The Most/Recent Articles

Showing posts with label Premakumar Gunarathnam. Show all posts
Showing posts with label Premakumar Gunarathnam. Show all posts

ගුණරත්නම් නාටකයේ නොදුටු පැතිකඩ

(හදවතින් නොව බුද්ධියෙන් විමසන්නට)

1) කුමාර් ගුණරත්නම්ගේ ලංකා ආගමනය ආණ්ඩුවට රහසක් නොවීය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණි බව ආණ්ඩුව කලින්ම දැන සිටියේය. ඔහු ලංකාවට පැමිණෙන වග ආණ්ඩුව නොදැන සිටියා යන කරුණ පිළිගත හැකිද

2) ජවිපෙ දෙකඩ වීමෙන් පසු ඔහු එක රැයෙන් සෝමවංස කණ්ඩායමට ද්‍රෝහියෙකු වූ අතර සිරිත් පරිදි සිඩ්නි සහ බ්‍රිස්බේන් වල පදිංචි ජවිපෙ (සෝමවංස පාක්ෂික) සාමාජිකයන් කුමාර් ගුණරත්නම්ගේ ලංකාවට පැමිණීම ගැන ආණ්ඩුවේ ඉහල අංශ දැනුවත් කොට තිබුණි. නමුත් ආණ්ඩුව ඊට පෙර ඔහුගේ ගමන ගැන තොරතුරු දැන සිටියේය. නමුත් ඔහුව කටුනායක ගුවන් තොටුපලේදී අත් අඩංගුවට නොගත්තේ කාගේ උපදෙස් පිටද ?

3) ලංකාවට පැමිණ වීසා අවසන් වන තෙක් ඔහු රැඳී සිටියේය. විවර්ත වරෙන්තුකරුවෙකු වුවද ආණ්ඩුවට ඔහුව අත්අඩංගුවට ගැනීමට උනන්දුවක් නොවීය. මාස 5කට අධික කාලයක් ප්‍රේමකුමාර් ගුණරත්නම් නීති විරෝධී ආකාරයෙන් මෙරට නිදහසේ රැඳී සිටියේය. ඒ පිළිබඳව රහස් පොලිසිය නොදැන සිටියා යැයි කීම පිළිගත හැකිද?

4) ලංකාවේ සිටි කාලයේදී ගුණරත්නම් හමු වීමට වරින්වර පැමිණි බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනා කවුද ? ඔවුන් පැමිණියේ කාගේ උපදෙස් මතද ?

5) පදිංචිව සිටි නිවසේ දොර කඩා ඔහුව පැහැරගෙන ගියා කීවද කිරිබත්ගොඩ පොලිසිය කල මුලික පරීක්ෂණ අනුව නිවසේ දොරට කිසිදු හානියක් වී නැත පසුව පොලිසිය මෙම කරුණ යට ගැසුවේ කාගේ උපදෙස් මතද?

6) රාගම සෝමේ සමග වැලිකඩ හිරගේ කඩාගෙන ගිය ගුණරත්නම් කිරිබත්ගොඩදී තමා පැහැර ගැනීමට එන පුද්ගලයන්ට පහසුවෙන්ම යටත් වේ. අඩුම ගන්නේ ඔහු නිවසේ පසුපස දොරෙන් වත් පලා යන්නේ නැත. ඔහු කීකරු ළමයෙකු මෙන් යටත් වන්නේ මන්ද කාගේ උපදෙස් අනුවද ?

7) දිමුතු ආටිගල ගොඩගමට යනවිට ජනාකීර්ණ ස්ථානයකදී පැහැර ගත්තා කීවද කිසිදු කෙනෙක් ඇයව පැහැර ගන්නවා දැක නැත. තමන්ගේ දැස්‌ වසා රැගෙන ගිය බව ඇය පැවසූ අතර අතරමගදී දෙදෙනකු තමන් රැගෙන ගිය වාහනයෙන් බැස ගිය බවද කියන්නීය. දිමුතුගේ සහ කුමාර් ගුනරත්නම්ගේ ප්‍රකාශ වල පරස්පරතා ගහණය. පොලිසියට මෙම පරස්පරතාවයන් පහසුවෙන් කොටු කර ගැනීමට තිබුණි. නමුත් මේ දක්වා ආණ්ඩුවට ඒ පිලිබඳ උනන්දුවක් නැත. ඒ මන්ද ?

8) කුමාර් ගුනරත්නම් 1988- 89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ ත‍්‍රිකුනාමලය සන්නද්ධ අංශයේ නායකයාය. ඔහු ඉන්දියා සාමසාධක හමුදාවට බිම්බෝම්බ ඇටවීමට මුල්වූයේය. පසුව ඔහු හමුදාවේ බුද්ධි අංශ සමග සහයෝගිතාවක් ගොඩ නගා ගත්තේය. මේ ගැන තොරතුරු එවකට කර්නල්වරයෙකුව සිටි සරත් ෆොන්සේකා හොඳහැටි දන්නේය. ගුනරත්නම් 88 කැරැල්ලේ දී ජීවිතය බේරා ගත්තේ මේ සහයෝගිතාව මතය. මෙම සහයෝගිතාව තවමත් ක්‍රියාත්මක වන්නේද?

9) ගුණරත්නම් පොලිසියට යන විට ඕස්ට්‍රේලියානු තානාපති නිලධාරීන්ද එතනට පැමිණේ. සියල්ලම සැලසුම්සහගතය. අනතුරුව පිටුවහල් කරන්නෙකු මෙන් අධිකරණයට ඉදිරිපත් නොකර ඔහුව සුරක්ෂිතව කටුනායකට ඇරලවයි ඊට හේතුව කීම?

10) දිමුතු ආටිගල නිදහස් කරන්නේ මාධ්‍ය සාකච්ඡාවක් සුදානම් කර තබෙන අවස්ථාවේදීය , ඇය කෙලින්ම යන්නේ සාකච්ඡාවටය. එහිදී ඇය කියන කරුණු පරස්පර සහගතය. තර්කානුකුල බවක් නැත, පොලිසිය මේ දක්වා ඇයගෙන් හරස් ප්‍රශ්න අසා නැත. සාමාන්‍යයෙන් පැහැරගැනීමක් වැනි සිද්දියකදී පොලිසිය හාර හාර කරුණු විචාරීම සිරිතක් වුවද දිමුතු ආටිගලගෙන් ප්‍රශ්න ඇසීම කිසියම් අදෘශ්‍යමාන හස්තයක් විසින් වලකා තිබේ. ඒ මන්ද ?

11) දොරමඩලාව වැඩසටහනට යන ගෝඨාභය රාජපක්ෂ මේ දැන් ලැබුණු ප්‍රවෘත්තියක් සේ කුමාර් ගුණරත්නම් කොළඹ අපරාධ කොට්‌ඨාශයට භාර වූ බව පවසයි. එහි යම් සැලසුම්සහගත බවක් නොපෙනේද?

12) කුමාර් ගුණරත්නම් යනු ආණ්ඩුවට සම්පත් ආකාරයකි. ඔහු ජවිපෙ සියලු රහස් තොරතුරු දනී , එසේම ද්‍රවිඩ ඩයස්පෝරාවේ රහස් තොරතුරුද ඔහු සතුය. කුමාර් ලංකාවට පැමිණ වසර බාගයකට අධික කාලයක් නිරුපද්‍රිතව සිටියේ කුමන දෙවියන්ගේ පිහිටකින්ද ? කුමාර් මරා දැමීමට හෝ අත්අඩංගුවට ගෙන අපරාධ චෝදනා ගොනු කිරීමට ආණ්ඩුවට හැකියාව තිබියදී පවා එසේ නොකර ඔහුට නිදැල්ලේ සිටීමට ඉඩ දුන්නේ මන්ද ? මේ අනුව බලන කල ආණ්ඩුව සහ කුමාර් අතර රහස් සහයෝගිතාවක් නොමැත්තේද ?

13) මෙම නාටකයෙන් වැඩිපුරම වාසිය ලැබුනේ කාටද ? පුද්ගලයන් අතුරුදහන් වීම ගැන අන්තර ජාතික ප්‍රජාවෙන් ආණ්ඩුවට තදබල පීඩනයක් තිබුනේය. අතුරුදහන්වුවායි කී පුද්ගලයන් වෙනත් නම් වලින් බටහිර රට වල සිටින බව සාක්ෂි සහිතව පෙන්වා දීමට ගුණරත්නම් නාටකය මගින් ආණ්ඩුවට හැකි විය. එමගින් ඔස්ට්‍රේලියාවට කට උත්තර නැති විය. දැන් මෙම සිද්දිය ආණ්ඩුවට හොඳ තුරුම්පුවකි. ගුනරත්නම්ලාට ප්‍රචාරය ලැබුණු අතර ආණ්ඩුවට අන්තර්ජාතික ප්‍රජාව හමුවේ භාවිතා කිරීමට අවශ්‍ය හොඳ තුරුම්පු ලැබුණි. මෙය වින් වින් සිටුවේෂන් එකක් නොවේද?

14) මෙම ගරිල්ලා මාකටින් වියාපෘතිය සැලසුම් කලේ ඔස්ට්‍රේලියාවේදීද නැතහොත් කොළඹ දී ද ?

15) අන්තිමට ගොනාට ඇන්දුනේ කවුද ? මෙම නාටකය දෙස බලා සිටි ප්‍රේක්ෂකයන්ද ?

| ඉන්ස්පෙක්ටර් ඩිකී වීරකෝන් විසිනි



සුදු වෑන් විරෝධය ලන්ඩනයටත්.

ජන අරගල ව්‍යාපාරයේ මූලිකත්වයෙන් එක්සත් රාජධානියේ විවිධ මානවහිමිකම් සංවිධාන කිහිපයක් හා දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන් අප්‍රේල් 10 වනදා දහවල් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂනයේ අවස්ථාවක්.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පේ‍්‍රමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන දෙදෙනා රාජපක්ෂ රෙජිමය විසින් පැහැරගැනීමට විරෝධය පෑම හා ශ්‍රී ලංකාවේ සිදුකරන අතුරුදහන් කිරීම් හා පැහැරගෙනයාම් ආදියට එරෙහිව මෙම උද්ඝෝෂනය පැවැත්විණි.

 
 




ඔවුන් මට ලිංගික වදහිංසා කළා - කුමාර් සිද්ධිය හෙළි කරයි

මීට ස්වල්ප වෙලාවකට පෙර ඔස්ට්‍රේලියාවේදී මාධ්‍ය ඇමතු ප්‍රේමකුමර් ගුණරත්නම් මහතා තමාට ආණ්ඩුවේ ඒජන්තයින් තමන් පැහැර ගැනීමෙන් පසු සිදු වූ දෑ පිළිබඳව විස්තර කරනු ලැබීය.

තමන් පැහැර ගැනීමෙන් පසු දින තුනක් රඳවාගෙන දෑස් බැඳ තබා, අත්වලට සහ පාදවට මාංචු දමා ලිංගිකව මෙන්ම ශාරීරික වද හිංසාවට ලක් කළ බව ඔහු අද පසවරුවේ සිඩ්නි හී පිහිටි තම නිවසේදී දී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියානු ආණ්ඩුව මැදිහත් නොවන්නට මගේ සහෝදරයා , සහ දහස් ගණනක් වූ දේශපාලන ක්‍රියාදාරයින් මෙන්ම ජනමාධ්‍යවේදීන් මරා දැමු අකාරයට තමන් මරා දැමීම නිශ්චිත බව, කුමාර් එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.


ගුණරත්නම් සහ දිමුතු පැහැරගත්තේ ආණ්ඩුවෙන්


ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේශපාලන පක්ෂ හා සංවිධානවල නායකයින් විසින් අද :08- රාජගිරිය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය. එහිදී පක්ෂ හා සංවිධානවල නායකයෝ මෙසේ අදහස් දැක්වූහ.


පුබුදු ජයගොඩ මහතා - ජන අරගල ව්‍යාපාරය

පසුගිය මාස කිහිපය තුළ අපට විවිධාකාර තර්ජන එල්ල වුණා. පසුගිය දෙසැම්බර් 09 වැනිදා ලලිත් කුමාර් වීරරාජ් සහෝදරයාත්, කුගන් මුරුගානන්දන් සහෝදරයාත් යාපනයේදී පැහැර ගත්තා. ඒ ගැන ආරක්ෂක අංශ, පොලිසිය, ආණ්ඩුව කිව්වේ දන්නේ නැහැ කියලා, දැන් කුමාර් ගුණරත්නම් සහෝදරයාත් දිමුතු ආටිගල සහෝදරියත් පැහැර ගෙන ගොස් තිබෙනවා. කලින් වගේම ඔවුන් දෙදෙනා ගැනත් පොලිසිය කියන්නේ දන්නේ නැහැ කියලා.

අද ආණ්ඩුව නව ලිබරල් ධනවාදය ක්‍රියාත්මක කරමින් ඉන්නවා. එය ක්‍රියාත්මක කරමින් ඉන්නේ රජු වැනි සංකල්ප සමග ආසියාතික පසුගාමීත්වයේත් ඒ වගේම මිලිටරිකරණයේත් සංකලනයක් සමග. ඒ නිසා ආණ්ඩුව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියට අපි විරෝධය පළ කළ යුතුයි.

හෙට අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා අලුත් ගමනක් ආරම්භ කරන සූදානමින් හිටියේ. ඒ ඉදිරිපත් කරන්න යන වැඩපිළිවෙළටල දේශපාලන නායකත්වයට බය වුණු පිරිසක් තමයි මේ පැහැර ගැනීම සිදු කර තිබෙන්නේ. මේක සියලු දෙනාගේම දේශපාලන අයිතිවාසිකම් පිළිබඳවත් ප්‍රශ්නයක්ග ඒ නිසා කවර වෙනස්කම් තිබුණත් මීට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි කියා අපි විශ්වාස කරනවා. මෙවැනි සිදුවීම් හමුවේ තවදුරටත් නිහඬව ඉන්නවා නම්, එය මේ භූමිය මත ලේ ගංගා ගලා යන්න හේතු වේවි. ඒ නිසා නිහඬව නොසිට මේ තත්වය පරාජය කරන්න පෙළ ගැසෙමු කියා අපි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සුරේන්ද්‍ර අජිත් රූපසිංහ මහතා - මාවෝවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය

ලලිත් කුගන් දෙන්නා සුදු වෑන් එකකින් පැහැර ගෙන ගිහින් නීති විරෝධීව රඳවාගෙන සිටින බව අපි දන්නවා. ඒ වගේම පසුගියදා වැල්ලම්පිටියේදී නගරාධිපතිවරයා පැහැර ගෙන යන්න ආ සුදු වෑන් එකක සිටි පිරිසක් ප්‍රදේශවාසීන් අල්ලා ගත්තා. ප්‍රෙමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම ගැන මේ රාජපක්ෂ රෙජීමය වගකිව යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නේ එක්කෝ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්න. නැත්නම් නිදහස් කරන්න.

සිරිතුංග ජයසූරිය මහතා - එක්සත් සමාජවාදී පක්ෂය

මේ ආණ්ඩුව බලයට පත් වුණු දවසේ ඉඳලා පැහැර ගැනීම් මරා දැමීම් සිදු කළා. නමුත් මෙතෙක් කාලයකට එක චූදිතයේවත් අධිකරණයට ඉදිරිපත් කරන්න ආණ්ඩුවට බැරි වුණා. ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕන. මේ මිලිටරි පාලනය පළමු වතාවකට කාන්තාවකට අත තියලා තිබෙනවා. කාන්තාවක් පැහැර ගෙන ගිහින් තිබෙනවා. මේ ගැන ඇහුවාම පොලිසියල හමුදාවල ආරක්ෂක අමාත්‍යාංශයල ආණ්ඩුවේ නිල ප්‍රකාශකයා කියනවා අපි දන්නේ නැහැ කියලා එහෙම නම් අපි අහනවා, .තමුසෙලාට පිටින් වෙන ආණ්ඩුවක් මේ රටේ තිබෙනවාද කියලා.

වික්‍රමබාහු කරුණාරත්න මහතා - නව සම සමාජ පක්ෂය

මෙම පැහැර ගැනීම කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෙට පවත්වන්න නියමිත ඔවුන්ගේ සමුළුව කඩාකප්පල් කර බියවැද්දීමකින් අවුල් කරන්න කියා පේනවා. නමුත් එම පක්ෂය වටා ඉන්න වාමාංශික ජනතාව බය වෙලා නිහඬව හිඳියි කියා මම විශ්වාස කරන්නේ නැහැ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වටා එකතු වෙලා ඉන්න තරුණයින්ට ආණ්ඩුව බයයි. පසුගිය මාස දෙකක කාලය තුළ 29 දෙනෙක් අතුරුදහන් වෙලා. මේ අතුරුදහන් වීම් පැහැර ගැනීම් සිදු වෙන්නේ සටන් තිබුණු ප්‍රදේශවල. කම්කරුවන්, ධීවරයින්ල ශිෂ්‍යයින්, උතුරේ තරුණයින් සටන් කළ ප්‍රදේශවල. ඒ නිසා මේ මර්දනය කිසියම් සැලසුමකට අනුව සිදු වන බව පැහැදිලියි. මේ මර්දනය කියන්නේ ආණ්ඩුවේ අන්තිම මර ලතෝනියයි.

මහින්ද දේවගේ මහතා - සමාජවාදී පක්ෂය

බියකරු සමාජ පරිසරයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මෙම පැහැර ගැනීම අපට වූ දෙයක් ලෙසයි අප සැලකිය යුත්තේ. කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැර ගැනීම පිටුපස විශාල අනතුරු ඇඟවීමක් තිබෙනවා. නව ලිබරල් ධනවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂවලටල ව්‍යාපාරවලට මේ තර්ජනය නැහැ. නව ලිබරල්වාදය පෙරලා දැමිය යුතුයි කියා විශ්වාස කරන, ඒ වෙනුවෙන් වැඩ කරන ව්‍යාපාර පසුපසයි මේ මර්දනය හඹා එන්නේ.

සුමිත් චාමින්ද මහතා - ප්‍රැක්සිස් සාමූහිකය

මේ දෙදෙනා පැහැර ගැනීමට පෙර ඒ සඳහා ආණ්ඩුව මතවාදය හැදුවා. ඉතාම සැලසුම් සහගතව ඔවුන් කැරලිකාර කණ්ඩායම ලෙස හැඳින්වූවා. කැරලිකාර. යෙදුමට අමතරව ආයුධ ගන්න හදනවා, විප්ලව කරන්න හදනවා වැනි ප්‍රචාර සැලසුම් සහගතව ගෙන ගියා. ඒ එක පැත්තක් ඒ වගේම අනෙක් පැත්තෙන් මාධ්‍ය සිවිල් මත හදන්නන් සහ නිහඬ බහුතරය මීට කොතරම් වගකිව යුතුද? අපි ඒ ගැනත් කල්පනා කළ යුතුයි. විකල්ප මත දරන්නන් කැරලිකරුවන් ලෙස හඳුන්වන මානසිකත්වයක නම් සමාජය ඉන්නේ මෙවැනි පැහැර ගැනීම් තවදුරටත් සිදු වේවි.

අතුරුදන් කිරීම් මේ ආණ්ඩුවෙන් ප්‍රවණතාවය වෙලා


කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය පැහැර ගැනීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් රාජගිරිය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී අද මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

නිර්මාල් රංජිත් දේවසිරි මහතා

අපි මේ පැහැර ගැනීම ගැන ඍජුවම කිසිවකුට ඇගිල්ල දිගු කරන්නේ නැහැ. නමුත් අපට කිසියම් අනුමාන තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානය යොමු විය යුතුයි. මීට පෙර අතුරුදහන් වුණේ සමාජයේ අද්දර සිටි අය. පාතාල සාමාජිකයින් වැනි අය. නමුත් කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැර ගැනීම මගින් එය සමාජය කේන්ද්‍රයට පැමි‍ණ තිබෙන බව පෙනෙනවාග දෙවැනි කරුණ තමයි ආණ්ඩුව මේ ගැන අවධානය යොමු කළ යුතුයි. මෙවැනි සිදුවීම් හමුවේ රාජ්‍ය තන්ත්‍රයට ඇහැ කන පියාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ආණ්ඩුවට තිබෙනවා. මේවා හුදකලා සිදුවීම් නොවෙයි. ප්‍රවණතාවන්.

ගාමිණී වියන්ගොඩ මහතා

මෙම පැහැර ගැනීම් ගැන මොන තරම් සාකච්ඡා කළත් ඒවා අඩුවීමක් සිදු වී නැහැ. ඒ වෙනුවට වැඩි වෙලා තිබෙනවා. පෙබරවාරි මාර්තු මාස දෙක තුළ පුද්ගලයින් 29 දෙනකු පැහැර ගෙන ගිහින් තිබෙනවා. ඒ කියන්නේ දවස් දෙකකට එක් අයෙක් බැගින් පැහැර ගෙන. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිළී යාමක් ලෙසයි අපි මෙය දකින්නේ. පාලකයින්ට ක්‍රියාකාරීව බලපෑමක් නොකරන්නේ නම් රටේ අනාගතය තවත් අනතුරුදායක වේවි.

චන්ද්‍රගුප්ත තේනුවර මහතා

සමාජයේ කන් බිහිරි කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. රාජ්‍යයන්ත්‍රය යොදා ගෙන මිනිස් මනස් විකෘති කරමින් තිබෙනවා. විකල්ප මත දරන්නන් කැරලිකාරීන් දේශද්‍රෝහීන් කියා ලේබල් කිරීම තවමත් නතර කර නැහැ. නීතිගරුක සමාජයක් වෙත නැවත යාමේ අවශ්‍යතාව තදින් තිබෙනවා.

ලියනගේ අමරකීර්ති මහතා

මෙම පැහැර ගැනීම් දිහා බැලුවාම දකින්න තිබෙන්නේ එක්තරා ගුප්ත ස්වභාවයක්. අලුත් පක්ෂයක් එන්න හදන විට එහි නායකයා හිතා ගන්න බැරි විදියට පැහැර ගෙන යනවා. ඊට අපි විරුද්ධ විය යුතුයි. විශ්වවිද්‍යාල ආචාර්යවරයේ ලෙස ඔවුන්ගේ අලුත් අදහස දැන ගැනීමේ අවශ්‍යතාවක් මට තිබෙනවා. උතුරේ දෙමළ ජනතාව සහ දකුණේ සිංහල ජනතාව එකට එක් කර ගත් ගමනක් යා යුතුයි කියන මතය යුද්ධයෙන් පසුව පළමුවෙන්ම සාකච්ඡා කළේ ඔවුන්.

ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම සම්බන්ධයෙන් පැවැත් වූ මාධ්‍ය හමුව


ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය ආරක්ෂක අංශවි විසින් අත්අඩංගුවට ගනු ලැබීම පිළිබඳව අද ජන අරගල ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත් විණි. 

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ප්‍රේම්කුමාර් ගුණරත්නම් මහතාගේ මව වී. ආර්. ගුණරත්නම් මහත්මිය...
"මම විශ්‍රාමික ගුරුවරියක්. කෑගල්ල ප්‍රදේශයේ ඉපදිලා, එම ප්‍රදේශයේම අධ්‍යාපනය ලබලා රැකියාවල නිරත වුණා. ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. පුතාලා දෙන්නා පේරාදෙණිය ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණා. එහිදී ඔවුන් දේශපාලන කටයුතුවල නිරතවී තිබෙනවා. මම ඒ ගැන වැඩි විස්තර දන්නේ නැහැ.


1989දී මගේ ලොකු පුතා රංජිතම් ගුණරත්නම් මේ වගේම අරන් ගියා. එයා කොපමණ කාලයක් රදවාගෙන සිටියාද කියා මම දන්නේ නැහැ. ඔහු අතුරුදහන් කළා. නමුත් මම ඔහු කොහේ හරි ඉදලා අම්මේ කියාගෙන ඒවි කියා හිතුවා.

නමුත් අද මගේ දෙවැනි පුතාත් ඒ විදිහටම පැහැරගෙන ගොස් තිබෙනවා. මෙයාටත් ලොකු පුතාට වුණු දේ වෙයි කියා බයක් තිබෙනවා. එනිසා මම අම්මා කෙනෙක් ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මගේ දරුවා බේරා ගැනීමට මැදිහත් වෙන්න. දරුවන් දෙදෙනෙකු අහිමිවීම අම්මා කෙනෙක් ලෙස දරා ගන්න බැහැ. එනිසා ජාත්‍යන්තර ප්‍රජාව ඇතුළු සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා මේ රට වෙනුවෙන් මගේ පුතා බේරා දෙන්න."

එහිදී අදහස් දැක්වූ නිරන්ජනී ගුණරත්නම් මහත්මිය මෙසේ පැවසීය.



"මම ප්‍රේම්කුමාර් ගුණරත්නම්ගේ බාල සහෝදරිය. මගේ අයියා අප්‍රේල් 6 වැනිදා ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. මේ වන තුරුත් කිසිම තොරතුරක් නැහැ. අයියා කරපු ලොකුම වැරැද්ද තමයි මේ රටට ආදරය කරපු එක. රට වෙනුවෙන් යම් වෙනසක් කරන්න ඕන කියලා කැපවුණු එක. එනිසා ඊට අකමැති අය ඔහුගෙන් පළිගන්න උත්සාහ කරනවා.

අපගේ ලොකු අයියා රංජිතම් ගුණරත්නම්, ඔහුත් මේ වගේම 1989දී පැහැරගනු ලැබුවා. ඔහුට අම්මා සහ මා ඉදිරියේ වද දුන්නා. අපිට බයයි මේ මොහොතේදී ප්‍රේම්කුමාර් අයියාටත් ඒ දේ වෙයිද කියලා. අයියා කිසියම් හෝ වරදක් කර තිබෙනවා නම් ඊට නීතිමය ලෙස කටයුතු කරන්න කියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

අයියාගේ දුවයි පුතයි තාත්තා ගැන විස්තර අහනවා. ඔවුන්ට අපි මොනවද කියන්නේ. ඒ වගේම පසුගිය ජනවාරිවල අයියාගේ බිරිද ලංකාවට ආපු වෙලාවේ ඇයට නොසෑහෙන කරදර කළා. ගුවන් තොටුපළේදී රදවාගෙන ප්‍රශ්න කළා.

අපි මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා රට වෙනුවෙන් අයියා බේරා ගැනීමට අපිත් සමඟ පෙළ ගැසෙන ලෙස."


මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් චමීර කොස්වත්ත මහතා මෙසේ පැවසීය.

"අපි මේ සිදුවීම ගැන රජයේ දැනුම්දිය යුතු සියලු ආයතනවලට දැනුම් දී තිබෙනවා. පැමිණිලි කළ යුතු තැන්වලට පැමිණිලි කළා. ආණ්ඩුව ඉක්මනින්ම ඔවුන් ගැන තොරතුරක් කියාවි කියා අපි විශ්වාස කරනවා.
දිගින් දිගටම සිදු වන මානව අයිතීන් උල්ලංඝනය කිරීමේ තවත් අවස්ථාවක් ලෙසයි මේ අවස්ථාව අපි දකින්නේ. එම මර්දනය දැන් දේශපාලන පක්ෂවල නායකයින් පැහැර ගෙන යන තත්වයට පත් වෙලා තිබෙනවා. ඔවුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරිම දේ අපි කරනවා. ජාතිකවත් ජාත්‍යන්තර වශයෙනුත් මැදිහත් විය හැකි උපරිම මැදිහත්වීම කරනවා. ප්‍රේමකුමාර් ගුණරත්නම් සහෝදරයා ගැන මාධ්‍ය මගින් විවිධ අසත්‍ය ප්‍රචාර පසුගිය කාලයේ පළ කරමින් සිටියා. ඔහු සැඟ වුණු පුද්ගලයෙක් ලෙස හැඳින් වුවා. හෙට පැවැත්වීමට නියමිත සමුළුවේදී ඔහු ප්‍රසිද්ධ දේශපාලනයට එන තුරු අපි සියලු දෙනා බලා හිටියා.
දිමුතු ආටිගල සහෝදරිය කියන්නේ 1988 පමණ සිට කලින් ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනව දේශපාලනය කළ කෙනෙක්. 1994 සිට ඇය සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකාව ලෙස කටයුතු කළා. ඒ වගේම ජන අරගල ව්‍යාපාරයේ ජාත්‍යන්තර හා කාන්තා කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙස කටයුතු කළා.

පසුගිය මාස හයක හතක කාලය තුළ ආරක්ෂක අංශවල පුද්ගලයින් කටයුතු කළ ආකාරය අනුව, ඒ වගේම කුමාර් සහෝදරයාගේ බිරිඳ හා දරුවන් ලංකාවට පැමිණි පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් ඔවුන් පීඩාවට පත් කළ ආකාරය අනුව ඉතාම පැහැදිලියි මීට රජය වගකිව යුතුයි කියා. ඔවුන් දෙදෙනා හෙට පැවැත්වෙන සමුළුව සාර්ථක කර ගැනීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළා. ඒ නිසා ඔවුන් පැහැර ගත්තේ සමුළුව කඩාකප්පල් කිරීමේ වුවමනාවෙන්ද කියන සැකය තිබෙනවා. 

ඒ නිසාම ඔවුන් දෙදෙනා නිදහස් කර ගන්න උපරිම මැදිහත් වන අතරේ ඔවුන් සාර්ථක කර ගන්න වෙහෙස වූ සමුළුව සංවිධානය කළාටත් වඩා සාර්ථකව පවත්වන්න අපි උත්සාහ කරනවා. අපි ඔවුන් වෙනුවෙන් එය කළ යුතුයි."

මෙම මාධ්‍ය හමුවට ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතාගේ මව වන වී.ආර්. ගුණරත්නම්, ඔහුගේ නැගනිය වන නිරංජනී ගුණරත්නම්, ඔහුගේ ඥාති සොයුරියක වන නන්දනී සෝමරත්න, ඔහුගේ ඥාති සෙහොයුරන් වන එම්. පී. තිබ්බටුවාව, ජයන්ත කුමාර, ජේ.ඩී. ඩයස් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.