The Most/Recent Articles

Showing posts with label Human Rights. Show all posts
Showing posts with label Human Rights. Show all posts

මංගල ගේ නික්මයාම

මංගල අප අතහැර ගියේ ජීවතුන් අතර සිටිය යුතුම අවස්තාවකදීය.

වික්ටර් අයිවන් 

රට වෙලාගෙන තිබෙන වසන්ගත තත්වයට අතිරේකව සමාජ- දේශපාලන ක්‍රමයේද රාජ්‍යයේ හා ආර්තිකයේ ද ඇතිවී තිබෙන මහා බිද වැටීම ගැන මංගලට අවබෝදයක් තිබුනි.අර්බුදය බොහෝ කල් නොගොස් ආණ්ඩුවට ද දරාගෙන සිටිය නොහැකි තත්වයකට පත් වනු ඇති බව හා සමහර විට එය ලන්කාව සැබෑ ප්‍රතිසන්ස්කරන වැඩ සටහනකට යොමුකිරීමට ලැබෙන ඓතිහාසික අවස්තාවක් ලෙස සලකා ක්‍රියා කල යුතුව තිබෙන බවත් අප ඇතිකරගෙන තිබුනු එකගතාවේ ලක්ෂනයක් විය.

මට මංගල අවසන් වරට හමුවූයේ ජූලි 30 වන දින ඔහුගේ රැඩිකල් කේන්ද්‍ර ‍යේදීය.ඉන් පසු අපි අගෝස්තු 10 වනදා ගාල්ලේදී හමු වීමට සැලසුම් කරගෙන තිබුනි.අලුත් සහ පරන ආණ්ඩු විරෝදි බලවේගයන්ද විපර්‍යාසයක් සදහා පෙනී සිටින මහජන බලවේගයන්ද එක පෙරමුනකට ගෙන ආණ්ඩු පක්ෂයද කැමති කරවා ගනිමින් හෝ කැමති නොවන්නේ නම් රන්ඩු කරමින් හෝ ලංකාව මහජනයා කේන්ද්‍ර කරගත් වියුහමය ප්‍රතිසන්ස්කරන වැඩ සටහනකට තල්ලු කිරීම අපි ඇති කරගෙන තිබූ සිහිනය විය.අගෝස්තු 10 වනදා ප්‍රවනතා ගනනාවක නියෝජිත පිරිසක් ගාල්ලේදී හමු වීමට සැලසුම් කරගෙන තිබුනද මංගලගේ කාර්‍ය මණ්ඩලයේ තිදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව හා ඒ නිසා මංගලද කොරන්ටයින් වීමට තීරන ය කිරීම නිසා 10 වනදා හමුව දින නියමයක් නැතිව කල් තබන්නට සිදු විය.

මට මංගල සමග අලුත් මිත්‍රත්වයක් ඇති වුයේ පරන මිත්‍රත්වය බිද වැටී අවුරුදු 20 කට පමණැ පසුවය.ඒ සේ සිදුවූයේ චන්ද්‍රිකා පාලන කාලයේදී ඇය සමග ඇති කර ගත් ගැටුම් වල ප්‍රති පලයක් වශයෙනි.අලුත් මිත්‍රත්වයට පාර කැපුන ආකාරයද අපූරුය.මංගල ඔහු ගැන ලිය වුන චරිතාපදානය (ඛේමාගේ කොලුවා) සිංහල පිටපත එළි දැක්වීමේ උත්සවේ ප්‍රදාන දේශනය දෙන ලද්දේ මටය." තමන් ගැන හෝ තමන් ගේ පොත ගැන නොව මා කැමති මාතෘකාවක් " කතා කරන ලෙස ඔහු කීවේය.මා එම ආරාදනය බාර ගත්තේ මාගේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබූ " ලංකාවේ ඇතිවන්නට නියමීත මහා බිද වැටීම" ගැන කතා කරන්නට එය හොද වේදිකාවක් කර ගත හැකි බව මට පෙනුනු නිසාය.ඒ වන විට ආණ්ඩුවේ මුදල් ඇමති වූ නිසා මාගේ දේශනයට ඔහු ලොකු පසු බිම් වටිනාකමක් දෙනු ඇති බව මගේ මතය වී තිබුනි.එම උත්සවය පැවැති අවස්තාවෙදී මාතර තාගොර් අනුස්මරන ශාලාව අතුරු සිදුරු නැතිව පිරී තිබුනි.ලංකාවේ ඇතිවන්නට නියමීත මහා කඩාවැටීම ගැන මා කල කතාවට අසන්නන්ගෙන් ලැබෙමින් තිබුන යහපත් ප්‍රතිචාර මගේ කතාවේ ප්‍රබලතාව වර්දනය කරන සාදකයක් ලෙස ක්‍රියා කලේය.ඊලග ජනාදිපති වරනයෙන් දිනන්නේ කව් රුන් වුවද ලංකාවේ මහා බිද වැටීමක් ඇතිවීම නො වැලැක් විය හැකි බවත් ඒ ඇතිවන්න්ට යන විනාශ්‍යට ලංකාව පාලනය කල සියලු පාලකියින් වග කිව යුතු බවත් මම කීවෙමි. මගේ කතාවට පසු කතාව තිබුනේ මංගලටය.ඔහු මගේ විග්‍රහයට පහර දෙන පිලි වෙතක් අනුගමනය කරනවා වෙනුවට මාගේ රුදුරු විවේචනය බාර ගනිමින් ලංකාව ඇද වැටී තිබෙන අවසනාවන්ත තත්වයට තමන්ද වග කිව යුතු බව කීවේය.ඉන් පසු දුර කතනයෙන් මා අමතා කතා කල අවස්තාවකදී මාගේ කතාව තමන්ගේ දෙකනේ තවමත් දෝංකාර ගෙන දෙන බවත් ආපසු හැරී බැලීමක් කිරීමට එම කතාව තමන්ට ලොකු බල පෑලමක් කරමින් තිබෙන බවත් කීවේය.

පාර්ලිමේන්තු මැතිවරනයට පෙර මට දුරකතනයෙන් කතා කල මංගල " පාර්ලිමේන්තු මැති වරනයට තරග නොකර පක්ෂ දේසපාලනයෙන් ඉවත් වීමේ අදහසක් තමන්ට තිබෙන බව" කියා ඒ ගැන මගේ අදහස කුමක් දැයි මගෙන් ඇසුවේය.පරන සියල්ල අවලන්ගුවෙමින් තිබෙන නිසා අලුත් ප්‍රවේශයක් ගැන කල්පනා කිරීම ඉතා වැදගත් බව මම කීවෙමි.ඊලගට අපි කිසියම් දිනක හමුවී ඒ ගැන සාකච්චා කලෙමු.ඒ හමුවට ඔහුට සමීප දහ දෙනෙකු පමණද සහභාගි විය.ඔහු තරග නොකිරීමේ අදහසේ දැඩිව සිටියේය. ඉන් පසු අපි විටින් විට හමු වී සැබෑ ප්‍රතිසන්ස්කරන වැඩ සටහනකට රට තල්ලු කරන්නේ කෙසේද කියන ප්‍රස්නය ගැන දිගින් දිගට සාකච්චා කලෙමු.ඒ සදහා පදනම් කරගතයුතු මූලදර්ම හදුනා ගැනීමට උත්සහා කලෙමු.පුනරුදය වියාපාරයේ මද්‍යම කාරක සභාව හා මංගලගේ කණ්ඩායම අතරද මාරවිලදී දීර්ග සාකච්චාවක් සිදු විය.මංගලට මෙම අර්බුදයේදී කරන්නට ලොකු වැඩ කොටසක් තිබුනේය. සමහර විට එය ඔහුටම විශේෂ වූ වැඩ කොටසක් ලෙසද සැලකිය හැකිය. මංගල අප අතහැර ගියේ ජීවතුන් අතර සිටිය යුතුම අවස්තාවකදීය.

කෝවිඩ් සයිකෝසියාව සමඟ කෝවිඩ් හිස්ටීරියාව

 දීප්ති කුමාර ගුණරත්න 

වසර 400 ක් පමණ වූ ධනවාදී සමාජයේ ඉතිහාසය තුළ එය සමතික්‍රමණය කළ හැක්කේ අපරිමිත විනෝදය සහ සතුට හරහා යන මතය තහවුරු වූයේ 60 දශකයේ බටහිර ශිෂ්‍ය දේශපාලනය මඟිනි. මෙම ශිෂ්‍ය දේශපාලනය මඟින් යෝජනා කරන ලද්දේ, ඕනෑම විමුක්ති ව්‍යාපාරයක් සතුට සහා විනෝදය සමඟ අනවරත ලෙස බද්ධ වී ඇති බවයි. එබැවින්, 60 දශකයට පසු වමේ ව්‍යාපාරය මිනිසුන්ට අනවරත විනෝදයක් සහ සතුටක් පොරොන්දු වෙයි. විමුක්ති ව්‍යාපාර සෑමවිටම රහසින් ලිංගික විප්ලවයක් ප්‍රාර්ථනා කිරීම මේ අනුව ව්‍යුහාත්මක ගැටලුවකි.



            විචාර න්‍යාය, සමාජීය ස්ත්‍රී-පුරුෂභාවය, දර්ශනය යනාදී මේ සෑම ක්ෂේත්‍රයක්ම විමුක්තිය සමඟ බාධාවන්ගෙන් තොර විනෝදය සපථ කරන අතර එහි විරුද්ධාභාසය නැතහොත් සතුරා ලෙස සලකන්නේ රාජ්‍යය යි. මෙම පරස්පරය නිසා ‘පොදු යහපත’ (COMMON GOOD) යන අදහසේ ‘පොදු’ සහ ‘යහපත’ යන්න යළි නිර්වචනය විය යුතු ය. මෙහිදී, ‘යහපත’ යන්න බොහෝවිට විග්‍රහ කරන්නේ ආධිපත්‍යයික හෝ රාජ්‍ය විඥාණය යි. සෑම රාජ්‍යයක්ම යහපත වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. අනෙක් පසින්, ‘පොදු’ යන්නට එරෙහි දෙයක් ලෙසින් ආධිපත්‍යය සැලකෙයි. වඩ වඩා මෙම ආධිපත්‍යයන්ගෙන් නිදහස් වීම ‘පොදු බවේ’ සාරය ලෙසින් නිර්වචනය වෙයි. ආධිපත්‍යයන්ගෙන් සහ රාජ්‍ය බලපෑමෙන් නිදහස් වීම යනු, මේ යුගයේ ‘පොදු යහපතයි’.

            විනෝදයට ඇති මිනිසුන්ගේ සම්බන්ධය රැඩිකල් ලෙස ”පසු- ධනවාදය” නැතහොත් ‘පශ්චාත්-නූතන ධනවාදය’ වෙනස් කර ඇති නිසා බොහෝ විට තමන්ට ‘අතිරික්ත-විනෝදයක්’[SURPLUS ENJOYMENT] ලැබේ යැයි අනුමාන කරන තැන්වල ‘පොදු බව’, ‘පොදු යහපත’ ඇතැයි මිනිසුන් උපකල්පනය කරති. මෙම උපන්‍යාසය දේශපාලන න්‍යායට දිගු කළ විට අපට ලැබෙන චිත්‍රය අප හිතනවාට වඩා බිහිසුණු ය. ඉන් අදහස් වන්නේ, පොදු යහපත යනු ‘පොදු විනෝදයක්’ (COLLECTIVE ENJOYMENT) ලෙසින් ගැනීමයි. ලංකාවේ මාසික වැටුප් ලබන මිනිසුන් රට වසා මිනිසුන් ආරක්ෂා කරන්න යනුවෙන් බෙරිහන් දෙන විට, ඉන් ඔවුන් අදහස් කරන්නේ ‘පොදු යහපත’ යනු වැටුප් ලබන මිනිසුන් පමණක් විඳින ‘සාමූහික විනෝදය’ පොදු දෙයක් බවයි. නමුත් වැඩ කරන ජනයාගෙන් 65% කට මෙම පොදු බව පුද්ගලික අදහසකි. රජය කළ යුතු වන්නේ, මේ අයගේ වැටුපෙන් අඩක් අඩු කොට ඊළඟ මස සිට ගෙවා ඉන් ඉතිරි කර ගන්නා මුදලින් දුප්පතුන්ට රු.5000 හෝ දීමනාව ගෙවීමයි. මාසික වැටුප්ලාභීන් එසේ නො ලබන අයට වඩා ‘අතිරික්ත-විනෝදයක්’ විඳින අතර එම අතිරික්ත විනෝදය මඟින් සමාජය සංවිධානය වීම තහවුරු කළ යුතු යැයි ඔවුහු ප්‍රකාශ කරති. නමුත් අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ ‘දේශපාලන-ආර්ථිකය’ විසින් අපට පෙන්වා දෙන්නේ රටට මුදල් සොයා දෙන අයගෙන් මෙම මාසික වැටුප්ලාභීන් යැපෙන බව ය. ඒ අර්ථයෙන්, ඔවුහු පරපුට්ටන් ය. නමුත්, අවිධිමත් ආර්ථිකය නියෝජනය කරන අය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන සංවිධානයක් නැති නිසා ඒ අය නිහඬ ය. ඒ නිහඬ  බවේ විරෝධාකල්පය අප මඟින් නිරූපණය වෙයි.

            මනෝවිශ්ලේෂණය නම් විෂය අප භාවිතා කරන්නේ, ඉහත වරප්‍රසාදිත මාසික වැටුප් ලබන පරපුට්ටන් පන්තිමය වශයෙන් පහළ පන්තීන් සූරා කා ලබන ‘අතිරික්ත විනෝදය’ විචාරය කරන්නට මිස මිනිස් ස්වභාවය යනු අර්ථය ඇති තැනම විනෝදයත් ඇති ය යන දෘෂ්ටිවාදය තහවුරු කිරීමට නොවේ. මිනිස් ස්වභාවය ස්වභාවික කිරීම මනෝවිශ්ලේෂණ කාර්යයක් නොවේ. එයට ඇත්තේ, විශ්ලේෂී කාර්යයකි. හැමෝම කුමන හෝ විනෝදයක් විඳිනවා යනුවෙන් ගොඩනඟන ප්‍රවාද යනු, අන්ත තක්කඩි සංස්ලේෂණ වාදයකි. මනෝ සංස්ලේෂණය යනු, මාසික වැටුප්ලාභියාගේ ගර්හිත විද්‍යාවයි. ලැකාන් හෝ ජිජැක් හෝ කුමන ආකාරයක සුදු ජාතිකයෙක් හෝ මනෝ විශ්ලේෂණය හරහා ‘අතිරික්ත-විනෝදය’ උත්තම නො කරන අතර එය තදින් විශ්ලේෂණය කර විචාරය කර නිශේධනය කරයි. අපගේ යුගයේ විලාසිතාවක් වන්නේ, මර්ධිතයා තම මර්ධනය මර්ධකයාගේ කතිකාව හරහා නිදහසක් හෝ විමුක්තියක් ලෙස දැකීමයි. අපගේ යුගයේ දී වාම චින්තනයට ඇති රැඩිකල් අභියෝගය වන්නේ, පීඩිතයා තම මර්ධකයාව විමුක්තිකාමියෙක් ලෙස දැකීමයි. එනම්, අනන්‍යතා දේශපාලනයේ විපරිත අවකාශය යි.

            ඉහත න්‍යායික ප්‍රවේශය මඟින් අපට ලංකාවේ මිනිසුන් කොවිඩ් වෛරසයට දක්වන ආත්මීය ස්ථාවර දෙකක් පෙන්වා දිය හැකි ය. එකක්, ‘වෛරසය’ හරහා සමාජයේ සිදු වෙමින් යන ධ්‍රෑවීයකරණය හිස්ටෙරිකකරණය කිරීමයි. මේ තත්වය ලංකාවේ වෘත්තිකයන්- සෞඛ්‍ය සේවකයන්, මාධ්‍යවේදීන්, තාක්ෂණවේදීන්, විපක්ෂ දේශපාලකයන් මඟින් නිරූපණය වෙයි.

            මේ අය විසින් මාධ්‍ය හරහා ‘වෛරසය’ පිළිබඳ තදබල භීතියක් ප්‍රචාරය කරයි. මින්, සාමාන්‍ය මිනිසා අඥාන ලෙස වෛරසය ගැන භීතියට පත් වන අතර එය ප්‍රජාව තුළ පැතිර යන්නේ පාපී මිනිසුන්ට වැළඳෙන රෝගයක් ලෙසිනි. වෘත්තිකයන් සාමාන්‍ය මිනිසාව රෝගයෙන් ආරක්ෂා කිරීමට භීතියට පත් කරන අතර එම පණිවිඩයේ කණපිට පැත්ත ඔවුන්ට සම්ප්‍රේෂණය වෙයි. සාමාන්‍ය ජනයා බුද්ධිමතාගේ ඛේතය විඛේතනය කරන්නේ වෛරසය පව්කාරයන්ට වැළඳෙන රෝගයක් ලෙසිනි. ඒ නිසා, වෛරසය වැළඳුණු කිසිවෙක් එය තම අසල්වැසියාට හෝ අනෙකාට නො කියා සිටීමෙන් අතිරික්ත විනෝදයක් ලබයි. එවිට, සිදු වන්නේ වෛරසය ආසාදනය වී බොහෝ කාලයක් යනතෙක් එය වාර්තා නො කර සිටීමට සාමාන්‍ය මිනිසා පෙළඹීමයි. මරණ අනුපාතිකය ඉහළ යාමට එක හේතුවක් වන්නේ, මහජනයාගේ ගැලවුම්කාරයන්ගේ කතිකාව විසින්ම ගොඩ නඟන අතිරික්ත විනෝදය යි. ‘රජය’ මාධ්‍ය යම්කිසි නියාමනයකට ලක් නො කිරීම නිසා වෘත්තිකයන්ගේ අසාමාන්‍ය භීතිය හරහා මහජනයා වැඩි වැඩියෙන් වෛරසය නිසා මිය යයි.

            සාමාන්‍යයෙන්, කොවිඩ් මරණ ගැන සිවිල් මතය වන්නේ මරණ ප්‍රමාණය වැඩි වීමට රාජ්‍ය යාන්ත්‍රණය සහ ආණ්ඩුවේ තීන්දු ගැනීම අතර සෘජු සම්බන්ධයක් ඇති බවයි. අපගේ අනුභූතික නිරීක්ෂණ අනුව මෙම සිවිල් මතය සැබෑ ජීවිතයේ දී තීරණාත්මක ලෙස පරස්පර අදහසක් ජනිත කරයි. මේ සඳහා, අප සංවිධානයේ සාමාජිකයෙකුගේ පුද්ගලික අත්දැකීමක් ඇති පහත ඇමුණුම කියවීමෙන් ඔබට අවබෝධ කරගත හැකි ය.

            රෝගය නිසා මිය යන පිරිස වඩ වඩා වැඩි වීම සෘජු ලෙස සම්බන්ධ වන්නේ, රෝගීන්ට රෝහල් තුළ ප්‍රතිකාර කරන කළමනාකරණය කිරීමේ දුර්වලතා බව අපගේ හැඟීමයි. මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල දී මෙම කටුක ඇත්ත ප්‍රකාශයට පත්වන්නේ නැත. රෝගයේ සමාජ ව්‍යාප්තිය සහ මාධ්‍ය ප්‍රචාරණය අතර පරස්පරතා දකින්නට ලැබෙන අවස්ථා කිහිපයක් පහත දැක්වේ. 

1.නිවසේ දී රෝගීන් කළමනාකරණය කිරීමේ දී මාධ්‍ය මඟින් කරන අධිකතර බිය කිරීම් නිසා රෝගීන් වඩ වඩා බියට පත් වෙයි. කොවිඩ් රෝගයේ එක්තරා මොහොතක දී විෂාදය හට ගන්නා අතර එවැනි තත්වයක දී මේ මාරාන්තික බිය වැද්දීම නිසා ජීවිතය වෙනුවෙන් සටන් කිරීමේ ශක්තිය රෝගීන්ට අහිමි වෙයි. මෙහිදී, මාධ්‍ය සඳහා වාරණයක් සහ නියාමනයක් සහ ප්‍රවෘත්ති බලධාරියෙක් අවශ්‍ය ය. නමුත් මහජන සෞඛ්‍ය සේවකයාගේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා වූ පිරිස පිළිබඳ ආණ්ඩුවේ ආකල්පය උදාසීන ය. නිවසේ සිට රෝග කළමනාකරණය කිරීමේ දී ‘භාෂාව’ තීරණාත්මක තැනක් ගනී. ලංකාවේ දී සිදු වන්නේ, භාෂාව හසුරුවන ආකාරය අනුව රෝග ලක්ෂණ සහ රෝගය පටලවා ගැනීමයි. රෝගය නිවස තුළ සිට කළමනාකරණය කිරීමේ දී පහත සාධක කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය.

[A]රෝගය වැළදී ඇත්නම් රුධිර පරීක්ෂණයක් හරහා CRP අගය හඳුනා ගන්න. අවස්ථා දෙකක දී CRP අගය අධිකතර ලෙස වැඩි වන්නේ නම් රෝහලකට යා යුතු ය. සෙම සෙම කියා කෙඳිරි ගාන්නේ නැතිව පපුවේ X ඡායාරූපයක් ගන්න. එවිට, පෙණහල්ල ආසාදනය වී ඇතිදැයි සොයා ගත හැකි ය.  

[B] නිවස තුළ රෝගය කළමනාකරණය කිරීමේ දී රෝගියා සහ වෛද්‍යවරයා අතර පැහැදිලි භාෂා සම්බන්ධයක් ගොඩනඟා ගත යුතු ය. වෛද්‍යවරයෙකුගේ සහාය මුල් අවස්ථාවේ දී රෝගියා ලබා ගන්නේ නම් රෝගය උත්සන්න වන්නේ නැත. ‘භාෂාව’ නිවැරැදිව හසුරවන්නේ නම්, වෛද්‍යවරයා සහ රෝගියා අතර ජංගම දුරකතනයක් තිබීම සෑහේ. 

[C] අපගේ යෝජනාව වන්නේ, රෝගය උත්සන්න වීමක් (නිදන්ගත රෝග සාධක නිසා) නැතිනම් රජයේ රෝහලකට යෑමෙන් වාසියක් අත්වන්නේ නැත යන්න ය. මන්දයත්, මෙවැනි රෝහල් තුළ රෝගියාට කරන ප්‍රතිකාරවල ගුණාත්මක තත්වය වෙනස් නො වන නිසා ය. (ඇමුණුම බලන්න) රෝගියාට කරන ප්‍රතිකාරවල ගුණාත්මක තත්වය උසස් වන්නේ, ඔබ පුද්ගලික රෝහලකට ඇතුල් වුවහොත් ය. මෙතැනදී, දුප්පතුන් සහ පොහොසත් අය අතර වෙනස විද්‍යාමාණ වෙයි. රජයේ රෝහල් තුළ රෝගියාට ප්‍රතිකාර කරන්නේ රෝගියාගේම උපස්ථායකයන්  විසිනි. 

[D] මාධ්‍ය මඟින් රෝගීන් මිය යාම පිළිබඳව කතා කරන පණ්ඩිතයන් නො දන්නා සාධකයක් ඇත. රෝගීන් වැඩියෙන් මිය යන්නේ රාජ්‍යය විසින් තම යුතුකම් ඉටු නො කරන නිසා නොව රෝගය රෝහල තුළ රෝහල් අධ්‍යක්ෂවරයා සහ විශේෂඥ වෛද්‍යවරයා කළමනාකරණය නො කරන නිසා ය. රජයේ රෝහල් තුළ ‘රෝගය’ නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් රෝගී මරණ සංඛ්‍යාව අඩු වීමට නියමිත ය. 

[E] යුද්ධයක දී සොල්දාදුවන් මෙන් වසංගත තත්වයක දී වෛද්‍යවරුන් සහ සහායකයන් තම ජීවිතය නො සලකා ක්‍රියා කළ යුතු ය. එය, ඔවුන්ගේ රාජකාරිය යි. ලංකාවේ සිදුවී ඇත්තේ, සමාජ ඉණිමඟේ ආර්ථිකව සහ සමාජීයව ඉහළ යන්නන් පිරිසක් පසුගිය දශක දෙක තුළ වෛද්‍යවරුන් බවට ආදේශ වීමයි. ඔවුන් මෙම වසංගත රෝගය උත්සන්න වන මොහොතේ ඉන් පලා යමින් සිටින අතර රෝගී මරණ වැඩි වන්නේ මෙම මුඛ්‍ය සාධකය නිසා ය. 

[F] රෝගය සුව කිරීම පදනම් වන්නේ, වෛරසය ඉලක්ක කොටගෙන නොව ඉන් ඇති කරන සංකූලතාවයන් පාලනය කිරීම තුළ ය. බොහෝ දෙනා හිතන්නේ, ‘වෛරසය’ නිසා රෝගීන් මිය යන බව ය. නමුත්, එසේ මිය යන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය එයටම එරෙහිව යාම නිසා හට ගන්නා සංකූලතාවයන් නිසා ය. එම නිසා, වෛද්‍ය විද්‍යාව මේ වන විට මේ සඳහා ප්‍රතිකාර ක්‍රම සොයාගෙන ඇති අතර ඒ සඳහා දැනුවත් විය යුත්තේ විශේෂඥවරුන් මිස PHI ලා නොවේ. ඔවුන් කරන්නේ, රෝගීන් බියවද්දා රෝගීන්ගේ මානසික සෞඛ්‍යය පහළට දැමීමයි. 

[G] රට ලොක්ඩවුන් කිරීමෙන් මිය යන සංඛ්‍යාව අඩු කළ නො හැකිය. වෛරසය සැබෑවකි. තවම, ඒ සඳහා සංකේත ලෝකය තුළ විසඳුමක් (පරිපූර්ණ එන්නතක්) නො මැත. ඒ නිසා, රෝගයට නිරාවරණය වීම හැර ජනගහණයට වෙන විකල්ප නො මැත. ලබාදෙන එන්නත් සංඛ්‍යාව සහ එය ලබා නොගත් ප්‍රතිශතය අතර පරතරය අඩු කිරීමෙන් හැර මිය යාමට වෙන විකල්ප නැත. ලොක්ඩවුන් කර නැවත විවෘත කළ පසු නැවත වටයකින් යළිත් රෝගීන් ගණන වැඩි වීම හැර වෙන විකල්පයක් අපට හමුවන්නේ නැත.

[H] වෛරසය නිසා ‘සිවිල් සමාජය’ ඒ පිළිබඳව තම තමන්ගේ මත හරහා මාස්ටර්වරයාව (ජනාධිපතිවරයා) අනවරත ප්‍රශ්න කිරීමකට ලක් කරමින් සිටිති. එය, කෝවිඩ් රෝගය රට තුළ හිස්ටීරියානුකරණය කිරීමකි. අනෙක් පැත්තෙන්, සාමාන්‍ය මහජනයාට වෛරසය ගැන දැනුමක් නැති නිසා ඔවුන් ඒ ගැන තමාටම ආවේණික පුද්ගලික අර්ථ තනාගෙන ඇත. එමඟින්, රට තුළ කෝවිඩ් වෛරසය සයිකෝසිකකරණයට ලක් වී ඇත. තත්කාලීන බුද්ධිමතෙකුට සිදුවී ඇත්තේ, තම විශ්ලේෂී පිහිටුම ඉහත කතිකා දෙක මැද පවත්වාගෙන යාම පමණි. කෝවිඩ් වලට පෙර පැවති තත්වය යනුවෙන් කිසිවක් යළි අපට මුණ නො ගැසෙනු ඇත.

2. කෝවිඩ් රෝගයේ වසංගත ස්වරූපය විසින් උගන්වන වැදගත් පාඩමක් ඇත. එනම්, වෛද්‍ය අධ්‍යාපනය සඳහා තේරෙන පුද්ගලයන්ගේ පන්ති ස්වභාවය යි. වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය මුඛ්‍ය සාධකය වන්නේ, මධ්‍යම පන්තික පවුල් පසුබිමයි. වෘත්තියේ කරුණාව, සහකම්පනය එන්නේ පන්තියෙන් මිස හැඟීමෙන් නොවේ. අ.පො.ස උසස් පෙළ විභාගයේ වාස්තවික ස්වභාවය නිසා ඉන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා තේරෙන බහුතරය (විශේෂයෙන්, පසුගිය දශකය තුළ) එන්නේ ගම්බද සහ නගරබද පීඩිත පවුල් වලිනි. ඒ අය, උන්නතිකාමීන් මිස වෛද්‍යවරුන් නොවේ. මේ නිසා, රටේ උසස් අධ්‍යාපනය මධ්‍යම පන්තියට සීමා විරහිතව විවෘත කළ යුතු ය. ලංකාවේ පන්ති සටන ඇති වන්නේ එවිට ය. වසංගත රෝගය නිසා රෝගීන් වැඩිපුර මිය යන්නේ වෛද්‍යවරුන්, හෙදියන්, උපස්ථායකයන්ගේ නො සැලකිල්ල නිසා ය. මුරුත්තේටුවේ ආනන්ද වැනි භික්ෂූන්ට මේ සාධක ගැන කිසිදු ඥාණයක් නැත.

3. උසස් වෛද්‍ය අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය යනු නොමිලේ සපයන දෙයක් නොවේ. ඒ සඳහා ආයෝජනය කරන්නේ, මහජන බදු මුදල් ය. ඉස්සර, මේ මුදල් උත්පාදනය කළේ වතු දෙමළ ජනයා ය. දැන්, එය කරන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවන් සහ දේශීය ව්‍යාපාරිකයන් ය. ජනතා විමුක්ති පෙරමුණ මේ බදු ගෙවන්නන්ගේ ආයෝජන වල ගුණාත්මකභාවය වෙනුවෙන් පෙනී සිටින්නන් නොවේ. ඔවුන් යල්පැන ගිය සමාජ සාරධර්මවල කවන්ධයකි. 

++++++++++++++++++++++++++++++++++++++++

ඇමුණුම අංක 01

            මගේ මව 2021.08.18 දින COVID-19 වෛරසය ආසාදනය වී මිය ගියා ය. ඇයට වෛරසය ආසාදනය වුණු 2021.08.01 වන දින සිට ඇගේ ආදාහන කටයුතු සිදු වුණු 2021.08.17 දින දක්වාම මම සෞඛ්‍ය සේවය සමඟ ද, ඊට බද්ධව පවතින රාජ්‍ය සේවයේ වෙනත් අංශ සමඟ ද මිත්‍ර වුණෙමි, ගැටුණෙමි. මෙම යුගයේ දී අපි හැර වෙනත් කිසිවෙකු කතා නො කරන රාජ්‍ය සේවයේ යහපත්/ අයහපත් පැති දෙකම මම වින්දෙමි. අම්මා මිය යාමට ආසන්නව පදිංචි වී සිටියේ හොරණ නගරයට ආසන්නව පදිංචි වී සිටි මගේ සොයුරියගේ නිවසේ ය. ඇයට හිසේ කැක්කුම, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුව යන රෝග ලක්ෂණ තිබුණු නිසා 2021.08.01 වන දින මම හොරණ MEDI-HELP පුද්ගලික වෛද්‍ය ආයතනයෙන් ඇයට රැපිඩ්-ඇන්ටිජන් පරීක්ෂණයක්  සිදු කළෙමි. එහි දී, ඇය COVID-19 වෛරසයේ ආසාදිතයෙකු බව හදුනා ගැනීම නිසා ඇයව හොරණ මූලික රෝහල වෙත යොමු කරන ලදී. එතනින්, ඇයව රෝහලේ වාට්ටු අංක 16 වෙතට ඇතුලත් කරන ලදී. 16 වාට්ටුවට ඇතුලත් කරන ලද කිසිදු රෝගියෙකුගේ ආහාර මෙන්ම වෙනත් කිසිදු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් හොරණ රෝහලේ ප්‍රධාන ගේට්ටුවෙන් ගෙන යාමට අවසර නැත. බැලූ බැල්මට පෙනෙන්නේ මෙය හොඳ තීරණයක් ලෙසිනි. නමුත් මෙම රෝගීන්ට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන යාමට අවසර දී තිබුණේ හොරණ රෝහලේ මෝචරිය (මිනී කාමරය) අසළ ගේට්ටුවෙනි. මම අම්මාට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන ගිය හැම අවස්ථාවකදීම මෝචරිය පරිශ්‍රය තුළ කොහේ හෝ පශ්චාත් මරණ පරීක්ෂණයකි; හඬා වැටෙන මිනිසුන් හා ගැහැණුන් ය. මම එම ගේට්ටුවෙන් ඇතුල් වූයේ ම බිඳුනු සිතකිනි; කඩා වැටුණු මානසිකත්වයෙනි. 16 වාට්ටුව පොලිතීන් යොදා ආවරණය කර තිබුණු සෑම ඇඳකම ගානේ රෝගීන් දෙදෙනා බැගින් ද, බිම ද, පුටුවල ද රෝගීන්ගෙන් පිරී තිබූ වාට්ටුවකි.

            රැගෙන යන බඩු භාණ්ඩ ලබා ගැනීමට හෝ ඒවා අදාළ රෝගියා වෙත ළඟා වූවා දැයි දැන ගැනීමට ක්‍රමයක් නැත. අසාධ්‍ය තත්වයෙන් පසු නො වූ තරුණියක් මගින් මම අම්මාගේ අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ඇය වෙත යැවීමි. 16 වාට්ටුවේ දින තුන ප්‍රතිකාරවලින් පසු ඔවුන් අම්මාව හොරණ ශ්‍රී-පාලි මණ්ඩපයේ පිහිටුවා ඇති අතරමැදි රෝහල වෙත යවා තිබුණි. එහි බාහිර ආරක්ෂාව සැලසුවේ යුධ හමුදාව විසිනි. ප්‍රධාන දොරටුවට එළියෙන් මේසයක් තබා ආහාර හා අනෙකුත් ද්‍රව්‍යයන් තැබීමට එහි පහසුකම් සලසා තිබුණි. අම්මා දින තුනක් එහි සිටියා ය. තෙවන දින, එනම් 6 වැනිදා ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවය මත නැවත හොරණ රෝහලේ 16 වාට්ටුවට ඇතුළත් කර තිබුණි. එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී, ඇයට හටගත් රෝගී තත්වය උත්සන්න වූ බැවින් 9 වැනි දා 17 වාට්ටුව වෙත ඇතුළත් කර තිබුණි. 17 වාට්ටුව පිහිටා තිබුණේ, 16 වාට්ටුව අයත් ගොඩනැගිල්ලේ ම උඩු මහලේ ය. 9 වෙනිදාට අම්මා ළඟ නැවතීමට කෙනෙකු එවන මෙන් රෝහලෙන් අක්කාට දැනුම් දී තිබුණි. ඒ අනුව, 9 වෙනිදා මගේ සහෝදරිය අම්මා ළඟ නැවතීමට එහි ගියා ය. ඒ අතර කාලය තුළ ද මම දියර වර්ග මෙන්ම බෙහෙත්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම නො කඩවා සිදු කළෙමි. එකදිගටම අම්මා ළඟ රැඳී සිටීමට ඇති අපහසුව නිසා මම 13 වැනි දින අම්මා ළඟ නැවතීමට ගියෙමි. නිදිවරාගෙන සිටි නිසාත්, හිටගෙන හා පුටුවල වාඩි වී සිටීමෙන් කකුල් එල්ලාගෙන සිටීමට සිදු වූ නිසාත්, අක්කාගේ කකුල් දෙකම ඉදිමී තිබුණි. 17 වාට්ටුව සම්පූර්ණයෙන්ම මුද්‍රා තබන ලද වාට්ටුවකි. එවිට, ඇතුල්වීමට දොරවල් දෙකක් පසු කළ යුතු ය. පළමු දොර ඇරගෙන ඇතුළු වූ පසු මුහුණට මුහුණ හමු වන දොරෙන් පිවිසිය හැකි කාමරය වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත වෙන් කර ඇත. ඉන්, වම්පසට හැරී මද දුරක් ගමන් කළ විට හමුවන දොරෙන් වාට්ටුවට ඇතුල් විය හැකි ය. 

                13 වැනි දින මම මගේ මව ළඟට යන විට වාට්ටුවේ ඇති ඇඳන් 20 ම රෝගීන්ගෙන් පිරී තිබුණි. ඉන්, සියලුම දෙනා වයස අවුරුදු 50 ට නම් වැඩි රෝගීන්ය. මම වාට්ටුවට ගොස් ඇවිත් යාමට මත්තෙන් ඉන් රෝගීන් තිදෙනකු මිය ගියේය. මෙම මළ සිරුරු රැගෙන ඒමට පැමිණියේ (පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් ඇඳ) එක් රෝහල් සේවකයෙකු පමණි. (ඇය තරුණියක් බව මම පසුව දැන ගතිමි) ඇඳේ සිටින මියගිය තැනැත්තා හෝ තැනැත්තියව ට්‍රොලිය මත අතුරා ඇති පොලිතීන් කවරයට දමා ගැනීම ඉතාම අපහසු ය. එක් රෝහල් සේවකයෙකු මෙය කරන්නේ කෙසේ ද යන්න පුදුමයක් වූවත් වැඩිවෙලා එම පුදුමය මා තුළ තිබුණේ නැත. ඇය මෙම මළ සිරුරු පොලිතින් කවර වලට බහාලීමට අපෙන් උදව් ඉල්ලා සිටියා ය. රෝගීන් බලා ගැනීමට සිටි අය කිහිපදෙනෙකු විටින් විට මෙම මළ සිරුරු පොලිතීන් මළු තුළ බහාලීමටත්, පිටතට ප්‍රවාහනය කිරීමටත් ඇයට උදව් කරන ලදී. 17 වාට්ටුවේ කෙළවරට වන්නට පොදු නාන කාමරය විය. එහි COVID වැසිකිළියක් ද, කොමඩ් වැසිකිළියක් ද , නාන කාමර 2ක් ද විය. රෝගීන් සහ අපි සියලුමදෙනා පොදුවේ භාවිතා කළේ, මෙම නාන කාමරය යි. මුත්‍රා බට දමන ලද රෝගීන්ගේ මුත්‍රා මෙම වැසිකිලි දෙකට දමයි. මුත්‍රා බට නො දැමූ රෝගීන්ගේ ඔක්සිජන් බට ගලවා, ඒවා ඔක්සිජන් සිලින්ඩර වෙත සවිකර සේලයින් බෝතල් ද එලාගෙන, රෝගියාව රෝද පුටුවල තබාගෙන නාන කාමරය වෙත රැගෙන ගියේ ද අපිම ය. සාත්තු සේවක/ සේවිකාවන් තොග වශයෙන් බඳවා ගැනීම් කළ ද කිසිදු සාත්තු සේවක/ සේවිකාවක් මෙම කිසිදු කාර්යයක් සඳහා වාට්ටුව වෙත පැමිණියේ නැත.

               වෛද්‍යවරුන් සහ හෙදියන් පූර්ණ වශයෙන් මුද්‍රා තබන ලද වීදුරු කාමරයක් තුළට වී සිටි අතර අපිට ඔවුන් හා සම්බන්ධ වීමට ඉඩ ලැබුණේ මයික්‍රෆෝනයක් මඟිනි. වාට්ටුව බාර විශේෂඥ වෛද්‍යවරයා, මම අම්මා ළඟ සිටි දින 5 තුළ තෙවතාවක් පැමිණි අතර කිසිදු අවස්ථාවක රෝගීන් පරීක්ෂා කර බැලීමට වාට්ටුව තුළට පැමිණියේ නැත. මම 18 වාට්ටුවේ සිටි දින 5 තුළ වාට්ටුවට වෛද්‍යවරුන් ඇතුළු වුණේ (පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් ද හැඳ) තුන් වතාවක් පමණි. අවශ්‍ය බෙහෙත් වර්ග ලබා දීමට පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් හැඳ හෙදියන් දෙදෙනෙකු සෑම දිනයකම උදේ ද සවස ද වාට්ටුවට ඇතුල් වෙයි. මවට ලබා දී තිබු සේලයින් බෝතල් මාරු කිරීම, මුත්‍රා මැනීම, දියර වර්ග මැන ලබා දීම, ඔක්සිජන් මට්ටම පරීක්ෂා කිරීම, ධුමායනය කිරීම ආදී සියලුම දේ කරන්නට වූයේ අපටම ය. දිනක් රාත්‍රියේ මගේ මවගේත්, මවට එහා පැත්තේ ඇඳේ උන් මවගේත් සේලයින් සපයන යන්ත්‍ර දෙකම අක්‍රීය විය. ඒ පිළිබඳව මම පාන්දර 2 ට පමණ රාත්‍රී රාජකාරි හෙදියන් දැනුවත් කළෙමි. නමුත් ඔවුන් උත්සාහ කළේ, අප ලවාම එම යන්ත්‍ර නැවත පණ ගැන්වීමට ය. එය අසාර්ථක වූ පසු ඔවුන් පැවසූයේ උදේ ඒ පිළිබඳව ක්‍රියා කළ හැකි බව ය. ඒ අනුව, සේලයින් යන්ත්‍ර නැවත පණගැන්වූයේ උදේ 7ට පමණ බෙහෙත් ලබා දීමට පැමිණි හෙදියන් විසිනි. එහෙත්, කිසිදු වෛද්‍ය කාර්යමණ්ඩලයේ කෙනෙකු වාට්ටුවට ඇතුළු වූයේ නැත. වාට්ටුව පිරිසිදු කිරීම හා එහි එකතු වෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමට සිදු වූයේ ද අපට ය. එය අපේම කාර්යයක් විය. වෙන වෙනම දමා ඇති සේලයින් හිස් බෝතල්, ඉන්ජෙක්ෂන්, පුලුන්, පොලිතීන්, ආහාර (ඉඳුල්) කළුපාට පොලිතින් බෑග්වල බහා ඒවායේ කටවල් ගැටගසා දොරෙන් එළියේ තැබිය යුතු ය. වාට්ටුව පිරිසිදු කිරීමට කිසිදු රෝහල් සේවකයෙකු වාට්ටුව තුළට පැමිණියේ නැත. දින 2ක් පමණ අපි වාට්ටුවේ ගත කරන විට, අපි ද යම් යම් දේ ඉගෙන ගත්තෙමු.

                    අවසන් වූ සේලයින් බෝතලය ගලවා ඉවත් කොට අලුත් සේලයින් බෝතලයක් සවි කිරීමේ දී ඇතැම් විට වායු බුබුලක් සේලයින් නළය තුළ රැඳෙයි. එවිට, යන්ත්‍රය අමුතු හඬක් පිට කරයි; අක්‍රීය වෙයි. එවිට, රෝගියාගේ අතට සවිකර ඇති කැනීටරයෙන් සේලයින් නළය ගලවා, නළය බිමට හරවා සේලයින් ගලා යෑමට සැලැස්වීමෙන් මෙම වායු බුබුල ඉවත්කර ගත හැකි බව අපි දැන ගත්තෙමු. යන්ත්‍රය වෙත සවිකර ඇති කොළ පාට සංඥා විදුලි එළියක් නිකුත් කරන සංවේදකය සවිකළ යුත්තේ, සේලයින් බින්දුව බින්දුව රූටා පහළට වැටෙන ස්ථානයේ බව ද දැන ගත්තෙමු. යන්ත්‍රය ක්‍රියා කරන්නේ එවිට ය. ධුමායනය කිරීමේ දී ඔක්සිජන් ලබා දී ඇති ටෑන්ක් එක ගලවා ධුමායනය කරන එන්කි එක රෝගියාට පැළඳිය යුතු ය. මෙහිදී, ඔක්සිජන් නොමැති බැවින් රෝගියා හුස්ම ගැනීමේ අපහසුතාවට ලක් වෙයි. තම බිරිඳව බලාගෙන  අම්මාට එහා ඇඳේ සිටි මල්ලි කෙනෙකු ඒ සඳහා උපක්‍රමයක් වශයෙන් එම ඔක්සිජන් නළය එම එන්කි එකෙන් ගලවා ධුමායනය කරන එන්කි එකේ සිදුරක් තුළින් ඇතුල් කිරීම ආරම්භ කර තිබුණි. අපි ද එය අනුගමනය කළේමු. මෙය කිසිවෙකු විසින්  අධීක්ෂණය කළේ නැත. 15 වන දින අම්මාගේ සීනි මට්ටම 450 ඉක්මවා තිබුණි. අම්මාට දියවැඩියාව තිබුණේ නැත. දියර වර්ග පමණක් ලබා දීමට දී තිබූ වෛද්‍ය නිර්දේශය නිසා ඇයට දිගින් දිගටම අපි පලතුරු ජූස් වර්ග දී තිබුණි. එයින් අපි වලකින ලද්දේ ස්වේච්ඡාවෙනි. සීනි මට්ටම වැඩි වූ විට ලබා දිය යුතු ආහාර හෝ දියරමය ආහාර වට්ටෝරුවක් හෝ ඒ පිළිබඳ කිසිදු උපදෙසක් අපිට ලැබුණේ ද නැත. ඒ පිළිබඳව වාට්ටුව තුළට පැමිණි හෙදියකගෙන් විමසූ විට ලැබුණු පිළිතුර වූයේ, උරහිස් අකුලා පෙන්වීම පමණි. 

                 17 වැනි දින වන විට, මගේ කකුල් බිම තැබීමටවත් නො හැකි ලෙස ඉදිමී තිබුණි. මම අක්කාට පැමිණෙන්න යැයි දුරකථනයෙන් දැනුම් දුන්නෙමි. 17 වැනි දින සවස 4.30 ට පමණ අම්මාගේ ඔක්සිජන් මට්ටම 90 සිට 80 දක්වා අඩු විය. ඇය වේගයෙන් ගැහෙන්නට විය. හුස්ම ගැනීමට නො හැකිව මහත් වේදනාවක් විඳිනු මම දුටුවෙමි. විනාඩි කිහිපයකින් යථා තත්ත්වයට පත් වුව ද, සවස 5 වන විට තෙවතාවක්ම මෙම තත්වයට ඇය මුහුණ පෑවාය. මම මයික්‍රොෆෝනය හරහා මේ පිළිබඳව එහි සිටි වෛද්‍යවරයා දැනුවත් කළෙමි. ඔහුගේ පිළිතුර වූයේ, කිරීමට කළ හැකි උපරිම දේ කළ ඇති බවත් හිත හදාගන්නත් ලෙසින් ය. මගේ පැමිණිල්ලෙන් පසුව ද කිසිදු වෛද්‍යවරයෙකු මව පරික්ෂා කළේ නැත. අක්කා සවස 6.30 ට පමණ පැමිණි පසු මම මෙම තත්වය පිළිබඳව ඇයව දැනුවත් කළෙමි. රෝහලෙන් මම පැමිණියේ මගේ නිවසට ය. ඒ වන විට, පූර්ණ දින 5ක් මාස්ක් එකක් පමණක් පැළඳ සිටි මම වෛරසය වෙත නිරාවරණය වී තිබුණි. කිසිදු නිරෝධායන හෝ වෙනත් කිසිදු ක්‍රියාවලියකට මා භාජනය කළේ නැත. මම මගේ නිවසේ වෙනම කාමරයක් වෙන්කර ගෙන එහි උළුවස්ස ඝන ඉටි රෙදි යොදා ආවරණය කර ගතිමි. මම නිවසින් පිට තිබූ අතහැර දමන ලද වැසිකිලිය සෝදා පිරිසිදු කොට එය පරිහරණය සඳහා වෙන්කරවා ගත්තෙමි. මට මටත් වඩා බය තිබුණේ මගේ නිවසේ අනෙකුත් සාමාජිකයින් පිලිබඳව ය. එදිනම, රාත්‍රී 10:30 ට පමණ අක්කා මට දුරකතනයෙන් කතා කොට අම්මාට නැවත අමාරු වූ බව දැනුම් දුන්නාය. 

                ඉන්පසු රාත්‍රී 11.30 ට පමණ නැවත මට ඇමතූ සහෝදරිය අම්මා මිය ගිය බව දැනුම් දුන්නාය. ඉන්පසු දින, රෝහල් පොලිසියෙන් අදාළ පොලිස් ස්ථානයට දැනුම් දී තිබූ අතර පොලිසියත් සමග අපි නැවත රෝහල වෙත ගියෙමු. පළමුව, අධිකරණ වෛද්‍යවරයාගෙන් වාර්තාවක් ලියා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා, අපි හමුවීමට වෛද්‍යවරයාට අවශ්‍ය වූ අතර අම්මාගේ ලිපි ගොනුව පරික්ෂා කිරීමේ දී මුලින් ලබාගත් රැපිඩ්-ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව අස්ථානගත වී තිබුණි. නැවත වරක්, මම මෙඩි හෙල්ප් ආයතනය වෙත ගොස් එම වාර්තාවේ පිටපතක් ලබා ගතිමි. නැවත ලේඛන පරීක්ෂා කිරීමේ දී ඇතුළත් කිරීමේ වාර්තාවේ අම්මාගේ නම එළියට ලියා තිබූ ලෙසින් එය නිවැරදි කිරීමට OPD එකටත්, එතනින් නැවතත් වාට්ටුවටත් යාමට මට සිදුවිය. මහත් පරිශ්‍රමයකින් මෙම අධිකරණ වෛද්‍ය වාර්තාව ලබා ගැනීමෙන් පසු එය ද රැගෙන කොරනල්වරයා (හදිසි මරණ පරීක්ෂක) හමු වීමට මට ඔහුව සොයා යෑමට සිදු විය. කොරනල්වරයා ඉතාම යුහුසුලුව අපගේ කාර්යය සිදු කරන ලදී. එය ද රැගෙන නැවත මම මෝචරිය වෙත පැමිණියෙමි. ආසන්නතම මල් ශාලාවකින් මිනී පෙට්ටියක් ඇනවුම් කළෙමි. මෝචරිය අසළ දී මෙම මළ සිරුර සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ අත්සන සහිත වාර්තාවක් අවශ්‍ය විය. MOH කාර්යාලයට ගොස් මම ඒ බව දැනුම් දුන්නෙමි. PHI ආවේ පැය 2කට පමණ පසුව ය. ඉන්පසු, මම පොලිතින් උරයක බහා සිටි මගේ මවගේ මළ සිරුර ලෑලි පෙට්ටියක බහා හොරණ ආදාහනාගාරයට ගොසින් ආදාහනය කළෙමි. ඇයට සමු දුන්නෙමි. 

X

සටහන –

        ඉහත ලිපියේ අඩංගු වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් ‘වෛද්‍ය චන්දන රණසිංහ’ මහතාට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගනිමි. ඊට අමතරව, ඔහු මම මැයි මාසයේ කොවිඩ් රෝගයෙන් පීඩා විඳින විට මගේ රෝගය සම්බන්ධයෙන් පූර්ණ කළමනාකරණය කරන ලදී. රෝහලකට නො ගොස් ජීවිතය බේරා ගත්තේ ද ඔහු නිසා ය. ඒ ගැන ද මම ඔහුට කෘතඥ වෙමි. 

            මැයි මාසයට වඩා කොවිඩ් සඳහා කරන ප්‍රතිකාර ක්‍රම දියුණු වී ඇති අතර එම සමහර ප්‍රතිකාර මුදල් නැති අයට ලබාගත නො හැකි ය.  උදාහරණයක් ලෙස, කොවිඩ් නිව්මෝනියාවේ අවසන් අවස්ථාවක දී යොදා ගන්නා ඖෂධයක් මේ වන විට WHO විසින් නාමගත කර ඇත. TOCILIZUMAB (BOOSTER DRUG- ROCHE සමාගමේ ඖෂධය- ACTEMRA; SANOFI සමාගමේ KE VZARA). සමහරවිට, අප පක්ෂයේ ඇමුණුම තුළ සඳහන් සහෝදරයාගේ මවගේ ජීවිතය මෙවැනි ඖෂධයක් ලබා දුන්නේ නම් බේරාගැනීමේ සම්භාවිතාවයක් තිබෙන්නට හැකි ය. ඒ අනුව, රෝගය කළමනාකරණය කිරීමට තිබෙන දෝෂ වලට අමතරව මුදල් ඇති අයට පමණක් ගැලවීමේ මාර්ගයක් ද ඇත. අපේ රටේ රාජ්‍යයට මුදල් නැති වීම තුළ PCR පරීක්ෂණ හෝ කළ නොහැකි මට්ටමකට රට ඇද වැටී ඇත. PHI ලා දන්නා ‘දේශපාලන-ආර්ථිකයක්’ නැති නිසා ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන්ද ඇති ඵලක් නැත. අනාගතයේ දී කළ යුතු වන්නේ, ‘සෞඛ්‍ය අංශය’ වඩා කාර්යක්ෂමව පාලනය කිරීමට ‘නියාමන අධිකාරියක්’ පිහිටු වීමයි. පුද්ගලික සහ රාජ්‍යය යන අංශ දෙකම මෙම නියාමන අධිකාරිය යටතට පත්කළ යුතු ය. එවිට, නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවය සඳහා මහජනයා ගෙවන බදු මුදල් වලට සාධනීය ප්‍රතිලාභ අත්වනු ඇත.

            අවසන් වශයෙන්, කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා මා අසනීප අවස්ථාවේ දී ලබාදුන් සහයෝගයට ද මම කෘතඥ වෙමි.

DEEPTHI

අනාථ නාථ

ධනවාදය, බටහිර විද්‍යාව, මාක්ස්වාදය ආදිය ඇති වුණෙ අර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ. මගේ ලෝකය ලියපු කාලෙ මා එයට කිවුවෙ යුදෙවු චින්තනය කියල. පස්සෙ තමයි ඇරිස්ටෝටල් වැනි ග්‍රීකයන් මාටින් ලූතර් වැනි ක්‍රිස්තියානින් ඒ චින්තනය සඳහා කර ඇති එකතු කිරීම් තේරුම් ගියේ. ඇරිස්ටොටල් ලෝකෙට කරල තියෙන විනාශය අති මහත්.

නලින් ද සිල්වා 

මුළු ලෝකය ම අනාථ වෙලා. මා අර්බුද කියන වචනය යෙදා ගන්නෙ නැහැ. කොවිඩ් 19ට පුළුවන් වෙලා ටික ටික අනාථ වෙමින් තිබුණු ලෝකය අනාථ කරන්න. ලෝකය කියන එකෙන් අදහස් වන්නෙ වත්මන් ලෝකය. ඒ කියන්නෙ පහළොස්වැනි සියවසෙන් පස්සෙ ඇති වුණු ලෝකය. ඒක එක දවසකින් ඇති වුණ එකක් නොවෙයි. වසර තුන්සීයකට වැඩි කාලයක් තිස්සෙ විකාශය වෙච්ච ලෝකයක්. මේ අනාථ වෙලා තියෙන්නෙ ඉතාලියෙ පහළොස්වැනි සියවසේ කතෝලික චින්තනයට එරෙහි ව ඇති වුණු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය. 



මේ අර මාක්ස් කියපු අර්බුදය නම් නොවෙයි. ඒක නියතිවාදයක් ලෙස තමයි ප්‍රකාශ වුණෙ. නියතිවාදය කියන්නෙ බටහිර දර්ශනයෙ කියැවෙන දෙයක්. මා බටහිර දර්ශනය ඉගෙන ගෙන නැහැ. ඒත් මා දන්නවා අහවල් දාර්ශනිකයා නියත වශයෙන් ම මරණයට පත්වෙනවා කියන එක නම් නියතිවාදයෙ කතාවක් නොවන බව. මාක්ස් මාස්ක් දාගෙන කිවුවත් නැතත් සියළු මාක්ස්වාදීන් අනිත්‍ය කියන එකත් නියතිවාදයට අයත් නැහැ. නිරීක්‍ෂණ ප්‍රවාද පුරෝකථන කියන්නෙ එක ම දේට නොවෙයි. බටහිර දර්ශනයෙ ඒක කියල දෙන්නෙ නැද්ද? 

ධනවාදය, බටහිර විද්‍යාව, මාක්ස්වාදය ආදිය ඇති වුණෙ අර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ. මගේ ලෝකය ලියපු කාලෙ මා එයට කිවුවෙ යුදෙවු චින්තනය කියල. පස්සෙ තමයි ඇරිස්ටෝටල් වැනි ග්‍රීකයන් මාටින් ලූතර් වැනි ක්‍රිස්තියානින් ඒ චින්තනය සඳහා කර ඇති එකතු කිරීම් තේරුම් ගියේ. ඇරිස්ටොටල් ලෝකෙට කරල තියෙන විනාශය අති මහත්.  1521 ඩයට් ඔෆ් වර්ම්ස් මගින් තමයි ලූතර්ට තම ප්‍රතිසංස්කරණවාද අත්හරින්න කිවුවෙ. ඩයට් ඔෆ් වර්ම්ස් කියන්නෙ පණු කෑමක් නො වෙයි. එය එකල ජර්මනියෙ වර්ම්ස් රාජකීය රැස්වීමකට කියපු නම. අපොයි මා දර්ශනය වගේ ම ජර්මන් දන්නෙත් නැහැ. ඉංගිරිසි දන්නෙත් නැහැ. ඔය ඩයට් කියන එක ජර්මන් භාෂාවෙ උච්චාරණය වන්නෙ කොහොමද කියාත් මා දන්නෙ නැහැ. මා දන්න සිංහලෙන් ඉංගිරිසි අකුරු (ඒව ඉංගිරිසි කිවුවට ඉංගිරිසි නොවෙයි. රෝම නැත්නම් ලතින්) ටික ගැට ගහල තමයි ඒක කිවුවෙ. මට පණු කෑම මතක් වුණෙ පණුවන් කන සාම පරෙවියන් නිසා. 

ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ තමයි ප්‍රංශ විප්ලවය ඇති වුණෙත්. ඒ චින්තනයෙ තියෙන වෙන් කිරීම (සමාජ දුරස්ථභාවය නො වෙයි), පෞද්ගලිකත්වය, රජයට විරුද්ධ ව පෞද්ගලික නිදහස ආදී සංකල්ප අද වර්ධනය වෙලා. එංගලන්තය යුරෝපා සංගමයෙන් වෙන්වන්නෙත් ට්‍රම්ප් බටහිර කුට්ටියෙන් වෙන් වෙලා වෙන ම විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙත් මුව ආවරණ නොපලදින්නේත් ඇතැම් බටහිරයන් පෞද්ගලික නිදහස වෙනුවෙන් ට්‍රම්ප් අනුගමනය කරමින් හරි නැතිව හරි මාස්ක් නොපලඳින්නෙත් මාක්ස් එක්ක තියෙන විරෝධය නිසා ම නො වෙයි. ඔවුන්ට වෙන් වීම පෞද්ගලිකත්වය වැදගත්. ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ තවමත් තනි යායක ලෝකයක් ගැන හිතනවා. ඇතැම් රටවල් යුරෝපා සංගමයට එකතු වෙලා ඉන්නෙ ඒ නිසාමත් නොවෙයි. වෙළෙඳ ගණුදෙනු නිසා.

ඇතැමුන් ලංකාවෙ වම නැතිවීම ගැන කතා කරනවා. ඔවුන්ට මතක් වෙන්නෙ නැහැ මුළු ලෝකයේමත් වම නැති වෙලා කියල. දැන් ඉන්නෙ වමාරන වමාලා පමණයි. ලෝකයේ ම වම නැති වුණෙ ජ වි පෙරමුණේ වරදක් නිසා නො වෙයි. මාක්ස්ගෙ ම වරද නිසා. මාක්ස්ගෙ ප්‍රවාදයෙ ම වරද නිසා. අද කිසිම රටක සමාජවාදයක් තියා සමාජවාදයක පුළුටක්වත් නැහැ. මාක්ස් සාමූහිකත්වය ගැන කතා කෙරුවෙ පෞද්ගලිකත්වය ඉහ වහා ගිය සමාජයක සිදු වූ වර්ධන තවත් වර්ධනය කරන්න. ඔහු ප්‍රංශ විප්ලවය නිරීක්‍ෂණය කරල ඒ තනි සිද්ධියෙන් මුළු ලෝකෙට ම හැම කාලෙකට ම සමාජ විකාශය (හා විප්ලව) ගැන ප්‍රවාදයක් හැදුව. ඒක වැඩ නොකරන හිතළුවක් වුණා. ඒකට අනුර කුමාරට පමණක් බැණල වැඩක් නැහැ. මාක්ස් ගිය පාරෙ ගියා ම ධනවාදය සමග එකතු වෙනවා හැරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ පාරෙ යන අයට සමාජ ක්‍රමය නම් වෙනස් කරන්න බැහැ.  ඒක පුටින්, ජින් පින්, වික්‍රමබාහු, අනුර මේ සියල්ලන් ම පෙන්නල දීල තියෙනවා. අද වමාලා හැටියට ඉන්න දෙඩුම් ශිල්පීන් (ඔවුන් දන්නෙ කියවන්න පමණයි. ඔවුන් බටහිර සංකල්ප සිංහලට පරිවර්තනය කරල සිනමාවත් කියවනවා. වමාලට බැරි ද වමාලා කියවන්න) කරන්නෙත් ඒකමයි. අපි යන්නේ කොයි පාරෙ අනුර කුමාර යන පාරෙ අනුර යන්නෙ මොන පාරේ සජිතාණන් යන පාරෙ. 

ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය අනාථ වෙලා. ඇංග්ලො සැක්සන් ලෝකයේ (ඉංගිරිසි කතා කරන එංගලන්ත සම්භවයක් ඇති රටවල) තමයි එය වැඩියෙන් ම පේන්න තියෙන්නෙ. අපිත් නමට ඒ ලෝකයෙ. අපි කතා කරන්නෙ ඔක්ස්බ්‍රිජ් උච්චාරණයෙන් කියල හිතනවා. අනෙ මගේ කට කියන්න හිතෙන්නෙ ඒ වෙලාවට. 

ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය විසින් කෙරුණු නරක ම දේ තමයි අනෙක් චින්තන නැති කිරීමට කටයුතු කිරීම. ඔවුන් ඊනියා විවිධත්වයක් ගැන කතා කළත් එය කතාවට පමණක් සීමා වුණා. අනෙක් චින්තන නැති කිරීම කෙරුණෙ ඔවුන්ගෙ අධ්‍යාපනය මගින්. පාසල් හා විශ්වවිද්‍යාල මගින්. ඊනියා පර්යේෂණ ආයතන මගීින්. වෘත්තීන් මගින්. පෙරදිගට පැමිණි බටහිරයන් අපේ සංස්කෘති හැදෑරුවෙ අපට ඇති ආදරේකට නො වෙයි කියන එක දැන් වැටහෙනවා. අපේ රටෙත් සමහරු බුදුදහම හැදෑරුවෙ බුදුදහම ඉගෙන ගන්න නොවන බව අප දැන සිටියා.

මා කලිනුත් පෙන්නා දී තියෙනවා අනෙක් චින්තන (සංස්කෘතීන්) නැති කිරීමේ භයානක කම. මා කියා සිටියේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට (හා සංස්කෘතියට) ප්‍රශ්නවලට පිළිතුරු නැති වුවහොත්, අනෙක් චින්තන නැති කිරීමෙන් ඒ චින්තනවලින්වත් විසඳුමක් සකසා ගන්න බැරි වෙන තත්වයකට පත් වෙනවා කියල. අද අප ඒ තත්වයට සේන්දු වේගෙන යනවා. අප අනාථ වෙලා. අර ඇතැම් ත්‍රිරෝද රථවල ලියල තියෙනව වගේ අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ. ඒත් අපි බිංදුවට ම ගිහින් නැහැ. 

අපට පොඩි වාසනාවක් තිබුණා. අපේ රටෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න එහි හර පද්ධතිය නැති කරන්න ඉදිරිපත් කෙරුණෙ අන්තිම අදක්‍ෂයන් පිරිසක්. මංගල හා වමාලා සලකන්න. ඔවුන් හා දහසය වැනි සියවසේ මාටින් ලූතරලා අතර වෙනස්කම් රාශියක් තියෙනවා.  පළමුවෙන් ම බුද්ධිය සම්බන්ධයෙන්. සියළු සංස්කාරයන් අනිත්‍යය කියන එක නියතිවාදයක් කියන ලූතර්ලා තමයි අපේ වාසනාවට අපට ඉන්නෙ. දෙවනුව ලූතර්ලා බිහිවුණෙ පහළොස්වැනි සියවස වන තෙක් පැවති යුරෝපීය සමාජයේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා. ලූතර්ලාට කතෝලික චින්තනය, පාප් වහන්සේ සමග ප්‍රශ්න තිබුණා. ලූතර්ලා අගහරු ලෝකයෙන් මෙහෙයවනු ලැබුවන් නොවෙයි. 

ඒහෙත් මෙරට පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්ට ඊනියා අභ්‍යන්තර ප්‍රශ්නයක් ඇති කරල දෙනු ලැබුවෙ  බටහිරයන් විසින්. පඬි නැට්ටන් බෞද්ධ සංස්කෘතියට පහර දෙන්නෙ බටහිරයන්ගෙන් ලැබුණු වරමට. ඒ වරමට උඩින් හතර වරම් දෙයියන් ඉන්න බව ඔවුන්ට මතක් කරන්න ඕන. අර දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද කියන එකට තවමත් පිළිතුරක් නැහැ. නාථ දෙවියන් සම්බන්ධයෙන් ඇති අවුල මොකක් ද කියන ප්‍රශ්නයටත් පඬි නැට්ටන්ට පිළිතුරක් නැහැ. අපේ දැනුමට හිනාවෙන්න එය විකාරයක් බව කියන්නෙ බටහිරයන්ගෙ අවශ්‍යතාවකට වරමකට මිසක් තේරුමක් ඇතිව නො වෙයි. තේරුමක් තියෙනව නම් නියත වශයෙන් ම  මැරෙනව කියන එකත් නියතිවාදයක් කියාවිය. පඬි නැට්ටන්ට උගන්නල තියෙන්නෙ ඊනියා විද්‍යාත්මක දැනුම විතරක් දැනුම හැටියට සලකන්න. තර්කය කියන්නෙ මොන බොරුවක් ද කියල දැනගන්න බෞද්ධ ඇහැකින් ගණිතය ටිකක් හැදෑරුව නම් හොඳයි.  ගුරුත්වාකර්ෂණය ගැන පමණක් නොවෙයි අයින්ස්ටයින්ගෙ සාපේක්‍ෂතාවාදයෙ ඇති අවුලුත් අප පෙන්නා දී තියෙනවා. 

බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රධාන ඵලය හැටියට පෙන්නනු ලැබුයෙ බටහිර විද්‍යාව. එය අද ලෝකයේ ම ආධිපත්‍යයක් දරණවා. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාව කියන තාක්‍ෂණයට අද මොකක් ද වෙලා තියෙන්නෙ. ලංකාවෙ අපට පුළුවන්කම තිබුණ යම් පමණකට හරි මේ ආධිපත්‍යයට පහර දෙන්න. එය වැටුණා කියා මා කියන්නෙ නැහැ. එහෙත් මෙරට ගණිතය හදාරපු යම් පිරිසක් තේරුම් ගනිමින් ඉන්නවා බටහිර විද්‍යාවෙ තරම. ගණිතය තරම් පට්ටපල් බොරුවක් තවත් නැහැ. එහෙත් පට්ටපල් බොරු ඉගෙන ගන්නවාට වඩා හොඳයි පට්ටමපල් බොරුව ඉගෙන ගන්න එක. එය තුන්වැනි පංතියේ අනුකාරක පාසලකට යනවට වඩා පළමුවැනි පංතියේ අනුකාරක පාසලකට යන එක වගේ. මට ඒ අවස්ථා දෙක ම හිමි වුණා. 

හතරවැනුව මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය මංගලලා හා වමාලා (පැරණි කණ්ඩායම ඇතුළු) හිතනවාට වඩා ශක්තිමත්. අප අවුරුදු හාරසිය පනහක සෘජු යටත්විජිතවාදයකටත් ඉන් පසු වරම් (ෆ්‍රැන්චයිස්) යටත්විජිතවාදයකටත් ගොදුරු වුණත් සිංහල බෞද්ධ සංස්කෘතිය තවමත් ශක්තිමත්. මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත් කෙරුණේ ඒ සංස්කෘතිය විසින් මිසක් අහවල් අහවල් පුද්ගලයන් විසින් නො වෙයි. ඇතැමුන් එහෙම හිතන් හිටියට ප්‍රශ්නයක් නැහැ. මහාවිහාරයේ මොන ප්‍රශ්න තිබුණත් මේ ශක්තිය අපට ලබා දෙන්නෙ මහාවිහාරයෙන්, මහාවංශයෙන්.

සිංහල බෞද්ධ සංස්කෘතියට ලෝකයේ ප්‍රශ්න විසඳන්න බැරි වේවි. එහෙත් මේ අසරණ වූ ලෝකයට එක ම සරණ ථෙරවාද බෞද්ධ සංස්කෘතියයි. අර ත්‍රිරෝද රියැදුරන්ට ඒක දැනෙන්න පටන් අරන් ටිකක් කල්. අපට අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන්න ඕන. අපි දුම් හට්ටිය අල්ලල පටන් ගනිමු. අප අනෙක් ථෙරවාද රටවල් සමග සංස්කෘතික සම්බන්ධතා ඇති කර ගන්න ඕන. වෙළඳාම එහි ප්‍රධාන කටයුත්ත වෙන්න ඕන නැහැ. අප ඉස්සරත් කරල තියෙන්නෙ දැනුම බෙදා හදා ගන්න එක. මේ සම්බන්ධයෙන් මා කිහිප දෙනකුට ම කියල තිබුණත් වැඩක් වෙන පාටක් නැහැ. අඩු තරමෙන් කොවිඩ් 19 සම්බන්ධයෙන් ආශ්‍රිතයන් හඹා යෑමවත් අපි කියා දෙමු ද?   

යේසුස්,ජුදාස් සහ බරබ්බස්ලාගෙන් ජනතාව තෝරා ගන්නේ කවරහුද?

සාමාන්‍ය මිනිසාට  තේරුම් යන ලෙස සම්ප්‍රදායික ප්‍රබන්ධයන් ඇසුරින්  හොද නරක කියා දෙන ක්‍රිස්ත්‍රියානි බයිබලයේ එන නපුර සංකේතවත් කරන සර්පයා චිත්‍රපටියේ පුරා බෝහෝ දසුන්  අතරින්  දක්නට ලැබුනේ  අප ගෙවන  ජිවිත වටා නපුර කොතරම් වෙලීගෙන ඇත්දැයි සිහිපත් කිරීමටය.

ජී.ඒ. සුනිල් ජයරත්න

මා නීතී පශ්චාත්  උපාධිය සදහා ඕස්ට්‍රේලියාවේ  වාසය කරන 2004  සමයේ එකම නවාතැනේ විසූ ඉන්දුනීසියානු නීතිඥ මිතුරා කැටුව ‘පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට්‘(Passion of the Christ)  නැමැති චිත්‍රපටය  නැරඹීමට ගියෙමි.



අධි සුඛෝපභෝගි  විශාල සිනමා ශාලා සංකිර්ණයක  නමුත් අප නරඔන්නට ගියේ මිනිසුන්ගේ විමුක්තිය උදෙසා තම ජිවිතය  ප්‍රජා කළ  උතුම් මිනිසෙකු  කුරසියේ  ඇණ ගසා  මරණයට  පත් කල සංවේගජනක සිද්ධිය චිත්‍රණය කළ චිත්‍රපටියක්  නැරඹීමට වීම විශේෂත්වය විය. 

සිසුවකු ලෙස  ශ්‍රමය වගුරවා දුක සේ උපයා ගත් චේතනයන් රුපියල්  වලින් බැලු විට  සැලකිය යුතු මුදලක් ගෙවිමට සිදු වුවද මට ඒ පිළිබද ලොබ සිතක් නොවිය.මන්ද යත්, උසස් නීතී විද්‍යාල වලින් බුද්ධිය මෙහෙයවා කරනු ලබන ඉගෙනීම් වලින්ට වඩා යුක්තිය හා සාධාරණත්වය  පිලිබඳ  හැගිම් එබදු චිත්‍රපටි  නැරඹිමෙන්  තීව්‍ර කර ගත හැකි බවට  මා තුල දැඩි විශ්වාසයක් වූ හෙයිනි.

මීට අවුරුදු  20 කට  පමණ පෙර නැරඹු  එම චිත්‍රපටියේ දසුන්  මගේ මනසේ  තවමත් රැව් පිලි රැව් දෙන අතර එදා මෙන්ම අප ඇස් ඉදිරිපිට අදත් දිස්වන්නේ එකම සමාජ යතාර්ථයක් නොවේදැයි  වයසින් මුහුකුරා ගිය මට  දැන් සිතේ. 

සාමාන්‍ය මිනිසාට  තේරුම් යන ලෙස සම්ප්‍රදායික ප්‍රබන්ධයන් ඇසුරින්  හොද නරක කියා දෙන ක්‍රිස්ත්‍රියානි බයිබලයේ එන නපුර සංකේතවත් කරන සර්පයා චිත්‍රපටියේ පුරා බෝහෝ දසුන්  අතරින්  දක්නට ලැබුනේ  අප ගෙවන  ජිවිත වටා නපුර කොතරම් වෙලීගෙන ඇත්දැයි සිහිපත් කිරීමටය.

පිලාත් විනිසුරුවරයා  විසින් බරබ්බස්  නැමැති  රෝම අධිරාජ්‍යයේ සොල්දාදුවන් මරණයට පත් කිරීමේචෝදනාවට වරදකරු වූ  බරබ්බස් නමැති සොරාත් යේසුස් නමැති ප්‍රේමයේ දේවදූතයාත් යන දෙදෙනාගෙන් කවරෙකුට නිදහස ලබා දිය යුතු දැයි මහජනතාවගෙන් විමසන දසුන මාගේ  මතකයෙන් නොමැකි  නොයන්නේ  අප පොදුවේ  ජිවිතය පුරා අත් විදින  සත්‍යයක්  ඉන් කියැවෙතැයි හැගෙන නිසාය.

අති  විශාල  අධිකරණ පිඨිකාවේ  එක් කෙළවරක මැද සුදු සාටකයෙන් සැරසුනු පිලාත් විනිසුරුවරයාය. දෙපසින්  දෙදෙනෙකි. එක් පසෙකින් සතෙකුගේ හමකින් උඩුකය වසා ගත් හැඩිදැඩි සිරුරකින් යුත් බරබ්බස්ය.අනෙක් පසින්  සිටින්නේ  කටු ඔටුන්නක්  පළදවනු ලැබූ  බෙහෙවින් පිඩාවට පත්  සියුමැලි සිරුරකින් යුත්  යේසුස්ය.

මහජනතාවගෙන් පිරි  සදලුතලා වලින්  යුත් චතුරශ්‍රාකාර  පීඨිකාවේ සිව් දෙසින්  ඔවුහු දැඩි උද්යෝගයෙන් යුතුව  කුමක් සිදු වේදැයි විමසිල්ලෙන් බලා සිටිති.

පිලාත් විනිසුරුවරයා සිය දේශණනාව අවසානයේ පවසන්නේ රෝම අධිරාජ්‍යයට එරෙහිව කැරලි ගැසීමේ වරද පිළිබද චෝදනාව ජේසුස්ට එරෙහිව මප්පු කර නොමැති බවය. එනමුත් විමසිල්ල වන්නේ  නාසරත් හි ජේසුස්  හා බරබ්බස්  යන  දෙදෙනාගෙන් එක් අයකු පමණක් නිදහස්  කිරිමට ජනතාවට  වන වරම පරිදි කවරකු  නිදහස් කිරීම යුතු වන්නේද ? කියායි.
ජේසුස්  කෙරෙහි  මා තුළ පවතින අසිමිත ආදරය හා කරුණාව නිසා මගේ සිත කියා සිටියේ  සත්‍යගරුක හා යුක්තිගරුක හා ගුණගරුක යේසුස් නිදහස් කරන ලෙස   බහුතර ජනතාව කෑ ගසා ඉල්ලා සිටිය යුතු බවය.
ඒ අනුන්ගේ දේ පැහැර ගන්නා හැඩි දැඩි දේහධාරි සොරෙකුට වඩා හාත්පසින්ම වෙනස් වූ ආත්ම පරිත්‍යාගයෙන්  යුතුව ‘දෙවියන්ගේ දේ  දෙවියන්ට දිපල්ලා  සීසසර්ගේ දේ   සීසසර්ට   දිපල්ලා ‘යනුවෙන් ජනයාට  යුතු අයුතුකම්  පහදා දෙමින්  සකල මනුෂ්‍ය වර්ගයාට  ප්‍රේම කල මිනිසකු  ලෙස ජේසුස්  මගේ හද බැදගත් නිසාය. රජමැදුරක නොව කුඩා ගව මඩුවක,වඩුවකුගේ  පුතකු ලෙස ඉපිද  දිරිය මිනිසකු ලෙස  හරි වැරැද්ද පෙන්වා දී  සමාජය යහමග යැවිමට දිව්‍ය පුත්‍රයාණන් ලෙස දැක්වු  සියුමැලි එඩිතර භාවය  නිසාය.මහු මඩෙන් උපන් නෙලුමකැයි මගේ සිත මට කීවේය.

 එනමුත්, අහෝ සිදුවූවේ අනෙකකි.මගේ සිත ඉල්ලා සිටි ජේසුස් වෙනුවට පීඨිකාවේ  සිව් දෙස  සිටි ජනයාගෙන් වැඩිදෙනා බරබ්බස්! බරබ්බස්! බරබ්බස්! යනුවෙන් එක හඩින්  ඝෝෂා කරමින්  බරබ්බස් නිදහස් කරන ලෙස කෑගසා ඉල්ලා සිටියේය.එය මගේ මවිතයටත්  බලවත් කම්පනයටත් හේතු විය.

  අනතුරුව බහුතර  ජනතා  මතයට ගරු කළ  පිලාත් විනිසුරුවරයා  බරබ්බස්  නිදහස් කිරිමටත්  යේසුස්  කල්වාරියට ගෙන ගොස්  කුරුසියේ  තබා ඇණ ගසා මරණයට පත් කිරීමටත් නියෝග කළේය.
 නිරන්තරයෙන් සමාජ යුක්තිය ඉල්ලා සිටි එවකට අත්දැකිම් වලින් අඩු මගේ නොමේරූ සිත තුළ යේසුස්  කුරුසියේ  තබා ඇණ ගැසිම  කෙරෙහි බරපතළ විරෝධයක්ද අසාධාරණයට එරෙහි නොවූ ජනයා කෙරෙහි පිළිකුලක්ද ජනිත විය.  එපමණක්  නොව බහුතර ජනයා හොඳ නරක තෝරා බේරා ගැනිමෙහි ලා අසමත් මුග්ධ පිරිසක්ය  යන හැගීමක්ද එවන් ජනයා නිවැරැද්ද නොදැකීම කෙරෙහි  කෝපයක්ද මා සිත තුළ හට ගත්තේ වී නමුත් කල හැක්කක් නොවීය.
එම චිත්‍රපටය  බලා ආපසු  එන අතරතුර  කිතුණුවකු වු මාගේ ඉන්දුනිසියානු මිතුරාද   බුදුනුවකු වූ මමද  යන ගුරු දෙගුරුන්ගෙන් හොද නරක උගත් අප දෙදෙනාම බෙහෙවින් කම්පිතව සිටියෙමු. යේසුස්  ජිවත් වු සමාජ  පසුබිම තුළද සමාජ  අසාධාරණය අනුමත කළ වරප්‍රසාද ලත් නොලත් ජනයාගේ  මනස ඔද්දල් විම පිළිබඳව බෙහෙවින්  පිළිකුළෙන්  හා අසහනයෙන් යුතුව කථා කළෙමු. 

‘ජේසුස්ගේ කරුණාව’(Passion of the Christ) චිත්‍රපටිය  නැරඹිමෙන් පසු  ජේසු පැවති  සමාජ සංස්කෘතික  පරිසරය තුළ විප්ලවකාරයෙක් වුයේ කෙසේද? ඔහුගේ චරිතය ගොඩ නැගුනේ  කේසේ දැයි විමසිමට මා සිත වු කුතුහලය  වැඩිදියුණු  වු අතර මාගේ මිතුරා සමග ඒ පිළිබඳ නොයෙකුත් සංවාද  විවාදයන්හි යෙදුනෙමු. වැඩිදුර  කරුණු  සමාලෝචනයේදී ජේසුගේ  අවසන් රාත්‍රී  භෝජනය අපගේ කුතුහලයට තුඩුදුන්  තවත්  මාතෘකාවක් විය.
යේසුස්  සිය  අවසන්  රාත්‍රී  භෝජන අවස්ථාවේදී සිය ගෝලයන්  13 දෙනා  අමතමින් ‘ නුඹලා  අතුරින් කිසිවකු මා  පාවා දෙන්නේය  ‘යනුවෙන්  අනාවැකි පළ කලේය.

එකි අනාවැකිය පරිද්දෙන්ම පෙරදා රාත්‍රියේ ජේසු සමග රාත්‍රි භෝජනය එක්ව වැළදු ජුදාස් රිදී තිහක අල්ලසකට මසුරු වී රාජ පුරුෂයනට චර පුරුෂ සේවන‍යෙහි යෙදෙමින්  ජේසුට සමාන රූප කායෙන් යුත් ගෝලයාගෙන් ජේසු වෙන් කොට හදුනා ගැනීම පිණිස ජේසුන්ගේ මුහුණ සිඹින විට ‍ඔහුව අල්ලා ගන්නැයි කියා ඔත්තු  සැපයුවේය.

රාත්‍රි භෝජනය  එකට වැළදු හිතවත්  ගෝලයයෙකු වූ ජුදාස්  විසින් ජේසුස්  සිටින්නේ කොහිදැයි  රාජ  පුරුෂයනට රිදී තිහක අල්ලසක් ලබාගෙන ඔත්තු සපයා යේසුස්  අල්ලා ගැනිමට උදව් කිරීම කවර සදාචාරයකට කවර සාධාරණත්වකයට පදනම් වේදැයි තරුණ නිතීඥවරයකුවු මට ගැටලුවක් වු නමුත්  ලාංකික මිනිසාගේ දේශපාලන  හා සමාජ හැසිරීම  පිලිබඳ අත්දැකිම් වැඩි වී නුවණ මුහුකුරා  යත්ම මා සිත වු  එම ගැටළුව  දියව ගියේය. මන්ද, ඒ අල්ලසට සහ වරප්‍රසාද වලට ඇති ගිජු කම නිසා සත්‍යය සහ යුක්තිය පාවා දෙමින් මහත්වරුන් සේ සමාජයේ ගරු බුහුමන් ලබමින් බොහෝ දෙනා වැජැඔ සිටින අතර තුර අවංක සාධාරණ මිනිසුන් දුබලයන් සේ නොතකන සමාජයක අප ජීවත්වන බව ක්‍රමයෙන් ඒත්තු ගිය බැවිනි.

නීතීය හැමවිටම සාධාරණ නොවන  බවත් නිතිය  පාලකයාගේ අවියක්  බවත් නිතිය සාධාරණ විමට නම් පාලකයන් සාදාචාරවත් විය යුතු බවත්  පසුකාලිනව නුවණ මුහුකුරා ගිය බව මට වැටහෙන්නට විය. එනමුත් හිරිකිතක් නැතිව බොරුව වපුරන්නට සමතාට හා  වන්දිභට්ටයන්ට  හා පූජකයන්ටඅල්ලස් දී ප්‍රශස්ති ගායනා කරවා ගන්නට සමතාට දුරාචාරය සදාචාරය ලෙස  පෙන්වා ජනයාගෙන් වැදුම් පිදුම් ලබන සංස්කෘතියක් නිර්මානය කර ගැනීම අසීරු නොවන බවද, ලජ්ජා බය නොමැති කම ඊට අවශ්‍ය එකම සුදුසුකම වන බවද, මට පසු කාලීනව ප්‍රත්‍යක්ෂ විය.සම්පත් හා පොදු දේපල සොරකම් කරන්නන්ට බලවත් විය හැකි බවද, එකී බලය මගින් රජ වී  ජනයාගෙන් පිදුම් ලබන අතර තම දරුවන්ගේ කුස ගින්න නිවීමට  පාන් සොරකම් කල දිළින්දකු  එකී ජනයා විසින්ම සොරකු ලෙස හන්වඩු ගසා කොන් කරනු ලබන සමාජයක හොද නරක මැනීමේ මිනුම් දණ්ඩ බලවත්කම හා කපටිකම මිස අවංක කම හා ගුණවත්කම නොවන බවද තේරුම් ගැනීම අපහසු නොවීය.

බහුතර  ජනයා  විසින්  අවිචාරවත් ලෙස  හරි-වැරදි හා  යුතු-අයුතුකම්  තිරණය කරමින්  පාලකයන්  පත් කල රාජාණ්ඩු යුගයේ  මෙන් නොව  යුතු අයුතුකම්  පිළිබද අවබෝධයෙන් යුතුව  කටයුතු කල යුතු  මනස දියුණු නූතන තාක්ෂණ යුගයේ ජුදාස්ලා හා බරබ්බස්ලා, යේසුස්ලාගෙන් වෙන් කර හදුනා ගැනිමට අදත් බොහෝ ජනයා අසමත්ය. අල්ලස් ගෙන ජන වරම පාවාදෙන, ජුදාස්ලා අල්තාරය මත හිදුවන සංස්කෘතිය වෙනස් කිරීමට අසමත් වීම දිගටම වෙතොත් කුරුසියේ ඇණ ගැහෙන්නේ ජේසුස්ලා පමණක්  නොව  බහුතර මහජනතාවම බව තේරුම් ගත යුතු බව  හුදී ජනයාට පහන් සංවේගයෙන් යුතුව  සිහිපත් කල යුතුය.

අනුන්ගේ පාපයන්ට ජනතාව කුරුසියේ ඇණ ගැසෙන යුගය අවසන් කිරීමට ජනතාව පෙල ගැසිය යුතුය.  නූතන දේව දරුවන්ගේ ඉල්ලීමද මෙයය.


ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය: සංහාරක ව්‍යාපාරය සහ සුදු පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු මරා දැමීම: වැඩදායක පාඩම්

ෆ්ලොයිඩ් ඝාතනය කිරීම එක්සත් ජනපදය පුරා නගර සිය ගණනක කළු සහ සුදු ජාතික දස දහස් ගණන් දෙනා එක්රැස් කලේය. විශේෂයෙන් යටත් විජිතවාදයේ මව වන එක්සත් රාජධානියේ ද කොළඹ ද ඇතුළුව ලොව පුරා කෝපය පැතිරී ගියේය.
මයිකල් කොලන් කුක් සමඟ ආචාර්ය ලයනල් බෝපගේ

පසුබිම

1983 ජූලි 25 වන දා මගේ මතකයේ කා වැදී තිබේ. කොළඹ පරිසරයෙන් පිටතට දිව යන හෝ ඉතා වේගයෙන් ගමන් කරන මිනිසුන් පිරිසක් මම දුටුවෙමි. ඒ ගැන විමසූ විට මට දැන ගන්නට ලැබුනේ ඔවුන් සිය වෙළඳසැල් වසා දමා සිදු වෙමින් තිබුන කල කෝලාහලවලින් ඉවතට පලා යන බවයි. පසුව එදින ම බොරැල්ල සහ මරදාන තදාසන්න ප්‍රදේශ ගිනිබත් වන ආකාරය මම දුටුවෙමි. දඬුවමකට ලක් වීමෙන් තොරව ඒ දේපළවල පදිංචිකරුවන්ට පහර දෙන ආකාරය ද මට දකින්නට ලැබිනි. ලොරි සහ මෝටර් රථ ගිනිබත් කරමින් මගීන්ට හා රියදුරන්ට පහර දෙමින් තිබුනි. අවට සිටි බොහෝ දෙනෙක් උමතුවෙන් හැසිරුණ කලහකාරී කණ්ඩායම්වල කටයුතුවලට මහත් සතුටෙන් අත්පොළසන් දෙමින් සිටියහ.



මෙම මැරයන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ පරපීඩාකාරී මිනීමරු ක්‍රියාකාරකම් ගැන සතුටු වෙමින් සිටිනවා දුටු මම කනගාටුවටත් කම්පනයටත් පත් වීමි. සිදු වෙමින් තිබූ සංහාරය සහ ම්ලේච්ඡත්වය නතර කරන්නට මැදිහත් වෙනවා වෙනුවට හුදෙක් බලා සිටින්නන් ව සිටි ආරක්ෂක භටයින් මම දුටුවෙමි. මා කිරිබත්ගොඩ මාවරමණ්ඩිය පාර ඔස්සේ රිය පදවා ගෙන යමින් සිටියදී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ සේවා ට්‍රක් රථයක නැඟී සැරිසරන මැරවරයන් පිරිසක් මගේ රථය නතර කරන ලෙස බල කර සිටියහ. කැත වචන කියමින්, කඩු සහ අලවංගු දික් කරමින් ඔවුහු මා අසලට ආහ. ඔවුන් පිස්සු වැටී සිටින්නේ දැයි අසමින් මම මොර දුන්නෙමි. සිංහලෙන් භාෂාව චතුර ලෙස හසුරුවනු ඇසුණු ඔවුහු මා අතහැර යන්නට ගියහ.

1983 ජූලි ඛේදවාචකය අවසාන‌යේදී දමිළ ජාතිකයන් 2,000 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කර තිබිණි; එයින් බොහෝ දෙනෙක් මරා දමා තිබුනේ පුළුස්සා හෝ කපා කොටා දැමීමෙනි. මරා දැමීමට පෙර බොහෝ දමිළ කාන්තාවන් දූෂණයට ලක් කොට තිබිණි. දමිළ මිනිසුන්ට අයත් නිවාස දහස් ගණනක් ගිනිබත් කර තිබුන අතර නිවාස අහිමි කිරීම හේතුවෙන් 100,000 ක පමණ පිරිසක් සරණාගතයින් බවට පත් වූහ.

අපි දැන් 2020 මැයි 25 දක්වා වේගයෙන් ඉදිරියට යොමු වෙමු. සිල්ලර වෙළඳ හලක දී ඩොලර් 20 ව්‍යාජ නෝට්ටුවක් හුවමාරු කිරීමේ චෝදනාව මත මිනියාපොලිස් නගරයේ දී කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගනු ලැබීය. සුදු පොලිස් නිලධාරියෙකු සිය සගයන් තිදෙනා බලා සිටියදී කළු ජාතිකයා ව මරා දැමීම සජීවී ව වීඩියෝ ගත කර ඇත. ජෝර්ජ් ෆ්ලොයිඩ් මාංචු දමනු ලැබ වීදියේ යටි අතට මුහුණ හරවා ගෙන වැතිර සිටියේය. මුළුමණින්ම කීකරු ව තම ජීවිතය ඉල්ලා කන්නලව් කල ෆ්ලොයිඩ් ඔහුට හුස්ම ගන්නට නොහැකි බව කියමින් තම මවට කතා කරන්නට ඉල්ලා සිටියේය. මිය යමින් සිටි අයගේ බෙල්ලෙන් සිය දණහිස ඉවතට ගන්නා ලෙස පාරේ ගමන් කල අය පවා අදාල නිලධාරියා වන ඩෙරෙක් චොවැන් ගෙන් අයැද සිටි නමුත් පලක් නොවීය. ෆ්ලොයිඩ්ගේ අවසන් හුස්ම ගිලිහී යාමෙන් පසුව පවා චොවැන් තම දණහිස ඔහු මත තබා ගෙන සිටියේය. මෙම මිනීමැරුම, පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමට, සිරගත කරනු ලැබීමට හා හිරිහැර කරනු ලැබීමට සංඛ්‍යාත්මක වශයෙන් වැඩි ඉඩක් ඇති කළු ජාතිකයන් නීතියට පරිබාහිරව මරා දමමින් 1600 ගණන්වල වහල් මෙහෙයේ ආරම්භයේ පටන් වර්තමානය දක්වා ඇෆ්‍රෝ-ඇමරිකානුවන්ට එරෙහිව වෙනස්කම් කිරීමේ දිගු ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන දිගු ලැයිස්තුවේ නවතම මිනීමැරුම් වලින් එකක් වන්නේය.

ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව මෙම සංහාරයට කල මැදිහත් වීම හා ආරක්ෂක හමුදාවල උදාසීන භාවය සහ සහභාගිත්වය ගැන රට තුළ හෝ ජාත්‍යන්තරව කිසිදු විරෝධය පෑමක් සිදු නොවීය. මෙම කළු ජුලි සංහාරයේ ආසන්නතම ප්‍රතිඵලය වූයේ වසර විසි පහකට වඩා වැඩි කාලයක් පැවතුන මුළුමණින් වර්ධනය වී ගිය සිවිල් යුද්ධයකි.

ෆ්ලොයිඩ් ඝාතනය කිරීම එක්සත් ජනපදය පුරා නගර සිය ගණනක කළු සහ සුදු ජාතික දස දහස් ගණන් දෙනා එක්රැස් කලේය. විශේෂයෙන් යටත් විජිතවාදයේ මව වන එක්සත් රාජධානියේ ද කොළඹ ද ඇතුළුව ලොව පුරා කෝපය පැතිරී ගියේය.


ප්‍රතිවිපාකය


1983 දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පැවතියේ විධායක ජනාධිපති ධුරයේ නිර්මාතෘ වූ ජේ ආර් ජයවර්ධන සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ ඇමති කණ්ඩායමේ නායකත්වයෙනි; ඔව්හු සංහාරයේ කිසිදු භූමිකාවකට සම්බන්ධයක් නොතිබුන මා ඇතුළු සිය දේශපාලන විරුද්ධවාදීන්ට ව්‍යාජ ලෙස චෝදනා එල්ල කරමින්, ඝාතන, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ සහ දේපළ ගිනි තැබීම්වලට ආණ්ඩුවේ තිබුන දුෂ්ඨ භූමිකාව අකාමකා දැමූහ; ඔව්හු විපතට පත්ව සිටි අයගේ දුක්ඛිත තත්වය ගැන ඔවුන්ට ම දොස් පැවරූහ. දමිළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරය සාමකාමී ව පටන් ගෙන තිබුනු නමුත් ඊට එරෙහිව රාජ්‍ය අනුග්‍රහය ලැබූ කල කෝලාහල සහ මර්දනකාරී පියවර යොදන ලදි. ඔවුන්ගේ අයිතිවාසිකම් තවදුරටත් කප්පාදු කර දැමීමත් සංහාරයත් විසින් ඔවුන්ගේ සාමකාමී උද්ඝෝෂණ වසර 26 ක් පුරා පැවති සිවිල් යුද්ධයක් බවට ඉහළට නංවන ලදි. මේ අතර දකුණේ ජනතා විමුක්ති පෙරමුණට රහසිගතව කටයුතු කරන්නට බල කෙරුනි. එයින් ජනතා විමුක්ති පෙරමුණේ රජයට එරෙහිව පැවති දේශපාලන ආතතිය උත්සන්න කළ අතර දේශපාලනික වශයෙන් නිරර්ථක හා මාරාන්තික කැරලි ගැසීමේ ඔවුන්ගේ ප‍්‍රවණතාවය යලි ප්‍රාණවත් කෙරුණි. වසර හයකට පසුව දකුණ ගිල ගත් සන්නද්ධ නැගිටීමක් දක්වා මෙම තත්වය වර්ධනය විය; රජය හා ජනතා විමුක්ති පෙරමුණ යන දෙපැත්තම විසින් සිදු කරන ලද නීති විරෝධී ඝාතන දස දහස් ගණනක් මෙහි ප්‍රතිඵලය විය; මෙම ඝාතන වලින් බහුතරයක් සිදු කරන ලද්දේ ආරක්ෂක හමුදා විසිනි. පසුකාලීන ව ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට ප්‍රතිලාභ ලබා දෙන ලදි.

2020 දී අපට එවැනි දේවල් ම වැඩි වැඩියෙන් ලැබී ඇත. නැගී එන ආර්ථික අර්බුදයත් සමාජයේ සෑම ස්ථරයකටම කා වැදී තිබෙන (දේශපාලන පන්තියට අයත් හෝ ඒ හා සම්බන්ධ බොහෝ දෙනෙක් හා නිලධර පැලැන්තියේ ඇතැමෙක් එහි ප්‍රධාන ප්‍රතිලාභීන් බවට චෝදනා කොට තිබෙන) දූෂණයත් විසඳන්නට උත්සාහ කරනවා වෙනුවට අවධානය වෙනතකට යොමු කරන්නට වෙහෙසෙන ජනාධිපතිවරයෙක් සිටියි. ජේ. ආර්. ජයවර්ධන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද ජාතිකවාදයට මුවා වෙමින් සුදුසු ආකාරයේ බිලි සොයා ගනිමින් සිටිති: එනම්, ඔහුගේ වැඩ කටයුතු විවේචනය කරන දේශපාලන සංවිධාන, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් හා සුළු ජාතීන් ය. අත්තනෝමතික නායකයන් සියළු දෙනා මෙන්, ඔහු ද තම වගකීම සහ වගවීම අඩු කර ගනු වස් නිලධර තන්ත්‍රය මිලිටරි කරණය කිරීමත්, සමාජය ආරක්ෂක මනෝගතිකභාවය ට පත් කිරීමත් පාර්ලිමේන්තුව පසෙකට දැමීමත් යුහුසුළු ව ක්‍රියාත්මක කරමින් සිටියි.

එක්සත් ජනපදය සතුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති කෙනෙක් සිටියි; ඔහුගේ අවධානයේ පරාසය කෝඳුරුවකුගේ පරාසයකට ද වඩා අඩු ය. ෆොක්ස් නිව්ස් නොබලන විට දී සහ ඔහුගේ අනුගාමිකයන් හා ඔහු මත සිය ජීවනෝපායයන් රඳා පවතින අයගෙන් ප්‍රශංසාත්මක උණුසුම නොලබන විට දී ඔහු අවදියෙන් ගත කරන මුළු කාලයම සිය අගතිගාමී අදහස් ට්විටර් කරන්නට ගත කරන බව පෙනේ. මේ අතර ඔහු මුලසුන හොබවන රට ලෝකයේ COVID-19 ආසාදනය වී ඇති සහ එයින් මිය යන සංඛ්‍යාව වැඩිම රට වේ. ඔහු සිටින සමාන්තර විශ්වය තුල, වසංගතයට එරෙහිව කරන ඉතාමත්ම සාර්ථක වැඩ සටහනට ඔහු සැබෑ ලෙසම නායකත්වය දෙයි. තමන්ට විඳ දරා ගන්නට බැරි කරුණු ගැන ඔහු දොස් පවරන්නේ ඩෙමොක්‍රටික් විරුද්ධවාදීන්ටත්, ලෝක සෞඛ්‍ය සංවිධානයටත් චීනයටත් ය. එබැවින්, ශ්‍රී ලංකාවේ මෙන්ම, අසාධාරණ ක්‍රියාවල යෙදෙන අයට නොව, ක්‍රම අනුබද්ධ වාර්ගික අවමානයන් ට හා පොලිස් කෲරත්වය ට ගොදුරු වූවන් වෙතම දොස් පවරනු ලැබීම පුදුමයට කාරණයක් නොවේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය හැම පැත්තකින් ම පුළුල් ලෙස හෙළා දැක තිබේ. ජෝර්ජ් බුෂ් සහ මිට් රොම්නි වැනි රිපබ්ලිකන් අධිපතීන්, ඩෙමොක්‍රටික් නියෝජිතයන්, බොහෝ ප්‍රාන්ත ආණ්ඩුකාරවරු, බිම් මට්ටමේ සංවිධාන අප්‍රමාණ ගණනක් - යන මේ සියල්ලෝ ම ජනවර්ගය පිළිබඳ දේශපාලන කතිකාව වෙනස් කිරීමේ උත්සාහයක් වෙනුවෙන් එකට එක්ව සිටිති. එය කෙසේ ක්‍රියාත්මක වේ දැයි කීමට තවමත් කල් වැඩි නමුත් පෙනෙන්නට තිබෙන ලකුණු යහපත් ය.

වාර්ගික බෙදීම්වලින් ඔබ්බට ගිය ප්‍රජා කණ්ඩායමුත් නිර්භය පුද්ගලයන් කිහිප දෙනෙකුත් ජාත්‍යන්තර ප්‍රජාවේ සමහර දෙනෙකුත් හැරුණු විට 1983 සංහාරය පිළිබඳව කිසිදු සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සිදු නොවන තරම් ය. දකුණේ නැඟී සිටීම් දෙකත් ප්‍රධාන වශයෙන් උතුරු හා නැගෙනහිර සිදු වූ දිගු සිවිල් යුද්ධයත් සම්බන්ධයෙන් ද තත්වය එසේම ය. කරන ලද අපරාධ සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යුහයට අයත් කිසිවෙක් තවමත් අධිකරණය හමුවට පමුණුවා නැත; විපතට පත් වූවන්ට කිසිදු වන්දියක් ලබා දී නැත; ඊට සම්බන්ධ වූ ආයතන - ආරක්ෂක ව්‍යුහය හා දේශපාලන සංස්ථාපනය ප්‍රතිසංස්කරණය කර නැත.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු, සමානාත්මතාවය සහ පොලිස් කටයුතුවලදී යොදා ගන්නා විධික්‍රම වල ප්‍රතිසංස්කරණ සඳහා කෙරෙන බල කිරීම උච්ච බවට ද නිරවුල් බවට ද පත්ව ඇත. සුදු ජාතික බහුතරයේ අභිවන්දනයට පත්ව තිබුනු යටත් විජිත කරණය හෝ වහල්භාවය හා සමඟ සම්බන්ධ ප්‍රතිමා හා ස්මාරක බොහෝ ගණනක් විරූපී කර හෝ ඉවත් කර දමා ඇත. විශේෂයෙන් වින්ස්ටන් චර්චිල්ගේ පිළිරූ සහ ඔහු විසින් ඉතිරි කොට ගිය උරුමය අභියෝගයට ලක් කරනු ලැබූ විට දී රාජ්‍ය සමූහයේ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ආධාරකරුවන්ගේ අප්‍රසාදයට හේතු වෙමින්, ඉතිහාසයේ අගුවක දමා තිබූ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව වන කාරණය කෙරෙහි ප්‍රමුඛත්වය දෙන ලදි.

නිගමනය

’83 සංහාරයත් ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයත් අපේ ‘උමතු’ බව නැති කරන දේශපාලන පාඩමක් කියා දෙයි. ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරය සාමකාමී ව පටන් ගත් නමුත් දමිළ ප්‍රජාවට එරෙහිව කරන ලද කැරලි කෝලාහල ගණනක හා සංහාරයක ප්‍රතිඵලය වශයෙන් එය මහා පරිමාණ සිවිල් යුද්ධයකට මඟ පෑදුවේය. එක්සත් ජනපදයේ කළු ජාතික ජනයා සාධාරණත්වය හා සමානාත්මතාවය වෙනුවෙන් කරන ඉල්ලීම්වලට සහයෝගය දැක්වීම සහ ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන වෙනස් ලෙස සැලකීමේ ප්‍රතිපත්ති හෙළා දැකීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජුනි 9 වන දා කොළඹ දී පවත්වන ලද සාමකාමී විරෝධතාවයකට පොලීසිය විසින් සාහසික ලෙස කඩා බිඳ දමන ලදි. මෙය සිදු කරන ලද්දේ විරෝධතාකරුවන් සමාජ දුරස්ථතා රෙගුලාසි පිළි නොපැද්දේය යන ව්‍යාජ හේතුව ඉදිරිපත් කරමිනි. එම විරෝධතාවට සහභාගී වූ අයත් සිද්ධිය දුටු සාක්ෂිකරුවනුත් පාලක කල්ලිය විසින් ඉදිරිපත් කර ඇති එම “ව්‍යාජ කඩතුරාව” ප්‍රතික්ෂේප කරති. ගෝඨාභය රාජපක්ෂ පාලන තන්ත්‍රයේ මෙම කුරිරු ක්‍රියාව වනාහි අන් කිසිවක් නොව සුළුතරයන් හා සමඟ කටයුතු කිරීමේ දී ජනාධිපති ට්‍ර්ම්ප්ගේ පාලනය සහ පෙර පැවති එක්සත් ජනපද පාලක කල්ලි විසින් අනුගමනය කරන ලද වෙනස් ලෙස සැලකීමේ ප්‍රතිපත්ති කෙරෙහි සහයෝගය ප්‍රකාශ කිරීමකි.

එක්සත් ජනපදයේ සුදු ජන ප්‍රජාවට අයත් බොහෝ දෙනෙක් තම කළු ජාතික සහෘදයන්ට සහයෝගය දක්වන්නට ඉදිරිපත් වී සිටිති. ඊට සමාන කිසි දෙයක් ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාව තුළ සිදු වී නැත. නව නාසි කණ්ඩායම්වලත් කු ක්ලක්ස් ක්ලෑන් කණ්ඩායමේත් පුනර්ජීවනය සමඟ එක්සත් ජනපදයේ සුදු ජාතිකයින් අතර සිටින වඩා ජාතිවාදී කොටස් ධෛර්යමත් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ ද සටන්කාමී සිංහල අන්ත ජාතිකවාදී කණ්ඩායම් ඒ හා සමාන ආකාරයේ සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හැසිරවීම් කරනු අපට දැකිය හැකිය. බලධාරීන් දක්වන අනුකූලතාවයේ හෝ උදාසීනත්වයේ සහාය ලබන ඔවුහු, ශ්‍රී ලංකාවේ සමාජ ඒකාබද්ධතාවය හා ජාතික සමගිය කෙරෙහි ඛේදනීය ප්‍රතිවිපාක ඇති කරවමින් දිගින් දිගටම මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අපවාද නඟති.

විරෝධතා නො දැක්වීම සදාචාරාත්මක හා දේශපාලන ප්‍රතිවිපාක දනවන බව ලොව පුරා සිටින ප්‍රගතිශීලී ජනතාව දැනුවත් බවට පත්ව සිටිති. ජාතිවාදය, වහල් බව සහ යටත් විජිතවාදය ප්‍රශ්නයට ලක් කරන්නට ජෝර්ජ් ෆ්ලොයිඩ් උත්ප්‍රේරකයක් ලෙස සේවය කරයි. ෆ්ලොයිඩ්ගේ අනවශ්‍ය මරණය පමණක් නොව, ශ්‍රී ලංකාවේ ම වූ ලේ තැවරුණු අතීතයෙන් උකහා ගත හැකි පාඩම් ද අප මතක තබා ගත යුතුය. සුළු ජාතීන් දඩ මීමා කර ගැනීමත් රජයේ විරුද්ධවාදීන්, මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති ව්‍යාපාරය පීඩාවට පත් කිරීමත් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා මහජනතාවට ලැබෙන දේශපාලන උත්ප්‍රේරකයක් වශයෙන් ද එය සේවය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඊට වඩා අඩු දෙයක් අපට අපේක්ෂා කළ නොහැකිය.

සියදිවි හානි කරගැනීම

බුදුදහමට අනුව සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසල කර්මයක්. මරණයේ ගුණ කීම, මැරෙන විදිය රඟපාල, විධික්‍රම කියන එක මේ හැමදෙයක්ම බුදු දහමට අනුව අමනුස්සයි. 

රුගොඩ සිරිවිමල

ෆේස්බුක් එකේ සියදිවි නසාගැනීම ගැන කතාවෙනව. මේක කරළියට ආවෙ සමහරවිට ඉන්දියානු නළුවෙකුගේ සියදිවි නසා ගැනීම නිසා වෙන්න ඇති. ඒ කොහොම වුනත් මේ සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් මම අදහසක් ඉදිරිපත් කරන්නම්.



මෑතක (අවුරුදු 2ට විතර කලින්) මම පාංශුකූල කටයුත්තකට සහබාගී වුනා. මේ මරණය සියදිවි නසාගැනීමක් සහ ඔය ඉන්දියානු නළුවාගේ වයසම ඇති. පාංශුකූල අවස්ථාවෙන් පසු අහගෙන ඉන්න අමාරුම කොටස ගුණ කථන අවස්ථාවෙ මගෙ පෞද්ගලික හිතවතෙක් සහ පංසලේ දායකයෙක් වෙන පොත පත කියවන මහත්මයෙක් ගුණකථනයක් කරා. මම අමාරුවෙන් හරි ඔය කතා අහගෙන ඉන්නව. හේතුව මට ඒව නිර්මාණ සඳහා උදව් වේවි කියන අදහසින්. මේ අවස්ථාවෙ උඩදි කියපු මහත්තය කරපු ගුණ කථනයත් මම අහගෙන හිටිය. එයා කතාවේ මුල් හරියෙ අවසානයෙ කිව්ව මෙහෙම. "කෙනෙකුට අමාරුම අවස්ථාවකදි නිවැරදිම තීරණය ගන්න පුළුවන් නම් එයා ජීවිතය ජයග්‍රහණය කරපු කෙනෙක්" සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් සරළවම කියන්න තියෙන දේත් ගැඹුරින් කියන්න තියෙන දේත් දේ ඒ අදහස.

මම ඉන්බොක්ස් මැසේජ් කරල මැරෙන්න ගිය බොහෝ අයව ගොඩදාපු කෙනෙක්. එහෙම අය ඉන්නවනම් පාතින් කමෙන්ට් එකක් දැම්මත් කමක් නැහැ. හැබැයි එහෙම උපදෙස් දෙන මම වුනත් මැරෙන්නම නැතත් යම් යම් කඩාවැටීම් වලට ලක්වෙලා තියෙනව. මිනිහෙක්ගෙ ජීවිතය මරණයෙන් කෙළවර කරන්නැතිව එයාව මොහොතක් හරි ජීවත් කරවන්න වචනයකින් හරි උදව් වෙනවනම් එයා ලොකු පුණ්‍යකර්මයක් කරගත්ත කෙනෙක් විදියටයි මම සලකන්නෙ. ඒ කියන්නෙ නියමිත තත්ත්වයෙන් තොරව(වයසට ගිහිල්ල, ලෙඩ රෝගයක් නොහැදී, මේ වගේ දේවල්) කෙනෙක් මැරෙන්න අරිනවනම් මම හිතනව සමාජයක් විදියට අපි පරාජිතයි. තනි මිනිහෙක් විදියට ඒ පුද්ගලයා වුනත් පරාජිතයෙක්.

බුදුදහමට අනුව සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසල කර්මයක්. මරණයේ ගුණ කීම, මැරෙන විදිය රඟපාල, විධික්‍රම කියන එක මේ හැමදෙයක්ම බුදු දහමට අනුව අමනුස්සයි. සැබෑ බුදු දහමේ වින්දනය ලබන්නෙකුට මරණය කියන එක උත්කර්ෂවත් කරන්න බැහැ. ඒකට අනුබල දීමක්වත් කරන්න බෑ. අපිට මරණය කියන්නෙ සැපතක් නෙමෙයි. පෞද්ගලිකව මම ගඟේ පැනල මැරුණත්, වෙඩිතියන් මැරුණත්, පිරිසක් සාමුහිකව මරණයක් සිද්ධ කළත් විරුද්ධ වෙන්නෙ එය නැවත මේ භූමියේ නොවිය යුතුයි කියන අදහසින්. මිනිස්සු මිනිස් කමේ දුර්ලභ බව සහ වටිනාකම දැනගත යුතුයි.

කෙනෙක්ට සියදිවි නසා ගන්න මූලිකම වන දෙය මනෝ විද්‍යාත්මකව කියවාගත්තොත් මානසික දුර්වලතාවය. අනික භෞතික කාරනා. දුප්පත්කම, ණයකාරී වීම, වගේ දේවල් මේවත් දීර්ඝව කියවා ගත්තම මානසික කාරනා විදියට තමයි සියදිවි නසාගැනීම කියන අවස්ථාව තෝරාගන්නෙ. සියදිවි නැසිමේ එක් ක්‍රමවේදයක් මට මතකයි ගිය අවුරුදු වල වීඩියෝ ගේම් එකක් හරහා ක්‍රියාත්මක වුනා. ඒකත් මානසික ප්‍රතික්‍රියාවක් විදියට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා සියදිවි නසා ගැනීම හුදෙක්ම මානසිකයි. සංඛේතීයව නැතත් මානසිකව තමන්ට තමන් එපා කරගත්ත කෙනෙක් මානසිකව මරණයට පත්වෙලා ඉවරයි.

හැට හුටහමාරක් මානසික ලෙඩවලින් මමත් ඔබත් පීඩා විදිනව විය හැකියි. "මරණය මේ මොහොතේ සිද්ධ විය යුතුමයි" කියල ඒ අයට මනස විසින් පණිවිඩ ලබා දෙන්න පුළුවන්. මම ඒකයි නිතරම ලියද්දි කියද්දි මේ මනසේ පැවැත්ම යහපත් කරගන්න කියන කතාව මෙන්ෂන් කරන්නෙ. අපිට මනස කියන එක හරිම වැදගත්. මනසේ යහපත් පැවැත්මෙන් අපි නොවැටීම ඉන්නෑ. නමුත් අපිට හැම වෙලාවකම යහපත් උත්තරයක් තියෙයි.

ජීවිතය ඉදිරියේ පරාජිතයෙක් වුනාම තමන්ට ඉදල වැඩක් නෑ මැරිල යන එක හොඳයි කියල හිතෙන්න පුළුවන්. සමහර විට ආදරයෙන් පරාජිත වෙලා, එහෙම නැත්තං වෙනත් හේතුවක් නිසා අපිට මැරෙන්න හිතෙන්න පුළුවන්. විවාහය, රාජකා⁣රිය, පැවැත්ම, ඇතිවීම, නැතිවීම, රෝග මේ හැමදේම නිසා මනුස්සයෙක්ට මරණයට බලෙන් කැමැත්ත ඇති ⁣කරගන්න සිද්ධ වෙනව. මේ අවස්ථාවලට මුහුණ දෙන්න හොඳ මනසක අවශ්‍යතාවය පවතිනව. මනස යහපත්ව රැකබලා ගත යුතු වෙනව. ඇති වෙලා දමල ගහන එකත්, සියදිවි හානි කරගැනීමත් දෙකම එකවගේ කාරණා. දමල ගහන එකේදි සියදිවි හානිකර ගැනීම නොවුනත් යම් මට්ටමක මානසික දුර්වල බවක් එතනත් පවතිනව.

එහෙම මැරෙන්න හිතෙන හැම වාරයකම අපිට හොඳ සවන් දෙන්නෙක් විතරයි අවශ්‍ය වෙන්නෙ. තමන් වැටිච්ච වෙලාවට කතා කරන්න, අදහස් බෙදාගන්න ලගින්ම ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒක අපේ ජීවිතයේ ලබන වාසනාවන්තම දෙයක්. ඒ නිසා මැරෙන්න හිතෙන අයට මම කරුණු කීපයක් කියන්නම්.

* ⁣තමන්ගෙ ලගම කෙනාට ප්‍රශ්නය කියන්න.
* එයා හොඳ සවන්දෙන්නෙක් නෙමේ කියල ඔයාට තේරෙනවනම් කියන්න යන්න එපා. එහෙම කෙනෙක්ට කියන්න ගියොත් අනිවාර්යයෙන්ම ඔයාට මැරෙන්නම වෙනව.
* හිස් කොළයක් අරන් ලියන්න.
* ලියන්න බැරි කෙනෙක් වුනත් මොනා හරි ලියන්න, අඳින්න.
* සිංදු අහන්න.
* වෙනත් වැඩක යෙදෙන්න. (Busy වෙන්න.)

දැන් ඔබට හිතෙන්න පුළුවන් මැරෙන්න යන කෙනෙක් සිංදු අහන්න ලෑස්තිද තව කෙනෙක් එක්ක කතා කරන්න ලෑස්තිද කියල. ඇත්තෙන්ම මානසික ප්‍රශ්න නිසා මැරෙන්න යන කෙනෙක් මැරෙන්න යන්නෙ කැමැත්තෙන්ම නෙමෙයි. ඒ අය ඒක අකමැත්තෙන් කරන්නෙ. ඒක සිත් සමඟ කෙරෙන ගනුදෙනුවක්. යටිසිතේ ජීවත් වීමේ කැමැත්ත පැසවමින් තිබෙන වෙලාවක් මේ අවස්ථාව. සහ ඒ වගේ කෙනෙක්ගෙ හිත දුර්වල වුනත් ම්ලේච්ඡ අය නෙමේ. එයාට ගහක් කොලක් එක්ක හරි ප්‍රශ්නය විසදගන්න පුළුවන්. වැදගත්ම දේ අපි ඒකට සූදානම් වීම.

ඊළග එක තමයි වැදගත්ම කාරණය. අපි සමාජයක් විදියට අනෙකාට ඇහුම්කන් දෙන්න සූදානම්ද කියන ප්‍රශ්නය. ලංකාවේ ගත්තොත් දිනකට සියදිවි නසාගැනීම් කීයක් වෙනවද? මරණය කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. මනුස්ස ජීවිතයක තියෙන වටිනාකම ගැන අපිට පාසල්වල උගන්වනවද? ජීවිතයට බිය වීම ලෙඩක් කියල උගන්වනවද? ප්‍රශ්න ඉදිරියේ නොවැටී ඉන්න උගන්වනවද?

මරණය වීරත්වයක් විදියට සමරන රටක මේව විහිළු විය හැකියි. අපිට ඉස්කෝලෙ, දහම් පාසලේ මද්දුම බණ්ඩාර හරහා උගන්වන්නෙ මරණයේ වීරත්වය මිසක්ක "නිර්භීත කම" නෙමෙයි. හැබැයි අපිට මද්දුම බණ්ඩාර හරහා ඉගෙන ගන්න තියෙන්නෙ නිර්භීත බව.(මේ ප්‍රශ්නය අපි වෙනම තැනකදි කතා කරමු.) එහෙම සමාජයක ජීවත් වෙන මිනිහෙකුට මානසික බිඳ වැටීමකදි මරණීය සංඥාවක් එද්දි ඒක වීරත්වයක් විදියට ක්‍රියාවට නංවන්න බැරි නැහැ.

මේ හැමදේටම අදාලව සමාජීය ප්‍රශ්නයක් පැන නැගෙනව. දේශපාලනික, අධ්‍යාපනික මුහුණුව⁣රයෙහි ප්‍රශ්නයක් ලංකාවට අදාලවත් ලෝකයේ බොහෝ රටවලටත් අදාලව පවතිනව. මරණය අවශ්‍යතාවයක් නොවන බව, දේශපාලනික, ආගමික සවිඥානික බව අපිට පාසලෙන්, පල්ලියෙන් පංසලෙන්, වගකිව යුතු කිසිම තැනකින් එන්නත් වෙන්නෙ නැහැ. යහළුවෙක් විදියට තමන්ගෙ යහළුවාට, පෙම්වතාට, පෙම්වතියට, සහෝදරයට, ඕනම කෙනෙකුට අපි හොඳ සවන් දෙන්නෙක්ද? එයාගෙ ප්‍රශ්නයට සමහරවිට අපිට උත්තර නැති වුනත් අහන්නවත් කෙනෙක් ඕන කියන එක ගැන ඔබ දැනුවත්ද? දැනුවත් කෙනෙක් ගාවට එයාව යොමු කරන්න ඔබ සූදානම්ද?

මේ රටේ ජනාධිපති වරයාගේ පටන් පල්ලෙහම ඉන්න පුරවැසියා දක්වා ; ගැහැණු පිරිමි ලෙස, පූජ්‍ය පූජක ලෙස, රැකියාව අනුව, ශරීර හැඩය අනුව, රෝග අනුව, ලිංගික කැමැත්ත අනුව ආදී සෑම ලෙසකින්ම එකිනෙකාට බුලි කරගන්නා වූ සමාජ වටපිටාවක අපිට කෙනෙක්ගේ සියදිවි හානිකර ගැනීම ගැන සංවේදී වෙන්න පුළුවන් ද? එය අයහපත්ය, එය වැරදිය, එයින් අනෙකා වලක්වාගත යුතුය යන පැහැබර බලාපොරොත්තු ගැන අදහසක් තබා ගත හැකිද?

සියදිවි නසා ගැනීමෙහි දේශපාලනික ප්‍රශ්නය, ආගමික ප්‍රශ්නය, සමාජීය ප්‍රශ්නය, දාර්ශනික ප්‍රශ්නය කියන හැම දෙයක් ගැනම පිටු ගනන් හෑලි ලිය ලිය ඉන්න පුළුවන් වෙලාවක මම මේ ටික විතරක් ලිව්වෙ.

මේ සමාජ ප්‍රශ්නය තියෙනකල් මේ සමාජයේ සියදිවි නසා ගැනීම් සිද්ධ වෙනව. මේක මුහුණපොතේ ශෙයා කරල සිහිකැඳවුමක් විදියට ලබන අවුරුද්දෙ එද්දිත් මේ භූමියේ හෝ පිටත සියදිවි නසා ගැනීමක් වෙලා. මේකට අපි වගකිව යුතු නැහැ. නැත්තේත් නැහැ. අනෙකා වෙනුවෙන් අපි කැප වෙන්න පුරුදු වෙමු. ගුණ ධර්මයක් ලෙස එය දියුණු කරගමු.

පසුගිය කොරෝනා සමයේ මම පෝස්ට් එකක් ලිව්ව. ඒකත් මෙතනම පේස්ට් කරන්නම්. ඔබට යම් අදහසක් ලබාගන්න හැකිවේවි. මම මේ ටික ලිව්වෙ ඉන්දියානු නළුවාගේ මරණය නිසාම නෙමෙයි.

"අනිත්‍යකාමයෙන් සහ සර්ව අසුභ වාදී දෘෂ්ටියෙන් පිරිච්ච මිනිස්සු කොයි වෙලෙත් උත්සාහ කරන්නෙ මැරෙන්න සහ මරන්න. තමන්ට පීඩා කරගන්න, අනුන්ට පීඩා කරගන්න. අපි කවදහරි මැරෙන බව ඇත්ත. නමුත් ලෙඩකට ගොඳුරු වෙලා, සිය දිවි හානි කරගෙන, අකාලයෙ බලෙන් මිය යා යුතු නැහැ, තව කෙනෙක්ට පීඩා කළ යුතු නැහැ.
තමන්ගෙ ජීවිතය තදින් අල්ල ගන්නැතිව මේ භෞතික දේහයට වගේම අපිව ජීවත් කරවන සිතිවිලි වලට නිර්භයව ආදරය කරන්න.
ඇත්තෙන්ම කොහේවත් තියෙන වෛරස් එකකට අපිව මරල යන්නවත් ලෙඩ කරල යන්නවත් දෙන්න අවශ්‍යය වෙන්නෙ නැහැ."

❝කෙනෙකුට අමාරුම අවස්ථාවකදි නිවැරදිම තීරණය ගන්න පුළුවන් නම් එයා ජීවිතය ජයග්‍රහණය කරපු කෙනෙක්.❞

වෛද්‍යවරු අතින් ලිංගික අපයෝජනයට පත් වන රෝගීන්

විධිමත් නීති පද්ධති සහ  රෙගුලාසි ඇති රටවල වාර්ශිකව ලිංගික අපයෝජනයට ලක් කරන ලද රෝගීන් පිලිබඳව වාර්තා වූවද ලංකාවේ එය ඉතා අවමය. ඊට මූලික හේතුවක් නම් රෝහල් බලධාරීන් විසින් ලිංගික අපයෝජන යට ගැසීමය. තවද රෝගීන් තමන් ගේ අයිතිවාසිකම් පිලිබඳ ඇති නොදැණුවත් භාවයද මීට හේතු කාරක වෙයි.

සමන්ත කෝණාර,  නෙත්මි පෙරේරා

ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ වෛද්‍යවරු වෘත්තීය ආචාර ධර්ම රකිමින් ගුණාත්මක රෝගී ප්‍රතිකාරයක් කලද සුළුතරයක්  වෛද්‍යවරු වෘත්තීය ආචාර ධර්ම බිඳ හෙලමින් රෝගීන්ව ලිංගික අපයෝජනයට කරන බව නොරහසකි. එහෙත් මේ පිලිබඳව කෙරෙන කතා බහ අවමය. රෝහල් බලධාරීන් ද මෙවැනි චෝදනා හමුවේ අපයෝජක වෛද්‍යවරයන්ට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වීම මඟ හරින අතර අගතියට පත් කාන්තාවන් ද බිය සහ ලැජ්ජාව නිසා අපයෝජන පිලිබඳව පැමිණිලි නොකරති. මෑත කාලයේදී රෝහල් වල ලිංගික අපයෝජන සිද්ධීන් රැසක්  වාර්තා වී ඇති  අතර ඉන් බොහොමයක් වෛද්‍යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව නිමවී තිබේ. ලිංගික අපයෝජනයන්ගේ බලධාරීන්ට වාර්තා කැරෙන්නේ සුලු ප්‍රමාණයක් බව සමීක්‍ෂන වලින් පෙන්වා දී ඇත. එම නිසා මේ තත්වය අපයෝජකයන්ව වඩ වඩාත් දිරි ගන්වයි. 



 වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ රෝගීන් අතර ලිංගික සම්බන්ධතාවලට එරෙහි සදාචාරාත්මක තහනම අවම වශයෙන් හිපොක්‍රටික් දිවුරුම දක්වා දිව යයි. වෛද්‍යවරයකු රෝගියා සමඟ ශාරීරික ලිංගික සම්බන්ධතා වල යෙදීම  (සිප ගැනීම, ලිංගික සංසර්ගය හෝ විභාගයකට පිටින් ඇති අරමුණු සඳහා ලිංගිකව හැසිරුණු ඕනෑම ශරීර කොටසක් ස්පර්ශ කිරීම )  වෘත්තීය ලිංගික විශමාචාරයක් වෙයි.   වෛද්‍ය වෘත්තිකයෙකු විසින් ලිංගික අතවර කිරීම යනු විශ්වාසය, වෛද්‍ය ආචාර ධර්ම සහ නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. ලිංගික විෂමාචාරය මගින් රෝගියා වෛද්‍යවරයා කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු වෙයි.   වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ රෝගීන් අතර ලිංගික සම්බන්ධතා රෝගීන්ට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකි අතර රෝගී ප්‍රතිකාරයේදී , රෝග යාමන තීරණ ගැනීමේ වෛද්‍යවරුන්ට ඇති හැකියාවට හානි කළ හැකිය. 

2017 වසරේදී වොෂින්ටන් විශ්ව විද්‍යාලය  විසින් කරන ලද අධ්‍යනයකදී වෛද්‍යවරු විසින් ලිංගික අපයෝජනයට ලක් කරන ලද   කාන්තා රෝගීන්  101 දෙනෙකු හඳුනාගෙන තිබුණි.  කැලිෆෝනියාවේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු වන පීටර් ලී-චුවාන් චි  වයස අවුරුදු 16 සිට 57 දක්වා කාන්තා රෝගීන් ගනනාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ අතර   2010 දී රෝගීන් 36 දෙනෙකු සම්බන්ධ චෝදනාවලට ඔහු වරද පිළිගත්තේය. පසුව වෛද්‍ය පීටර් ලී-චුවාන් චි හට වසර හයක සිර දඞුවමක් නියම කෙරුණි.   මිචිගන් හි නිර්වින්දන වෛද්‍ය ඩෙනිස් මයිකල් සිකොව්ස්කි රෝහලකදී රෝගීන් තිදෙනෙකුට ලිංගික අපයෝජන කල බවට  චෝදනා එල්ල විය. නඩු විභාගයෙන් පසු ඔහු දැන් ලියාපදිංචි ලිංගික අපරාධකරුවෙකි.  

විධිමත් නීති පද්ධති සහ  රෙගුලාසි ඇති රටවල වාර්ශිකව ලිංගික අපයෝජනයට ලක් කරන ලද රෝගීන් පිලිබඳව වාර්තා වූවද ලංකාවේ එය ඉතා අවමය. ඊට මූලික හේතුවක් නම් රෝහල් බලධාරීන් විසින් ලිංගික අපයෝජන යට ගැසීමය. තවද රෝගීන් තමන් ගේ අයිතිවාසිකම් පිලිබඳ ඇති නොදැණුවත් භාවයද මීට හේතු කාරක වෙයි.

 වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු අපයෝජනය කිරීම පිලිබඳව ලංකාවෙන් වාර්තා වන ක්‍රෑරතම සිද්ධිය වනුයේ 2007 නොවැම්බර් 12 දින මීගමුව රෝහලේදී සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා විසින් තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි  මොණරාගල, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා දිසානායක නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලද සිද්ධියයි. එහෙත් චමිලාගේ ඝාතනයට ප්‍රථම   2007 අගොස්තු මාසයේදි වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් වෛද්‍ය පරික්ෂණයකට යැයි කියමින් තමන්ගේ කාමරයට කැදවාගෙන ගොස් ලිංගික අතරවරයක් කිරිමට තැත් කළේය.  එම තරුණිය බියට පත්ව ඇය කැගසා කාමරයෙන් පැන විත් ඇගේ පෙම්වතාට දැනුම් දිමෙන් පසු අයගේ පෙම්වතා විසින් සුදර්ශන බාලගේ මීගමුව රෝහල් භූමිය තුලදිම පහර දෙන ලදී. මෙම ස්ත්‍රී දුෂණ තැත රෝහල් බලධාරීන්ට සහ පොලිසියට දැනුම් දුන්නද සුදර්ශන බාලගේට  එදිරිව නිතිය ක්‍රියාත්මක වුයේ නැත.  මේ දුෂකයා බේරා  ගැනීමට මීගමුව රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් පෙරට ආහ. ඔවුන් වින්දිත තරුණියගේ ඇද ඉහපත් වාර්ථාවල ඇය සිහිමද ගතියකින් පෙලෙන්නියක් ලෙසින් සදහන් කරමින් ස්ත්‍රී දුෂණය යට ගැසුහ.  මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සුදර්ශන බාලගේට එරෙහිව රෝහල් බලධාරීන් විසින් යම් පියවරක් ගත්තේ නම් චමිලා දිසානායක තරුණියගේ ජීවිතය  අණතුරුදායක තත්වයට පත් නොවීමට ඉඩ තිබුණි. 

2014 වසරේදී පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ  රක්‍ෂිත බන්ධනාගාරගත විය. නමුත් එම වෛද්‍යවරයාට එරෙහිව වෛද්‍ය සභාව කිසිදු පියවරක් ගත්තේ නැත. තවද කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා  බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලද  අතර  මාවනැල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් එන්.ඩී.ඩී. කරල්ලියද්ද මහතා විසින් ඔහුව රිමාන්ඩ් කරනු ලැබීය.   2009 සැප්තැම්බර් මාසයේ දිනෙක විෂාන් ජයශාන්ත පරනමාන  නමැති වෛද්‍යවරයෙකු විසින් දරු ප‍්‍රසූතිය සඳහා ජයවර්ධන රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි කාන්තාවකට අතවරයක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විෂාන් ජයශාන්ත පරනමානට එරෙහි ව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය. දරු ප‍්‍රසූතිය සඳහා රෝහල් ගත කොට සිටි රූමත් තරුණ මවක පරීක්‍ෂා කිරීමට යැයි කියා අලූයම් කාලයේ දී ඇය රෝහල් කාමරයකට තනිව ගෙනගොස් වෛද්‍යවරයා ඇයට අතවර කළේ යැයි නඩු ගොනුවේ සඳහන් වේ. මේ වන විට මෙම වෛද්‍යවරයා පුද්ගලික සායනයක වෛද්‍ය වෘත්තියේ නියැලේ.

 2013 වසරේ අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක කැමරාවක්  සවි කිරීම නිසා  දිනුෂ සෙරංග විජේවර්ධන නම් වෛද්‍යවරයා අනුරාධපුර රෝහලේ කාර්‍ය මණ්ඩලය කල වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අත් අඩංගුවට පත්වී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ඔහුව රිමන්ඩ් කරන ලද අතර  ඔහු  රිමාන්ඩ් ගතවී ඇප ලබා මේ වන විට නිරුපද්‍රිතව රෝගී සත්කාරයේ  යෙදෙයි.  

රෝගීන්ව අපයෝජනයට ලක් කල මෙම වෛද්‍යවරු පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය සභාව අනුගමනය කරන්නේ නිහඞ ප්‍රතිපත්තියක් වන අතර ඔවුන් විසින් යලිත් වරක් රෝගීන් අතවරයට ලක් කරයිදෝ කියා වත් බලධාරීන් නොබලති. දිසානායක දුෂණය කොට මරාදැමූ  සුදර්ශන බාලගේ ඇප පිට   සිටියදී පවා මීගමුව ප්‍රදේශයේ  පුද්ගලික සායනයක රෝගීන්ට ප්‍රතිකාර කල අතර මේ  සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය සභාව කිසිදු පියවරක් ගත්තේ නැත. 

2019 වසරේදී හෝමාගම මූලික රෝහලේ උගුර කන නාසය සායනයේදී ගොඩගම ප්‍රදේශයේ පදිංචි තරුණියක් එම රෝහලේ වෛද්‍යවරයෙකු වූ වරුණ ජයසිංහගේ ලිංගික අපයෝජනයට ලක් වූ අතර එම රෝගී තරුණියගේ ඥාතීන් ලිඛිතව හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට පැමිනිලි කලද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා ගත්තේ නැත. තවද වෛද්‍ය අධිකාරීවරයා චූදිත වෛද්‍ය වරුණ ජයසිංහට වාසිදායක වන ලෙසින් පැමිනිල්ල යට ගසන ලදි. වෛද්‍ය වරුණ ජයසිංහ හෝමාගම මූලික රෝහලේ උගුර කන නාසය පිලිබඳ වෛද්‍යවරයා ලෙස නිරුපද්‍රිතව තවමත් සේවය කරයි. 

වෛද්‍යවරු විසින් රෝගීන් අපයෝජනයට පත් කිරීම ඉතා බරපතල කරුණකි. ලාංකික සමාජයේ තවමත් ඒ පිලිබඳව සංවාදයක් නොමැති අතර අපයෝජයකන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නොමැත.  ලංකාවේ රෝහල් බලධාරීන් පුරුදුව ඇත්තේ  ලිංගික විෂමාචාර චෝදනවා වලට ලක් වන වෛද්‍යවරු පිලිබඳව විමර්ශණය කිරීමට වඩා එම චෝදනා යටපත් කිරීමටය.  මෙම ලිංගික අතවර වින්දිතයාට පමණක් නොව, වින්දිතයාගේ පවුලේ අයට සහ මිතුරන්ට මෙන්ම සමස්තයක් වශයෙන් සමාජයටද බලපායි. අපයෝජනයට ගොදුරු වූවන්ගෙන් බොහෝ දෙනෙක් වසර ගණනාවක කම්පනය හා  මානසික පීඩාවෙන් ජීවත් වන අතර සමහරු සිය දිවි නසා ගැනීමට පවා පෙළඹී සිටිති.  වෛද්‍ය වෘත්තිය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව ජනතාව තුල විශ්වාසයක් ඇති කළ යුතු   අතර ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගියකු අපයෝජනයට ලක් වන්නේ නම් එය ඛේදජනක තත්වයකි.