශන උපුටා ගැනීම - The Women and Media Collective
Copyright © © 2021 Sri Lanka Guardian News Media Hub . Published By Sri Lanka Guardian, an online newspaper registered in Sri Lanka - Designed by OddThemes