මම ගාන්ධිගේ සපෝටර් කෙනෙක් – වී. ආනන්ද සංගරි

ඉස්සර බොහෝ සිංහල ගම්වල දෙමළ අයගේ පොඩියට හරි කඩ තිබුණා. දැන් ඒවා අඩු වුනාට ඉස්සර එහෙම නෙවෙයි. කොයි සිංහල ගමකට හෝ ගියහොත් දෙමළ කෙනෙකුගේ සුරුට්ටු කඩයක් හරි ඒ දවස් වල තිබුණා.



සංවාදය ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු ( උපුටා ගැනීම: රාවය ) 


සංගරි යන්නෙහි තේරුම මොකක්ද?


මගේ පියාගෙ තාත්තගේ නම සංගරපුල්ලෙයි. ඒ නිසා තමයි මගේ තාත්තා මගේ සහෝදරයන් ඔක්කෝමට “සංගරි” කියලා දාලා තියෙන්නෙ. ඒකේ තේරුම කාලි කියන දෙවි කෙනෙක්. එහෙත් එහි නියම තේරුම “කිරි අම්මා”. සංගරන් තමයි පිරිමි අය පාවිච්චි කරන නම. “ සංගරි” පාවිච්චි කරන්නේ ගෑනු අයට. “සංගරි” කියන නමේ උච්චාරණය තුළ ගෑනු නමක් පේනවා. ඒත් දැන් ඒ නම මගේ පවුලේ සියලු දෙනා පාවිච්චි කරනවා.



මුලින්ම ඔබ සමසමාජයට සම්බන්ධ වන පසුබිම කුමක්ද ?


මගේ පළමු වන දේශපාලන පක්ෂය සමසමාජය. 1959 දී කොළඹ මහ නගර සභාවේ කොටහේන දකුණ කොට්ඨාසයට තරඟ කෙරුවා. ඒ කාලේ මමයි සුගතදාසයි දේශපාලන කටයුතු කළා. තරුණ වයසේදි සමසමාජ පක්ෂයේ දේශපාලන පන්තිවලට සහභාගි වුනා. පොඩිකාලයේ ඉඳලා දේශපාලනය ගැන උනන්දුවක් තිබුණා. අනික් පක්ෂ වල රැස්වීම් බලන්නත් යනවා. ටවුන්හෝල්වල පැවති සමසමාජ රැස්වීම් බලන්න මමත් යනවා.


පාසල් කාලයේ දේශපාලනයට නැඹුරු වුනාද ?


ඒ කාලයේදිත් දේශපාලන රැස්වීම් හා සම්මන්ත්‍රණවලට සහභාගි වුණා. ජේ. ආර් ජයවර්ධන, වයි. එම්. සී. ඒ එකට කතා කළාම අපිත් යනවා. ප්‍රසිද්ධ දේශපාලන රැස්වීම් වලට ගියා. ඒ කාලයේ ලෙනින්ගෙ පින්තූර ගෙදර අරගෙන එනවා. දැඩි ලෙස දේශපාලනය කළේ හර්තාල් කාලයේ. හර්තාල් තමයි මගේ දේශපාලනයේ ලෑන්ඞ් මාර්ක් එක.


1959 දී කොටහේනෙන් ඔබ ඡන්දය ඉල්ලනවා. කොටහේනට ඔබ සම්බන්ධ වෙන්නෙ කොහොමද ?


අපි කොටහේනේ තමයි පදිංචි වෙලා හිටියෙ. 1949 – 1950 ගණන් වල තමයි. එහෙට පදිංචියට ආවේ.


පේදුරු තුඩුව අතහැරලා ආවේ මොකද ?


ඒ කාලයේ මගේ ලොකු අයියා මරදානේ සහිරා විදුහලේ ගුරුවරයකු වශයෙන් සේවය කළා. අයියට අසනීප වුනාම අම්මත් එන්න ඕනේ කිව්වා. එතකොට අපි තුන්දෙනාට තනියම ඉන්න බැරි නිසා අපිත් කොළඹට ආවා. මම ඒ ඉස්කා්ලේ ඉගෙන ගත්තා. අපි ඉස්කෝලේ යන කාලයේ හිටියේ හුණුපිටියෙ.


ඔබ ශ්‍රී.ල.නි. පක්ෂය සමඟ මෙන්ම එ. ජා පක්ෂය සමගත් සමීපව වැඩ කරන පසුබිම හැදෙන්නෙ කොහොමද ?


මම ශ්‍රී. ල. නි පක්ෂයට හෝ යූ. ඇන්. පී යට හරි වැඩ කළේ නැහැ. මම වැඩ කලේ සමසමාජයට. 1960 දී පාර්ලිමේන්තු ඡන්දෙටත් ඉල්ලුවා. 1960 දී මැතිවරණ දෙකක් තිබුණා. 1960 මාර්තු සහ ජූලි වශයෙන්. 1965 දි පාර්ලිමේන්තු ඡන්දයට ඉල්ලුවා. 1965 දී මම සමසමාජයෙන් ඉවත් වුණා. ශ්‍රී. ල. නි. පක්ෂයේ බොහෝ දෙනා වාමාංශික අදහස් තිබුණ අය නිසා ඔවුන් සමග සම්බන්ධතා තිබුණා පමණයි. නමුත් යූ. ඇන්. පී යට පුළුල් ලෙස සහයෝගයක් දුන්නෙ නැහැ. එක සැරයක් විතරක් යූ. ඇන්. පි. රැස්වීමකට ගහන්න ලෑස්තිවෙලා ඉන්න වෙලාවේ එවකට රජය එම රැස්වීමට කාටවත්ම සහභාගිවීමට නොවන පරිදි තහනම් කළා. ඒත් මිනිස්සු ආවා. ඒ මිනිස්සු එන ප්‍රමාණය අඩු කරන්න ඇති කළ වැඩක් වුවත් මිනිස්සු ඒ රැස්වීමට ආවා. ඒ රැස්වීමට විතරයි මගේ ජීවිතේ මම සහභාගිවුණේ. මම හිතන්නේ ඒ රැස්වීම තිබුණේ හයිඞ්පාර්ක් ක්‍රීඩාංගනයේ. පාරවල් වහලා. රැස්වීමට මිනිස්සු එන එකට බාධා පමුණුවා තිබුණා. එවකට පැවති ආණ්ඩුවෙන් කදුළු ගෑස් ගැහැව්වා. ඒක ලොකු ගෝරියක් බවට පත්වුණා. ඒ කාලයේ සිරිමාවෝ මැඩම් රටේ නායිකාව.


“ඩඞ්ලිගෙ බඬේ මසල වඬේ” වැනි ජනප්‍රිය වදන් බිහිවෙන්න ඔබේ සම්බන්ධය හේතු වෙලා තියනවා. ඒ ගැන මොකද දැන් හිතෙන්නෙ ?


ඒක තමයි කාරණාව. අපි රැස්වීමට යනකොට සමහර කට්ටිය කෑගැහුවා. ඒක ගැන කල්පනා කරනකොට ඒක ඒ තරම් ලොකු කාරණාවක් නෙවෙයි. ඒවා සිදු කළේ නායකයො නොවේ. සාමාන්‍ය උදව්කරුවොයි, කළේ. මමයි මගෙ උදව්කරුවොයි ඒ රැස්වීමට ගියා. සාමාන්‍ය උදව්කරුවෝ ( සපෝටර්ස්ලා) “ඩඞ්ලිගේ බඬේ මසල වඬේ” කියලා කෑගහලා ගියා. ඒකෙ ටිකක් ජාතිභේද වගේ තිබුණා. දැන් කල්පනා කරන කොට ඒකේ ලොකු වැරැද්දක් නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ලොකුවට මෝඩ කතා කිව්වට ඔක්කොමලා වැරදි නැහැ.


සිංහල දෙමළ සමගිය බින්දේ කවුද ?


මම සිංහල අයට විරුද්ධව මුකුත් කියලා නැහැ. කියන්නෙත් නැහැ. සිංහල – දෙමළ සමගිය බින්දේ ෆෙඩරල් පක්ෂයයි. ඒ පක්ෂයේ අය දැන් නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. සේනාධිරාජලා වගෙ මිනිස්සු. මෝඩ මිනිස්සු තමයි ජාතිභේද අවුස්සලා කතා කළේ.


බණ්ඩාරනායකගේ භාෂා ප්‍රශ්නය ආවා. එත් සමසමාජය භාෂා ප්‍රශ්නයට විරුද්ධව කටයුතු කළා. දෙමළ භාෂාවෙන් දෙමළ ජනයාට කටයුතු කිරීමට තිබෙන අයිතිය වෙනුවෙන් සමසමාජය එවකට කටයුතු කළා. කොමියුනිස්ට් පක්ෂයත් ඒ විදියට දෙමළ භාෂා අයිතියට එරෙහිව කටයුතු කළා.


මම සිංහල, දෙමළ, මුස්ලිම් හා මැලේ කට්ටිය සමග ගමේ එක්සත්ව කටයුතු කරලා කියන්නේ, මමත් ගුරුවරයෙක් වුනාට මම ඒ ඒ ජාතින්ට අයත් ගුරුවරු යටතේ ඉගෙන ගෙන තිබෙනවා. ඒ නිසා මමත් ඒ ඒ ජාතින්වල ළමයින්ට උගන්නලා තියනවා.


ප්‍රභාකරන්ට ඔබ තම්බි කිව්වා. බාලසිංහම් මුලින්ම ඔබේ මිතුරෙක්. පසුව මේ අය ඔබට එරෙහි වුණා. දෙමළ නායකයන්ට දේශපාලන එදිරිවාදිකම් සමතය කරගෙන දකුණ සමග ගණුදෙනු කරන්න බැරිවුනේ ඇයි ?


අපි සාමාන්‍යයෙන් කාටත් මල්ලි කියලා කතා කරනවා. කවුරුහරි යාළුවෙකුගේ පුතාත් ආවොත් මල්ලි කියලා කතා කරනවා. ඒ වගේ තමයි ප්‍රභාකරන්ට තම්බි කියලා කිව්වේ. තම්බි කියන දෙමළ වචනයේ තේරුම මල්ලි. බාලසිංහම් මගේ යාළුවෙක් නොවේ. මම ඔහු සමග කතා කරනවා. නමුත් විරුද්ධ නැහැ. ඔහු මෝඩයෙක් වගේ ලන්ඩන්වල රැස්වීම් පවත්වලා “මට ආරංචියි ආනන්ද සංගරි මහතා මෙහි ඇවිත් තියෙනවලු. එයාට පොඩි කිස් (kiss) එකක් දෙන්න මම කැමතියි. එයා කිලිනොච්චි යන්න ආශාවක් තියෙනවා. එයාට ඒ පැත්තේ අය ඉගුවානා මස් (තලගොයි) හදලා දෙන්න ඉන්නවා”. කියලා පිස්සු කතා කියලා තියෙනවා.


මම ජීවිත කාලයට මස් කන්නේ නැහැ. ඒ වුනත් මෝඩ මිනිහෙක් බි්‍රතාන්‍ය වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ එයා ගෞරවයෙන් කතා කරන්න දන්නෙ නැහැ. එයා අඥාදායකයකු වගේ තමයි කතා කරන්නෙ. ඒ නිසා තමයි මේ ලෙඬේ ලොකු වුණේ.


ඇතැම් මිනිස්සුන්ගේ කතා හොඳ නැහැ. මම කවදාවත් සිංහලයා කියල නැහැ. සිංහල සහෝදරයා කියලයි කියන්නෙ. තවමත් ඉන්නවා ඒ වගේ දෙමළ මෝඩ කට්ටිය. අපිට සිංහල කට්ටිය විරුද්ධත්වය පානවා කියලා කියනවා. ඒවා බොරු. සිංහල මිනිස්සු වගේ හොඳ මිනිස්සු මම වෙන කොහෙවත් දැකලා නැහැ. මම මේ ගැන ඒ කාලෙත් කියලා තියනවා. අපේ මිනිස්සුන්ගේ මෝඩ කතා නිසා සුළු පිරිසක් ඔවුන්ට ප්‍රතිචාර දක්වනවා. නමුත් දෙමළ ජනතාව බොහොම ආදරෙයි සිංහල ජනතාවට. අපි පොඩි කාලේ සිංහල මිනිස්සු හුඟක් ආදරෙයි දෙමළ මිනිස්සුන්ට. සිංහල – දෙමළ ජාතිභේද මුකුත් නැතිව අපි හිටියා. සිංහල භාෂා ප්‍රශ්නය එනකම් අපි හොඳින් හිටියා. සිංහල – දෙමළ මිනිස්සු සහෝදරයො වගෙ හිටියා. දෙපැත්තෙ අය කසාද බැඳලත් තියෙනවා.


ඉස්සර බොහෝ සිංහල ගම්වල දෙමළ අයගේ පොඩියට හරි කඩ තිබුණා. දැන් ඒවා අඩු වුනාට ඉස්සර එහෙම නෙවෙයි. කොයි සිංහල ගමකට හෝ ගියහොත් දෙමළ කෙනෙකුගේ සුරුට්ටු කඩයක් හරි ඒ දවස් වල තිබුණා.


LTTE ය පරාජය වුනාට පසු දෙමළ ජනයා තවත් බෙදුනා නේද ?


මම තමයි LTTE යට විරුද්ධව වැඩිය කතා කරපු කෙනා. මම මිනීමරනවට කැමති නැහැ. මම ගාන්ධිවාදියෙක්. ගාන්ධිගේ සපෝටර් කෙනෙක්. මස් කන්නෙ නැහැ. ඒ වගේ ගාන්ධි ප්‍රතිපත්ති ගොඩක් තියනවා මට. ජාතිභේද ඇවිස්සීම තමයි විරුද්ධ. ඒක තමයි LTTE කළේ. ඒකට උදව් කරන මිනිස්සු තවම ඉන්නවා.


2004 දී එක දෙමල පක්ෂයයි ඡන්දෙ ඉල්ලන්න ඕනෙ කියලා අපේ පක්ෂය කටයුතු කළා. LTTE කට්ටිය සම්පූර්ණ සහයෝගය පළ කළා, ඒ ගැන. සේනාධිරාජා කියලා තියෙනවා ඒගොල්ලො එපා, ඒ ගොල්ලො LTTE යට කැමති නැහැ කියලා. කවුද ඒක නැති කළේ. ඒ තමයි සම්බන්ධන්.


2008 වලදි මේ LTTE නාමයෝජනා කියලා සම්බන්ධන්ගේ ඔභ් අය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ. ඊට දවස් කිහිපයකට පසු සම්බන්ධන් සහ සේනාධිරාජා වන්නියට ගියා. එහිදි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධන් ලිව්වා. තමිල් චෙල්වම් කියනවා. ඔහු ලියනවා. සම්බන්ධන් නිතීඥයෙක්. ඔහුට තමිල් චෙල්වම් ලියලා දිය යුතු නැහැනෙ. එම ප්‍රකාශය සකස් කරලා LTTE ය තමයි දෙමළ ජනතාවගේ ජාතික නායකයෝ කියලා ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. එලෙස සදහන් කරමින් TNA ලේකම්ලා හතර දෙනෙක් අත්සන් කරලා මුද්‍රණය කොට මිනිසුන් අතර බෙදා දී තිබුණා. එහෙම කළාම මට මැතිවරණයට ඉල්ලන්න බැරි වුණා. එවිට අපිට වෙනත් විකල්පයක් නොතිබුණ නිසා අපි ස්වාධිනව ඉල්ලුවා.


LTTE යේ තරුණයො හෝ වාහන අංක නැති මෝටර් සයිකල් 100 කින් විතර ගොස් ඡනදය දාන්න එපා කියලා මිනිස්සුන්ට කිව්වා. එවිට TNA අයගෙන් 20 දෙනෙකු දිනුවා. අපිව ඡන්දය දාන්න අවස්ථාවක් නැහැ. රැස්වීම් කරන්න ඉඩ දුන්නෙත් නැහැ. ගෙවල් වලට යන්නත් දුන්නෙ නැහැ.


එදා සිංහල නායකයන්ට කියන්න තිබුනා ඔවුන්ට ඔයාලා ඔක්කෝම LTTE කියලා. නමුත් කවුරුවත් එහෙම කිව්වෙ නැහැ. ඔවුන් අවුරුදු 6 ක් හිටියා. ඔවුන්ට 96% ක් ඡන්දය දාලා තිබෙනවා.


අපේ පක්ෂ අලුත් මැතිවරණයක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලුවා. නමුත් දුන්නේ නැහැ. මැතිවරණ අවලංගු කරන්න නීති නැහැ කියලා අපේ ඉල්ලීමට තැනක් නැතුව ගියා.


2004.04.02 දින රවිරාජ්, නීලන් ඇතුළු 500 දෙනෙකු මරලා තියෙනවා. සම්බන්ධන් ඒ ගැන එක අකුරක් කියලා නැහැ. ඔවුන් අවුරුදු 6ක් පාර්ලිමේන්තුවෙ ඉදලත් ඒ ගැන එක වචනයක් කතා කලේ නැහැ.


2005 රාජපක්ෂ, රනිල් ඡන්දය ඉල්ලා සිටියදි ඡන්දය දාන්න එපා ප්‍රතික්ෂේප කරන්න කියලා LTTE කියපු නිසා TNA කට්ටිය ගම්වලට ගිහිල්ලා කාටවත් ඡන්දය දෙන්න එපා කියලා තියෙනවා.


ඒ වෙලාවේ සිංහල මිනිස්සු ෆෙඩරල් සංකල්පයට 49% ක් ඡන්දය දීලා තිබෙනවා. රාජපක්ෂ ගත්තේ 50.3% දශම තුන අඩු වුනානම් රාජපක්ෂ පරාදයි. 2010 දි ඡන්දෙදි සරත් ෆොන්සේකා LTTE සටන් කරන්න දෙන්නෙ නැහැ කියල කිව්වා. ඒ වසරේ අප්‍රියෙල් මාසයෙ ඔහු කිව්වා යුද්ධය ඉවරයි සම්පූර්ණයෙන් LTTE නැති කරනවා කියලා. ඔහු යුද්ධය ඉවර වුනාට පසුව කිව්වා යුද්ධ හමුදා සාමාජිකත්වය දෙගුණ කරනවා කියලා. ලක්ෂ 2 ක් තියෙනවනම් ලක්ෂ 4 ක් කරනවා කියල කිව්වා. එහෙම කියපු සරත් ෆොන්සේකාට සම්බන්ධන් උදව් කළා.


අපේ දැන් ඉන්න නායකයො හරි කපටියි. සම්බන්ධන් බොරුකාරයෙක්. සුමන්දිරන් ඩාන්සර් කෙනෙක්.


අමිර්තලිංගම් හා චෙල්වනායගම් ගැන ඔබට තියෙන තක්සේරුව කුමක්ද ?


චෙල්වනායගම් ගැන මොකුත් කියන්න බැහැ. සිංහල මන්ත්‍රීවරු ඔහු අසනීපෙන් සිටියහොත් මොකද අසනිපෙන්ද මොකක්ද ඕනෙ උදව්ව කියලා ඔහුගෙන් අසා තිබෙනවා. ඔහු සිංහල මන්ත්‍රීවරු සමග මිත්‍රශිලීව කටයුතු කළා. චෙල්වනාගම් අහිංසකයි.


අමිර්තලිංගම් නරක මිනිහා වගේ මිනිස්සු හඳුන්වලා දීලා තිබුණට ඔහු නරක කෙනෙක් නෙවෙයි. ඔහු කියලා තිබෙනවා අපි වෙනම රාජ්‍යයක් ඉල්ලනවා. ඒක නිකම් ආරවුලක් නිරවුල් කරගන්න යොදාගත් ක්‍රමයක්. ඒ වගේ දෙන්න බැරිනම් මොකක්ද දෙන්නේ කියල අහන්න වගේ අදහසක් ඔහු ඉදිරිපත් කළේ. 50% කට වඩා දමිල මිනිස්සු දකුණු පළාත්වල ජීවත් වෙන්නෙ.


ඊයේ පෙරේදා TNA කට්ටියට සම්බන්ධ අයත් එකතු වෙලා ඉල්ලීම් 13 ක් දුන්නා.


ජාතික ප්‍රශ්නය විසදාගත හැකිව තිබුනු සිංහල නායකයා කවුද ?


මට දවසක් ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ට කිව්වා. එවකට ඉන්දියාවේ ජනාධිපති සික් කෙනෙක් නමුත් එවැනි දෙයක් අප රටේ කරන්න පුළුවන්ද ? සිංහල දෙමළ අය ඉන්දියානු නායකයොත් කිසිවෙක් ලංකාව කඩන්න ඉඩදෙන්නෙ නැහැ. ඒ ගැන අපි හිතලා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න කවුරු හරි සිංහල නායකයකුට කිව හැකියි කියා මම කියා සිටිනවිට මන්ත්‍රීතුමාගේ අදහස පිළිගන්නා බව හාමුදුරුවෝ කියා සිටියා. ඉන්පසු මේ අදහස මට ඇමතිවරු 10 දෙනෙකු පමණ සමඟ කියා තිබෙනවා. ඒ අනුව ඉන්දියන් ක්‍රමයේ විසඳුමක් අපි රටේ ජාතික ප්‍රශ්නයට ගෙනෙන්න ඕනි කියලා මම කිව්වා. ඉන්දියාවේ දමිළ මිනිස්සු වෙනම රාජ්‍යයක් ඉල්ලුවාම ශ්‍රී නේරු තමයි ඒක නැති කළේ.


මිලියන 60 ක් ඉන්දියාවේ දෙමළ ජනතාව ඉන්නවා. සිංහල නායකයෙක් කට ඇරලා කිව්වොත් ලංකාවේ ඉන්න දෙමළ ජනයාට ඉන්දියාවේ වගේ දේශපාලන විසඳුම් දෙනවා කිව්වොත් දෙමළ කිසි කෙනෙක් ඊට විරුද්ධව කට අරින්නෙ නැහැ.


ඉන්දියාවේ මිලියන 60 ක් සතුටින් ඉන්නවා. ඒ වගේ ලංකාවේ දෙමළ අයටත් දේශපාලන විසඳුමක් ගෙනාවොත් හොඳයි.


මගේ ප්‍රශ්නය වුනේ ජාතික ප්‍රශ්නය විසදාගත හැකිව තිබුණු සිංහල නායකයා කවුද ?


දැනට ඉන්න රාජපක්ෂ සහෝදරවරුන්ට තමයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්නෙ. මේ දෙන්නා ඉන්දියානු ක්‍රමයේ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළහොත් ඔවුන් දෙදෙනාට ලංකාවේ දෙමළ ජාතික ප්‍රශ්නය විසඳන්න පුළුවන්.