ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම සම්බන්ධයෙන් පැවැත් වූ මාධ්‍ය හමුව


ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය ආරක්ෂක අංශවි විසින් අත්අඩංගුවට ගනු ලැබීම පිළිබඳව අද ජන අරගල ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත් විණි. 

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ප්‍රේම්කුමාර් ගුණරත්නම් මහතාගේ මව වී. ආර්. ගුණරත්නම් මහත්මිය...
"මම විශ්‍රාමික ගුරුවරියක්. කෑගල්ල ප්‍රදේශයේ ඉපදිලා, එම ප්‍රදේශයේම අධ්‍යාපනය ලබලා රැකියාවල නිරත වුණා. ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. පුතාලා දෙන්නා පේරාදෙණිය ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණා. එහිදී ඔවුන් දේශපාලන කටයුතුවල නිරතවී තිබෙනවා. මම ඒ ගැන වැඩි විස්තර දන්නේ නැහැ.


1989දී මගේ ලොකු පුතා රංජිතම් ගුණරත්නම් මේ වගේම අරන් ගියා. එයා කොපමණ කාලයක් රදවාගෙන සිටියාද කියා මම දන්නේ නැහැ. ඔහු අතුරුදහන් කළා. නමුත් මම ඔහු කොහේ හරි ඉදලා අම්මේ කියාගෙන ඒවි කියා හිතුවා.

නමුත් අද මගේ දෙවැනි පුතාත් ඒ විදිහටම පැහැරගෙන ගොස් තිබෙනවා. මෙයාටත් ලොකු පුතාට වුණු දේ වෙයි කියා බයක් තිබෙනවා. එනිසා මම අම්මා කෙනෙක් ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මගේ දරුවා බේරා ගැනීමට මැදිහත් වෙන්න. දරුවන් දෙදෙනෙකු අහිමිවීම අම්මා කෙනෙක් ලෙස දරා ගන්න බැහැ. එනිසා ජාත්‍යන්තර ප්‍රජාව ඇතුළු සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා මේ රට වෙනුවෙන් මගේ පුතා බේරා දෙන්න."

එහිදී අදහස් දැක්වූ නිරන්ජනී ගුණරත්නම් මහත්මිය මෙසේ පැවසීය.



"මම ප්‍රේම්කුමාර් ගුණරත්නම්ගේ බාල සහෝදරිය. මගේ අයියා අප්‍රේල් 6 වැනිදා ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. මේ වන තුරුත් කිසිම තොරතුරක් නැහැ. අයියා කරපු ලොකුම වැරැද්ද තමයි මේ රටට ආදරය කරපු එක. රට වෙනුවෙන් යම් වෙනසක් කරන්න ඕන කියලා කැපවුණු එක. එනිසා ඊට අකමැති අය ඔහුගෙන් පළිගන්න උත්සාහ කරනවා.

අපගේ ලොකු අයියා රංජිතම් ගුණරත්නම්, ඔහුත් මේ වගේම 1989දී පැහැරගනු ලැබුවා. ඔහුට අම්මා සහ මා ඉදිරියේ වද දුන්නා. අපිට බයයි මේ මොහොතේදී ප්‍රේම්කුමාර් අයියාටත් ඒ දේ වෙයිද කියලා. අයියා කිසියම් හෝ වරදක් කර තිබෙනවා නම් ඊට නීතිමය ලෙස කටයුතු කරන්න කියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

අයියාගේ දුවයි පුතයි තාත්තා ගැන විස්තර අහනවා. ඔවුන්ට අපි මොනවද කියන්නේ. ඒ වගේම පසුගිය ජනවාරිවල අයියාගේ බිරිද ලංකාවට ආපු වෙලාවේ ඇයට නොසෑහෙන කරදර කළා. ගුවන් තොටුපළේදී රදවාගෙන ප්‍රශ්න කළා.

අපි මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා රට වෙනුවෙන් අයියා බේරා ගැනීමට අපිත් සමඟ පෙළ ගැසෙන ලෙස."


මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් චමීර කොස්වත්ත මහතා මෙසේ පැවසීය.

"අපි මේ සිදුවීම ගැන රජයේ දැනුම්දිය යුතු සියලු ආයතනවලට දැනුම් දී තිබෙනවා. පැමිණිලි කළ යුතු තැන්වලට පැමිණිලි කළා. ආණ්ඩුව ඉක්මනින්ම ඔවුන් ගැන තොරතුරක් කියාවි කියා අපි විශ්වාස කරනවා.
දිගින් දිගටම සිදු වන මානව අයිතීන් උල්ලංඝනය කිරීමේ තවත් අවස්ථාවක් ලෙසයි මේ අවස්ථාව අපි දකින්නේ. එම මර්දනය දැන් දේශපාලන පක්ෂවල නායකයින් පැහැර ගෙන යන තත්වයට පත් වෙලා තිබෙනවා. ඔවුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් කළ හැකි උපරිම දේ අපි කරනවා. ජාතිකවත් ජාත්‍යන්තර වශයෙනුත් මැදිහත් විය හැකි උපරිම මැදිහත්වීම කරනවා. ප්‍රේමකුමාර් ගුණරත්නම් සහෝදරයා ගැන මාධ්‍ය මගින් විවිධ අසත්‍ය ප්‍රචාර පසුගිය කාලයේ පළ කරමින් සිටියා. ඔහු සැඟ වුණු පුද්ගලයෙක් ලෙස හැඳින් වුවා. හෙට පැවැත්වීමට නියමිත සමුළුවේදී ඔහු ප්‍රසිද්ධ දේශපාලනයට එන තුරු අපි සියලු දෙනා බලා හිටියා.
දිමුතු ආටිගල සහෝදරිය කියන්නේ 1988 පමණ සිට කලින් ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනව දේශපාලනය කළ කෙනෙක්. 1994 සිට ඇය සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකාව ලෙස කටයුතු කළා. ඒ වගේම ජන අරගල ව්‍යාපාරයේ ජාත්‍යන්තර හා කාන්තා කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙස කටයුතු කළා.

පසුගිය මාස හයක හතක කාලය තුළ ආරක්ෂක අංශවල පුද්ගලයින් කටයුතු කළ ආකාරය අනුව, ඒ වගේම කුමාර් සහෝදරයාගේ බිරිඳ හා දරුවන් ලංකාවට පැමිණි පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් ඔවුන් පීඩාවට පත් කළ ආකාරය අනුව ඉතාම පැහැදිලියි මීට රජය වගකිව යුතුයි කියා. ඔවුන් දෙදෙනා හෙට පැවැත්වෙන සමුළුව සාර්ථක කර ගැනීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළා. ඒ නිසා ඔවුන් පැහැර ගත්තේ සමුළුව කඩාකප්පල් කිරීමේ වුවමනාවෙන්ද කියන සැකය තිබෙනවා. 

ඒ නිසාම ඔවුන් දෙදෙනා නිදහස් කර ගන්න උපරිම මැදිහත් වන අතරේ ඔවුන් සාර්ථක කර ගන්න වෙහෙස වූ සමුළුව සංවිධානය කළාටත් වඩා සාර්ථකව පවත්වන්න අපි උත්සාහ කරනවා. අපි ඔවුන් වෙනුවෙන් එය කළ යුතුයි."

මෙම මාධ්‍ය හමුවට ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතාගේ මව වන වී.ආර්. ගුණරත්නම්, ඔහුගේ නැගනිය වන නිරංජනී ගුණරත්නම්, ඔහුගේ ඥාති සොයුරියක වන නන්දනී සෝමරත්න, ඔහුගේ ඥාති සෙහොයුරන් වන එම්. පී. තිබ්බටුවාව, ජයන්ත කුමාර, ජේ.ඩී. ඩයස් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.