යේසුස්,ජුදාස් සහ බරබ්බස්ලාගෙන් ජනතාව තෝරා ගන්නේ කවරහුද?

සාමාන්‍ය මිනිසාට  තේරුම් යන ලෙස සම්ප්‍රදායික ප්‍රබන්ධයන් ඇසුරින්  හොද නරක කියා දෙන ක්‍රිස්ත්‍රියානි බයිබලයේ එන නපුර සංකේතවත් කරන සර්පයා චිත්‍රපටියේ පුරා බෝහෝ දසුන්  අතරින්  දක්නට ලැබුනේ  අප ගෙවන  ජිවිත වටා නපුර කොතරම් වෙලීගෙන ඇත්දැයි සිහිපත් කිරීමටය.

ජී.ඒ. සුනිල් ජයරත්න

මා නීතී පශ්චාත්  උපාධිය සදහා ඕස්ට්‍රේලියාවේ  වාසය කරන 2004  සමයේ එකම නවාතැනේ විසූ ඉන්දුනීසියානු නීතිඥ මිතුරා කැටුව ‘පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට්‘(Passion of the Christ)  නැමැති චිත්‍රපටය  නැරඹීමට ගියෙමි.



අධි සුඛෝපභෝගි  විශාල සිනමා ශාලා සංකිර්ණයක  නමුත් අප නරඔන්නට ගියේ මිනිසුන්ගේ විමුක්තිය උදෙසා තම ජිවිතය  ප්‍රජා කළ  උතුම් මිනිසෙකු  කුරසියේ  ඇණ ගසා  මරණයට  පත් කල සංවේගජනක සිද්ධිය චිත්‍රණය කළ චිත්‍රපටියක්  නැරඹීමට වීම විශේෂත්වය විය. 

සිසුවකු ලෙස  ශ්‍රමය වගුරවා දුක සේ උපයා ගත් චේතනයන් රුපියල්  වලින් බැලු විට  සැලකිය යුතු මුදලක් ගෙවිමට සිදු වුවද මට ඒ පිළිබද ලොබ සිතක් නොවිය.මන්ද යත්, උසස් නීතී විද්‍යාල වලින් බුද්ධිය මෙහෙයවා කරනු ලබන ඉගෙනීම් වලින්ට වඩා යුක්තිය හා සාධාරණත්වය  පිලිබඳ  හැගිම් එබදු චිත්‍රපටි  නැරඹිමෙන්  තීව්‍ර කර ගත හැකි බවට  මා තුල දැඩි විශ්වාසයක් වූ හෙයිනි.

මීට අවුරුදු  20 කට  පමණ පෙර නැරඹු  එම චිත්‍රපටියේ දසුන්  මගේ මනසේ  තවමත් රැව් පිලි රැව් දෙන අතර එදා මෙන්ම අප ඇස් ඉදිරිපිට අදත් දිස්වන්නේ එකම සමාජ යතාර්ථයක් නොවේදැයි  වයසින් මුහුකුරා ගිය මට  දැන් සිතේ. 

සාමාන්‍ය මිනිසාට  තේරුම් යන ලෙස සම්ප්‍රදායික ප්‍රබන්ධයන් ඇසුරින්  හොද නරක කියා දෙන ක්‍රිස්ත්‍රියානි බයිබලයේ එන නපුර සංකේතවත් කරන සර්පයා චිත්‍රපටියේ පුරා බෝහෝ දසුන්  අතරින්  දක්නට ලැබුනේ  අප ගෙවන  ජිවිත වටා නපුර කොතරම් වෙලීගෙන ඇත්දැයි සිහිපත් කිරීමටය.

පිලාත් විනිසුරුවරයා  විසින් බරබ්බස්  නැමැති  රෝම අධිරාජ්‍යයේ සොල්දාදුවන් මරණයට පත් කිරීමේචෝදනාවට වරදකරු වූ  බරබ්බස් නමැති සොරාත් යේසුස් නමැති ප්‍රේමයේ දේවදූතයාත් යන දෙදෙනාගෙන් කවරෙකුට නිදහස ලබා දිය යුතු දැයි මහජනතාවගෙන් විමසන දසුන මාගේ  මතකයෙන් නොමැකි  නොයන්නේ  අප පොදුවේ  ජිවිතය පුරා අත් විදින  සත්‍යයක්  ඉන් කියැවෙතැයි හැගෙන නිසාය.

අති  විශාල  අධිකරණ පිඨිකාවේ  එක් කෙළවරක මැද සුදු සාටකයෙන් සැරසුනු පිලාත් විනිසුරුවරයාය. දෙපසින්  දෙදෙනෙකි. එක් පසෙකින් සතෙකුගේ හමකින් උඩුකය වසා ගත් හැඩිදැඩි සිරුරකින් යුත් බරබ්බස්ය.අනෙක් පසින්  සිටින්නේ  කටු ඔටුන්නක්  පළදවනු ලැබූ  බෙහෙවින් පිඩාවට පත්  සියුමැලි සිරුරකින් යුත්  යේසුස්ය.

මහජනතාවගෙන් පිරි  සදලුතලා වලින්  යුත් චතුරශ්‍රාකාර  පීඨිකාවේ සිව් දෙසින්  ඔවුහු දැඩි උද්යෝගයෙන් යුතුව  කුමක් සිදු වේදැයි විමසිල්ලෙන් බලා සිටිති.

පිලාත් විනිසුරුවරයා සිය දේශණනාව අවසානයේ පවසන්නේ රෝම අධිරාජ්‍යයට එරෙහිව කැරලි ගැසීමේ වරද පිළිබද චෝදනාව ජේසුස්ට එරෙහිව මප්පු කර නොමැති බවය. එනමුත් විමසිල්ල වන්නේ  නාසරත් හි ජේසුස්  හා බරබ්බස්  යන  දෙදෙනාගෙන් එක් අයකු පමණක් නිදහස්  කිරිමට ජනතාවට  වන වරම පරිදි කවරකු  නිදහස් කිරීම යුතු වන්නේද ? කියායි.
ජේසුස්  කෙරෙහි  මා තුළ පවතින අසිමිත ආදරය හා කරුණාව නිසා මගේ සිත කියා සිටියේ  සත්‍යගරුක හා යුක්තිගරුක හා ගුණගරුක යේසුස් නිදහස් කරන ලෙස   බහුතර ජනතාව කෑ ගසා ඉල්ලා සිටිය යුතු බවය.
ඒ අනුන්ගේ දේ පැහැර ගන්නා හැඩි දැඩි දේහධාරි සොරෙකුට වඩා හාත්පසින්ම වෙනස් වූ ආත්ම පරිත්‍යාගයෙන්  යුතුව ‘දෙවියන්ගේ දේ  දෙවියන්ට දිපල්ලා  සීසසර්ගේ දේ   සීසසර්ට   දිපල්ලා ‘යනුවෙන් ජනයාට  යුතු අයුතුකම්  පහදා දෙමින්  සකල මනුෂ්‍ය වර්ගයාට  ප්‍රේම කල මිනිසකු  ලෙස ජේසුස්  මගේ හද බැදගත් නිසාය. රජමැදුරක නොව කුඩා ගව මඩුවක,වඩුවකුගේ  පුතකු ලෙස ඉපිද  දිරිය මිනිසකු ලෙස  හරි වැරැද්ද පෙන්වා දී  සමාජය යහමග යැවිමට දිව්‍ය පුත්‍රයාණන් ලෙස දැක්වු  සියුමැලි එඩිතර භාවය  නිසාය.මහු මඩෙන් උපන් නෙලුමකැයි මගේ සිත මට කීවේය.

 එනමුත්, අහෝ සිදුවූවේ අනෙකකි.මගේ සිත ඉල්ලා සිටි ජේසුස් වෙනුවට පීඨිකාවේ  සිව් දෙස  සිටි ජනයාගෙන් වැඩිදෙනා බරබ්බස්! බරබ්බස්! බරබ්බස්! යනුවෙන් එක හඩින්  ඝෝෂා කරමින්  බරබ්බස් නිදහස් කරන ලෙස කෑගසා ඉල්ලා සිටියේය.එය මගේ මවිතයටත්  බලවත් කම්පනයටත් හේතු විය.

  අනතුරුව බහුතර  ජනතා  මතයට ගරු කළ  පිලාත් විනිසුරුවරයා  බරබ්බස්  නිදහස් කිරිමටත්  යේසුස්  කල්වාරියට ගෙන ගොස්  කුරුසියේ  තබා ඇණ ගසා මරණයට පත් කිරීමටත් නියෝග කළේය.
 නිරන්තරයෙන් සමාජ යුක්තිය ඉල්ලා සිටි එවකට අත්දැකිම් වලින් අඩු මගේ නොමේරූ සිත තුළ යේසුස්  කුරුසියේ  තබා ඇණ ගැසිම  කෙරෙහි බරපතළ විරෝධයක්ද අසාධාරණයට එරෙහි නොවූ ජනයා කෙරෙහි පිළිකුලක්ද ජනිත විය.  එපමණක්  නොව බහුතර ජනයා හොඳ නරක තෝරා බේරා ගැනිමෙහි ලා අසමත් මුග්ධ පිරිසක්ය  යන හැගීමක්ද එවන් ජනයා නිවැරැද්ද නොදැකීම කෙරෙහි  කෝපයක්ද මා සිත තුළ හට ගත්තේ වී නමුත් කල හැක්කක් නොවීය.
එම චිත්‍රපටය  බලා ආපසු  එන අතරතුර  කිතුණුවකු වු මාගේ ඉන්දුනිසියානු මිතුරාද   බුදුනුවකු වූ මමද  යන ගුරු දෙගුරුන්ගෙන් හොද නරක උගත් අප දෙදෙනාම බෙහෙවින් කම්පිතව සිටියෙමු. යේසුස්  ජිවත් වු සමාජ  පසුබිම තුළද සමාජ  අසාධාරණය අනුමත කළ වරප්‍රසාද ලත් නොලත් ජනයාගේ  මනස ඔද්දල් විම පිළිබඳව බෙහෙවින්  පිළිකුළෙන්  හා අසහනයෙන් යුතුව කථා කළෙමු. 

‘ජේසුස්ගේ කරුණාව’(Passion of the Christ) චිත්‍රපටිය  නැරඹිමෙන් පසු  ජේසු පැවති  සමාජ සංස්කෘතික  පරිසරය තුළ විප්ලවකාරයෙක් වුයේ කෙසේද? ඔහුගේ චරිතය ගොඩ නැගුනේ  කේසේ දැයි විමසිමට මා සිත වු කුතුහලය  වැඩිදියුණු  වු අතර මාගේ මිතුරා සමග ඒ පිළිබඳ නොයෙකුත් සංවාද  විවාදයන්හි යෙදුනෙමු. වැඩිදුර  කරුණු  සමාලෝචනයේදී ජේසුගේ  අවසන් රාත්‍රී  භෝජනය අපගේ කුතුහලයට තුඩුදුන්  තවත්  මාතෘකාවක් විය.
යේසුස්  සිය  අවසන්  රාත්‍රී  භෝජන අවස්ථාවේදී සිය ගෝලයන්  13 දෙනා  අමතමින් ‘ නුඹලා  අතුරින් කිසිවකු මා  පාවා දෙන්නේය  ‘යනුවෙන්  අනාවැකි පළ කලේය.

එකි අනාවැකිය පරිද්දෙන්ම පෙරදා රාත්‍රියේ ජේසු සමග රාත්‍රි භෝජනය එක්ව වැළදු ජුදාස් රිදී තිහක අල්ලසකට මසුරු වී රාජ පුරුෂයනට චර පුරුෂ සේවන‍යෙහි යෙදෙමින්  ජේසුට සමාන රූප කායෙන් යුත් ගෝලයාගෙන් ජේසු වෙන් කොට හදුනා ගැනීම පිණිස ජේසුන්ගේ මුහුණ සිඹින විට ‍ඔහුව අල්ලා ගන්නැයි කියා ඔත්තු  සැපයුවේය.

රාත්‍රි භෝජනය  එකට වැළදු හිතවත්  ගෝලයයෙකු වූ ජුදාස්  විසින් ජේසුස්  සිටින්නේ කොහිදැයි  රාජ  පුරුෂයනට රිදී තිහක අල්ලසක් ලබාගෙන ඔත්තු සපයා යේසුස්  අල්ලා ගැනිමට උදව් කිරීම කවර සදාචාරයකට කවර සාධාරණත්වකයට පදනම් වේදැයි තරුණ නිතීඥවරයකුවු මට ගැටලුවක් වු නමුත්  ලාංකික මිනිසාගේ දේශපාලන  හා සමාජ හැසිරීම  පිලිබඳ අත්දැකිම් වැඩි වී නුවණ මුහුකුරා  යත්ම මා සිත වු  එම ගැටළුව  දියව ගියේය. මන්ද, ඒ අල්ලසට සහ වරප්‍රසාද වලට ඇති ගිජු කම නිසා සත්‍යය සහ යුක්තිය පාවා දෙමින් මහත්වරුන් සේ සමාජයේ ගරු බුහුමන් ලබමින් බොහෝ දෙනා වැජැඔ සිටින අතර තුර අවංක සාධාරණ මිනිසුන් දුබලයන් සේ නොතකන සමාජයක අප ජීවත්වන බව ක්‍රමයෙන් ඒත්තු ගිය බැවිනි.

නීතීය හැමවිටම සාධාරණ නොවන  බවත් නිතිය  පාලකයාගේ අවියක්  බවත් නිතිය සාධාරණ විමට නම් පාලකයන් සාදාචාරවත් විය යුතු බවත්  පසුකාලිනව නුවණ මුහුකුරා ගිය බව මට වැටහෙන්නට විය. එනමුත් හිරිකිතක් නැතිව බොරුව වපුරන්නට සමතාට හා  වන්දිභට්ටයන්ට  හා පූජකයන්ටඅල්ලස් දී ප්‍රශස්ති ගායනා කරවා ගන්නට සමතාට දුරාචාරය සදාචාරය ලෙස  පෙන්වා ජනයාගෙන් වැදුම් පිදුම් ලබන සංස්කෘතියක් නිර්මානය කර ගැනීම අසීරු නොවන බවද, ලජ්ජා බය නොමැති කම ඊට අවශ්‍ය එකම සුදුසුකම වන බවද, මට පසු කාලීනව ප්‍රත්‍යක්ෂ විය.සම්පත් හා පොදු දේපල සොරකම් කරන්නන්ට බලවත් විය හැකි බවද, එකී බලය මගින් රජ වී  ජනයාගෙන් පිදුම් ලබන අතර තම දරුවන්ගේ කුස ගින්න නිවීමට  පාන් සොරකම් කල දිළින්දකු  එකී ජනයා විසින්ම සොරකු ලෙස හන්වඩු ගසා කොන් කරනු ලබන සමාජයක හොද නරක මැනීමේ මිනුම් දණ්ඩ බලවත්කම හා කපටිකම මිස අවංක කම හා ගුණවත්කම නොවන බවද තේරුම් ගැනීම අපහසු නොවීය.

බහුතර  ජනයා  විසින්  අවිචාරවත් ලෙස  හරි-වැරදි හා  යුතු-අයුතුකම්  තිරණය කරමින්  පාලකයන්  පත් කල රාජාණ්ඩු යුගයේ  මෙන් නොව  යුතු අයුතුකම්  පිළිබද අවබෝධයෙන් යුතුව  කටයුතු කල යුතු  මනස දියුණු නූතන තාක්ෂණ යුගයේ ජුදාස්ලා හා බරබ්බස්ලා, යේසුස්ලාගෙන් වෙන් කර හදුනා ගැනිමට අදත් බොහෝ ජනයා අසමත්ය. අල්ලස් ගෙන ජන වරම පාවාදෙන, ජුදාස්ලා අල්තාරය මත හිදුවන සංස්කෘතිය වෙනස් කිරීමට අසමත් වීම දිගටම වෙතොත් කුරුසියේ ඇණ ගැහෙන්නේ ජේසුස්ලා පමණක්  නොව  බහුතර මහජනතාවම බව තේරුම් ගත යුතු බව  හුදී ජනයාට පහන් සංවේගයෙන් යුතුව  සිහිපත් කල යුතුය.

අනුන්ගේ පාපයන්ට ජනතාව කුරුසියේ ඇණ ගැසෙන යුගය අවසන් කිරීමට ජනතාව පෙල ගැසිය යුතුය.  නූතන දේව දරුවන්ගේ ඉල්ලීමද මෙයය.