මම මේ සටන පටන් ගත්තෙ ඡන්දෙ පැරදුණ දවසෙමයි - මහින්ද



සිරිසේන ජනාධිපතිවරයා ඔහුගේ අගමැති ලෙස පත් කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා දේශය පුවත්පත සමඟ පැවැත්වූ  කතාබහක් පහත දැක්වේ. 

පසුගිය කාලයේ ඔබ සහ ජනාධිපතිවරයා අතර ඒ තරම් සුහදකමක් තිබුණේ නෑ. අපට අහන්න ලැබුණේ විවේචන සහ දෝෂාරෝපණයි. නමුත් අපි නොසිතපු වෙලාවක දොගොල්ල එකතුවෙලා ආණ්ඩුවක් හැදුවා. කොහොමද එකපාරට යාළුවුණේ?

පෞද්ගලික තරහක් අපි අතරෙ තිබුණෙ නෑ. සෑහෙන කාලයක් අපි දෙන්නා සමීප මිත්‍රයන් හැටියට හිටියා. ඒ නිසා දේශපාලන වේදිකාවල කියන දේවල් පෞද්ගලික මට්ටමින් බාරගන්නෙ නැහැනේ.

හදිසියේම මේ සුහදතාව ගොඩනගන්න මුල් වුණේ කවුද?

අපේ මන්ත්‍රීවරු ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ඒකට මැදිහත් වුණා. හාමුදුරුවරු සහ තවත් බොහෝ දෙනෙක් මේ සඳහා දායක වුණා. සාමූහික ප්‍රයත්නයක් කීවොත් නිවැරදියි. මුලින් කීවා වගේ අපි 1970 ගණන්වල ඉඳන් ඉන්න මිත්‍රයෝ.

තානාපති අංශ ඒ වගේම ප්‍රධාන දේශපාලන නායකයන් හුඟ දෙනෙක් චෝදනා කරනවා මේ සියල්ලම විවෘත භාවයකින් තොර හොර රහසේ සිදුවුණු පරිවර්තනයක් කියලා?

එහෙම නෑ. අපේ පක්ෂයේ නම් දැනගත යුතු පක්ෂ නායකයන් මේ ගැන දැනගෙන හිටියා. මම දිවුරුම් දෙන්න කලින් ප්‍රධාන හැමෝටම කීවා. එහෙම නැතුව ආණ්ඩු බලය හුවමාරැ කරනකොට රට පුරා අඬබෙර ගහලා කරන්නෙ නෑනේ. අනික මේ වගේ බැරෑරුම් දේශපාලන කටයුත්තක සාකච්ඡා සිදුවන්නේ රහසිගතව තමයි. රනිල් වික්‍රමසිංහ මහත්තයලා අපේ ආණ්ඩුව පෙරළද්දි අපට කිව්වද පෙරළන හැටි.... ලෝකෙත් එක්ක එකතු වෙලා ජාත්‍යන්තර ප්‍රජාව අල්ලගෙන තමා අපේ ආණ්ඩුව පෙරළුවේ. එයාලා අපේ ආණ්ඩුව පෙරළුවේ මීට අන්ත ක්‍රමයකට.

රහසිගතව ආණ්ඩුව පිහිටුවීම වගේම පාර්ලිමේන්තුව කල් දැමීමත් ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි විවේචනයට ලක්වෙලා තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

2015 අපිට මන්ත්‍රී ආසන 150කට වැඩිය තිබෙද්දී මන්ත්‍රීවරු 42ක් හිටපු රනිල්ට අගමැතිකම දෙනකොට ඔය ජාත්‍යන්තර ප්‍රජාව කොහෙද හිටියේ. ඔය තානාපති අංශ කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න. පළාත් සභා ඡන්ද අවුරුදු ගණන් කල්දාන කොට ප්‍රාදේශීය සභා ඡන්ද අවුරුදු ගණන් කල්දානකොට ජාත්‍යන්තර ප්‍රජාව මොකද කළේ නිදාගත්තද? යූ.එන්.පී.ය ඡන්ද කල්දාන කොට ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලයි. අපි ආණ්ඩු හදනකොට ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. අද අපිට විවේචන කරන රනිල් වික්‍රමසිංහ අපේ 2/3 බලය තිබුණු ආණ්ඩුව තියෙද්දි ආසන 42ක් තියාගෙන අගමැති වුණා. එහෙනම් එයාට ඒ තනතුර බාර නොගෙන ඉන්න තිබුණනේ. අද ඒ ගොල්ලන්ට වැරදුණාම මතක් කරන ප්‍රජාතන්ත්‍රවාදය එදා තිබුණාද?

එදා රනිල් අගමැතිවරයා කරපු දෙයට එකට එක කිරීමක්ද මේ කළේ?

නෑ. අපි කළේ එහෙම නෙවෙයි. හැබැයි සමහරු එහෙම හිතනවා ඇති. මම එදා ජනාධිපතිවරණය පැරදුණු දවසේ පැය ගණනක් තුළ මන්දිරය බාරදීලා මැදමුලනට ගියා. මෙවර ආණ්ඩුව පිහිටුවන සටන මම පටන් ගත්තෙ එදා මැදමුලනේ අපේ ගෙදර ජනෙල් පඩිය උඩට නැගලා කරපු කතාවක් එක්ක.

එක්සත් ජාතික පක්ෂය මේක කුමන්ත්‍රණයක් කියලයි චෝදනා කරන්නේ?

රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වුණාම අනිත් මිනිහට අගමැතිකම දෙන එක කොහෙද කුමන්ත්‍රණයක් වෙන්නේ? ජනාධිපතිවරයා ක්‍රියාකරලා තියෙන්නේ ව්‍යවස්ථාවෙන් පැවරුණු බලතල අනුව. ඒක කුමන්ත්‍රණයක් කියන්නෙ කොහොමද?

එ.ජා.ප.ය ඔබට කියනවා තවම මැතිසබයේ බහුතර බලය පෙන්නුවෙ නෑ කියලා. බහුතරය පෙන්වන්න සූදානම්ද?

ඔව්. අපිට බලය තියෙනවා. අපි බලය පෙන්වනවා. මේ පටන්ගත්තේ පස්සට යන ගමනක් නෙමෙයි. දේශපාලනඥයෝ බලය අහිමි වුණාම ගෞරවයෙන් ඉවත් වෙන්න දැනගන්න ඕනා. 2015 මම ගියේ හිනාවෙවී. ඇඬුවෙ ජනතාව. අද රනිල් මහත්තයා අරලියගහ මන්දිරයට වෙලා අඬ අඬා ඉන්නවා යන්නෙ නැතුව. ජනතාව රතිඤ්ඤා පත්තු කරද්දි එතුමා එහෙම ඉන්න එක හොඳ නෑ.

එක්සත් ජාතික පක්ෂය පසුගියදා විශාල ජනකායක් කොළඹ ගෙනත් උද්ඝෝෂණයක් කළා. මේ උද්ඝෝෂණය ගැන මොකද හිතන්නේ?

අයියෝ ඒක අසාර්ථක උද්ඝෝෂණයක්. ඒකෙන් වුණේ පක්ෂයේ බෙදීම රටටම පෙන්වපු එක. හිටපු අගමැතිතුමා පක්ෂය ඇතුළේ නායකත්ව අරගලයකට මුහුණ දී සිටින බව මේ උද්ඝෝෂණයේදී කැපී පෙනුණා. කරපු කතා ගහපු පෝස්ටර් බැනර් කටවුට් වලින් යූ.එන්.පී.යේ අභ්‍යන්තර නායකත්ව බලපොරය අපූරැවට රටම දැනගත්තා.

මම මුලින් ඇහුවා වගේ මැතිසබය කල්දැමීම ප්‍රශ්නයක්. අනික දවස් 16ක් තරම් දිගු කාලයකට මේ කල් තැබීම සිද්ධ කිරීමයි ප්‍රශ්නය?

පාර්ලිමේන්තුව ඊළඟට කොහොමත් රුස්වෙන්න හිටියේ නොවැම්බර් 05 අයවැයට. අපි ඇත්තටම පාර්ලිමේන්තුව කල්දාලා තියෙන්නේ පහේ ඉඳන් දාසය වැනිදා වෙනකම් දවස් 11යි. මීට ඉස්සර මාස ගණන් කල්දාපු අවස්ථා තියෙනවා. මගේ කාලයේ කළා. චන්ද්‍රිකාගේ කාලයේ කළා. එච්චර විතරක් නෙමෙයි ජනාධිපති ප්‍රේමදාස මහත්තයා දෝෂාභියෝගය වෙලාවේ පාර්ලිමේන්තුව කල් දැම්මා. මම වර්තමාන කතානායකතුමාගෙන් අහන්න කැමතියි ඒ වෙලාවේ ප්‍රේමදාස මහත්තයා මොහොමඩ් කතානායකතුමාගෙන් අහලද පාර්ලිමේන්තුව කල්දැම්මේ කියලා?

පාර්ලිමේන්තුව කල්දැමීමේදී කතානායකවරයාගේ අනුදැනුම තිබුණොත් හොඳ බව එතුමා ජනාධිපතිවරයාට ලියූ ලිපියේ සඳහන් වෙනවා. ඇයි කතානායකවරයාට නොදන්වා මැතිසබය කල්දැම්මේ?

මට කියන්න ව්‍යවස්ථාවේ මොන වගන්තියේද තියෙන්නේ ජනාධිපතිවරයා කතානායකගෙන් අවසර අරගෙන පාර්ලිමේන්තුව කල්දාන්න ඕනේ කියලා. කතානායකවරයාට එවැනි බලයක් නෑ. වර්තමාන කතානායකවරයා ස්වාධීනත්වයක් නැති ගාණට වැටිලා. එයා දේශපාලන ඉත්තෙක් බවට පත්වෙලා තමන්ගේ දේශපාලන පක්ෂය රැකගන්නයි මහන්සි ගන්නේ.

ඔබ කතානායකට කතා කර මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් කළාද?

නෑ. මම කතානායකට කතා කරන්න ගියේ නෑ.

ඔබ ලිඛිතව කිසියම් දෙයක් දැනුම් දුන්නද?

නෑ... මම ලියුම් අරින්නේ මොකටද?

ඔබට වර්තමාන කතානායකවරයා ගැන අවිශ්වාසයක් තියෙනවද?

එතුමාගේ හැසිරීම් රටාව ගැන අපට සතුටු වෙන්නත් බැහැ. කතානායකවරයා මීට වඩා ස්වාධීනව වගකීමෙන් යුක්තව කතා කරන්න ඕනෑ. එයාගේ වගකීම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලව ක්‍රියාකිරීමයි. නැතුව ජනාධිපතිගේ ක්‍රියාව විවේචනය වන ආකාරයට කටයුතු කිරීම නොවෙයි.

අපි දැන් මෙහෙම හිතමු. ඔබ වර්තමාන කතානායකවරයා ගැන නොයෙක් දේ කීවා. ඔබේ සහෝදරයා චමල් රාජපක්ෂ මහතා කතානායක ලෙස හිටියා නම් මේ වැඩේ කොහොම කෙරෙයිද?

එතුමා හැමවිටම ක්‍රියාකළේ ව්‍යවස්ථාවට අනුකූලවයි. මම හිතන්නේ එතුමා හිටියානම් නීතිය හරියට කරයි කියලා. එතුමා මටවත් අපේ පක්ෂයටවත් උදව් කළේ නෑ. අපේ පක්ෂයේ මිනිස්සු අනන්තවත් සභාවෙන් එළියට දාලා තියෙනවා. පාර්ලිමේන්තුව හරියට හැසිරෙව්වා. අද තියෙනවද එහෙම තත්ත්වයක්?

අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලිය ගහ මැදුර තවදුරටත් ඔබට නොලැබුණොත් මොකක්ද ගන්න පියවර?

නෑ. ඉතින් හදිස්සියක් නෑ. ඒ ගැන අවශ්‍ය පියවර අවශ්‍ය වෙලාවට ගන්නවා.

ඔබ හිටපු අගමැතිතුමාට කතා කළාද?

ඔව්.... මම දුරකතනයෙන් කතා කළා. බොහොම සුහදව තියෙන ප්‍රශ්න විසඳගන්න අදහස් හුවමාරු කරගත්තා.

සමහර මාධ්‍යවල පුවත් පලවුණා අරලියගහ මන්දිරයේ වතුර ලයිට් කපලා පහසුකම් අයින් කරලා කියලා. ඇයි එහෙම කළේ?

නෑ... නෑ... නෑ.... තාම එහෙම කරලා නෑ. ඕවා බොරු කතා. අරලිය ගහ මන්දිරය වැදගත් තැනක්. ඒකේ දැන් තොවිල් නටනවලු. මහපාරේ හිටගෙන පිරිත් කියනවලු. මහපාරේ හිටගෙන පිරිත් කියන රටක් තියෙනවද? ‍මෙච්චර විශාල මන්දිරය ඇතුළේ මණ්ඩපයක් ගහලා ගෞරවයක් ඇතුවයි පිරිත් කියන්න ඕනෑ.... මෙහෙම පිරිත් කියන එක වස් වදින වැඩක්.

සමාජ මාධ්‍යජාල අද ලංකාවේ බොහෝ පණිවිඩ දෙන මාධ්‍යයක්. ඒවයේ අලුත් ආණ්ඩුව ගැන පලවුණ කතාවල සඳහන් වුණා අලුත් ආණ්ඩුවට අලුත් මූණු ඕනෑ. පරණ හොරු ගේන්න එපා කියලා. ඇත්තටම මේ ආණ්ඩුවට අලුත් මුහුණුවරක් දෙනවද?

ඒ සමහර මත පිළිගන්නවා. ගරැ කරනවා. ඒවා ප්‍රතික්ෂේප කරන්න බෑ. දැනටමත් අලුත් මුහුණු ඇවිල්ලා තිබෙනවා. පරණ අත්දැකීම් තියෙන අයත් සමහර කටයුතුවලදී ඕනෑ වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක්.

ඒ කියන්නේ මේක මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආණ්ඩුවක් නෙවෙයිද?

නෑ. මේක... ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක්. ඒක තමයි මේ ක්‍රමය. අපට තියෙන්නේ එතුමාට සහාය දෙමින් ආණ්ඩුව කරන්න.

ඉදිරියට ආණ්ඩු කිරීමේ ඔබේ සැලසුම කුමක්ද?

රට විජාතිකකරණයට නතුවෙමින් තිබෙනවා. ඒක නතර කිරීමයි මගේ අරමුණ. රටේ ඒකීයභාවය උපරිමයෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම ජනතාවට ඇඟට දැනෙන ආර්ථික සහන ගණනාවක් දැනටමත් ලබාදීලා ඉවරයි. ජනතාවගේ ජීවන බර අඩුකිරීමයි මූලික අරමුණ. මේ ආණ්ඩුව අය කරන අසාධාරණ බදු ක්‍රමය පූර්ණ වෙනසකට ලක්කරනවා. ඒ ගැන දැන් අපි සාකච්ඡා කරගෙන යනවා කොහොමද ඒක කරන්නේ කියලා.

එක්සත් ජාතික පක්ෂයෙන් ගත්ත පිරිසයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමයි තවත් අයයි අරගෙන මේ යන ගමන විශ්වාසයෙන් ඉදිරියට යන්න පුළුවන්ද?

ඔව්... තව මාස කිහිපයයිනේ. ඉක්මනට මැතිවරණයක් ලබා ගැනීමයි අරමුණ. පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ ඉක්මණින් ලබාගන්න ක්‍රියාකරනවා. ඒ වගේම නියමිත වෙලාවට ජනාධිපතිවරණයත් තියනවා.

රාජිත සේනාරත්න හිටපු අගමැතිවරයාට ආරාධනා කරලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම්වලට පුළුල් ජාතික පෙරමුණක් හදන්න එන්න කියලා?

ඒකට ඉතින් පක්ෂ තීන්දුවක් ගන්න එපැයි. එහෙම කියූ පලියට ආණ්ඩු හදන්න පුළුවන්ද? අනික ඕවා රාජිතලා නිකම් පක්ෂ කොටවන්න කියන කතා.

අපිට ආරංචි වෙලා තියෙනවා රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශ කාර්යාලයට සීල් තියලා කියලා?

ඒ ගොල්ලො ගැන හොයන්න කලින් අපිට තව ලොකු වැඩ තියෙනවා. ආර්ථිකය කඩා වැටිලා. විරැකියාව වැඩිවෙලා. ඒවා ගොඩගන්න තියෙනවා. කොටස් වෙළෙඳපොළ අගාධයට ගිහින් තිබුණා. අපි ආවා විතරයි පිබිදීමක් පටන් ගත්තා. ඒවා සැලසුම් සහගතව ගොඩනගලා ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීමයි අපේ අරමුණ.

සංවාදය - සංජීවිකා සමරතුංග | උපුටා ගැනීම - දේශය